වෙලාව රාත‍්‍රී නවයයි තිහට ආසන්න ය. පසළොස්වක පෝය සඳෙන් ඉතිරෙන සඳවතුරෙන් හාත්පස පරිසරය ම නැහැවෙයි. සිය කුඩා පෙති විහිදන සේපාලිකාවන්ගෙන් පැතිරෙන සුවඳින් හමා එන මඳ සුළඟ සුවඳවත් වෙයි. දැල්වෙන නියෝන් එළි සහිත, අහස උසට නැගුණු ගොඩනැගිලිවලින් යුත් කොන්ක්‍රීට් පුරවරයේ පවා අපූර්ව වූ ආස්වාදජනක බවක් පැවතියේ එලෙසිනි.

විඩාබර මනසක වුව ද කිසියම් සංහිඳියාවක් ඇති කරනට සමත් ඒ පරිසරයේ සිය බාලපුතුගේ මහල් නිවසේ එළිමහන් තැනක හිඳ සිටින මහල්ලෙකි. ඔහුගේ මුහුණ ශෝකාකූල, නොසන්සුන් හැඟීම් පළ කරයි. හෙතෙම හිඳ සිටින අසුනේ එක ඉරියව්වක හිඳසිටීමට අපොහොසත් කලෙක මෙන් ඒ මේ අත ඇඹරෙන්නට විය.

විදාන ආරච්චිගේ දොන් අල්මේදා නම් වූ ඔහු පිටුපා සිටි බිත්තියට අනෙක් පසින් වූ විසිත්ත කාමරයේ රූපවාහිනිය නරඹමින් සිටි සපුමල්ට සිය පියා ව නෙත ගැටිණි. රූපවාහිනිය නොවසා ම සිය පියා වෙතට පැමිණි ඔහු පළමුව දුරක සිට තම පියා ව නිරීක්‍ෂණය කරන්නට විය.

“අප්පච්චි මොකද ලොකු කල්පනාවක?” සපුමල්ගේ හඬින් ගැස්සුණ මහල්ලා බොහෝ දුර කල්පනාවක සිට කඩිනමින් පියවි ලොවට පැමිණීමෙන් කතාකරන්නට විය.

“මම මේ කල්පනා කර කර හිටියෙ බාලසූරියට දරුවො සලකපු විදිහ හොඳ මදි. රජෙක් වගේ අවසන් ගමන් යන්න ඕන මිනිහෙක් බාලසූරිය.”

පියාගේ කතාව සපුමල්ට නොතේරුණි. ඔහු දන්නා තරමට බාලසූරිය මහත්මාට තරම් වෙන කිසිවෙකුටත් දරුවන්ගෙන් සැලකිලි නොලැබිණි. පියා තමාට ඇණුම්පදයක් කියන්නේදැයි සැකයක් ක්‍ෂණිකව සපුමල් තුළ ඉපදිණි.

“ඇයි අප්පච්චි එහෙම කියන්නේ? මම දන්න විදිහට අන්කල්ට තරම් කාටවත් දරුවො සැලකුවෙ නැති තරම්. මම හිතන්නේ ලක්‍ෂ ගාණක් වියදම් කළා ඒ අය.”

“පුතා මං කියන්නේ ඒ ගැන නෙවෙයි. බාලසූරියගේ අවසන් කටයුතු කරපු විදිහ ගැන… පෙට්ටිය වුණත් මහ ලොකු ගාණක් වෙන්න බැහැ. අනික දරුවො හතර දෙනෙක් ඉන්න තාත්තගෙ මිනිය තිබ්බෙ මල් ශාලාවක. ඒකත් එක දවසයි. මිනිය පස්සෙන් යන්න නෑදෑයෝ, යාළුවෝ කවුරුත් නැහැ. කොල්ලවයි බල්ලවයි ඔක්කොම දාලා පුච්චන ආණ්ඩුවෙ පෝරණුවට දාලා ආවා. අන්තිම කටයුතු සිද්ධවුණේ මොකුත් කර කියාගන්න බැරි හිඟන්නෙක්ගේ විදිහට.”

