පරලොවක් පිළි නොගන්නා මිථ්‍යාදෘෂ්ටියෙන් යුත් පායාසි රජතුමාගේ සහ විචිත්‍ර ධර්ම කථික කුමාර කස්සප මහරහතන් වහන්සේගේ හමුවීම සිදු වූ ආකාරයත්, ඉන් අනතුරුව ඇති වූ සංවාදයේ කොටසකුත් පසුගිය මහාම්ඝ කලාපවලින් අපි ඉගෙන ගත්තෙමු. එම සංවාදයේ ඉතිරි කොටස මෙතැන් සිට…

****************

“කස්සපයන් වහන්සේ කොහොම කීවත් මට නම් පරලොවක් තියෙනවා කියලා හරි, පින් පව්වල විපාක තියෙනවා කියලා හරි විශ්වාස කරන්න බැහැ. මම මේ අදහස අතහැරියොත් කොසොල් රජතුමා ඇතුළු අනෙක් රජවරු මට නින්දා කරයි. ඒ නිසා මට මේ අදහස අතහරින්න බැහැ.”

හණමිටියේ උපමාව…

“එහෙනම් රජතුමනි, මම ඔබට තවත් උපමාවක් කියලා දෙන්නම්. ඒකෙන්වත් කරුණු තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉස්සර කාලේ එක ජනපදයක ජීවත් වුණ මිනිසුන් පිරිසක් ඒ ජනපදය හැර දමා වෙනත් පළාතකට ගියා. මේ බව දැනගත් මිත්‍රයෝ දෙදෙනෙක් ‘අපි අර පාළුවට ගිය ජනපදයට යමු. ගිහින් එහෙ තියෙන ධනය එකතු කරගෙන එමු.’ කියලා කතිකා කර ගත්තා. ඒ ජනපදයේ පාළු ගමකට ගිය මේ මිතුරෝ දෙන්නට අත්හැර දාපු හණ වැහැරි වගයක් දකින්න ලැබුණා. දෙන්නම හණ වැහැරිවලින් මිටි දෙකක් බැඳගෙන තවත් ඉස්සරහට ඇවිදගෙන ගියා. එතකොට ඔවුන්ට හණ නූල් දකින්න ලැබුණා. ‘යහළුව, අපිට දැන් හණ වැහැරිවලින් වැඩක් නැහැනේ. ඊට වඩා වටින මේ හණ නූල් අරගෙන යමු.’ කියලා එක් අයෙක් හණ වැහැරි මිටිය අතහැරලා හණ නූල්වලින් මිටියක් බැඳ ගත්තා. ‘එහෙම කොහොමද? මම මේ හණමිටිය බොහොම මහන්සියෙන් ගෙනාවේ. මම නම් මේක ඉවත දමන්නේ නෑ.’ මෙහෙම කියපු අනෙකා හණ වැහැරි මිටිය ම අරගෙන ගියා. රජතුමනි, මේ දෙන්නා තවත් ඉදිරියට යන විට හණ නූල්වලින් හදපු හණ රෙදි ලැබුණා. හණ නූල් රැගෙන ආපු පුද්ගලයා තම මිතුරාට ‘යාළුව, හණ වැහැරිවලටත්, හණ නූල්වලටත් වඩා වටින මේ හණවලින් නිපදවන ලද හණ රෙදි තිබෙනවා. අපි හණ වැහැරිත්, හණ නූලුත් ඉවත දමා මේ හණ රෙදි අරගෙන යමු’ කියා හණ නූල් ඉවත දමා හණ රෙදි මිටියක් කරේ තබා ගත්තා. අනික් පුද්ගලයා, ‘යහළුව, මේ හණ මිටිය බොහොම දුර සිටයි මම රැගෙන එන්නේ. මම මේක ඉවත් කරන්නේ නැහැ. ඔබ කැමති දෙයක් ගන්න.’ මෙසේ පවසා නොවටිනා හණ මිටිය ම කරේ තියාගෙන ගියා.

