බුදුරජාණන් වහන්සේනමක් ලෝකයට පහළ වීම සැබවින් ම ආශ්චර්යක්; භාග්‍යයක්; සැපයක්. උන්වහන්සේ ලෝකයට පහළ වී වදාළ ඒ සුමිහිරි ධර්මය ඇසෙද්දී ශ්‍රාවකයෙක් ඒ ධර්මය පුරුදු කරන්නට යම් මහන්සියක් ගන්නවා. ඒ ශ්‍රාවකයා ඒ ධර්මය ඇසුණ දා සිට තමන් ඇබ්බැහි වී තිබුණ අනවශ්‍ය දෙයක් තිබුණා නම් ඒ දෙයින් මිදෙන්නට උත්සාහයක් ගන්නවා. අනවශ්‍ය ආකාරයට තරහ යන කෙනෙක් නම්, මත්පැනට ලොල්ව සිටියා නම් ධර්මය ඇසුණ නිසා වෙනස් වෙනවා. එහෙනම් අපට පේනවා ධර්මය ඇසීමෙන් යම් පුද්ගලයෙකුගේ වෙනස් වීමක් සිදුවෙනවා. එසේ වෙනස්වීමේ ආශ්චර්යය කාගෙද? යන්න අපි මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.
**************
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ ලෝකයට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් පහළවීමෙන් ආශ්චර්යය වූත්, අද්භූත වූත් ධර්මතා හතරක් පහළවෙනවා කියා. එයින් පළමුවැන්න වන්නේ,
‘ආලයා රාමා භික්ඛවේ පජා ආලයරතා, ආලයසම්මුදිතා.’ ‘මේ ලෝකයා ඉන්නේ පංචකාමය වාසස්ථානය කරගෙන. පංචකාමයට ඇලිලා. පංචකාමයෙන් සතුටු වෙවී.’
‘සා තථාගතේන අනාලයේ ධම්මේ දේසියමානේ.’ – ‘ඒ අයට මේ තථාගතයන් වහන්සේනමක් පංචකාමයට තිබෙන කැමැත්ත දුරු කරන ධර්මයක් දේශනා කරනවා අසන්නට ලැබෙනවා.’ එතකොට ඒ පිරිස, ‘සුස්සූසති’ – ‘ඒ ධර්මය අසන්නට කැමැති වෙනවා.’ ‘සෝතං ඕදහති’ -‘කන යොමු කරනවා.’ ‘අඤ්ඤාචිත්තං උපට්ඨාපේති’ – ‘මේ ධර්මය අවබෝධ කර ගන්නට ඕනෑ කියලා සිත පිහිටුවා ගන්නවා.’
හුළු අත්ත අතහරින්න…
භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ තමයි බුදුකෙනෙකු මේ ලෝකයේ පහළ වූවාට පසු මේ ලෝකයට පහළවෙන පළමුවන ආශ්චර්යය වූත්, අද්භූත වූත් ධර්මතාවය බව. මොකක්ද මේ පංචකාමය කියන්නේ? ඉෂ්ඨ, කාන්ත, මනාප, ප්‍රිය ස්වරූප තිබෙන – කැමැත්ත ඇති කරන, යමෙකුගේ කෙලෙස් අවුස්සනසුලු රූප, ශබ්ද, ගඳසුවඳ, රස, පහස මේ ලෝකයේ තිබෙනවා. මේවා ගැන යම් කෙනෙක් සිතිවිල්ලකින් රාගයෙන් බැඳී යනවා. සිතේ මව මවා දෙන රාගයක් ඇතිවෙනවා. එයට පංචකාමය කියනවා. මේ පස්සේ තමයි ලෝකයා දුවන්නේ.
