සිංහලයන් තරම් තමන් අවට පවත්නා ස්වභාවික සුන්දරත්වයෙන් ආස්වාදය විඳි ජනකායක් ලොව කවරම කවර රටකවත් බිහි නොවූහයි කිව හැකි තරම් සාධක, වසර දෙදහස් තුන්සියයකටත් වැඩි අතීතයේ සිට මෑත කාලය දක්වා පියගැටපෙළක් සේ විහිද තිබෙනු පෙනෙයි. සුධා ධවල වාලුකා තලාවෙන් සැරසූ වෙරළැති සමුදුරු තීරයෙන් වට වූ හරිත වතින් යුතු පරිසරයත්, නිල් පැහැයෙන් වැසී ගත් කඳු ශිඛර මතින් පැන නැඟ ගලා බස්නා වූ ගං හෝ ඇළදොළ හා නිම්න බිම්, කෙත්වතු ඇසුරින් ලද නිම්හිම් නැති ආස්වාදයෙන් කුල්නා ජන හදින් නැගුණු සිතුම් ධාරාවන්ට නව ජීවනයක්, ප්රබෝධයක් සරු අරුතක් පිවිසවන ලද්දේ බුදුරජාණන් වහන්සේගේ අමා දම් ගඟුලෙන් සිරිලක් පොළෝතලය සිහිල් වී යාමත් සමඟ ය.
උතුම් සම්බුදු සිරිපා පහසින් පින්බිමක් බවට පත් වූ මේ මාහැඟි දිවයිනට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආස්වාදය ලබන්ට පින උදා වූයේ ඊට නිසි කල් එළැඹි සමයේ දී ය. සද්ධර්ම ග්‍රාහ්‍ය – ග්රාහක දෙරටේ සමකාලීන රජවරු මහ පිනැත්තෝ වූහ. සිරිලක්දිව් වැසියන්ගේ පින මුහුකුරා තිබිණි. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස් හය වසරක් ඉකුත් ව ගිය කල්හී රහතන් වහන්සේලා පස්නමක් පිරිවරාගෙන ලක්දිවට වැඩි මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම ප්‍රචාරය ආරම්භ කිරීමට සුදුසු ම භූමිය ලෙස අනුරපුරයෙන් කිලෝමීටර දොළොසක් නැගෙනහිරින් පිහිටි කඳුකර බිම් පෙදෙස තෝරා ගත් බැවින් එය ‘මිහින්තලාව’ නම් විය. රජුත්, රටවැසියනුත් සම්බුදු සසුනේ සව්වන් බවට පත් කළ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් වඩින තුරු මෙබිම වැඩ වාසය කළහ.
එවක පටන් නිවන් පුරට මඟ පෙන්වන මිහින්තලය වූ කලී නම ඇසූ පමණින් සිතත්, කයත් සනසන රමණීය වන අරණක් ව පැවති අයුරුත්, එහි ඓතිහාසික අගයත් පිළිබඳ ව 1927 දී වලිසිංහ හරිස්චන්ද්‍රතුමා ලියා පළ කළ ‘පුරා විද්‍යාව’ නමැති ග්‍රන්ථයේ 19 වැනි පරිච්ඡේදයෙහි දක්වා තිබේ. අධිරාජ්‍යවාදී පාලකයන්ගෙන් මිහින්තලය පුදබිම රැක ගැනීම සඳහා කළ මහා අරගලය ගැන එම වටිනා ග්රන්ථයෙහි දැක්වෙයි. මිහින්තලාවේ පිහිටීම හා එහි පූජනීය අගය පිළිබඳ ව ඉංග්‍රීසි උගතුන් කළ ප්‍රකාශ රැසක් එහි ඇතුළත් ය. 1908 වර්ෂයේ දී පුරාවිද්‍යාඥ එච්. ඩබ්ලිව්. කේව් මහතා කළ ප්‍රකාශය මෙසේ දක්වා තිබේ.
