අද අපි කතා කරන මාතෘකාව හැමෝටම පොදු යැයි කීවොත් වරදක් තිබේ ද? සියලු දෙනා සැප කැමතියි. දුක පිළිකුල් කරයි. (සුඛ කාමානි, දුක්ඛ පටික්කූලානි) එය උපන් සත්වයාගේ කැමැත්ත වුවත් ජීවත් වන්නට සිදු වී ඇත්තේ අනේක කරදර පීඩා සන්තාප සමග ය. ඒ සමග ම නොයෙක් රෝගාබාධයන් ද වැළඳී ජීවිතය එපා වන මට්ටමට පත් වේ. අයෙක් සියදිවි නසාගැනීම විසඳුමක් සේ දක්නා අවස්ථා ද තිබේ. කොයිතරම් මිල මුදල් තිබුණත් හිතට සැනසිල්ලක් නැතිව, සතුරු කරදර මැද, ‘ඇයි මෙහෙම උනේ?’ කියා වික්ෂෝපයෙන් සිටිනා ඔබටයි මේ දහම් කාරණයෙන් පිළිතුර.
අපගේ භාග්‍යවතුන් වහන්සේ මුණගැසීමට පැමිණි සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ පැනයක් විමසීය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගාන්ධර්වයෝ ද ඇතුළු බොහෝ දෙනා සතුරු කරදර නැතිව, පීඩාවක් නැතිව, දුක් දොම්නස් නැතිව, සිතේ සැනසිල්ලේ සැපවත්ව ඉන්න කැමතියි. ඒ උනාට ඉන්නේ රණ්ඩු සරුවල් වෙමින්. සතුරු කරදර මැද. දුක් දොම්නස් පීඩාත් එක්ක. හරි දුකෙන්, සැනසිල්ලක් නැතිවයි ඉන්නේ. ඉතින් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙහෙම වෙන්න හේතුව කුමක්ද? කුමන දෙයක පැටලුන නිසා ද මෙහෙම වෙන්නේ?” මෙයට පිළිතුරු සපයන අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මෙයට හේතුව ‘ඉස්සා මච්ඡරිය’ බවයි. එනම් ඉරිසියාවත්, මසුරුකමත් නිසා බවයි. එසේනම් සැනසිල්ලක් නැතිව, කරදර පීඩා සන්තාප වික්ෂෝප එක්ක සතුරු කරදර මැද මේ විඳවන්නේ තමා තුළ ඉරිසියාව, මසුරුකම තියෙන නිසා ය.
මෙය විශේෂ කාරණයකි. අප නොසිතන දෙයකි. සිහි නොකරන දෙයකි. කුමක්ද? මෙසේ පීඩාවෙන් කරදර සමග ඉන්නේ අපේ හිතේ ඉරිසියා මසුරුකම් නිසා බව. මෙය දැන් තේරුම් ගනිමු. ඉරිසියාව කියන්නේ අනුන්ගේ සැපයේ දී සතුටු නොවීම ය. ‘අපට තිබ්බ නම්’ කියල හිතන එක ය. අනුන්ගේ සැප නුහුල්ලන එක ය. මසුරුකම කියන්නේ තමා සන්තක දෙයින් අනුන් සතුටු වනවාට ඇති අකමැත්ත ය. එතකොට ඉරිසියාවත්, මසුරුකමත් කියන්නේ ‘අනුන්ගේ සතුට සැපය ඉවසන්නත් බෑ, තමාගේ දෙයින් අනුන්ට සැපයක් ලැබෙනවට කැමතිත් නෑ’ කියන එකයි. ‘අපට විතරක් තිබ්බ නම්. අනුන්ට නොලැබුණා නම්.’ කියන හැඟීමයි. මෙය තවත් විස්තර කරගත යුතු ය.
යමෙක් සියදිවි නසා ගන්නවා යැයි සිතමු. එහි දී ඔහු, ‘අනුන් මෙසේ සැපසේ ජීවත් වෙති, මට ඒවා නැත, මා ජීවත් වී කුමට ද? මට මේ දේ නැති විය. අනුන් සන්තක විය. ජීවත් වී කුමට ද?’ යනාදී වශයෙන් අනුන් විඳින සැප තමාට නැති වීම ගැන ඉරිසියාවත්, තමන්ගේ දේ නැති වීම ගැන මසුරු සිතත් නිසා සියදිවි නසා ගන්නා තැනට පත් වෙයි. සම්පූර්ණයෙන් ඔහු ව මෙහෙයවන්නේ ඉරිසියාවයි. පිනට ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයට ගරහාගෙන, ධර්මය නසාගෙන, දුගතිය වැළඳගෙන සියදිවි නසා ගනී. කොයිතරම් අවාසනාවක් ද? ඉරිසියාවක මහත බලන්න.
