සත්‍යය යනු පරම ශ්‍රේෂ්ඨ වූවකි. සැබැවින්ම සත්‍යය හා සම වූ වෙන රසයක් ලොව කොහිද?

“සච්චං හවේ සාදුතරං රසානං” – “සත්‍යය ලොවේ මියුරු ම රසය යි.”
(ආලවක සූත්‍රය)
සත්‍යයට නොකළ හැකි කිසිවක් විශ්වයේ තිබේ යැයි ඔබ විශ්වාස කරනවා ද? පිනැතියනි, එසේ නම් මෙය අසන්න…

ඒ ධර්මාශෝක නරපති රාජ සමය යි. දිනක් හේ සපිරිවරින් ගංගා නදිය අසලට පැමිණ දෙගොඩ තලා යාමට ආසන්න නදී සැඩ පහර දැක “මේ මහා ගංගාව උඩුගම් බලා යැවිය හැකි සමර්ථයෙක් සිටීදැ”යි ඇසී ය. ගත වූයේ නිමේෂයකි. දුටු දුටුවන් ගත රෝමෝද්ගමනය කරවමින් ගල ගල නදින් ජල සුළි නංවමින් ගංගා නදී ජල කඳ උඩු අතට ගලන්නට වූවා ය.

මේ කවරෙකුගේ ක්‍රියාවක්දැයි රජු විමසූ කල්හි “බන්ධුමතී නම් ගණිකාවගේ සත්‍යයක් ක්‍රියා බලයෙන් මහා ගංගා තොමෝ උඩුගම් බලා යන්නී ය” යැයි පිරිස පැවසූහ.

“එම්බල තිගේ සත්‍ය බලය කුමක් ද? සෙර වූ, පුරුෂ ධූර්ත වූ, අසත්පුරුෂ වූ, ලැජ්ජා සිඳ ගත්තී වූ, පවිටු වූ, භින්න සිල් ඇත්තී වූ, ලැජ්ජාව ඉක්ම ගියා වූ, කාමාන්ධ ජනයා වසඟ කරන්නා වූ තී කවරී ද?”

“මහ රජාණන් වහන්ස, මම එබඳු එකියක වෙමි.

මහ රජාණන් වහන්ස, එබඳු එකියක වූ මා තුළත් සත්‍යයක් ක්‍රියා කිරීමට සත්‍යයක් ඇත්තේ ය. ඉදින් මම කැමැත්තී නම් දෙවියන් සහිත ලෝකයා ද පෙරළන්නට හැක්කෙමි.”

“තිගේ ඒ සත්‍යයක් ක්‍රියාව කිමෙක් ද?”

“මහරජාණන් වහන්ස, ක්ෂත්‍රියෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, වෛශ්‍යයෙක් වේවා, ශුද්‍රයෙක් වේවා, අන්‍යයෙක් වේවා යමෙක් මට ධනය දෙයි ද ඔවුන්ට සම සේ උපස්ථාන කරමි.  ක්ෂත්‍රියා ය කියා විශේෂයක් නැත්තේ ය. ශුද්‍රයා ය කියා හෙළාදැකීමක් නැත්තේ ය. මෙසේ උස් පහත් බව බැහැර කොට එයින් මිදී ධන ස්වාමියා සතුටු කරමි.

දේවයන් වහන්ස, මෙය මාගේ සත්‍යයක් ක්‍රියාව යි. මේ මහා ගංගාව උඩුගම් බලා යැව්වේ මේ සත්‍යයක් ක්‍රියාවෙනි.”

(මිළිඳු රාජ ප්‍රශ්නය)

 

සත්‍යය කුමක් වුවත්…, ඒ ‘සත්‍යයට’ කළ නොහැක්කේ කුමක් ද?

එය පසක තැබේවා…

සාරා සැකි කප් ලක්ෂයක් පුරා බොරුවෙන් තොර වූ, සත්‍යය ම ආරක්ෂා කළ, සත්‍යයට ම දිවි පිදූ අප මහා බෝසතාණෝ එදා ගයාවේ බෝමැඩ වජිරාසන අරා වැඩ හිඳිමින් දසමරසෙන් පරදා තිලොව දිනුවේ සත්‍යය ම බලය කොට නොවේ ද? සුදනෙනි, මේ සත්‍යයේ ආනුභාවය කෙතෙක් නම් වේ දැයි සිතිය හැකි වේ ද?

