එය වස්සානයේ දවසකි. තද සුළං ආවේ තනියම නොව අහස අඳුරු කරගෙන වැස්සක් ද සමගිනි. සුළඟින් ඇඹරී යන පොල් කරඬු සිහි කළේ නයි නටවන්නාගේ චලනයන්ට අනුව නටන නාගයින් ව ය. අද නම් පොල් කඩන රස්සාව කරන්නට බැරි බව පුංචි අප්පුට හොඳින් ම වැටහුණි.

“‍මොන මූසලයව ද මන්දා ඉස්සරහට මුලිච්චි උනේ…”‍ ඔහු නොසන්සුන් සිතින් බැණ වදින්නට විය. ගස් නගින වළල්ල ගෙන උරහිසක රඳවා ගත් හෙතෙම වැලි පාර දිගේ ගෙදර බලා පිටත් වුණේ සිහින් සිරිපොද වැටෙන්නට ආසන්න වෙද්දී ය.

අතරමග දී වැස්ස කඩා වැටුණි. තෙමීගෙන ම වුවත් පුංචි අප්පු ගෙදරට ම ආවේ ගමේ තබා අහල පහළ කිසිවෙකු සමගවත් වැඩි ඇයි හොඳයියක් නොවන නිසාවෙනි. ‘අඩු කුලවල එවුන් එක්ක වැඩි භජනයක් ඕන නෑ.’ ඔහුගේ අදහස එසේ විය.

පුංචි අප්පු ගෙට ගොඩවැදුනේ ද නොසන්සුන් හැඟීමෙනි. එළිපත්තේ හිඳ සිටි බිරිඳ සෝමලතාගේ මුහුණ ද පරිසරයටත් වඩා අඳුරු බවකි ඔහු දුටුවේ. පුංචි අප්පු ඈ දෙස බැලු‍වේ ද තරහිනි. වඳ ගැහැනියක වූ ඈ ගැන බොහෝ කලක පටන් පුංචි අප්පු තුළ පවතින්නේ කෝපයකි.

“මොකෝ?”

“‍අරූ අපේ බල්ලාට…… පාරක් ගැහුවා.” මෙතෙක් අඩුවක් ව පැවති අකුණුසැර පුංචි අප්පුගේ සිත තුළ වහා පුපුරා යන්නට විය.

“කවුද, කොයි එකා ද අපේ බල්ලට ගැහුවෙ?”

වතුර බේරෙමින් පැවති සරම කැසපට ගසමින් ඔහු ඇසුවේ ගිගුරුම් හඬිනි. දරුවන් නැති පුංචි අප්පුට හුරතලේට සිටින්නේ බල්ලා ය. සෝමලතාගේ සිත මඳක් තැති ගත්ත ද නම කියවුණේ ඇගේ සිතෙහි දරුවන් ගැන පවතින බලවත් ඉරිසියාව හා කෝපය නිසාවෙනි.

“‍පුණ්‍යසිරියගේ කොල්ලා…” ඇගේ බලවත් ඉරිසියාව හා කෝපය අන්‍යයන්ගේ සියලු දරුවන් කෙරේ සදාකාලිකව ම පවතින්නකි.
නම ඇසූ පමණින් කෙසඟ සිරුරැති පුංචි අප්පුගේ චණ්ඩිකම දෙගුණ තෙගුණ වූයේ කිසිදිනෙක පුණ්‍යසිරි කිසිවෙකු සමග දබරයට නොඑන බව හොඳින් ම දන්නා නිසාවෙනි.

“‍…..සිරියෝ” ඔහු පුණ්‍යසිරි යන නම වෙනස් කොට අපහාස වන ලෙසට කෑ ගෑවේ ය.

“‍බැහැපිය බල්ලෝ එළියට.” පුංචි අප්පු එළියට බහින්නට සුදානම් වෙද්දී සෝමලතා පැන ඔහුගේ කෙසඟ බාහුවකින් අල්ලා ගත්තා ය.

“‍වැස්ස පායනකන් ඉන්නවා.” සෝමලතා සැරෙන් කීවා ය. සෝමලතා කියන දේ ඇත්ත ය. වැස්ස නිසා බණින දේවල් අහල පහළ කාටවත් ඇසෙන්නේ ද නැත. තරබාරු සෝමලතාගේ ග්‍රහණයෙන් ගැලවීම ද කළ නොහැක්කකි. සරම කැසපට කඩා පුංචි අප්පු එළිපත්ත දිගේ එහෙට මෙහෙට වේගයෙන් ගමන් කරන්නට වූයේ වරින් වර පුණ්‍යසිරිලාට බැණ වදිමිනි.

