මොහොතින් මොහොත නමුත් දින සති මාස අවුරුදු ලෙසින් ගෙවි ගෙවී යන මේ ජීවිතේ අලුතින් හිතන්න අපි කැමතියි. අලුත් දේ අත්දකින්න කැමතියි. අලුත් දේවල් කරන්නත් කැමතියි. ඒ වුණත් අපට ලැබෙන දේවල්, අපට මුණගැහෙන අය, අපි කරන දේවල් ආදී මේ හැම දෙයක්ම වගේ අලුතින්ම ලැබෙනවා නොවෙයි. අපි ගෙවාගෙන ආපු අති දීර්ඝ සංසාර ගමනේ ලැබුණු දේවල්මයි අපට ආයෙත් ලැබෙන්නේ.. එහෙම රටාවක් මේ ජීවිතේ තියෙන බව කාටවත් හොයන්න බෑ..

නමුත් මේ සංසාරේ ගමන ගැන සැබෑ කතාව සොයාගත්තේ අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ සංසාර ගමනේ යෙදෙන රටාව ගැන, කර්මය දායාද කරගෙන යන ගමන ගැන, හොඳ – නරක පුරුදු, හමුවෙන පුද්ගලයින්… මේ හැම දෙයක් ගැනම උන්වහන්සේ අවබෝධයෙන්ම දැක වදාළා. අවබෝධයෙන්ම දේශනා කළා. අවබෝධයෙන්ම නිදහස් වී සංසාරෙන් එතෙරට වැඩියා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා, වැරදි පුරුදු නිසා මේ සත්වයින්ගේ ජීවිතවල දුගති ගමන සකස්වෙන විදිහ. ඒ වගේම ජීවිත නොමග යන ආකාරය. යහපත් පුරුදු නිසා ඇතිවන යහපත් විපාක.. මේ හැම දෙයක් ගැනම බුදුරජාණන් වහන්සේ මනා ලෙස පෙන්වා දුන්නා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ පවා එක් එක් සිදුවීම් අරභයා, එක් එක් පුද්ගලයින් අරභයා අතීතයේ සිදුවීම් විස්තර කළා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරමින් ධර්මය දේශනා කරන කාලයක ධර්මයට පැහැදිලා තරුණයෙක් පැවිදි වුණා. එහෙම පැවිදි වෙන්නේ සසර දුකින් නිදහස් වෙන්න හිතාගෙනනේ. ඒ වුණත් සිද්ධ වුණේ වෙන දෙයක්. ඒ භික්ෂුවගේ හිත ඇදිලා ගියේ ආහාරයට. උන්වහන්සේ අධික ලෙස දානයට ලොල් වුණා. ප්‍රණීතව දානෙ ලැබෙන තැන් හොය හොයා ගියා. මහත් බඩජාරිකමින් යුක්තයි කියලා හැමෝම දැනගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළා, “භික්ෂුව, ඔය රස තෘෂ්ණාව දැන්වත් අත්හැරගන්න. ඔබ කලිනුත් ආහාරයට ගිජුවෙලා හිටි කෙනෙක්..” කියලා. බොහොම ඉස්සර අපගේ මහ බෝසතාණන් වහන්සේ පරෙවි යෝනියේ ඉපදිලා හිටියා. බරණැස් සිටුතුමාගේ මාලිගාවේ මහා කුස්සියේ අරක්කැමියා විසින් හදාපු කූඩුවක තමයි මේ පරෙවියා වාසය කළේ. දවසක් ආහාරයට ගිජු වුණ කෑදර කපුටෙක් මේ කුස්සිය අසලින් යද්දී සිටුතුමාගේ අරක්කැමියා උයාපු මස්, මාලු බඳුන් දැකලා ආසා හිතුණා. පරෙවියාත් එක්ක හිතවත් වුණා. අරක්කැමියා හිතුවා පරෙවියාගේ යාළුවෙක් කියලා. ඉතින් ඔහු කපුටාටත් ඉන්න තැනක් හදලා දුන්නා. දවසක් මේ කපුටා කෑදරකමින් සිටුතුමාගේ භෝජනවලට හොට දාන්න ගියා. අරක්කැමියා කපුටාව අල්ලලා, තටු ගලවලා, ඔළුවේ පිහාටු විතරක් ඉතිරි කරලා ඉඟුරු මිරිස් ලුණු ගොරකා තලියක් ඇඟේ තවරලා, මුළු ශරීරයම පොඩි කරලා පරෙවියාගේ කූඩුවට වීසි කළා. කපුටා ඒකෙන්ම මරණයට පත් වුණා. එදා කෑදර කපුටා වෙලා හිටියේ මේ භික්ෂුවයි… කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ ජාතක පුවත වදාරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන විට ඒ භික්ෂුව අනාගාමී ඵලයට පත් වුණා.

