මේ ජීවිතයේ දී අප හට ලැබිච්ච වටිනාම දේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය. මේ ධර්මය ඇසෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ධර්මයට අනුකූලව අපේ සිත හසුරුවනවා නම් අපට පුළුවන් මහා දුකක් උරුම කරගත්ත මේ අති භයානක සංසාරයෙන් නිදහස් වෙන්න.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට පෙන්වා වදාළ, අකුසල් දුරු කරන ආකාරයත්, ඒ වගේ ම කුසල් දියුණු කරන ආකාරයත්, ඒ වගේ ම මේ සිත නිකෙලෙස් කරගන්නා ආකාරය ගැනත් මේ සෑම දෙයක්ම අසන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් පමණයි.

බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ මනුස්සයාගේ සිත කෙලෙසා දමන අකුසල් තුනක් තියෙනවා. පළමුවෙනි එක තමයි රාගය. රාගයට පුළුවන් මේ සිත සම්පූර්ණයෙන් වෙනස් කරන්න. රාගයට යටවෙච්ච කෙනා ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ කෙනා විකෘති මනුෂ්‍යයෙක්. ඒ වගේ ම අපේ සිත කෙලෙසා දමන්න පුළුවන් ද්වේෂයට. ද්වේෂය සිතේ පිහිටියාට පස්සේ විකෘති මනුෂ්‍යයෙක් ඒ ද්වේෂය තුළින් බිහි වෙනවා. ඒ වගේ ම අපේ සිත කෙලෙසා දමනවා, මෝහය තුළින්. මෝහයට මේ සිත යට උනාට පස්සේ හොඳ නරක තේරුම් බේරුම් කර ගන්න බැරි අමුතු මනුස්සයෙක් තමයි ඉන්නේ.

බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැක වදාළා මේ රාග ද්වේෂ මෝහ කියන අකුසල් නිසා මේ සත්වයාගේ සිත අපිරිසිදු වෙන ආකාරය. ඒ වගේ ම මේ අකුසල්වලින් සිත අපිරිසිදු වුණාට පස්සේ ඒ කෙනාගේ වචනත් අපිරිසිදු වෙනවා. කයත් අපිරිසිදු වෙනවා. අපිරිසිදු වූ සිතින්, අපිරිසිදු වූ වචනයෙන්, අපිරිසිදු වූ කයින් ක්‍රියා කරන කෙනා දුගතියේ උපතක් කරා යනවා. ජීවිතයට තියෙන මේ අනතුර නියමාකාරයෙන්ම අවබෝධ කරගත්තේ බුදුරජාණන් වහන්සේ.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ හුදෙක් කුසල් දියුණු කිරීම නොවෙයි; අකුසල් යටපත් කරලා කුසල් දියුණු කිරීම යි. ඒ බුදු සමිඳුන් ප්‍රශංසා කළේ රාගය නමැති අකුසලය යටපත් කරලා විරාගය නමැති කුසලය දියුණු කිරීම යි, ද්වේෂය නමැති අකුසලය යටපත් කරලා මෛත්‍රිය කරුණාව ආදිය දියුණු කරගැනීම යි, මෝහය කියන අකුසලය යටපත් කරල ප්‍රඥාව උපදවා ගැනීම යි. උන්වහන්සේ වදාළා ඒ තුළින් සත්වයන් පිරිසිදු වෙනවා කියලා.

ඊර්ෂ්‍යාව, තරහ, වෛරය, ක්‍රෝධය යන ළාමක අකුසල ධර්මයන් දුරු කරලා මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා ආදී උතුම් ගුණධර්ම දියුණු කරගන්නා ආකාරය උතුම් බුද්ධ දේශනා තුළින් ඉගෙන ගත යුතුයි.

තමන් වහන්සේ තුළින් ම උපදවා ගත් විශිෂ්ට ඥානයකින් යුතුව ජීවිතය පිළිබඳ පරම සත්‍යය අවබෝධ කරගත් තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් පමණයි, මිනිසාට සැබෑම ශාන්තිය උදාකර ගන්න පුළුවන් වෙන්නේ. මනුෂ්‍ය සන්තානය දුක් ගින්නෙන් දවාලන, ශෝකයෙන් තවාලන, වෛරයේ ක්‍රෝධයේ ආදීනව බුදු සමිඳාණෝ නොයෙක් ආකාරයෙන් වදාළා.

“ද්වේෂයෙන් දුෂ්ඨ වූ පුද්ගලයෙක් ද්වේෂය නිසා ඇති වෙන ප්‍රශ්න වලින් තමාවත් පෙළීමට සිතනවා. අනුන්වත් පෙළීමට සිතනවා.

