සැලසුම් කළත්, නොකළත් හැම කෙනෙකුට ම හැම දවසක ම ඉටු කරගන්න නියමිත යමක් තිබෙනවා. ඇතැම් උදවිය එයට ඇප කැප වෙන්නේ බොහෝ දුරදිග සිතා බලමින්, උපායශීලී වෙමින් සහ ක්‍රමවේදයකට අනුව යමින්. ඒත් සමහර උදවියට මේ දේවල් ගැන එතරම් වැටහීමක් නැහැ. පුරුදු විදිහට පුරුදු කටයුත්තෙම යෙදෙමින් දවස ගෙවා දමන අතරේ අත්දකින්න සිදු වන යම් යම් දේවලින් ඔවුන්ගේ ජීවිත යම් යම් අයුරින් වෙනස් වෙන එකයි සිද්ධ වෙන්නේ. හැබැයි, මේ දෙපිරිස ම කිසිම භේදයක් නැතිව ජීවිතේ විඩාවට මුහුණ දෙනවා…
ජීවිතය ම නොසන්සුන්…
පෙරපාසල් යන සිඟිත්තාගේ පටන් ජීවිතයේ අග සිටින මහල්ලන් දක්වා ම පෙළගැසෙන හැම ජීවිතයක ම විඩාව නොඅඩුව තිබෙනවා. ඒ නිසා ම ඒ උදවිය හරිම නොඉවසිලිමත්. ඒ මුහුණුවල සැහැල්ලුව, සතුට, ප්රබෝධය පිළිඹිබු වන්නේ බොහොම අඩුවෙන්. දුව දුවා ගෙවා දමන ජීවිත සහිත ව සමාජයේ සැරිසරන ඔවුන්ව වෙලා ගත්තු නොසන්සිඳුන ස්වභාවයන් නිතර නිතර ප්‍රකට වෙනවා.
බැංකු කාඩ්පතකින් මුදල් ගන්න ඒ. ටී. එම්. යන්ත්‍රයක් ගාව පෝලිමේ ඉද්දි, ඉදිරියෙන් ම හිටපු වයසක අම්මා එයින් මුදල් ගන්න සැලකිය යුතු වෙලාවක් ගත කරද්දි පිටුපසින් ඉන්න අය කොච්චර නොසන්සුන් වෙනව ද…
ඩිස්පෙන්සරියකින් බෙහෙත් ගන්න පෝලිමේ ඉද්දි ඖෂධවේදියා සුළු මොහොතකට තමන්ගේ කාර්යය නතර කළොත් – ඔහු වතුර බොන්න වෙලාව වෙන් කළොත්…, පිරිස තුළ ඇති වෙන්නේ මොන වගේ හැඟීම් ද…
විනාඩි එක හමාරක් මාර්ග සංඥා ආලෝකයේ රතු පාට ඉස්සරහා නතර වෙලා, කොළ පාට වැටෙනකල් බලන් ඉඳලා වාහනය ඉදිරියට ගන්න යද්දි තමන්ට ඉදිරියෙන් තිබුණු වාහනය සෙලවෙන්නේවත් නැතිව එතැන ම තිබුණොත් ඔබට වුණත් මොනවා හිතෙයි ද…
ආස පාට වැටිලා නැද්ද…?
අර ඒ. ටී. එම්. එකෙන් මුදල් ගන්න බැරි අම්මා දැකලා, ඔබට වන ප්‍රමාදය ගැන නොකැමැත්තෙන්, ‘බැරි දේවල් නොකර ඉන්න ඕන’ කියලා හිතන එක ලේසියි. හැබැයි, ඒ වයසෙදිත් කොහොමහරි නවීන ක්රමෝපායන් සමඟ මුහු වෙලා තමන්ගේ කටයුතු තමන් ම ඉටු කරගන්න එක ගැන සතුටු වීම අමාරුයි.
අර ඖෂධවේදියා තමන්ගේ රාජකාරිය නතර කරලා වතුර බොන්න කාලය ගන්න එක ගැන තරහ ගැනීම ලේසියි. හැබැයි, රෝගීන් සියදහස් ගණනකට බෙහෙත් දිදී, ඒ සම්බන්ධ උපදෙස් ද දිදී කටයුතු කරද්දි තමාගේ කායික මානසික සුවතාවය පිණිස වූ සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුගමනය කිරීමේ වරදක් නැති බව දැකීම අමාරුයි.