වැස්ස තරමක් තුරල් විය. සිහින් සිරිපොද වැස්ස වසින්නට වෙද්දි පුංචි අප්පු මිදුලට බැස බණින්නට පටන් ගත්තේ ය.

“අඩු කුලේ බල්ලනේ තොපි අපේ බල්ලට ගැහුව නේද? බලා ගනියව් මං තොපිට කරන දේ.”

පුණ්‍යසිරිගේ බිරිඳ ධම්මිකා කුස්සියේ ජනේලයකින් බලා සිටිනු දුටු පුංචි අප්පු වඩාත් සැහැසි විය-

“‍…..සිරියෝ, බැහැපිය බල්ලෝ එළියට. තෝ බල්ලට ගහල බයේ ද හැංගිලා ඉන්නේ. මහ ලොකු පිරිමිය. අඩු කුලේ හැත්ත- යන්න තැනක් නැතුව මේකට රිංගගෙන.”

පුණ්‍යසිරිලාගේ පැත්තෙන් ප්‍රතිචාරයක් නැත. එය පුංචි අප්පුගේ කෝපය වඩාත් උත්සන්න කිරීමට හේතු විය. ඔහු වචනවල සැර වැඩි කොට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදින්නට විය.

කුඩයක් ඉහළා ගත් ධම්මිකා වැට ළඟට ආවා ය. ඇගේ සියොලඟ කෝපයෙන් වෙව්ලන්නට විය.

“‍නම්බුකාර හිඟන හැත්ත. තොපිටවත් කන්න නැතුව තව බල්ලොත් හදනවා. අපිටයි ඒකෙත් කරදරේ.”

‘හිඟන්නො’යි කීමත් සමඟ ම සෝමලතාගේ ද කෝපය ඇවිස්සිණි. මිදුලට බට සෝමලතා, ධම්මිකා කිසිදා නොකළ ජරා වැඩ කියමින් බැණ වදින්නට වූවා ය. අහල පහළ මිනිසුන් එකා දෙන්නා එකතු වෙද්දි රණ්ඩුව වඩාත් ඇවිළිණි. ධම්මිකා ගෙට ගියේ පුංචි අප්පුලාට ශාප කරමිනි.

පුංචි අප්පු පොලිසි ගියේ ය. පැමිණිල්ලේ ලිව්වේ බල්ලාට පහර දුන්නා කියා නොව වැසි දිනවල පුණ්‍යසිරිලාගේ වත්තේ සිට තම වත්තට ගලා බසින ජල කඳ හේතුවෙන් තම නිවස ගැලවී යන්නට ආසන්නව පවතින නිසා වතුර පාර නවතා දෙන ලෙස ඉල්ලමිනි.
දින තුනකට පසු දෙපාර්ශවය ම පොලිසියට කැඳවන ලදී.

“‍සර් මුන්ගෙ වත්තෙන් ගඟ ගලන්න වගේ වතුර පාර එන්නෙ. මොනවා කළත් වැඩක් නැහැ. මේ වතුර පාර නවත්තන්න ම ඕන.”

පුංචි අප්පු අවධාරණයෙන් ම කියා සිටියේ පොලිසියේ නිලධාරියෙකුගේ වත්තේ පොල් මුරය කඩන නිසා ඒ හයිය ද හිතට අරගෙන ය.

“‍සර් අපේ වත්තට එන්නේ අපිටත් උඩින් තියෙන වතුවල වතුර. මෙයාල තමයි පහළ ම ඉන්නේ. වතුර ඉතින් පහළට බහිනවා.”‍ ධම්මිකා ද කීවා ය.

“‍වෙන්දේසි ඉඩම් නේ ද? කාණු දාල නැද්ද?”

“‍නෑ.” ධම්මිකා කීවේ ඉඩම් කට්ටිවල ප්‍රධාන පිඹුරුපත ද පෙන්වමිනි.

“‍සර්, අහල පහළ කිසි කෙනෙකුගෙන් කරදරයක් නෑ. මෙයා තමයි හැමෝම එක්ක රණ්ඩු කරන්නේ. අඩු කුලේ මිනිස්සු කියා බැණ බැණ.”
පොලිස් නිලධාරියා පුංචි අප්පු කෙරේ හෙළුවේ තියුණු බැල්මකි. පුංචි අප්පු නොවේ පසුබා ගියේ.

