■ (මාංසචක්ඛු) මසැස, (දිබ්බචක්ඛු) දිවැස, (පඤ්ඤාචක්ඛු) පැණැස, (බුද්ධචක්ඛු) බුදුඇස, (සමන්තචක්ඛු) සමතැස යන පංච නේත්‍රයෙන් යුක්ත වූ අසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ සතළිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝක සත්වයාගේ හිතසුව පිණිස කළයුතු වූ සියලු බුද්ධ කෘත්‍යයන් ඉතා මැනැවින් සම්පූර්ණ කොට වදාරා,
■ කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයෙහි අකාලයෙහි පිපී ගිය සල් මලින් පිරුණු රම්‍ය වූ සල් රුක් දෙක සෙවණේ සැතැපී වදාළ සේක. ඒ වෙසක් පුන් පොහෝ දවසෙහි, ලෝකය එළිය කළ අසිරිමත් ප්‍රඥා ප්‍රදීපය වූ අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.
■ ඒ අවස්ථාවෙහි රැස් වූ භික්ෂූන්ගේ ගණන සංඛ්‍යාවකින් ගණන් කරන්ට නොහැකි ය. එසෙයින් ම ක්ෂත්‍රියවරු, බ්රාහ්මණවරු, වෙළඳ කුලයේ වෛශ්යවරු, කම්කරු කුලයේ ශුද්‍රයන් මෙන් ම එදා රැස් වූ දෙවියන් ද ගණන් කරන්ට නොහැකි තරම් ය.
■ එදා කුසිනාරාවෙහි රැස් වූ භික්ෂූන් අතර ප්‍රධාන භික්ෂූන් ගණන සත් ලක්ෂයක් විය. ඒ සංඝයා අතර අප භාග්‍යවතුන් වහන්සේගෙන් මහාධුතාංගධාරී ශ්‍රාවක භික්ෂුව ලෙස අග්‍ර ඨානාන්තර ලැබූ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන සංඝ ස්ථවිරයන් වහන්සේ ලෙස වැඩසිටි සේක.
■ අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයටත්, ආදාහන කෘත්‍යයෙන් පසු ඉතිරි වූ ශාරීරික ධාතුන් වහන්සේලාටත් සිදුකළ යුතු වූ සියලු වත් පිළිවෙත් කරවූහ. අප බුදුරජුන් පිරිනිවන් පාන්ට ප්‍රථම ශාස්තෘ තනතුරෙහි පිහිටුවා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවත්වන්ට කැමති වූහ.
■ දසබලධාරී ලෝකනාථයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් සත් දවසක් ගිය තැන මහලු වයසේ පැවිදිව උඩඟු සිතින් සිටි සුභද්‍ර නම් තැනැත්තා අභද්‍ර වචනයක් කීය. තථාගත පරිනිර්වාණයෙන් මහත් සංවේගයට පත්ව හඬමින් වැළපෙමින් සිටි සාමාන්‍ය භික්ෂූන් අමතා ඔහු මෙසේ කීය. ‘ඇවැත්නි, එයින් කම් නැත. දැන් අපි ඒ මහා ශ්‍රමණයාගෙන් නිදහස් වූයෙමු. මින් පෙර මෙය තොපට කැප ය, මෙය අකැප ය කියා කීම නිසා අපි අපහසුතාවයට පත්වූයෙමු. දැන් වනාහී අපට රිසි පරිද්දෙන් කටයුතු කරන්ට පුළුවනි’ යි පවසන ලද මේ අපවිත්‍ර වචනය සිහිකොට,
■ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේ පෙරවූ මහා පාංශුකූල සිවුර තමන්ට පොරවන්ට දුන් ආකාරය ද සිහිකොට, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ මෙන් ම මහාකස්සපයන් වහන්සේත් ධ්‍යාන අභිඤ්ඤා සමාපත්තිවලට ඒ අයුරින් ම සමවදින බවට සමාන කොට වදාළ ප්‍රකාශය ද සිහිකොට, භාග්‍යවතුන් වහන්සේ විසින් තමන්ට කරන ලද මහා අනුග්‍රහය ද සිහිකොට, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය චිරාත් කාලයක් පවත්වනු පිණිස,
■ ඔය අයුරින් ඒ සම්බුදු රජුන්ගේ අනුමැතිය පවත්නා කල්හි භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සුරකිනු පිණිස ධර්ම සංගායනා කරන්ට සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය ධාරණය කොට වැඩසිටින, උතුම් අර්හත්වය මෙන් ම සතර පටිසම්භිදා ආදී සියලු ශ්‍රමණ ගුණයන්ගෙන් සමූපේත වූ,
■ මහා ක්ෂීණාශ්රව උතුම් රහතන් වහන්සේලා පන්සිය නමට එක් නමක් අඩුකොට තෝරාගත්හ. එසේ එක් නමක් අඩුකර ගනු ලැබුවේ අපගේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ තවම අර්හත්වයට නොපත්ව සිටි නිසා උන්වහන්සේ වෙනුවෙනි.
