“ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං” මනුස්සයාගේ ජීවිතය පවතින්නේ ඉතා සුළු කාලයකි. සුළු මොහොතකි. ඉතා කෙටි ය. හිරු සඳුගේ වේගය පරයමින් වේගයෙන් ආයුෂ පිරිහී යයි. එනමුදු කිසිවෙකුට ඒ ගැන වගක් ද නැත. ඒ නිසා ම වත්මන් ලෝකයේ සිටින දරු සිඟිත්තාගේ පටන් මහල්ලා දක්වා තමන්ට කළ හැකි දේටත් වඩා වැඩිමනක් දේ කරන්නට සිතති. ආශා කරති. පුංචි දරුවාගේ පෝෂණය ගැන වගේ ම තරඟකාරී අධ්‍යාපනයට, තාක්ෂණික මෙවලම් භාවිතයට විතරක් නොව Super star, Super dancer, Little star ආදී reality වැඩසටහන් තුළින් ජනප්‍රියත්වය, කීර්තිය හඹා යන්නට ඕනෑම දෙයක් කරන්නට දෙමව්පියෝ ද කැප වෙති.
වත්මන් යෞවනයා ද පංච කාමයෙන් මුසපත්ව ගත සිත සන්තර්පණය පිණිස කැපවෙන්නේ පළඟැටියන් ගින්නට ඇදෙන්නා සේ ය. නව යොවුන් වියට එළැඹෙන්නටත් පෙර ම පෙම්වතෙක්…. පෙම්වතියක්…. වන්නට කැපවෙති. හැඩවැඩ වෙති. විලාසිතාවලට කැප වෙති. විවාහයක් කර ගන්ට ද ප්‍රමාද නොවෙති. වීඩියෝ චිත්‍රපට, facebook party, video games සඳහා කැප වෙති. ලොකු ගෙයක්, හොඳ වාහනයක් ඇතිව දරු මල්ලන් සමඟ සතුටින් ජීවත් වන්නට යුහුසුළුව කැපවෙති. ප්‍රමාද නොවෙති. නව වසරක් එළඹෙත්ම නවතම උපාංගවලින් ගෘහය පුරවාගන්නට කැපවෙති. බැලූ බැල්මට එහි වරදක් ද නොපෙනේ. මන්දයත් මේ හැමදේකින්ම ඔවුන් සෙව්වේ එකම එක දෙයකි. එනම් සැනසිල්ලකි. සැපයකි. නමුත් සත්‍ය නම් මේ දේ හඹා යාමේ දී ඔවුන්ට අහිමි වූයේ ද ඒ සැනසිල්ල ම ය. ඒ සතුටම ය. ඒ ඔවුන්ගේ අවිද්‍යාවේ මහත් බව ය.
මොහොතක් සිතන්න…. මෙතරම් යුහුසුළුව කැපවෙලා ඔබ සෙව්වේ තාවකාලික සතුටකි. මෙලොවට අයිති දෙයකි. පරලොවක් ගැන නොසිතූ ඔවුන්, සැබෑ සැනසිල්ල ඇත්තේ අත්හැරීම තුළ, නිදහස් වීම තුළ කියා නොදනිති. දීර්ඝ සසර අප උපන් පළමු අවස්ථාව ද මෙය නොවේ. අපේ අවසන් ජීවිතය ද මෙය නොවේ. ජීවත් වීම සඳහා මේ හැම දෙයක්ම අප ඕනෑ තරම් සසරේ කර තිබේ. එනමුදු අප ලැබූ අස්වැසිල්ලක් ද නොමැත. ඒ බව මැනවින් දුටු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අප්‍රමාදයට ම ප්‍රශංසා කරති. අප්‍රමාදයට ම ගෞරව කරති. ප්‍රමාදය සැමදා ගර්හා ලබන්නකි. අප්පමාදං පසංසන්ති – පමාදෝ ගරහිතෝ සදා.
“අප්‍රමාදය” යනු මනුස්සයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්කරවන ප්‍රධානතම බලවේගයයි. භාග්‍යවතුන් වහන්සේ එය උපමා කොට වදාළේ ඇත් පියවරකටයි. විවිධත්වයෙන් යුතු පා සටහන් ඇති සියලුම සතුන් අතර ඇත් පියවර ඉතා විශාල ය. එනිසා සියලු පා සටහන් ඒ තුළට දැමිය හැකි ය. එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ සියලුම ගුණධර්ම, “අප්‍රමාදය” නම් එකම එක වදන තුළ කැටි කොට දැක්වූ සේක.
