මෙම දිනවල ඉතා බහුල ලෙස කතා කරන මාතෘකාවක් නම් කිරිපිටිවල ඇති සෞඛ්‍ය ගැටලු ගැන ය. මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ මෙම කතාව ගැන ඇති යම් යම් මතවාදයන් එක්රැස් කර ඔබට යම් අදහසක් ඇතිකර ගන්නට මග පෙන්වන්නට ය. අපි ඉතා සරල අන්දමට මෙම කතාව ආරම්භ කරමු.

කිරි පානය කිරීමට මිනිසා පුරුදු වූයේ කෙසේ ද?

‘ක්ෂීරපායී’ නමින් සත්ව කොට්ඨාසයක් හඳුන්වන්නේ ඔවුන් කිරි බී වැඩෙන බැවිනි. ක්ෂීරපායී සත්වයෙකු උපන් විට එම සත්වයා බිහි කළ මවට ස්වභාවිකව ම කිරි එරේ. එම සත්වයා බාහිර ආහාරවලට හුරු වූ පසු මව සහ දරුවාගේ කිරි ගනුදෙනුව අවසන් වේ.

තම මවගේ හැර වෙනත් සත්වයෙකුගේ කිරි පානය කරන එක ම ක්ෂීරපායී සත්වයා මිනිසා ය. මානව සම්භවයේ සිට වසර ලක්ෂ ගණනක් මිනිස් දරුවා ඉහත කී අනෙක් ක්ෂීරපායී සතුන් මෙන් ම මව්කිරි මත යැපෙන්නට විය.

මිනිසා අනෙක් සතුන්ට වඩා වෙනස් වන්නේ පරිසරයට අනුගත වනවාට වඩා පරිසරය තම පාලනයට ගන්නට පෙළඹුන බැවිනි. වසර පහළොස් දහසකටත් එහා ඔවුන් කෘෂිකර්මය ආරම්භ කළේ මෙතෙක් ඔහේ වැවුනු ඇතැම් භෝග තමන් විසින් වවන්නට පටන් ගැනීමෙනි. සත්ව පාලනය ද එහි ම කොටසක් විය. වනයේ සිටි ඇතැම් සතුන් හීලෑ කරගෙන ප්‍රයෝජනයට ගත හැකි බව ඔහු උගත්තේ ය. මෙම ක්‍රියාවලියේ යම් කලෙක, ඔහු සත්වයින්ගේ කිරි ලබා ගන්නට, පරිභෝජනයට, සකස් කර ගන්නට ඉගෙන ගන්නට ඇත.

අනෙකුත් ක්ෂීරපායී සතුන්ට කිරි උවමනා වූයේ පැටියා යම් මට්ටමකට වැඩෙන තෙක් පමණි. එහෙත් මිනිසා මව්කිරි බී වැඩුන පසුව ද අමතර ආහාරයක් වශයෙන් කිරි පානය කරන්නට පුරුදු විය. මිනිස් ශිෂ්ටාචාරයේ මූලාරම්භයේ සිට ම හරකුන්, එළුවන්, බැටලුවන්, ඔටුවන් ආදී බොහෝ හීලෑ සතුන්ගේ කිරි මෙලෙස පරිභෝජනය කළ අතර වඩාත් ප්‍රචලිත වූයේ එළ හරකුන්ගේ කිරි ය.

කිරි ආහාර පරිභෝජනයේ පරිණාමය

කිරි දියර වශයෙන් එලෙස ම පරිභෝජනය කිරීම වෙනුවට වෙනත් ස්වරූපවලට සකස් කර ගැනීම මිනිසා තාක්ෂණය අතින් නව සොයා ගැනීම්වලට පෙළඹීමේ ප්‍රතිඵලයකි. ආරම්භයේදී ඔවුන් අමු කිරි වෙනුවට උතුරා රත් කර ගත් කිරි බොන්නට ඇත. එහෙත් කිරි දිගු කලක් ගබඩා කර තබා ගැනීමේ ගැටලුවට ඔවුන් මුහුණ දෙන්නට වූ අතර, කිරි යම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කර බටර්, චීස්, ගිතෙල් වැනි කලක් තබා ගත හැකි තත්ත්වයට පත් කර ගැනීම තාක්ෂණික ජයග්‍රහණයක් විය.

