ඔබත් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් ද? ජීවිතයේ තමා ලද වටිනා ම දේ තෙරුවන් සරණ යැයි සිහි කරන කෙනෙක් ද? අන්‍යයන්ගේ හිතසුව පිණිස ධර්ම දානය දෙන කෙනෙක් ද? පින්කම් සංවිධානය කරන, පින්කම්වලට සම්බන්ධ වන කෙනෙක් ද? ගුරුන් පුදන කෙනෙක් ද? තෙරුවන ගැන උස් හඬින් කතා කරන කෙනෙක් ද? එසේ නම් මේ ලිපිය එවන් වූ ඔබ සඳහා ම යි.

—-

සැබැවින් ම තෙරුවන් සරණ යනු මිනිස් දිවිය තුළ කෙනෙක් ලබනා වටිනා ම දායාදයයි. ඇතැම් විට කෙනෙකුට විශාල ධනයක් තිබෙන්නට හැකිය. අතිශයින් ම අලංකාර වූ රූප ස්වභාවයක් තිබෙන්නට හැකිය. සමහරෙකුට විශාල ඤාති පිරිසක් සිටින්නට හැකිය. පණට පණ මෙන් සෙනෙහෙ ඇති ස්වාමියෙකු, බිරිඳක සිටින්නට හැකිය. අම්මා යැයි කියමින් සෙනෙහසින් වැළඳ ගන්නට දරු කැලක් සිටින්නට හැකිය. මෙකී නොකී නොයෙක් සම්පත් අතර සසරගත සත්වයාට ඉතාමත්ම කලාතුරකින් මුණගැසෙන අසම වූ, අද්විතීය වූ, අනර්ඝතම වස්තුව වනාහී තෙරුවන් සරණයි.

සම්බුදුවරුන් වනාහි කල්ප සියයකටත් දුර්ලභ ය. එවන් වූ සම්බුදු රජාණන් වහන්සේනමකගේ පහළ වීමෙන් පමණක් ලොව දකින්නට ලැබෙන අනුත්තර පිරිස නම් මහ සඟරුවනයි. ඒ උතුමන්ගේ මුවින් අසන්නට ලැබෙන ශ්‍රී සද්ධර්මයේ පහළ වීම ද සිදු වන්නේ සම්බුදුරජාණන් වහන්සේනමක් ලොව පහළ වීමෙන් පමණකි. ඒ උතුම් තුනුරුවන අතිශයින් ම ආනුභාව සම්පන්න ය. බල සම්පන්න ය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ උතුම් සඟරුවන පළ කළ ඒ මහා ආනුභාවය අන්‍ය තීර්ථක මිසදිටුවන් සමඟ බලන කල මහාමේරුවට දුහුවිල්ලක් මෙන් සම කළ නොහැකිය. එකල ජීවත් වූ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ගේ නුවණින් මේරූ, ගුණයෙන් පිරුණු දිවි පැවතුම් තුළ පවා ඒ ආනුභාව සම්පන්න බව මනාකොට ගැබ්ව තිබිණි. අනේපිඬු සිටුතුමා, බිම්බිසාර රජතුමා, විශාඛා සිටුදේවිය, මල්ලිකා බිසව, උග්ග සිටුතුමා, නන්ද මාතාව එකල ගිහි පැවිදි දෙපාර්ශවය ම තුළ කීර්තියට පත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වූ අතර ඔවුහු ධර්මානුකූල ව ගත කළ තම දිවි පෙවෙතෙන් සසුනට ආලෝකයක් ද එක් කළෝය.

එනමුත් ශාස්තෘන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2500 ද ඉක්මවූ මෙකල සමාජය ඊට හාත්පසින් ම වෙනස් ය. අතිශයින් ම පිරිහුණු සිත් ඇති මෙකල බොහෝ මිනිස්සු තෙරුවනටත් ගරහති, ආර්ය සත්‍යයටත් ගරහති. පූජනීය වස්තූන්ටත්, පුද පූජාවන්ටත් ගරහති. පිනටත් ගරහති. කුසලයටත් ගරහති. වෙසෙසින් ම ශ්‍රාවකයකු තුළ යම් අඩුලුහුඬුකමක් දුටු විට එයම ඉස්මතු කරමින් ගුණය මකති. අසත්පුරුෂ ජනයා පිරුණ මෙකල, ධර්මය පුරුදු කරන්නට වෙහෙසෙන ශ්‍රාවකයා ගෙවන්නේ අසීරු ජීවිතයකි. එවන් වටපිටාවක පවා අන්‍යයෝ ද මේ ධර්මය අසත්වා යන මෙත් සිතින් බුදු සසුන ලොව බබළවන්නට වෙහෙස වන ශ්‍රාවකයන් හට භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද බලසංගහවත්ථු සූත්‍රය අතිශයින් ම උපකාරී වන දෙසුමකි.

