මේ මිනිස් සමාජයේ දිවි ගෙවන්නවුන්ගේ ස්වභාවයන් විවිධයි, විෂමයි. සමාජය පසෙකින් තබා තනි පවුල් ඒකකයක් ගැන විමසා බැලුවත් එකිනෙකා තුළ තිබෙන්නේ විවිධත්වයක්, විෂමත්වයක්. ඒ තනි පවුල් ඒකකයත් බෙදා වෙන් කරලා තනි තනියෙන් අප ගැන බැලුවත් විවිධ වූ විෂම වූ ස්වභාවයන් තමයි මොහොතින් මොහොත අප තුළ තිබෙන්නේ. එක ම කරුණ සම්බන්ධයෙන් අවස්ථා දෙකක දී අප දක්වන ප්රතිචාරයන් වෙනස් වන්නේ ඒ විවිධ විෂම භාවය නිසයි.
යම් වෙලාවක දී අප වැස්සට කැමතියි. තවත් වෙලාවක දී ඒ වැස්ස ගැන ම අප තුළ නුරුස්නා භාවයක් උපදිනවා. වෙලාවක දී අප අපේ සමීපතමයන්ට අතිශයින් ම හිතවත්. තවත් වෙලාවක දී අපට සමීපතමයන් ගැන පවා නුරුස්නා භාවයක් උපදිනවා. අප සහ සෙසු ලෝකයා අතර ගනුදෙනුවේ ස්වභාවය හැම විට ම තීරණය වෙන්නේ අපේ චිත්ත ස්වභාවය අනුව. දියෙන් ගොඩ දැමූ මාළුවෙක් වගේ සැලෙන සිතක් සහිත වීම නිසයි අප කා තුළත් විවිධ වූ, විෂම වූ ස්වභාවයන් ප්‍රකට වන්නේ.
මේ වගේ වහ වහා වෙනස්වන සිතක් ඇතිව ඉන්න අපට අන් අයව තේරුම් ගන්න බැහැ කියන එක පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. මොකද අපට වගේ ම අන් අයටත් තිබෙන්නේ සැලෙන සිත්. සිත පෙරලෙන වේගය පිළිබඳව නාගසේන රහතන් වහන්සේ වදාළේ එකසිය පණසක් යාලයන් තුළ සත් අමුණක දෙලාස්සක වී ඇති බවත් එක් අසුරු සැණක දී සිත පෙරලෙන වේගයෙහි දී සිත් ගණන් කරන්නට ගියහොත් එහි ඇති වී ඇට ගණන එයට වඩා අඩු බවය. ඒ සා සියුම්, ඒ සා තියුණු, ඒ සා වේගවත් සිතැඟි හසුරුවමිනුයි අප කවුරුත් සිතත්, කයත්, වචනයත් මෙහෙයවන්නේ. කොපමණ සියුම් වූවත් එය අපට වුවමනා හැටියට හසුරුවාලන්නට පුළුවන්කමක් තිබුණා නම් ගැටළුවක් නැහැ; එහෙත්, සිත ආත්ම වසඟයේ පැවැත්විය හැක්කක් නෙවෙයි. ඒ නිසා අප කැමති දේවලුත් අපට හිතෙනවා. අප අකමැති දේවලුත් අපට හිතෙනවා. එහෙම වෙද්දි ඒ සිත ම අපට නින්දා කරනවා, ගරහනවා.
මේක හරි පුදුම දෙයක්. පාපී, කිලිටි කෙලෙස් උපදින සිත ම ඒ පාපී, කිලිටි කෙලෙස්වලට නිග්‍රහ කරනවා. ආශ්චර්යවත් ම දෙය තමයි, මේ සා සියුම් සිත අපගේ ශාස්තෘන් වහන්සේ පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොට වදාළා කියන කාරණය. ඒ අසිරිමත් අවබෝධයට නමස්කාර වේවා!
රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන මේ උපාදානස්කන්ධයන් දුකට අයිති බව, ඒ දුක යනු අවබෝධ කළ යුත්තක් බව තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට වදාළ ඒ මනුෂ්‍ය රත්නය කොතරම් නම් අසිරිමත් ද? උන්වහන්සේ උපදවා ගත් අවබෝධය පිළිබඳව මහා නිද්දේස පාළියෙහි දැක්වෙන්නේ මේ ආකාරයෙන්.
