ඩොලී වැඩිපුර තියේ නම් මටත් මාළු ටිකක් දීපං. සුනංගු වෙන්න බැරියෝ.” යි වසන්ත වෑකන්දේ සිට ඩොලීට කෑ ගසා කීවේය. ඩොලී වසන්තගේ ඥාති නැන්දනියක වුවත් ඔහු ද ගමේ කවුරුත් වාගේ ආමන්ත්‍රණය කරන්නේ ඩොලී යනුවෙනි.
වැව මැද්දේ මාළු ගලවන්නට සූදානම් වූ ඩොලී වසන්ත දෙස බැලුවේ කැමැත්තකින් නොවේ.
“අහවල් දේකට ද බං මං උඹට මාළු දෙන්නේ?” යි ඩොලී කෑ ගසා කීවේ වසන්ත සමඟ ඇයි හොඳයියක් නැති බව අඟවන්නට මෙනි.
“නිකං නොවෙයි සල්ලි දෙනවෝ.
දීපානිට මේ පාරත් නිවුන්නු” යි වසන්ත පෙරළා කීවේ ඩොලීව තේරුම් ගනිමිනි.
“උන්ට දරුවෝ වදන්න මං මාළු දෙන්න. දෙයි මගේ බල්ලෝ” යි කියා තමාට පමණක් ඇසෙන්නට කියා ගත් ඩොලී තමා පැමිණෙන තෙක් වසන්ත බලා සිටිනවා දැක ඔරුකඳ වැවේ එළා තිබූ දැලෙන් මේ පැත්තට ගත්තාය. එවිට වසන්තට තමා මාළු ගලවනු නොපෙනෙන බව ඕ දත්තාය.
ඉනික්බිති ඩොලී දැලට හසුව සිටි මාළුන්ව එකින් එකා මුදාහරින්නට වූයේ නොළතවෙමිනි.
“උඹලා මගෙන් බේරුනා නෙවෙයි.
වසන්තට නොදෙන්නයි මං තොපිව අතහරින්නේ. බලමුකෝ වෙන දවසක තොපිට වෙන දේ.” ඕ මාළුන්ට කීවේ අවඥාවෙනි.
“උඹ සුනංගු ද?” වසන්ත ආයෙත් ඇසුවේය.
“ඩිංගක් හිටින් බලන්න. දැලේ රොඩු විතරයි මාළු නෑ.” ඩොලී අවසන් මාළුවාවත් නිදහස් කරමින් පැවසුවාය. සැනසුම් සුසුමක් හෙළුෑ ඩොලී ගඟ මැද වූ ගල් පොත්තේ වේළෙන්නට දැමූ කොස් මදුළු දෙස මඳ වෙලාවක් බලා සිට වැව් ඉවුරට ඔරුව පැද්දේ සෙමිනි.
වැව් ඉවුරේ වූ හතරැස් ගලට ගොඩ වී ඔරුව ලීයේ ගැට ගසා හබල පමණක් රැගෙන ගොඩට එන ඩොලීව දැක වසන්තට තරහක් ඉපදිණි.
“අද මාළු නෑ නොව. ඒකෙත් හැටි”යි ඔහු ඩොලීට ඇසෙන්නට කීවේ තම සිත සඟවා ගනිමිනි.
“වෙන දවසක දෙන්නං.” ඩොලී හබල කරේ තියාගෙන වසන්තට පැවසුවාය. වෑකන්ද මත යෝධ රුවක් මෙන් නැගී සිටි ඩොලී අබියස නිහඬ වූ වසන්ත යතුරු පැදිය පණගන්වාගෙන වෑකන්ද දිගේ යන්නට විය. මඳ දුරක් ගිය ඔහු නැවතී ආයෙම පසුපස බැලුවේ ඩොලී තමාට බොරුවක් කළාදැයි දැනගැනීමට ය. ඩොලීට මාළු වැරදුන බවක් ඉතිහාසයේ නැති බව ඔහු දන්නේ ය. තමාගේ සිතිවිල්ල වැරදි බව ඔහුට වැටහුනේ හිස් අතින්ම ඈත යන ඩොලී ව දැකීම නිසාවෙනි.
