“මම කවදහරි මැරෙන්නෙ මනුස්සයෙක් වෙලා” බිලී මාමා කීවේ ය. මට එකවරම සිනා ආවත් ඔහුගේ විශාල දෑස් ගිජුව මා වෙත යොමුව පැවති ආකාරය දැකීමෙන් මගේ සිනහව අතුරුදහන් විය.
“එතකොට දැන්? ” මම වෙනසක් නොපෙන්වා ඇසීමි.
“දවසෙ වේල හොයාගන්න හිඟන්නෙක්” බිලී මාමා පැවසුවේ ළතවීමකින් නොවේ. ඊළඟට ඔහු කිසියම් ගුප්තමය වූ ගැඹුරු කල්පනාවකට වැටුණි.
බිලී මාමා අපේ පවුලට ඉතාමත් උපකාරී ලෙන්ගතු කෙනෙකු විය. ඔහු පමණක් නොව ඔහුගේ පියා ද අපේ පරම්පරාවට විශේෂ ලෙන්ගතුකමකින් සිටි බව මම නොයෙක් වර අපේ වැඩිහිටියන්ගෙන් අසා ඇත්තෙමි. අපේ තාත්තාට අපේ අම්මාව සොයා දී මඟුල් කපුකම කර තිබුණේ ද බිලී මාමා විසිනි. අපේ ආච්චිව සහ සීයාව විවාහ කර දී ඇත්තේ බිලී මාමාගේ පියා විසිනි. අපේ පවුලට විනා අන් කිසිවෙකුටවත් එවැනි කටයුත්තකදී මැදිහත් නොවුන බිලී මාමලාගේ පවුල ගැන විශේෂ හිතවත් බවක් අපේ පවුලේ සියලුදෙනා තුළ ම හැමදාම පැවතුණි.
“මං හිතුවෙ වෙන දෙයක් ” මම බිලී මාමාගේ කල්පනාව බිඳ දමමින් පැවසීමි.
“වෙන දෙයක්.. ඒ මොකක්ද?” බිලී මාමා ඇසුවේ එතරම් උවමනාවකින් නොවේ. එයින් මසිත වූ බිය තවත් අඩුවිය.
“තිරිසනෙක් ය කියල” මම සුරතල් බවින් යුතුව කීවෙමි. සාමාන්‍යයෙන් ගම්මු අතර බිලී මාමා පිළිබඳ පැවති චිත්‍රය හා අදහස එය විය. ඉන් එහා ඔහු ගැන ගුණයක් හොඳක් මා අසා ඇත්තේ අපේ පවුලේ අය වෙතින් පමණි. අපේ පවුලට හැර අන් පවුල් සම්බන්ධයෙන්ද, බිලී මාමාගේ ජීවන රටාව සම්බන්ධයෙන් ද අපේ පවුලේ ද අදහස වූයේ බිලී මාමා යනු තිරිසනෙක් ය කියා ය.
මා නොසිතූ ලෙස ඊළඟ මොහොතේ මගේ ළපටි අතක් බිලී මාමාගේ ගොරහැඬි අතකට සිරවූයේ දඬු අඬුවකට යමක් තදින් සිරවුනාක් මෙනි. වයස අවුරුදු දහයක් පමණ වූ මට ඔහුගේ ග්‍රහණයෙන් නිදහස් වීම කළ නොහැකි දෙයක් වූයෙන් මම වේදනාව ඉවසාගෙන ඔහු දෙස බැලුවේ මාව අත්හරින ලෙස ඉල්ලා සිටින්නාක් මෙනි.
“තමුං කියපු කතාවට මගෙ කේන්තියෙ හැටියට මට ඕනි නම් දැන් තමුන්ව ගඟ මැද්දට විසිකරන්න වුණත් පුළුවන්” බිලී මාමා කීවේ තර්ජනාත්මකව ය. මම ඇත්තටම බිය වීමි. බිලී මාමාට එය පහසුවෙන් කළ හැකි බව මම ඇදහූවෙමි.
“මං ඒක හිතල කියපු දෙයක් නෙවෙයි. ගම්මු කියන එකක්. දන්නවාද අපේ තාත්තාට ලයිසන් තුවක්කුවක් තියෙනවා.”
