කවුරු නැතත් මොන දේටත් අපිත් එක්ක එකට හිඳීවි කියලා විශ්වාස කරන්න පුළුවන් කවුරු කවුරු හරි අපේ ජීවිතවල ඉන්නවා. මුහුණපාන්නට සිදු වුණ බොහොම දුෂ්කර අවස්ථාවල දී අත්නොහැර සෙවණැල්ල වගේ ළඟින් හිටපු ඒ අය අපේ ජීවිතවලට ලැබුණු ලොකු ලාභයක්. ඒ අයගේ ඇසුර අපට සුවපහසුව ඇති කරවනවා. රැකවරණයක හැඟීම ලබා දෙනවා.

මැරෙන්නේ තනියෙන්…!

සැපත් දුකත් සම සිතින් බෙදා හදාගෙන අපත් සමඟ ඉන්න ඒ උදවියට පවා උපකාරය පිණිස ඉදිරිපත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම සීමිත වන – එහෙම නැති නම් ඔවුන්ට පවා කොහෙත්ම ඉඩක් නොලැබෙන අවස්ථාවක් අපේ ජීවිතවලට සැක නැතිව ම එළඹෙනවා. ඒ තමයි, මරණය…

ජීවිතේ මුහුණ දෙන අනෙක් අභියෝග එක්ක අපි යම් කාලයක් ගනුදෙනු කරන නිසා ඒ ලැබෙන කාලය කාටකාටත් අපට යම් උපකාරයක් කරන්නට වටපිටාවක් නිර්මාණය කර දෙනවා. එහෙත් මරණය එසේ සැලසුම් සහගත ව අන් අයගේ උපකාර ලබාගෙන ‘කොහොම හරි ගොඩ දාගන්නට හැකි’ අභියෝගයක් නෙවෙයි. අති බහුතරයකට මරණය කියන්නේ අනපේක්ෂිත ව මුහුණ පාන්නට සිද්ධ වෙන කාරණයක්. ඒ නිසා ම, අප ජීවත් වෙන්නේ එකට වුණාට මැරෙන්න වෙන්නේ තනිව ම යි.

එතකොට… සාමාවතිය ප්‍රමුඛ පන්සියයක් පිරිස නොසිඳි මෙත් සිතින් මරණයට මුහුණ දී බඹලොව උපන්නේ…? විඩූඪභ විසින් සිදු කළ ශාක්‍ය සංහාරයේ දී අත්පා සිඳ දමා විපතට හෙළුෑ ශාක්‍ය කුමාරිකාවන් පන්සියයක් මග ඵල ලබා සුගතිගාමී වුණේ…? නිරයේ ගිනිදැල් දකිමින් හුන් ධනංජානි නම් බ්‍රාහ්මණයා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උපකාරයෙන් බඹලොව උපන්නේ…? ආක්‍රමණික සතුරා පරදවන්නට එක්ව යුද වැදී කෙලෙස් සතුරා ද පරදවා නිවන් දුටු ථේරපුත්තාභය රහත් මුනිඳුන්ගේ උපකාරයෙන් ගාමණී අභය රජු තුසිත දෙව්ලොව උපන්නේ…?

ඔව්… බැලු බැල්මට නම් ඒ අය තනියෙන් මැරුණෙ නෑ වගේ තමයි. ඇත්තට ම වුණේ, තනි තනියෙන් මුහුණ දෙන මරණය ඉදිරිපිට පුංචි සිහි කැඳවීමකින් පවා මැනැවින් සිහිය උපදවාගෙන, සිහි මුළා නොවී මරණයට පත් වන්නට හැකියාව උපදවාලන පුණ්‍ය වාසනාවන් ඔවුන් සතු වීම යි. ඒ එක් අයෙකු හෝ සිහිය උපදවා ගන්නට සමත් නොවුණා නම්, අකුසල සිතකට යට වී ගියා නම් සුගතිය රැක ගන්නේ නෑ. අකුසලය මැඩලන ශක්ති සම්පන්න බව ඉපදෙන්නේ ධර්මයේ හැසිරීමෙන්, පුණ්‍ය වාසනාවෙන්. සැක නැතිව ම මේ ජීවිතය මරණයෙන් අවසන් වන නිසා අප කවුරුත් ඒ අවස්ථාවට සූදානමින් ඉන්න එක තමයි හොඳ.