“මුළුමහත් විශ්වයේ ම යම්තාක් ඤෙය්‍ය (අවබෝධ කළ යුතු) ධර්මයන් ඇත්තේ ද භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය ඒ තාක් ම පවතී. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ඉක්මවා ගිය කිසිදු ඤෙය්‍ය ධර්මයක් තුන් ලොවෙහි ම විද්‍යාමාන නො වේ.”
උන්වහන්සේට අන් අයගේ සිත් දකින්නට පුළුවනි. කල්ප කෝටි ප්‍රකෝටි ගණනකට පෙර හරි අවබෝධය උපදවා ගැනීමට උපකාරක වන ආකාරයේ කල්පනාවක් යම් කෙනෙක් පහළ කොට තිබුණා නම් ඒ බවත් සම්බුදුරජාණන් වහන්සේට දැක ගන්නට පුළුවනි.
අඳුරු ගුහාවක දැල්වෙන එළි පොදක් වගේ, ධර්මාවබෝධය පිණිස උපකාරක වන වාසනා ගුණය අභ්‍යන්තරිකව සැඟවී තිබෙන කෙනා, පටාචාරාව වගේ ඇඟේ නූල්පටක් නැතිව සිටිනවා වුණත්, බාහිය දාරුචීරිය වගේ දර පතුරුවලින් විලි වසා සිටිනවා වුණත්, අංගුලිමාලයන් වගේ මිනිසුන් මරා කැපූ ඇඟිලි සිය ගණනකින් මාලයක් සකසා ගෙල ලාගෙන ලේ වැකුණු අතින් කඩුවක් ගෙන සිටිනවා වුණත්, භාරද්වාජ බමුණා වගේ ‘වසලයා’ කියා බැණ වදින්නට නොපැකිලව සිටිනවා වුණත්, සුනීතයන් වගේ අසූචි කද කර තබාගෙන යමින් සිටිනවා වුණත්, කාමනීත බමුණා වගේ සාර මාසයක් පුරා රැකබලා ගත් කෙත ගංවතුරෙන් යට වී විපතට පත්ව සිටිනවා වුණත්, සෝපාකයන් වගේ සොහොනෙහි ලූ මළමිනියකට පිටිකර තබා බැඳ දමා සිටිනවා වුණත්, කිසාගෝතමිය වගේ මළ දරුවාගේ සිරුර අතින් ගෙන සිහි විකල් ව දිව යමින් සිටිනවා වුණත්, නන්දයන් වගේ රාජාභිෂේකයට පළමු විවාහ මංගල්‍යය පිණිස සූදානමින් සිටිනවා වුණත්, සුප්පබුද්ධයන් වගේ කුෂ්ටයකින් වැසුණු සිරුරක් ඇතිව පීඩිතව සිටිනවා වුණත්, රජ්ජුමාලාවන් වගේ ගෙල වැල ලාගන්නට සූදානමින් සිටිනවා වුණත් මහා කාරුණික අභිනීල සම්බුදු නේත්‍ර යුග්මයට ඔවුන් ව පෙනෙනවා…
ඒ උදවිය දුකින් මුදවා ගැනීම පිණිස උන්වහන්සේ පා ගමනින් වඩිනවා. පිළුණු ආහාර වළඳනවා. එහෙමත් නැති නම් දන් වේල මග හැරෙද්දී කුසගිනි ඉවසා වැඩ සිටිනවා. සාර මාසයක් වුණත් අත්නොහැර ඔවුන් කරා වැඩම කරනවා. තමන් වහන්සේගේ ගිහි කල පුතු වූ රාහුලභද්‍රයන් වහන්සේ කෙරෙහි පවත්නා මෙත් සිතම සියලු ලෝකයා කෙරෙහි පවත්වනවා. මේ උතුම් වූ, අසිරිමත් වූ මනුෂ්‍ය රත්නය තුන්ලොවෙහි අග්‍රයි, ජ්‍යෙෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි. දෙව්බඹුන් පවා උන්වහන්සේගේ පා කමල් නමදිනවා. ඒ සා ආනුභාව ඇති උතුමෙකු මිනිස් මව්කුසක පහළ වූවා යන්න පවා සිතින් සිතා ගත නොහැකි තරම් අද්භූත කාරණයක්.