‘සිංහල ජාතිය විසින් පිහිටුවන ලද්දා වූ ඉතා විශාල නගර හා දාගැබ් ආදී ගොඩනැගිලි තැනීමට තරම් ඥාන සම්පන්න වික්රමභාවයක් ඔවුන් වෙත ඇති වීමට හේතුභූත වූ බුද්ධාගම පිළිබඳ වූ කටයුතුවල ආරම්භය සිදු වූයේ මිහින්තලේ බැවින් එම ස්ථානය සම්බන්ධ ව පළමුකොට අප විසින් සංග්‍රහ කටයුතු ව තිබේ. ලක්දිව බුද්ධාගම පිහිටුවීමට එළඹියා වූ රාජකීය ධර්මධූත මහින්ද තෙරුන්නාන්සේගේ වැඩවල ගරු භාවය සිහිපත් කරන්නා වූ නොයෙක් වැදගත් පෞරාණික දේවලින් පර්වතය හාත්පස ගැවසී තිබේ.’
(පුරාවිද්‍යාව – 1927 – 162 පිටුව)
ලක්දිව පැරණි නටබුන්, නගර හා කලාශිල්ප සොයා යමින් අධ්‍යයනයක් කොට ‘කලු නික සෙවීම’ නැමැති ග්‍රන්ථය රචනා කළ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා මිහින්තලය පරිසරයේ රුචිරාණනය මෙසේ වර්ණනා කළේය.
‘මිහින්තලය නැඟුණ සෑ හැරෙන හැරෙන අතින් දකින්නේ ඉතා සුන්දර දැකුම් ය. ගස් මුදුන්වලින් නොවැසුණ අහස ඔහුගේ ඇසට හසුවන්නේ දැවැන්ත ඉඳුනිල් මිණි බිම් ගෙයක මහා ආරුක්කුව වැනි වහල්තලයක් ලෙසිනි. වැව් හා මූකලාන අතරින් පෙනෙන අනුරපුරය නෙත් සිත් පිනවන සිත්තම් පටක් වැන්න. ඉර මුදුන් යාමයෙහි වුවද මිහින්තලයෙහි ගල්ලෑල්ලක් හෝ ගල් ලෙනක් යටට ගිය කෙනෙකුට දැනෙන්නේ සිතත්, කයත් නළවන සිසිලකි. දොඹ, සපු, නා, අසෝක, මූන, අරලිය ආදී ගස්වලින් නඟන එකිනෙකට වෙනස් සුවඳ එක්ව පැතිර එකම මුදු සුවඳක් වෙයි.’
(කලුනික සෙවීම – 48 පිටුව)
මිහින්තලා වන අරණේ මල් ගොමු පිස එන එකිනෙකට වෙනස් සුවඳ එකම සුවඳක් බවට පත් වීමේ අසිරිය වූ කලී නා නා දෙසින් පැමිණ මිහින්තලේ පඩිපෙළ නැග නිවන්පුරට යන මඟ සොයා පිය නඟන සැදැහැති ජනකායගේ අරමුණ විදහා දක්වන සංකේතයක් වැන්න. වන්දනා කරුවන්ගේ ගමන් පහසුව සඳහා පැරණි රජවරුන් විසින් තනවන ලද ගණන් කිරීමට පවා අපහසු ගල් පඩිපෙළ මිහින්තලේට ම ආවේණික වූවකි. එය බ්‍රිතාන්‍ය පාලන යුගයේ එහි ගිය අපරදිග විද්වතුන්ගේ ද විමතියට හේතු විය. එවක යුද හමුදා ප්‍රධානියෙකු වූ මේජර් තෝමස් කියුවේ මෙසේ ය.