දහසක් සිතිවිලි සපුමල් තුළ ඇති වුව ද ඔහු ඒවා පියා සමඟ කියන්නට නොගියේ පියාගේ සිත රිදේවි යැයි සිතූ නිසාවෙනි. සිය පියා තමන් වෙතින් කවර අන්දමේ සැලකිල්ලක් අවසන් වශයෙන් බලාපොරොත්තු වනවාදැයි දැනගැනීමේ කුහුලක් සපුමල් තුළ ඉපදුණි.
“අප්පච්චිගෙන් මං කාරණයක් අහන්න ද?”

“මොකක්ද?”

“අප්පච්චි මැරුණ දවසට කටයුතු කරන්න ඕන විදිහ මට කියනව ද?”

සපුමල් විවෘතව ම ඇසුව ද සිය පියා ඊට කෙසේ ප‍්‍රතිචාර දක්වාවිදැයි ඔහු තුළ උපන්නේ කිසියම් සැකයකි.

“මගේ අවසන් කටයුතු කෙරෙන්න ඕන විදිහ මම දිග ලියුමක ලියල මගේ අල්මාරි ලාච්චුවේ දාල තියෙන්නෙ. මං මැරුණ දවසට ඒක කියවල ඒ විදිහටයි කෙරෙන්න ඕන.”

මහල්ලා සිය පුතු දෙස බලා කීවේය. සපුමල් හිස සලා එය පිළිගත්තේය.

“අප්පච්චි කෑම කාලත් නැහැනෙ.”

සපුමල් ආයෙම කීවේය.

“මට කන්න තරම් පිරියක් නැහැ. බාලසූරියගේ අවසන් කටයුතු සිද්ධ වෙච්ච විදිහ කොහොම කිව්වත් මගේ හිතට හරි නැහැ. අපි දෙන්න හැම දෙයක් ගැන ම හිතුවෙ එක ම විදිහට. කොහොම වුණත් දරුවන්ට මීට වඩා ඒ ගැන හිතන්න තිබුණා.”

පියා පිළිබඳ ව සපුමල් තුළ උපන්නේ අනුකම්පා සහිත කණගාටුවකි. දැඩි මාන්නය හා පුහු ආටෝපය නිසා සිය පියා ජීවිතයේ බොහෝ විඳවන බව ඔහු මනාව දැන සිටියේ ය.

“හෙට පෝයනේ. සිල් ගත්තම ඔක්කොම අමතක වෙලා යාවි.” යි සපුමල් කීවේ කථාව වෙනතකට හැරවීමේ අදිටනෙනි.

“මං ආයෙ සිල් ගන්නේ නෑ.” යි මහල්ලා කිීවේ තරමක් වේගයෙනි. සපුමල් පියා දෙස බැලු‍වේ විමතියෙනි.

“මාව දායක සභාවේ සභාපතිකමින් අස්කරල වෙන එකෙකුව දාගෙන. හාමුදුරුවන්ටත් කෙළෙහිගුණයක් නැති ලෝකයක් මේක. මුල ඉඳලම මමයි මේ හැමදේට ම හිටියෙ. දැන් අලුත් සල්ලිකාරයෙකු ව දාගෙන. මං මේ පැත්තකට වෙලා බලන් ඉන්නේ මං නැතුව කොහොමද කරන්නෙ කියල. බලන්න පුතා, පරණ අය ඔක්කෝව ම අයින් කරල. සිරිනන්ද ඇර අනෙක් අය ඔක්කොම ආරාමෙ පස් පාගන්නෙ නෑ කියල කතාවෙලයි ඉන්නෙ.”

පොදුවේ සියලු දෙනා ම කිසියම් අවාසනාවන්ත ඉරණමකට ගොදුරුව ඇතැයි යන්න පමණක් සපුමල්ට සිතුණි. ඒ ගැන සිතත් ම තමාගේ ද හිස කැරකෙන්නට මෙන් පීඩාවට පත්වෙන බව තේරුම්ගත් ඔහු ආපසු හැරුණේ නිවස තුළට යාමට ය.