තවත් ඉදිරියට යන මේ දෙන්නට කපු නූල් ගොඩවල් හමු වුණා. හණ රෙදි අරගෙන ආපු පුද්ගලයා, ‘යහළුව, හණවලටත්, හණ රෙදිවලටත් වඩා වටින කපු නූල් තියෙනවා. අපි මේවා ඉවත දමා කපු නූල් ගෙන යමු.’ යි කියා ඔහු තම හිස මත තිබූ හණ රෙදි ඉවත දමා කපු නූල් ගොඩක් එකතු කර ගත්තා. නමුත් අනික් පුද්ගලයා, ‘යහළුව, මම මේ හණ මිටිය බොහෝ දුර සිටයි ගෙනාවේ. මම මේක ඉවත දාන්නේ නැහැ. ඔබට කැමති දෙයක් ඔබ අරගන්න.’ මෙහෙම කියලා හණ මිටිය ම කරේ තියාගෙන ගියා.

මේ විදියට ඉදිරියට ගමන් කරපු මේ දෙදෙනාට අතහැර දමාපු යකඩ, තඹ, ඊයම්, සුදු ඊයම්, රිදී ආදිය හමු වුණා. වටින දේවල් හමු වුණ විට නුවණැති පුද්ගලයා නොවටිනා දෙය ටිකෙන් ටික බැහැර කරලා වටින දෙය පමණක් ගත්තා. නමුත් අනිත් පුද්ගලයා මුලින් ම ලැබුණ හණ මිටිය ම කරේ තියාගෙන ගියා. මෙහෙම ගමින් ගමට ගියපු මිතුරන් දෙදෙනාට විශාල රන් ගොඩක් දකින්න ලැබුණා. එවිට අර නුවණැති මිතුරා, ‘යහළුව, ඉතා වටිනා රත්තරන් අරගෙන යමු’ යි පැවසුවා. ‘යහළුව, කොපමණ දුරක් ගෙවාගෙන ද මේ හණ මිටිය ඉතා වෙහෙස මහන්සියෙන් අරගෙන ආවේ? මම මේක දමා කිසි දෙයක් ගන්නේ නැහැ. ඔබ කැමති දෙයක් අරගන්න.’

රජතුමනි, එකින් එක අතහැරපු නුවණැති පුද්ගලයා රැගෙන ආ රිදී සියල්ල ද අතහැර දමා රත්තරන් එකතු කර ගත්තා. ඉතින් මේ දෙන්නම තම තමන් එකතු කර ගත්තු දේවල් අරගෙන ගෙවල්වලට ආපසු ගියා. රත්තරන් ගෙන ගිය පුද්ගලයාගේ නෑදෑ හිතවත් පිරිස බොහෝ සාදරයෙන් ඔහුව පිළිගත්තා. ඒ වගේ ම ඒ රැස් කර ගත්තු ධනයෙන් සැපවත් ජීවිතයක් ගත කළා. හණ මිටිය ගෙන ගිය පුද්ගලයාව කිසිවෙකු පිළිගත්තේ නැහැ. ඔහු සතුටින් සැපවත් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව අහිමි කර ගත්තා.

රජතුමනි, ඔබත් හණ මිටිය ම කරේ තියාගෙන ගියපු මෝඩ තැනැත්තා වගෙයි මට පේන්නේ. රජතුමනි, ඔබගේ ළාමක මිථ්‍යාදෘෂ්ටිය බැහැර කර දාන්න. එමගින් ඔබට බොහෝ යහපතක් සැලසේවි.”

රජතුමා පහදී…

“ස්වාමීනි කාශ්‍යපයන් වහන්ස, හරි ම ආශ්චර්යයයි. හරිම අත්භූතයි. මම පළමු උපමා කතාවෙන් ම මගේ මිථ්‍යාදෘෂ්ටිය අතහැර ගත්තා. ඔබ වහන්සේ ගැන විශාල ගෞරවයක් ඇති වී ඔබ වහන්සේගේ විචිත්‍ර පැන විසඳුම් අසාගන්නට කැමැත්තෙන් ම යි ඔබ වහන්සේට විරුද්ධව කතා කළේ. ස්වාමීනි, ඔබ වහන්සේගේ දහම් දේශනාව ඉතා මනහරයි. ඉතා විසිතුරුයි. මනස්කාන්තයි. මුනින් නවා තිබූ දෙයක් උඩට හැරවූවා වගේ. පාර වැරදුණ කෙනෙකුට හරි පාර පෙන්වූවා වගේ.