වහා බිඳෙන බිත්තරයක්….

සසර කියන්නේ දවසකික් දෙකකින් ඉවර වන්නක් නොවෙයි. ගණනින් මෙපමණකැයි කියා දක්වන්නට බැරි තරම් ජීවිත මේ සසර ගමනේ දී අපට ලැබුණා. ඒ හැම ජීවිතයක්මත් මරණයෙන් කෙළවර වුණා. අප මේ මිනිස් ලොව උපන්නේ පෙර භවයේ අප හුන් තැනක දී මරණයට පත් වුණ නිස යි. මේ භවයේ ද යම් තැනක දී අපිට මැරෙන්න සිද්ධ වෙනවා. සිහිය උපදවලා සුගතිය ආරක්ෂා කර දෙන්න කල්‍යාණමිත්‍රයෙක් එතැන සිටියොත් මහා වාසනාවක්. කල්‍යාණමිත්‍රයෙක් එසේ සිටියා වුණත් සුගතිය රැක ගන්න දක්ෂකමක් අප තුළ ඇති කරගෙන පූර්ව සූදානමින් සිටිය යුතු ම යි. ඇත්තට ම ඒ පෙර සූදානම තිබෙනවා නම්, කල්‍යාණ මිත්‍රයෙකු නොවුණත් (පවතින වටපිටාවේ සිද්ධ වෙන්න වැඩි ඉඩක් තිබෙන්නේත් එය ම යි) අපට අප ව රැකගන්න බැරිකමක් නෑ.

මේ ලැබුණ ජීවිතය ගැන කියන්න තිබෙන්නේ සියුම් සිවියකින් වැසී ගිය බිත්තරයක් වගේ දෙයක් කියල යි. ඕනෑම මොහොතක වහා බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. දවස ගානේ මේ ජීවිත බිඳි බිඳී යන හැටි අප අත්දකින්නේ නැති ද? මොන තරම් දේවලින් ජීවිත හානි වෙනව ද? කළලයේ සිටින දරුවාගේ පටන් ජීවිතයේ කෙළවර තෙක් බොහෝ වයස්ගත වූවන් දක්වා පරාසයක විහිදී පවත්නා මිනිස් ජීවිත හැමෙකක් ම තිබෙන්නේ වහා නැසී යන ස්වභාවයෙන් යුතුව යි. උෂ්ණෙන්, සීතෙන්, සා පිපාසාවෙන්, ලෙඩදුක් කරදරවලින්, සතුරු උපද්‍රවයන්ගෙන්, මැසි මදුරු සර්ප ආදී උවදුරුවලින්, අමනුෂ්‍ය විපත්වලින්, ඍතු විපර්යාසයන්ගෙන්, හදිසි අනතුරුවලින්, ස්වභාවික අනතුරුවලින් ආදී වූ කවර දෙයින් හෝ නිසැක ව ම අපට මැරෙන්න සිද්ධ වෙනවා. සම්බුදුරජාණන් වහන්සේ වදාළේ ඉහළට ගත් හුස්ම පොද පහළ හෙළන්නට කලින් අප මැරෙන්නට පුළුවන් කියා සිහි කරන්නට කියල යි. මොන තරම් ජව සම්පන්න ව සිටියා වුණත් මේ මරණය ඉක්මවාලිය හැක්කෙක් ලෝකයේ කොහේවත් නෑ…

ඉගෙන ගත්තත් නැතත්, පින් කළත් නැතත්, රස්සා කළත් නැතත්, හරිහම්බ කළත් නැතත්, විවාහ වුණත් නැතත්, දරුමල්ලෝ හැදුවා වැඩුවත් නැතත්, වයසට ගියත් නැතත්, කොරෝනා වගේ වසංගත රෝග හැදුණත් නැතත් සැක නැතිව ම අපි මැරෙනවා. ස්ත්‍රී පුරුෂ, ගිහි පැවිදි, උගත් නූගත්, දුප්පත් පොහොසත් කිසිම භේදයකින් තොරව මේ හැම ජීවිතයක් ම මරණයෙන් කෙළවර වෙනවා. තම තමන්ගේ බලපුළුවන්කාරකම් ගැන මොන විදිහට උදම් ඇනුවත් අප කාටත් තියෙන්නේ අසරණ ජීවිත. ඇහැටවත් නොපෙනෙන අති සියුම් වෛරසයකටත් පුළුවනි අප ව ලෝකයෙන් ම හුදෙකලා කරලා, මිනියවත් ලේ නෑ සනුහරයට දකින්නට ඉඩක් නොතබා බැහැරලන්නට. එහෙව් ජීවිතවල මොන බලපුළුවන්කාරකම් ද?