එසේ නමුත් අප්රමාදී වූවෝ නියසිළට ගත් පස් බිඳ සේ ස්වල්ප ය. මහපොළොව වන් පිරිසක් ප්‍රමාදයෙන් කල් ගෙවති. බුද්ධ කාලයේ පවා මේ සඳහා උදාහරණ ඇත්තේ ය. වරක් ධනංජානී නම් තම යහළු බ්‍රාහ්මණයා කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේ මෙසේ අවවාද කළ සේක. “බ්‍රාහ්මණය, ඔබ අප්රමාදී ව වාසය කරනවා නේද?” එවිට බ්‍රාහ්මණයා, “අනේ ස්වාමීනි, අපට කොයින්ද ඕවට වෙලාවක්? අපිට ඉතින් බොහෝ රාජකාරි තියනවා නෙව…. දෙමව්පියන්ටත් සලකන්ට තියෙනවා නෙව…. අපට බොහෝ අඹු දරුවන්ගේ කටයුතු, නෑදෑ යහළු හිතවතුන්ගේ කටයුතු තියෙනවා නෙව. එතකොට මියගිය ඥාතීන්ට සංග්‍රහ කරන්ට, දෙවියන් සතුටු කරන්ටත් තියෙනවා නෙව. ඉතින් ස්වාමීනී ඔය අතර මේ කයත් සතුටු කරන්න එපැයි” කියමින් ත්‍රිවිධ දුෂ්චරිතයේම යෙදුණි. ප්‍රමාදයෙන් ම ජීවිතය ගත කළ ධනංජානී මරණාසන්න විය. නිරයේ යන නිමිති පහළ විය.
ඒ පැනයට අපට දෙන්න ඇත්තේ ද ඒ පිළිතුර ම නොවේ දැයි ඔබ ඔබෙන්ම විමසා බලන්න. වත්මන් මිනිසාට ද රස්සාවත් සමඟ, දරුවන්ගේ කටයුතු සමඟ සිල් රකින්නට වෙලාවක් නැත්තේ ය. බණ අසන්ට කිව්වොත් වෙලාවක් නැති තරම් ය. එනමුදු රූපවාහිනිය නරඹන්නට ඕනෑ තරම් වේලාව ඇත්තේ ය.
බෝධියක්, සෑයක් වඳින්න විවේකයක් නැත්තේ ය. එනමුදු විනෝද චාරිකා, සාප්පු සවාරිවලට විවේකය ඇත්තේ ය. දානයක් දෙන්නට. පිනක් කරන්නට, “ඕවාට කොයින්ද සල්ලි?” එසේමුත් හැඩ වැඩ වෙන්නට. ප්‍රිය සම්භාෂණවලට මුදල් ඇත්තේ ය. සොරකම් නොකර, ඊර්ෂ්‍යා නොකර දියුණු විය නොහැකි ය. ඇත්තටම ඔවුන් ජීවත් වෙති. එනමුදු ප්‍රමාද වූ ඒ සියලු දෙනා ජීවත් වුණත් මළවුන් වැනි ය.
ප්‍රමාද වූවන්ගේ ඥාතියා “පමත්ත බන්ධු” නම් වූ මාරයාට ඔවුන් වසඟ වී හමාර ය. ඒ ඥාතියාට ඔබේ තරාතිරම වැදගත් නැත. උගත් නූගත් බව, දක්ෂතා වැදගත් නැත. උස් පහත් බව, ඔබේ වයස වැදගත් නැත. ප්‍රමාද වූ සියල්ලෝම ඔහු තුරුලට යන්නේ දුගතියක බොහෝ දුක් උරුම කර ගනිමින් ය.