ස්වාමීනි, මම ඔබ වහන්සේගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ව මුළු හදවතින් ම සරණ යනවා. උතුම් ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. මම අද පටන් තෙරුවන් සරණ ගිය උපසාකයෙකු හැටියට පිළිගන්නා සේක්වා!”

නිවැරදිව දනක් දෙන හැටි…

“ස්වාමීනි, මම මහා යාගයක් කරන්න කැමතියි. කස්සපයන් වහන්සේ මා ගැන අනුකම්පාවෙන් මට අනුශාසනා කරන සේක්වා…!”

“රජතුමනි, යම් යාගයක දී ගවයෝ, එළුවෝ, බැටළුවෝ මරණවා නම්, ඒ යාගය පිළිගන්නා අයත් මිසදිටුවෝ නම් ඒ යාගය මහත්ඵල මහානිශංස වෙන්නේ නෑ. හරියට ගොවියෙක් වනාන්තරයකට ගිහින් නිසරු බිමක වගා කළා වගේ. ඒ වගාවෙන් ඒ ගොවියා බලාපොරොත්තු වෙන සරුසාර අස්වැන්නක් ලැබෙන්නේ නෑ. නමුත් රජතුමනි, කාටවත් හිංසා පීඩා කරන්නේ නැතිව, නිවැරදි මාවතේ පිහිටා ප්‍රතිපත්ති පුරන පිරිසකට දන් දෙනවා නම් ඒක මහත්ඵලයි. මහානිශංසයි.”

රජතුමා ලෝභයි…

ඉතින් ඒ පායාසි රජතුමා දන් දෙන පිළිවෙළ අහගෙන ගිහින් ස්වාමීන් වහන්සේලාට, දුගී දුප්පතුන්ට දන් දෙන්නට පටන් ගත්තා. නමුත් රජතුමා දානයට දෙන්නේ නිවුඩු හාලේ බතුයි, කාඩි හොදියි. කිසි වටිනාකමක් නැති ගොරෝසු රෙදිත් දෙනවා. රජතුමා මේ දානයේ කටයුතු පවරලා තිබුණේ උත්තර නම් තරුණයෙකුට. මේ උත්තර හැමදාම දානය පූජා කරලා මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. ‘මට මේ ජීවිතේ දී පායාසි රජතුමා එක්ක එකතු වෙන්න සිද්ධ වුණාට, මේ පිනෙන් මට පරලොව දී නම් ඔහු හා එක්වෙන්න සිදු වෙන්න එපා.’

මේ කතාව පායාසි රජතුමාටත් ආරංචි වුණා. පායාසි රජු උත්තරව කැඳවලා මෙහෙම ඇහුවා. “දරුවා, ඇයි ඔබ මේ වගේ කතාවක් කියන්නේ?” “රජතුමනි, ඔබතුමා දානෙ දෙන බව හැබෑව. නමුත් ඒ දෙන දේවල් ඔබතුමා අතින්වත් අල්ලන්න කැමති නැති නොවටිනා දේවල්. ඉතින් අපි කොහොමද ඒ වගේ දේවල් සතුටින් දන් දෙන්නේ?” “දරුව, එහෙනම් රාජ භෝජන වගේ රසවත් දේවල් ම දානෙට දෙන්න. මම මේ හඳින සළුපිලි වගේ වටිනා ඇඳුම් දානෙට දෙන්න.” ඒ උත්තර තරුණයාත් රජතුමා කියපු විදියට ම රසවත් කෑම බීම දානයට දුන්නා. වටිනා ඇඳුම් මිනිසුන්ට බෙදා දුන්නා. බොහෝ පින් දහම් රැස්කර ගත්තා.