බොහෝ දෙනා අතර තරගයක් නිර්මාණය වී තිබේ. හිතේ හැටියට මේ රේස් එක දිනන්න නොහැකි නිසා පුදුම මානසික පීඩාවකට පත් වෙයි. ‘කුමක්ද හේතුව?’ ලොව සැප සම්පත් විඳින අය දිහා බලලා හූල්ලමින් සිතයි. ‘අහෝ මේවා අපට නෑ නොවැ. උන්ට තිබේ නොවැ.’ කියා ඉරිසියාවෙන් පෙළෙයි. නිවසේ, ස්වාමියා, බිරිඳ, දරුවෝ රැකියා ස්ථානය පමණක් නොව බණ මඩුවේත්, ගිහි පැවිදි කා තුළත් ඉරිසියාවේ අඳුර වෙලී ඇති නිසාවෙන්ය මේ හැම දෙනාම යම් යම් පීඩා සන්තාපවලින් සිටින්නේ. ඔබට එන කරදර බාධක සන්තාප පීඩා එකින් එක නුවණින් විග්රහ කර බලන්න. ඉරිසියා මසුරුකම් යස අගේට පෙනේවි. ලෙඩේ කොයි වගේ උනත් අපිට වැදගත් වන්නේ ඖෂධය නිසා මේ නස්පැත්තියෙන් අපව මුදවා සිත සුවපත් කරන විසඳුම කුමක්දැයි ඊළඟට බලමු.
මෙයට හොඳම විසඳුම මුදිතාව යි. එය මහා ඖෂධයයි. හිතේ සැනසිල්ලේ ඉන්න කැමති කෙනෙක් පුරුදු කරගත යුතුම ගුණය මුදිතාවයි. මුදිතාව කියන්නේ අනුන්ගේ සැපය දැක සතුටු වන ස්වභාවයයි. මෙය නොයෙක් අයුරින් පුහුණු කරගත යුතු ගුණයකි. මහා පිනකි. බලවත් කුසලයක් වැඩෙන භාවනාවකි. මුදිතාව නිසා ‘කුසල් සිත පවත්වන්න බැරි වීම’ කියන අරතිය දුරු වෙයි. එවිට හිත දහම තුළ පවතියි.
“ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති” දහම තුළ යෙදීමෙනුයි සැපය උපදින්නේ. එහෙනම් ඔබ දුකින් ඉන්නේ, පීඩාවෙන් ඉන්නේ හිත දහම තුළ නැති නිසා ය. ඉරිසියා මසුරු බව ඔබ ව ග්‍රහණයට අරගෙන ය. මුදිතාවේ ආලෝකය හිතට වැදිලා නැති නිසාවෙනි එසේ වූයේ.
මේ ලෝකයේ දෙමාපියන් තුළ දරුවන් ගැන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා සතර බඹ විහරණ පිහිටන බව ඔබ අසා තිබෙනවා නේ ද? සිතන්න ඔන්න දරුවෙක් ලස්සනට සිටී. දුවෙක් යැයි කියමු. හරිම ලස්සන ය. හැඩ වැඩ ය. එයා දිහා තාත්තා හොඳින් බලනවා කියමු. දැන් ඒ තාත්තා තමාගේ දියණියගේ ලස්සන ගැන පුදුම සතුටකට පත් වෙයි. එහි ඉරිසියාවක් නැත. රාගික කාමුක දැක්මක් නැත. අන්න ඒ සතුටු වීම මුදිතාවයි. ඒ වගේ ම දරුවන් ඉගෙන ගනිද්දී, දක්ෂතා පෙන්වද්දී, ධනවත් වෙද්දී, දියුණු වෙද්දී දෙමාපියන්ට සතුටක් ඇති වේ. ඒවා කඩාකප්පල් කරන චේතනාවක් හෝ කඩා වඩා ගැනීමක් ඒ සතුට තුළ නැත. එය මුදිතාවයි. ‘මේ ළමයි මේ සැපයෙන් නොපිරිහේවා’ යැයි සිතයි. ‘මේ සතුට නැති නොවේවා’ යැයි සිතයි. මෙය මුදිතාවයි. යහපත් දෙමාපියන් තුළ මෙවැනි උතුම් මුදිතාව පිහිටන නිසා සඟ ගුණවල තිබෙන ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය ගුණ දෙමාපියන්ටත් ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මිහිපිට බ්‍රහ්මයෝ යැයි වදාළ සේක. හේතුව රාගයක් නැතිව දරුවන්ගේ ලස්සන බලලා සතුටු වීම ය. හූල්ලන්නැතිව, කඩාකප්පල් කරන අදහස නැතිව දියුණුව දැකලා සතුටු වන ගතිය ය. මෙය මුදිතාවේ ආනුභාවය යි. ඒ ගෙවල්වල සතුට රඳියි. සැනසීම රඳියි.
