පින ගැන අපට පරිපූර්ණ විස්තරයක් කියා දෙන්නේ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ යි. පිනට කියන තවත් වචනයක් තමා ‘සැපය’ කියන්නේ. “කෙනෙක් යම් පිනක් ජීවිතයට රැස්කර ගත්තොත් ඒ පින නැවත නැවත කළ යුතු වෙනවා. කළ පින පොඩියි කියා පිනට අවමන් කරන්න එපා. වතුර බිංදුව බිංදුව එකතු වෙලා කළය පිරෙනවා වගේ පොඩි පොඩි පින් එකතු වෙලා අපේ ජීවිත පිනෙන් පිරී යනවා.” කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ නිසා, ‘පින කියන්නේ කුමක් ද? පින් කරන ක්‍රම මොනවාද?’ කියා අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.
භාග්‍යවතුන් වහන්සේ වදාළා අපේ ජීවිතයට සැපය ළංකර ගන්නට ඕනෑ නම් නිරතුරුව ම පින් කරගන්න කියලා. අස්ථිර වූ සැපය ඕනෑම වෙලාවක අපේ ජීවිතවලින් පලා යන්න පුළුවන්. ඒ වෙලාවන්වල දී අපි ඇඬුවා, වැළපුණා. සමාජයට ඇඟිල්ල දිගු කළා. අපේ ජීවිතයට ලෙඩදුක් පැමිණෙද්දී, අකල් මරණ – ධන හානි වෙද්දී, සොරසතුරු උවදුරු එද්දී, හිත මිතුරන්ගේ බිඳී යාම් – නින්දා අපහාස සිදුවෙද්දී, ඤාති පරිහානීන් සිදුවෙද්දී, නිස්කාරණයේ අන් අයගේ සැකයට භාජනය වීම ආදී විවිධ අවස්ථාවල දී අපේ ජීවිතයෙන් සැපය පලා යනවා. අපි දැනගෙන හිටියේ නැහැ ඇයි මේ සැප අප ඉදිරියේ රැඳෙන්නේ නැතිව අපේ ජීවිතවලින් පලා යන්නේ කියලා.
ජීවිතය හරහා ගලා යන පුණ්‍ය ගංගා…
අංගුත්තර නිකායේ පස්වන පොත් වහන්සේගේ අන්තර්ගත පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ සඳහන් වෙනවා, “පින්වත් මහණෙනි, සැප ලබාදෙන, සැප විපාක ඇති කරන, ස්වර්ගයේ උපත පිණිස පවතින ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, තමාගේ හිතසුව පිණිස පවතින පුණ්‍ය ගංගා, කුසල ගංගා අටක් තිබෙනවා. ඒ තමා මාගේ ශ්රාවකයා බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මය සරණ යනවා, සංඝරත්නය සරණ යනවා. මේ කාරණා තුනෙන් ජීවිතයට පින් ගංගා, කුසල ගංගා ගලනවා. එයින් සැප විපාක උදාකර දෙනවා.”
නැවත භාග්‍යවතුන් වහන්සේ වදාළා, “මහණෙනි, මහා දාන පහක් තිබෙනවා.” කියා. දාන කියූ සැණින් අපට සිහිවන්නේ සංඝයා උදෙසා ආහාරපාන සකස් කර පූජා කිරීම. නැතිනම් දුගී දුප්පත් අයට ආහාර පාන අදිය දීම යනාදියයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ මෙතැන දී වදාළේ මේ අයුරිනුයි. “පින්වත් මහණෙනි, කුමක්ද මේ මහා දාන පහ? කෙනෙක් ප්‍රාණඝාතය දුරු කරලා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා, නොදුන් දේ ගැනීමෙන් වැළකී සිටිනවා, වැරැදි කාම සේවනයෙන් වැළකිලා එය දුරු කර සිටිනවා, මුසාවාදයෙන් වැළකිලා එය දුරු කරනවා, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී එය දුරු කර සිටිනවා. මේ කාරණා පහ කෙනෙක් සමාදන් ව සිටිනවා නම් අප්‍රමාණ සත්වයන්ට බය නැති බව දන් දෙනවා. වෛරය නැති බව දන් දෙනවා. මේ දාන පහ දෙන කෙනා තමාගේ ජීවිතයට නිර්භය බව ළංකර ගන්නවා. සසරේ දී අන් අයගේ වෛරයට භාජනය වෙන්නේ නැහැ. ඒ පුණ්‍ය විපාක හේතුවෙන් නිදුක් නිරෝගී බවට හිමිකාරයෙක් වෙනවා.” කියා. එහෙනම් අපට තිබෙන කරදර, කම්කටලු, දුක් පීඩා හැම දෙයක් අබියස ම සැපවත් ජීවිතයක් ම උරුමකර ගන්නට මේ පුණ්‍ය ගංගාවන්, කුසල ගංගාවන් ජීවිතයට එකතු කර ගත යුතු වෙනවා.
