පින්වත් දුවේ පුතේ,
අද මම ඔයාලට පුංචි දහම් කරුණක් කියලා දෙන්න හිතුවා. අපගේ ජීවිතයේ යහපත් මාර්ගය, හොඳ – නරක පෙන්වා දෙන හොඳ ම ගුරුවරයා තමයි භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේට ‘ශාස්තෘන් වහන්සේ’ කියලත් කියනවා. ඒ හැරුනම අපේ ජීවිතය සුමඟට ගන්නට උදව් කරන තව පිරිසක් ඉන්නවා. ඒ තමයි ගුරුවරු. අපට ශිල්ප ශාස්ත්‍ර දෙන ගුරුවරුන් ගැන පිළිපදින්න ඕන විදිහ අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම උගන්වා තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයේ සිගාලක කියලා තරුණයෙක් උදෑසන අවදි වෙලා සය දිසාවට නමස්කාර කරමින් සිටියා. එදා බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා නිවැරදි දිසා නමස්කාරය පෙන්වා දෙමින් සිඟාලෝවාද සූත්‍රය දේශනා කළා. ඒ සූත්‍රයේ ගුරුවරුන් දකුණු දිශාවට උපමා කළා. ඒ සූත්‍රයෙන් ගුරුවරුන් ගැන, ශිෂ්‍යයන් ගැන පැහැදිලි, අගනා කරුණු රාශියක් දේශනා කොට තිබෙනවා. සමාජයේ යහපත් පුරවැසියෙක් විදියට ජීවත් වෙන්න ඕන කරන ගුණධර්මත්, ආත්ම ශක්තියත් අපේ ජීවිතයට එක් කරන්නේ ගුරුවරයා යි. ඒ නිසයි දරුවනේ, සිඟාලෝවාද සූත්‍රයේදී ගුරුවරු දකුණු දිශාවට සමාන කරලා තියෙන්නේ. ඒ වගේ ම ඔවුන් ශිෂ්‍යන්ගේ වන්දනාවට, සැලකිලිවලට සුදුසු වන නිසයි. ශිෂ්‍යන්ගේ දියුණුවට අවශ්‍ය හුරු පුරුදුකම් ඉතා මැනවින් ප්රදානය කරන්නේ ගුරු උතුමන් වන නිසයි.
ශිෂ්‍යයෙකු විසින් තම ගුරුවරයාට ආකාර පහකින් සැලකිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
5. ඉතා හොඳින් ඉගෙන ගන්න ඕන.
ඒ වගේ ම ගුරුවරයාත් ශිෂ්‍යන්ට කළ යුතු යුතුකම් පහක් දේශනා කළා.
මේ විදියට දරුවනේ, ගුරු ශිෂ්‍ය දෙපිරිස එකිනෙකා කෙරෙහි යුතුකම් ඉටු කිරීමෙන් ආදර්ශවත් සමාජයක් ගොඩ නැංවීමට මඟ පෑදෙනවා. ශිෂ්‍යයන් විදියට ඔබලාත් තම ගුරුවරුන්ට නිසි ගරු සැලකිලි නිරන්තරයෙන් ම දක්වන්න ඕන. ගුරුවරයා දෙන උපදෙස් පිළිපදින්න ඕන. ඒ මඟින් තමන්ගේ දියුණුවට මඟ පාදා ගන්න ඕන.
ගුරුවරුන් ශිෂ්‍යයාගේ යම් වරදක් දැක්කොත් කලකිරෙන්නේ නැතුව ඔවුන්ගේ යහපතට කටයුතු කළොත්, මේ ගුරු ශිෂ්‍ය දෙපිරිස අතර ම තම තමන්ගේ සම්බන්ධකම් වර්ධනය වෙලා, දියුණුවට පත් වෙලා සමාජයටත් යහපතක් වෙනවා.