අර කලර් ලයිට් එකේ නතර වුණු වාහනය කොළ පාට වැටිලා තියෙද්දිත් හෙලවෙන්නෙවත් නැති වුණා ම, එකදිගට හෝන් එක ඔබාගෙන ‘ආස පාට තවම වැටිලා නැද්ද යන්න?’ කියලා අහන එක ලේසියි. කාර්මික දෝෂයකින් නතර වුණු ඒ වාහනය පණ ගන්වන්න උදව් වුවමනා මොහොත එළඹ තිබෙන බව තේරුම් ගන්න අමාරුයි…
ලේසි දෙයින් අමාරුවේ නොවැටෙන්නට…
ලේසි දේ කරන්න ලේසියෙන් නැඹුරු වෙන, අමාරු දේ කරන්න වෑයම් නොකරන ඔන්න ඔය ස්වභාවය තුළ තමයි අපේ ජීවිතවල නොසන්සිඳෙන කලබලයක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ නොසන්සිඳෙන කලබලයෙන් සිද්ධ වෙන්නේ අපේ විවේකය, අපේ සැහැල්ලුව, අපේ ප්රබෝධය අපට අහිමි වෙන එක විතර ම යි…
එහෙම ගෙවී යන ජීවිතයකට මෙන්න මෙහෙම දෙයක් යම් දවසක අහන්න ලැබෙනවා. ඒ තමයි, ‘සැප විඳින්නට තමන් කැමති බව දකින්න. තමන් වගේ ම අන් අයත් සැප විඳින්නට කැමති බව දකින්න. මේ විදිහට තමා ව උපමා කරගෙන අන් අය ව දකිමින් සියලු ලෝක සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරුවන්න.’ කියන අවවාදය. ඔන්න ඒ කෙනා නිතර නිතර මේ කාරණය සිහි කරන්න පටන් ගන්නවා. යම් දෙයක් නිතර නිතර සිහි කරද්දී ඒක ම මනසිකාර වන ස්වභාවය අපේ හිත්වල තියෙනවා. ඉතින්, නිතර මෛත්‍රිය සිහි කරන කෙනෙකුට අර මුලින් කියපු කිසිම පෝලිමක දී නොසන්සුන් බවක් නම් ඇති වෙන්න ඉඩක් නැහැ… ආවේගයෙන්, කලබලයෙන්, නොඉවසිලිමත් බවින් ගිනියම් වුණු හිත් සියදහස් ගණනක් අතරේ ඒ එක ම එක හිත නිවිලා, සන්සිඳිලා…!
ඇත්ත සිහි නොකළොත්…?
ලෝකයා බොහෝසෙයින් කලබල වන මේ තැන් ඇත්තට ම කිසිසේත් ම කලබල විය යුතු තැන් නෙමෙයි. වෙන කෙනෙකුගේ ප්‍රමාදයට, වෙන කෙනෙකුගේ අතපසු වීමකට, වෙන කෙනෙකුගේ දෝෂයකට අපේ හිත් කලබල කරගන්න එක අනුවණකමක්. මගේ මගේ කියලා ගන්න ඇහැට පවා අපි අකමැති රූප පෙනෙනවා නම් අනුන් කරන කියන කටයුතු අපේ කැමැත්ත පරිදි ම විය යුතුයි කියලා හිතන එක, පතන එක ගැළපෙන්නේ නෑ.
බඹයක් පමණ වූ මේ ශරීරයත් – බාහිරත් යන සියල්ල ම අයිති වන්නේ අපේ වසඟයේ පැවැත්විය නොහැකි දේවලටයි. ඒ ඇත්ත නිතර සිහි නොකරන නිසයි අපි පාරෙතොටේ පවා බොහෝ ම කලබල වෙන්නේ.
සන්සිඳීමට මග
ජීවිතයේ ඇත්ත පෙන්වලා දෙන තථාගත ශ්‍රී සද්ධර්මයේ ප්‍රණීතතර භාවය බලන්න. සම්බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ කෙලෙස් තවන වීරියෙන් යුතුව, කෙලෙස් නසන නුවණින් යුතුව, සිහියෙන් යුතුව ධර්ම මාර්ගය වඩන ආකාරය ගැනයි. ඒ මාර්ගය තුළ ආවේග සන්සිඳී යනවා. යථාවබෝධය උපදිනවා. මගේ කියා දෘෂ්ටිගත වන්නට දෙයක් නැති බව දකින කෙනෙක් මොන දෙයක් ගැන සෙසු ලෝකයා සමඟ වාදවිවාද, කලකෝලාහල කරන්න ද? ලෝකයා හා හිඳිමින් ම ඔවුන් ලෝකයෙන් වෙන් වෙනවා. මොනතරම් අසිරියක් ද…!