“පුතාට හෙට නිවාඩු නේද?”

“ඔව් අප්පච්චි.”

“අපි හෙට ගමේ ගිහින් එමු. මැරෙන්න කලින් ගමට එක වතාවත්වත් ගිහින් එන්න ඕන. අපි මෙහෙට වෙල හිටියට ගම්වල අපිට තාමත් හරි සැලකිලි.”

සපුමල් එක්වර ම පිළිතුරක් නොදී කල්පනා කරන්නට විය. එක තැනකින් නොලැබෙන පිළිගැනීම තව තැනකින් සෙවීමට තම පියා උත්සාහ කරති’යි සිතූ ඔහු තුළ කිසියම් නොපහන් හැඟීමක් මතු වන්නට විය. එහෙත් එය පොදු මිනිස් ස්වභාවයක් ලෙස සිතමින් එකී සිතිවිල්ලට මෝරා වැඩෙන්නට සපුමල් ඉඩ හැරියේ නැත.

“අපි යමු අප්පච්චි.”

සපුමල් නිවස තුළට ඇතුල් වුණේ නොසන්සිඳීමෙනි. ඔහු එනතුරු වෙරෝනිකා නොනිදා බලා සිටියා ය.

“හෙට ඔයාගෙ ගමන යන්න වෙන්නේ නෑ.” යි කාමරයට ඇතුල් වෙමින් ම සපුමල් බිරිඳට කීවේ ය.

“ඇයි?”

“අප්පච්චි ගමේ යන්න කතා කළා.”

“ඉතිං ඔයා හා කිව්ව ද? මේ කොරෝනා අස්සේ. අනෙක හෙට අප්පච්චි සිල් ගන්නවනේ.”

වෙරෝනිකා කීවේ කේන්තියෙන් නොවන බව සපුමල්ට වැටහිණි. ඉන් ඔහුට තරමක සහනයක් සැලසින.

“දායක සභාවෙන් අස්කරල.. ආයෙ යන්නේ නෑ කියන්නේ.” යි සපුමල් කීවේ සිනාසෙමිනි.

“ඇයි අප්පච්චි මෙච්චර කල් සිල් අරගෙන තියෙන්නේ සභාපති වෙලා ඉන්න ද? නිවන් දකින්න නෙවෙයි ද?”

“ඒකට නම් මටත් හිනා ගියා තමයි අහපු ගමන්.”

“අනේ ඒගොල්ලන්ගෙ සීලෙත් එකයි, නිවනත් එකයි, වැඩත් එකයි. මට නම් දැන් එපාවෙලයි තියෙන්නේ.” කාලයක සිට කියන්නට තිබුණු දෙයක් වෙරෝනිකා කීවේ ඉවසීමෙනි.

“මිනිස්සුන්ගේ දුර්වලකම්වලට ධර්මයට ගරහල නිකන් පව් පුරවගන්න එපා. වයසක උදවිය හදන්න අපට බැහැ. අපි හැදෙනවා මිසක. මං හිතන්නෙ ඒ විදිහට.”

සපුමල් කීවේ බිරිඳගේ සිත නොරිදෙන ආකාරයෙනි.

“ඔයත් එනව ද?”

“කමක් නැහැ අපි ගමේ යමු. ගිහිල්ලත් නැහැනෙ මම.”

මහල්ලා මේ ගමට යන්නේ වසර දහසයකට පසුව ය. සපුමල් නීතීඥ වෘත්තියට පිවිස නගරයේ පදිංචියට යාමත්, බිරිඳගේ අභාවයත් නිසා මහගෙදර තනි වූ ඔහුට දැඩි පාළුවක්, තනිකමක් දැනෙන්නට විය. වැඩිමහල් සහෝදරයා මහගෙදරට නඩු කියන්නට සුදානම් වීම නිසා පරම්පරාවේ ගෞරවය ආරක්‍ෂා කිරීමට නඩු නොකියා ම සියලු දේපළ සහෝදරයාට පවරා හෙතෙම සපුමල් සමඟ පදිංචියට ගියේ හිතේ සතුටිනි.