‘වර්ෂ 1832 සැප්තැම්බර් මස තුළ මම මිහින්තලයට ගියෙමි. මම ගල්පඩි ගනිමින් නගින අතර බොහෝ සෙයින් වෙහෙසීම හේතු කොටගෙන ගණන් කිරීම නවත්වා මෙහි නිවැසි භික්ෂූන් වහන්සේගෙන් පඩිවල ගණන ඇසුවෙමි. එක් දහස් අටසිය හතළිහක් බව උන්වහන්සේ කීවේය.’
(පුරාවිද්‍යාව – 157 පිටුව)
අවුරුදු දෙදහස් තුන්සියයක පමණ කාලයක් තුළ මිහින්තලේ වන්දනාවේ ගිය අප්‍රමාණ සංඛ්‍යාත සැදැහැති ජනකායගේ අධ්‍යාශයත්, සන්සුන් ගමන් විලාසයත්, සාදුකාර නාදයත් දැනෙන, ඇසෙන අපූරු වන්දනා ගීතයක රසභාව වින්දනය, මහාමේඝ පාඨක සැදැහැතියන් වෙත පිරිනැමීම අපගේ ඉහත පූර්වකථනයේ අරමුණ විය. එකී ගීතය රචනා කරන ලද්දේ රසික ජන හදවත් තුළ රට, දැය, සමය පිළිබඳ ප්‍රෞඪ අභිමානයක් ජනනය කරන ගීත රාශියක් රචනා කළ මහගමසේකර සූරීන් විසිනි. සේකරයන්ගේ වදන්වලට නිසි හඬ පෞරුෂයක් කැවූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ප්රමුඛ ගායක පිරිස එකී ගීතමය වන්දනාවේ යෙදුණහ.
“සුදුයි සුදුයි මුළු මිහින්තලාව ම
සඳරැස් වතුරේ නැහැවෙනවා
එකින් එක නැඟලා පියගැටපෙළ
නිවන් පුරට මඟ පාදනවා
බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
නිවන් පුරට අපි යනවා
ඇහැළ මහේ කහ සිවුරු දරනවා
අරලිය ගස් සේ සුදු පොරවනවා
සාදු නාදයෙන් සිත පහදාගෙන
මිහින්තලේ නැග යනවා
නිවන් පුරට අපි යනවා
ආරාධනා ගල මුදුනට නැගලා
සාදුකාර දී මහ හඬ නඟලා
නිවන් සදා සිත දුකින් මුදන්නට
මිහින්තලේ නැග යනවා
නිවන් පුරට අපි යනවා
සුදුයි සුදුයි මුළු මිහින්තලාව ම
සඳ රැස් වතුරේ නැහැවෙනවා…”
සියල් සක්වළ වසා පැතිරුණ ඉඳුනිල් මිණි වහල්තලයක් බඳු අහසේ පොසොන් පුන්සඳ පායා සුදු රැස් ධාරා මිහින්තලා පින්බිම පුරා වගුරුවයි. සඳරැසින් නැහැවී ගිය පියගැටපෙළ නිවන් පුරට මඟ පෙන්වන හිණක් වැන්න. ගීතයේ ස්ථායී ගායන ඛණ්ඩයෙන් පළ කරන්නේ වන්දනාවේ යන සැදැහැවත් පිරිසක් මිහින්තලා පුදබිම පිවිසුමට පැමිණ පුණ්‍ය චේතනා පෙරටු කොට ගත් අධිෂ්ඨානයක් ඇති කර ගැනීම පිළිබඳ ඉඟියකි.