බිලී මාමා මා දෙස බැලුවේ අවඥාවෙනි. ඔහුගේ කට පළල් ව දෑස් ලොකුව රකුසු ස්වභාවයක් පළ කළේ ය. මගේ අවසාන මොහොත ළංව ඇතැයි සිතූ මම වටපිට බැලුවේ මගේ පිහිටට කිසිවෙකු අසලක ඇත්දැයි දැනගැනීමට ය. අවාසනාවකට කිසිවෙකුත් පේනතෙක් මානයක නැත. තව මොහොතකින් මාව ගිලී යන වැව දෙස බලාගෙන මම දෑස් පියාගත්තේ කෑගැසීමෙන්ද පලක් නොවන බව සිතමිනි.
“ලයිසන් තුවක්කුවට බයේ නෙවෙයි මං තමුන්ව අත් හරින්නේ. මට තමුන්ව මරන්න බැරි නිසා. මං තමුන්ට ආදරේ නිසා.”
මගේ අත නිදහස් විය. එහෙත් සිතේ බිය පහව නොගියේ විය. මම සෙමෙන් දෑස් ඇර බැලුවේ බිලී මාමා පිළිබඳ පූර්ණ විස්වාසයකින් නොවේ. දවස පුරාම මාළු මරන බිලී මාමාට සත්ත්ව ඝාතනය සුළු දෙයකි. මම කතා කළ යුතුව ඇතැයි මට සිතුණි.
“දරුවෙක් හදාගන්න. බිලී මාමා මට ආදරෙයි කිය කිය හැමතිස්සෙම මාව බය කරනවා.” මම කීවේ ඇත්තකි. බිලී මාමාගේ ආදරය මට ඇති කරන්නේ පීඩාවකි. කිසියම් ආක්‍රමණශීලී බවක් ඒ තුළ විය.
“මට ගෑනුත් එපා. ළමයිනුත් එපා.” බිලී මාමා ගත් කටටම කීවේය. එය පැවසූ ආකාරයට මට සිනහව නවතා ගැනීම අපහසු විය.
“ඇයි ඒ. මං දන්නව. ගෑනුන්ට බයයි නේද?” මම ඇසුවේ සතුටිනි. ගමම බයකරගෙන සිටින බිලී මාමා වෙන කිසිවෙකුට හෝ බියෙන් සිටිත් නම් මට එය සතුටට කරුණකි.
“විකාර. බයකට නෙවේ.” මම එය විශ්වාස නොකරන බව හැඟවීමි.
“තමුන් දැනගන්නවා කූඹි දහයකගෙ කරදරේ එක මදුරුවෙකුගෙ තියෙනවා. මදුරුවො දහයකගෙ කරදරේ එක මැස්සෙකුගෙ තියෙනවා. මැස්සො දහයකගෙ කරදරේ එක කැරපොත්තෙකුගෙ තියෙනවා. කැරපොත්තො දහයකගෙ කරදරේ එක මීයෙකුගෙ තියෙනවා. මීයෝ දහයකගෙ කරදරේ එක ගෑනියෙකුගෙ තියෙනවා. ගෑනු දහයකගෙ කරදරේ එක ළමයෙකුගෙ තියෙනවා. ඒකයි”.
බිලී මාමාගේ කතාවට මම උඩ පනිමින් සිනාසෙන්නට වීමි.
“මොකද හිනාවෙන්නෙ. මේ බලනවා මගෙ කිසි හිතක් පපුවක් නැහැ” යි කියූ බිලී මාමා මා දෙස බලා සිටියේ රළු ලෙසිනි. ඊළගට ඔහු දැලෙන් ගලවා වෑකන්දට දමා තිබූ පණ අදින මාළුවන් කීපදෙනෙකුව මාළු වැලට සම්බන්ධ කරන්නට විය. කරමලයෙන් වැල් පොට ඇතුල් කොට මාළුවාගේ කටින් මතු කර ගන්නා බිලී මාමා ඒ කටයුත්ත කරන අකාරය දැක මසිත උපන්නේ බලවත් පිළිකුලකි. එය එතරම්ම කෲර ස්වභාවයක් ගත්තේය.
“පව් පස්සෙන් එනවා”. මම කිව්වා නොව මට කියවිණි. එවර කෝප ගන්නවා වෙනුවට බිලී මාමා කළේ මහ හඬින් සිනාසීම ය. ඔහුගේ මේ නරුම ස්වභාවය මට අතිශයින් ම අප්‍රිය විය. මට අපහසුවක් දැනෙන්නට විය.
“තමුං දැනගන්නවා මං පව්වලට බය මිනිහෙක් නොවෙයි. මට ගමත් එකයි. හිරෙත් එකයි. නිරෙත් එකයි. මේ….” කියූ බිලී මාමා ඇඳ සිටි බැනියම මෑත් කොට පපුවේ කොටා තිබූ මකර කිණිසි පච්චය මට පෙන්වූයේ තම නිර්භීතකම පෙන්නන්නට මෙනි. පච්ච කොටන්නෙ දරුණු මිනිසුන් බව මම දැන සිටියෙමි.
“මට බඩගිනි එන්නයි හදන්නේ. දැන් මට ගෙදර යන්න ඕනෙ” මම බොරුවක් කීවෙමි.
දකුණතින් මාළු වැල එල්ලාගත් බිලී මාමා අනෙක් අතින් මාගේ අතක් අල්ලාගෙන නැගී සිටියේය. මාළු පිළීවලට අකමැත්තෙන් මම අත ගසා දමන්නට උත්සාහ කළෙමි. බිලී මාමා මට රැව්වේය.
“හා යං” බිලී මාමා ඉස්සර විය.
“පිත්ත ගන්නැද්ද?
“තමුංව ඇරලල මං ආයෙ එනවා”
“මට තනියම යන්න පුළුවන්” මම නතරව පැවසීමි.
“කියන දේ කරන එක හොඳයි. මං හොඳ මිනිහෙක් නෙවෙයි.” මම එසේ කළෙමි. මම පාසල ඇරී හැමදාම ගෙදර යන්නේ බිලී මාමා සමඟිනි. අම්මලාට නොතේරුණාට එය මට මහා වදයක් විය.
“තමුං එහෙනම් දොස්තර කෙනෙක් වෙන්නයි යන්නේ” ටික දුරක් ගොස් බිලී මාමා මගෙන් ඇසුවේය.
“ඔව්” මම අකමැත්තෙන් පිළිතුරු දුනිමි.
“දෙකෙන් එකයි කවදාහරි වෙන්නේ” මඳක් කල්පනා කොට බිලී මාමා කීවේය.
“දෙකෙන් එකයි. ඒ මොකද්ද?”
“එක්කො තමුං දොස්තර කෙනෙක් වෙයි. නැත්තම් මං මනුස්සයෙක් වේවි. එච්චරයි”
“අපි යං. මට බඩගිනියි.” මා කීවේ බිලී මාමා නිතර නිතර කියන ඒ කථාව මට නොතේරෙන නිසාවෙනි.
“තමුන්ට මාව තේරෙන්නෙ නෑ”. මගේ සිත දැක මෙන් බිලී මාමා කීවේය. මම පිළිතුරක් නොදුන්නෙමි.
“රන් මැණිකෙ පුතණ්ඩියව ඉක්මනට ගමෙන් පිටමං කරපන්. අවුරුදු විස්ස පිරෙනතුරු මෙයාට මාරක අපලයක් තියෙනවා. ඔන්න අන්තිමට මට වැරදි කියන්න එපා”.
අම්මට මාව භාර දෙමින් බිලී මාමා කීවේ අනාගතය මැනවින් දන්නෙකු මෙනි. වරක් දෙවරක් නොව කිහිප වතාවකදීම මෙකරුණ බිලී මාමා අම්මාට කියූ හෙයින් ඒ පිළිබඳ කතිකාවත් කීපයක් අම්මා සහ තාත්තා අතර සිදුවිය.
කෙසේ වෙතත් මම ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වීමි. මාව කොළඹ උසස් පාසලකට ඇතුළත් කළ තාත්තාද කොළඹට මාරුවක් හදාගෙන අපි කොළඹ පදිංචියට ගියේ ගමේ සියලු දේපල ද විකුණා දමා ය.