(ලෝල ජාතකය)

තිරිසන් සත්තු පවා බොහෝ විට සසර පුරුදුවලට අනුව කටයුතු කරනවා. භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනයේ වැඩ වාසය කළ කාලේ භික්ෂු සංඝයාට වළඳන පැන් ගන්න ළිඳක් තිබුණා. හිවලෙක් ඇවිත් ඒ ළිඳට මළපහ කරලා, මුත්‍රා කරලා යන්න ගියා. ආයෙමත් දවසක එහෙම ආව හිවලාට සාමණේරවරු ගල්වලින් රිදෙන්න ගහලා ඌව පන්න ගත්තා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, ඔය සතා ළිං දූෂණය කළේ මේ ආත්මෙ විතරක් නොවේ. ගොඩාක් ඉස්සර කාලෙක මහා බෝධිසත්වයන් ඍෂි පැවිද්දෙන් පැවිදිවෙලා බොහෝ තාපසයින් පිරිවරාගෙන මේ ඉසිපතනයේම වාසය කළා. ඔය ළිඳ තියෙන තැනම එදාත් ළිඳක් තිබුණා. ඒ කාලෙත් හිවලෙක් ඇවිත් ඒ ළිඳට මළ මුත්‍රා කොට දූෂණය කළා. ඒ හිවලාමයි අදත් ඒ වැඩේ කරන්නේ.. කියලා.

(උද්‍යානදූසක ජාතකය)

මේ වගේ පහත් ගති, නීච ගති සසර පුරුදු විදිහට ජීවිතයට එකතුවුණොත් එයාට ඒක සාපයක් වගේ. තිරිසන් ලෝකයේ තියෙන පහත් ගති අපි හිතන්නේ තිරිසන් ගති කියලානේ. එයා හැබැයි මනුස්ස ලෝකෙට ආවත් ඒ දුර්ගුණ ඒ විදිහටම තියෙන්න පුළුවන්.

අනුන් සතු දේ තමන්ට ලබාගන්න තියෙන ආසාවට කියනවා අභිජ්ඣාව කියලා. ඒක මනසින් සිදුවෙන අකුසලයක්. ඒ ආසාව නිසාම උපායශීලීව වංචනික ලෙස අනුන් සතු දේ තමන්ට ලබාගන්න උත්සාහ කරන, කූට ප්‍රයෝග යොදන අය ඉන්නවා.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනයේ වැඩ වාසය කළ කාලෙක එක් භික්ෂුවක් ඈත පිටිසරබද පළාතක ලස්සන විහාරයක වාසය කළා. ගල්තලාවක් උඩ තමයි විහාරය තිබුණේ. ජල පහසුවත් හොඳින් තියෙන, ගොදුරු ගමත් ළඟින්ම තියෙන, ප්‍රණීතව දන් පැන් ලැබෙන තැනක්. දවසක් චාරිකාවේ වඩින වෙන භික්ෂුවක් ඒ විහාරයට වැඩියා. දින කීපයක් වාසය කරද්දී මෙහෙම හිතුණා. ‘මේ සැප පහසුකම් තියෙන ලස්සන විහාරයේ ඉන්න මට හැමදාම ඇත්නම්..’ ඒ භික්ෂුව නේවාසික භික්ෂුව ව නෙරපා හරින්න උපායක් කල්පනා කළා. ඇහුවා, “ආයුෂ්මතුන් ශාස්තෘන් වහන්සේව බැහැ දැකලා බුද්ධෝපස්ථාන කරන්න, වන්දනාමාන කරගන්න කැමති නැද්ද..?” “හරිම කැමතියි.” කිව්වා. “ආ.. එහෙනම් වඩින්න. මං මේ විහාරය බලාගෙන ඉන්නම්.” කිව්වා. අර ස්වාමීන් වහන්සේ හරිම සතුටින් භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්නට වැඩම කළා. දින කිහිපයකින් නැවත වඩිද්දී අර ලස්සන විහාරය ආගන්තුක භික්ෂුව අයිති කරගෙන. නැවතත් ඒ භික්ෂුව සැවැත්නුවරට වැඩියා. සංඝයාට මේ කාරණය සැළ කළා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔය භික්ෂුව මීට කලින් ජීවිතයකත් ඔය දේ ම කළා. මේ භික්ෂුව වාසස්ථානයෙන් නෙරපා දැම්මා. ගොඩක් ඉස්සර කාලෙක මහා බෝධිසත්වයෝ වනාන්තරේ වෘක්ෂ දේවතාවෙක් වෙලා උපන්නා. ඒ වනාන්තරේ දින හත බැගින් මහා වැසි වසිනවා. ඒ වනයේ වාසය කළ කට රතු වඳුරු පැටියෙක් එක් ගල් බෑවුම් සෙවණක දොරකඩ නොතෙමෙන තැනක සනීපෙට වාඩිවෙලා හිටියා. එතනට ආවා කට කලු මහා වඳුරෙක්. ඌ වැස්සෙන් හොඳටම තෙමිලා. සීතලෙන් ගැහෙනවා. ඒ වඳුරා හිතුවා ‘මොකාක් හරි උපායකින් මං මේ වඳුරු පැටියාව මෙතනින් යවාගන්න ඕන..’ කියලා. එහෙම හිතලා කිව්වා, “මේ… පැටි වඳුරෝ, අර පැත්තේ තියෙනවා හොඳට ඉදුණු දිඹුල් ගෙඩි. පුලිල ගෙඩිත් තියෙනවා. බඩගින්නේ මැරෙන්නෙ නැතිව ගිහිං කාලා වරෙන්..” කියලා. පැටි වඳුරා යනකල් ඉඳලා මහ වඳුරා අර ගල් සෙවණට ගියා. පැටි වඳුරා ආපහු එනකොට මහ වඳුරා වාසස්ථානය අයිති කරගෙන. මහා වැස්සට ගස්වල ගෙඩි වැටිලා, කන්න දෙයක් නැතිව ආපසු ආව පැටි වඳුරා ව මේ මහ වඳුරා එළව ගත්තා. මහණෙනි, එදා පැටි වඳුරා වෙලා සිටියේ මේ නේවාසික භික්ෂුව. මහ වඳුරා වෙලා හිටියේ ආගන්තුක භික්ෂුව කියා බුදුරජාණන් වහන්සේ වදාළා.