■ අප බුදුරජුන්ගේ ධර්මය සම්පූර්ණයෙන් ම මතකයේ රඳවාගෙන සිටි අපගේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ නොමැතිව ධර්ම සංගායනාව කරන්ට නොහැකි බව ඒ මහා ක්ෂීණාශ්රව භික්ෂූන් වහන්සේලා තේරුම් ගත්හ. එනිසා ආනන්දයන් වහන්සේ තවම රහත් නොවී සිටියදී පවා එම ධර්ම සංගායනාවට ආනන්දයන් වහන්සේගේ සහභාගී වීම ඉල්ලා සිටිමින් උන්වහන්සේව ද සංගායනාව පිණිස තෝරාගත්හ.
■ කුසිනාරා නුවරදී සත් දවසක ඉතා යහපත් පුණ්‍යෝත්සවයක් ද සත් දවසක ධාතු පූජා මහෝත්සවයක් ද පවත්වා ඒ වෙනුවෙන් අඩමසක කාලයක් ගත කළ, සියලු ලෝකය කෙරෙහි මහත් අනුකම්පා ඇති ඒ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා,
■ “අපි රජගහ නුවර වස් සමාදන් වීමට යා යුතු වෙමු. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සංගායනා කරන්නෙමු. එනිසාවෙන් ඒ කාලය තුළ ධර්මය සංගායනා කරන රහතුන්ගේ පහසුව පිණිස සංගායනාවට සහභාගී නොවන අනෙක් භික්ෂූන් වහන්සේලා එහි වස් වැසීමෙන් වැළකී සිටිය යුත්තාහ” කියා කුසිනාරා නුවරදී තීරණයක් ගත්හ.
■ ඒ රහතන් වහන්සේලා කුසිනාරාවේ සිට රජගහ නුවර බලා දඹදිව චාරිකාවෙහි පිටත් වූහ. එසේ වඩින අතරමගදී ඒ ඒ ගම් නගරවල මහාජනයා මුණගැසුනි. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය අසා ශෝකාකූලව හඬන වැළපෙන ඔවුන්ව ද අස්වසමින් උන්වහන්සේලා චාරිකාව සම්පූර්ණ කළහ.
■ දෙව් මිනිසුන්ගේ කුසල් පක්ෂය මතු කළ, උතුම් බුදු සසුන පිහිටුවීමෙහි යහපත දකින ඒ රහතන් වහන්සේලා ඇසළ මස පුරහඳ වැඩෙන කාලයෙහි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිවුපසයෙන් මනා පහසුකම් ඇති රජගහ නුවරට වැඩම කළහ.
■ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ආදී අප සම්බුදුරජාණන් වහන්සේගේ අදහස් පිළිබඳව ඉතා දක්ෂ වැටහීම් ඇති, නිකෙලෙස් භාවයෙන් ස්ථිරව පිහිටි ගුණ ඇති, සංගායනාවට තෝරාගත් මහරහතන් වහන්සේලා රජගහ නුවර ම වස් සමාදන් වූහ.
■ අජාසත් මහරජුන් මුණගැසුන මහරහතන් වහන්සේලා සංගායනාවෙහි අවශ්‍යතාවය ගැන කරුණු පැවසූහ. වස් වැසූ මුල් මාසයෙහි, රජගහ නුවර පිහිටි දහඅටක් වූ මහා විහාරවල කැඩී බිඳී තිබූ තැන් රාජානුග්රහයෙන් අළුත්වැඩියා කරවූහ.
■ දහඅටක් වූ මහා විහාරයන් පිළිසකර කළ පසු රහතන් වහන්සේලා අජාසත් රජුට මෙසේ කීහ. “මහරජුනි, අපි දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් ශාස්තෘත්වයෙහි පිහිටුවා වදාළ ධර්මය සංගායනා කරම්හ.”
■ “ස්වාමීනී, ඒ උතුම් සංගායනාව වෙනුවෙන් මා කුමක් කටයුත්තේ ද?”යි අජාසත් රජතුමා ඇසීය. “මහරජ, ධර්ම සංගායනාව කරන භික්ෂූන්ට වාඩිවීමට තැනක් අවශ්‍ය ය” කියා රහතන් වහන්සේලා වදාළහ. “ස්වාමීනී, ආසන පිළියෙල කළයුත්තේ කොතැන්හි ද?” කියා රජතුමා ඇසීය. “මහරජ, වේභාර පර්වත බෑවුමෙහි ඇති සප්තපර්ණී නම් ගුහාව ඉදිරිපිට මණ්ඩපය කළ මැනව” යි වදාළහ.
■ එවිට අජාසත් රජතුමා ඒ වේභාර පර්වත බෑවුමෙහි සප්තපර්ණී ගුහාව ඉදිරිපිට දිව්යසභාවක් බඳු අතිශයින් අලංකාර වූ වැඩහිඳින මණ්ඩපයක් ඉතා ඉක්මනින් කරවීය.
■ ඒ අජාසත් රජු හැම ආකාරයෙන් ම මණ්ඩපය සරසවා එහි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට සුවසේ වැඩහිඳින්ට හැකි පරිදි අනර්ඝ ඇතිරිලි ඇතිරවීය.
■ ඒ මණ්ඩපයෙහි උතුරු දිසාවට මුහුණලා මහානීය වූ ථේරාසනයක් මහා කස්සප මහරහතන් වහන්සේ වෙනුවෙන් ඉතා යහපත් ලෙස පනවා තිබුණි.
■ ඒ අලංකාර මණ්ඩපය මධ්‍යයෙහි නැගෙනහිර දිසාවට මුහුණලා අපගේ සුගත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩ හිඳින්ට යෝග්‍ය පරිදි උන්වහන්සේගේ නාමයෙන් ධර්මාසනයක් ඉතා යහපත් ලෙස පණවා තිබුණි.
■ අජාසත් රජතුමා “ස්වාමීනී, මා විසින් කළයුතු දෙය සම්පූර්ණ කරන ලද්දේය” කියා මහරහතන් වහන්සේලාට දැනුම් දුන්නේය. ඒ රහතන් වහන්සේලා සිහිකරන්නවුන්ගේ හදවත තුළ ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ආනන්දය උපදවන අපගේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.
■ “ඇවැත් ආනන්දයෙනි, සංගායනාව පිණිස සංඝයා රැස්වන්නේ හෙට ය. දහම් මග හික්මෙන සේඛ භික්ෂුවක් වශයෙන් ඔබ විසින් තවත් ප්‍රගුණ කළයුතු දේ ඇත්තේය. එනිසා සේඛ භික්ෂුවක් වශයෙන් එයට පැමිණීම නොගැලපෙයි. එහෙයින් ඇවැත් ආනන්දයෙනි, අර්හත්වය පිණිස අප්රමාදී විය යුත්තේය.”
■ මෙසේ රහතන් වහන්සේලා විසින් උත්සාහවත් කරන ලදුව අපගේ ආනන්දයන් වහන්සේ වීරිය සමකොට නිවන් මග වැඩූහ. හිඳින, සැතපෙන, සිටින, සක්මන් කරන මේ සතර ඉරියව්වෙන් ම නිදහස් ව සයනයෙහි සැතපෙන්ට වාඩි වී දෙපාත් ඔසොවා තවමත් හාන්සි නොවී සිටියදී සියලු කෙලෙස් නසා උතුම් අර්හත්වයට පත් වූ සේක.
■ දෙවන වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන් පොහොය පසු වී දෙවන දවසෙහි රාජානුග්රහයෙන් කරන ලද ඒ ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි රහතන් වහන්සේලා රැස් වූහ.
■ එකල්හි රහතන් වහන්සේලා අපගේ ආනන්ද තෙරුන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේට ගැලපෙන අයුරින් ආසනයක් වෙන්කොට තබා තමන් වහන්සේලා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙළට එහි වැඩහුන් සේක.
■ අපගේ ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේ උතුම් අර්හත්වයට පත් වූ බව ඒ රහතන් වහන්සේලාට දන්වනු පිණිස උන්වහන්සේලා සමඟ මණ්ඩපයට නොවැඩියහ. එවිට එක් රහතන් වහන්සේ නමක් “මේ ආසනය වෙන්කොට තිබෙන්නේ කවුරුන් උදෙසා ද?” කියා ඇසූහ. “මෙය ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සඳහා ය” කියා පිළිතුරු ලැබුණි. “අපගේ ආනන්දයෝ කොහි ද?” කියා අසනවාත් සමඟ ම,
■ ආනන්දයන් වහන්සේ පොළොවෙහි කිමිදුනහ. සංගායනා මණ්ඩපයෙහි තමන් වෙනුවෙන් පනවා ඇති ආසනයෙහි වාඩිවූහ. ඇතැම් ආචාර්යයන් වහන්සේලා අපගේ ආනන්දයන් වහන්සේ අහස් මාර්ගයෙන් වැඩමකොට තමන්ගේ ආසනයෙහි වාඩිවුනු බව පවසත්.
■ එක් එක් තනතුරු ලැබූ සියලු රහතන් වහන්සේලා අතුරින් විනයධර භික්ෂූන්ගෙන් අගතනතුරු ලැබූ උපාලි මහරහතන් වහන්සේ විනය උදෙසා ද අපගේ ආනන්ද මහරහතන් වහන්සේව අනෙකුත් සියලු ධර්මයන් උදෙසා ද ප්රධානත්වයට පත්කරගත්හ.
■ එම සංගායනාව ආරම්භයේදී අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් පණවන ලද විනය ශික්ෂාපදත් ඒවායේ නිදාන කථාව ආදියත් විමසනු පිණිස ඒ ප්‍රශ්න විමසන භික්ෂුවගේ තනතුර තමන් වහන්සේ විසින් තමන්ව ම පත්කරගත් සේක. එහි දී උපාලි මහරහතන් වහන්සේ එසේ අසන ලද විනය කරුණු සියල්ල ම පිළිබඳව පහදා දුන් සේක.
■ අපගේ මහාකස්සපයන් වහන්සේ විනය පිළිබඳව විස්තර විචාළෝ එහි පණවන ලද ථේරාසනයෙහි වැඩහිඳගෙන ය. එකල්හි උපාලි මහරහතන් වහන්සේ ඒ අසන ලද කරුණු වලට පිළිතුරු දුන් සේක් භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පනවා වදාළ ධර්මාසනයෙහි වැඩහිඳගෙන ය.
■ තථාගත බුදුරජුන් විසින් පණවන ලද විනය පිළිබඳ දන්නා භික්ෂූන් අතරින් අග්‍ර වූ අපගේ උපාලි මහරහතන් වහන්සේ විසින් ක්‍රමයෙන් ඒ සියලු විනය කරුණු විසඳන ලද්දේය. ඉන්පසු විනය කරුණු පිළිබඳ න්‍යායෙහි අතිශයින් දක්ෂ වූ සියලු දෙනා වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ විනය ඒ අයුරින් සාමූහික ව සජ්ඣායනා කළහ.
■ අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි බහුශ්‍රැත වූ භික්ෂූන් අතරත්, වේගවත් නුවණ ඇති භික්ෂූන් අතරත්, දරාගැනීමෙහි හැකියාව ඇති භික්ෂූන් අතරත්, සිහිනුවණ ඇති භික්ෂූන් අතරත්, උපස්ථායක භික්ෂූන් අතරත්, අග්‍ර යැයි අග තනතුරු ලද ධර්ම භාණ්ඩාගාරික වූ අපගේ ආනන්දයන් වහන්සේගෙන් අප භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳව ධර්ම දේශනාත් ඒවායේ නිදාන කථාත් විචාරනු පිණිස මහාකස්සප මහරහතන් වහන්සේ විසින් ඒ විචාරක භික්ෂු තනතුරට තමන් ම පත්කරවාගෙන අපගේ ආනන්දයන් වහන්සේගෙන් ධර්මය විමසා වදාළ සේක.
■ උපාලි මහරහතන් වහන්සේ විනය විස්තර කළ පරිද්දෙන් අපගේ ආනන්දයන් වහන්සේත් පිළිතුරු දීම පිණිස තමන්ව ම පත්කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පණවන ලද ධර්මාසනයෙහි වැඩහිඳ ඒ සියලු ධර්මයන් ගැන විස්තර වදාළ සේක.
■ වේදේහමුනි වූ ආනන්දයන් වහන්සේ විසින් ක්‍රමයෙන් විසඳන ලද ඒ සියලු ධර්මය, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි අර්ථයන් පිළිබඳව අතිශයින් ම දක්ෂ වූ එහි වැඩහුන් සියලු දෙනා වහන්සේලා ධර්මය ඒ අයුරින් සාමූහික ව සජ්ඣායනා කළහ.
■ මෙසේ සියලු ලෝකය කෙරෙහි හිතසුව කැමැති රහතන් වහන්සේලා විසින් සත් මාසයකින් සියලු ලෝකයාගේ හිතසුව පිණිස ඒ ප්‍රථම ධර්ම සංගායනාව නිමවන ලද්දීය.
■ අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ විසින් ඒ සංගායනාව කරනු ලැබුවේ මේ ශ්‍රී සුගත සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්වාලන්ට සමර්ථ වන අයුරිනි.
■ ඒ ප්‍රථම ධර්ම සංගායනාව කොට අවසන් වූ කල්හි මහත් ප්‍රීතියක් හටගත්තාක් මෙන් සාගරය සීමා කොට ඇති මේ මහා පොළොව සය වරක් කම්පාවට පත්විය.
■ ඒ අවස්ථාවෙහි ලෝකයෙහි නොයෙක් ආකාරයෙන් නොයෙක් ආශ්චර්යවත් දේ සිදුවිය. අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ පන්සියයක් ස්ථවිර භික්ෂූන් වහන්සේලා මේ සංගායනාව කොට වදාළ නිසා මේ සංගායනාවට ස්ථවිර පරම්පරාව කියා ද පවසනු ලැබේ.
■ මෙසේ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ලෝක සත්වයාට බොහෝ හිත සුව පිණිස පවතින ලෙස කටයුතු කළ ඒ සියලුම රහතන් වහන්සේලා තම තමන්ගේ ආයු ඇති පරිදි වැඩහිඳ පිරිනිවන් පා වදාළහ.
■ මොහඳුර නසා අර්හත් ඵලය නමැති ප්‍රඥා ප්‍රදීපය දල්වාගෙන වැඩසිටි එබඳු මහෝත්තම රහතන් වහන්සේලා පවා මහා ප්‍රදීපයන් බඳු ව වැඩසිට මරණය නමැති දරුණු සැඩ සුළඟින් පහර වැදී නිවී ගිය සේක. එනිසාවෙන් නුවණැති කෙනා ඔය කරුණ තේරුම් ගෙන තමන් නොමැරී ජීවත්ව සිටීම ගැන ඇති උඩඟුකම දුරුකර ගත යුත්තේය.
සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇතිකරනු පිණිස කරන ලද මහාවංශයෙහි ‘ප්‍රථම ධර්ම සංගායනාව’ නම් වූ තුන්වන පරිච්ඡේදය යි.
පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)