අපි පුංචි කාලයේ සිට ම ඉගෙන ගන්න මහන්සි ගන්නවා. කොතරම් ඉගෙන ගත්තත් මදි. ඉන්පසු රැකියාවට යනවා. කොතරම් ඉහළට ගියත් මදි. විභාග කරනවා කොතරම් කළත් මදි. ගෙයක් දොරක් හදා ගන්නට හිතෙනවා. කොතරම් හදාගත්තත් මදි. නැවත නැවත කඩ කඩා හදනවා. යානවාහනත් එහෙම ම යි. එන එන අලුත් වාහනය ගන්නවා. ඒ වගේ ම විවාහ වෙනවා. සමහර අයට ඒ විවාහයත් මදි. කොතරම් දේ මේ ජීවිතයේ කළත් මදි.. මදි.. මදි. මිය යනතුරු ම මේ සිතේ තෘප්තිමත් නොවන ස්වභාවයක් තිබෙනවා. අඩුවක්, අපරිපූර්ණ බවක් දැනෙනවා. ඒ නිසා ම මේ කාමයත් සමඟ හැප්පෙන විට පුදුමාකාර වෙහෙසක් තිබෙන්නේ. කාමයත් සමඟ හැප්පෙද්දී තමයි වෙහෙස, පීඩාව, දැවිල්ල, පිච්චිල්ල කියා දෙයක් එන්නේ. ඒ වගේ ම තමන්ට මේවා අහිමි වේවි කියා බයක් එන්නේ කාමය නිසා. කාමය අල්ලා ගත්ත නිසා. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ කාමයත් හරියට හුළු අත්තක් වගේ කියලා. දැල්වෙන හුළු අත්ත අතට ගත් විටයි පිච්චෙන්නේ. අත්හැරියා නම් පිච්චිල්ල නැහැ. ඒ වගේ තමයි කාමය කියන දේ වැළඳ ගන්නේ නැතිව දවනසුලු කාමය නැමති හුළු අත්ත අතහැරියා නම් අල්ලාගෙන තිබෙන වේදනා, දැවිලි තැවිලි, පිච්චිලි සියල්ල ම නැති වෙලා යනවා. බුදු කෙනෙකු පහළවෙලා කාමයේ ඇත්ත ස්වභාවය වන ‘කාමයේ ආස්වාදය ටිකයි. බොහෝ දුකක් තිබෙනවා’ කියා වදාළේ ඒකයි. පොඩි ආස්වාදයක් ලබන්න ගොඩාක් දුක් විඳින්නේ. එයයි යථාර්ථය. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ඒ යථාර්ථය දැක ගත් නිසා තමයි ප්‍රජාපති ගෝතමිය වගේ, යශෝදරා වගේ, රූපනන්දා වගේ රාජ මාළිගාවල සිටි කුමාරිකාවන් ඒ සුකුමාල ජීවිතවලින් බැහැල මේ ශාසනයට ආවේ. ඒ වගේ ම භද්‍ර කුණ්ඩලකේශා, උප්පලවණ්ණා වගේ සුන්දර සිටු කුමාරියන් සිටු මාලිගාවලින් බැහැල මේ ශාසනයට ආවේ. කාම මඩ ගොහොරුවේ එරී සිටි අම්බපාලි, අඩ්ඪකාසී වගේ අය ඒ වෘත්තියෙන් බැහැර වෙලා මේ ශාසනයට ආවේ, මේ ශාසන ජීවිතය සැපයක් කියලා. ඒ සියල්ල කාගේ ආශ්චර්යයක් ද? මිහිරි ලෙස කාමය විඳිමින් සිටි අය ඒවා අතහැර මේ ධර්මයේ පිළිසරණ ලැබුවේ කාගේ ආශ්චර්යයක් නිසා ද? ඒ ඒ අයගේ ආශ්චර්යයක් ද? නෑ. ඒක බුදු කෙනෙකු ලොව පහළවීමේ ආශ්චර්යය යි.
ඒ නිසා අදටත් සත්පුරුෂයන් වහන්සේනමක් ඒ නිකෙලස් ධර්මය දේශනා කරනවිට, ඒ ධර්මය ඇසෙද්දී සිතනවා නම් ‘මම මේ ගේ දොර මත්තේ, අඹුදරුවන් මත්තේ, දුරකථනයට, රූපවාහිනියට ඇලී ඒ මත්තේ ම ඉන්න හොඳ නැහැ. මේ කාලයේ ධර්මයටත් නැඹුරු වෙන්න ඕනේ’ කියලා ඒ පිරිස පොඩි විවේකයක් හෝ අරගෙන ධර්මය තුළ හැසිරෙන්නට මහන්සියක් ගන්නවා නම්, ධර්මය අසන්නට ආශාවක් ඇතිවෙලා නම්, ‘මමත් මේ ධර්මයෙන් පිහිට ගන්න ඕනෑ’ කියා කල්පනා කරනවා නම් ඒ ආශ්චර්යය ඒ ඒ අයට අයත් දෙයක් නොවේ. ඒ තමයි බුදු කෙනෙකු ලොව පහළ වීමේ පළමු වූ ආශ්චර්යය වූත්, අද්භූත වූත් ධර්මතාවය.
මාන්නය අකුසලයක්…
භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙවන ආශ්චර්යය වූ කරුණ තමයි, ‘මානාරාමා භික්ඛවේ පජා මානරතා මානසම්මුදිතා’ -‘මේ සත්වයා සිටින්නේ මාන්නය නිවාසය කරගෙන. වාසස්ථානය කරගෙන. මාන්නයට ඇලිලා. මාන්නයෙන් සතුටු වෙවී.’ ‘සා තථාගතේන මානවිනයේ ධම්මේ දේසියමානේ’ – ‘ඒ අය තථාගතයන් වහන්සේ මාන්නය දුරුකරන ධර්මය දේශනා කරන විට’, ‘සුස්සූසති’ – ‘ඒ ධර්මය ඇසීමට කැමැත්ත ඇතිකර ගන්නවා’, ‘සෝතං ඕදහති’ – ‘ඒ ධර්මයට කන යොමු කරනවා’, ‘අඤ්ඤාචිත්තං උපට්ඨපේති’ – ‘ඒ ධර්මය අවබෝධ කරගන්නට ඕනෑ කියා සිත පිහිටුවා ගන්නවා.’
මේ ලෝකයේ මිනිසුන් මම ලස්සනයි, මම වැදගත්, මම ධනවත්, කුලවත්, ඉහළ රැකියාවක් මම කරන්නේ, මම සම්මානලාභියෙක් ආදී ලෙස මාන්නය ඇතිකරගෙන සිටින්නේ. එයා ධනවත්, කුලවත් ඉහළ තැනැත්තෙක් වෙන්න පුළුවන්. නමුත් මහ පොළොවට පස් වෙන ශරීරයක් තිබෙන්නේ. ඒ වගේ ම කුලහීන වුණත්, දුගී වුණත් එයත් මහ පොළොවට පස් වෙනවා. මේ ශරීරයේ තිබෙන්නේ මහ පොළොවට පස් වෙන, වතුරේ දියවෙන, සුළඟේ හමාගෙන යන රස්නයෙන් යුතු දෙයක්. මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන දේ මම කියලා අරගෙන මාන්නයෙන් ඉන්නවා නම් භාග්‍යවතුන් වහන්සේ වදාළා එය ඒ පුද්ගලයාගේ අඥානකම කියලා. කෙනෙක් මේ සතරමහා භූතයන් ගැන දැනගෙන මේ වගේ ශරීරයක් දරා සිටින මම මාන්නයක් ඇතිකර ගත යුතු නැහැ කියා වැටහීමකට ආවොත් ඒ ඔහුගේ ප්‍රඥාව යි.
බිම්බිසාර රජුගේ අගමෙහෙසිය වූ ඛේමා බිසව රත්‍රං සළුපිළි පැලැන්ද, රත්‍රං මිරිවැඩි පයලා ගත්, ලස්සන රූපයකට ආශා කළ, ලස්සන නිසා ම ආඩම්බර වූ බිසවක්. ඇය වේළුවනයට ගියේ වේළුවනයේ ලස්සන බලන්න යි. හැබැයි දුටුවේ ලස්සනට ජීවිතයේ යථාර්ථය කියා දෙන බුදුරජාණන් වහන්සේව යි. උන්වහන්සේ ඛේමාට වඩා ලස්සන රූපයක් මවලා ඒ රූපය වැහැරෙන ආකාරය පෙනෙන්නට සැලැස්සුවා. එදා ඛේමා බිසව බුදුරජාණන් වහන්සේ වදාළ බණ පදයට වසඟ වුණා. ඛේමාගේ මාන්නය දුරුවෙලා ගියා. ඇය මහරහත් උත්තමාවියක් බවට පත් කළේ මේ ධර්මය විසින්. ඒ ආශ්චර්යය ඛේමාට අයත් දෙයක් ද? නෑ. බුදුරජාණන් වහන්සේ පහළ වීමේ ආශ්චර්යය යි. අද වුවත් යම් කෙනෙක් ධර්මය අහලා මාන්නය දුරු කළොත්, නිහතමානි ගුණ ඇතිකර ගත්තොත්, ‘මාන්නය දුරු කරන ධර්මය මම අසනවා’ කියා සිත පිහිටුවා ගන්නවා නම් එය ඇගේ ආශ්චර්යයක් නොවේ. ඒක බුදු කෙනෙක් ලොව පහළ වීමේ දෙවැනි ආශ්චර්යවත් වූත්, අද්භූතවත් වූත් ධර්මතාවය යි. මේ ලෝකයේ ඒ ධර්මතාවය අපි අදත් දකිනවා.