(උදුම්බර ජාතකය)

බලන්න, මනුස්ස ජීවිතයක් ලැබිලා, බුද්ධ ශාසනය මුණ ගැහිලා, පැවිදිත් වෙලා… ඒත් අර තිරිසන් ලෝකෙදි කළ වංචාව ආයෙමත් කළා. මේ වැරදි ආකාරයේ සංසාර පුරුදු අපේ ජීවිතයෙන් බැහැර නොකළොත්, නිවැරදි ආකාරයේ යහපත් පුරුදු ඇතිකර නොගත්තොත් ආයෙ ආයෙමත් මේ අයහපත් දේවල් ම මතුවෙලා එනවා. මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා ශාසනික ජීවිතය වරද්දාගෙන නිරයට වැටුණ දේවදත්ත, කෝකාලික ගැන බොහෝ දෙනෙක් දන්නවා. දේවදත්තගේ ප්‍රධාන ගෝලයා වගේ හිටියෙ මේ කෝකාලික. මේ අසත්පුරුෂයන් ලාභ සත්කාරවලින් පිරිහිලා ගියා. දාන මාන, සිවුරු පිරිකර, පිරිවර සම්පත්, මේ හැම දෙයකින්ම පිරිහිලා ගියා. එතකොට කෝකාලික ගෙවල්වලට ගිහිං මෙහෙම කියනවා. “පින්වත්නි, අපගේ දේවදත්ත තෙරණුවෝ සුළුපටු කෙනෙක් නෙමේ. මහා සම්මත රාජ පරම්පරාවේ ඔක්කාක රාජ වංශයේ උපන්න නොබිඳුණු ක්ෂත්‍රිය වංශයේ ඇතිදැඩි වූ උත්තමයෙක්. මහා ධුතාංගධාරී, නිර්මාංශික, සද්ධර්ම විසාරද, ලෝකේශ්වර, මහා ධර්මකථික, ප්‍රතිපත්තිගරුක මහා තෙරනමක්. ඒ වගේ උතුමන් මුණගැසුන වෙලාවෙ හොඳට සලකන්ට, දන් පැනින් පුදන්ට…” කිය කියා දේවදත්තව වර්ණනා කරනවා. දේවදත්තත් මිනිසුන්ට කියනවා.