“‍මුන් හොඳට ගෙවල් හදාගෙන ඉන්නෙ. අපේ ගේ දැන් ගැලවෙන්න ඔන්න මෙන්න කියලා. වතුර පාර නවත්වන්න ම වෙනවා.”

පුංචි අප්පු දැඩිවම කීවෙන් ස්ථානය පරීක්ෂාවට දවසක පැමිණෙන බව පවසා පරීක්ෂණය නිමා කරන ලදී. දින හතරකට පසුව පොලිස් නිලධාරියෙකු පැමිණෙන තෙක් ම පුංචි අප්පුගේ බැණිල්ලේ ඉවරයක් නොවුණි. පැමිණියේ වෙනත් නිලධාරියෙකි. පුංචි අප්පු ඔහුට ද අවධාරණයෙන් ම තම ඉල්ලීම ඉදිරිපත් කළේ ය.

“‍මුන්ගෙ වතුර බිංදුවක්වත් අපේ ඉඩමට එන්න බැහැ.”

“‍ගංවතුර එනකොට මෙයාලගේ ඉඩමෙන් අපේ ඉඩමට වතුර එනවා.‍ මහත්තයා ඒකත් නවත්තලා දෙන්න.” ධම්මිකා ද කීවා ය.

“‍මේ ගේ ගැලවෙන්නත් පුළුවන් තමයි. ඔයගොල්ලො බැම්මක් බදින්න.” පොලිස් නිලධාරියා තම නිගමනය ප්‍රකාශ කරමින් කීවේ ය. ධම්මිකා නැතත් මෙතෙක් නිහඬව සිටි පුණ්‍යසිරි ඊට එකඟ ගිය.

බැම්ම බැන්දේ පුණ්‍යසිරිලා පමණක් නො වේ. ඔවුන්ට යාබද ඉඩමේ පදිංචිව සිටි නිශාන්ත ද බැම්ම බැන්දවී ය. වෙන්දේසි ඉඩමේ බෑවුමේ දොරුවක් වැනි තැනක ඍජුකෝණාස්‍ර කොටසක් හරි හතරට බෙදා වෙන් කිරීමකින් පුණ්‍යසිරි හා නිශාන්තගේ ඉඩම් කොටස් දෙක ඉහළින් ද සාගර හා පුංචි අප්පුගේ ඉඩම් කොටස් දෙක පහළින් ද පිහිටා තිබුණි. ඔවුන් බැම්ම බැන්දේ ඉඩම් හතරට ම සම්බන්ධ වන මුල්ලෙන් ඉඩම් දෙකට ම එකතුවෙන ජලය එක් ස්ථානයකින්, එනම්; පුංචි අප්පුගේ හා සාගරගේ ඉඩම් වෙන්වෙන මායිම දිගේ ගලා බසින ආකාරයට බැමි දෙක අතර හිඩැසක් තබමිනි.

බැම්ම බඳින කාලය තුළ පුංචි අප්පු රණ්ඩු කරන්නට වූයේ සිය මායිමේ ගස් ගැලවෙන බව කීමෙනි.

“‍එක ගහක්වත් ගැල නොවෙන්න කාණුව කපන්නේ ඕන.” ‍ඔහු නීතියක් ද දැම්මේ ය. පුංචි අප්පුගේ පිළිපැදිය නොහැකි නීති ගණන් නොගත් කුලීකරුවෝ ගස් ගලවමින් කාණුව කපද්දී ඔහු බැණ වදින්නට විය. ධම්මිකා රණ්ඩුවට ඉදිරිපත් නොවූ නිසා එකී රණ්ඩු දුර දිග ගියේ නම් නැත.

මහ විශාල රණ්ඩුවක් සිද්ධ වූයේ බැම්ම බැඳි පසුව මුලින් ම වැහැපු දවසේ ය. ඒ, ඉඩම් දෙකේ ම එකතු වූ ජලය ඉතා වේගයෙන් බැමිවල හිඩැස අතරින් ගලා යන්නට වූයෙන් පුංචි අප්පුගේ සහ සාගරගේ ඉඩම් වෙන් කරන, පුංචි අප්පු අයිතිය කියමින් සිටි වැටට සිටවා තිබූ ගස් බොහෝ ප්‍රමාණයක් ගැලවී යාම නිසාවෙනි.

පුංචි අප්පු ධම්මිකා සමඟ විශාල රණ්ඩුවක් කොට අවසානයේ පොලිසි ගියේ ය. පොලිසිය පැමිණිල්ල විභාග කොට විසඳුමකට නොපැමිණි නිසා සමථ මණ්ඩලයට දැම්මේ ය.