රෑ කෑම කන විට උගුරේ මාළුවෙකු සිරවී මව මිය ගියේ ඩොලීට වයස අවුරුදු හතලිස් දෙකේ දී ය. පිරිමි පෙනුමක් තිබු ඩොලී දෙස එක්වරකට වඩා කිසිදු පිරිමියෙක් බැලුවේ නැත. එහෙයින් ඩොලීව බඳින්න ගමේ කිසිවෙක් කැමති නොවීය. මවගේ මරණයෙන් වසර අටකට පසු ඩොලීට අසනීප වූ දිනෙක රූබන් මාළු ගැලවීමට තනිවම ගියා ගියා ම ය, යළි ගෙදර ආවේ ම නැත. වැවේ පාවුන මිනිය ඉස්පිරිතාලයට ගෙන ගොස් එහි දී ම භූමදානය කරන්නට කටයුතු යෙදිණි.
“උඹ බයවෙන්නෙපා පුරුදු රස්සාව කරපන්. අපි දෙන්නම ඉන්නේ වැවේ.” පියාගේ මරණයෙන් සතියකට පසු හීනෙන් පෙනී සිටි මව ඩොලීට කීවාය.
මව පැවසුයේ ඇත්තකි. වෙන දෙයක් වෙත්දෙන් කියා ඩොලී පියාගේ රස්සාවට බැස්සාය.
“පුදුමෙ කියන්නේ බැල්ලි බැළලියෝ වගේනේ දීපානිගේ ළමයි වැදිල්ල. එක පාරම හත අට”යි හබල බිත්තියට හේත්තු කරමින් ඩොලී කීවේ උස් හඬිනි. හුදෙකලා නිවසක් වූ ඇගේ නිවසේ සිට කථාකරන හඬක් ගම්මු කිසිවෙකුටත් නෑසුණි.
මාළු නැතුව බත් කෑම ඩොලීට අමාරු ය. මුට්ටියට අත දමා කරවල කෑල්ලක් සෙව්වත් ඇයට හසුවුණේ අඟුළු කරවල කට්ටක් පමණකි. කරවල කටුව ළිපට දමා පුළුස්සා ගත් ඩොලී ඒ සමඟ බත් කටවල් කිහිපයක් ගිල දැම්මාය. කරවල කටු ටික දුම් මැස්සට දැම්මේ එළියට දැම්මොත් බල්ලෙක් බළලෙක් කන නිසාවෙනි.
“උන්ට මොකටද කරවල කටු?” තමාගේ ක්‍රියාවෙන් සතුටට පත් ඩොලී කීවාය. ඈ කිසි දිනෙක ඉඳුල් ඇටයක් හෝ එළියට නොදමන්නට වග බලාගත්තේ සත්තු කතියි සිතා ය.
“අනුන්ගේ බල්ලන්ට කටු කැව්වා ම අපිටමයි බුරාගෙන එන්නෙ.” ඩොලී ඒ කථාව කිව්වේ ඇඩලින් හාමු සමඟිනි.
“හාමුත් ඔය දන්සැල වගේ එන එන එකාට දුන්නට මොකද බලන්නකෝ දවසක වෙන දේ. හාමුලට උඩින් යන්නයි ඔය කොයි එකාලත් දත කට කන්නෙ.” ඩොලීගේ හැටි දන්නා ඇඩලින් හාමු ඒ කිසිවක් ගණනකට නොගත්තාය.
“උඹටත් ඕනි දෙයක් තියේනම් අරං පලයන් ඩොලී.” එවලෙට ඈ කියන්නේ එපමණකි. එවිට ඩොලී තමාට අවශ්‍ය අඩුපාඩු සියල්ල වලව්වෙන් පිරිමසා ගනී.
බත් කෑවත් මාළු නැති නිසා ඩොලීගේ හිත පිරුණේ නැත. ඕ පන් මල්ලත් රැගෙන මිදුලට බැස්සේ වලව්වට යාමට ය. දැඩි හිරු රැස් ඩොලීට පීඩාවක් නොවිණි. ඇගේ කබර හමට ඒවා හොඳට පුරුදු ය.
ඩොලී වලව්වට ඇතුළු වූයේ පිටිපස්ස පැත්තේ දොරිනි. කුස්සියේ සිටි ඇඩලින් හාමු ඩොලීව දැක මඳක් තිගැස්සුනාය.
“මං බය උනේ මේ කව්ද කියල. මොකද බං ඩොලී උඹ එන්න එන්නම නපුරුපාට වෙන්නේ?” ඇඩලින් හාමු ඇසුවේ ඉනේ අත්දෙක තබා ගනිමිනි. එවිට ඈ දෑතේ පැලඳ සිටි වළලු ජෝඩු හතර ම ඩොලී දුටුවාය. ‘අත් දෙකම පුරවල වළලු. අප්පේ උපන්තේකට මයේ අතකට වීදුරු වළල්ලක්වත් දාල නැහැනෙ’ යි ඩොලීට සිතුණි.