අතැර දා ගිය දේ ගැන නැවත සිතාබැලීමක් ද ඔහු තුළ මෙතෙක් නොතිබුණි. සපුමල් ද දේපළ ගැන කිසිදා උනන්දුවක් නොවූයේ වෙරෝනිකා සතු විශාල බූදලයක් ඔහුට හිමිව තිබූ නිසාත්, ස්වභාවයෙන් ම සපුමල් නිවුනු ගති ස්වභාවයක් ඇත්තෙකු වීමත් නිසාවෙනි.

වසර දහසයක් යනු විශාල කාලයක් නොවූව ද ගමේ පරිසරය වෙනස් වී ඇති ආකාරය දකිද්දී මහල්ලා තුළ ඇති වූයේ පුදුමයකි. ගම අර්ධ නාගරික තත්ත්වයට පත්ව ඇත. ගමේ හන්දියේ ප‍්‍රාදේශීය බැංකු ශාඛා දෙකක් ද තිබෙණු දුටු ඔහුගේ සිතට එක්වර ම පිවිසියේ ගමේ දේපළ අත්හැරීම යනු තමා කළ ගොන්කමක් ය යන හැඟීම යි.

“දැන් මේවයේ ඉඩම් හරි ගණන් ඇති.” ඔහු කීවේ එහෙයිනි. සපුමල් වෙනසක් නොපෙන්වා රිය ධාවනය කරන්නට විය. පිටුපස අසුනේ සිටි වෙරෝනිකා හා දරුවන් දෙදෙනා අවට පරිසරය තුළ කිමිදෙමින් ගමේ හැඩතල සොයන්නට උත්සුක වූහ.

වාහනය අතුරු පාරකට හැරවිණි. එතැන් සිට වලව්වට යා යුතුව තිබුණේ කුඩා ගුරුපාරකිනි. ගුරුපාර දිගේ මඳ දුරක් යද්දී සපුමල්ට වාහනය නතර කරන්නට සිදු වූයේ පාර මැද තරුණ පිරිසක් කි‍්‍රකට් සෙල්ලම් කරමින් සිටි නිසාවෙනි.

“හෝන් එක ගහන්න.” යි මහල්ලා කීවේ ය. සපුමල් එසේ නොකළේ සිතිවිලි අතීත මතක සැමරුම් දිගේ සැරිසරන්නට වූ නිසාවෙනි. මහල්ලා වාහනයෙන් බැස තරුණයන් අතරට ගියේ ය.

“කොල්ලනේ, අපට පාරෙ ඉඩදියල්ලා. මමත් මේ ගමේ තමයි.”

“ඕවරේ ඉවර වෙන්න බෝල දෙකයි තියෙන්නෙ. ඩිංගක් ඉවසල ඉන්න. කව්රු ආවත් ඉන්න ම වෙනවා.” තරුණයෙකු කීවේ මහල්ලා ව නොසලකමිනි. මහල්ලා තුළ උපන්නේ කෝපයකි. ඉස්සර නම් ගමේ උන් ඔළුව ඔසවාවත් තමන් දෙස බැලූ‍ බවක් හෝ මහල්ලා නොදනී.

“තොපේ අප්පව එක්ක වර මම කවුද කියලා උඹට කියල දෙන්න.” මහල්ලා කීවේ සැරෙනි.

“පප්පට ළඟදි අප්පව මුණගැහෙයි. එතකොට කියන්න. මේ ළඟදි තමයි අප්ප පරලොව ගියේ.”

තරුණ පිරිස ම කොක්හඬලා සිනාසෙන්නට වූහ. ඉස්සර තිබුණු සැලකිලි ද අද නැත. මහල්ලා තුළ ශෝකයත්, කෝපයත් එකවර නැගුණි. හෙතෙම පසුබැස ගොස් වාහනයට ගොඩ වී ය.