සමථ මණ්ඩලයේ දී ද සාධාරණ තීන්දුවකට පැමිණීමට හැකි නො වී ය. පුංචි අප්පුගේ එක ම තීරණය වූයේ කෙසේවත් ඉහළ ඉඩම්වල වතුර තම ඉඩමට ගලා නොබැසිය යුතු බව ම පමණි. සමථ මණ්ඩලයේ සභාපතිවරයා ම ගැටළුවට මැදිහත්ව ඊ ළඟ වාරයට පෙර ඉඩම් පරීක්ෂාවකට පැමිණෙන බව දන්වා සිටියේ ය.

“‍කවුරු ඇවිත් පරික්ෂා කෙරුවත් වතුර නම් එන්න දෙන්න බැහැ.” ඔහු පැමිණීමටත් පෙරාතුව පුංචි අප්පු තම තීරණය ප්‍රකාශ කළේ සමථ මණ්ඩලයේ දී ම ය.

“‍මේ මිනිහා මොන ජාතියෙ එකෙක් ද මන්දා. උද්ධච්ච මෝඩයෙක්.”‍ සභාපතිවරයා තවකෙකුට පිළිතුරු දුන්නේ ය.

සභාපතිවරයා පැමිණි විට පුංචි අප්පු තම දුප්පත්කම ගැන ද නිවස බේරා ගැනීමට වෙනත් විකල්පයක් නැති බව ද කියමින් කරුණු කී ය. ධම්මිකා ද තම ඉඩමට ඉහළ ඉඩම්වලින් එකතු වන වතුර බැස්සවීමට වෙනත් ක්‍රමයක් ද නැති බව පෙන්වා දෙන්නට වූවා ය. දෙපාර්ශවය ම ඉදිරිපත් කරන කරුණු සාධාරණ ය.

“‍ඔය දෙන්නා එකතු වෙලා කාණුවක් කපල වතුර ටික පහළට බස්සවන්න.” සභාපතිතුමා අවසන් තීරණය ප්‍රකාශ කරමින් පුංචි අප්පුටත්, සාගරටත් කීවේ ය. පුංචි අප්පු කෝප ගත්තේ ය.

“‍මගේ ඉඩමෙ කාණු කපන්න බැහැ. ලැට් වළට වැටේ ඉඳලා අඩි දෙකක්වත් නැහැ. මට සල්ලිත් නැහැ.” පුංචි අප්පු කීවේ දැඩි ස්වරයෙනි.
තම ඉඩමෙන් අඟල් හයක් සහ පුංචි අප්පුගේ ඉඩමෙන් අඟල් හයක් වශයෙන් කාණු කැපීමට සාගර කැමැත්ත පළ කළේ ය.

“‍අඟලක්වත් දෙන්නෑ.” පුංචි අප්පු දිව්ර දිව්රා කියද්දී සභාපතිතුමා නිහඬ ව පිටත්ව ගියේ ය.

සාගර අඟල් හයක ඉඩක් ජලය ගලා යාමට ඉතිරිකර තම ඉඩම දෙසින් උසට බැම්මක් සිමෙන්තියෙන් බැන්දෙව්වේ ය. කාණුව කපද්දී පුංචි අප්පුගේ වැටේ ඉතිරිව තිබූ ගස් කිහිපයක් ගැලවී යාම නිසා පුංචි අප්පු එම සතිය පුරා ම සාගර සමඟ රණ්ඩු කළේ ය.

“‍අඩු කුලයේ එවුන් එකතු වෙලා එක පැත්තකට. හොඳයි බලාපියව් තොපි ඔක්කොටම මං කරන දේ.” හිස් අහසට හෝ බැණ වදිමින් පුංචි අප්පු කියයි. ඔහු බණින විට සාගර කරන්නේ කැසට් එකේ හෝ රූපවාහිනියේ ශබ්දය වැඩි කරන එක පමණි. එවිට පුංචි අප්පුගේ කෝපය ද ශබ්දය ද තවත් වැඩි වෙයි.

“තොපි ඔක්කොට ම ඇඬෙන්න වෙන දවස වැඩි ඈතක නැහැ.” පුංචි අප්පුගේ වචන ශාප කරන්නාක් මෙනි.