“නාකි වෙනකොට ලස්සන වෙනවද හාමු?” ඩොලී කීවේ වළලුවලින් දෑස් ඉවත් කරගෙන නොවේ. වළලුවල බර දැනුණේ ඇගේ සිතට.ය. ඇගේ සැනසිල්ල අතුරුදහන් විය.
“හාමු කොහේ හරි යන්න ද මේ තරම් උජාරුවට ඇඳගෙන?” ඩොලී ආයෙම ඇසුවේ බොරුවට සිනාසෙමිනි.
“ඇයි බං ගුණසිංහගේ පොඩි කෙලීගේ මංගල්ලෙනෙ. එහෙ යන්න.”
“ගුණයට පිස්සු. ලොකු එකීව මිනිහ අත්හැරල ගිහිල්ලත් දැන් අනිත් එකීවත් බන්දවනවා.” ඩොලී කිව්වා නොව ඈට එකවර ම කියවිණි.
“මාළු ගෙනාව ද?”
“අද නැහැ හාමු එකෙක් අහුවුණේ.”
“කාට හරි වැඩි ගාණට විකුණගෙන උඹ බොරු කියනවා.” ඇඩලින් හාමු කීවේ අවංකව ම සිතුණ දේ ය.
“මං හාමුට බොරු කියනව ද? මටත් කෑම හරි ගියේ නැති නිසා තමයි මාළු නැතත් වලව්ව පැත්තෙ ආවේ.” ඩොලී කීවේ විශ්වාසය ඇඟවෙන ආකාරයෙනි.
“ඒකත් එහෙමද. අමරා ඩොලීට හොඳට කන්න දීල ඉල්ලන දෙයක් දීල යවපන්. මට පරක්කු වෙනවා”.යි කියූ ඇඩලින් හාමු කුස්සියෙන් පිට වූවාය. අමරාත්, ඈට පිටුපසින් ඩොලීත්, හාමු පස්සෙන් ගියෝය.
වලව්ව හරහා යත්දී ඩොලීගේ ඇස නවතින්නෙම අලංකාර ලී බඩුවල ය.
ඒවායේ ඇස හැපෙන හැපෙන වාරයක් පාසා ඇගේ හදවත රිදුණි. ‘මෙහෙම ලී බඩු ගොඩක්. වලව්ව පුරවලා. සාප්පුවකවත් නැතුව ඇති. අපේ ගෙදරට ම තියෙන්නේ පුටු කබලක් විතරනෙ.’ ඇගේ සිතුවිලි එසේ විය.
“ඈ බං අමරෝ ගුණයලගෙ ගෙදරට යන්නත් හාමුට වාහනයක් ඕනෙ ද?” ඇඩලින් හාමු වලව්වේ රථයෙන් පිටව යන ආකාරය බලා ඩොලී ඇසුවේ සිතෙහි වෙන දෙයක් සඟවාගෙන ය.
“උඹලගෙ අපේ තමයි පයින් ගාටල ගාටල කකුල් ගෙවිල තියෙන්නෙ.”
“පින් කරපු මිනිස්සුනේ” යි කියූ අමරා නැවත “බත් කන්න යමු” යි කියා ඩොලීට පෙරටු වූවාය.
අමරා කෑම බෙදා දුන්නේ ලොකු වීදුරු පිඟානකට ය. කෑම පිඟාන අතට ගත් ඩොලීගේ සිතට නොයෙක් සිතුවිලි නැගිණ.
‘මට කන්න දෙන්නත් මෙච්චර හොඳ පිඟානක් නම් හාමුල… අප්පේ මම කන්නෙ මැටි කෝප්පෙකනේ. ඒ මදිවට මාළු පිනි හය හතක්. මම එකනෙ. වැඩිම වුණොත් දෙකයි.’
“මෙච්චර දේවල් උයල තියෙද්දි ද බං අමරො හාමු ගුණයගෙ මඟුල කන්න ගියේ?” කෑම නොකා ම ඩොලී ඇසුවාය.
“ඔය ගියාට හාමු ඔය ගෙවල්වලින් කන්නෙ නැහැ. කීයක් හරි දීලා එන්නයි ගියේ.” අමරා කීවේ කන ගමන් ය.
“ඒක යසයි නොකා ම සල්ලි දීලා එනවා. ගමේ හැම එකාලම හාමුට මඟුල් කියාවිනෙ.” ඩොලී කීවේ අනාගත් බත් කට නොකා ය. අමරා කිසිත් නොකීවාය.