පින් කරන ක්‍රම…
අප දන්නවා අද අපේ සමාජයේ කාන්තාවන් විවිධ සමාජ තලවල රාජකාරි සිදු කරන බව. නමුත් ඒ ජීවිතවල බොහෝ විට දකින්නට ලැබෙන්නේ සිතින් කඩා වැටීමක්. සිත ඇතුළෙන් ශෝක වෙවී බොහෝ දුකට පත් වෙලා සිටීමක්. ඔවුන් කියන්නේ “අපට පින් කර ගන්න විදිහක් නැහැ. අපට පින් කර ගන්න කාලයක් නැහැ, ඒ සඳහා මුදල් නැහැ, විවේකයක් නැහැ, අපට පිනක් කර ගන්නවත් කිසිවෙකුගෙන් උදව්වක් නැහැ.” කියලයි. නමුත් අපට පැහැදිලිව පෙනෙනවා පින් කරගන්න කැමැත්ත, උවමනාව ඇත්නම් ඒ සඳහා ඕන තරම් අවස්ථාව තිබෙනවා.
මල් මාලා ගොතන කෙනෙක් හැම තිස්සේම කල්පනා කරන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයා යන යන තැන සොයා බලන්නේ ලස්සන මල් තියෙන්නේ කොහේද කියලයි. ඒ ඒ තැනට ගිහින් මල් නෙලා ගන්නවා. හොඳින් පරිස්සම් කරගන්නවා. ඉතාම අලංකාර ලෙස මල් මාලයට අමුණා ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ විදිහට අපිත් කටයුතු කළ යුතු බවයි. පින ළඟට එනකම් බලාගෙන සිටීම නුවණක්කාර වැඩක් නොවෙයි. පිනට ආසා කෙනා පින සොයාගෙන යන්නට ඕන. බුද්ධිමත් ශ්රාවකයාට බැලු බැලූ අත පින රැස්කර ගන්න අවස්ථාව තිබෙනවා. බුද්ධිමත් නැති කෙනා ඒ අවස්ථාව මඟහැර ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ සිට මේ වනතුරු සමාජය වෙනස් වුණා කියා හෝ, මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වුණා කියා හෝ මිනිසුන් ජීවිතය ගැන සිතන පැතිකඩයන් වෙනස් වුණා කියා හෝ සමාජය දියුණු වුණා කියා හෝ මිනිසුන්ගේ ජීවිතවලට එන ගැටලුවල කිසිම වෙනසක් වෙලා නැහැ.
එදා සමාජයේ මෙන්ම බොහෝ විට අද සමාජයේත් විහාරයක, අසපුවක, දානයක්, පින්කමක් කෙරෙද්දී කාන්තාව තමයි ඉදිරියෙන් සිටින්නේ. ජීවිතයට පින් රැස් කර ගන්නේ ඔවුන්. නමුත් සමහර කාන්තාවන් මැසිවිලි නඟනවා “අපට මේ මේ ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා පින් කර ගන්න අපට කාලයක්, අවස්ථාවක් නැහැ.” කියලා. නමුත් එබඳු ප්‍රශ්නවලට ම එදා ජීවත් වූ කාන්තාවන් ඒ ආකාරයට ම මුහුණ දුන්නා. නමුත් ඔවුන් සිතපු ආකාරය අද කාන්තාවන්ට වඩා වෙනස්.