ආයේ ම වැස්සේ ය. පෙර පරිදි ම මහා ජල කඳක් කුඩා කාණුව ද උතුරුවාගෙන ගලා ගියේ පුංචි අප්පුගේ වැටේ ඉතිරිව තිබූ ගස් ස්වල්පය ද බිමට සමතලා කරමිනි, අඟල් හයකට වැඩි බිම් ප්‍රමාණයක් ද සෝදාගෙන යාමෙනි. පුංචි අප්පු වැට අයිනේ කපා තිබූ වැසිකිළි වළේ ගල් බැම්ම තෙක් පස් දිය වී ගොස් තිබුණි.

පුංචි අප්පු පොල් කඩන්නට ගෙන යන මන්න පිහිය ද අතින් ගෙන පුණ්‍යසිරිලාට බැණ වදින්නට වූයේ අද මිනියක් මරණ බවට දිව්ර දිව්රා කියමිනි. වෙනදා මෙන් ධම්මිකා රණ්ඩුවට නෑවිත් දොරවල් ජනෙල් වසාගෙන සිටින්නට වූවා ය. වරක් දෙවරක් නොව කිහිප වරක් ම පුංචි අප්පු නිවස අසලට ම පැමිණෙනු දුටු ධම්මිකා දහවල පොලිසි ගියේ ජීවිත හානියක් වේදෝයි බිය ගත් නිසා ම ය.

“‍ආයි පොලිසි එන්නෙපා කියලා නේ ද තිබුණේ?” ධම්මිකා දකිද්දි ම පොලිස් නිලධාරියෙකු ඇඟට කඩා පැන්නේ ය. ධම්මිකා කාරණය පැහැදිලි කළේ අඬා වැළපෙමිනි. එවර නිලධාරියා තරමක් මෘදු විය. තව පැයකින් පැමිණෙන බව දන්වා ඔහු ධම්මිකා ව පිටත් කළේ ය.

ධම්මිකා පොලීසි ගිය බව දැන ගත් පුංචි අප්පු මන්න පිහිය සඟවා තබා උඩහ ඉඩම්වල වතුර බහින්නට බැමි දෙක අතර තබා තිබූ හිඩැස විශාල ගල් සහ වැලි ගෝනි දමා වසා දැම්මේ ය. පෙර කී නිලධාරියා ම පරීක්ෂණයට පැමිණියේ ය.

“‍මුන් මගේ පැත්තෙ කාණුව සිමෙන්තියෙන් බැඳලා දෙනවා නම් විතරයි කාණුව අරින්නෙ. සර් ම ඇවිත් බලන්න දැන් ගෙටත් කලින් ලැට් වළ ගැලවිලා යනව.”

කාරණය ඇත්ත ය. නිලධාරියාට විසඳුමක් නැති බවකි.

“‍කාණුව බැඳල දෙන්න කැමති ද?”

“‍අපිට පිස්සු ද සර් අනුන්ට කාණු බඳින්න?” ධම්මිකා එක වර පිළිතුරු දුන් ආකාරය නිලධාරියාගේ සිත් නොගත්තේ ය. එවෙලේ තිබුණ අසරණකම දැන් නැතැයි සිතූ නිලධාරියා දෙපාර්ශවයට ම කරුණු අවබෝධ කරවීම දුෂ්කර බව වටහා ගත්තේ ය.

“‍ආයෙත් රණ්ඩු කරලා පොලිසි ආවොත් දෙගොල්ලන්ගේ ම ඇඟ බැඳල උසාවි දානවා.”

“‍සර් මේ මිනිහගේ කට…”

“‍කටවල් වැහෙයි දෙගොල්ලන්ගෙ ම එතකොට.” නිලධාරියා ධම්මිකාට ද සැරෙන් කීවේ ය.

“තමුසෙගෙ නෝන්ජල්කම නිසා තමයි මේ ඔක්කොම.” පොලිස් නිලධාරියා පිටව ගිය පසු ගෙට ගිය ධම්මිකා පුණ්‍යසිරිට බැණ වදින්නට වූවා ය.
“‍…. සිරියෝ” පුංචි අප්පු හූ කියමින් කෑ ගෑවේ ය.

“‍පොලප්පුවෝ…” ධම්මිකාගේ ඉගැන්නුමට දරුවෝ ද කෑගසන්නට වූහ.

රාත්‍රියේ දී මහ වැස්සක් ඇද හැළුණි. බැමි අතර හිඩැස වසා තිබුණෙන් පුණ්‍යසිරිගේ හා නිශාන්තගේ ඉඩම් දෙක වතුරෙන් පිරී ළිං දෙක ද වැහි වතුරෙන් යට විය.