“හැමදාම මෙහෙම උයනව ද?” ඩොලී ආයෙම ඇසුවාය.
“ඔව් හාමුට හොඳට කන්න ඕන.”
ඩොලී පළමු බත් කට හැපුවාය.
ඇගේ රස නහර පිනා ගියේ මොහොතකිනි. ‘අප්පා මෙහෙම රහට ද හාමු හැමදාම කන්නෙ. මං කන ඒවයෙ මිරිසුයි ලුණුයි විතරනෙ.’ කෑම නතර කරගෙන ඩොලී කල්පනා කරන්නට වූවාය.
“ඩොලී නැන්ද කල්පනා කර කර ඉන්නෙ නැතුව කන්න. මට මේවා හෝදන්න තියෙනවා.” අමරා කීවේ අමනාපයෙන් නොවේ.
“ඈ බං කෙල්ලෙ උයන්නෙ උඹ ද හාමු ද?”
“මම. හාමුට උයන්න බැහැ.” තරමක ආඩම්බරයෙනි අමරා කීවේ. ඩොලීගේ යටි තොල මඳකට හැපිණි.
“ඈ බං දුවේ උඹට දැන් වයස කීය ද?”
ඩොලී ඇසුවේ කන ගමන් ය.
“විසි නවයයි.”
“විසි නවයක්… අප්පේ දැන් කසාද බැඳලා ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ඕනි වයසනෙ බං.” අමරාගේ මුහුණ වෙනස් වූ අයුරු ඩොලීට හොඳින්.ම පෙනුණි. ඈට සතුටක් දැනුණි.
“උඹ කසාද බඳින්න අකමැති ද?”
“එහෙම එකක් නැ. කවදාහරි හාමු මොකක්හරි කරල දෙනකං බලන් ඉන්නවා.” අමරාගේ හඬෙහි කැමැත්තත්, ශෝකයත් දෙකම ගැබ්ව ඇති බව ඩොලීට හොඳට තේරුණි.
“බලන් හිටපං හාමු උඹව බන්ඳනකන්. ඇයි බං මෙහෙම රහට උයල කන්න දෙනව නම්, වලව්වෙ ඔක්කොම වැඩ කන්දරාව ම කරනවා නම් උඹව පිට යවාවි ද? උඹත් අම්ම වගේ ම මෝඩ ගහක්නෙ බලාගෙන ගියාම.” ඩොලී කීවේ මවාගත් අනුකම්පාවෙනි. අමරා නිහඬව ම සිටියා ය.
“උක්කුව නම් කැමතියි.” ටික වෙලාවකට පසු අමරා කීවේ කෝල හඬිනි. ඩොලීට හිනා නැගිණි.
“ඉතින් පල කෙල්ලෙ වලව්වේ තියෙන සබ්බ සකලමනාව.ම අතගාගෙන,….උක්කුවට….එතකොට පොල්.ගස් නගින්න ඕනිත් නැහැ. ඔය කොළඹ දිහාට ගියාම ඌට රස්සාවක් හොයා ගන්න පුළුවන්නෙ.”
අමරා තිගැස්සී ඩොලී දෙස බලා සිටින්නට වූවාය.
“බය නොවී පල මං උක්කු ළමයටත් කියන්නං.”
ඩොලී වලව්වෙන් පිටවුණේ පැමිණියාටත් වඩා වැඩි සතුටකිනි. ඈට අමරා නොදුන් දෙයක් නැති තරම් ය. වලව්වේ පිටුපසින් පැමිණි ඩොලී ඉදිරිපසින් පිටව ගියේ උක්කුවා හමු වීමට ය.
“වැට නේද ගහන්නෙ? ඔය වැට උඹලගෙ සීයගෙ කාලෙ තිබුණෙ මෙන්න මෙතන. වලව්ව හදන්න කලින් තිබුණෙ අඩි පාරනෙ.” ඩොලී ඇද පැද කියත්දී බංඩාර උඩට එසවූ යකඩ ඉන්න බිමට නොගසා බලා සිටියේ ය.
“විනී හාමුයි, උඹලගෙ සීයයි හොඳට රණ්ඩු කරා. සීයා නෙවෙයි පාර දුන්නෙ. ඔය වලව්ව හදන්න බඩු ඇද්දෙ මහ පාරෙ ඉඳන් කරේ. දැන් නම් ඉතිං මේ පාරෙ බස් දෙකක් උනත් එක පාර යන්න පුළුවන්නෙ.” ඩොලී එවර ද කම්පා වන්නට වූවා ය. බංඩාර ඩොලී දෙස ම බලා සිටියේ ඉහමොළ රත් කරමිනි.
“උඹලගෙ තාත්තා නෝන්ජලයා උනානේ. විනී හාමු බය කරලම පාර ගත්තෙ. හරියටම මෙන්න මෙතනින් වැට තිබුණේ.” ඩොලී වැට තිබූ තැන යැයි පෙන්නුවේ ඇඩලින් හාමුගේ රථය ගෙන යාම කළ නොහැකි තරමට පාර පටු කරමිනි.
ඩොලී උක්කුවාගේ ගෙදරට යන විට ඔහු සිටියේ මිදුලේ පුටුවක ඉන්දවා මහලු මව නාවමිනි. ඒ දුටු ඩොලීට තමා පැමිණි කාරණය ද අමතක විය.
“ඈ බං පුතේ මේ ගිනි ගහන රස්නෙ අම්මව උණුවතුර නාවන්න උඹට පිස්සු ද?” ඇගේ අකමැත්ත ප්‍රකාශ කළේ වෙනස් ආකාරයෙනි.
“හැමදාම නාවන එකනෙ නැන්දෙ.” උක්කුවා ඩොලීට නැන්දේ යි කිව්වේ ඈ ඔහුට පුතා කිව් නිසාවෙනි.
“නාකි නාවන්න නෙවෙයි. අන්න හාමු මඟුල් ගෙදරක ගියා. අමරා කෙල්ල හණික එන්න කිව්වා” යි කියා උක්කුවාට පැවසූ ඩොලී,
“මං වසන්තයලගේ ගෙවල් පැත්තෙ යනවා. ඌ තරහ වුණා ද දන්නෙ නෑ බං. එහෙම කරගෙනත් බෑ නොවැ” යි කියා වසන්තගේ නිවසට
යන අතුරු පාරට හැරුණාය.
පියවරක් පියවරක් පාසා ඩොලීට මඟ දෙපසින් ම පෙනුනේ වසන්තගේ හරකුන්ව ය. ‘මගේ අප්පේ මෙහෙමත් හරක්. මුන් පෝයෙන් පෝයට පැටව් ගහලද මන්ද මේ තරම්.’ දෙතුන් පළකම නැවතුන ඕ හරකුන් දෙස බලාගෙන කල්පනා කළාය. ඩොලීට ගෙය පෙනෙන දුර දී පිටුපසින් පැමිණි වසන්ත යතුරු පැදිය ඈ අසල නැවැත්තුවේය.
“උඹලගෙ ගෙදර යන්නෙ.”
“අනේ හොඳයි මං ළමයින්ව ශිෂ්‍යත්වෙ පන්තියෙන් ගේන්න ගියා.” වසන්ත කීවේ පසුපස අසුනේ සිටි නිවුන් දරුවන් දෙසට හිස හරවමිනි.
‘ළමයි පුහුල් ගෙඩි වගෙයි.’ ඩොලීට සිතුණි.
“ගෙදර ගිහින් කථා කරමු” යි කියූ වසන්ත යතුරුපැදිය පණ ගන්වාගෙන යන ආකාරය ඩොලී බලා සිටියේ අමනාපයෙනි.
“විභාග පාස් කරවල ලොකු මහත්තුරු කරන්නයි හදන්නෙ. මං ගියේ දෙකට විතරයිනෙ.” ඩොලී තමාට ම කියා ගත්තාය.
ඩොලී වසන්තගේ නිවසට ඇතුල් වෙද්දී දරුවන් දෙදෙනා සිටියේ ඉස්තෝප්පුවේ මී කිරි කමිනි. ඩොලීව දුටු සැණින් දරුවන් ගෙට දිව්වේ බියපත්ව ය. ‘මයේ අප්පේ ගෙයි විශාල. සාගරයක් වගේ.’ සිය කුඩා ගෙය සිහි වී ඩොලීට සිතුණි. ඕ ඇස කරකවමින් ගේ පුරාම හොඳට බලා ගත්තාය.
“මෙයා කිව්ව අක්ක එනව කියල.”
“නිකං ඉන්න එකනෙ ගෙදර.” ඩොලී කීවේ අලුත් පුටු දෙස බලමිනි.
“ඉඳගන්න ඩොලී.”
“කමක් නැද්ද?” ඩොලී දීපානිගෙන් ආයෙම ඇසුවේ ඈට වැරදුණාදැයි දැන ගැනීමට ය.