“පින්වත්නි, බලන්න අපගේ කෝකාලික තෙරුන්.. මහාසාර බ්‍රාහ්මණ වංශයේ උපන් අයෙක්. භාෂා ශාස්ත්‍ර ඥානයෙන් මහා ඉහළයි. භාෂා පරමේෂ්වරයි. බහුශ්‍රැතයි, ධර්මකථිකයි, පණ්ඩිතයි එවැනි උතුමන් දන් පැනින් පුදන්න.” මේ දෙන්නා තමන් තුළ නැති ගුණ කිය කියා බත් අනුභව කරවා ගන්න හැටි.. කියලා භික්ෂූන් වහන්සේලා කතා කරමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, ඔය දෙන්නා තමන් තුළ නැති ගුණධර්ම හුවා දක්වමින් දෙන්නාට දෙන්නා වර්ණනා කරගෙන අනුභව කළේ මේ ආත්මේ විතරක් නොවේ… ගොඩාක් ඉස්සර කාලෙක මහා බෝධිසත්වයෝ ජම්බු ගස්වලින් පිරුණු ප්‍රදේශයක ජම්බු වෘක්ෂයක වෘක්ෂ දේවතාවෙක් වෙලා හිටියේ. දවසක් එක් කපුටෙක් ජම්බු කමින් ජම්බු අත්තක හිටියා. ඔතනට ආව නරියෙක් හිතුවා.. ‘කපුටෙක් ජම්බු කනවා, මං කපුටාගේ නැති ගුණ කියන්න ඕන. එතකොට මටත් ජම්බු කන්න පුළුවන්…’ කියලා.

“අති මිහිරි නාද ඇති, මොනරෙක් වගේ ලස්සන, ජම්බු අත්තේ ඉන්න උතුම් කෙනා කවුද?” කියලා ඇහුවා. කපුටා හරි සතුටින් කියනවා… “කුල පුත්‍රයෙක්මනේ කුල පුත්‍රයෙක්ගේ ගුණ දන්නේ… හරි හැඩයිනේ ඔයා ව්‍යාඝ්‍ර පැටියෙක් වගේනෙ..” කියලා නරියාව වර්ණනා කරලා, “මං ඔයාට ජම්බු දෙන්නම්, මේ ජම්බු ඔයාටත් හොඳයි මගේ මිත්‍රයා..” කියලා ජම්බු අත්ත සොලවලා ජම්බු ගෙඩි බිමට දැම්මා. තමන් තුළ නැති ගුණ අස අසා ජම්බු කන මේ සත්තු දෙන්නාව දුටු වෘක්ෂ දේවතාවා.. “ලැජ්ජා නැතිව බොරු දොඩන, කෑ දේ යළි වමාරමින් කන දෙන්නෙක් එකතු වෙලා එකිනෙකාගේ නැති ගුණ කිය කියා ජම්බු කන හැටි.. මං කලාතුරකින් මේ වගේ දෙයක් දැක්කේ..” කියලා ඒ සත්තු දෙන්නාව බය කරලා එළවා ගත්තා. එදා නරියා දේවදත්ත. කපුටා වුණේ කෝකාලික. එදා සත්තු වෙලා ඉද්දි කළ වැඩේමයි මෙදාත් කළේ.

(ජම්බුඛාදක ජාතකය)

මේ වගේ අති භයානක නීච පහත් ගතිගුණ දුරු කරන්නට මහන්සි නොගත්තොත්, ඒ පුරුද්ද සසරට එකතු වෙනවා, යහපත් වූ වටිනා කල්‍යාණ දහම් පුරුදු කළොත් එය නම් සැබෑම වාසනාවක් ජීවිතයට එකතු කරනවා.

භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කාලේ පුත්‍රයා වූ රාහුල භද්‍රයන් වහන්සේ හික්මෙන්නට ආසයි, කුඩා වරදෙත් කුකුස් කරනවා. අවවාද ලබන්ට ආසයි. ඒ නිසාම ශික්ෂාකාමී භික්ෂූන් අතර අග තනතුරු ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා කලින් ජීවිතවලත් ඒ වගේමයි කියලා. රාහුල ස්වාමීන් වහන්සේ කුරුලු යෝනියේ වටු කුරුල්ලෙක් වෙලා ඉපදිලා. කුරුලු වැද්දා මේ වටු කුරුල්ලාව කූඩුවක දාගෙන කැලේට යනවා. ඒ වටු කුරුල්ලාව කෑ ගස්සවනවා. එතකොට වනයේ ඉන්න අනිත් වටු කුරුල්ලෝ එතැනට එනවා, කුරුලු වැද්දා ඒ වටු කුරුල්ලන්ව අල්ලාගෙන ගිහින් මරලා විකුණනවා. කූඩුවේ හිරවෙලා ඉන්න කුරුල්ලාට හරි දුකයි ‘මගෙ නෑදෑයෝ මැරෙන්නේ මං කෑගහන නිසා..’ කියලා.

‘මේ අකුසලයේ විපාක මට විඳින්න වෙයි ද? මගේ මේ සැකය නැති කරන්න පුළුවන් පණ්ඩිතයෙක් මුණ ගැසෙනවා නම් හොඳයි..’ කියා සිත සිතා කල් ගෙව්වා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ තාපස කෙනෙක්. දවසක් ඒ තාපසතුමාට මේ වටු කුරුල්ලා විස්තරය කිව්වා. “පවට නැමී ගිය මනසක් එයාට නැති නිසා වෙනත් කෙනෙක් කරන පව් එයාට රැස්වෙන්නේ නෑ. ඒ නිසා චූටි කුරුල්ලෝ දුක් වෙන්න එපා…” කියලා තාපසතුමා කිව්වා. බෝධිසත්වයන්ගේ අවවාද පිළිගත්ත වටු කුරුල්ලා සැනසුම් සුසුම් හෙළුවා. බලන්න, ඒ යහපත් ගතිගුණ සංසාරෙන් එතෙර වෙන්නත් උපකාර කළානේ.

(තිත්තිර ජාතකය)

කීකරුකම, නිහතමානී බව, ඉවසීම, කරුණාව, දයාව, අනුකම්පාව ආදී මෘදු මොළොක් යහපත් සුන්දර පුරුදු තමයි උපදවා ගන්නට මහන්සි ගන්න ඕන. අපගේ මහා බෝසතාණන් වහන්සේගේ ජීවිතය මේ වගේ වටිනා ගුණ පිරුණු ආකරයක් වගේ. වචනයෙන් කියා නිම කළ නොහැකි, සිතින් සිතා අවසන් කළ නොහැකි අනන්ත ගුණ සමුදායකින් සමන්විතයි. එවන් ගුණයන්ගෙන් නිර්මිතව, ජීවිතය දියුණුවේ ඉහළ හිනිපෙත්තටම ගෙන ගියා. අති දීර්ඝ වූ කෙළවරක් නොපෙනෙන මේ මහා භයානක සංසාරයෙන් සදහටම නිදහස් වුණා. ශ්‍රාවකයන්ටත් මෙයින් මිදෙන මග වදාළා.

“අත්තානං චේ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතෝ”

තමන් තමන්ට ආදරේ නම්, තමන්ව පරෙස්සම් කරගත යුත්තේ තමා විසින්මයි. නුවණින් යුක්ත කෙනා අඩු ගණනේ බාල, තරුණ, මහලු කියන මේ තුන් කාලයෙන් එක්තරා කාලයකවත් අකුසල්වලින් දුරුවෙලා තමන්ව රැකගන්ට ඕන.

(ධම්ම පදය – අත්ත වර්ගය)

ඒ නිසා වටිනා ජීවිතයක් ගොඩනගාගන්න නම්, සංසාරෙ පුරාවට අපව පෙළපු මේ දුර්ගුණ බැහැර කරන්නම වෙනවා. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, එකට එක කිරීම, ගුණමකුකම, දැඩි බව, ආත්මාර්ථකාමී බව, කූට, වංචනික මසුරු ගති ආදී මෙකී නොකී ළාමක ගති දුරු කරන්න ම වෙනවා. නැත්නම් කොපමණ මිල මුදල්, වස්තුව දේපළ, තිබුණත්, හැඩකාර රූපයක් තිබුණත් යස පිරිවර හිටියත් ඒ ජීවිතය දුර්ගන්ධයෙන් පිරි නොවටිනා එකක් වෙනවා.

ඔබ තිලොව දිනූ අසහාය මුනිඳුන් වන අපගේ ශාස්තෘන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකත්වයට පැමිණුනොත්, අවබෝධයෙන්ම මනා කොට තිසරණයේ පිහිටලා සිල් ගුණ දහම් දියුණු කරමින්, කාරුණික දයාවන්ත මෙත් සිතිවිලි පතුරුවමින්, යහපතම පුරුදු කළොත් එයම සසරට එකතු වේවි වටිනා ගුණධර්ම ලෙසින්. ඒ ගුණ සුව දස දෙස ම හමා යාවි. එපමණකුත් නොවේ. රුදුරු බියකරු සසර සැඩ පහරින් සදහටම ඔබ නිදහස් වේවි.

ඇසුර – නුවණ වැඩෙන බෝසත් කතා (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)