ලොකු ම හානිය සිදු වූයේ පුංචි අප්පුට ය. නිශාන්ත තම බැම්ම පුණ්‍යසිරිලාට වඩා උස්ව බැඳ තිබූ නිසාත්, සාගර ද තම මායිම දිගේ උසට බැම්මක් බැඳ තිබූ නිසාත් පුණ්‍යසිරිගේ බැම්ම මතින් ජලය උතුරා ගියේ පුංචි අප්පුගේ ඉඩමට ය. උදෑසන වෙද්දි පුංචි අප්පුගේ වැසිකිළි වළ ගැලවී වසා තිබූ කොන්ක්‍රීට් ලෑල්ල වළට ම වැටී තිබුණි.

මන්න පිහිය වෙනුවට පුංචි අප්පු අතට ගත්තේ දර පලන පොරවයි. අසල්වාසීන් කිහිපදෙනෙකු මැදිහත් නොවන්නට පුංචි අප්පු පුණ්‍යසිරිගේ දොර පලා දමා හෝ කෙනකු මරා දමන්නට ඉඩ තිබුණි. පොලිසි යාම කළ නොහැකි යැයි සිතුණ නිසා ධම්මිකා මෙවර පැමිණිල්ල ඉදිරිපත් කළේ ග්‍රාමසේවක මහතාට ය.

කුමක් සිදු වුව ද දෙපාර්ශ්වයේ ම තීන්දු තීරණවල වෙනසක් නැත. තමාගේ වැසිකිළි වළ පුණ්‍යසිරි විසින් අලු‍තෙන් බැඳ දිය යුතු බවට අලු‍ත් යෝජනාවක් ද පුංචි අප්පු ඉදිරිපත් කළේ දැඩි ආවේගයෙනි.

“අපිට පිස්සු ද උඹලට ලැට් හදන්න?”

“‍එහෙනම් අපි තොපේ වත්තට ඇවිත් ……”‍ පුංචි අප්පු කීවේ ග්‍රාමසේවක මහතාව ද නොතකමිනි.

“‍මං සිමෙන්ති වැලි ටිකක් හොයල දෙන්න බලන්නම්. එතෙක් මේක හදන්නේ නැතුව පාවිච්චි කරන්න එපා.”

ග්‍රාමසේවක මහතා නික්ම ගිය පසු කොහේදෝ දිරා ගිය ටකරන් දෙකක් සොයා ගෙනවිත් වළ වසා දැමූ පුංචි අප්පු වැසිකිළි වළ පාවිච්චි කරන්නට වූයේ අහල පහළ කාටත් පාඩමක් ඉගැන්වීමේ අදහස ද ඇතිව ය.

තෙවන දිනය වෙද්දි සමීප ව තිබූ ගෙවල් හතරට ම අසූචි ගඳ පැතිරෙන්නට විය. පුණ්‍යසිරිලගේ ගේ දොරකඩ මිනිස් අසූචි ගොඩක් ද තිබුණි. ධම්මිකා පුණ්‍යසිරිගේ ද වචනය නොතකමින් පුංචි අප්පුට බැණ වදින්නට වූවා ය.

“‍මේ කොස් ඇටත් තියෙනවා. තොපි තමයි ඊයේ කොස් කඩාගෙන ආවේ.” ධම්මිකා කීවේ බැම්ම අසලට අසූචි ගොඩ විසිකරමිනි.

“මේන් බලාපිය කොස් ගෙඩිය ඉදිලා නිසා තැම්බුවේ නැහැ.” සෝමලතා වරකා බවට පත්ව ඇති කොස් ගෙඩිය මිදුල මැද තබා කීවා ය.

“‍පස් ඇඹුල් දාලා පුච්චනවා. තොපේ පස්සේ ගෙඩි එන්න.”

ඇඹුල් කටු දමා පුච්චනවා වෙනුවට ධම්මිකා කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට කරුණු කීම යි. ඔහු පැමිණ වැසිකිලි වළ වසා දමන ලෙස පුංචි අප්පුට කීව ද එකඟ වූයේ පුංචි අප්පු නොවේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පොලිසියට කරුණු ඉදිරිපත් කළේ ය. දෙපාර්ශවයෙන් ම පොලිසියට ගෙන්වා නඩු දැම්මේ ය.