උන්වහන්සේ ආඥා චක්‍රය පතුරුවාලන්නේ විසාරද භාවයෙන් යුතුවයි. කෙලෙස් නිමිත්තකින් හෝ උන්වහන්සේට කරුණු සහිතව චෝදනා කළ හැක්කෙක් දෙවියන් බඹුන් මාරයන් ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ නැහැ. ඒ සා පිරිසිදු ජීවිතයක් දරා ගත් උතුමෙකු ලොව වැඩ සිටියා යන්න පවා අසිරියක්.
ලෝක ප්‍රජාව විසින් දකිනා ලද, අසනා ලද, ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, සිතින් දැනගන්නා ලද, ලබා ගන්නා ලද, සොයා ගන්නා ලද, සිතින් විමසන ලද යම්තාක් දේ ඇද්ද ඒ සියල්ල ම සම්බුදුරජාණන් වහන්සේ විසින් පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොට වදාළ නිසාත් උන්වහන්සේට ‘තථාගත’ කියා කියනවා. ඒ පරිපූර්ණ අවබෝධයෙන් යුතුව වැඩ වෙසෙමින් සම්බුදුරජාණන් වහන්සේ අපට මෙසේ අවවාද කොට වදාරණවා.
“ඉදින් මහණෙනි, භික්ෂුවක් අනුන්ගේ සිත දකින්නට දක්ෂ නොවෙයි නම්, එකල ‘තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නෙමි’යි මහණෙනි, මේ අයුරින් ඔබ හික්මිය යුත්තේ ය.
මහණෙනි, භික්ෂුවක් තමන්ගේ සිත දකින්නට දක්ෂ වන්නේ කෙසේ ද? මහණෙනි, එය මෙබඳු දෙයකි. යොවුන් වූ තරුණ වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සැරසෙනු කැමති ව පිරිසිදු කැඩපතක් ළඟට යයි. නැත්නම් පිරිසිදු දිය බඳුනක් ළඟට යයි. තමාගේ මුව මඬල හොඳින් විමසා බලයි. ඉදින් තමාගේ මුවෙහි කිසියම් කිලුටක් හෝ කැළලක් හෝ තිබේ නම් ඒ කිලුට හෝ කැළල හෝ නැති කර දැමීමට වෑයම් කරයි. ඉදින් තමාගේ මුවෙහි කිලුටක් හෝ කැළලක් හෝ නොදකී නම් ඒ හේතුවෙන් සතුටු සිත් ඇත්තේ වේ. පිරිපුන් සංකල්ප ඇත්තේ වෙයි. ‘සැබැවින් ම මට ලාභයකි. සැබැවින් ම මගේ මුව මඬල පිරිපුන් ය’ වශයෙනි.
ඔය අයුරින් ම මහණෙනි, කුසල් දහම් පිළිබඳ ව නුවණින් විමසන්නා වූ භික්ෂුවට බොහෝ උපකාර ලැබෙන්නේ ය. ‘මම් බහුල ව ලෝභයෙන් යුතුව වාසය කරන්නෙම් ද? මම් බහුල ව ලෝභ රහිතව වාසය කරන්නෙම් ද? මම් ද්වේෂ සිතින් බහුල ව වසන්නෙම් ද? මම් ද්වේෂ රහිත සිතින් බහුල ව වසන්නෙම් ද? මම් බහුල ව ථීනමිද්ධයට යට වී වසන්නෙම් ද? මම් බහුල ව ථීනමිද්ධ රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව උද්ධච්චයෙන් වසන්නෙම් ද? මම් බහුල ව උද්ධච්ච රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව සැකයෙන් වසන්නෙම් ද? මම් බහුල ව සැකයෙන් තොර ව වසන්නෙම් ද? මම් බහුල ව ක්‍රෝධයෙන් වසන්නෙම් ද? මම් බහුල ව ක්‍රෝධ රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව කිලුටු සිතින් වසන්නෙම් ද? මම් බහුල ව නොකිලිටි සිතින් වසන්නෙම් ද? මම් බහුල ව කායික පීඩායෙන් වසන්නෙම් ද? මම් බහුල ව කාය පීඩා රහිත ව වසන්නෙම් ද? මම් බහුල ව කුසීතව වසන්නෙම් ද? මම් බහුල ව පටන්ගත් වීර්යයෙන් යුතුව වසන්නෙම් ද? මම් බහුල ව එකඟ නොවූ සිතින් වසන්නෙම් ද? මම් බහුල ව සමාධිමත් සිතින් වසන්නෙම් දැයි.”
(සචිත්ත සූත්‍රය – අං. නි. – දසක නිපාතය)
යම් විටක බහුලව තමන් පාපී අකුසලයනට යට වී සිටින බව දකිනවා නම් එවිට තමා තුළ ඇති ඒ පාපී අකුසල් දහම් ප්රහාණය කිරීම පිණිස ඉතා බලවත් වූ කැමැත්තක් ද වීර්යයක් ද උත්සාහයක් ද බලවත් උත්සාහයක් ද නොපසුබස්නා උත්සාහයක් ද සිහියක් ද නුවණක් ද පැවැත්වීමට කටයුතු කළ යුතුයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. හරියට, වස්ත්‍රය ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඔහුගේ ගිනි ඇවිළෙන වස්ත්‍රය හෝ ගිනි ඇවිළෙන හිස හෝ නිවා ගැනීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තකුත්, වීර්යයකුත්, උත්සාහයකුත්, බලවත් උත්සාහයකුත්, නොපසුබස්නා උත්සාහයකුත්, සිහියකුත්, නුවණකුත් ඇති කර ගන්නවා වගේ…
ඒ වගේ ම, තමා පිළිබඳව නුවණින් විමසනකොට තමන් බහුල වශයෙන් කුසල් දහම්හි පිහිටා සිටින බව දකිනවා නම්, තමා තුළ ඇති ඒ කුසල් දහම් මත පිහිටා තවදුරටත් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස උත්සාහ කළ යුතුයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
මේ උතුම් මනුෂ්‍ය රත්නය අපට කියා දෙන්නේ තමා තුළට ගළපා දැක ගත යුතු අසිරිමත් ධර්මයක්. ඉදින්, අඩුපාඩු සහිතව ම සිටින අප අඩුපාඩු සහිතව ම සිටින අනුන් හා ගැටෙමින් මේ ජීවිත කාලය ගෙවා දමනවා නම් මේ සා අසිරිමත් ජීවිත විග්‍රහයක් තුළ ජීවිතය අවබෝධ කරන්නට අපට ලැබුණු පරම දුර්ලභ අවස්ථාව අහිමි කර ගත්තවුන් බවට පත් වනවා. එනිසා, අඩුපාඩු සහිත ලෝකය ග්‍රහණය නොකර අත්හරින්න. අඩුපාඩු සහිත තමන් ධර්මය තුළින් දකිමින් තමන්ව ද අත්හරින්න. ඒ වෙනුවෙන් මේ උතුම් මනුෂ්‍ය රත්නය සරණ යන්න. ඒ උතුම් මනුෂ්‍ය රත්නයට දිවා රැය වැඳ නමස්කාර කරන්න… කුසල් දහම් පිළිබඳ ව නුවණින් විමසීම බොහෝ උපකාරක වන බව පෙන්වා දුන්, අමා නිවනට මග කියන මිහිරි ශ්‍රී සද්ධර්මය ද ඒ අම නිවන් මග වැඩි නිකෙලෙස් උත්තම සඟරුවන ද සරණ යන්න.
බුද්ධං සරණං ගච්ඡාමි!
ධම්මං සරණං ගච්ඡාමි!
සංඝං සරණං ගච්ඡාමි!
ඔබට තෙරුවන් සරණයි!
සටහන – උදුලා පද්මාවතී.
Recent Comments