බලසංගහවත්ථු සූත්‍රය තුළ අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ශ්‍රාවකයකු තුළ පිහිටන බලයන් 4ක් පෙන්වා වදාළ සේක. එනම් ප්‍රඥා බලය, වීර්ය බලය, අනවජ්ජ බලය හා සංග්‍රහ බලය යි.

ප්‍රඥා බලය යනු කුමක්ද? එනම් කුසලය අකුසලය වෙන් කර හඳුනාගැනීමට ඇති හැකියාවයි. වැරදි – නිවැරදි, කළු කර්ම – සුදු කර්ම, සේවනය කළ යුත්ත – නොකළ යුත්ත, ආර්ය – අනාර්ය වශයෙන් මෙසේ කෙනෙකුට ඒ ධර්මයන් මනාව වෙන්කොට හඳුනා ගැනීමටත්, නුවණින් විමසීමටත් යම් හැකියාවක් ඇත්ද එය ප්‍රඥා බලය යි. වීර්ය බලය යනු කුමක්ද? අකුසල් බවට, වැරදි බවට, කළු කර්ම බවට, සේවනය නොකළ යුතු බවට, අනාර්ය බවට අයත් ධර්මයන් ප්‍රඥාවෙන් හඳුනාගත් පසු ඒ ධර්මයන් ප්‍රහාණය කිරීමට උපදවනා කැමැත්ත, දරනා වෑයම, අරඹනා ලද වීරිය, සිත දැඩි කොට ගැනීම හා පධන් වීරිය ගැනීම වීරිය බලය යි. එසේම කුසල් බවට, නිවැරදි බවට, සුදු කර්ම බවට, සේවනය කළ යුතු බවට, ආර්ය බවට අයත් ධර්මයන් ප්‍රඥාවෙන් හඳුනාගත් පසු ඒ ධර්මයන් උපදවා ගැනීම පිණිස උපදවනා කැමැත්ත, දරනා වෑයම, අරඹන ලද වීරිය, සිත දැඩිකොට ගැනීම, පධන් වීරිය වැඩීම යනු වීරිය බලය යි. අනවජ්ජ බලය හෙවත් නිවැරදි දෑ පිළිබඳ ඇති බලය යනු කුමක්ද? එනම් ශ්‍රාවකයා තුළ නිවැරදි කාය කර්ම, නිවැරදි වචී කර්ම, නිවැරදි මනෝ කර්ම ඇති බවයි.

වරක් භාග්‍යවතුන් වහන්සේ පාටලීය ගමේ ගෘහපතිවරුන්ට වදාළේ සීලයෙන් ලැබෙන ආනිශංස අතරින් එකක් නම් ඕනෑම පිරිසක් අතරට විපිළිසර නොවී, යටිකුරු නොවූ මුහුණකින් යා හැකිය යන්නයි. එසේ නම් ඒ අභිමානවත් බව ශ්‍රාවකයකු තුළ ඇති වන්නේ අනවජ්ජ බලය තුළිනි.

මීළඟ බලය නම් සංග්‍රහ බලය යි. දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව හා සමානාත්මතාවය යනු සංග්‍රහයන්ට මුල්වන කරුණු හතර ය. දානයන අතර අතර උතුම් ම දානය ධර්ම දානය යි.