සුදෝසුදු වතින් සැරසුණ වන්දනා කරුවන් පිරිස මිහින්තලාවේ සුද හෙවත් පාරිශුද්ධත්වය තව තවත් ඔප් නැගූ අයුරු පළ කිරීමෙන් අනතුරුව බැතිමතුන් පිරිස මිහින්තලා පියගැටපෙළ නැග යාම අරඹන්නේ තුන්සරණේ කවි ගායනා කරමින් බව දෙවැනි අන්තරා ඛණ්ඩයෙන් පැවසෙයි. සිව් දික් භාගයෙන් වන්දනා ගමනේ යෙදුන. අතීත යුගයේ ජනතාවගේ මුවඟ නිතර රැඳුණේ තුන්සරණය ජනකවි පොතේ ගායනාවන් ය. බුද්ධං සරණය සිරස දරා ගන්නේ නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරමිනි. ධම්ම රත්නය සිහිපත් කිරීමෙන් චිත්ත ප්‍රසාදය වැඩීමත් සමඟ ම කසාවතින් බැබළෙන මහ සඟරුවන වැඩ වාසය කළ මිහින්තලේ ගිරි මුදුන සිතේ ඇඳී ගොස් නිවන් පුරට යන මඟට පිළිපන් බවක් දැනෙයි. ගිරි මුදුන් මත පිහිටි සිද්ධස්ථානයක් කරා පිවිසෙන පියගැටපෙළ නිර්මාණය කළ ශිල්පීන් ඒ කර්මාන්තය ඉටු කළේ පූර්වෝක්ත අදහස පෙරදැරි කරගෙන බව වන්දනා කරුවන්ගේ මුවින් නැගෙන ‘නිවන් පුරට අපි යනවා’ යන ප්රසාදජනක කියුමෙන් පසක් වෙයි.
“ඇහැළ මහේ කහ සිවුරු දරනවා
අරලිය ගස් සේ සුදු පොරවනවා”
කෙමෙන් කෙමෙන් සෙල් පියගැටපෙළ නැඟ මිහින්තලා පව්වට පිවිසෙන ජනකායගේ නෙත් සිත් වසඟ කරවන, වන අරණේ තුරුලිය හිස් මත පිපී වැනෙන පුෂ්පයන් විටෙක මහ සඟරුවන සිහි කරවයි. අන් තැනක සාදු නාද දී වන්දනාවේ යන උවසු උවැසියන් පිරිසක් ලෙසින් දිස් වෙයි. ඒ සියලු දෙනාම උතුම් දහම් මඟට පිවිස පිළිවෙළින් පියගැටපෙළ නැඟ නිවන් පුරට යන්නෝ ය.
“නිවන් සදා සිත දුකින් මුදන්නට
මිහින්තලේ නැග යනවා
නිවන් පුරට අපි යනවා”
වන්දනා ගමනේ යෙදෙන සියලු සැදැහැවත් පිරිසගේ අභිමතාර්ථය සඵල වූවා සේ සනිටුහන් කරමින් ගීතය අවසන් වෙයි. ආරාධනා ගල මුදුනට නැඟ පවත්වන සාදුකාර නාදය වූ කලී නිවන් මඟට පිවිසි සත්පුරුෂ ධීමතුන්ගේ නික්ලේෂී අධ්‍යාත්ම භෞමිකය පළ කිරීමක් වැන්න.
“පමාදං අප්පමාදේන – යදානූදති පණ්ඩිතෝ
පඤ්ඤාපාසාදමාරුයිහ – අසෝකෝ සෝකිනිං පජං
පබ්බතට්ඨෝ’ව භුම්මට්ඨේ – ධීරෝ බාලේ අවෙක්ඛතී”
“නුවණැති පුද්ගලයා යම් දවසක අප්‍රමාදය බලවත් කරලා ප්‍රමාදය දුරු කරනවා ද එදාට ඔහු ප්‍රඥාව නමැති ප්‍රාසාදයට නැගලා, ශෝක රහිතව ඉඳගෙන ප්‍රාසාදය පාමුල සිට ශෝක කරන සත්වයන් දකින්නට පටන් ගන්නවා. එතකොට ඒ නුවණැති පුද්ගලයාට ශෝක කරමින් සිටින සත්වයන් පේන්නේ, කඳු මුදුනක සිටින කෙනෙකුට පහළ සිටින අය පේනවා වගේ.”
(ධම්මපදය – අප්පමාද වර්ගය)
සටහන – දයාපාල ජයනෙත්ති.
Recent Comments