මේ දක්වා අප මතක තබාගත යුතු කරුණක් වන්නේ සත්ව කිරි මව්කිරි වෙනුවට විකල්පයක් ලෙස නොව එය වැඩුන පුද්ගලයින්ගේ ආහාරයක් පමණක් වූ බව ය.

අපට කිරි නැතිව ම බැරි ද?

මෙය බැරෑරුම් ප්‍රශ්නයකි. අනෙකුත් ක්ෂීරපායී සතුනට යම් වයසක වැඩීමකට පසු කිරි අවශ්‍ය නො වේ නම් මිනිසාට ද එය එලෙස ම විය යුතු ය. එහෙත් ප්‍රශ්නයට පිළිතුර එතරම් සරල නැත.

අපට මස් නැතිව ම බැරි ද… මාළු නැතිව ම බැරි ද… යනාදී වශයෙන් මෙය ද අසන්නට පුළුවන් තවත් ප්‍රශ්නයකි.

මිනිසා සර්ව භක්ෂකයෙකි. කන්නට සුදුසු යයි හැඟෙන ඕනෑම දෙයක් ඔහුට කන්නට පුළුවන. මානව පරිණාමයේ ආරම්භයේ දී ඔහු පරිසරයෙන් ආහාර සොයාගන්නට පුරුදුව සිටිය ද කල් ගත වත් ම ඔහු පරිසරය තම පාලනයට යටත් කර ගන්නට තැත් කරන්නට විය. කෘෂිකර්මය, සත්ව පාලනය මෙහි මුල් ම ප්‍රතිඵලය විය. මෙහි ඊ ළඟ පියවර වූයේ ඔහු කෘෂිකර්මය හා සත්ව පාලනය වඩාත් කාර්යක්ෂම කර ගැනීම සඳහා තාක්ෂණය සොයා යාම ය. එහි ප්‍රතිඵල වූයේ නව වගා ක්‍රම, වැඩිදියුණු කළ බීජ සහ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම ය. සත්ව පාලනයේ දී ද මෙය එලෙස ම විය. ක්‍රමවත්ව ගව පාලන බිම් ඇති කිරීම, පෝෂණයෙන් වැඩි තණකොළ වැවීම, වැඩි කාර්යක්ෂම සතුන් සහ පසු කලක වැඩිදියුණු කළ සතුන් ඇති කර ගැනීම එහි ලක්ෂණයන් විය.

අයාලේ යන සතුනට වඩා ගොවිපළවල සතුන්ගේ කිරි නිෂ්පාදනය ඉහළ යාම සමග මතු වූ ගැටලුකාරී තත්ත්වය වන්නේ ඒවා කල් තබාගැනීම ය. නැවුම් කිරි වශයෙන් අලෙවි කිරීමට ද සීමා තිබිණ. චීස්, බටර් හා ගිතෙල් නිෂ්පාදනය එහි මුල් ම ප්‍රතිඵල විය.

කාලය ඉක්මෙත්ම, මානවයාගේ ආහාරයේ සෑහෙන ප්‍රතිශතයක් සත්ව නිෂ්පාදන සහ විශේෂයෙන් ම කිරි නිෂ්පාදනවලින් සපුරා ගැනීම සිදු විය.

අපට කිරි නැතිව ම බැරි ද යන ප්‍රශ්නය අසන්නට පටන් ගත්තේ කිරි නිෂ්පාදනය කාර්මික කරණය වන්නට වූ පසුව ය. කිරි ආහාරයක් ලෙස තවදුරටත් ආරක්ෂිත දැයි සැක කරන්නට සිදුවූ දා සිට ය. කිරිවල සෞඛ්‍යයට හානිකර සංඝටක ඇතැයි සොයාගැනීමත් සමග ය. අප මේ ගැන මඳක් විමසා බලමු.