මාව ගමෙන් පිටමන් කිරීමට දැඟලුවේ ද බිලී මාමාය. මා ගමෙන් පිට වෙද්දී පොඩි දරුවකු මෙන් හඬා වැටුණේ ද ඔහුම ය.
“පුදුම මිනිහෙක්. මට තේරෙන්නෑ ලීමන්ව” තාත්තා අම්මාට කීවේ සෙමිනි. බිලී මාමාගේ ඇත්ත නම ලීමන් විය. රස්සාව බිලී බෑම නිසා ගම්මු ලීමන් යන්න බිලී ලෙස වෙනස්කර ගත්තාහ. එහෙත් බිලී මාමාට මූණටම ඒ නම කීවේ මා පමණී. ඊට පෙර ඒ නම කියූ දෙතුන් දෙනෙකුට අහිමි වූ දත් තවමත් අලුතින් ඇවිත් නැත.
මට අවුරුදු විසිතුනක් පිරෙනතුරු මම නැවත ගමට නොපැමිණියෙමි. ළඟම ඤාතියෙකුගේ මළ ගෙයකට සහභාගි වීමට ගමට පැමිණි අවස්ථාවේදී පවා බිලී මාමාව හමුනොවුණේ ඊට දින කිහිපයකට පෙර ඔහු කිසියම් කටයුත්තකට ගමෙන් පිටවගොස් සිටි නිසාවෙනි.
ඇත්තෙන්ම එදින මම ගමට ගියේ මළ ගෙදරට සහභාගි වීම සඳහා නොව බිලී මාමා මුණගැසීම සඳහාය. ඒ ඔහු විසින් අතීතයේ දී මා කෙරේ දැක්වූ ආක්‍රමණශීලී ආදරයේ අරුත දැනගැනීම සඳහාය. ඉන් ඇතිකළ බලපෑම, පීඩනය හැම දවසකම මගේ ජීවිතය වසාගෙන තිබුණි.
කිසියම් අරගලයකට මැදි ව තිබූ බිලී මාමගෙ විශාල දෑස්, වරෙක මෘදුවත් බොහෝ විට දැඩිවත් මට දක්වන ඔහුගේ ගුප්ත ආදරය, “අපි දෙන්නාගෙන් එක්කෙනයි දිනන්නේ” යි ඔහු හැමදාම කියන කථාවේ තේරුම කුමක්ද යන පැනය කිසිදා මාව අත්හැර ගියේ නැත.
එයින් වසර පහකට පසුව වයස අවුරුදු විසි අටේදී මා වෛද්‍යවරයකු ලෙස පත්වීම ලබා නැවත ගමට ගියේ බිලී මාමා ජීවතුන් අතර සිටී නම් ඒ ගැන විමසා සිත නිදහස් කර ගැනීම පිණිසය. මගේ වාසනාවකට ඔහු මුණ ගැසුණි.
බිලී මාමා පැවසූ දේ නිවැරදිය. දිනා සිටියේ අප දෙදෙනාගෙන් එක් අයෙක් පමණි. ඒ මමයි. බිලී මාමා පුරුදු ජීවිතය ගත කරමින් සිටී. ඉස්සරටත් වඩා ගරා වැටුණු පාළු ගෙදර පැතිර තිබූ මූසල අන්ධකාරය තුළ මිනිසෙක් කෙසේ ජීවත් වන්නේදැයි සිතා ගැනීමට නොහැකි තරම්ය. මට එක් වරම සිහි වූයේ ගම්මු කියන කතාවය. “බිලී කියන්නේ අමු තිරිසනෙක්” එහෙත් මට එසේ සිතිය හැකිද? එසේ කිව හැකිද? බිලී මාමා තුළ මා කෙරේ විශේෂ ආදරයක් තිබුණි. ඇත්ත කථාව එය තේරුම් ගැනීමට මා අපොහොසත් වීම පමණි.
බිලී මාමා මාව කෙසේ හඳුනාගත්තාදැයි මම නොදනිමි. අප වසර දාහතරක් එකිනෙකා මුණ ගැසී නොතිබුණි.
“තමුන් දින්නා” බිලී මාමා කීවේ සෙමිනි. ඒ හඬෙහි ඇත්තේ සතුටක්ද නැතිනම් ශෝකයක් දැයි මට නොහැඟේ.
