මඳ මුදු සුළඟේ සිසිලසින් ගතට දැනෙන්නේ පුදුමාකාර සුවයක්. ඒ සුළං රැලි වෙසක් කාලයට ආවේණික වූ සෞම්‍ය භාවයේ පණිවිඩයත් අරගෙනයි හමා එන්නේ. අන් කාලයක දී වුණත් මෙවැනි මඳ මුදු සුළඟක් ගත දැවටෙද්දී ‘වෙසක් කාලේ වගේ’ කියා අපට නිරායාසයෙන් ම සිතෙන්නේ ඒ නිසයි…

මීට අවුරුදු 2612කට කලින් එළඹුණු වෙසක් මාසයේ පුන් පෝ සඳ අහසට නැගුන පින්බර දවසේ තිස්පස් අවුරුදු වයසැති ඇසතු බෝධීන් වහන්සේගේ සෙවණේ පනවා ගත් අසුනේ, තිස්පස් අවුරුදු වයසැති අප මහා බෝසතාණන් වහන්සේ පෙරදිගට මුහුණලා අසුන් ගත්තා. නේරංජරා නදිය පිසගෙන හමා ආ සිසිල් සුළං රැලි බෝසතාණන් වහන්සේගේ සිරුරේ දැවටුනා. එවෙලෙහි බෝසතාණන් වහන්සේ පවිටු මරුට මෙසේ පැවසුවා.

“මගේ සිරුර පිසදාගෙන හමන මේ සුළඟට අර ගලා බසින දිය පහර වියළවා හරින්නට පුළුවනි. එසේ මාත් දිවි පුදමින් වෙර වඩන විට ලේ පිත් සෙම් මස් වියළී යද්දී මසිත පහන් වෙයි. සිහිනුවණ ද සමාධිය ද වැඩෙයි. මසිත කාමය නොපතයි.”

(පධාන සූත්‍රය – සුත්ත නිපාතය, ඛු. නි.)

ඒ අපගේ මහා පුරුෂෝත්තමයන් වහන්සේ වෙසක් සඳ පහන යට දස මරුන් පරදවා සම්මා සම්බුදු බවට පැමිණ වදාළා. ස්වයංභූ ඤාණයෙන් ලොව අවබෝධ කළ සියල්ල අවබෝධ කළ උන්වහන්සේ මහා ප්‍රඥාවකින් යුතු වුණා. ඉතා පුළුල් ප්‍රඥාවකින් යුතු වුණා. සතුට උපදවන ප්‍රඥාවකින් යුතු වුණා.

ප්‍රඥාව සෑමවිට ම නුවණැති සත්පුරුෂයන් විසින් පසසනු ලබනවා. කෙලෙස් නැසීම තමයි ප්‍රඥාවේ ස්වභාවය. ප්‍රඥාව තමයි කෙලෙස් නසන ආයුධය. නිවන් මගට මුල්වන ඍජු දැක්ම උපදින්නේ ප්‍රඥාවෙන්. සේඛ බලධර්මයක් වන ඒ ප්‍රඥාව ම යි මනුෂ්‍යයන්ගේ මහා මාණික්‍යය වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූ ඒ යුගයේ මිනිසුන් තුළ තියුණු, ගැඹුරු, වහා වැටහෙනසුලු ප්‍රඥාවක් තිබුණා. ප්‍රඥාවෙන් කළ යුතු වූ කාර්යය ඔවුන් මැනැවින් සම්පූර්ණ කරලා පැණවත් මිනිසුන්ගේ අසිරිමත් යුගයක් මිහිතලයේ ජීවමාන කළා.

ඒ අතීත යුගයට වඩා මේ යුගයේ මිනිසුන්ගේ ප්‍රඥාව අඩුයි. ආයුෂ පිරිහී යනකොට කුසල් – අකුසල් වෙන් කරගන්න තියෙන හැකියාව අඩු වෙවී යනවා. ධර්මයේ අර්ථය ගළපා ගන්න තියෙන හැකියාවත් අඩු වෙලා යනවා. ඒ විදිහට ප්‍රඥාව දුර්වල වෙවී යද්දි ප්‍රඥාවන්තයින්ගේ කටයුතු සම්පූර්ණ වන ක්ෂේමභූමිය බඳු වූ සම්බුද්ධ ශාසනයේ මග ඵල නිවන් අවබෝධයත් අඩු වෙවී යනවා.