සරාගී සිත විරාගී බවට…
භාග්‍යවතුන් වහන්සේ තුන්වැනි කරුණ ලෙස වදාළා, ‘අනුපසමාරාමා භික්ඛවේ පජා අනුපසමරතා අනුපසමසම්මුදිතා’ – ‘පින්වත් මහණෙනි, මේ සත්වයා සිටින්නේ නොසන්සිඳීම වාසස්ථානය කරගෙන. නොසන්සිඳීමට ඇලිලා. නොසන්සිඳීමෙන් සතුටු වෙවී.’ ‘සා තථාගතේන ඕපසමිකේ ධම්මේ දේසියමානේ’ – ‘ඒ අය තථාගතයන් වහන්සේ සන්සිඳෙන ධර්මය දේශනා කරන විට, ‘සුස්සූසති’ – ‘ඒ ධර්මය ඇසීමට කැමැත්ත ඇතිකර ගන්නවා.’ ‘සෝතං ඕදහති’ – ‘ඒ ධර්මයට කන යොමනවා.’ ‘අඤ්ඤාචිත්තං උපට්ඨපේති’ – ‘ඒ ධර්මය අවබෝධ කරන්න ඕනෑ කියලා සිත පිහිටුවා ගන්නවා.’
ලෝක සත්වයා නො සන්සිඳී සිටින්නේ කුමක් නිසා ද? රාගයෙන් නොසන්සිඳිලා, ඇවිස්සිලා ගිහිල්ලා. ද්වේෂයෙන්, මෝහයෙන් නොසන්සිඳිලා. ඇවිස්සිලා ගිහිල්ලා. රාග, ද්වේෂ, මෝහ තුළින් ඇවිස්සුන ලෝකයක් තිබෙන්නේ. බුදු කෙනකුන් මේ ලෝකයට පහළවෙලා රාග, ද්වේෂ, මෝහ දුරුකරන, සන්සිඳෙන දහමක් කියා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ලෝකයාගේ ස්වභාවය හරියට කිරි ගසක් වගේ කියා. කිරි ගසේ කුමන ස්ථානයකට කෙටුවත් කිරි වැගිරෙනවා. ඒ වගේ මේ රාගය දුරු නොකළ කෙනාගේ ස්වභාවය පුංචි අරමුණක් ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට දුන්නොත් රාගය වැගිරෙනවා. ද්වේෂය ඇතිවන පුංචි අරමුණක් දුන්නොත් ද්‍වේෂය වැගිරෙනවා. මුළාවන අරමුණක් දුන්නොත් මුළාව වැගිරෙනවා. ඒ වගේ නොසන්සිඳුනු ලෝකයකට සන්සිඳුන බණ පදයක් කියා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පමණ යි.