මේ බලන්න මේ කතාව. කස්සප බුදුසසුනේ යාළුවන් හතර දෙනෙක් සිටියහ. ඒ සියලු දෙනාම ධන කුවේර මහා සිටුවරු ය. දිනක් මේ අය කතාබහක යෙදුණි. එක්කෙනෙක් මෙසේ කීවේ ය “අපිට ඕනෑ තරම් සල්ලි තියෙන එකේ බුද්ධ ප්රමුඛ සංඝයාට දන් දෙමු. සිල් රකිමු. පින් කරමු.” තව කෙනෙක් මෙසේ කිව්වේ ය, “ඔහෙට පිස්සු ද? විකාර කතා කියන්න එපා. සිල් ගන්න අපි නාකි ද? සල්ලි තියෙන වෙලාවේ හොඳට කාලා බීලා විනෝද වෙමු.” තව කෙනෙක් කිව්වේ “ඔව්, මත්පැනුත් තියෙන එකේ සල්ලි තියෙනව නම් ගෑනු ද නැත්තේ.” කියා ය. ඔවුහු කා, බී, සල්ලාලකම් කොට, පවුල් කඩාකප්පල් කොට මැරී නිරයේ ඉපදුණහ. ඔවුහු ලෝකුඹු නිරයේ වර්ෂ දස දහස් ගණනක් පැසුණි. ඒ අතරින් එක්කෙනෙක් උඩට මතු විය. තමන්ගේ දුක කියන්නට උත්සාහ කළේ ය.. “අනේ අපට දන් දෙන්න ඕන තරම් දේවල් තිබුණා. නමුත් පින් කරගත්තේ නෑ. දුස්සීල ජීවිතයක් ගෙව්වේ. භෝග සම්පත් තියෙද්දී තමන්ට පිහිටක් කරගත්තේ නෑ.” නමුත් කියාගන්නට ලැබුණේ නැත. යළි ලෝකුඹු නිරයේ ගිලුනේ ය.
තවත් කෙනෙක් උඩට මතු විය. “අනේ, අපි නිරයේ පැහෙන්න වෙලා අවුරුදු හැටදාහක් වුණා. අයියෝ මේ දුක අවසන් වෙන්නේ කවදා ද?” කියන්නට උත්සාහ කළ ද කියාගන්න බැරි විය. ඔහුත් යට ගියේ ය. අනෙක් කෙනාට කියන්නට ඕන වුණේ, “අනේ අපි බොහෝ පව් කළානේ. මේ විපාකවල ඉවරයක් නම් මට පේන්න නෑ.” කියා ය. නමුත්, එයාටත් කියන්නට බැරි විය. යට ගියේ ය. හතරවෙනි කෙනත් ලෝදිය හැලියෙන් මතු විය. “අනේ මේ නිරා දුකින් මිදිලා මිනිස් ලොව උපදින්න ලැබුණෝතින් මම නම් දන් දෙනවා ම යි. සිල්වත් වෙනවා ම යි. බොහෝ කුසල් කරනවා ම යි.” නමුත් එය ද කියාගන්නට බැරිව ඔහු ද යළි ගිලුනේ ය. නමුත් ඔවුන්ට පසුතැවෙනවා හැර, දුක්විඳිනවා හැර, කළ හැකි කිසිවක් නැත. අපත් ‘නිරයෙන් බේරිලා පින් කර ගන්නවා ම යි’ කියා මිනිස් ලොව ඉපදුණා වන්නට පුළුවන. ඒත් ඒ කිසිවක් අපට මතක නැත. ඒ දුක අමතක වූ නිසා නොවේ ද මෙතරම් ම ප්‍රමාදයෙන් වාසය කරන්නේ?
එවන් පසුබිමක ලද මේ දුර්ලභ ජීවිතේ පිනක් කරන්නට නුවණැත්තෝ ප්‍රමාද නොවෙති. ගෙවුණු ජීවිතේ “පිනක් කරන්න ඕනෑ” යන සිතුවිල්ල මොහොතකට හෝ ඇති නොවුණා නොවේ. නමුත් ප්‍රමාදය නිසා වෙන වෙන අවශ්‍යතා ඉස්මතු වීමෙන් පින මගහැරී ගියේ නැති ද? බණ අහන්නට හිතුණි. සිල් රකින්න නොහිතුණා නොවේ. එහෙත්, කම්මැලිකම ඉස්සර විය. ශ්‍රද්ධාව යට ගියේ ය. පින පස්සට කල් දැමිණ. දන් දෙන අයත් සමඟ දන් පොළට ගිය ද දන් පොළේ දී අඩුපාඩු ම පෙණින. නැත්නම්, ‘ඔච්චර දන් දෙන්න ඕනෙ ද? ටිකක් දුන්නම මදෑ.’ කියා හිතුණි. ඒ හැම සිතුවිල්ලක් ම අපව ආපස්සට ඇදගෙන ගියේ ය.