කලබලකාරී බව නිසා අපේ ජීවිතවල විඩාව බොහෝසෙයින් වැඩි වෙලා කියන කාරණය මුලින් ම තේරුම් ගන්න. ඒ කලබලයට, ඒ අසීමිත විඩාවට අකමැති වෙන්න. සන්සිඳුනු ජීවිතයක සුවපහසු බවට කැමති වෙන්න. ඒ කැමැත්ත බලවත් කරගනිමින් මේ ධර්ම මාර්ගය දියුණු කරන්න.
මිස්සක පව්වේ දහම් සන්දේශය
සොලොස් මහජනපද ඒකඡත්‍ර කොට මහා අධිරාජ්‍යයක් ගොඩනැගූ ධර්මාශෝක නරනිඳුගේ කිරුළ හිමි වුණු මහින්ද කුමරු විසි අවුරුදු වයසැතිව හිඳිද්දී පැවිදි භූමියට පත් වුණා.
පැවිද්ද පිණිස කෙස්රැවුල් සිඳ දැමූ කරගෙයි දී ම උතුම් රහතන් වහන්සේනමක් බවටත් පත් වුණා. සම්බුදුරජුන්ගේ දහම තුළ පරිපූර්ණ සන්සිඳීමට පත් වූ ඒ මහා මහින්ද මහරහතන් වහන්සේ සන්සිඳීමට මග කියන දහම් සන්දේශය රැගෙන ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන්පොහොය දවසේ ලක්දිවට වැඩම කොට වදාළා. උන්වහන්සේ වැඩම කළ මිස්සක පව්වෙන් නැගී පැතිර විහිද ගිය සත්‍යයේ සිහනදිනුයි ලක්දිව මිසදිටු බැහැර වුණේ…
සන්සිඳීමට යොමු වුණ ‘මිහිඳු මාවත’
අරලිය ගසින් සුසැදි පියගැටපෙළ තරණය කරමින් මිස්සක පව්ව වෙත පියනගන ඔබට අදටත් ඒ මගට ආසන්න ව සංරක්ෂණය කොට තිබෙන කටාරම් සහිත ලෙන් සංකීර්ණය දැකගන්නට පුළුවනි. අපගේ අනුබුදුරජාණන් වහන්සේ ප්රමුඛ හැටඅටක් වූ රහතන් වහන්සේලා ලක්දිව ගෙවූ පළමු වස් කාලයේ දී වැඩවාසය කළ පින්බිම තමයි ඒ…
පියගැට පෙළෙහි ගමන් මග අවසන ප්‍රෞඪ ඉතිහාසයක ජීවමාන සාධක බවට පත් වුණු ගල් කණු පිරිවරාගෙන සුදුපැහැයෙන් බබළන සේල සෑ රජුන් වැඩවෙසෙනවා. බුදු සිරිපා පහස ලත් ඒ සෑ භූමියට නුදුරේ ම යි අනුරාධපුර උඩමළුවේ වැඩවෙසෙන විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූර්ව දිශාවේ වූ ශාඛාවේ ඵලයකින් හට ගත් අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේලා අතර දැනට ජීවමාන ව වැඩවෙසෙන සුවිශාල ම බෝධීන් වහන්සේ වැඩ වෙසෙන්නේ.
එතැනින් තවත් ඉහළට ගමන් කරමින් පියගැටපෙළක් නැගගෙන සුදෝසුදු මිහින්තලා සෑ රජුන් සමීපයට එළඹෙන්නට පුළුවන්. පාරමී ධර්මයන් පූරණය කරමින් පැමිණි සසර ගමනේ සත්‍යවාදී බව පාරමිතාවක් කොට පිරූ අපගේ ශාස්තෘන් වහන්සේගේ ඒ සත්‍යවාදී බවට සාක්ෂිය වෙමින් සම්බුදු නළල් තලයේ දක්ෂිණාවර්තව වැඩ විසූ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ අෂ්ටවංක මාණික්‍යරත්නය තුළ නිධාපිත ව වැඩ වෙසෙන්නේ ඒ සෑ ගර්භයේ… එයට නුදුරින්, මඳක් පහළින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිධාපිත මිහිඳු මහ සෑ රජුන් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතිනවා. සම්බුදුරජුනුත්, අනුබුදුරජුනුත්, මහ බෝ රජුනුත් වැඩවෙසෙන – බුදු සිරිපා පහස ලද අන් තැනක් කොහේ ද…! එන්න…, පුළුවන් නම් මේ පාරෙන් මිහින්තලයට එන්න. එහෙම එන්න පුළුවන්කමක් නැතත්…, සම්බුදුරජුන් අපට පෙන්වා වදහළ – අනුබුදුරජුන් අපට තිළිණ කළ දහම් මාවතෙන්, ‘සන්සිඳීම’ වෙත එන්න…!
සටහන – උදුලා පද්මාවතී
Recent Comments