පින් ඇති සත්ජනයනි. තුන් ලොව දිනා සම්බුදු සසුන් විජිතයේ ප්‍රඥා කිරුළ දරා වැඩ හිඳි අපගේ සම්බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් ගලා ගිය පරම ගාම්භීර දහම් පදයක් පදයක් පාසා සත්‍යය ම ගැබ්වී ඇති අයුරු කෙතරම් නම් විස්මිත ද? ඒ විස්මිත සත්‍යයට ම දිවි පුදා තවමත් සැනසුමක් නොලබන්නේ මන්ද? වෙහෙස – කරදර, රෝග – උවදුරු කිසි ලෙසකත් මගහැර යා නොහී මේ සසරේ සදා සැනසුම වන අම නිවන් සැප ලැබෙනුයේ ද ඒ සත්‍යය තුළින් ම නම්… ගෙවන දිවියේ දුක් තැවුල් හමුවේ තැවි තැවී නොසිට, මේ විස්මිත සත්‍යයට ම දිවි පුදා සැනසිය යුතුයි නේ ද ?

එදා විසල්පුර තුන් බියෙන් ඇළලෙද්දී පිහිටක් සොයා රජුන් සහිත ජනයා නොකළ දෙයක් නම් නැත. ජීවිතය පවා සැක සහිත තැනට වැටෙද්දී, සත්‍යවාදී මුනිඳුගේ සත්‍ය වදන ම සෙත් සැදූ බව සත්‍යය ම යි.

බුදු මෙතින් මහ වැසි ඇද හැළෙද්දී, බුදු තෙදින් නීච නොමිනිසුන් පලා යද්දී, සෙත් පිරිත් නද දනන් ගත සිත නිවාලූ බව සත්‍යය ම යි. අසමසම මුනි ගුණේ සත්‍යානුභාවයෙන් බුදුරජාණෝ මෙසේ සෙත් පැතූ සේක.

“යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
 සග්ගේසු වා යං රතනං පණීතං 
 න නෝ සමං අත්ථි තථාගතේන 
 ඉදම්පි බුද්ධේ රතනං පණීතං

 ඒතේන සච්චේන සුවත්ථි හෝතු”

 

“මෙහි හෝ පරලොව හෝ ඇති යම් වස්තුවකට දෙව්ලොව හෝ තිබෙනා යම් උතුම් ම මැණිකට
නොහැකිය ගන්නට කිසිවිට බුදුරජ සම කොට
මෙය බුදු සමිඳුගේ පවතින උතුම් ම මැණිකකි

සැබෑ බසින් මෙම සෙත සැලසේවා…!”

බුදු හදේ පැන නැගී, බුදු මුවින් ගලා ගිය ගාම්භීර ධර්මයේ සත්‍යයෙන් සෙත් කළෝ ධර්ම ස්වාමීහු ම ය.

“ඛයං විරාගං අමතං පණීතං 
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ 
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි 
ඉදම්පි ධම්මේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු”

 

“කෙලෙස් නසන වීතරාගී අමා නිවන යුතු
යම් දහමක් ලැබුයේ නම් මුනිඳු සමාහිත ඒ දහමට සම කළ හැකි කිසිවක් ලොව නැත
මෙය සදහම් තුළ පවතින උතුම් ම මැණිකකි

සැබෑ බසින් මෙම සෙත සැලසේවා…!”

සම්බුදු ළය මඬලේ ජනිත වූ උතුම් සඟ රුවන තුළ සදා නොවෙනස්ව පවතින උතුම් ගුණ කඳෙහි සත්‍ය බලයෙන් සෙත් කළේ බුදු පියාණන් ම යි.

“යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා 
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං

ඒතේන සච්චේන සුවත්ථි හෝතු”

 

“පුද්ගලයෝ අට දෙනෙක් ය හොඳ අය පසසන
සතර දෙනෙකි මේ උතුමන් යුගල විලස ගෙන
මේ අය බුදු සව්වෝ වෙති දනට සුදුසු වන
මහත්ඵලය ලැබ දෙයි මෙතුමන්ට පුදන දන
මෙය බුදු පිරිසෙහි පවතින උතුම් ම මැණිකකි

සැබෑ බසින් මෙම සෙත සැලසේවා…!

එමතු ද නොවේ… සම්බුද්ධ දායාදය වූ තාදී ගුණැති මහරහත් මුනිවරුන්ගේ සත්‍යානුභාවය ද අහෝ…! විස්මිතයි.