දන් පුදා දෙව්ලොව උපදී…

පායාසි රජතුමා මේ විදියට තමන්ගේ අතින් ම දන් නොදී, සකස් නොකොට දන් දී, ආදර ගෞරවයෙන් දන් නොදී කොහොම නමුත් පින් රැස්කර ගත්තා. පායාසි රජතුමා කාලක්‍රියා කොට දන් පිදූ පිනෙන්, චාතුම්මහාරාජික දෙව්ලොව හිස් විමානයක ඉපදුණා. මේ කාලයේ ගවම්පති මහරහතන් වහන්සේ නිතර චාතුම්මහාරාජික දෙව්ලොවට වඩිනවා. එක දවසක් පායාසි දිව්‍ය පුත්‍රයත් ගවම්පතී මහරහතන් වහන්සේ ළඟට ඇවිත් වන්දනා කළා. තමන් මීට කලින් මිනිස් ලෝකේ කොසොල් ජනපදයේ හිටපු පායාසි කියන රජතුමා බවත් පවසා සිටියා.

“දිව්‍ය පුත්‍රය, ඔබ ඒ කාලයේ පරලොවක් කියලා දෙයක් නෑ. ඕපපාතිකව උපදින සත්වයන් නෑ, පින් පව්වල විපාක නෑ කියන මිථ්‍යාදෘෂ්ටියේ නේද හිටියේ? ඉතින් ඔබ කොහොමද දෙව්ලොව ඉපදුණේ?”

“ස්වාමීනී, මට එහෙම මිථ්‍යාදෘෂ්ටියක් තබුණා තමයි. ඒත් මම ප්‍රඥාවෙන් බබළන කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් බණ අහල ඒ පාපී අදහස් අතහැරියා. පින් දහම් කළා.”

“දිව්‍ය පුත්‍රය, ඔබගේ දානය පිළිගැන්වූ උත්තර නම් තරුණයා ඉපදුණේ කොහේද?”

“ස්වාමීනි, මගේ ධනය වියදම් කොට දෙන දානය ඔහු ඉතා ආදර ගෞරවයෙන් සැදැහැ සිතින් පූජා කළා. ඔහු දැන් මීට වඩා සැප බහුල දීර්ඝ ආයුෂ තියෙන තව්තිසා දෙව්ලොව ඉපදිලා ඉන්නවා. නමුත් මට නියම විදියට ආදර ගෞරවයෙන් සියතින් දන් දෙන්න බැරි වුණ නිසා තමයි මේ දිව්‍ය ලෝකේ ඉපදුණේ. ස්වාමීනි, ඔබ වහන්සේ මිනිස් ලෝකයට ගිහින් මේ ගැන කියලා දෙන්න. මිනිස්සුන් ව දන් දෙන්න තවත් උනන්දු කරවන්න.”

අනතුරුව ගවම්පති මහරහතන් වහන්සේ දෙව්ලොවින් මිනිස් ලොවට වැඩම කොට මිනිසුන් අමතා, “පින්වතුනි, සකස් කොට දන් දෙන්න. සියතින් දන් දෙන්න. සැදැහැ සිතින් ආදර ගෞරවයෙන් දන් දෙන්න. ඉවත දාන දේවල් දානෙට දෙන්න එපා. සේතව්‍යා නුවර සිටි පායාසි රජතුමා හරි විදියට දන් නොදුන්නත් රැස් වුණ පිනෙන් චාතුම්මහාරාජික දෙව්ලොව ඉපදිලා සිටිනවා. රජුගේ ධනය වියදම් කොට දෙන ඒ දානය ආදර ගෞරවයෙන්, සියතින් ම පූජා කරපු උත්තර තරුණයා රජුටත් වඩා පින් රැස් කරගෙන චාතුම්මහාරාජික දෙව්ලොවටත් වඩා සැප තියෙන තව්තිසා දෙව්ලොව ඉපදී සිටිනවා.

ඒ නිසා ඔබත් පිළිවෙළට සකස් කොට දන් දෙන්න. තමන්ගේ අතින් ම දානය පූජා කර ගන්න. ශ්‍රද්ධා ගෞරවයෙන් හිත පහදවාගෙන දන් දෙන්න. අහක දාන දේවල් දානෙට දෙන්න එපා. මොකද, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පරිපූර්ණව අවබෝධ කරන තාක් ඔබ අප කාටත් පරලොවක් තියෙනවා ම යි. නිරයේ, ප්‍රේත ලෝකයේ, දිව්‍යලෝකයේ උපදින්න වෙනවා ම යි. අපි කරන පින් පව්වලට විපාක විඳින්න වෙනවා ම යි.”

මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.