උඩක සිට පහළ බලන ලෙස දෙමාපියන් දරුවන් දෙස බලන කොට මුදිතාව හටගනියි. රාගය ආදී කෙලෙස් හටනොගනියි. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කාන්තාවන් දෙස දියණිවරු, නැගණිවරු යන කල්පනාවෙන් බලන්න වදාළේ. හැකිනම් බිම සිට උඩ බලන ලෙස, අම්මා, ලොකු අම්මා ආදි ලෙස ගෞරවයෙන් බලන විට කෙලෙස් හටනොගනියි. සමානව බලන විට කෙලෙස් හටගනියි. කෙසේ නමුත් මේ උතුම් බඹ විහරණ ගිනිගන්නා සිත් සිසිල් කොට නිවා සනසවනු ඇත.
මුදිතාව වඩන්න ආස කෙනා මේ අයුරින් තමාට ඉතා ප්‍රියමනාප, ආදරණීය අයගේ සැපය දියුණුව කැමති බව හිතවත් හැම කෙනාට ම පතුරවයි. ‘එයාලා සතුටින් සිටිත්වා, දියුණු වේවා, ලැබූ සම්පතින් නොපිරිහේවා’ කියලා සිතයි. ‘එයාලා ලස්සන වෙලා ඉන්නේ සංසාරේ පින් කරපු නිසා. එයාලා දියුණු වෙන්නේ පින් කරලා. ඒකයි ලැබෙන්නේ. එයාලට ඉගෙනගන්න පුළුවන් පින් කරපු නිසා.’ මේ ආදී වශයෙන් ‘සැපයක් ලැබෙන්නේ පින නිසා’ කියලා බුද්ධ වචනය විශ්වාස කරයි. ධර්මය සිහි කර කර මුදිතාව වඩයි. සතුට ම එයි. එය රාගික ආස්වාදයක් නොවෙයි. එය බ්‍රහ්ම විහරණයයි ‘හිතවත් අයගේ සැපය නම් නැති නොවේවා’ කියන සිතිවිල්ල, ඒ සැපය දැක සතුටු වීම මුදිතාවයි. මෙයින් සිදුවන්නේ ඉරිසියා මසුරුකම් නිසා ඇතිවන අසමඟිය, පීඩාව, සන්තාපය, සතුරු සිත, අසහනය, පීඩනය දුරු වී හිතට ප්‍රීතිය සතුට ඉපදීමයි. ඒත් සමඟ ජීවිතයේ අවුල් වියවුල් ලිහෙන්න පටන් ගනියි.
මීළඟට මැදහත් අයට මුදිතා සිත යොමු කළ යුතුයි. මේ භාවනාව පුරුදු කළ විට අවසානෙට සතුරා දෙස පවා මුදිතා සිතින් බලන්න පුළුවන් වෙයි. තමන්ට සතුරුකම් කරන කෙනාට පවා ලස්සන හැඩරුව ලැබුණේ ඔහු සසරේ පින් කරපු නිසා බව සිහි කරයි. පිනට ඉරිසියා කරන්නේ කොහොමද? පිනෙන් සැප ලැබෙන දහම ඔහු පිළිගනී. සතුරෝ දියුණු වෙන්නේ, ඒ අයට හරියන්නේ, යාන වාහනවල යන්නේ අපට හතුරුකම් කරන නිසා නොවෙයි. ඒ සැප ලබන්න පින් කරපු නිසා ය. මේ මිනිස්සු යන්නේ එන්නේ කතා බහ කරන්නේ පිනක් නිසා ය. අඳ ගොලු බිහිරි අබ්බගාත නොවී ඉන්නේ පිනක් නිසා ය. ඇයි ඒකට ඉරිසියා කරන්නේ…? ඇද කුද හොයන්නේ ඉරිසියාව නිසා ය. ඉරිසියාව නැති කෙනෙක් ඇද කුද හොයන්නේ කෙසේ ද?