චූල ඒකසාටක බමුණාගේ කතාව අප අසා තිබේ. මේ දුප්පත් බමුණා තමනුත්, බිරිඳත් සන්තකව තිබුණ එකම එක සළුව පොරවාගෙන බණ අහන්නට ගියේ ය. රාත්‍රී පළමු යාමයේ මොහුගේ සිත ශ්‍රද්ධාවෙන් ඉපිලිණ. බුදුරජාණන් වහන්සේට සළුව පූජා කරන්නට බලවත් ආසාවක් උපන. ‘ඒත් මේ සළුව නැතිව අපි කොහොමද ආය බණ අහන්න එන්නේ?’ යන සිතුවිල්ලෙන් අර පින යට විය. මධ්‍යම යාමයේ ද පූජා කරන්න හිතිණ. ‘එක්කො බෑ’ කියා නැවත හිතිණ. නමුත්, අන්තිම මොහොතේ සළුව පූජා කර ගත්තේ ය. තමන් ලෝභ සිත දිනූ බව මහා හඬින් කියා සිටියේ ය. මේ පින දුටු රජතුමා සතුටට පත්ව බමුණාට ඇතුන් හතර දෙනෙක්, අශ්වයෝ හතර දෙනෙක්, කහවණු දාහක්, උපාසකයෝ හතර දෙනෙක්, දාසියො හතර දෙනෙක්, පුරුෂයෝ හතර දෙනෙක්, ගම්වර හතරක් ආදී වශයෙන් තෑගි කළේ ය.
ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, ඔය බමුණාට ලැබුණු තෑග්ගේ වෙනසක් තියෙනවා. පළමු යාමයේ ම ඔහු සළුව පූජා කළා නම් ඔහුට ලැබෙන්නේ හැම එකකින් ම දහසය බැගින්, මධ්‍යම යාමේ සළුව පිදුවා නම් එකකින් අට බැගින් ලැබෙන්න තිබුණා. ඔහු අවසන් මොහොතේ සළුව පූජා කළ නිසයි හතර බැගින් තෑගි ලැබුණේ.” එසේ නම් පින් සිත උපන් මොහොතේම අප්‍රමාදව පින කරගත යුතු ය. සසරේ අපෙන් වූ ප්‍රමාදය හේතුවෙන් මේ ජීවිතේ කොපමණ නම් විඳවනවා ඇද්ද? දරු මුණුපුරන්ගේ කටයුතු කිය කියා සිල් රකින්න වයසට යනකම් ම බැරි විය. පැවිදි වෙන්න ආසා උපදිද්දී අපි හොඳටම වයසට ගොස් ය. ඇස් පේන්නේ නැත. කන් ඇහෙන්නේ නැත. දහසක් ප්‍රශ්න ය.
කෙනෙක් දෙව්ලොව උපදී. නමුත් දෙව් පිරිසේ ආයුෂ, වර්ණය, සිරියාව ඉදිරියේ ඇතැම් දෙවිවරු පසුතැවෙයි. මේ පභස්සරා දෙව්දුවගේ කතාවයි.
“ප්‍රභාෂ්වර වර්ණයෙන් බබළන, රතු පාටින් දිලිසෙන, දිව සළු පොරවා ගත් මහා සෘද්ධිමත්, සඳුන් තැවරුවා වැනි සිරුරක් ඇතිව ඔය මැණික් ආසනයේ වාඩිවෙලා සක් දෙවියන් වගේ බැබළි බැබළී ඉන්නා ඔබ කවුද? ඔබ කළ පින කුමක්ද?” මහා මුගලන් මහරහතන් වහන්සේට ඇය මෙසේ පිළිතුරු දුන්නා ය. “ස්වාමීනි, මම පභස්සරා. ඔබ වහන්සේ එදා වැඩිය වෙලේ මං දෑසමන් මල් මාලාවකුත්, උක්හකුරු පැනිත්තකුත් ඔබ වහන්සේට පූජා කර ගත්තා. මේ ඒ පුණ්‍ය විපාකය යි.
නමුත් ස්වාමීනි, මට ලොකු පසුතැවිල්ලක් තියෙනවා. මට වැරදුනා. මගේ අතින් වැරැද්දක් වුණා. ධර්මරාජයාණන් වහන්සේ මැනවින් වදාළ ධර්මයට මම සවන් දුන්නේ නෑ. අනේ මං ගැන අනුකම්පා ඇති කෙනෙක්. ඒ ශ්‍රී සද්ධර්මය තුළ මාව සමාදන් කරවන්න.
“ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ ගැනත්, ශ්‍රී සද්ධර්මය ගැනත්, ආර්ය සංඝයා ගැනත් ශ්‍රද්ධාව ඇති ඒ දෙවිවරු ආයුෂයෙන්, යසසින්, සිරියාවෙන් මා අභිබවා බබළනවා.”
සුභද්‍ර දිවමන් බුදුරජුන්ගේ අවසන් ශ්රාවකයා වන්නට පින් පිරූ පින්වතා ය. ඔහුගේ පිනේ ප්‍රමාදය අසන්න.
මීට පෙර බුදු සසුනක සොහොයුරන් දෙදෙනෙක් එක්ව කුඹුරක් කළහ. ශ්‍රද්ධාවෙන් ඉස්සර වූ එක සොහොයුරෙක් ගොයම් පූදින කාලයේ සිටම නව වතාවක් බුද්ධ ප්රමුඛ සංඝයාට අග්ගස්සිදානය පූජා කළේ ය. මුලින් අකමැති වූ අනෙක් සොහොයුරා, දෙදෙනාගේ කුඹුර දෙකොටසකට බෙදා ගත්තේ ය. අග්ගස්ස දානය දුන් සොහොයුරා අග්‍ර ම කොටස දන් දී, මුල්ම කොටස දන් දී, ‘බුදු සසුනක ඉස්සෙල්ලාම දහම දකින ශ්රාවකයා වෙන්න ලැබේවා!’ කියා පැතුවේ ය. පැතුම කෙසේ වෙතත් ඔහුගේ ක්‍රියාව, චේතනාව නිසා ඔහු ඉස්සර විය. ඒ ගෞතම බුදු සසුනේ පළමු ශ්රාවකයා වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤයන් වහන්සේ ය.
අනෙක් සොහොයුරා හැමදේම පස්සට දැම්මේ ය. දානෙන් පස්සට ගියේ ය. බණ අහන්න ගිය ද “හරි. ඔයාලා ඉස්සරවෙලා යන්න. මං වෙන දවසක එන්නම්. මං පස්සේ එන්නම්.” කිය කියා පස්සට ම ගියේ ය. අන්තිම ජීවිතෙත් ඔහු පස්සටම ගියේ ය. බුදුරජාණන් වහන්සේ දකින්න ආසා හිතෙයි, “මං පස්සේ යනවා” කියා අවුරුදු හතලිස් පහක්ම පස්සට ගියේ ය. හිස ගිනි ගත් කෙනෙක් වගේ ඔහු දුවගෙන ආවේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිය දී ය. ඔහු ධර්මය අවබෝධ කළේ ය. නමුත්, පමා වී කරපු පින ය එලෙස විපාක දුන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං.
යම් යම් අයුරින් ද වපුරන්නේ ඒ ඒ අයුරින් ය අස්වැන්න ලැබෙන්නේ. වී වපුරා පොල් ලබන්න බැරි ය. බජිරි වපුරා වී ලබන්න බැරි ය. බජිරි වැපුරුවොත් ඵලය ද බජිරි ම ය. ඒ නිසා අප යමකට ප්‍රමාද වෙයි ද එය සසරේ අපව ප්‍රමාදයට ඇද දමන බව සිහි තබා ගත යුතු ය.
සේරිස්සක දිව්‍යපුත්‍රයා කාන්තාරයේ අතරමං වූ වෙළඳුන්ට ඉතා අපූරු අවවාදයක් දුන්නේ ය. “ඔබත් මේ දිව්‍ය විමානයට පැමිණෙන්න කැමති නම්… ‘මං තමයි ඉස්සර වෙන්නේ’ කියලා මනා කොට තෙරුවන් සරණ යන්න. ‘මං සතුන් මැරීමෙන් වළකිනවා’ කියලා ඉස්සර වෙන්න. ‘සොරකමින් වළකිනවා’ කියලා ඉස්සර වෙන්න. ‘මං බොරුවෙන් වළකිනවා’ කියලා ඉස්සර වෙන්න. ‘මං මත්පැන් පානයෙන් වළකිනවා’, ‘තමන්ගේ බිරිඳගෙන් විතරක් සතුටු වෙනවා’ කියලා ඉස්සර වෙන්න. ඒ තමයි අප්‍රමාදය.”