දෙපස ම පෙළීමට සිතනවා. ද්වේෂය ප්‍රහීණ වෙලා ගියොත් තමාව පෙළන්ට සිතන්නෙත් නෑ. අනුන්ව පෙළන්ට සිතන්නෙත් නෑ.

දෙපස ම පෙළන්න සිතන්නෙත් නෑ.”

(රාසිය සූත්‍රය, සං. නි. – 4)

“ක්‍රෝධය විසින් ඔබව යටකර දමන්න නම් එපා! කේන්ති ගිය කෙනෙක් එක්ක කේන්ති ගන්න එපා! ආර්යයන් වහන්සේලා තුළ හැම තිස්සෙම ක්‍රෝධ නොකිරීමත් අහිංසාවත් තියෙනවා. ඒ වුනාට පාපී මිනිසුන්ව ක්‍රෝධය විසින් යටපත් කරන්නෙ පර්වතයකින් යට කරනවා වගේ.”

(අක්කෝධ සූත්‍රය, සං. නි. – 1)

“ක්‍රෝධය පුළුස්සා දැමුවොත් සුවසේ නිදන්න පුළුවනි. ක්‍රෝධය පුළුස්සා දමලයි ශෝක නොකරන්නෙ. විෂ මුල් තියෙන (පළිගැනීම නමැති) මිහිරි අග තියෙන ක්‍රෝධය නැසීම ගැන ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා. ඇත්තෙන්ම ක්‍රෝධය පිළිස්සීමෙන්මයි ශෝක නොකරන්නෙ.”

(ඣත්වා සූත්‍රය, සං. නි. – 1)

මේ අයුරින් අපගේ ගත සිත පෙළන තරහ වෛර ක්‍රෝධ ආදී කෙලෙස් නිවා දමා මෙත් සිසිල ඇතිකර ගැනීම පිණිස බුදු සමිඳුන් අපට මෛත්‍රී භාවනාව උගන්වා වදාළා. මෛත්‍රී භාවනාව වැඩිය යුතු ආකාර දෙකක් මජ්ක්‍ධිම නිකායට අයත් අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ තමයි අප්පමාණ චේතෝ විමුක්තිය හා මහග්ගත චේතෝ විමුක්තිය.

අප්පමාණ චේතෝ විමුක්තිය කියන්නේ එක් දිශාවකින් ආරම්භකොට පිළිවෙළින් සියලු දිශාවලට මෙත් සිත පැතිරවීමයි. එනම්, උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහ නැත්තෝ වෙත්වා! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුවසේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා! යන මේ ආකාරයට උතුරු අනු දිශාවේ, නැගෙනහිර හා නැගෙනහිර අනුදිශාවේ, දකුණු හා දකුණු අනුදිශාවේ, බටහිර හා බටහිර අනුදිශාවේ, උඩ යට ආදී සියලු දිසාවන්හි සිටින සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ ලෙස මෙත් සිත පැතිරවීමටයි අප්‍රමාණ චේතෝ විමුක්තිය කියා කියන්නේ.

මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ තමන් සිටින තැන සිට පුළුල් කරමින් ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීමයි. එහිදී පළමුව තමන්ගෙන් පටන් ගත යුතුයි. එනම්, “මම වෛර නැත්තෙක් වෙම්වා! තරහා නැත්තෙක් වෙම්වා! ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා! සුවසේ ජීවත් වෙම්වා! ශාන්ත සුවයට පත් වෙම්වා!” යනුවෙන්. ඉන්පසු පිළිවෙළින් තමා සිටින නිවසේ, ආයතනයේ, ගමේ, නගරයේ, පළාතේ, රටේ, ලෝකේ, අහසේ, පොළොවේ, ජලයේ සිටින සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත පැතිරවිය යුතුයි.