මහා පරිමාණයෙන් ගවයන් ඇති කිරීම එතරම් පහසු නොවේ. පළමුවෙන් ම ගොවිපළකට ඔවුන් එකතු කර ඇති නිසා තණකොළ සහ අනෙකුත් ආහාර නිෂ්පාදනය උවමනා වේ. දෙවනුව ගවයින් අතර රෝග පාලනය සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු ය. එමෙන්ම මේ තුළින් ප්‍රමාණවත් ලාභයක් ද ඉපයිය යුතු ය. වැඩිදියුණු කළ ගවයින් සඳහා කාර්යක්ෂමතාවෙන් ඉහළ තණකොළ වගා කළ යුතු ය. ඒ සඳහා සාමාන්‍ය කෘෂිකර්මයේ දී අදාළ වන පොහොර හා කෘෂිරසායන භාවිතය සිදු වේ. වඩාත් සත්ව පාලනය ප්‍රචලිත ශීත රටවල ය. වගා කළ හැක්කේ කෙටි කාලයක පමණි. ශීත ඍතුව සඳහා ද තණකොළ හා සත්ව ආහාර ගබඩා කර තබාගත යුතු ය. එනිසා වගා කරන කන්නයේ දී අධික රසායන යෙදවුම් සහිතව නිෂ්පාදනය වැඩි කර ගත යුතු ය. ඒකභෝගයක් වන හෙයින් තණකොළවලට හානි වළකා ගැනීමට අධික රසායනයන් යොදනු ලැබේ.

වැඩිදියුණු කළ ගවයින් ස්වභාවික සතුන් මෙන් රෝගාබාධවලට ඔරොත්තු නො දේ. එමෙන් ම රංචු වශයෙන් ඇති කරන හෙයින් රෝග බෝ වීම විශාල ගැටලුවකි. එනිසා උපතේ සිට මෙම ගවයින් සියලු රසායනික රෝග මර්ධන ක්‍රමවලින් සන්නද්ධ කරනු ලැබේ.

කිරි නිෂ්පාදනයේ ප්‍රථම ගැටලුව ඇරඹෙන්නේ මෙතැනිනි. එනම් තණකොළ සහ අනෙකුත් ආහාරවලට මෙන් ම ගවයින්ට ලබාදෙන රසායනික ප්‍රතිකාරවල ශේෂයන්, නිපදවන කිරිවලට සහ කිරි නිෂ්පාදනවලට එකතු වීම ය. 2013 වසරේ දී නවසීලන්ත කිරි නිෂ්පාදනවල සොයාගත් කෘෂි රසායන ශේෂ (Dicyandiamide- DC) මෙයට උදාහරණයකි. මෙම රසායනිකය ගොවීන් භාවිතා කරන්නේ එක් අතකින් තණකොළ නිෂ්පාදනය වැඩි කිරීමට හා හරිතාගාර වායු නිකුත් වීමේ හානිකර තත්ත්වයන් වළකාලීමටත්, ජල මාර්ගවල නයිට්රේට් ගලා යාම පාලනය කිරීමටත් ය. මෙම රසායනිකය ආහාර විෂ වීමේ ප්‍රධාන සාධකයක් වන මෙලමයින් හා සමානව විග්‍රහ කරන්නකි.

2008 වසරේ දී මෙලමයින් අඩංගු ළදරු කිරි ආහාර චීනයේ ළමුන් 290,000ක මුත්‍රා මාර්ගයේ ගල් සෑදීමේ තත්ත්වයට හේතු වූ අතර ඉන් මරණ 6ක් සිදු වූ බව තහවුරු කරගෙන ඇත. මෙම සොයාගැනීමත් සමග ම චීනය නවසීලන්තයෙන් කිරි ආනයනය නවතා දැමූ අතර ඉන් නවසීලන්ත ඩොලරය ද සැලකිය යුතු අන්දමට පහළ වැටින.

2012 වසරේ දී ශ්‍රී ලංකාවේ ද The Industrial Technology Institute (ITI) ආයතනය කිරි සාම්පලවල එම රසායනිකය අඩංගු බව තහවුරු කළේ ය.

මෙම තත්ත්වය උද්ගත වූයේ කිරි නිෂ්පාදනය කාර්මීකරණය වීමේ ඍජු ප්‍රතිඵලයක් වශයෙනි.

දියර කිරි සහ කිරිපිටි

දිගු කාලයක් කිරි සකසා තබාගැනීම සඳහා පිටි කිරීමේ ක්‍රියාවලිය සොයාගත්තේ මෑතක දී ය. ප්‍රථම වරට කිරි, පිටි කිරීමේ නූතන ක්‍රියාවලිය සොයාගත්තේ රුසියානු වෛද්‍යවරයකු වන ඕසිප් ක්‍රිචෙවුස්කි (Osip Krichevsky) විසින් 1802 වසරේ ය. එමෙන් ම පළමු වාණිජ මට්ටමේ කිරිපිටි නිපදවීම සංවිධානය කරනු ලැබුවේ ද රුසියානු රසායන විද්‍යාඥයකු වන එම්. ඩර්චොෆ් (M. Dirchoff) විසින් 1832 වසරේ ය.

මව්කිරි මෙන් ම එළදෙනුන්ගේ කිරිවල ද 85% ඇත්තේ ජලය යි. දියර කිරි, පිටි බවට හරවන්නේ එහි ඇති දියර බව වියළීමකට ලක් කිරීමෙනි. නූතන ක්‍රමවේදය වන්නේ විසිර වියළීම යි. පළමුව ජලය 50% ක් පමණ වන තුරු වාෂ්පීකරණය කරනු ලබන කිරි දියරය උණුසුම් වාතය සහිත ගර්භයකට විසුරුවන අතර එහි ඇති ජලය ක්ෂණයකින් ඉවත් ව පිටි බවට පත් කිරි ඉතිරි වේ. තවද මෙයට අමතරව අධික ලෙස සීතල මිදීමේ ක්‍රමයක් (freeze drying) සහ රත් කළ ලෝහ බැරල් මතුපිට කිරි විසිරවා වියළන ක්‍රමයක් ද භාවිත වේ.

දියර කිරි සහ පිටි කළ කිරි අතර පෝෂ්‍ය ගුණයන්ගේ වෙනස්කම් ඇත. අධික තාපය නිසා ඇතැම් පෝෂ්‍ය කොටස් විනාශ වන බව අමුතුවෙන් කීමට උවමනා නැත. එමෙන්ම කල් තබා ගැනීම සඳහා යම් කිසි කාර්මික ක්‍රියාවලියකට භාජනය වන ඕනෑම ආහාරයක රසය සහ ගුණය යම් පමණකට හීන වන බව පැහැදිලි ය.

දියර කිරි සහ පිටි කිරි සංසන්දනය කිරීමේ දී සැලකිය යුතු තවත් කරුණක් නම් අපට එළදෙනගෙන් දොවාගත්, එමෙන් ම කිසිදු කල් තබාගැනීමේ ක්‍රියාවලියකට යටත් නොවූ කිරි ලබාගැනීම එතරම් පහසු නොවන බව ය. දැනට අප දියර කිරි ලෙස හඳුන්වන්නේ ද යම් රසායනික ක්‍රියාවලියකට යටත් කොට දියර වශයෙන් ම වෙළඳපොළට එන කිරිවලට ය.

අප මෙතෙක් සාකච්ඡා කළේ සත්ව කිරිවල ආරම්භය සහ ඒවා පරිභෝජනය සම්බන්ධ ක්‍රියාවලිය යි.

සිද්ධි මාලාවක් ලෙස බලාගෙන යද්දී දියර කිරි පිටිකිරි මෙපමණ කාලයක් ජනතාව පරිභෝජනය කර තිබි බවත් එනිසා ම එහි කිසියම් හානියක් තිබේදැයි කෙනෙකුට සැකයක් ඇතිවන්නට පුළුවන.

පිටිකිරි සම්බන්ධයෙන් කතිකාවතක් දැන් ඇති වී තිබෙන්නේ ඇයි?

එය අපට දෙයාකාරයකට විග්‍රහ කරගන්නට පුළුවන.

1. පිටිකිරිවල ඇති නෛසර්ගික තත්ත්වය:-

පිටිකිරි සම්බන්ධව ඇති ප්‍රධාන ම ඍණ තත්ත්වය වශයෙන් සඳහන් වන්නේ ඒවායේ ඔක්සිකරණය වූ කොලස්ටරෝල් (oxidized cholesterol) අඩංගු වන බව ය. ඔක්සිකරණය වූ කොලස්ටරෝල් යනු ඇලෙනසුලු දෙයක් වන අතර ලේ නහර අවහිර කිරීමේ හැකියාවක් ඇත. කිරිවල සාමාන්‍යයෙන් කොලස්ටරෝල් අඩංගු වුව ද එය හානිකර වූවක් නොවේ. ඒත් ඒවා ඔක්සිකරණය වූ විට හානිකර බවට පත් වේ. එසේ වන්නේ දියර කිරි පිටිකිරි බවට පත් කිරීමේ ක්‍රමවේදය තුළ ය.

දියර කිරි පිටි බවට පත් කිරීමේ ක්‍රම රැසක් ඇති බව ඉහත සඳහන් කළෙමි. කිරි අධික උෂ්ණත්වයකට බඳුන් වන්නේ විසිර වියළන (spray drying) ක්‍රියාවලියේ දී ය. මෙහි දී කරනු ලබන්නේ ඉතා කුඩා සිදුරකින් අධිපීඩනයක් සහිතව කිරි වාතයට විදීම ය. මෙහි දී නයිට්රේට් බහුලව නිපයෙන අතර කිරි ඔක්සිකරණයට බඳුන් වේ. එහෙත් අධික සීතල කිරීමෙන් පිටි බවට පත් කිරීමේ ක්‍රමය (freeze drying) තුළ ඔක්සිකරණය වූ කොලස්ටරෝල් නිපයෙන්නේ නැත. මෙයින් අපට පැහැදිලි වන්නේ ඔක්සිකරණය වූ කොලස්ටරෝල් ඇත්තේ කිරිවල නොව, කිරි වියළීමේ ක්‍රමවේදය තුළ බිහිවන්නක් බව ය.

ස්පාඤ්ඤයේ ග්‍රැනාඩා විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිකරගෙන ඇත්තේ ඉහත කී වියළීමේ ක්‍රමයට අමතරව කිරිපිටි ඇසිරීම හා ගබඩා කිරීමේ තත්ත්වයන් තුළ ද ඔක්සිකරණය වීම සිදුවන බව ය.

2. වාණිජ පරමාර්ථ සඳහා පිටිකිරිවල සංයුතිය වෙනස් කිරීම:-

ඕනෑම නිෂ්පාදනයක් කාර්මීකරණය වීමේ ගැටලුව කිරිපිටිවලට ද එලෙස ම බලපායි. එනම් අවම වියදමක් දරා උපරිම ලාභයක් ලැබීමේ පරමාර්ථය මුල් තැනට ඒම යි.

කිරි නිෂ්පාදකයින්ට මෙම කාර්යය කළ හැකි ක්‍රම රැසක් ඇත. අපි එළකිරිවල ප්‍රධාන ම අංගවල සංයුතිය දළ වශයෙන් ගෙන බලමු.

ජලය 87.5
ප්‍රෝටීන් 3.3
ලැක්ටෝස් 4.6
මේදය 3.7
කැල්සියම් 0.1

කිරි නිෂ්පාදන කර්මාන්තයේ අධික ම ලාභ ලබාගත හැකි වන්නේ පිටිවලට වඩා බටර්, චීස් සහ ආශ්‍රිත නිෂ්පාදනවලට බව ඔබ දනී. එනිසා කිරි නිෂ්පාදනයේ දී මේදය ඉවත් කර බටර් ආදී නිපයුම්වලට යොදාගෙන ඉවත් කළ මේදය වෙනුවට වෙනත් ලාභදායී සත්ව තෙල් හෝ ශාක තෙල් එකතු කරන බව කර්මාන්තයට එල්ල වන ප්‍රධාන ම චෝදනාව යි.

මේ අන්දමට ම කිරිවල අඩංගු අනෙකුත් සංඝටක වන ප්‍රෝටීන් හා කැල්සියම් පවා වෙන්කොට වෙනත් ලාභදායී විකල්ප දැය එකතු කරනු ලබන බවට ද චෝදනා එල්ල වේ.

මෙයට අමතරව කල් තබා ගැනීමේ පහසුවට, ඔබේ දිවට රසයක් ලබා දීමේ අරමුණට, ඉක්මනින් දියවීමේ පහසුවට ආදී කරුණු සඳහා යම් රසායනික ක්‍රියාවලීන්ට පිටිකිරි භාජනය වී ඇත.
වෙනත් වචනවලින් සරලව කියනවා නම් පිටිකිරි යයි වෙළඳපළෙන් ඔබ මිල දී ගන්නේ ශුද්ධ කිරි නො වේ. යම් තරමකට කිරි අඩංගු වෙනත් නිෂ්පාදිතයකි.

මේ ගැටලුවේ අනෙක් පැත්ත ගැන ද අප දැනුවත් විය යුතු ය. එනම් අප පරිභෝජනයට ගන්නා බොහෝ අනෙකුත් ආහාර නිපදවීමට ද කිරි යොදාගන්නා බව ය. බිස්කට්, කේක්, ටොෆී, අයිස්ක්‍රීම් සහ බොහෝ පැණි රස ආහාර කිරි එකතු කළ හෝ කිරිවල අතුරු නිෂ්පාදනයන් ය. ඉන් කියවෙන්නේ කිරි ආශ්‍රිත ආහාර අපගේ ආහාර දාමය තුළ බහුල ලෙස පැලපදියම් වී ඇති බව ය.

කිරිපිටිවල ප්‍රධාන ම අතුරු නිෂ්පාදනය වන්නේ ළදරුවන් සඳහා කරන නිෂ්පාදන ය (infant formula). කිරිපිටි නිෂ්පාදන ප්‍රචාරණය සඳහා ඇති ප්‍රබල ම තර්කය වන්නේ මව්කිරි ලබා දීමට අපහසු තත්ත්වයන් යටතේ ඇති විකල්පය ළදරු කිරිපිටි බව ය. මෙම තර්කයේ සාධනීය පැත්තක් තිබෙන බවට සැකයක් නැත. එහෙත් මව්කිරි පමණක් දෙන ලද දරුවනට වඩා ළදරු කිරිපිටි ලබා දුන් දරුවනට අධික ස්ථුල භාවය, ඇදුම, කන අභ්‍යන්තරයේ ඉදිමුම, පාචනය, ශ්වසන නාලයේ ඉදිමුම, දියවැඩියාව, සමේ ආසාදන ඇති වන බව අධ්‍යයනවලින් තහවුරු කර ඇත. 2013 වසරේ වූ මෙලමයින් ඇතුළත් ළදරු කිරිපිටි විෂ වීම තුළ චීනයේ ඇති වූ තත්ත්වය ගැන ඉහත සඳහන් කර ඇත.