කූටාගාරයක කැණිමඬල ප්‍රධාන වෙයි. සුවඳ මුල් අතර කළු අගිල් අග්‍ර වෙයි. සුවඳ හර අතර රත් හඳුන් අරටුව අග්‍ර වෙයි. සුවඳ මල් අතර දෑසමන් මල අග්‍රයි. රජවරුන් අතර සක්විති රජ අග්‍රයි. එසේම, සියලු කුසල් දහම් අතර අප්‍රමාදය ම අග්‍ර වන්නේ ය. නුවණැත්තෝ ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් අප්‍රමාදය සුරකිති. අප්පමාදං ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති.
සම්බුදු සසුනක උණුසුමත්, ධර්මරාජයන් වහන්සේගේ කලණ දහමේ උණුසුමත් ලැබෙන විට, සසරේ කරන ලද පින් ඇත්තාට පතිරූප දේශවාසයක් ලැබෙනා විට, කොතරම් ප්‍රමාද ව සිටිය ද අප්රමාදී වීමට එකම එක බණ පදයක් ප්‍රමාණවත් ය. මොහොතක දර්ශනය ප්‍රමාණවත් ය. මොහොතක ඇසුර ප්‍රමාණවත් ය. මට්ටකුණ්ඩලී, ඡත්ත මානවක, හත්ථිගාමක උග්ග සිටුතුමා වගේ ම දහසක් පව් කොට නිරයේ වසර දස දහස් ගණනක් විඳවිය යුතු බොහෝ පව් කළ අංගුලිමාල ඇසූ එකම එක බණ පදයෙන් ඔහුගේ සංසාරික ජීවිතය ම උඩු යටිකුරු වී ගියේ ය. ධනංජානිට මොහොතකට ලැබුණු සත්පුරුෂ ඇසුරින් නිරාගිනි මැදින් බඹලොව පා තබන්නට ඉඩ ලැබිණ.
සමස්ත ජම්බුද්වීපය ම දිග්විජය කළ චණ්ඩාශෝකයන් ධර්මාශෝකයන් ලෙස ඉපැද්දූ අප්‍රමාදය නම් එක ම එක බුදු බණ පදය කොයිතරම් අසිරිමත් ද? අදටත් ලොව පුරා දහම් සිහනද පැතිරෙන්නේ අප්‍රමාදය නම් බණ පදයේ අරුමය නිසා ම ය.
අප්‍රමාදය යනු අපේ වදනින් කිවහොත් කැප වීම ය. පින් දහම් කරන්නට කැප වීම ය. සිත, කය, වචනය සංවර කරගෙන තමා ව රැක ගැනීමට කැප වීම ය. සත්‍යාවබෝධය පිණිස, ජීවිතාවබෝධය පිණිස කැප වීම ය. සීලය, සමාධිය, ප්‍රඥාව යන කුසල් දහම් පිරිපුන් කරගන්නට ඇති කැප වීම ය. ගුණධර්ම පෝෂණයට ඇති කැප වීම ය. එය වූ කලී හුදෙක් ලෞකික අරමුණු ඉක්මවා ගිය ලොව්තුරු මාවතේ යන්නට කරන්නා වූ ජීවිත පරිත්‍යාගයකි. ඒ සම්බුදු ළය මඬලෙන් උපන් සැබෑම ශ්‍රාවක දරුවෝ පිය උරුමයෙන් ලද ඒ දහම පසක් කරගන්නට දිවි පිදුවෝ ය. කෙලෙස් බන්ධන සුණුවිසුණු කළෝ ය. දුක් සෝ ගිනි නිවා දමා අමා නිවනින් ම සිහිල් වූවෝ ය.
කැපවීමෙන් ලබයි නිවන – කෙලෙස්වලින් යයි සසරේ
මේ දෙක ගැන දන්න කෙනා – මැනවින් නුවණින් විමසා
නුවණැතියෙක් ලෙස මෙලොවේ – කැපවෙයි ඒ නිවන් මගට
ආර්ය උතුමන් තුළ ඇති – නොපමා බවටම ඇලෙමින්
නිවන් මගට කැප වීමෙන් – ලබයි දහම තුළින් සතුට
මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි
සාධු … සාධු … අපමණ පින් !