“කමක් නැහැ. ඉඳගන්න තමයි ගෙනාවෙ.”
“මේව උඹල අපිට සැප වැඩියි බං.” පුටුවේ වාඩි වුණ ඩොලී කීවේ තාලයකට ය.
“ඔය රෙදි කන්දරාව හෝදන්න ද බං මේ බඩගෙඩියකුත් තියාගෙන උඹ හදන්නෙ?”
“හැමදාම මෙහෙම තමයි ඩොලී.” දීපානි අතේ තිබූ රෙදි ටික හොඳට පෙන්වමින් කීවා ය. ‘මෙහෙමත් රෙදි කන්දරාවක් අඳිනවනෙ මුන්’ යැයි ඩොලීට සිතුණත් “මට තියෙන්නෙ කඩමලු දෙකයි.
හරි ලේසියි.” කීවාය.
“මේක පෙඟෙන්න සබන් කුඩු දාලම එන්නං.”
“පිස්සුද උඹට මෙහෙ දියන් මං හෝදල දෙන්න.” ඩොලී නැගිටිමින් කීවාය. දීපානි පස්සට ගියාය.
“මෙහෙ දියන් ඕක”.යි කියූ ඩොලී රෙදි ටික ගත්තේ උදුරලා වගේය. ඉඳහිට කීයක් හෝ ලැබෙන වසන්තගේ හොඳ හිත දිනා ගැනීමට ඈ සිතුවේ මාළු නොදීම නිසා අමනාප ව ඇතැයි සිතූ හෙයිනි.
“ළමයින්ට බත් කන්න පුරුදු කරපං. කිරි ම කාල තර වෙයි පිටි මිටි දෙක වගේ.” ඩොලී දිපානිට දැනමුතුකමක් ද දීමට අමතක නොකළාය.
ඩොලී ඇඟේ තිබුණ මුළු වෙර යොදා හැම ඇඳුමක් ම හොඳට ගලේ ඇතිල්ලුවාය. බූල් මතු නොවුණ රෙද්දක් නැති තරම් ය. දරුවන්ගේ මේස් කුට්ටම් දෙක ඉරුනේ නැතුවා පමණි.
“අද තමයි රෙදිවල හොඳට කුණු ගියේ.” රෙදි ටික වැලට දමමින් ඩොලී කීවේ තමා අසලට පැමිණි වසන්තට ය.
“හරක්ට වතුර ටිකක් දීලා එන්නං.”
“උඹ කෑව ද?”
“පස්සෙ කනවා.”
“ඇයි බං කන්නවත් වෙලාවක් නැති එකේ විකුණලා දාපං ඔය තිරිසනුන්ව” “උන් අපේ පණ.” වසන්ත කියූ දේ ඩොලීගේ සිත් ගත්තේ ම නැත. දීපානි එන විට.දී දුන් මී කිරි හට්ටි දෙකෙන් එකක් ගෙදර ඇවිත් කන ගමන් ඩොලී කල්පනා කළේ වසන්තගෙ හරක් රංචුව ගැන.ම.ය. ‘හැමදාම උන් කිරි කනව එහෙනම්.’ කිරි කටක් කටක් ගානේ ඇයට සිතුණි.
පෝය දවසට ගමට තොරොම්බල් බඩු අරගෙන එන ප්‍රදේශයේ හරක් හොරකමට ප්‍රසිද්ධ මහතුන්ගේ ඔත්තුකරුවා වූ තංගන්ගේ බයිසිකලයේ සීනු හඬ ඩොලීට ඇසුණි. ඩොලීගේ කල්පනාව පුළුල් විය. ඕ තංගන්ව ගෙදරට අඬ ගසා ගත්තාය.
“වසන්තගෙ හරක්ගෙන් ගමට.ම මළ කරදරේ. උඹලගේ එවුන්ට කියල අරන් පල, මං උදව් කරන්නං.” හිතට කිසිම ඉස්පාසුවක් සැනසිල්ලක් නොවුණ නිසා ඩොලී තංගන්ට කෙළින්ම යෝජනා කළාය. නොකීවත් තංගන් ගමට පැමිණියේ ගමේ හරක් පිළිබඳවත්, වැවේ නිධානය පිළිබඳවත් ඔත්තු බැලීමට ය.
“උඹ එන්නෙ ඒකට තමයි. මේ ගමේ අහවල් මඟුලක් විකුණන්න ද?” තංගන් ඇත්තට ම බය විය.