දෙව්මිනිසුනගේ යහපත කැමැති, කල්‍යාණ ගුණ ශෝභා ඇති සංඝයා වහන්සේලා පිරිසිදු බුද්ධ වචනය ම ප්‍රකට කරමින් ධර්මයේ අරුත් පිරිසිදු ව වර නගන්නට කොපමණ වැරවෑයම් කරනවා වුණත් ඒ අර්ථය බොහෝ අයට වැටහෙන්නේ නැත්තේ ප්‍රඥාවේ තිබෙන දුර්වලකම් නිසයි. ‘දුර්වල වූ ප්‍රඥාවක් ඇති බව’ කියන අඩුපාඩුවට ගරහලා, ‘කොච්චර බණ කිවුවත් වැඩක් නැහැ, කොච්චර බණ ඇහුවත් වැඩත් නැහැ’ කියලා ධර්මයටත්, ධර්මය කියා දෙන උතුමන්ටත් ගරහලා මේ ස්වභාවය ඉක්මවා යන්නටත් බැහැ. එහෙම නම් අපි මොකක්ද කරන්න ඕන…?

ප්‍රඥාව දුර්වල නම්, ඒ දුර්වලකම ඉක්මවා යන්න තිබෙන්නේ ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් යුතුව පින් දහම් කිරීමෙනුයි. සම්පූර්ණයෙන් කෙලෙස් නොහැදෙන ස්වභාවයට පත් වන්නට ශ්‍රද්ධාවෙන්, වීරියෙන් සිදු කරන පින්කම් කොතරම් උපකාරක වනවා ද කියන කරුණ ගැන සුන්දර පැන විසඳුමක් අපට මිළිඳුරාජ ප්‍රශ්නයේ දී මුණගැසෙනවා.

අහසින් යන ඍද්ධි ඇති යම් පුරුෂයෙකුට අඹ රුකක් මුදුනේ ඇති මදුර වූ අඹ ඵලය අහසින් ම පැමිණ බොහොම පහසුවෙන් රැගෙන යන්නට පුළුවනි. එවැනි ඍද්ධියක් නැති උදවිය අඹ ඵල නෙළන්නට නම් වනයට ගිහින්, වෙහෙස වෙලා ලී දඬු කපලා, වැල් කපලා හිණිමඟක් බැඳලා, එහි ආධාරයෙන් අඹ ගසට නැග ගන්නට ඕනි. ඒ විදිහ ම තමයි, ලොව්තුරු වාසනා ඇති උදවිය සැණෙකින් ධර්මය අවබෝධ කරනවා. අමා ඵලය නෙලා ගන්නවා. එහෙත්, කෙලෙස් කසට බහුල උදවිය පින්දහම් කියන ප්‍රයෝග උපක්‍රමයන්ගේ උපකාරයෙනුයි ධර්මාවබෝධය උපදවා ගත යුත්තේ. ඒක හරියට වෙහෙස මහන්සි වෙලා හිණිමඟ හදාගන්නවා වගෙයි. ප්‍රඥාව දුර්වල තැනට පිළියම තමයි ඒ…

මේ මඳ මුදු වෙසක් සුළඟ අපට ගෙන එන ඒ සොඳුරු පණිවිඩයට අපි සංවේදී වෙමු. ජීවිතය ගියත් ඔබ ශ්‍රද්ධාව බැහැර කරලන්නට එපා. අපගේ ශාස්තෘන් වහන්සේගේ අවබෝධය ඒකාන්ත සත්‍යයක් ම යි! ඒ නිදුකාණන් වහන්සේ වදහළ නිවන්මගේ පිහිටමින් අමා නිවන වෙත පියනගන්නට උපකාරක වන ශ්‍රද්ධාවත්, වීර්යයත්, පුණ්‍ය සම්පත්තියත් දියුණු කරන කැමැත්ත අප කා තුළත් බලවත් වේවා!

තෙරුවන් සරණයි!