කිරිපිටි වෙළඳාම සහ ප්‍රචාරණය

මෙහි දී අමතක නොකළ යුතු තවත් කරුණක් වන්නේ වාණිජ ව්‍යාපාරයක සාමාන්‍යයෙන් ඇති වෙළඳ දැන්වීම්වල ආක්‍රමණකාරී බව පිටි කිරි කර්මාන්තයේ දී තවත් උග්‍ර බව ය. එම වෙළඳ දැන්වීම් මගින් ඔබේ මානසිකත්වය සකසා අවසන් ය. එනම්, කිරිපිටි නිෂ්පාදන පරිභෝජනය නොකරන්නේ නම් ඔබේ සහ ඔබේ දරුවාගේ පෝෂණය අනතුරේ බව ය. සියලු රෝගවල විස්මිත ප්‍රතිකාරය ලෙස ද කිරිපිටි හඳුන්වා දෙනු ලබයි. ඒ සඳහා වෙනත් තත්ත්වයන්ට පත් කළ පිටිකිරි (මේද රහිත, මේදය අඩු, පෝෂකයන් එකතු කළ) වෙළඳපළේ ඇත.

මෙය ද තවත් මිථ්‍යාවක් බව ඔබ නොදන්නවා විය හැක. විද්‍යාත්මකව තහවුරු කළ කරුණ නම් එකතු කරන ලද යකඩ සහිත කිරිපිටි නිසා මව්කිරි ලබාදෙන දරුවන්ට සාපේක්ෂව ළදරුවන්ගේ ස්නායු සංවර්ධනයේ අඩුපාඩුවක් වන බවත්, බුද්ධි මට්ටමේ අඩුවක් වන (IQ) බවත් ය.

අප කලින් මතු කළ ප්‍රශ්නය වන අපට කිරි නැතිව ම බැරි ද? යන්න මතුවන්නට පටන් ගන්නේ මෙනිසා ය. අප මෙය මෙලෙස තේරුම් ගන්නට උත්සාහ කරමු.

■ ස්වභාවිකව ම මිනිසා සර්ව භක්ෂකයෙක් වන අතර ඔහු කිරි පානය අනාදිමත් කලක සිට පුරුදුව සිටී.
■ ස්වභාවික කිරි පානය තුළින් ඔහු තම ආහාර අවශ්‍යතාවන්වලින් කොටසක් සපුරා ගත්තේ ය.
■ නිෂ්පාදනය ඉහළ යාම සමග කිරි නිෂ්පාදනය අනෙකුත් සියලු වාණිජ නිෂ්පාදන සමග සමාන වන්නට විය.
■ පිටිකිරි එහි අවසන් තත්ත්වය යි. ලාභය උපරිම කර ගත් ව්‍යාපාරයක් වශයෙන් කිරි නමින් එහෙත් සංශෝධිත වෙනත් නිපැවුමක් වෙළඳපළට එන්නට විය.

මෙයට අමතරව සඳහන් කළයුතු කරුණක් ද ඇත. එනම් ශ්‍රී ලංකාව තුළ ද කිරිපිටි නිපදවන බව ය. අඹේවෙල රජයේ ගොවිපළ මෙන් ම පැල්වත්ත ගොවිපළවල ද කිරි හා කිරිපිටි නිපදවනු ලබයි. බහුජාතික සමාගම් විසින් කරනු ලබන ඉහත කී මහා පරිමාණ වංචාව ඔවුනට ද පැවරිය නොහැකි බව අප මතක තබාගත යුතු ය.
දැන් අපට ප්‍රශ්නය සරල කර ගත හැක.

1. කිරි බීම අත්‍යවශ්‍ය ද? සරල ලෙස කිවහොත් කිරි බීම අත්‍යවශ්‍ය නැත. කිරිවල අඩංගු ප්‍රෝටීන්, මේදය, කැල්සියම් ආදී පෝෂ්‍ය කොටස් ලබා ගැනීමේ ලාභදායී, එමෙන්ම ආරක්ෂාකාරී ශාඛ සහ වෙනස් සත්ව නිෂ්පාදන ඕනෑතරම් වෙළඳපළේත්, ගෙවත්තේත් ඇත. ඔබේ දරුවාගේ පෝෂණය ගැන දැනුවත් වන්නට කරුණු ඇතුළත් ඕනෑතරම් ප්‍රකාශන රජය මගින් ද පළ කර ඇත.