ගුරු ශිෂ්‍ය සබඳකම ගැන කියවෙන එක ජාතක කතාවක් මම ඔයාලට කියලා දෙන්නම්. අපේ බෝධිසත්වයන් වහන්සේ අතීතේ එක් කාලයක තක්ෂිලාවේ දිසාපාමොක් ආචාර්යතුමා වෙලා ශිෂ්‍යයින් පිරිසකට ඉගැන්වීම කළා. රජ, සිටු ආදී උසස් කුලවල ළමයි තමයි එම පාසලේ ඉගෙන ගත්තේ. දවසක් ගුරුතුමා ශිෂ්‍ය පිරිසත් සමඟ නාන්න ගඟට යන අතරමග ගෙදරක එක මහලු ස්ත්‍රියක් තල පැදුරක් වේළමින් සිටියා. ඒ වෙලාවේ ශිෂ්‍ය පිරිසේ එක ශිෂ්‍යයෙක් තල අහුරක් අරගෙන කටේ දමාගෙන කමින් ගියා. මහලු ස්ත්‍රිය ඒක දැක්කත් ගණන් ගත්තේ නෑ. දෙවෙනි දවසෙත් ඔහු ඒ විදියට ම කළා. තුන්වෙනි දවසෙත් ඔහු තල අහුරක් ගත්තා. එදා ඒ මහලු අම්මා ගුරුතුමාට මේ සිද්ධිය කිව්වා. තල හොරෙන් කෑව මේ ළමයා දවසක හොරෙක් වෙන්න පුළුවන් බවත් කිව්වා. ඉතින් ගුරුතුමා අසල තිබුණ උණ පතුරක් කඩාගෙන මේ ශිෂ්‍යාගේ පිටට පහරවල් දෙක තුනක් ගැහැව්වා, මීට පස්සේ මේ වගේ වැඩ කරන්න එපා කියලා.
ඉතින් දරුවනේ, මේ ශිෂ්‍යයා රාජ කුමාරයෙක්. ඉගෙනීම අවසන් වෙලා තමන්ගේ රටට ගිහින් රජ වුණා. හැබැයි ගුරුතුමා දුන් දඬුවම හිතේ තියාගෙන හිටියා. ගුරුතුමාගෙන් පළිගන්න හිතාගෙන, ‘උපහාර දක්වන්න මාළිගාවට එන්න’ කියලා පණිවිඩ ඇරියා. ඒත් නුවණක්කාර ගුරුතුමා කියපු ගමන් ආවේ නෑ. බොහෝ කාලයක් ගියාට පස්සේ ගුරුතුමා රජ මාළිගාවට ආවා. රජතුමා රාජසභාවේදී එදා උණ පතුරෙන් දුන් පහර තවමත් රිදෙනවා කියමින් ගුරුතුමාගේ හිස ගසා දමන්න නියම කළා.
ඒ වෙලාවේ ගුරුතුමා මෙහෙම කිව්වා. “රජතුමනි, එදා ඔබ තල හොරෙන් කාපු වරදට මම දඬුවමක් නොදුන්නා නම් අද ඔබ රජ කෙනෙක් නොවෙයි. හොරෙක්. ඒකෙන් බේරගත්තේ මම ඔබට හොඳ නරක පෙන්වා දුන් නිසයි. කැමති නම් ඕන දඬුවමක් දෙන්න.”
මේ වෙලාවේ රාජසභාවේ සියලු දෙනා ම ගුරුතුමාගේ අදහස පිළිගත්තා. රජතුමාට කරුණු තේරුම් කරලා දුන්නා. රජතුමා ගුරුතුමාට බොහෝ සැලකිලි සම්මාන දීලා මාළිගාවේ ම උපදේශක තනතුරේ තබා ගත්තා. ඉතින් දරුවනේ, ගුරු ගෝල සම්බන්ධය කොහොම එකක් විය යුතු ද කියලා මේ කතාවෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවි.
තෙරුවන් සරණයි!
Recent Comments