පුදුමයි ඒ පින ම යි…
විමානවත්ථු ග්රන්ථයෙහි සඳහන් වෙනවා සාමාන්‍ය ජීවිත ගත කළ අම්මලා වගේම දියණිවරු මරණින් මතු සුගතිය කරා ගිය ආකාරයන් ගැන. දිනක් අපගේ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට දෙව්දුවක් මුණගැසුනා. මහරහතන් වහන්සේ ඒ දෙව්දුවගෙන් අසා සිටියා “ඔබ මෙතරම් සැප ලබන්න මිනිස් ලොව දී කළ පින මොකක් ද?” කියා. දෙව්දුව කියා සිටියා, “ස්වාමීනි, මම ගිහි ජීවිතයක් ගත කළ සාමාන්‍ය කාන්තාවක්. දුවා දරුවන්ගේ වැඩ, රැකී රක්ෂා වැඩ කරමින් ජීවත් වූ කෙනෙක්. හැබැයි මම කාටවත් ඊර්ෂ්‍යා කළේ නැහැ.” එහෙනම් ඊර්ෂ්‍යා නොකිරීම දෙව්ලොව යාමට මඟක්. ඇය තවදුරටත් කියා සිටිනවා, “ස්වාමීනි, තව කෙනෙක් සැප විඳිනවා දකින්න මම හරි කැමැතියි. අන් අය මා සතු දේ පරිහරණය කර සැප විඳිනවා දකින්න තිබෙන අකමැත්ත කියන මසුරුකම මට තිබුණේ නැහැ.” එසේ නම් මසුරු නැතිකම, තමන් ළඟ තිබෙන දෙයකින් අන් කෙනෙක් සැප විඳිනවා දැකීමට තිබෙන කැමැත්ත කියන උතුම් චිත්තය පිනක් උපද්දවා දෙනවා. “ස්වාමීනි, ඒ වගේ ම මම කවදාවත් එකට එක කළේ නැහැ. මම මගේ සැමියාට කීකරුවයි වාසය කළේ. හිතේ තරහට ඉඩ දුන්නේ නැහැ. අමාරුවෙන් වුවත් තරහා සිතිවිලි මම පාලනය කළා. මම අප්රමාදී වුණා. සතර පොහොයට අටසිල් සමාදන්ව වාසය කළා.” එහෙම නම් සීලය කියන්නේ හික්මීම ඇතිකර ගෙන පින් රැස්කර ගන්නට තිබෙන අවස්ථාවක්. “මම නිතර ඉඳුරන් සංවර කර ගත්තා. ආශා කළ දේ පසුපස හඹා ගියේ නැහැ. මට ලැබුණ දෙයින් මම සෑහීමට පත් වුණා. ස්වාමීනි, අටසිල් සමාදන් නොවූ දිනවල මම පන්සිල් හොඳ සිහියෙන් යුතුව රැක ගත්තා. මිනිස් ලොවින් චුත වෙද්දී මම දෙවියන් අතර උපන්නේ මේ රැස් කර ගත් පිනෙන්.” එහෙමනම් යම් කාන්තාවක් සිතුවොත් ‘අපට පින් කරන්න වෙලාව මදි. මුදල් නැහැ. නිවසට හිරවෙලා.’ කියලා ඒ සියලු දේ මේ සිද්ධියෙන් අසත්‍යයක් වෙනවා. තමාගේ ආකල්පවල තමයි බාධාව තිබෙන්නේ. ඇය කල්පනා කරන රටාව වෙනස් කර ගත්තොත් ඇයට ජීවිතය ජය ගන්නට පුළුවන්.