“අපරාදෙ ගමේ ආවේ.” යි තමාට පමණක් ඇසෙන සේ කීවේ ය.

පන්දුවාරය අවසන් වූ පසු තරුණ පිරිස ක්‍රිකට් කූරු ගලවා පාරේ ඉඩ දී ඉවත් වූහ. සපුමල් සියලු දෙනා සමඟ සිනාසීගෙන වාහනය ඉදිරියට ධාවනය කළේ ය. මොහොතින් මොහොත මහල්ලා තුළ හටගත් සංවේගය ද කෝපය ද උත්සන්න වෙමින් පැවතිණි.

වලව්වට හැරෙන හැම වංගුවක ම Rooms යැයි සඳහන් බෝඩ් එකක් ඇත. අවසානයේ වලව්වේ ගේට්ටුවේ සවිකර තිබුණේ ද එවැනි විශාල බෝඞ් එකකි. ඒ දුටු මොහොතේ මහල්ලාගේ කෝපය පුපුරා ගියේ විය.

“මුන්ට හෙණ ගහපුදෙන්. මුන් අපේ වලව්ව වේස ගුබ්බෑයමක් කරලා.” කෝපය වැඩිකමට මහල්ලාගේ තොල් අතරින් වචන පිට නොවිණි. ඔහුගේ දෑස් දෙස බැලීමට බිය උපදවන තරමට විශාලව පැවතිණි.

ආරක්ෂක නිලධාරියා පැමිණ ගේට්ටුව විවර කළේ තරමක සැකයකිනි. මෙවන් නවීන වර්ගයේ වාහනයක් කිසි දිනෙක මෙහි පැමිණ නැත. යතුරුපැදි තුනකුත්, නිශාන් වර්ගයේ පරණ මෝටර් රථයකුත් වලව්ව ඉදිරිපිට නතරව ඇති බව මහල්ලාටත්, සපුමල්ටත් දැකගන්නට හැකි විය.

“එපා අපි ආපහු යමු. අපි පන්සලට යමු.” මහල්ලා සපුමල්ගේ අත මත තම අත තබමින් කීවේ ය. ඒ අතේ වෙව්ලන ස්වභාවයෙන් පියා තුළ ඇතිව ඇති මානසික විපර්යාසය සපුමල්ට වැටහින.

“අපි අතහැරපු දේනේ. අප්පච්චි ආයෙ ඒ ගැන හිත නරක් කර ගන්න දෙයක් නැහැ.”

“මං මැරිල ඇවිත් හරි මේකෙ වාඩුව නම් ගන්නවා.” මහල්ලා නොකියා සිතාගත්තේ විය.

වාහනය පන්සල් වත්තට ඇතුල් විය. පන්සලේ නම් ලොකු වෙනසක් නැත. එදා බෝධිය ම ය. එදා සෑය ම ය. පරණ බණ මඩුවේ විසි තිස්දෙනෙකි. බණ අහන අතරේ පිරිසක් වාහනය දෙසත්, වෙරෝනිකා දෙසත් බලනු මහල්ලා දුටුවේ ය.

ආවාසය තරමක් නවීකරණය වී ඇත. පැරණි බුදු මැදුර වෙනුවට නව බුදු මැදුරක් ඉදිවෙමින් පවතී. ඒ නම් මහල්ලාගේ සිත් නොගත්තේ විය. ‘අපි හදවපු පිළිමෙ, අන්දවපු චිත්‍ර තාම තියෙනව ද දන්නේ නැහැ.’

“අප්පේ… මේ අපේ විදානෙ රාළහාමි නෙ.”

බොහෝ කලක සිට පන්සලේ ඇබිත්තයා ලෙස කටයුතු කරන හින්නි අප්පු මහල්ලා හැඳිනගෙන කෑගැහුවේ සතුටිනි. ‘හැමදේම වෙනස් වෙලා නැහැ.’ මහල්ලා තුළ ද සතුටක් ඉපදිණි.

