ඉමක් කොණක් නොපෙනෙන මේ බිහිසුණු සංසාරේ ඇවිද යන සත්වයා ඇසින් දක්නා වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාවය ඇති, කාමාශාව ඇතිවන, කෙලෙස් ඇතිවන රූපයන් ගැන සිත අලවා එයින් සතුටු වෙයි. කනෙන් අසනා ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාවය ඇති, කාමාශාව ඇතිකරවන ශබ්ද ගැන සිත් අලවා එයින් සතුටු වෙයි. නාසයෙන් විඳිනා ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වාභාවය ඇති, කාම ආශාව ඇතිවන, කෙලෙස් ඇතිවන, ගඳ සුවඳට සිත් අලවා එයින් සතුටු වෙයි. දිවෙන් විඳිනා ඉෂ්ට කාන්ත මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමාශාව ඇතිවන, කෙලෙස් ඇතිවන රසයට සිත් අලවා එයින් සතුටු වෙයි. කයින් විඳින ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාවය ඇති, කාමාශාව ඇතිවන, කෙලෙස් ඇතිවන පහස ගැන සිත් අලවා එයින් සතුටු වෙයි. එනමුත් ඒ රූපය ම, ඒ ශබ්දය ම, ඒ ගඳ සුවඳ ම, ඒ රසය ම, ඒ පහස ම වෙනස්වන විට, ඒවා කෙරෙහි ඇලීම දුරු කරන්නට සිදුවන විට ඔවුහු දුක සේ වාසය කරති.

කෙනෙක් සිහිනයක් දකී. හරිම ලස්සන පැන් පොකුණු තිබෙන, ලස්සන මල් වතු තිබෙන, ලස්සන කුරුල්ලෝ ඉන්නා සුන්දර තැනකි. පසුව ඒ කෙනා නින්දෙන් ඇහැරෙයි. වටපිට බලයි. නමුත් ඒ සිහිනේ තිබූ කිසි දෙයක් දැන් නැත. කාමයන් එලෙස මොහොතින් නැති වී යයි, අනිත්‍ය බවට පත්වෙයි.

කාමයන් ණයට ගත් දෙයක් වැනිය. පුද්ගලයෙක් ණයට ගත් ඇඳුමක් ඇඳගෙන පාරේ ගමන් කරන විට ඇඳුමෙහි සැබෑ හිමිකරුවන් පැමිණ ඔහුගෙන් ඇඳුම ඉල්ලා සිටිති. එවිට ඔහු අකමැත්තෙන් වුවද ඇඳුම දිය යුතුය. කාමයන් එබඳුය, තමාට අයිති නැති ණයට ගත් දෙයක් වැනිය.

කුෂ්ඨ රෝගියෙක් සිටී. කුෂ්ඨය හොඳටම වැඩි වී පැසවා ඇත. පණුවන් විසින් ඔහුගේ තුවාලය කා දමයි. එවිට ඔහු තුවාලය නියපොතුවලින් කසයි. ගිනි අඟුරු කබලෙන් තවයි. එතකොට ඒ වැඩිවන කුෂ්ඨය ඇති, පැසවූ ගෙඩි ඇති, පණුවන් කන්නා වූ තුවාල ඇති, නියපොතුවලින් කසන්නා වූ වණ ඇති ඒ කුෂ්ඨ රෝගියා යම් යම් ආකාරයකින් අඟුරු කබල ගෙන කය තවයි ද ඒ ඒ ආකාරයට ම ඔහුගේ තුවාලය තව තවත් අපිරිසිදු වෙයි. තව තවත් දුගඳ හමයි. තව තවත් කුණු වෙයි. නමුත්, ඒ තුවාලය කැසීම හේතුවෙන් පුංචි සනීපයක් දැනෙයි. පුංචි ආස්වාදයක් ද ලබයි.

එසේ ම මේ ලෝක සත්වයා කාමයන් කෙරෙහි ඇල්ම දුරු නොකිරීම නිසා, කාම තෘෂ්ණාව විසින් කැඳවනු ලබමින්, කාම දාහයෙන් දැවි දැවී සිටිමින් ආදීනව බහුල කාමය ම සේවනය කරයි.

ඉතින් ඒ සත්වයාගේ ආශාව වැඩි වෙයි. ඔහු ඒ කාම දාහයෙන් දැවි දැවී යයි. මේ කාමයන්ගේ ආස්වාදය අල්ප ය. බොහෝ දුක් සහිත ය. බොහෝ පීඩා සහිත ය. ආදීනව බොහෝ ය.