අප මහා මුනිරජාණන්ගේ ළය මඬලෙහි උපන්, මහා තේජස් ඇති, මහා ආනුභාව ඇති අංගුලිමාල මුනිඳාණෝ දරුවා බිහි කර ගත නොහැකිව මරණය අබියසට ගොස් සිටි මවටත් – නූපන් දරුවාටත් ජීවිතය දුන්නේ සත්‍යයේ ම ආනුභාවයෙන් නොවේ ද?

“යතෝ හං භගිනි අරියාය ජාතියා ජාතෝ 
නා’භිජානාමි සඤ්චිච්ච පානං ජීවිතා වෝරෝපේතා 
තේන සච්චේන සොත්ථි තේ හෝතු 

සොත්ථි ගබ්භස්සා’ති.”

 

“පින්වත් නැගණියෙනි, යම් දිනෙක මම උතුම් නිවනට පමුණුවන මාර්ග ඵලලාභී ආර්ය ජාතියෙහි උපත ලැබුවෙමි ද එදා සිට දැන දැන ප්‍රාණියෙකු ජීවිතයෙන් තොර කළ බවක් නොදනිමි.

මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

සුව සේ දරුවා බිහිවේවා!”

මේ සත්‍යානුභාවය මේ කල්පය පුරා බලපවත්වමින් දුකට පත් වූවන් හට සෙත සදන බව මොනතරම් නම්  ආශ්චර්ය ද ?

මෙවන් සත්‍යයක් අබියස වෙන සරණක්, වෙන පිහිටක් ඇත්තෙන් ම කුමට ද?

සත් ගුණැතියෙනි, ඔබ දැනටමත් දන්නේ ම ය ගොයුම්ගොත් උතුම් මුනිවරුන්ගේ අසිරිය… සිහි කරන්නම් නිතර ඔබ නොසිතූ සත්‍යයක්, සදා හද ගැබ රුවා ගැනුමට…

රෝ බියෙන් සැලි සැලී ගත සිතෙන් දුක් විඳින ජනයෙනි, නිරෝගි සුව, කාය – මන සැප පතන ජනයෙනි, සිහිකරනු මැන මේ උතුම් සත්‍යය ද දිවා රැය දෙකෙහි ම…

“පින්වත් මහණෙනි, මේ පින්වත් බක්කුලයන් වනාහී අල්ප වූ ආබාධ ඇති භික්ෂූන් අතරින් අග්‍ර භාවයට පත් වෙනවා” කියා සම්බුදු මුවින් දෙසා වදහළ බව සත්‍යයයි… සත්‍යයයි…සත්‍යයයි…!

(ඒතදග්ග පාලි – අං. නි. 1)

 

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් කාම හැඟීමක් නූපන් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ද්වේෂ සහගත හැඟීමක් නූපන් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් හිංසාකාරී හැඟීමක් නූපන් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් කාම විතර්කයක් නූපන් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ව්‍යාපාද විතර්කයක් නූපන් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් විහිංසා විතර්කයක් නූපන් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ගිහි උදවිය දුන් සිවුරක් නොපිළිගත් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ආයුධයකින් සිවුරක් නොකැපූ  බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ඉදිකට්ටකින් සිවුරක් නොමැසූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් පඬුවලින් සිවුරක් පඬු නොගැසූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් කඨිනයක දී සිවුරක් නොමැසූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සිවුරු සකස් කිරීමකට නොයෙදවූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ආරාධනාවක් පිළිගෙන දන් නොවැළඳූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ‘අනේ මටත් කවුරුහරි දානයකට ආරාධනා කරනවා නම් හොඳයි’ කියා  සිතක් නූපන් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ගෙයක් ඇතුළේ වාඩි නොවූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ගෙයක් ඇතුළේ දන් නොවැළඳූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් කාන්තාවකගේ සිරුරක ඉතා කුඩා ලකුණක්වත් මතක නොතබා ගත් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් කාන්තාවකට අඩු ගණනේ සතර පද ගාථාවකින්වත් දහම් නොදෙසූ බව බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් භික්ෂුණී ආරාමයකට නොගිය බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් භික්ෂුණියකට දහම් නොදෙසූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් උපසම්පදාවකට පුහුණු වන සික්ඛමානාවකට දහම් නොදෙසූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් සාමණේරියකට දහම් නොදෙසූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් කිසිවෙකු පැවිදි නොකරවූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත්  කිසිවෙකු හෝ උපසම්පදා නොකළ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් කිසිවෙකුට හෝ තමන් වහන්සේගේ ගුරු ඇසුරේ සිටින්නට අවසර නොදුන් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් සාමණේර කෙනෙකු ලවා උපස්ථාන කර නොගත් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ගිනිහල්ගෙයි ස්නානය නොකළ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් නාන සුණු ඇඟෙහි ගා වතුර නොගෑ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා ලවා අත් පා මැදීම් නොකරවා ගත් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ගව දෙනකගේ තන බුරුල්ලෙන් කිරි ස්වල්පයක් දොවනා වෙලාවක තරම්වත් අසනීප ගතියක් නූපන් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් බෙහෙතක් වශයෙන් අරළු කැබැල්ලක්වත් පාවිච්චි නොකළ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ඇඳක හාන්සි නොවූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් නිදා නොගත් බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…