“අප්පුවා, නායක හාමුදුරුවෝ වැඩ ඉන්නව ද?”

අප්පුගේ සතුට අතුරුදහන් විය. ඔහුගේ දෑස් තෙත්වෙද්දී මහල්ලාට කෙසේ වෙතත් සපුමල්ට නම් කාරණය වැටහිණ.

“නායක හාමුදුරුවෝ නිවන් දැක්කා.” අප්පුවා කීවේ ගොත ගසමිනි. මහල්ලා තුළ ද කම්පනයක් ඇති විය.

“ළඟදි ද?”

“අවුරුද්දක් විතර ඇති.”

“අපි පරක්කු වුණා බං. දැන් කවුද ඉන්නේ?”

“පොඩි හාමුදුරුවෝ. රාළහාමිට මතක ද?”

“ඒ හැටි මතකයක් නැහැ. මම කව්ද කියලා කියා දීලා එක්ක වරෙං.”

මහල්ලා හින්නි අප්පු සමඟ ආවාසය දෙසට ගියේ ය. සපුමල් වෙරෝනිකා හා දරුවන් සමඟ බෝ මළුව දෙසට ඇවිද ගියේ යාන්ත්‍රිකව මෙනි. සපුමල් පන්සලේ වඩාත් ම ප්‍රිය කරන ස්ථානය බෝ මළුව විය.

“ඇයි මේ බැමිවලයි, පිළිම යටයි හැම තැනක ම මිනිස්සුන්ගේ නම් ගහල තියෙන්නේ?” වෙරෝනිකා ඇසුවේ බෝ සෙවණේ පිළිමයට යටින් ලියා තිබු ‘ලීලාවතී වීරසිංහ’ යන නම සපුමල්ට පෙන්වමිනි.

“ඒක කරවපු කෙනාගේ නම. නම ලියන්නේ නැත්නම් සල්ලි දෙන්නේ නැහැ. ඔහොම තමයි ගොඩක් තැන්වල වැඩ කෙරෙන්නේ.” සපුමල් ඇත්ත ම කීවේ ය. වෙරෝනිකා දිගු සුසුමක් පිටකොට නිහඬ වූවා ය.

“හාමුදුරුවෝ පස්සේ කථා කරන්නම්, අපිට විහාරෙ වන්දනා කරල එන්න කිව්වලු‍. ලොකු හාමුදුරුවෝ හිටියා නම් අපිව එක්කගෙනයි යන්නේ.”

මහල්ලා පිටුපසින් පිරිස විහාර මන්දිරයට ඇතුල් විය. පැරණි විහාරය කොටස් වශයෙන් ඉවත් කරමින් නව විහාරය ගොඩනඟයි. පැරණි සිතුවම් බදාමය පිටින් ම ගලවා දමා තිබේ. කඩන ලද පැරණි ප්‍රතිමාවල සිමෙන්ති කෑලි විහාරය කෙළවරේ ගොඩගසා ඇත.

මහල්ලාගේ දෑස එක්වර ම යොමු වූයේ සිය පියා විසින් කරවන ලද පැරණි විහාරයේ ප්‍රධාන පිළිම වහන්සේ වැඩසිටි තැන වෙත ය.

ඇත්තේ ආසනය පමණකි. එහි ද නම සමඟින් ම මුළු බදාම තට්ටුව ම ගලවා දමා ඇත. ඉදිවෙමින් පවතින නව පිළිමයේ අනුරුවක් සහිත සිතුවමක් අසල එල්ලා ඇත. එයට ධනය පරිත්‍යාග කොට ඇත්තේ තම වලව්වේ කුලී වැඩ කළ උක්කුවාගේ පරම්පරාවේ එකෙක් විය යුතු ය. හේවාවසම්ලාට ගමේ සිටියේ උක්කුවා පමණකි.

“අපි යමු. බලන්න ඒ හැටි දෙයක් නැහැ. අනික මෙතන දූවිලි පිරිල හුස්ම ගන්න අමාරු තරමට.”