ඒ වගේම තව එක් දෙව්දුවක් මෙසේ සඳහන් කරනවා. “මම මිනිස් ලොව ජීවිතය ගත කළ කාලයේ අම්මා කෙනෙක් දරුවෙක් රකිනවා වගේ මගේ ස්වාමියාව රැක ගත්තේ. මටත් කේන්ති ගිය අවස්ථා තිබුණා. නමුත් මම නපුරු වචනයක් පිට කළේ නැහැ.” එසේ නම් ඇයට කේන්ති ගියා. නමුත් ඇය තේරුම් ගෙන තිබුණා තරහ කියන්නේ අකුසලයක් බව. එනිසා ඇය කේන්ති ගැනීමෙන් හැකිතාක් දුරට වැළකී සිටියා, කේන්ති ආවත් තරහ වචන පිට කිරීමෙන් වැළකී සිටියා. “ඒ වගේම ස්වාමීනි මම බොරුව දුරු කරලා සත්‍යය පමණක් කතා කළා.”
හැඳිමිටේ නුවණ…
බොහෝ කාන්තාවන්ට අද තිබෙන සමාජ රටාව අනුව රැකී රක්ෂාවන් කරන්නට සිදු වෙනවා. නිවසට ආ විට නිවසේ බොහෝ වැඩ තනියම කරන්න වෙනවා. එවිට ඇගේ ජීවිතයේ විවේකය අඩු වෙනවා. ඇයට සිතෙන්නට පුළුවන්, ‘මට සෑයක් බෝධියක් වන්දනා කරන්න යන්න විදිහක් නැහැ, නිදහසේ පිරිත් ටිකක් කියන්න නැහැ, මට සැනසිල්ලේ විහාරයකට ගොස් බුද්ධ වන්දනාව කරන්න හැකියාවක් නැහැ. මට ඇස් දෙක පියාගෙන බුදුගුණ සිහිකරන්න වෙලාවක් නැහැ.’ කියලා. නමුත් නිවසක අම්මා කෙනෙකුට ජීවිතයට පින් රැස්කර ගන්නට තිබෙන අවස්ථාවන් හරියට පාවිච්චි කළොත් ඇයට නිසැකව ම බොහෝ සේ පින් රැස්කර ගන්නට පුළුවන්.
ඉහත කී දෙයට අමුතුවෙන් කාලයක් වෙන් කර ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සමාදන් වූ සිල්පද රැක ගන්නට අමුතු කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජීවිතයේ කොටසක් ලෙස මේ සීලය ජීවිතයට ළංකර ගත්තොත් පුණ්‍ය ගංගා අපේ ජීවිතයට ගලා එනවා. තිසරණයේ සරණ අපේ හදවතේ රඳවා ගන්න අමුතුවෙන් කාලය වෙන් කරන්න ඕනෑ නැහැ. ඒ හැම වෙලාවේ ම අපේ ජීවිතයට සමීප වෙන්නේ
පින යි.
මේ හැම දෙය ම කරන්නට තිබෙන්නේ අපේ සිතත් සමඟ යි. පුංචි පුංචි ප්‍රශ්න ලොකු දේවල් ලෙස සිත ඇතුළට දා ගත් විට ඇගේ සිතේ බුදුරජාණන් වහන්සේට ඉඩක් නැතිව යනවා. ධර්මය ගැන සිහි කරන්න, ඒ ධර්මය දරා ගන්න ඉඩක් නැතිව යනවා. සඟ ගුණ සිහි කරන්නට ඉඩක් නැතිව යනවා. එසේ ඉඩ නැති වෙන්නේ පුංචි සිත් රිදවීම්, පුංචි බාධක, අඩුපාඩු හිතේ පිරිලා තිබුණාම යි. වැපිරූ දේයි අස්වැන්න විදියට ලැබෙන්නේ. ලෝකයේ හැමදාම අර්බුද තිබුණා. සිල් රැකගෙන, ජීවිතයට එන අර්බුද හමුවේ ඒවා ප්‍රශ්නයක් නොකරගෙන, ඒ අර්බුද අපේ ජීවිතයේ කොටසක් බවට පත් නොකරගෙන කල්පනා කරන රටාවේ වෙනසක් කර ගත්තොත් ඒ අර්බුද තුළ සැනසිල්ලක් ලැබෙනවා. සිල්වත් ව ජීවත් වෙද්දී, දුක් උපදවන යම් යම් කර්ම විපාකයන් තිබෙනවා නම් ඒවා පවා බරපතළ පීඩා නූපදවා ගෙවිලා යනවා.
මේ සෑම කථා පුවතකින්ම අපට තේරෙන්නේ ඔවුන්ට දෙවියන් අතරට යාමට උදව් වී ඇත්තේ මෙත් සිත යි, ඉවසීම යි. සමාදන් වූ සිල්පදයි. ඒ වගේ ම ඔවුන්ට දෙවියන් අතරට යාමට අග්‍ර පිනක් උපදවා දී තිබෙනවා තිසරණය. සමාජයේ මොන වගේ පසුබිමක සිටියත් සිත දමනය කරගෙන, පහන් සිත රැකගෙන, පින් රැස්කර ගත් අයයි සුගතියේ ඉපදුණේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා පංචසීලයේ මනාකොට හික්මිලා, වචනය සංවර කරගෙන, ‘අන් අයගේ දේ තමා සතු වේවා’ යි නොසිතමින් අකුසල් දුරු කරගෙන වාසය කරනවා නම් ඒ සියලු දෙනා සුගතියේ උපදිනවා කියලා. ඒ අය වෙනුවෙන් තමා දිව්‍යලෝක, මිනිස් ලෝක තිබෙන්නේ. මේ සියල්ල සිතන රටාවත් සමඟ
රැස්කර ගන්න තිබෙන දේ.
සිතන රටාවේ වෙනසක්…
බොහෝ කාන්තාවන්ගේ සිතට විශාල සතුටක් එනවා ලොකු දානයක් පූජා කරගත් විට. නමුත් ධර්මයේ සඳහන් වෙනවා යමෙක් අඩුගණනේ සුවඳ ස්වල්පයක් සිඹිනා මොහොතක් මෙත් සිත පුරුදු කරනවා නම් ඔහුට බුදුරජාණන් වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයාට දානය පූජා කරනවාට වඩා පිනක් රැස්වෙනවා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා මතුවට සැප විපාක ලබාදෙන යම් මහත් වූ පුණ්‍ය ක්‍රියා ඇත්ද ඒ සියල්ල මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් නොවටිනා බවත්, තරු පරදවා සඳෙහි ආලෝකය බබළනවා මෙන් මෛත්‍රී චිත්ත විමුක්තියම හාත්පසින් බබළනවා කියා. කෙනෙකුට මුළු ලෝකයට ම මෙත් සිත පතුරන්නට වෙනම කාලයක් වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදිනෙදා කටයුතුවල නිරත වන අතරම සිව් ඉරියව්වේම මෙත් සිත පතුරවමින් සිටින්නට පුළුවන්.
පින් රැස්කර ගන්නට අපට කෙතරම් අවස්ථා තිබෙනවා ද? මල් කාරයා දක්ෂ නැත්නම් මල් කන්දක් තිබුණත් වැඩක් නැහැ. ඔහුට ඒ මල්වලින් ලස්සන මල් මාලා ගොතාගන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ වගේ ම මිනිස් ලෝකයට ආ කෙනා දක්ෂ නැති නම්, බුද්ධිමත් නැති නම් මොහොතක් මොහොතක් පාසා පින් කර ගන්නට තිබෙන අවස්ථාව මඟ හැරෙනවා. තමා කරන සුළු පින වුව ද සිත සිතා සතුටු වුණොත් ඒ පින මෝරා යනවා. අපට ඒ දේ කර ගැනීමට දැනුවත් වීමකුයි නැත්තේ. එනිසා, පින අපේ හදවතේ රුවාගෙන, අඳෝනා ජීවිතයෙන් ඈත් කරලා ඉදිරිය බැලුවොත් බැලු බැලූ අත පින් රැස්කර ගැනීමට අවස්ථාව තිබෙනවා.
නයනා නිල්මිණී.
Recent Comments