පුංචි අප්පු ඊ ළඟට කළේ ගෙදර කුඩාවට දේවාලයක් පටන් ගැනීම ය. පුණ්‍යසිරිලාගේ ඉඩම දෙසට පහනේ ආලෝකය පතිත වන අයුරින් කණුවක් මත සවි කළ කුඩා දේවාලය තුළ දහවලත්, රාත්‍රියේත් පහන් දල්වන ලදී.

දේවාලය පටන් ගෙන මාස දෙකක් ගත වුව ද පුණ්‍යසිරිලාට විශේෂයෙන් වූ විනාශයක් ද පුංචි අප්පුට සිදු වූ යහපතක් ද නැත.

“අපරාදේ පොල්තෙල් පුච්චනවා.” සෝමලතා අසල්වාසීන් සමග කීවා ය.

“අරූ අපිට කොඩිවින කරනවා.” ධම්මිකා ද සිටියේ බියෙනි. ධම්මිකා බියෙන් පසුවන බව දැනගත් සෝමලතා පොල්තෙල් පුච්චා සිදු කරන පාඩුව ඉවසා ගත්තේ සතුටිනි. සති දෙකෙන් දෙකට උසාවි යන්නට සිදු වීම ඈ ඉවසා ගත්තේ පුණ්‍යසිරිලාට ශාප කරමිනි.

පුංචි අප්පු පොල් කඩන්න යන්නේ උදේ හතට ය. උදේ එකොළහ වෙද්දී නිවසට පැමිණෙන හෙතෙම දිය නා සුදු සරමක් හා බැනියමක් ඇඳ ගනී. ඉණ වටා රතු රෙදිකඩක් ද බැඳගෙන දවල් දොළහට යාතිකාව පටන් ගනී. යාතිකා කාලය හෝරාවකට ආසන්න ය. ඒ කාලය තුළ ඔහු පොල් ගෙඩියක් ද රැගෙන ගේ වටා කිහිප වරක් ම නට නටා යන අයුරු දකින්නට ලැබේ. යාතිකාව අවසානයේ පොල් ගෙඩි බිඳින්නේ පුණ්‍යසිරිලා බඳින ලද බැම්ම ළඟ තැබූ ගලක ගැසීමෙනි.

“…… වර වර..”‍ පුංචි අප්පු අවසානයට බොහෝ වේලාවක් මතුරයි.

“‍මේ පිස්සු මිනිහ නැති යක්කුන්වත් මේකට ගෙනත් දාගන්නව.” සාගර කීවේ ඉවසා සිටින්නට බැරි ම තැන දී ය.

“‍මට ද පිස්සු. බලාගෙන හිටපල්ලා තොපි ඔක්කොටම ළඟදි පිස්සු හැදෙන හැටි. අඩු කුලේ එවුන්.”‍ පුංචි අප්පු කීවේ ඇස් ලොකු කරගෙන ය. දින කිහිපයක් ම ඔහු සාගරලා සමග ද රණ්ඩු කළේ ය.

එක්තරා රාත්‍රියක පුංචි අප්පුගේ ගෙදර වහලට ගල් වරුසාවක් වැටුණි. සෝමලතා එළියට පැන කෑ ගසන්නට වූයේ “පුණ්‍යසිරිලා මිනීමරනෝ” කියමිනි. වෙන්දේසි වත්තේ කිසිවෙකුත් ඔවුන්ගේ උදව්වට පැමිණියේ නැත. ඒ රාත්‍රියේ සිට පුංචි අප්පු අසල්වාසීන් සමග කරන රණ්ඩු තරමක් අඩු විය.

පුංචි අප්පු දේවාලය පටන් අරගෙන හරියට ම තුන් මාසයක් පිරෙන දවසේ උදේ එකොළහට ගෙදර ආවේ පුංචි අප්පු නොව ඔහු පොල් කඩන්නට ගිය වත්ත යාබද ජීවත් වූ ගැහැනියකි. කොණ්ඩය කඩාගෙන දිවා ආ ඇගේ ආරංචිය ඇසූ සෝමලතා විලාප නගන්නට වූයේ ගම ම එක් රැස්කර ගන්නා අදහසිනි.

“‍නංගියේ අපේ මිනිහ ගහෙන් වැටිල පණ අදිනවාලු. කෝ ඉස්පිරිතාලෙට අරන් යන්න කෙනෙක් නැද්ද?” යයි කියමින් ඕ රැස් වූ ගැහැනුන්ගේ මුහුණුවලට එබෙන්නට වූයේ හදිසියේ ඇති වුණු සහෝදරකමක් සමගිනි. පැමිණි පිරිස අතර පිරිමි කිසිවෙකුත් නැත. පුණ්‍යසිරි ධම්මිකා සමග බැම්ම අසල සිටිනු දුටු සෝමලතා වඩාත් හයියෙන් විලාප තබන්නට වූවා ය.