කාමය කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරුකිරීමක් ඇත් ද ඡන්දරාගය ප්‍රහාණය වීමක් ඇත් ද කාමයන්ගෙන් නිදහස් වීම යනු එය යි. මෙසේ කාමයන්ගේ ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ගුරු උපදේශ නැතිවම සර්වඥතා ඥානයෙන් අවබෝධ කළ, මේ දුක් දොම්නස් සුසුම් හෙළීම්වලින් දැවි දැවී තැවි තැවී යන සත්වයින් දුකින් මුදවාලන්නට කලාතුරකින් මේ ලෝකයට පහළ වන බුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලයම කැප කළේ මේ දුක් විඳින සත්වයන්ට කාම සැඩපහර සහිත සංසාර සාගරයෙන් එතෙරට යන මඟ පෙන්වා දෙන්නටය. ඒ වෙනුවෙන් ඇතැම් වෙලාවට යොදුන් සිය ගණනක් මොහොතකින් වැඩමකොට අංගුලිමාල, පුක්කුසාති වැනි අය සසර කතරින් එතෙර කරවූ සේක. තවත් වෙලාවක තමන් වහන්සේ නිරාහාරව හිඳ කසීභාරද්වාජ වැනි අයට ශාන්ත ප්‍රණීත අමා නිවන වැළඳවූ සේක. තවත් වෙලාවකට එක් පුද්ගලයෙකු වෙනුවෙන් දින ගණනාවක් අනුකම්පාවෙන් වැඩම කොට දහම් දෙසා නිවන් සැප සලසා දුන් සේක. මෙයත් එවැනි අන්ත අසරණ වූ මිනිසෙකු බුදු සමිඳුන් ළඟ නිවී සැනසුන කතා පුවතකි. භාරද්වාජ ගෝත්‍රයට අයත් මේ මහලු බමුණාගේ ගවයන් දාහතර දෙනා නැති වී දවස් හයක් ගෙවී ගිය ද සොයාගැනීමට නොහැකි විය. ගවයන් සෙවීමට කාලයක් ඇවිද වෙහෙස වූ ඔහුට හයවන දින දැක ගැනීමට ලැබුණේ ඇස් අදහා ගන්නට බැරි දෙයකි. ඒ, රන්වන් සිරුරක් තිබෙන, කරුණාබර නෙත් සඟලක් තිබෙන, ශාන්ත ඉඳුරන්ගෙන් යුතු ශ්‍රමණයන් වහන්සේනමක් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන වැඩ ඉන්නා අයුරු ය. ඒ අන් කිසිවෙකු නොව භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. ටික වෙලාවක් භාග්‍යවතුන් වහන්සේ දෙස හොඳින් බලා හිඳ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගොස් මෙසේ කීවේ ය.

“මගේ ගවයන් දාහතර දෙනා හොයාගන්න බැරිව අදට දවස් හතක් වෙනවා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේට ඒ වගේ ප්‍රශ්නයක් නෑ නෙව. ඒ නිසයි මේ ශ්‍රමණයන් වහන්සේ සනීපෙට ඉන්නේ.

මම ණයට තල ඇට අරගෙන හේනේ වැපුරුවා. එදා රෑ මහවැස්සක් වැහැලා ඒ තල ඇට ටික හෝදාගෙන ගියා. ඉතිරිවෙච්ච තල ඇට ටික පැළ වේගෙන එනකොට පණුවෝ ඒවගෙ කොළ කාල දැම්මා. කොළ එක දෙක තියෙන පව්කාර හේන මේ ශ්‍රමණයන් වහන්සේට නෑනෙ. ඒ නිසා තමයි ශ්‍රමණයන් වහන්සේ සනීපෙට ඉන්නේ.

බෝගවලින් පිරිහුනාම අටුවේ දාන්න මොකුත් නැති නිසා අහල පහළ ගෙවල්වල ඉන්න මීයොත් ඇවිත් මගෙ වී අටුවේ කන්, නැට්ට උස්සාගෙන නටන්නේ හිතට අරගෙන. අනේ මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරය නෑ නෙව. ඒ නිසාමයි මේ ශ්‍රමණයන් වහන්සේ ඔය සනීපෙට ඉන්නේ. දවල් දවසේ හොඳටම මහන්සි වෙලා ගෙදර ඇවිදින් මහන්සිය නිවාගන්න කියලා හිතාගෙන පැදුරේ ටිකක් ඇල වුණාම ඒ පැදුරෙත් මකුණො පිරිලා. මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරේ නෑ නෙව. ඒ නිසා ම යි මේ ශ්‍රමණයන් වහන්සේ ඔය සනීපෙට ඉන්නේ.