ඉරිසියාව නැති කෙනාට පුංචි හොඳක් උලුප්පලා ලොකුවට හිතලා එයා ගැන සතුටු වෙන්නට පුළුවන. මැණික් ගරනවා වගේ ය. බොරලු ගොඩක් මැද එකම මැණිකෙන් සතුටු වෙයි. සිත දූෂණය කරගන්නේ නැතිව ඉන්න මුදිතාව තියෙන කෙනාට පුළුවන. මුදිතාව නැති ඉරිසියාකාරයා දහසක් ගුණ මැද එක වැරැද්ද උලුප්පා ඇද කුද කියමින් තමාගේ හිතම දූෂණය කරගනියි. අනුන්ටත් ගන්ධස්සාරය වහනය කරයි. මනාව සුවඳ කොට මල් ගවසා ඇති කොණ්ඩය දෙස බලා අයෙක් සතුටු වෙද්දී, වඳුරා ඒ කොණ්ඩේ අතරින් උකුණන් ම සොයන ලෙස ඉරිසියා මසුරුකමින් දූෂිත සිත් ඇත්තා අඩුපාඩු ම හොයත්.
ඒ ගුණමකුකමයි. අවසානයේ කුමක්ද ඉතිරි…? පීඩාවයි. අසහනයයි. කරදර කම්කටොලු දුක අවාසනාව ඔහුව වැළඳ ගනී. කුමට අන් අයට ඉරිසියා කරන්නේ ද? මේවා තේරුම්ගෙන මුදිතාව නමැති මහා ඖෂධය වැළඳිය යුතු ම වෙයි.
‘මිනිසත් බව දුර්ලභයි. පිනක විපාකයක්.’ එය විශ්වාස කරන කෙනා මොන ආගමේ මොන ජාතියේ මොන රටක උපන්නත් මනුස්සත්වයට ගරු කරයි. ‘අපේ සනුහරේ වැඩි වේවා උන්ගේ එපා.’ කියා සිතීම ඉරිසියා මසුරුකම නොවේදැයි විමසා බැලිය යුතුයි. සක්දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව අනුව අවසානෙට අසමඟියයි, සතුරුකමයි, පීඩාවයි, අසහනයයි ඉතිරිවෙයි. කටින් මෛත්‍රිය ගැන කතා කරයි. හිත ඉරිසියා මසුරුකමින් පෙළෙයි. පන්සල් වෙහෙර විහාර හැදෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පින් බලයට ය. සැදැහැවතුන් පින් කරන්ට යොමු වීමෙනි. අන්න ඒ වගේ වෙනත් ආගමික ස්ථාන, ඒ ඒ අයගේ පිනට හා ඒ අයගේ භක්ති විශ්වාස නිසා ඉදිවෙයි. ඒ ඉදිරියේ ඉරිසියා කළොත් පීඩාවම ඉතිරි වේ. ඒවා හැදෙන එක නතර නොවේ. මුදිතාව නැති උනොත් ඉරිසියාව ගොඩ ගැසේ. ඉරිසියා කරන්නා සුගතියේ උපදින්නේ නැත. ඒ නිසා ඒ හැම දෙයක් ගැනම සතුටුවන හිතක් තිබුණොත් මුදිතාවේ ආනුභාවයෙන් ඔබට පුදුමකාර සැනසිල්ලක්, සහනයක් ලැබෙනවා නියතයි. මෙයින් ඇතිවන ප්‍රීතිය නිසා එය බොජ්ඣංග ධර්මවලට සමීප බැවින් බොහෝ රෝගාබාධ නැති වී ඔබ නිරෝගිී වෙයි. දුකින් සිටින අයට රෝගාබාධයෝ වැඩි ය. ඒ නිසා ඉරිසියා කරන්න එපා. මුදිතාව වඩන්න.
අනුන්ගේ සැපයට සතුටු වූ මුදිතාවෙන් සිටි පිනැත්තෝ ධ්‍යාන භාවනා නොකළත් කය බිඳී මරණින් මත්තේ නිම්මාණරතී දෙව්ලොව උපත ලබයි. එය සුළුපටු දියුණුවක් නොවේ. ඉරිසියා කිරීමෙන් දුක් පීඩා ම ලැබේ. මුදිතාවෙන් සැනසීම ම ලැබේ. එබැවින් මේ දහම තේරුම් ගෙන අප කවුරුත් ඉරිසියා මසුරුකම් දුරු කිරීමටත්, අන් අයගේ සැපය දැක සතුටු වීමටත් පුහුණු විය යුතුය. මෙය අදටත් හෙටටත් අපගේ ආධ්‍යාත්මික සුවයට මෙන්ම සුගතියේ උපත පිණිසත් හේතුවන ප්‍රබල කරුණකි.
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ.
Recent Comments