මේ ආකාරයෙන් නිතර නිතර මෙත් සිත වඩන විට පංචනීවරණයන් සංසිඳී යනවා. පංචනීවරණ අතර එකක් තමයි කාමච්ඡන්දය. ඒ කියන්නේ තමන් ආසා කරන රූප, ශබ්ද, ගන්ධ, රස, පහසවලට සිත නිතර නිතර ඇදී යන ගතිය. ඊළඟ එක තමයි ව්‍යාපාදය. තමන් ගැටුණු අරමුණුවලට; එනම් ඇහෙන් දැකපු දේ, කනෙන් අහපු දේ, නාසයෙන් ආඝ්‍රාණය කළ දේ, දිවෙන් රස වින්ද දේ, කයෙන් පහස ලැබූ හැටි කියන මේවා ගැන නිතර නිතර මතක් වෙවී ගැටීමක් ඇති වීම ඒ කියන ස්වභාවයටයි ව්‍යාපාදය කියන්නේ. ඊළඟ එක ථීනමිද්ධය. එනම් මේ සිත දියුණු කර ගන්නට බැරි මට්ටමට තමන් කම්මැලි වීම, නිදිමතට පත් වීම. ඊළඟ එක තමයි උද්ධච්ච කුක්කුච්ච. එනම්, ධර්මයේ හැසිරීම පසෙක තියෙද්දි තමන්ගෙන් සිදු වුණ අත්වැරදීම් ගැන කල්පනා කර කර, තමන්ගෙන් සිදු වුණ අත්වැරදි ගැන සිත සිතා, ඒ වගේ ම ශෝක කර කර සිත විසිරෙන ආකාරයට සිත පැවැත්වීම. ඊළඟ එක තමයි විචිකිච්ඡාව. ‘මේක දියුණු කළොත් හරියයි ද? මේක හරියයි ද? මේක දියුණු කරන්න බැරි වෙයි ද? මට බැරි වෙයි ද?’ කියා සිත සිතා හැමතිස්සෙම පසු බසින, ධර්මය ගැන තියෙන සැකය.

මෙම පංචනීවරණ සංසිඳුවා හටගත් විවේකයෙන් යුතුව තවදුරටත් භාවනා කරගෙන යාමේ දී ඇතිවන ප්‍රීතියෙන් හා සැපයෙන් යුතුව ඇතිවෙන සමාධිය ප්‍රථම ධ්‍යානය යි. මේ ආකාරයෙන් තවදුරටත් භාවනා කරගෙන යන විට දෙවෙනි, තුන්වෙනි ධ්‍යාන දක්වා මෛත්‍රී භාවනාවෙන් සමථය දියුණු කර ගන්නට පුළුවන්. මෛත්‍රී භාවනාව දියුණු කරගෙන මාර්ග ඵල නොලැබූ කෙනෙකු ධ්‍යානයෙන් නොපිරිහී කලුරිය කළහොත් බඹලොව උපත ලබන බව බුදු සමිඳාණෝ මෙත්තානිසංස සූත්‍රයේ දී වදාළා.

මෛත්‍රී භාවනාව මාර්ග ඵල අවබෝධයට උපකාරී නොවන බව ඇතැම් අයගේ අදහසක්. එහෙත්, මනා කොට අසා දැනගෙන, නුවණින් විමසා ඇති කර ගත් ධර්ම ඥානයකින් යුතු වූ ආර්ය ශ්‍රාවකයෙකුට මෛත්‍රී භාවනාව මුල්කරගෙන අනාගාමී ඵලයට පත් වීමට හැකිවන බවත් බුදු සමිඳුන් වදාළා.

යමෙකු වඩන ලද, දියුණු කරන ලද මෛත්‍රී සමාධිය තුළ හටගන්නා යම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, තුවාලයක් වශයෙන්, විපත් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් විමසා විදර්ශනා ප්‍රඥාව ඇති කරගැනීමෙන් ඕරම්භාගිය සංයෝජන ප්‍රහාණය කළ හැකි බවත්, අනාගාමී ඵලයට පැමිණ සුද්ධාවාස බඹලොව උපත ලැබිය හැකි බවත් අංගුත්තර නිකායේ චතුත්ථ පුද්ගල සූත්‍රයේ සඳහන් වෙනවා.

ඉතින් ඔබත් මේ දුර්ලභ ව ලද උතුම් මනුෂ්‍ය ජීවිතයේ සැනසීම ශාන්තිය ලැබීමට කැමති නම් මෛත්‍රිය වඩන්න. ඔබ ඇවිදින විටත්, සිටගෙන සිටින විටත්, වාඩි වී සිටින විටත්, සැතපී සිටින විටත් මෛත්‍රිය වඩන්න. බ්‍රහ්මවිහරණ නාමය ලද ඒ මෛත්‍රිය ඔබ විසින් දියුණු කරගත් විට මහත් සැපයක් ඔබට විඳින්නට පුළුවන්.

අපගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරිදි මෛත්‍රිය ගැනත්, මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිශංස ගැනත් ඊළඟ මහාමේඝ කලාපයෙන් ඉගෙන ගනිමු.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.