ළමයි එක්කෙනා දෙන්නා ඉන්න, පවුල් කැඩිච්ච, කණවැන්දුම් වෙච්ච දුවලා හත් දෙනෙක් මට ඉන්නවා. මම කන්න බත් එක අතට ගත්තාම උන්ගේ ළමයි ටික ඇවිල්ලා පිඟානට අත දාලා කනවා. අන්තිමට මට කන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. අනේ මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරය නෑනෙ. ඒ නිසා ම යි මේ ශ්‍රමණයන් වහන්සේ ඔය සනීපෙට ඉන්නෙ. රෑ පුරාවට මීයන්ගෙන් කරදරය නිසා හරිහැටි නින්දක් නැති, මකුණන් නිසාත් නින්දක් නැති මට පාන්දර ජාමෙට ඇහැ පියවීගෙන එනකොට ඇඟ පුරා දුඹුරු පාට ළප තියෙන ගෙදර උන්දෑ පයින් ගහල යි මාව ඇහැරවන්නේ. අනේ මේ ශ්‍රමණයන් වහන්සේට මේ කරදරේ නෑ නෙව. ඒ නිසා ම යි මේ ශ්‍රමණයන් වහන්සේ ඔය සනීපෙට ඉන්නේ.

දවාලට මාව අල්ල ගන්න බැරි වුණ ණයකාරයෝ පාන්දරම ගෙදරට ඇවිදින් ‘ගත්තු ණය දීපං, දීපං’ කියලා පරුෂ වචනයෙන් බණිනවා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරය නෑනෙ. ඒ නිසා ම යි මේ ශ්‍රමණයන් වහන්සේ ඔය සනීපෙට ඉන්නේ.”

මෙතුවක් කාලයක් කාටවත් කියාගන්නට බැරිව සිටි, තම හදවතේ කැකෑරෙන හිර කරගෙන හිටිය ඒ දුක භාග්‍යවතුන් වහන්සේගේ පාමුල ඔහු දිග හැරියේ ය. තුන් ලෝකයට ම මහා කරුණා නිධානය වූ ඒ බුදු සමිඳාණන් මහලු බමුණාට මෙසේ වදාළ සේක.

“බ්‍රාහ්මණය, දැන් දවස් හයක් තිස්සේ ඔබේ ගවයින් ආගිය අතක් නෑ. ඇත්තටම මට ඒ කරදරය නෑ. බ්‍රාහ්මණය මං ඒ නිසාම සුවපත් වූ කෙනෙක්. කොළ එක දෙක තියෙන තල ගස් ඇති පව්කාර හේන මට නෑ. ඒ නිසාම මම සුවපත් වූ කෙනෙක්.

හිස් වෙච්ච අටුවේ හිතට ගත්තු මීයෝ ටිකක් නටනවා කිව්වා නේද? ඒ ප්‍රශ්නය මට නෑ. ඒ නිසාම මම සුවපත් වූ කෙනෙක්. ඔබේ පැදුර මාස හතක් පරණ වෙලා. මකුණන් පිරිලා. නමුත් මට ඒ ප්‍රශ්නය නෑ. ඒ නිසාම මම සුවපත් වූ කෙනෙක්. ළමයි එකා දෙන්නා ඉන්න, පවුල් කැඩිච්ච, කණවැන්දුම් වෙච්ච දූලා හත් දෙනෙක් ඔබට ඉන්නවා. නමුත් මට ඒ ප්‍රශ්නය නෑ. ඒ නිසාම මම සුවපත් වූ කෙනෙක්.

දුඹුරු පාට ළප තියෙන ඇඟක් තියෙන ගෙදර උන්දෑ පයින් ගහලා ඔබව අවදි කෙරුවට මට ඒ ප්‍රශ්නේ නෑ. ඒ නිසාම මම සුවපත් වූ කෙනෙක්. පාන්දර ඇවිත්, ‘ගත්තු ණය දීපං’ කියලා ණයකාරයෝ ඔබට බැණ්නාට මට ඒ ප්‍රශ්නේ නෑ. ඒ නිසා මම සුවපත් වූ කෙනෙක්.”

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරද්දි මහලු බ්‍රාහ්මණයාගේ හදවතේ ඇවිළී තිබුණු ශෝක ගින්න සීතල සදහම් දිය දහරින් නිවී ගියේ ය. සිත සතුටින් පිරී ගියේ ය. වසා තිබුණ දෙයක් ඇරල පෙන්නුවා වගේ ය. මංමුළා වූ කෙනෙකුට පාර පෙන්නුවා වගේ ය. සතුටු සිත් ඇති මහලු බ්‍රාහ්මණයා ජීවිතය පුදා තෙරුවන් සරණ ගොස් පැවිදි උපසම්පදාව ලබා ගත්තේ ය.