දිනක්, නිල් මහනෙල් මලේ පාටින් බබළන – තේජාන්විත සුන්දර රූපයක් තිබුණ මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියට විමලා කියන ගණිකාව පැමිණියා. මේ සරාගී කාන්තාව තෙරුන් වහන්සේ දෙස බලා සිටියා. ඇගේ සිත සරාගියි. ඒ උත්තමයාගේ සිත විරාගියි. ඇගේ සිත චංචලයි. නමුත් තෙරුන් වහන්සේගේ සිත අචංචලයි. ඇගේ සිත නොසන්සිඳිලා. නමුත් තෙරුන් වහන්සේගේ සිත සන්සිඳිලා. සරාගී ඇය විරාගී මුනිඳු දෙස බලා සිට උන්වහන්සේ පොළඹවා ගැනීමේ අදහසින් හැසිරුණා. එවිට මුගලන් තෙරුන් වහන්සේ, “අසුචි පුරවාගත් මල්ලක් වගේ ඇඟක් තිබෙන තැනැත්ති, ඇටවලින් සැකසූ කුටියක් වගේ ඇඟක් තිබෙන තැනැත්ති, මසින්, නහරින් ගෙතුව ඇඟක් තිබෙන තැනැත්ති, නව දොරින් අසූචි වැගිරෙන කයක් ඇති තැනැත්ති, එහෙම කයක් තමන්ටත් තියාගෙන අනුන්ගේ කය මගේ, මගේ කියන තිට නින්දා වේවා” යි වදාළා.
ස්වභාවයෙන් ලස්සන මේ විමලා කිසි දිනෙක මෙවැනි කතාවක් පුරුෂයෙකුගෙන් අසා තිබුණේ නැහැ. ඇය කියනවා “ස්වාමීනි, මඩට ආසා කරන මී හරක් දුවගොස් මඩෙහි ලගින්නේ යම් සේ ද, එසේය මගේ කයට ආසා කරන පිරිමින් මා කරා එන්නේ. නමුත් ඔබවහන්සේ පුදුම කතාවක්නේ කියන්නේ.”
“උතුරන අසූචි වළක් වගේ ශරීරයක් තිබෙන ඔබේ කයේ ස්වභාවය දන්නා කෙනෙක් එයට ආසා කරන්නේ නැහැ. ඔය ස්ත්‍රී ශරීරය තමා නිවනට තිබෙන එකම බාධාව. ඒ නිසා මෝඩ පළගැටියෙක් ගින්නට පැනලා වැනසෙන්නට හදනවා වගේ මගේත් එක්ක හැප්පිලා වැනසෙන්න එපා.”
විමලාගේ සරාගි සිත සන්සිඳුනා. ඇයට පුදුම හිතුණා.
“ස්වාමීනි, මමත් ආසයි ඒ ආකාරයට සිතන්න. කොහිද ඔබවහන්සේගේ ගුරුවරයා වැඩ සිටින්නේ?” ඇය භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පැවිදි වුණා. රාග, ද්වේෂ, මෝහ ගින්න නිවා ගන්න ධර්මය අසන්නට ඇය සිත යොමු කළා. ඇයටත් පුළුවන් වුණා මුගලන් තෙරුන් වගේ ම වීතරාගී, වීතදෝසී, වීතමෝහී සිතක් ඇතිකරගෙන පිරිනිවන් පාන්නට. ඒ ආශ්චර්යය විමලාගේ ද? නෑ. බුදු කෙනෙකු ලොව පහළවීමේ ආශ්චර්යය යි. එහෙනම් අදටත් ඒ ධර්මය තුළින් අපට පිහිට පිළිසරණ තිබෙනවා.
අවිද්‍යාවේ තරම…
භාග්‍යවතුන් වහන්සේ හතරවැනි කරුණ ලෙස වදාළා, ‘අවිජ්ජාගතා භික්ඛවේ පජා අන්ධභූතා පරියෝනද්ධා’ – ‘මේ සත්වයා අවිද්‍යාවෙන් සමන්විතයි. බිත්තරය බිත්තර කටුවෙන් සම්පූර්ණයෙන් වැසී තිබෙනවා සේ සත්වයා අවිද්‍යාවෙන් වැහිලයි ඉන්නේ.’ ‘සා තථාගතේන අවිජ්ජාවිනයේ ධම්මේ දේසියමානේ’ – ‘ඒ අය තථාගතයන් වහන්සේ අවිද්‍යාව දුරු කරන ධර්මය දේශනා කරනවිට, ‘සුස්සූසති’ – ‘ඒ ධර්මය ඇසීමට කැමැත්තක් ඇතිකර ගන්නවා.’ ‘සෝතං ඕදහති’ – ‘කන යොමු කරනවා.’ ‘අඤ්ඤාචිත්තං උපට්ඨපේති’ – ‘අවබෝධ කළ යුතුයි කියා සිත පිහිටුවා ගන්නවා.’
අවිද්‍යාව කියන්නේ කුමක් ද? ආර්ය සත්‍යය හතර නොදන්නාකමයි. මේ දුක්ඛ ආර්ය සත්‍යය, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, මේ තමා දුක්ඛ නිරෝධ ගාමිණිපටිපදා ආර්ය සත්‍යය කියා දන්නේ නැහැ. අවිද්‍යාව නිසා සංසාරේ සැරිසරාගෙන යන්න වුණා. එසේ සැරිසරා යද්දී සතරමහ සාගරයේ ජලය පරයා අම්මලාගෙන් කිරි බිව්වා. අම්මා නැති වීම නිසා, තාත්තා නැති වීම නිසා සාගරයේ ජලය පරයා අපි හඬා වැටුණා. එළුවෝ, හරක්, ඌරෝ, කුකුළෝ වෙලා බෙල්ල කපා දමද්දී ගැලූ ලේ සාගර ජලයට වඩා වැඩි වුණා. එහෙම නම් ලේ සාගර, කඳුළු සාගර, කිරි සාගර තමා අපේ සසර ගමනේ තිබෙන්නේ. එහෙම ගමනක් යන අපේ සසර ගමන වැසී තිබෙන්නේ අවිද්‍යාව නිසයි. එසේ අවිද්‍යාව දුරු කරන ධර්මය පටාචාරාට කියන විට ඇගේ සිත ඒ ධර්මය අසන්නට කැමැති වුණා. ධර්මය අවබෝධ කළා. එතුමිය දුකින් මිදුනා. කිසාගෝතමියටත් සරණ ලැබුණා. සසරට වැටුණ අපට නොයෙක් ආකාරයේ දුක්වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. එහි නිමාවක් නැහැ. මේ ලෝකයේ අදටත් පටාචාරලා, කිසාගෝතමීලා සිටිනවා. කඳුළු බිබී සිටින අය මේ ලෝකයේ පිරිලා. ඒ සැමට පිළිසරණක් වෙන්න මේ ලෝකයට පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලෝකයට පහළ වීමෙන් අපට උත්තරයක් ලැබෙනවා. නැත්නම් මේ කඳුළු බිබී යන සංසාරයට උත්තරයක් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා, ‘අවිද්‍යාව දුරු කරන ධර්මය අපි අහන්න ඕනේ’ කියා අපට හිතෙනවා නම් ඒක බුදු කෙනෙකු පහළවීමේ ආශ්චර්යය යි. ‘මම ඒ ධර්මයට කන යොමු කරන්න ඕන, ඒ ධර්මය අවබෝධ කර ගන්න ඕන’ කියා සිතනවා නම් ඒක බුදු කෙනෙකු ලෝකයට පහළවීමේ ආශ්චර්ය යි. එවිටයි එයාගේ දුක කවදා හරි දවසක නිවී යන්නේ.
මේ වෙසක් දිනේ අපි කතා කළේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය පිළිබඳව යි. අපි බුදු බණ පදයක මිහිර, සැනසිල්ල විඳින අය. බුදුරජාණන් වහන්සේ පහළවීමේ ආශ්චර්ය විඳගන්නයි අපට මේ වාසනාව ලැබිලා තිබෙන්නේ. එහෙනම් අද දිනේ අපි අධිෂ්ඨානයක් ඇතිකර ගනිමු භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යයට තව තවත් ළංවෙලා ඒ සරණ වැළඳ ගන්නට. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ම වැළඳ ගනිමු. ‘ඒ ආශ්චර්යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට ලබාගෙන පිරිනිවුණ මහ මුනිවරයන්, මුනිවරියන් ප්‍රමුඛ කරගත් ශ්‍රාවක සංඝරත්නයේ සරණ ම මම වැළඳ ගන්නවා. මමත් මේ ආශ්චර්යවූත්, අද්භූතවූත් ධර්මතාවලින් මේ ලෝකය සනසාලන ගෞතම බුදුරජාණන් වහන්‍සේ ගේ පිහිට ලබා ගන්නවා!’ කියා අධිෂ්ඨානයක් ඇතිකර ගනිමු.
සටහන – නයනා නිල්මිණි
Recent Comments