“‍යමු.” පුණ්‍යසිරි කීවේ ය. ධම්මිකා ඔහුගේ අතේ එල්ලුනේ පුංචි අප්පු ව ගස මුල මැරෙන්නේ නම් හොඳ බව සිතමිනි. ධම්මිකාගේ අත ගසා දැමූ පුණ්‍යසිරි සිය ත්‍රීරෝද රථය පණ ගන්වාගෙන විත් පුංචි අප්පුගේ නිවස ඉදිරිපිට නතර කළ විට සෝමලතා ඊට ගොඩ වූයේ බිමට යොමු කර ගත් දෑසිනි.

“‍වැඩක් නැති වෙයි. ඒත් ඉස්පිරිතාලෙ ගෙනියමු.” මහල්ලෙක් ද ඉදිරිපත් වී ය. පුංචි අප්පුගේ මළමිනිය රෝහලට රැගෙන ගියේ පුණ්‍යසිරි විසිනි.

“ඕක නම් මැරුණු එක ම යි හොඳ.” නිවසට පැමිණි පුණ්‍යසිරිට ධම්මිකා කීවේ සතුටිනි. පුණ්‍යසිරිගේ සිතේ සතුටක් හෝ දුකක් හෝ නැත. ඔහු ත්‍රීරෝද රථයේ පසුපස අසුන එළියට ගත්තේ ය.

“‍මහා ලොකු නම්බුකාරයගෙ ලේවල පිළී ගඳ…” ධම්මිකා නහය හකුළුවා ගනිමින් කීවේ පිළිකුළෙනි.

“යාන්තං කරදරේ ඉවර වුණා.” ඕ ආයෙමත් කීවා ය. ඇත්තටම කරදරේ පටන් ගත්තේ ඊට දින අටකට පසුව පුංචි අප්පුගේ හත් දවසේ දානයට පසු දිනයේ සිට ය. හවස හය වෙද්දී ඉඩම් කොටස් හතර පුරා ම ගම්මු ‘ප්‍රේත ගඳ’ යැයි කියන, මඤ්ඤොක්කා තම්බන විට හමන ගඳ පැතිරෙන්නට වෙයි. රාත්‍රිය පුරා ම වරින් වර ගස්වල අතු බිඳෙන හඬ ගෙවල් හතරේ කාටත් ඇසෙයි. එසේ නමුත් උදේ බිඳිච්ච අත්තක් ද නැත.

පිට පිට දින තුනක් ඇඟ පහුරු ගෑමට ලක්වූ සෝමලතා හතරවන දිනයේ දී දොරවල් වසා දමා ගමෙන් ගියේ ගෙයයි, ඉඩමයි විකුණන්න කෙනෙකු සොයා දෙන ලෙස කිහිප දෙනෙකුට පවසා ය.

පැත්තම පාළු විය. පුණ්‍යසිරිගේ ලොකු පුතා එක දිගට අසනීප වන්නට වෙද්දි ධම්මිකාගේ අදහස වූයේ ද ගෙවල් විකුණා දමා වෙන කොහේ හෝ පදිංචියට යමු කියා ය. සාගරලාගේ නිවසේ තත්ත්වය ද කිසිසේත් ම ඊට වෙනස් නො වී ය.

“ජීවිතේ ම දුක් මහන්සි වෙලා අමාරුවෙන් හදාගත්ත ගේ දාලා කොහෙද යන්නෙ?” නිශාන්ත පුණ්‍යසිරිටත්, සාගරටත් කීවේ ය. සමහර රාත්‍රීවල පුංචි අප්පුගේ වැට මායිම දෙසින් සිහින් කෙඳිරිලි හඬක් පවා ඇසෙන්නට විය.

“‍තව ටිකක් ඉවසලා බලමු.” පුණ්‍යසිරි කීවේ සංවේගයෙනි. කිසිවෙකුට විසඳුමක් නැත.

පසුවදන:

දැඩිව අල්ලා ගත් කිසිවකින් සැපක් විඳි කෙනෙක් ලොව නැත. එහෙයින් කිසිවකට නොබැඳී මේ මහා සංසාර දුකෙන් එතෙර වන්නට සිහි නුවණ උපදවා ගනිත්වා…!

චන්දන එස්. කුමාර