“බිලී මාමා” මම උණුසුම් ලෙස පැවසුවෙමි.
“මට මිනිහෙක් වෙන්න බැරි වුණා”
“ඇත්තටම මං අද ආවේ ඔය කතාවෙ තේරුම දැනගෙන යන්නමයි. ඔය කතාව නිසා මං මගේ ජීවිත කාලෙම විfඳව්වා” මම සෘජුවම කීවෙමි.
එක්වරම පිළිතුරක් නොදුන් බිලී මාමා නැගිට ගොස් පරණ යකඩ පෙට්ටියක දමා තිබූ කුඩා පුස්කොළ පොතක් රැගෙන විත් මා අත තබා නිහඬ විය. මම කුතුහලයෙන් යුතුව එය පෙරළා බැලීමි. එහි සඳහන් වූයේ නිධානයක් පිළිබඳ තොරතුරු ය. මම කිසිවක් තේරුම් ගත නොහැකිව බිලී මාමා දෙස බැලීමි.
“මේ මොකක්ද? කොහෙද මේක තියෙන්නේ?” මම එකවර ප්‍රශ්න දෙකක් ඇසුවේ සිතේ හටගත් නොසන්සුන් බව නිසාවෙනි.
“මට මිනිහෙක් වෙන්න තිබුණ විදිහ. නමුත් මං ඒක කෙරුවෙ නෑ. මං තමුන්ට ආදරේ කළා.”
මට දැනුනේ වෙහෙසකි. ඊළඟට හටගත්තේ කෝපයකි. පුස්කොළ පොත පැත්තකට වීසි කොට නැගී සිට මම බිලී මාමගේ දෙබාහු තදින් සොලවමින් කෑ ගසන්නට වීමි.
“කියන දෙයක් කියපං මිනිහෝ දැන්වත් මාව පිස්සෙක් නොකර. තමුසේ මාව අවුරුදු විසිඅටක් හෙම්බත් කෙරෙව්ව විකාර කතාවක් කිය කිය” කතා කරනවා වෙනුවට බිලී මාමා කළේ මගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටීමය. ඒ බැල්ම දරාගත නොහී මගේ දෑතින් බිලී මාමාගේ දෙබාහු නිදහස් විනි. මම දෑතින්ම මගේ හිස බදාගෙන අසල තිබූ පරණ පුටුවක හිඳ ගත්තේ බලවත් පීඩාවකිනි. බිලී මාමා කථා කළේ බොහෝ වේලාවකට පසුවය.
“ඒ නිධානේ තියෙන්නේ මේ ගේ ඇතුලේ පොළොව යට. ඒක ගන්න අපේ පරම්පරා දෙකක් ඒ වෙනුවෙන් ප්ලෑන් කළා. ඒක ගන්න කරන්න තිබුණේ එක දෙයයි. අවුරුදු විස්සක් නොපිරුණු තුන් කුළුදුල් කෙනෙකුව බිල්ලට දෙන එක විතරයි. ඒකට අපේ පරම්පරාව හදපු බිල්ල තමුං”.
මගේ දෙපා පමණක් නොව සියොළඟම පණ නැතිවිය. අන් කවරදාටත් වඩා බියපත් දෑසින් මං බිලී මාමා දෙස බලා සිටියෙමි.
“මං ඒක කරන්න තරම් නරුමයෙක් වුණේ නැහැ. මං තමුන්ට ආදරය කළා. තමුන්ට අවුරුදු විස්සක් පිරෙනකං මේ පොත යකඩ පෙට්ටියේ දාලා මං පොළොවේ වළ දාලා තිබුණේ වෙන කාටවත් දැන ගන්න බැරිවෙන විදිහට. තමුං දැන ගන්න… ගම්මු කියන තරම් අමු තිරිසනෙක් නෙවෙයි මං”
බිලී මාමා අන්තිම වචන ටික කීවේ මා ගමින් පිටව ගියදාටත් වඩා වැඩියෙන් හඬමිනි.
පසුවදන
නරකම නරක මිනිසා තුළත් පුංචිම හෝ හොඳක් ඇත. මනුස්සකමක් ඇත.
චන්දන එස් කුමාර
Recent Comments