මහල්ලා කීවේ ඇත්තක් වුව ද ඔහුගේ සිතේ පැවතියේ වෙනත් අදහසකි. සපුමල් දරුවන් ද රැගෙන පියා පසුපසින් එළියට පැමිණියේ ය. වෙරෝනිකා කොහොමටත් විහාරය තුළට නොපැමිණියා ය.

ගමේ එකෙක් දෙන්නෙක් හිනාවීගෙන ළඟින් ගියත් වචනයක්වත් කථා කළේ නැත. ඒ හැම දෙනාම බැලු‍වේ මෝටර් රථය දෙසත්, වෙරෝනිකා දෙසත්, සපුමල් දෙසත් පමණකි. මහල්ලා තුළ නොසන්සුන් හැඟීම උත්සන්න විය.

“අපි යමු. පොඩි හාමුදුරුවො නිදියාගෙන ඇති. නැත්නම් එන්න බැරි මොකෝ.”

මහල්ලාට කේන්තිය වැඩිකමට ශාසන ව්‍යවහාරය ද අමතකව ගොස් තිබුණි. සපුමල් පියාට අවනත ව වාහනයට ගොඩවිය.

“ඔයාලගෙ සීයට තියෙන්නේ පුදුම හදිස්සියක්.” යැයි දරුවන්ට කියමින් වෙරෝනිකා වාහනයට ගොඩ වූයේ කැමැත්තකින් නො වේ.

හවස් වීමටත් පෙරාතුව සපුමල්ලා නිවසට පැමිණියේ ය. ගමනෙන් අන් අයට ඉතිරි වූයේ ගමන් වෙහෙස පමණකි. මහල්ලාට නම් නොසන්සිඳෙන කෝපයක් හා ශෝකයක් ඉතිරි විය.

රාත්‍රිය උදා වෙද්දී මහල්ලා උණ රෝගයෙන් පෙළෙන්නට විය. මධ්‍යම රාත්‍රිය වෙත්දී හේ බොහෝ සෙයින් ම නන්දොඩවන්නට විය.

දායක සභාවේ සභාපතිකම, බාලසූරිය මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ ව, ගමේ කොල්ලන්ගේ උසුළු විසුළු, මහගෙදරට ඇතිව ඇති ඉරණම පිළිබඳ ව, පන්සලේ සිය පියා විසින් ඉදිකළ බුදු පිළිමය ඉවත් කිරීම පිළිබඳ ව එකිනෙකට නොගැළපෙන දේවල් ඔහුගේ මුවින් පිට විය.

සපුමල් පත්වූයේ ඉතාමත් අපහසුතාවයකට ය. එක් පසෙකින් පියාට අත්ව ඇති ඉරණම ය. අනෙක් පසින් වෙරෝනිකා පියා පිළිබඳ ව කෙසේ සිතන්නේ ද යන පැනය යි.

උදෑසන වෙත්දී මහල්ලාට හොඳටම නින්ද ගියේ ය. අවදි වෙත්දී තරමක සුවයක් ලැබී තිබුණෙන් සපුමල් උසාවි ගියේය. මහල්ලා දවස පුරා ම පෙර කී සිතුවිලි දාමයේ ම පැටලී සිටියේ විය.

“අප්පච්චි කෑම කන්නේ නැහැ.”

වෙරෝනිකා දහවල් සපුමල්ට දුරකථනයෙන් කීවා ය. රාජකාරි කටයුතු හමාර කළ සපුමල් වෛද්‍යවරයෙකු මුණගැසුණි. පිළිතුර වූයේ මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත්, දින කිහිපයකින් මඟහැරී යන බවත් ය.