පසුදින භාග්‍යවතුන් වහන්සේ මේ මහලු ස්වාමීන් වහන්සේත් සමඟ කොසොල් රජුගේ මාළිගාවට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ බව දැනගත් රජතුමා වහා ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට සුදුසු ආසනයක වඩා හිඳුවා කැඳ පූජා කිරීමට ගිය විට භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ.

කොසොල් රජු ශෝකයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැඳ වැටුණි. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාගෙන් වරදක් වී නම් සමාවන සේක්වා” යි ඇයද සිටියේ ය. “මහරජ ඔබේ දොසක් නොවෙයි, බාධාවක් තියෙනවා.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එවිට රජු, “ස්වාමීනි, කැඳ නොපිළිගන්නට තරම් ඇති බාධාව කුමක්ද? මම එය ඉවත් කරලා දෙන්නම්. ස්වාමීනි, කැඳ වළදන සේක්වා.” යි භාග්‍යවතුන් වහන්සේට හා භාරද්වාජ තෙරුන්ට කැඳ පූජා කළේ ය. භාරද්වාජ තෙරුන් බොහෝ දවසක් කුසගින්නේ සිටිය නිසා ඇති පමණ කැඳ වැළඳූහ.

දන් පුදා අවසානයේ රජු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට මෙසේ කිව්වේ ය. “ස්වාමීනි, සක්විති රජකම හා ස්ත්‍රී රත්නය, පුත්‍ර රත්නය ඇතුළුව සප්ත රත්නය හැරදමා පැවිදි වෙලා දස දහස් ලෝක ධාතුවට ම අග්‍ර වූ ඔබ වහන්සේට කුමන බාධාවක් ද?” එවිට භාග්‍යවතුන් වහන්සේ භාරද්වාජ තෙරුන් දෙස බලා “මේ තෙරුන්ට ඇති වූ බාධාව අපට ඇති බාධාවක් හා සමාන වේ.” යැයි වදාළහ.

රජු භාරද්වාජ තෙරුන්ට වන්දනා කොට කරුණු විමසුවේ ය.

“මහරජ, ණය තිබීම බාධාවක් වේ.” රජු එවෙලේ ම සේවකයන් කැඳවා නගරය පුරා අඬබෙර යවා බහුධීතික බ්‍රාහ්මණයාට ණය දුන් සියලු දෙනා ගෙන්වා සියලු ණය බේරුවේ ය.

රජු නැවත මෙසේ විමසී ය.

“ස්වාමීනි, තවත් බාධා තිබේ ද?” තෙරණුවෝ, “කණවැන්දුම් දුවලා හත්දෙනා හා ඔවුන්ගේ ළමයින් බාධාවකි” යැයි පැවසූ විට, දියණියන් ගෙන්වා අවශ්‍ය සියලු දේ දී තමාගේ දියණියන් කොට ඒ ඒ ගෙවල්වලට යැව්වේ ය. රජු නැවතත් “ස්වාමීනි, තවත් බාධා තිබේ ද?” යැයි විමසුවේ ය. තෙරුණුවෝ, “මහරජ බිරිඳ බාධාවකි.” යි කී විට රජු යානාවක් යවා බැමිණිය ගෙන්වා මිත්තණිය කොට තැබුවේ ය. රජු නැවතත් මෙසේ විමසී ය. “ස්වාමීනි, තවත් බාධා තිබේ ද?” එවිට තෙරණුවෝ “නැතැ”යි පැවසී ය. “ස්වාමීනි, ඔබ වහන්සේගේ භික්ෂු භාවය අපට භාර ය. මේ මොහොතේ පටන් චීවර, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් හා සියලු දේ අපි ඉටු කරමු. ස්වාමීනි, ඔබවහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සිත් ගෙන ශ්‍රමණ ධර්මය කරනු මැනවි.” යැයි රජු පැවසුවේ ය. තෙරණුවෝ ද අප්‍රමාදී ව දහමට දිවි පුදා වාසය කොට නොබෝ කලකින් ම සියලු කෙලෙසුන් නසා ශාන්ත වූ, ප්‍රණීත වූ නිවන් පුරයට වැඩි සේක.

ඉඳුරන් පිනවනු වස් කාමයන් සොයමින් හති දමමින් දුවන මේ ලෝකයෙන් එතෙරට වැඩි භාරද්වාජ මුනිඳුට නමස්කාර වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.