හරිහම්බ කරපු දේවල්…???

අපි හරිහම්බ කරන කිසි දෙයක්, අපි ඇසුරු කරන කිසි කෙනෙක් ගෙනයන්න බැරි – ඒ කිසි දෙයකට, කිසි කෙනෙකුට වළක්වන්නට බැරි ගමනක් තමයි මරණය. මේ පෘථිවියෙන් අඩකට ද මඳක් වැඩියෙන් යටත් කොටගෙන මහා අධිරාජ්‍යයක් බිහි කරලූ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා තමන්ගේ මළගමේ දී පසක් කොට දුන්නේ ඒ සත්‍යය. සංඝයා වහන්සේලාගේ ඇසුරේ ඔහු ලද අවබෝධයට මරණයේ දී මේ කිසිවක පිහිටක් නැති බව ද අයත් වුණා. එනිසා ඔහු තම මළගම මෙසේ සිදු කරන්නට උපදෙස් දුන්නා.

“දේහය බහාලන පෙට්ටියෙන් දේහයේ දෑත් දෙපසට දිගු වන ලෙස විවරයන් තැබිය යුතු ය. රජුට සේවයේ යෙදෙන දක්ෂතම වෛද්‍යවරුන් සතර දෙනා දේහය ඔසවාගෙන ආදාහනය පිණිස ගෙන යා යුතු ය. රජුට අයත් රන් රිදී මුතු මැණික් දේහය ගෙන යන මාර්ගයේ ඇතිරිය යුතු ය.”

මෙසේ උපදෙස් දෙන්නට හේතු ද මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් පැහැදිලි කරනු ලැබුවා.

“මහා ගංගා හයකින් එතෙර වෙමින්, මැසිඩෝනියාවේ සිට යුරෝපය හරහා ඉන්දියාවේ පංජාබය දක්වා යටත් කරගෙන එක ම අධිරාජ්‍යයක් ගොඩනැගූව ද ඒ කිසිවක් නොගෙන මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා හිස් අතිනුයි මරණයට පත් වුණේ. දක්ෂතම වෛද්‍යවරුන් හටවත් ඔහුගේ මරණය වළකාලන්නට හැකි වුණේ නැහැ. පරම්පරාවෙන් උරුම වූ ද තමන් විසින් ආයාසයෙන් රැස් කළා වූ ද වස්තු සම්භාරය ඔහුගේ මරණය වළක්වාලන්නට අසමත් වූවා පමණක් නොවෙයි; ඒ කිසිවක් ඔහුට ගෙන යන්නට හැකි වුණේ ද නැහැ…”

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් යටත් කොට ගත්තේ මේ පොළෝතලයෙන් අඩක් පමණයි. මන්ධාතු නම් රජු අවුරුදු අසූහාරදහසක් කුමාර සැපයත්, තවත් අවුරුදු අසූහාරදහසක් යුවරාජ සැපයත් විඳ අවුරුදු අසූහාරදහසක් සතර මහා දිවයින්වලට අධිපති ව සක්විති රජ සැප ද විඳ තිස් හතක් වූ ශක්‍ර දෙවිවරුන්ගේ ආයු කාලයෙහි දෙව්ලොව දිව්‍යකාම සම්පත් ද විඳ අවසානයේ කාමයෙහි තෘප්තියකට නොපැමිණී ම මරණයට පත් වුණා.

පර්චස් ගණනින් කියන අපේ වත්කම් ගැන කවර කථා ද…! ඇත්තටම මේ හරිහම්බ කරන දේවල් අපට ගෙන දෙන්නේ බොහොම තාවකාලික පිළිසරණක් පමණයි. ප්‍රමාණයෙන්, වටිනාකමින් කොපමණ වුවත් ඒවා කාලයේ පහර කෑමෙන් නැසී යනවා…

බොහෝ ධන සම්පත් ඇති, කීර්ති යසස් ඇති සමෘද්ධිමත් ජනයා දකින කල්හි ද අතිශයින් දුකට පත්, අන්ත අසරණ බවට පත් පීඩිත ජනයා දකින කල්හි ද ‘මමත් මෙහෙම හිටියා’ කියා නිසැක බවට පත්වන්නට කියල යි සම්බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට වදාළේ. අති දීර්ඝ සසර ගමනේ ඒ කිසිවක් අපට අත්හැරුණු දේවල් නෙවෙයි. ඒ හැම දෙයක් ම අප වින්දා. බොහෝ සැපසම්පත් සේ ම අප්‍රමාණ දුක්ඛපීඩාවනුත් අපට සසර ගමනේ දී ආගන්තුක වුණේ නැහැ. ඒත්… ඒ හැම ජීවිතයක්මත් මරණයෙන් කෙළවර වුණා… ඒ නිසා, කොහොමත් මැරෙන එකේ නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙන්න එපා.

ජීවිතයේ හැලහැප්පිලි, පොරබැදීම්, වෙහෙස වීම්, ජයග්‍රහණයන්, අත්පත්කර ගැනීම් වගේ ම පරාජයන් කියන මේ හැමදේම ජීවත් වෙලා ඉන්න ටික කාලෙට විතරයි. නොහොඳ නෝක්කාඩු හිත් අමනාපකම් එක්ක මේ කෙටි කාලෙට ගෙවිලා යන්න දුන්නොත් ආයෙ ආයෙමත් මුණගැහෙන්නෙ ඒ අර්බුද ම තමයි. මේ දේවලින් අපි නිදහස් වෙන්නෙ කවද ද?

විපත් පත් ලොවක අසරණ නොවන්නට…

2019 ව්‍යවහාරික වර්ෂයේ දී අන්තවාදී සංවිධානයන්ගේ ම්ලේච්ඡ නැගී සිටීම් හමුවේ බිය සැක බහුලව, පින්දහම් කරන්නට පවා එක්රැස් වන්නට අවස්ථාවක් නැතිව අපට බලා සිටින්නට සිද්ධ වුණා. 2020 ව්‍යවහාරික වර්ෂයේ පළමු මාස තුන ගෙවී යනවාත් සමඟ ම කොවිඩ් වසංගත රෝගී තත්ත්වයේ පැතිර යාම හමුවේ ආයෙමත් අපට වෙනදා වගේ සංඝයා වහන්සේලා ඇසුරේ වත් පිළිවෙත් කරමින් එක්රැස් වී පින් කර ගන්නට තිබුණු අවස්ථාවන් ඉතා සීමිත වුණා. දැන් 2020 අවසානයට අපි ඇවිත්. 2021? මොනවා වේවි ද අපි ඉඳීවි ද කියා කාට ද හරියට ම කියන්න පුළුවන්…?

මේ ලැබුණු ජීවිතය බොහොම කෙටි එකක්. ජීවත් වෙන්න තියෙන කාලය ඉක්මනින් ම ගෙවිලා යනවා. හැම රැයක් ම පහන් වෙන්නේ අපේ ආයුෂය ගෙවාගෙන. කුසලයේ ප්‍රමාද වෙවී බල බල ඉන්න කාලයක් අපි කිසිම කෙනෙකුට නැහැ. තම තමන්ගේ නැණ පමණින් දැකගත හැකි මේ ධර්මය තම තමන් විසින් ම යි වීරියෙන් යුතුව පුරුදු පුහුණු කළ යුත්තේ. මරණය කරා වේගයෙන් යන මේ ජීවිතය ප්‍රමාදය තුළ අසරණ කරන්නවුන්ට කවර සරණක් ද?

අප උපන් මේ බිම හරියට සර්වඥ ධාතු මංජුසාවක් වගෙයි. පින්බර ධාතු කරඬුවක් වගෙයි. භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේනමක් වැඩ වෙසෙන පින්බිමක් වෙත එළඹ වන්දනාමාන නොකළ කෙනෙක් අප අතර සිටිනවා කියා සිතන්නට අපහසුයි. සෑයක්, බෝධියක් කරා ගොස් මල් පහන් පිදූ අත් ඇතිවයි අප සිටින්නේ. අධර්මයන්ගේ පැනනැගීම් නිසා හෝ කොවිඩ් වැනි වසංගතයන් නිසා හෝ හදිසියේ අප නැගිට ඇවිද යන්නට බැරි තරමින් ආබාධිත වීම නිසා හෝ අපගේ මරණය නිසා හෝ තවදුරටත් එසේ ධාතු චෛත්‍යයන් අරබයා පුදපූජා පවත්වා පින්දහම් රැස් කරන්නට අපට ඉඩ නොලැබෙන්නත් පුළුවන්. උපෝසථ සිල් සමාදන් වෙලා උතුම් රහතන් වහන්සේලා සිහි කරමින් සීල සංවරයේ හික්මෙන්න තිබුණ අවස්ථාව අහිමි වෙන්නත් පුළුවන්. මේ සියලු අනතුරු දකිමින්, සිතින් පවා නිතින් පින් කරන දක්ෂකම අප තුළ උපදවා ගැනීම යි වටින්නේ…

‘පන්සලකට, අසපුවකට යන්න නෑනේ’ කියලා, ‘සංඝයා වහන්සේලා මුණගැසෙන්න නෑනේ’ කියලා, ‘වන්දනා ගමනක් යන්න නෑනේ’ කියලා පින, කුසලය අපට මග හැරෙනවා නම් අප මග වරද්දගෙන කියල යි කිව යුත්තේ. කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා අනුකම්පාවෙන් යුතුව මේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය මැනැවින් අරුත් පහදවමින් කියා දී තිබෙනවා. ‘ඇසුර’ කියා කිව යුත්තේ ඒ අවවාද අනුශාසනාවන්ගේ හික්මෙනවාට යි. ඒ පර්යායෙනු යි අද පවා අපට අපගේ ශාස්තෘන් වහන්සේ ව ගෞරවයෙන් යුතුව ඇසුරු කළ හැක්කේ.

එක මොහොතක්වත් මගහැරෙන්නට දෙන්න එපා. සසර පුරා අකුසලයෙන් වැසී ගත්ත සිත, ඒ හුරුපුරුදු ස්වභාවයට ම ඇදි ඇදී යමින් අයාලේ ගමන් ගනීවි. එහෙත් සිතේ ඒ සෑම නොසන්සිඳීමක් ම සන්සිඳවාලන දහම් ඔසු තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වනාහි සත් වගට ම භව දුකට පිහිට වන වෙදැදුරාණන්. ඒ අමා දම් ඔසුවෙන් සුවපත් නොවන කෙලෙස් රෝගයක් ලෝකයේ නැහැ. සැබැවින් ම ආශ්චර්යයි… ඒ සරණ තමයි අප කාටත් එක ම සරණ, සැබෑ ම පිළිසරණ…!

මරණයට සූදානම් ව හිඳිමු…!

නිරුද්ධ වී ගිය අතීතයේ අපට වුණ වැරදීම් අත්හැර දමන්න. අප පසුතැවුණා කියා ඒ වැරදි අප අතින් නොවුණා වන්නේ නැහැ. මේ මොහොතේ අපට මුණගැසුණ සිරි සදහම් මැනැවින් පුරුදු කරන්න. පංචානන්තරීය පාපකර්මයකින් වැසී නැති නම් මේ දහමට පැහැදුනු කා හට වුණත් ධර්ම මාර්ගය වැඩෙනවා. ඒ මග ඍජු යි. ඒ කෙරෙහි විශ්වාසය තබන්න. අප ගැන, අපේ හැකියාවන් ගැන විශ්වාස කරන්නට ගියොත් සිද්ධ වෙන්නේ උඩඟුකමින් වැනසී යන්නට. සසර පුරා අප සිදු කළේ අපවත්, සිතත් විශ්වාස කිරීම. ඒ නිස යි, අප තවමත් සසරේ සිටින්නේ.

මරණයේ දී මොන විදිහකින්වත් ගෙනියන්නට බැරි දේවලින් අපට පරලොවට හව්හරණක් නෑ. මේ පදවි තානාන්තර නම්බුනාම මිලමුදල් පිළිගැනීම් ජනප්‍රියකම් නාමමාත්‍රිකවවත් නැතිව අපි කොහේ හෝ තැනක ඉපදෙනවා. පෙර ජීවිතයෙන් අරන් ආවා කියා කියන්නට වස්තු සම්භාරයක් දැනුත් අපට නෑනේ. සිතින්, කයින්, වචනයෙන් කළ කී දේවලින් විපාක පිණිස සැකසුණු කර්ම දායාදය පමණයි අප රැගෙන ආවේ. දෙව්ලොව දෙවියනුත්, බඹලොව බ්‍රහ්මයිනුත් එසේ ම යි. අප කාට වුණත් පරලොවට ගෙනියන්න පිනක්, දහමක් තුළින් රැස් කර ගත්තු පුණ්‍ය නිධානයක් තිබුණොත් පමණක් යම් රැකවරණයක් ලැබෙනවා. ඒ පුණ්‍ය නිධානය ගොඩ නගන්න තියෙන්නේ මැරෙන මොහොතෙදි නෙමෙයි; ජීවත් වෙලා ඉන්න කාලෙදියි.

පිපාසා ඇති වන බව දන්න කෙනා පිපාසය එන්න පළමු ළිඳ කැණ ගත යුතු බව යි නාගසේන මහරහතන් වහන්සේ මිළින්ද රජුට වදාළේ. මරණය එන බව දන්න කෙනා මරණය හමුවේ අසරණ නොවන ස්වභාවය උපදවා ගත යුත්තෙත් ඒ ආකාරයෙන් ම යි.

ඇතැම් විට, අපට වතුර පොදක් පොවන්නට කෙනෙක් නැති වේවි. සුළං පොදක්වත් නොවදීවි. දන්නා කියනා කිසිවෙකුත් ළඟපාතක නොසිටීවි. ධර්මය සිහි කරන නිමිත්තක්වක් ළඟපාත නොවේවි. ඒත්… ඒ කවර තැනක දී වුණත් පව් නොකළ හා බොහෝ සෙයින් රැස් කළ පින් තිබෙන කෙනෙක් නම්, කයෙහි අනිත්‍ය බව මැනැවින් මෙනෙහි කොට ඒ කෙරෙහි ඇති රාගය දුරු කළ අයෙක් නම්, කාමයන් කෙරෙහි වන රාගය- කැමැත්ත දුරු කළ අයෙක් නම්… ඒ කෙනා (මග ඵලලාභියෙකු නොවුණත්) මරණය ඉදිරියේ කිසිසේත් අසරණ වන්නේ නැහැ.

එසේ රැකවරණ සලසාගෙන අපි මරණයට සූදානම් වෙමු…! ඔව්… මැරෙන්නේ තනියෙන්. එදාට, පුරුදු පුහුණු කළ ධර්මය පමණයි අපට පිහිට පිණිස පවතින්නේ…

තෙරුවන් සරණයි!

************

‘හැම මිනිහෙක් ම මැරෙන්නේ තනියෙන්’ කියා නම් කෙරුණු පරිවර්තන කෘතියක් පසුගිය දිනෙක කියවන්නට ලැබුණා. දෙවන ලෝක යුද්ධයේ දී වූ සත්‍ය සිදුවීමක් අළලා කෙරුණ ඒ කෘතියේ නාමයෙන් කියැවෙන ගැඹුරු සත්‍යය මොහොතකට සිතේ යම් කම්පනයක් ඇති කළා. ‘ඇත්තට ම යම් දවසක අපි කාටත් තනි තනියෙන් මුහුණ දෙන්න සිද්ධ වෙන ඉරණමක් නේ ද මරණය කියන්නේ…’ කියලා ඒ මොහොතේ උපන් සිතුවිල්ල යි මේ ලිපියට නිමිත්ත වුණේ… නාසි පාලනයෙන් පීඩිත ඔවුන්ට නොවුණු පිහිටක් ඇත්තට ම අපට තිබෙනවා. ඒ තමයි, භගවත් බුදු සරණ…!

************

සටහන – උදුලා පද්මාවතී