“බය වෙන්න එපා බං.” අඩ හෝරාවකටත් වඩා කරුණු කීමෙන් තංගන්ව වැඩේට කැමති කරවා ගන්න ඩොලී සමත් විය.
“මාස පෝයදාට වැඩේ කරපං. ඊට කලින් මං ගම බය කරන්නං. මතක තියාගනින් උදේ වෙත්දී මට පැටියෙක් මරල මස් ටික ඕන.”
“ඩොලී අක්ක අපිව අහුවේවිනෙ.”
“අහුවෙන්නෙ නෑ බං. වසන්තය ගුරුකම් කළොත් මොකද වෙන්නෙ. ඊට කලින් ඌටත් මස් ටිකක් කවා ගත්තොත් අපිට කරදරයක් වෙන්නෙ නෑ.”
තංගන් ඊට එක පයින් ම කැමති විය.
“ඩොලී අක්කට?”
“මට මුකුත් එපා. තොපි මුන්ව අරන් ගියොත් මට ඇති.” ඩොලී අවසානයට කීවාය.
මාස පෝයට දවස් දෙකකට කලින්දා රාත්‍රියේ ඩොලී ගම දෙවනත් වෙන්න ග්‍රීස් යකා තමාව මරන්න පැමිණි බව කියා කෑ ගැසුවාය. ගමේ කලබල නොවුණ කෙනෙක් නැති තරම් ය.
ග්‍රීස් යකා කව්දැයි ගම්මු දැනගත්තේ මාස පෝයදා උදේ ය. ඊට කලින්දා රාත්‍රියේ දී උක්කුවා අමරාව ද රැගෙන ගමෙන් පැන ගොස් තිබුණේ ඇඩලින් හාමුගේ රත්තරන් බඩු සියල්ල ද සමඟිනි.
“අමරාව පන්නගෙන යන්න උක්කුව කරපු වැඩක්. ඩොලිය ගමටම කියන බව දන්නා නිසා ඩොලියව බය කෙරුවෙ කලින් දවසෙ.”
තමන්ට වැරදුන බව ගම්මු තේරුම් ගත්තේ මාස පෝයදාට පසුදා උදෑසනේ දී ය.
“ඊයෙ රෑ වසන්තගෙ හරක් ටික ඔක්කොම හොරු අරන් ගිහින්. ග්‍රීස් යකා හරක් හොරුන්ගෙ වැඩක්.” ගම්මු කථා වූහ. තංගන් උදෙන්ම පැටවෙකු මරා මස් ටිකක් ඩොලීට එවා තිබුණි. ඩොලී ළපටි හරක් මස් හොඳට ලුණු ඇඹුල් මිරිස් දමා ඉව්වේ මස් මොනවාදැයි නොදැනෙන්නට ය.
දවල් දොළහ වෙත්දී ලොකු බත් මුලක්.ද රැගෙන ඩොලී වසන්තගේ ගෙදරට ගියාය. ගම්මු කිහිපදෙනෙකු.ද ගෙදර සිටීම ඩොලීට පහසුවක් විය.
“සීනිගන් පලයන් මස් කාපු එවුන්වත් හැඳිගෑවිලා යන්න ගම්මිරිස් අඹරපන්.” හැමෝම කීහ.
“හරක් හොරු එක්ක හැප්පෙන්න උඹට බෑ. මහතුවා කියන්නෙ අමු තිරිසනෙක්.” තවකෙකු කීවේ අල්ලපු ගමේ ප්‍රසිද්ධ හරක් හොරා පිළිබඳව ය.
ඩොලී ද පළමුව පිරිස සමඟ කම්පා වූවාය.
“නංගිට බත් එකක්.”
හරක් නැති වුණ විස්සෝපයෙන් දීපානි ඉව්වේ ද නැත. මිනිසුන් පිටව ගිය පසු ලොකු බත් මුල ලිහාගත් ඕ වසන්ත සමඟ බත් එක කන්නට වූවා.ය. කොතෙක් පෙරැත්ත කළත් දරුවන් නොවේ බත් ඇටයක් තරම කෑවේ.
“උන්ගෙ හිතට අමාරුයි පැටව් ටික ගැන.” වසන්ත දීපානිට කීවේ ශෝකයෙනි.
“මං හෙටම සීනිගම යනවා.” බත් කා අහවරව වසන්ත කීවේ හීන් හඬිනි.
වසන්ත කී ලෙස ම කළේ ය. ප්‍රතිඵලයක් ලැබෙන තුරු අල්ලපු ගමට ඔත්තුකරුවන් ද යොදවා තිබුණේය.
