අප සිටින්නේ තවත් ව්‍යවහාරික වර්ෂයක නිමාව අභිමුවේ ය. අප අතර සිටියවුන් පිරිසක් අපට අහිමි කරවමින් හා අප අතර නොසිටියවුන් පිරිසක් අප වෙත ගෙන එමින් කාලය ගෙවී ගොස් ඇත. අපිදු නොමැරෙන්නවුන් නොවන්නෙමු. ඒ අර්ථයෙන් ගත් කල මේ ගෙවී යන්නේ, අපට ජීවත් වන්නට ඇති කාලය යි.
රැස් කරන සියල්ල හැර දමා යන්නට සිදු වන ඉරණම ඇති ව අඛණ්ඩ ව වෙහෙසෙමින් ජීවන අරගලයක යෙදෙනා අපට තිබිය යුතු ඉලක්කය එසේ අනිවාර්යෙන් ම හැර දමා යා යුතු දැය එක්රැස් කිරීම ම ද? මෙලොව ජීවිතයේ සැපය පිණිස කාම සම්පත්තීන් අත්පත් කර ගැනීම අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු බව සැබෑවකි. එසේ තමන්ගේ සැපය පිණිස, හිතසුව පිණිස ඇප කැපවීම ජන සම්මතය තුළ ව්‍යවහාර කෙරෙන්නේ ආත්මාර්ථය යනුවෙනි. මෙලෝ වශයෙන් පමණක් නොව පරලෝ වශයෙන් ද ස්වකීය අභිවෘද්ධිය උපදවා ගැනීමට ක්‍රියාත්මක වීමේ කිසිදු වරදක් නැත. ‘මෙලෝ පරලෝ යහපත’ යන කරුණ සබැඳි පමණින් ම මේ ක්‍රියාත්මක වීම ධාර්මික දිවි පෙවත තුළ රැඳෙයි. මන්ද නොදැහැමින් ලබනා පරලොව යහපතක් නැති හෙයිනි.
එසේ ම, දෙලොව යහපත ඉලක්ක කරන්නා තමන්ගේ පමණක් නොව අනුන්ගේ ද සැපය, හිතසුව කැමති විය යුතු ය. ඒ වනාහී ලෝක ව්‍යවහාරය තුළ පරාර්ථය යි. ගෙවි ගෙවී යන ආයුෂය සහිත මේ කෙටිකාලීන ජීවිතය ආත්මාර්ථය ද පරාර්ථය ද සලසා ගැනීම සඳහා ඉලක්කගත කරලීම අප විසින් සිදු කළ යුතු ම කටයුත්ත යි.
එය හුදෙක් වචනයෙන් කළ නොහැක්කකි. මෙකරුණ සර්වාකාරයෙන් ම බැඳී යන්නේ සිතින් ද කයින් ද වචනයෙන් ද අඛණ්ඩ ව සිදු කෙරෙන ක්‍රියාත්මක වීමට ය. කුසලය කල් දමමින් අලස සුවයට රුචි වී කාලය විනාශ කර දමන්නවුන් නො වී අලසකම් දුරු කොට පිනෙහි, කුසලයෙහි අප්රමාදී වීම අයිති ඒ ක්‍රියාත්මක වීමට ය. පින, කුසලය කල් දමන්නේ නම් සැබැවින් ම අප ඒ පසුපසට ඇද දමන්නේ දෙලොව යහපත කරා අප ගෙන යන යානය යි. තම යහපත රැක ගනු කැමති නම් දිවා රැය දෙකෙහි ම අප්රමාදී ව කටයුතු කළ යුතු වේ. එසේ කරනා අතරේ ම අනුන්ට ද ඔවුනගේ යහපත, සුභසිද්ධිය සලසා ගැනීම පිණිස මෙත් සිත් පෙරදැරි ව උපකාර කිරීමෙන් අනුන්ට ද හිතසුව පිණිස පිළිපන් පරාර්ථකාමී ජීවන චරිතය අප තුළ ආරක්ෂා කර ගැනීමට හැකි වේ.
මෙහිලා සැලසෙන ඉහළ ම ප්‍රතිලාභය නම් මෙකී දැහැමි දිවි පෙවෙත තුළ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ චර්යාවෙහි පිහිටියවුන් බවට පත් වන නිසාවෙන් සියලු දුකින් නිදහස් වූ අමා මහ නිවන වෙත සමීප වන්නට එය ම හේතුකාරක වීම ය. අනෙක් වටිනා ම ප්‍රතිලාභය නම් පිරිහෙන ලෝකයේ කොටස්කරුවන් වෙමින් මිසදිටුවෙන් වැසී යන සහ ධර්මය වැසී යන මිනිස් ලෝකයේ උපතක් කරා නොපැමිණ තෙරුවන් සරණයේ පිහිටි බුද්ධ ශ්‍රාවකයන්ගෙන් හිස් නො වූ දිව්යලෝකයන්ගේ උපතක් කරා යන මාර්ගය මේ ඔස්සේ පිරිසිදු වීම ය.
ආත්මාර්ථය ද පරාර්ථය ද සැලසීමෙහි ලා ලොව මුදුන් පැමිණියේ අපගේ ශාස්තෘන් වහන්සේ ය
“පඤ්ඤාස්ස සබ්බධම්මේසු
කරුණා සබ්බජන්තුසු
අත්තත්ථානං පරත්ථානං
සාධිකා ගුණජෙට්ඨිකා”
“ලොවෙහි ඇති හැම දෙය ගැන – මහා නුවණක් තිබුණි මුනිඳුට
ලොවෙහි හැම සතුන් ගැන – මහා කරුණාව පැවතුණි
තමා ගැන හා අනුන් ගැන – සැලසූ සේක යහපත
බොහෝ ගුණයෙන් අධික ව – සිටි සේක ලොව ඉහළින්”
ඒ පරමෝත්තම ශාස්තෘත්වය පිදුම් දෙමින්, ආත්මාර්ථය ද පරාර්ථය ද සලසාලන්නවුන් වීමට අපිදු අදිටන් කර ගනිමු.
Recent Comments