බක්කුල මහරහත් මුනිඳුන්ගේ අසූ වසරක උතුම් පැවිදි දිවිය තුළ කිසි කලෙකවත් ගමක් අසල සේනාසනයක වස් නොවැසූ බව සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

උතුම් බක්කුලයන් වහන්සේ පැවිදි වී රටවැසියා දුන් පිණ්ඩපාතය කෙලෙස් සහිතව වැළඳුවේ සතියක් පමණක් බවත්  සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

පසු කලෙක දී බක්කුල මහරහතන් වහන්සේ දොර යතුරු ගෙන විහාරයෙන් විහාරයට වැඩම කොට “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එළියට වඩින්න. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, එළියට වඩින්න. අද මගේ පරිනිර්වාණය සිදුවෙනවා” කියා මෙබඳු යම් ප්‍රකාශයක් පැවසූ බව සත්‍යයයි… සත්‍යයයි.. සත්‍යයයි…!

බක්කුල මහරහතන් වහන්සේ භික්ෂු සංඝයා මැද වාඩි වී වැඩ සිටිය දී ම පිරිනිවන් පෑ සේක යන යමක් ඇද්ද මෙය සත්‍යයයි… සත්‍යයයි… සත්‍යයයි…!

(බක්කුල සූත්‍රය, ම. නි. 03 ඇසුරින්)
මේ සත්‍යයේ ආනුභාවයෙන් සැමට සෙත් වේවා!
සකල සත සිත සුවපත් වෙත්වා!
සියලු රෝ දුක් දුරු වේවා!

සත්‍යය රසයේ උත්තම මිහිරෙන් සැනසෙත්වා!

එසේනම් සුදනෙනි, විසඳුම් නොමැති සේ පෙනෙන ගැටළු අබියස කඳුළ ම වැළඳ ගනු වෙනුවට සැනසිලි මඟක් සොයා යා යුතු නොවේ ද? මිසදිටු මගෙක අතරමං නොවී, හිරු සඳු සේ දිලෙන මේ සත්‍යය තුළින් ම දිවිය ජය ගත යුතු නොවේ ද? බුදුසසුනේ ඇති සත්‍යයේ ආනුභාවයත්, එම සත්‍යය කෙරෙහි ඔබ හදේ ඇති අතිශයින්ම බලවත් පැහැදීමත් එක්කොට සත්‍යය බලගන්වා ගත් කල්හි, ඒ සත්‍යයට කළ නොහැක්කක් නොමැත.

ඒ සත්‍යයේ ආනුභාවයෙන් ජය ගත නොහැක්කක් නොමැත. ඉදින් පින් ඇති සත් ජනයනි, නොපමා වී මේ සත්‍යයට ම ළං විය යුතු නොවේ ද? සදා හද ගැබ නිධානය සේ සුරැක ගත යුතු නොවේ ද? සදා මුව මුව දිව මතුරක් සේ රැඳවිය යුතු නොවේ ද? සත්‍යවාදී මුනිරජුන් සරණ ලැබ, සත්‍ය දහමට ම දිවි පුදා, සත්‍යයෙන් උපන් මුනි මඟ හැසිර මෙලොව සෙත සුව සදා, පරලොව සැප සැනසුම ද ලබා අම නිවන් පුරට ම යා යුතු නොවේ ද?

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණයන් වහන්සේ නමක් විසිනි.