සීනිගම ගමනෙන් තුන්වන දින දීපානිට හොඳටම අමරු විණි.
“තව දින තියෙනවා නේ ද?”
“බෑ බෑ මට හොඳටම අමාරුයි. ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යන්න.” දීපානි කීවේ කෙඳිරිගාමිනි. වසන්ත හැකි ඉක්මනට එසේ කළේය. ඔහු ප්‍රමාද වූවා වැඩි ය.
“ඉස්පිරිතාලෙ පෙනි පෙනී තමයි ගෑනි මැරිල තියෙන්නෙ.”
“බඩේ හිටපු දරුවෝ දෙන්න මැරිල තියෙන්නේ දවස් දෙකකට කලින්ලු.” ගම්දනව් පුරා ආරංචිය පැතුරුණි.
“වසන්ත….ගම්මිරිස්…අඹරල තියෙන්නේ…ඉස්සරහට නෙමෙයි තමන්ගෙ පැත්තට වෙන්නැති.” ගම්මුන්ගෙ කථාව වසන්තට ද
කන වැකුණි. එය ඔහුට බිරිඳ මළාටත් වඩා වේදනාවක් ගෙනාවේ ය.
“නැහැ මං ඉස්සරහට තමයි ඇඹරුවේ.” ගම්මු එය පිළිගත්තේ ම නැත.
“වසන්තගේ සිහි කල්පනාව මදි පාටයි.” ගම්මු කථා විය.
“මට ඔක්කොම නැති වුණා.” වසන්ත ඩොලී සමඟ කීවත් ඈ එය පිළිගත්තේ නැත. ‘අරුන් දෙන්න ඉන්නේ යස අගේට.’ ඈ සිතුවේ දරුවන් බේරුනේ කෙසේ ද යන්න පමණි.
ඩොලීගේ ඇඟේ දැවිල්ල හට ගත්තේ මාළු ටික වැඩි ගානකට විකුණා කක්කුට්ටන් අල්ලාගෙන කාපුදාට පසුවෙනිදා සිට ය. හරියටම දීපානිගේ හත්දවසේ බණ දා ය. පොල්පලා සව්හාල් තැඹිලි මොනවා බිව්වත් දැවිල්ල අඩු නොවිණි. ගමේ වෙදාගේ බෙහෙත් ඇහුවේ ද නැත. සතියක් ගතවෙද්දී ඩොලීගේ ඇඟ ගිනිකබල වගේ රත් විය. දවස පුරාම නෑවත් දැවිල්ල අඩුනොවිණි. මාසයක් ගතවෙන විට ඩොලී ගමේ තැනින් තැන කෙඳිරිගාමින් ඇවිදින්නට වූයේ ගමේ පිරිමින් එකතුව බලෙන්.ම අන්දවා ඉණට තදින් ගැටගැසූ සාය පිටින් පමණි. සිහිය විකල්ව සිටි ඩොලී ඇඟේ ඇඳුම් තිබෙනවාට අකමැති වූයේ එවිට දැවිල්ල වඩාත් වැඩි වන නිසා ය.
“ඩොලියගේ මිනිය වැවේ පාවෙනවලු…” දීපානිගේ තුන්මාසේ දානේ දින ගමේ පැතිරුණ ආරංචිය එයයි. දැවිල්ල ඉවසාගත නොහැකිව
ඩොලී වැවට පැන්න බව දැන සිටියේ ඈ පමණකි. ගම්මුන්ට ඩොලීගේ මරණය එතරම් වැදගත් නොවුණු නිසා ඒ පිළිබඳව සෙවූ කෙනෙක් ද නැත. එදා ම ඩොලීව වසන්තට හීනෙන් පෙනුණි.
“උඹට මොකද උනේ ඩොලී? මොනාද ඔය තුවාල?”
“මම ඉන්නේ වැවේ බං. දියට බැස්සම මාළු කනවා කෑලි කඩාගෙන. ගල්පොත්තට නැග්ගම දැවිල්ලෙන් පිච්චෙනවා. මේ බලපන් ඇඟ රත්වේගෙන එන හැටි.” ඩොලී කීවේ වේදනාවෙන් ඇඹරෙමිනි.
“මට තව ඉන්න බෑ මං වැවට පනින්න ඕන. පොළව ගිනි ගන්නකම් මට මෙහෙම ඉන්න වෙනවා.” අන්තිමට එසේ පැවසූ ඩොලී හඬා වැටෙන්නට ද වූවාය.
චන්දන එස් කුමාර.
Recent Comments