සමහරවිට මේ මාතෘකාව දකිද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේ දවස්වල හැමෝම හැම තැනම කතා බහ වෙන, ලක්ෂ ගණන් මළකඳන් මේ මහපොළොවේ වේගයෙන් නිදන් කරවලා මුළු ලෝකයක්ම එකම ආකාරයෙන් සොහොන් පිටියක් බවට පත් කරපු මාරාන්තික කොරෝනා වසංගතය අනේ, කවදානම් මේ ලෝකයෙන් තුරන් වෙලා යයිද කියන එක ගැනයි මේ කියන්න හදන්නේ කියලා. නමුත් අපි ටිකකට ඒක පැත්තකින් තියමු. මොකද ඒ දේ විවිධ අදහස්, සොයාගැනීම්, විවිධ මතවාද එක්ක හැමදාම හැමතැනම කතා බහ කරන දෙයක්නෙ. ඒ දේ කවදා හෝ ලෝකයෙන් තුරන් වුණත් නැතත්, මේ කියන්න යන්නේ ඉන් එහාට ගිය උත්තරීතර බලාපොරොත්තුවක් ගැනයි.
මේ ලෝකයේ හැමදාම හැම තැනම කාට හෝ වෙනස් කමක් වෙද්දී කිසිම දිනයක කිසිම භේදයක් නැතිව එදත් අදත් එකම අයුරකින් නියමිත කලට මුළු ලෝක ධාතුවම එළිය කරන සොඳුරු ඉරමඬල අදත් බටහිර අහස්කොන අත්හැරලා නොපෙනී ගියා. ඊට හෝරා කිහිපයකට කලින් ලස්සනට රටාදාලා අමදපු බෝ මළුවට මා ගොඩවැදුණේ බෝ සමිඳුන් වැඳ පුදා ජීවිතය සුවපත් කරගන්නා අදහසින්. ඉතිං සිත්සේ වැඳපුදාගෙන නිසොල්මනේ එක්තැන් වෙද්දී සම්බුදු සමිඳුන් වදාළ මේ සොඳුරු බලාපොරොත්තුව ගැන කියවෙන ලස්සන බණ පදය හිතට ආවේ ඉබේටම. ඒ මොහොතේ හිතට, ගතට දැනුන සතුට සහනය කොතරම්ද කියනවානම් ළඟින්ම ඇති විශාල කම්හලේ අවන්හල පිරිවරාගත් කපුටන්ගෙන් ගොරහැඬි නාදය පවා මිහිරට ඇසුණා.
ඉතිං කුමක්ද මේ තරම්ම ලස්සන බණ පදය?
කුමක්ද මේ තරම්ම සොඳුරු වූ බලාපොරොත්තුව?
එක් දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා වදාළා.
පින්වත් මහණෙනි, ලෝකයේ පුද්ගලයින් තුන්දෙනෙක් දකින්නට ලැබෙනවා. නිරාස නම් වූ පුද්ගලයා. ආසංස නම් වූ පුද්ගලයා. විගතාස නම් වූ පුද්ගලයා.
නිරාස නම් වූ පුද්ගලයා කියන්නේ කවුද?
ඇතැම් පුද්ගලයෙක් පහත් කුලයක ඉපදිලා ඉන්නවා. සැඩොල් කුලයේ, වැදි කුලයේ, කුළුපොතු කුලයේ, රථකාර කුලයේ, පුක්කුස කුලයේ වෙන්න පුළුවන්. ඔහු දුප්පත්. ඉතාම දුකසේමයි බඩගිනි නිවාගන්නේ. ආහාරපාන, වස්ත්‍ර, යානවාහන, මල් සුවඳ විලවුන්, ඉන්න හිටින්න තැන්, පහන් ආලෝක ආදිය පවා ලැබෙන්නේ නෑ. ඒ වගේම ඔහු දුර්වර්ණ යි. දකින්න ප්‍රියමනාප නෑ. මිටියි. බොහෝ ලෙඩරෝග සහිතයි. එක්කො ඇස් පෙනීම දුර්වලයි. එක්කො අත්පා කොරවෙලා. ඉතිං ඔහුට මේ විදියට අහන්න ලැබෙනවා. ‘අහවල් ක්ෂත්රිය කෙනා ක්ෂත්රියයන් විසින් ඔටුණු පළඳවලා රජකමට පත්කළා’ කියලා. ඉතිං ඔහුට මේ විදියට හිතෙන්නේ නෑ. ‘අනේ, කවරදාක නම් ක්ෂත්රියයන් විසින් ඔටුණු පළඳවලා මාවත් රජකමට පත්කරගනීවිද!’ කියලා. මේ තමයි නිරාස පුද්ගලයා.
ආසංස පුද්ගලයා කියන්නේ කවුද?
අභිෂේකයෙන් ඔටුණු පළදපු රජකෙනෙකුගේ වැඩිමහල් පුත්‍රයෙක් ඉන්නවා. ඔහු අභිෂේක කරන්න සුදුසුයි. ස්ථිරවම රජකම ලබන්න සුදුසු ඔහු තවම රජකමට පත් වෙලා නෑ. ඉතිං ඔහුටත් මේ විදිහට අහන්න ලැබෙනවා. ‘අහවල් ක්ෂත්රිය කෙනා ක්ෂත්රියයන් විසින් අභිෂේකයෙන් ඔටුණු පළඳවලා රජකමට පත්කළා’ කියලා. ඉතිං ඔහුට මේ විදිහට හිතෙනවා. ‘අනේ කවරදාක නම් ක්ෂත්රියයන් විසින් අභිෂේකයෙන් ඔටුණු පළඳවලා මාවත් රජකමට පත්කරගනීවිද!’ කියලා. මේ තමයි ආසංස පුද්ගලයා.
විගතාස පුද්ගලයා කියන්නේ කවුද?
ඔටුණු පළදවලා අභිෂේක කරපු රජකෙනෙක් ඉන්නවා. ඔහුටත් අහන්න ලැබෙනවා ‘අහවල් ක්ෂත්රිය කෙනා ක්ෂත්රියයන් විසින් අභිෂේකයෙන් ඔටුණු පළඳවලා රජකමට පත්කළා’ කියලා. නමුත් ඔහුට මේ විදිහට හිතෙන්නේ නෑ. ‘අනේ, කවරදාක නම් මාවත් ක්ෂත්රියයන් විසින් අභිෂේකයෙන් ඔටුණු පළඳවලා රජකමට පත්කර ගනීවිද!’ කියලා. ඒකට හේතුව කුමක්ද? ඔහු රජකමට පත්වීමට කලින් ඔටුණු පලඳවා ලබන අභිෂේකය ගැන යම් ආශාවක් තිබුණාද, එය දැන් සංසිඳිලයි තියෙන්නේ. මේ තමයි විගතාස පුද්ගලයා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, භික්ෂූන් අතර පුද්ගලයෝ තුන්දෙනෙක් දකින්න ලැබෙනවා. ඒ නිරාස, ආසංස, විගතාස පුද්ගලයන් ලෙසටමයි.
භික්ෂූන් අතර සිටින නිරාස පුද්ගලයා
ඇතැම් පුද්ගලයෙක් දුස්සීලව ඉන්නවා. පවිටු ගති වලින් යුක්තයි. අපිරිසිදුයි. සැක කටයුතු පැවැත්මක් තමයි තියෙන්නේ. සඟවා කරන අකටයුතු වලින් යුක්තයි. මහණකමින් තොරයි. ශ්‍රමණයෙක් විදිහට පෙනී සිටිනවා. අබ්රහ්මචාරීයි. නමුත් බ්‍රහ්මචාරී කෙනෙක් හැටියට පෙනී සිටිනවා. ඇතුළ කුණු වූ කෙනෙක්. කෙලෙස් වැගිරෙනවා. කෙලෙස් කසල වලින් යුක්තයි. ඉතිං ඔහුට අහන්න ලැබෙනවා ‘අහවල් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා එයට පැමිණ වාසය කරනවා’ කියලා.
ඒත්… ඔහුට මේ විදිහට හිතෙන්නේ නෑ. ‘අනේ! කවරදාක නම් මමත් ඒ විදිහට ආශ්‍රවයන් ක්ෂය කරලා ආශ්‍රව රහිත වූ චේතෝ
විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා එයට පැමිණ වාසය කරන්නද!’ කියලා. මේ තමයි භික්ෂූන් අතර සිටින නිරාස පුද්ගලයා.
භික්ෂූන් අතර සිටින ආසංස පුද්ගලයා
ඉතා සිල්වත් භික්ෂුවක් ඉන්නවා. යහපත් ගතිපැවතුම් වලින් යුක්තයි. ඒ භික්ෂුවටත් අහන්න ලැබෙනවා ‘අහවල් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා එයට පැමිණ වාසය කරනවා’ කියලා. එතකොට ඒ භික්ෂුවට මෙහෙම හිතෙනවා. ‘අනේ! කවරදාක නම් මමත් ආශ්‍රවයන් ක්ෂය කරලා ආශ්‍රව රහිත වූ ඒ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා එයට පැමිණ වාසය කරන්නේද!’ කියලා. මේ තමයි භික්ෂූන් අතර සිටින ආසංස පුද්ගලයා.
භික්ෂූන් අතර සිටින විගතාස පුද්ගලයා
ආශ්‍රවයන් ක්ෂය කරපු රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඉතිං ඒ රහතන් වහන්සේටත් ඒ විදිහටම අහන්න ලැබෙනවා. නමුත් ඒ රහතන් වහන්සේට මේ විදිහට හිතෙන්නේ නෑ.
‘අනේ! කවරදාක නම් මමත් ආශ්‍රවයන් ක්ෂය කරලා ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේම විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා එයට පැමිණ වාසය කරන්නද!’ කියලා. එයට හේතුව කුමක්ද?
කලින් කෙලෙසුන්ගෙන් නිදහස් වී ලබන විමුක්තිය පිළිබඳව යම් ආශාවක් තිබුණනම් අන්න ඒ ආශාව දැන් සංසිඳිලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, මේ තමයි භික්ෂූන් අතර සිටින විගතාස පුද්ගලයා. මෙන්න මේ පුද්ගලයින් තුන්දෙනා තමයි භික්ෂූන් අතර දක්නට ලැබෙන්නේ. ඉතිං මේ සොඳුරු බණපදය අපගේ උතුම් ශාස්තෘන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් දේශනා කළත්, ඔබ අප කා හටත් තිබිය යුතු වූ සුවිශේෂී වූ උත්තරීතර වූ එකම පැතුම, ඉලක්කය, බලාපොරොත්තුව ගැනයි ඒ බණ පදයෙන් ඉස්මතු වුණේ. කෙසේ වුණත් ඒ අග්‍ර බලාපොරොත්තුව, බලාපොරොත්තුවකින්ම පමණක්, පැතුමකින්ම පමණක්, සාක්ෂාත් කරගත නොහැකි බව නුවණැත්තන්ටම පමණක් වැටහෙන බවත් කිව යුතුමයි.
තවමත් සසර පුරා සුපුරුදු රටාවටම දුවමින් යන චරිතයක්, කිළිටි වූ ගතිපැවතුම් එක්ක ජීවිතය කෙලෙසා ගනිද්දී නීච අයුරින් ලෞකික වූ සැපයම සොයාගෙන යද්දී.. නුවණැත්තෙකුටම මිස අන් කා හටනම් ‘අනේ! කවදාද මමත් මේ කෙලෙස් දුරු කරලා පීඩාකාරී සසරින් නිදහස් වෙන්නේ!’ කියා සිතේවිද? ඒ තරමට සාමාන්‍ය ලෝකයා ඉන් එහාට ගිය සුවිශාල වූ බලාපොරොත්තු ගොන්නක් මැද හැමදාමත් එකම තැනක කුරුවල් වෙමින් බිහිසුණු සසරක් පෝෂණය කරනවා. මං කවදාද ප්‍රසිද්ධ වෙන්නේ? මං කවදාද ප්‍රශංසා ලබන්නේ? මං කවදාද අහවලා ඉක්මවා යන්නේ? මං කවදාද උසස් වීම්, වරප්‍රසාද ලබන්නේ? මං කවදාද අනිකා ඉක්මවා දියුණු වෙන්නේ? යනාදී වශයෙන් මේ ලෝකයට පමණක්ම සීමා වුණු අසීමාන්තික බලාපොරොත්තු මැද මිනිස්සු නොදැනම මහා දුක් කන්දරාවක් විඳිනවා. ඉතිං අකුසල් රැසකට මැදි වුණ ඒ සියල්ලෝම මේ දීර්ඝ සසරේ හැමදාමත් පැතූ දේවල් නැවත නැවතත් පතමින්, ඒ පැතුම් ඉටු නොවී තිබියදීම දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිත වලින් සමුගන්නවා. සසර නම් වූ රඟහලේ තවත් එක් බිහිසුණු රංගනයක් අරඹනවා.
නමුත් ජීවිත ගමන තුළ සිදුවන අසීමිත සිදුවීම් ඔස්සේ සසර බිය හදුනාගත් නුවණැත්තාට, ‘අනේ! කවදාද මමත් මේ මහා දුක් ගොඩකට උරුමකම් කියන භයානක සසරින් නිදහස ලබන්නේ? යන උතුම් බලාපොරොත්තුව ඇති වෙනවා.
ඉතින් එම අපේක්ෂාවෙන් යුතුව ජීවිතය යහපතේ හසුරුවද්දී අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා, මෙතෙක් කල් සසර පුරා රැස් කළ කර්මයන්ගෙන් සතර අපායට සකස් වුණ ඉදිරි මාවත දෙව්ලොවට බඔලොවට හරවන්න. අන්න එයාට පුළුවන්කම ලැබෙනවා සසර පුරා ගෙවාගෙන ආ ඒකාකාරී රටාව මේ ජීවිතයෙන් වෙනස් කරගන්න. අන්න එයාට පුළුවන්කම ලැබෙනවා මේ මහපොළොවට පය තබා යන්නවුන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න.
එවන් උදාර බලාපොරොත්තුවක් ඇතිව පිළිවෙතෙහි යෙදී භයංකර සසරින් සදහටම නිදහස ලැබූ ඒ උතුමන් වහන්සේලා තරම් පින්වන්තයින් මේ ලෝකයේ තවත් සිටිත්ද?
හැමදාමත් එකම රටාවකට යන ලෝකයා කොයිතරම් කම්සැපයෙන් වැජඹුනත්, කීර්ති නම්බු නාම ලැබුවත්, ඒ වෙනුවෙන්ම ජීවිත වෙහෙසෙව්වත් එතැන ඇත්තේ අර්ථයක් නැති, අස්ථිර වූ, තාවකාලික වූ, පුංචිම පුංචි ආශ්වාදයක් ඇති දුකටම අයිති දෙයක්. මරණය ඉදිරියේ සදහටම අහිමි වී යන දෙයක්.
නමුත් මෙවන් වූ උතුම් සම්බුදු සසුනක, පින්වන්තයින්ට පමණක්ම ලැබෙන මේ ලෝකයේ වටිනාම දේ වන නිර්මල ශ්‍රී සද්ධර්ම දායාදය ලැබූ යම් කෙනෙක් වේද, ඒ හැමදෙනා උතුම් පැතුමක් ඇතිව දුෂ්කරව හෝ වැටි වැටී නැගිටිමින් හෝ ජීවිතය ධර්මය තුළ හසුරුවාගතහොත්, ඔහු හෝ ඇය අනුගමනය කරන්නේ, සසරින් නිදහස් වුණ උතුමන් අභිමානයෙන් යුතුව වැඩම කළ ඒ උතුම් ආර්ය මාර්ගයම නොවෙයිද? ඒ නිසා පිනට දහමට නොනැමුණු, බිහිසුණු සතර අපායට දොරටු විවෘත කර ගත්තවුන් සිටින වර්තමානයේ කෙනෙක් උතුම් ඉක්කයක් ඇතිව, දීර්ඝ කලක පටන් කෙලෙස් වලින් දුර්වර්ණ වී ගිය අසරණ ජීවිතය, නිර්මල ධර්මයෙන් පාරිශුද්ධත්වයට පත් කරගෙන ගුණදහමින් පිරිහුණු ලෝකයා අතර සොදුරු ගුණ දහමින් තම ජීවිත ඔපමට්ටම් කරගතහොත් අන්න ඒ සැබැවින්ම මනසින් උසස් වූ මිනිසාට මේ දරුණු වසං-ගතය පමණක් නෙවෙයි මේ බිහිසුණු සසර ගමනම ඉක්මවා යන්න හැකි වේවි.
ඒ නිසා මාරාන්තික වසංගත හමුවේ, අරගල කා කොටාගැනීම් හමුවේ බුදු මුවින් වදාළ සසර ස්වභාවයම සිහිකරමින් අප්‍රමාදීව නුගුණයෙන් මුදවාගත් ජීවිත ඇතිකරගෙන සසර පුරා විඳි මහා දුක්ඛස්කන්ධයෙන් නිදහස ලබන්න හැමදෙනාටම දුර්ලභ වාසනාව උදාවේවා!
ඇසුර – (අංගුත්තර නිකාය 1, තික නිපාතය ‘නිරාස සූත්‍රය’)
මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments