මාගරට් මුර දානය පිළියෙළ කළේ කඩේ කුඩා කුස්සි කෑල්ලේ සිට ම ය. හිරුගේ අධික තාපයෙන් රත් වූ ටකරන් තහඩුවලින් නැගෙන තාපයත්, ලිපේ ගින්දර රස්නයත් නිසා බේරෙන දහදිය පිසීමට ඕ කුඩා තුවායක් පාවිච්චි කළේ දානය ගෞරවයෙන් සකස් කළ යුතු බවට දෙමව්පියන් වෙතින් ලද අවවාදය ද සිහි කරමිනි. උයන අතර ඈ වරින් වර පාර දෙස බලන්නේ පාරේ වාහනයක් යාදෝ යි දැන ගැනීම පිණිස ය. ඒ තරමින් ම ඕ කඩය තුළට ද එබී බලන්නේ දියණිය කුමක් කරන්නේදැයි දැනගැනීමට ය.

“ඔය ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක නවත්වල පාරෙ යන වාහනේකට අත වනපං බං තැඹිලි ගෙඩියක් හරි විකුණගන්න” යි ඕ කිහිප විටක් ම දියණියට කීවද ඈ නොවේ එක්වරක් හෝ එය ගණනකට ගත්තේ.

“දානෙ නෙවෙයි නම් මං තෝ ලවා මයි උයවන්නෙ. තුඃ නොදෝකිං! තෝව හැදුවට වඩා හොඳයි මං එළදෙනක් හැදුව නම් කිරි ටිකක් හරි ගන්නව” මාගරට් කීවේ බැරිම තැන ය.

“යසයි. දානෙ උයන්නෙ කේන්තියෙන් පිපිරි පිපිරි ද? ගමේ උන් ඕක තමයි කියන්නෙ හොර උපාසකම්ම කියල. මගේ කනටම ඇහිල තියනව. වැඩේ ඇත්තනෙ, මං කරබාගෙන ආව.” සඳලි ද පෙරළා කීවාය.

“හපෝ දෙයියනේ මේකිව හම්බ වුණාට වැඩිය හොඳයි මාව වඳ වෙලා ගියා නම්” මාගරට් කීවේ හිස් අහස දෙස බලාගෙන ය. සඳලි රටකජු පැකට්ටුවක් කඩා කටේ දමා ගත්තාය.

“කාපිය. කාපිය. තෝත් තාත්ත වගේම යි. මාව නැති කරන්න ඉපදිල තියෙන්නෙ” මාගරට් මාළුව හැඳි ගාමින් කීවේ අධික කේන්තියෙනි. හැඳි ගෑ වේගයට වට්ටක්කා කැබලි දිය වී යන බවවත් සිහි කර ගන්නට ඈට හැකි නොවිණි.

“තාත්ත දාල නොගිය නම් තමයි පුදුමෙ” එවර මාගරට් කිසිවක් නොකීවාය.

දානය උයා අවසන් කළ මාගරට් දානෙ භාජන සෝදා පිළිවෙළට දානය බෙදුවාය. ඒ හැමවිටක ම ඇගේ මතකයට පිවිසියේ දායක සභාවේ සභාපතිකම කළ තම දෙමව්පියන්වයි.

“ලෑස්ති වෙයන්.” දානය බෙදා අවසන් කළ මාගරට් කීවාය.

“මං ඉන්නම්.” සඳලි කීවේ හිතේ කම්මැලිකමට මිස අකැමැත්තකින් නොවේ.

“යසට තියෙයි. මමත් තනියම නෙ. යමං”

කඩේ වැහුවේ ද මාගරට් විසිනි. ඕ දෙවරක් දොර පොල්ල තද කොට බැලුවාය. හොරෙක් පැන්නත් ගන්නට ඒ හැටි දෙයක් කඩේ නැත. සීනි තේ කොළ ටිකක්, විස්කෝතු පැකට් කිහිපයක් හැරුණ විට කඩේටම තිබුණේ බුලත් විට සහ තැඹිලි පමණකි. නියං ආධාරයට ලැබෙන දෙයකින් ජීවත් වෙනවා විනා ගමේ බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග පෑවිල්ලට විනාශ වී ඇත.

මාගරට් ඊළඟට කළේ ගෙයි දොර වැසීම ය. කඩේ පිළේ තබා තිබූ දානෙ භාජන අතට ගත් මාගරට් නැවත හැරී ගෙය දෙස බැලුවේ ජනෙල් වසා ඇත් දැයි දැන ගැනීම පිණිස ය.

මාගරට්ගේ ගෙය නම් ගමේ අනෙක් ගෙවල් සමඟ බලද්දී තරමක් හොඳ එකකි. මාගරට්ගේ මුදල් පොලී කිරීමේ කටයුත්ත සාර්ථකව කෙරුණ කාලයේ දී ගොඩ නැගූ නිවසට ගමේ උන් කියන්නේ ගිනි ගේ කියා ය.

“ගමේ උන්ට දෙන ගිනි ගෙඩි මාගරාට ඇවිළුණා.” සෝමදාස බට්ටීවත් රැගෙන ගමෙන් ගිය කාලයේ ගමේ උන් සතුටු සිතින් කීහ. ගමේ සල්ලිකාරයින්ගෙන් සියයට දහයේ පොලියට මුදල් ලබා ගන්නා මාගරට් ගම්මුන්ට සියයට විස්සේ පොලියට දුන්නා ය.

පොලී මුදල්වලින් කොටසක් ගේ හැදීම පිණිසත්, ලක්ෂ තුනකට ආසන්න මුදලක් සෝමදාස හොරාට රැගෙන යාමත්, නියඟයෙන් වගා කටයුතු විනාශ වූ ගම්මු ණය පොලී නොගෙවා මඟ හැරීම නිසාත් දැන් ගමේ සිටිනා ලොකුම ණයකාරිය ද මාගරට් ම වන්නීය. දිනපතා මාගරට්ගෙන් ණය මුදල් ඉල්ලීමට එමලි ඉස්කෝලෙ හාමිනේ ද, කොඩිතුවක්කු ද පැමිණෙද්දී, “ලබන මාසේ දෙන්නං” යැයි කියමින් දැන් මාස කිහිපයක් ම ඈ ගැලවී ගත්තාය.

“මේ මාසෙ විතරයි. නැත්තම් තෝවයි, දුවයි දෙන්නවම අරන් යනව.” කොඩිතුවක්කු අවසානයට කියා ගියේ ය.

“උපාසකම්ම මොකද අද කලබල වෙලා…. කේන්තියෙන් ද ඉන්නෙ?” දානෙ පිළිගනිමින් හාමුදුරුවන් ඇසුවේ මාගරට් වෙනදාට වඩා වෙනස් ව හැසිරුණ නිසාවෙනි.

“කේන්ති නැද්ද අපේ හාමුදුරුවනේ? අර අමුණෙ ඉතිරි වෙලා තියන වතුර ඇබින්දෙ ඉන්න තිත්ත පැටව් ටික අල්ල ගන්න, ටිකිර කොල්ලො දෙන්න එක්ක ඒක මඩ කරනව. රෙද්දක් හෝද ගන්න නාගන්න තියන වතුර ටික නේද?” මාගරට් කීවේ දානෙ රැගෙන එන විට දුටු දේ නැවත සිහියට නගා ගනිමිනි. හාමුදුරුවන් කිසිත් පැවසුවේ නැත. එය ද මාගරට්ගේ සිත් නොගත්තෙන් ඉක්මණින් ම ඕ සඳලිවත් ඇදගෙන පාරට පැන්නාය.
“අක්කේ, ඉක්මනට ගෙදර යමං. කොඩිතුවක්කුවා ට්‍රැක්ටරයක් අරන් ඇවිත් වහලෙ උළු ටික බාගන්නව උඹලගෙ. මං මේ දැකලයි උඹව හොයාගෙන ආවෙ.” ආරංචිය රැගෙන ආවෙ මාළු ඇල්ලූ ටිකිරා ම ය. ටිකිරාගේ ම බයිසිකලයේ නැගුණු මාගරට්, “ඉක්මනට වරෙන් සඳලි. යමු මල්ලියෙ ඉක්මනට යමු.” යැයි ටිකිරාට කීවාය.

මඳ දුරක් යද්දී ම කොඩිතුවක්කු පදවා ගෙන පැමිණි ට්‍රැක්ටරය මාගරට්ට හමු විය. බයිසිකලයෙන් පැන්න මාගරට් පාර මැද නිදා ගත්තේ ට්‍රැක්ටරයට යාමට නොහැකි ලෙසට ය. කොඩිතුවක්කු ට්‍රැක්ටරය නැවැත්තුවේ මාගරට් අසලට ම වන්නට ය. ටිකිරා කෑ ගැසුවේ මාගරට්ව යට වූවා යැයි සිතා ය. කොඩිතුවක්කුගේ සගයෝ සිතුවේ ද එසේ ම ය.

මාගරට් සහ කොඩිතුවක්කු බහින්බස් ව නොකියා ගත් කුණුහරුපයක් නැත. අවසානයේ කොඩිතුවක්කු ටේ්‍රලරය ඔසවා උළු ටික පාරට බෑවේය. උළුවලින් භාගයක් ම කැඩුණි. හයිහත්තිය සිඳීගිය කලෙක මෙන් මාගරට් පාරෙ අයිනකට වී විලාප දෙන්නට වූවාය. කොඩිතුවක්කු සගයින් සමඟ පැමිණියාටත් වඩා වේගයෙන් ට්‍රැක්ටරය ධාවනය කළේය.

මාගරට් ගෙදර ගියේ ටිකිරා උළු ටික ගෙදරට ගෙනත් දෙන බවට පොරොන්දු වූ පසුව ය. ගේ දකිද්දී ම මාගරට්ගේ පපුව හෝස් ගා ඇවිළුණි. ලැජ්ජාව සහ කේන්තියෙන් මඬනා ලද මාගරට් දානෙ උයන්නට ගෙනා පොල් ගෙඩියක් අතට ගෙන පාරට පැන්නාය.

“මගෙ පාන මෙතුවක් භාර ගත්ත දෙයියෝ දවස් තුන යද්දී කොඩිතුවක්කුවට අච්චු කරන්නෝන.” යි කියූ මාගරට් පොල් ගෙඩිය හිස වටා තුන් වරක් කරකවා පාරේ ගැසුවාය. පොල් ගෙඩිය බිඳී විසිරුණ ආකාරයට මාගරට්ට තරමක සතුටක් දැනුණි. “කොඩිතුවක්කුව ඉවරයි” ඇයට සිතුණි.
කොඩිතුවක්කු ට්‍රැක්ටරයක් පිරෙන්න රැගෙන ගිය උළු ටිකිරා ආපසු ගෙනාවේ අත් ට්‍රැක්ටරයෙනි. පුළුවන් තරමින් වහලය සෙවිලි කර දුන් ටිකිරා ආපසු ගියේ කොඩිතුවක්කු සමඟ ආරවුල් ඇති කර නොගන්නා ලෙස අවවාද කිරීමෙන් පසුව ය.

“ඒකා කෙල්ලට හදියක් කරන්න බැරි නැහැ. තිරිසනා වගේ මිනිහනෙ.” ටිකිරාගේ අවසන් වචන මාගරට් තුළ විශාල තැති ගැන්මක් ඇති කිරීමට හේතු විය.

මාගරට් හවස කඩේ ඇරියේ කොඩිතුවක්කුගේ ණය මුදල පමණක් හෝ සොයා දිය යුතු යැයි සිතීමෙනි. හතර වෙද්දී කොළඹ නෝනලා පිරිසක් රැගත් වාහනයක් තැඹිලි බීම පිණිස කඩේ ළඟ නැවැත්වීය. මාගරට් නොඅසාම තැඹිලි ගෙඩියක් කැපුවා ය. “හතළිහයි.”

“හයක් කපන්න පනහ ගානෙ දෙනවා.” මාගරට් හිස ඔසවා බැලුවේ පුදුමයෙනි. නෝනා සිනාසුණාය. මාගරට්ගේ සිතේ ද නෝනා පිළිබඳ ලොකු ළෙන්ගතුකමක් ඇතිවිණි.

සිනාව දිගු කතා බහක් දක්වා දුරදිග ගියේය. මාස ගණනකට පසු පන්දහසේ නෝට්ටුවක් මාගරට්ගේ අතේ ගුලි විණි. ”අම්මට ඔය නෝනලාව විශ්වාස ද?” නිදන්නට ගොස් සඳලි ඇසුවේ මව පිළිබඳ ව උපන් බලවත් අනුකම්පාවෙනි. ”ඒ අය දුප්පත් ගම්වල කාන්තාවන් නඟා සිටුවන සංවිධානයක ලොක්කො. මට පොලී නැතිව සල්ලි දෙනව ඒ අය. මං අඩු පොලියට දෙනව ගමේ උන්ට.” මාගරට් කීවේ දැඩි විශ්වාසයෙනි.

“කොඩිතුවක්කු අරන් ගියේ උළු ටික විතරයි. අලුත් නෝනල මොනා අරන් යයිද මන්දා.”

“ඒ උත්තමාවියන්ට අපේ දේවල් මොනාද බං. විකාර නැතුව නිදා ගනින්. ළිඳට වැටුණ මං ළිං කටින් ම ගොඩ එන්න ඕන.” මාගරට් කීවේ තීරණයකට බැස ගෙන ය.

මාගරට්ට පළමු මාසයට ලක්ෂ පහක් ලැබුණි. ලක්ෂ තුනකින් තමාගේ ණය ගෙවා දැමූ මාගරට් ලක්ෂ දෙකක් ගමේ සමිතියක් පිහිටුවා තම ණයකාරියන්ට සියයට පහක පොලියට දුන්නාය. ඒ දෙන අතරවාරයේ දී ම තම හිඟ පොලී මුදල් රඳවා ගැනීමට මාගරට් සමත් වූවාය. මාගරට්ගේ ගෙයි වහල ද, සිදුරු නැතිව ම සෙවිලි වූයේ දවසට දෙකට ය. මාගරට්ගේ අතවැසියා වූයේ ටිකිරා ය. ටිකිරාගේ ලොකු කෙල්ල දෙවන මාසය වෙද්දී ලොකු නෝනලාගේ ගෙදර වැඩට ගියේ බලවත් කැමැත්තෙනි. මාසයට දෙකට නෝනලා රැගෙන එන වාහනේ රියැදුරු සමඟ ඈ හාද වී තිබීම ඊට බලපෑ ප්‍රධාන ම හේතුව විය.

“සේනක මහත්තයා කෙල්ලව කසාද බඳින්න කැමතියි කියන්නෙ” හතරවැනි මාසයේ දී ටිකිරා මාගරට්ට කීවේ සැකයෙනි.

“ඉතිං හොඳයි නෙ බං”

“ප්‍රශ්නෙකට තියෙන්නෙ මිනිහා ආගමේ නෙ බං අක්කෙ.” ටිකිරා කීවේ ඇද පැද ය. කියූ තාලයෙන් ම ටිකිරාගේ අකමැත්තක් නැති බව මාගරට්ට ද වැටහුණි.

“කොල්ල හොඳයි නම් මොකද බං.” මාගරට් කීවා ය.

“කෙල්ලටත් හැරෙන්න කියනවනෙ. ඒකයි ප්‍රශ්නෙ” ටිකිරා කීවේ බිම බලා ගෙන ය.

“ආගම කන්න ද බං? නෝනල නොහිටින්න අපිට මොකද වෙන්නෙ? උඹට නොකිව්වට මමත් ආගම මාරු කරල ඉන්නෙ.” යි මාගරට් කියද්දී ටිකිරාට දැනුණේ විශාල සතුටකි. දැන් ඉතින් කෙලීගෙ මඟුලට බයක් නැතිව ම කැමති විය හැකිය. ගමේ උන් බනින්නේ තමාට විතරක් නොව මාගරට්ට ද බනී.

“නෝන කිව්ව ඔය ණය ගෙවා ගන්න බැරි එවුන්වත් ආගමට හරවල දෙන්න කියල. ණය කපල දානවලු එහෙම කළොත්.” එවර නම් ටිකිරාගේ සිතේ ඇති වූයේ පුදුමයකි.

“මූණ දිහා බලන්න දෙයක් නෑ. මං කිහිප දෙනෙකුට ම කතා කෙරුව. සරෝජිනී මිනිහ එක්ක කතා කරල බලන්නම් කිව්ව. අනිත් උන්ගෙ තියන ඇට්ටරකම කියන්නෙ ගත් කටට ම බෑ කිව්වනෙ.” මාගරට් කීවේ සතුටකින් නොවේ.

“සරෝජිනීගෙ මිනිහ නිදහස් වෙලා ඇවිල්ල ද අක්කෙ?”

“මොන, ඇපේ තියන්න සල්ලි නැතුවනෙ හිරේ ගියේ. නෝන කිව්ව ඇපෙත් ගෙවන්නම්, නඩුවට පෙනී හිටින්ඩ පෙරකදෝරුවෙකුත් දෙන්නම්, ගෙදර ඔක්කොට ම ආගමට බැඳෙන්න කියල. ඇයි බං නරක ද? අපි උපන් දා හිටල පන්සල් ගියා, තඹ සතේක වාසියක් වුනා ද? අපේ අතේ තියන සොච්චමටත් තට්ටු උනා මිසක.” මාගරට් කීවේ ඇඟට පතට නොදැනී ය. සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ නම් තමා ද ආගම මාරු කළ යුතු යැයි ටිකිරාට සිතුණි.

“නෝන කිව්ව ඔය ගමේ ඉන්නව නම්, කාලෙක හිටලා හොඳ කර ගන්න බැරි ලෙඩ තියන එවුන් යාඥා කරලා සනීප කරල දෙන්න පුළුවනි කියල. ඉන්නව නම් හොයපං. අපේ අතටත් ගාණක් එනව. ලෙඩත් සනීප වෙනව.”

මාගරට් අලුත් අදහස කියද්දී ම ටිකිරාගේ මතකයට නැගුණේ අපස්මාරය වැලඳෙන පද්මාවතීගේ ලොකු කෙලී ව ය.

“පද්මගෙ කෙල්ල අක්කෙ?”

“ඒකි හරි. තව ඉන්නවා නම් හොයපං.” මාගරට් කීවේ කර පැළඳගෙන සිටින රත්තරන් මාලය අත ගාමිනි. ටිකිරාගේ සිතේ ද අධික ලෝභය උපන්නේය.

“ඈ බං අක්කෙ, කෝ බං සඳලි කෙල්ල? ගමේ උන් මගෙන් අහනව පැනල ගිහින් ද කියල” ටිකිරා පරිස්සමට ඇසුවේ මාගරට්ව කෝප නොවන අයුරිනි.

“දැන් ම කාටවත් කියන්න එපා. කෙල්ලට රස්සාවක් ලැබුණ. කොළඹ මොන්ටිසෝරියක.”

“කොහොමද බං අක්කෙ, කොළඹ රස්සාවක් ලැබුණෙ?” ටිකිරා ඇසුවේ කාරණය තේරුම් ගෙන ය.

“නෝන තමයි.” මාගරට් උජාරුවෙන් කීවාය. ටිකිරාගේ සිතේ කහටක් ඉපදිණි. “මගේ කෙල්ල වැඩකාරකමට. එයාගෙ කෙල්ල උගන්වන්න” යැයි ටිකිරා සිතුවේය.

“මගේ හිතේ තිබුණ හීනයක් සඳලි සාරි ඇඳලා යන රස්සාවක් කරනවා දකින්න.” යි මාගරට් බටහිර අහස දෙස බලා ගෙන කීවාය. දියණිය සිහිවෙන හැම වාරයකදී ම ඈ බලන්නේ එදෙස ය. මාගරට්ගේ වැටහීම කොළඹ තිබෙන්නේ බටහිර දෙස කියා ය.

“උඹ නැගිට්ටෙ යන්න ද?” නැගී සිටි ටිකිරාගෙන් මාගරට් ඇසුවේ රුපියල් පන්සීයක් ද ටිකිරාට දිගු කරමිනි.

“මාළුවෙක් බාගන්න ඕන. දැන් අමුණ පිරිල කට ළඟට ම.” යි කියමින් ටිකිරා රුපියල් පන්සීය ඉණේ ගසා ගත්තේය.

පසුවදන

හුදු තාවකාලික ලාභයක් පතා සංසාරයට ම මහා ලාභයක් ලබා දෙන තිසරණ සරණ අහිමි කර ගැනීම තරම් සිංහල රටේ බෞද්ධ පවුලක උපන්නෙකු කරනා වෙනත් අනුවණකමක් නැති තරම් ය. එහෙයින් ශ්‍රද්ධා ධනය රැක ගැනීමට සියලු දෙනා ම උත්සාහ ගනිත්වා! මන්ද ශ්‍රද්ධාවන්ත ජීවිතය යනු හිස් වූවක් නොවන නිසාවෙනි.