2. දියර කිරි බීම ආරක්ෂිත ද? දියර කිරි ආරක්ෂිත ය. එහෙත් තණකොළවලට සහ සතුනට යොදන රසායනිකයන්වලින් කිරිවලට එකතු වන විෂ මට්ටම අනුව ආරක්ෂාකාරී බව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් ඔබ ගෙවත්තේ ඇති කරන ගවයාගේ කිරි සහ ඔබ වෙළඳපළෙන් ලබාගන්නා විශාල ගොවිපළවල සැකසූ කිරි අතර වෙනසක් ඇති බව ඔබ තේරුම් ගත යුතු ය. මෙයින් අදහස් කරනුයේ ඔබ වෙළඳපළේ දියර කිරි ප්‍රතික්ෂේප කළ යුතු බව නොවේ. ආහාරවල ආරක්ෂණය ගැන ඇති ප්‍රමිතීන් අනුගමනය වනවා ද යන්න ගැන ඔබ දැනුවත් විය යුතු බව ය.

3. පිටිකිරි ආරක්ෂිත ද? මෙයට පිළිතුරු දෙකක් ඇත. (අ). නියමිත ප්‍රමිතිය අනුව වියළන පිටිකිරි නම් එහි බරපතළ අනතුරක් නැති විය හැක. වියළීමේ ක්‍රමවේදය අනුව ඔක්සීකරණය වූ කොලස්ටරෝල් එහි අඩංගු විය හැක. (ආ). ආරක්ෂිත නැති වන්නේ වෙළඳපළට එන පිටිකිරි යයි හඳුන්වන වෙනස් කරන ලද සහ එමෙන් ම මනුෂ්‍ය ශරීරයට හානිකර වෙනත් ද්‍රව්‍යයන් එකතු කරන ලද නිෂ්පාදනයන් ය.

නිගමනය:-

කිරි (දියර කිරි, පිටිකිරි සහ කිරි නිෂ්පාදන) මිනිසාගේ පරිභෝජනයට සකසා ගත් ආහාරයකි. එය ප්‍රධාන ආහාරයක් නො වේ. නැතිවම බැරි ආහාරයක් නො වේ. විකල්ප ඕනෑතරම් ඇත. කිරි හා ආශ්‍රිත නිෂ්පාදන හානිකර වී ඇත්තේ කාර්මීකරණය සමග ය. එය අනෙකුත් කෘෂි නිෂ්පාදනවලට ද පොදු වූ තත්ත්වයකි. අප තේරුම් ගත යුත්තේ අප යමක් පරිභෝජනය කරනවා නම් එහි වාසි – අවාසි දෙක ම ඇති බව ය. එහෙත් වෙළඳ ප්‍රචාරණයන් තුළින් ඔබට බල කරන කිරි පිටි නිෂ්පාදන, කියන තරම් අත්‍යවශ්‍ය හෝ පෝෂ්‍යජනක හෝ ආරක්ෂිත ආහාරයක් නොවන බව ඔබ තේරුම් ගත යුතු ය.

ආශ්‍රිත මූලාශ්‍ර :-

  1. Dicyandiamide contamination of milk powders Sri Lanka Journal of Child Health, 2013; 42(2): 63-64
  2. wikipedia.org
  3. Agric. Food Chem. 1997, 45, 4318−4323
  4. https://www.dgi.gov.lk/news/features/1337-fresh-cow-s-milk-with-taste-and-quality
  5. https://www.youtube.com/watch?v=o9_nhm_2_ow
  6. http://eohfs.health.gov.lk/food/index.php?option=com_content&view=article&id=2&Itemid=136&lang=en
  7. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3317169/
  8. https://www.medscape.org/viewarticle/574363

සටහන – කේ. ඒ. ජේ. කහඳව