මෙහිදී ශ්‍රාවකයා ඒ ධර්ම දානය දෙන්නේ වෙයි. ධර්මය ඇසීමට කැමති, ඉන් ප්‍රයෝජන ඇති, මනාකොට ශ්‍රවණය කරන කෙනෙකුට නැවත නැවත කරන ධර්ම කතාව ප්‍රිය වචනයන් අතර අග්‍ර වෙයි. ශ්‍රාවකයා ඒ ධර්ම කතාව කරන්නේ වෙයි. සැදැහැ සිත් නැති කෙනා ශ්‍රද්ධාවේ පිහිටුවයි ද දුස්සීල කෙනා සීලයේ පිහිටුවයි ද මසුරු කෙනා දන් දීමෙහි පිහිටුවයි ද ප්‍රඥා රහිත කෙනා ප්‍රඥාවේ පිහිටුවයි ද මෙය අර්ථචර්යාවන් අතරින් අග්‍ර වෙයි. ශ්‍රාවකයා ඒ අර්ථචර්යාවෙන් යුක්ත වෙයි. එසේම සෝතාපන්න ශ්‍රාවකයා සෝතාපන්න ශ්‍රාවකයෙකුට සමාන වන්නේ ය, සකෘදාගාමී ශ්‍රාවකයා සකෘදාගාමී ශ්‍රාවකයෙකුට සමාන වන්නේ ය, අනාගාමී ශ්‍රාවකයා අනාගාමී ශ්‍රාවකයෙකුට සමාන වන්නේ ය, රහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ නමකට සමාන වන්නේ ය කියා යමක් ඇද්ද මෙය සමානාත්මතාවයන් අතරින් අග්‍ර වෙයි. ශ්‍රාවකයා මේ සමානාත්මතාවයෙන් යුක්ත වන්නේ ය. මෙබඳු වූ ශ්‍රාවකයා සංග්‍රහ බලයෙන් යුක්ත වන්නේ යැයි කිව යුතු ය.

මේ ආකාරයෙන් සතර බලයන්ගෙන් යුතු ශ්‍රාවකයා පස් ආකාර වූ භය ඉක්මවා යන බව ද අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ සේක. එනම් ජීවිකා භයයි, නින්දා භයයි, පිරිස ඉදිරියට යාමට ඇති භයයි, මරණ භයයි, දුගති භයයි. සතර බලයන්ගෙන් යුතු ශ්‍රාවකයා ජීවිතය ගත කරන විට තමා වෙත පැමිණෙන බාධක, කම්කටොලු, අභියෝග ආදියට බිය නොවෙයි. කලින් කලට ලැබෙන නින්දා අපහාසවලට බිය නොවෙයි. පිරිස් ඉදිරියට, ශ්‍රමණයන් වහන්සේලා වෙත එළඹීමට බිය නොවෙයි. මරණයට බිය නොවෙයි. මරණයෙන් මතු දුගතිගාමී වේදැයි බිය නොවෙයි. ශ්‍රාවකයා ඒ බිය ඉක්මවා යන්නේ ඉහත කී සතරක් වූ ධර්මයන් සිහි කිරීමෙනි.

මෙලෙස සතර ආකාර වූ බලයන්ගෙන් යුතු වූ, පස් ආකාර භය ඉක්මවා ගිය ශ්‍රාවකයා ධර්මය පුරුදු කිරීමේ දී පැමිණෙන බාධක වේවා, ජීවිතය වරදට වැටීමට ඉඩ ඇති අවස්ථා වේවා, නින්දා අපහාස වේවා, අභියෝග වේවා ශක්තිමත් සිතින් දරා ගන්නේය. ඒ හමුවේ නොසැලෙන්නේය. බිඳ නොවැටෙන්නේය. බිඳ වැටුණ ද ක්‍රමයෙන් නැගිටින්නේය. දිවි තිබෙන තුරු තෙරුවන් අත් නොහරින්නේය. පින් කුසල් රැස් කරන්නේය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාගේ මනාකොට පැවතිය යුතු පෞරුෂය, අභිමානය යනු මෙයම නොවේද?

මෙවන් බලවන්ත ශ්‍රාවකයෙකු තුළ නිතැතින් ම වක්‍ර පැවතුම් නැති ඍජුබව ඇති වන්නේය. හෙතෙමේ තමාව රැක ගන්නේය. අන් අයව ද රකින්නේය. තුනුරුවනේ ගෞරවය, සසුනේ අභිමානය රකින්නේය. මේ අයුරින් බලවන්ත ශ්‍රාවකයෙකු ලෙස කටයුතු කොට සසුන බබුළුවන්නටත්, මේ ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නටත් අප කාටත් වාසනාව ලැබේවා !

තෙරුවන් සරණයි…!

සටහන – යූ.කේ. ගුණතිලක