දින විස්සක් මේ තත්ත්වය එලෙස ම පැවතුනි. විසිඑක් වන දිනය වෙත්දී මහල්ලාගේ උණ තත්ත්වය බෙහෙවින් ඉහළ ගියෙන් ඇඳිරි නීතිය මධ්‍යයේ වුව ද ඔහුව රෝහල්ගත කරන්නට සපුමල්ට සිදු විය. පෞද්ගලික රෝහල් දෙකකින් ම රෝගියා ව භාර ගැනීම ප්‍රතික්ෂේප වූ නිසා රජයේ රෝහලකට රෝගියා ව ඇතුළත් කිරීමට ඔහුට සිදු විය.

මහල්ලා ව කඩිනමින් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළේ කොරෝනා රෝගියෙකු වශයෙන් සැක කරමිනි. කිසිවෙකුටවත් ඔහුව බැලීමට අවසර නොලැබුණි.

තමා සිටින්නේ කොතැනකදැයි නිනව්වක් මහල්ලාට නොවුණි. කෙසේ වෙතත් තමා කිසියම් අන්ධකාර ලෝකයක් තුළ තනි වී අසරණව ඇතැයි ඔහුට සිතේ. ඉඳහිට වචනයක් දෙකක් ඇසේ. ඒ හඬ නුපුරුදු ය. සියොලඟ කකියවාගෙන එන වේදනාව ඉවසිය නොහැක.

මහල්ලා රෝහල් ගත කොට අටවන දිනය ද උදාවිය. මහල්ලා සිය අවසන් මොහොතට මුහුණ දෙමින් සිටින බව දැන උන්නේ ඔහු පමණකි. ඔහුට විශාල බියක් ඉපදුණි. සියල්ල දමා තමාට යන්නට සිදුවෙන බව ඔහුට ඉඳුරාම සිතිණි. ඔහු කිසියම් දෙයක් මතකයට නඟා ගැනීමට උත්සාහ කළේ මුත් මතකයට නැගෙන්නේ අහිමි වූ සභාපතිකම ගැන ය. මහ ගෙදර ගැන ය. කඩා දැමු බුදු පිළිමය ගැන ය. ගමේ කොල්ලන්ගේ සිනා හඬ ය. මහල්ලා තුළ දැඩි කෝපයක් ඉපදුණි. ‘මං තොපෙන් පළිගන්නවා.’ යි ඔහුට සිතිණි. ඒ විදාන ආරච්චිගේ දොන් අල්මේදාගේ අවසන් සිතුවිල්ල විය.

සපුමල් කොතෙක් උත්සාහ කළේ මුත් කොරෝනා නීතිරීති නිසා ඔහුට මළමිනිය නොලැබුණි. සපුමල්ගේත්, වෙරෝනිකාගේත් සහභාගීත්වයෙන් පමණක් කොටිකාවත්ත ආදාහනාගාරයේදී මහල්ලාගේ අවසන් කටයුතු සිදු වූයේ ඔහුගේ අවසන් ඉල්ලීම්වලින් එකක් හෝ ඉටුකිරීමට අවස්ථාවක් නොතබමිනි.

මහල්ලාගේ භූත ආත්මය ඒ ගැන සපුමල් හා උරණ නොවුණි. සපුමල් ඒ සඳහා ගත් උත්සාහය ඔහු දුටුවේ ය. මිනී පෙට්ටිය ආදාහනාගාරයට ඇතුල් කරත්දී භූතයා මිනී පෙට්ටියෙන් බැස ගත්තේ ය. සපුමල් නික්ම ගිය පසු භූතයා මිනිසුන්ගෙන් තොර මහ මාර්ගයට පිවිසියේ දුර ඈත මහගෙදර බලා යන අදහසිනි.

පසු සටහන :-

‘මැරෙන මොහොතේ මම සිහි කරන්නේ කුමක් ද? මරණින් මතු මම යන්නේ කොහේ දැ?’ යි කවුරු කවුරුත් ආයෙ ආයෙම සිහි කරමින් පින් රැස්කර ගනිත්වා! මරණයට මුහුණ දෙන්නට ධර්මය පුරුදු කර ගනිත්වා! මෙලොව තැනක් නොව පරලොව තැනක් හදාගැනීමට උත්සුක වෙත්වා!

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි.