සර්දි මිටියාවට මායිම්ව ගලා බස්නා කුඩා ගංගාවකි. ඊට දකුණුපසින් වූ සාරවත් භූමි භාගය නිල් පැහැගත් බෝංචි වගාවෙන් වසාගෙන තිබුණි. බැටළුවන් ද මී ගවයන් ද එළුවන් ද ඒ භූමි භාගයේ සුලභ දසුනක් ම විය. කාලවර්ණ, තරමක් වැඩුණු සිරුරැති ඒ වගාබිම්වල වැඩ කළ මිනිසුන් ව ඈත කඳු මුදුන්වලට පෙනුණේ ද එකී සතුන් ලෙස ම විය. මන්ද ඔවුන් ඇඳ සිටි ඇඳුම් දුර්වර්ණ ව ගිය පැරණි වූ, විසිතුරුත් නො වූ ඒවා ම ද වූ නිසාවෙනි.

ෆරිමිලීගය නම් වූ මේ ගම්මානයේ ගෙවල් තිහකට ආසන්න ප්‍රමාණයක් විය. ගණනින් අඩු වුව ද විශාල භූමි භාගයක් ඒ නිවැසියන් සතුව පැවතින. නිවෙස් යැයි කීව ද ඇත්තෙන්ම ඒවා මහ මන්දිර නොවුණා නො වේ.

මෙවැනි එක් මන්දිරයක පිටුපස වූ ධාන්‍ය සැකසුම් ශාලාවක ගැහැනියක් හුදෙකලා ව බෝංචි කරල්වලින් ඇට ගලවමින් සිටියා ය. වයසින් දෙතිස් හැවිරිදි වුව ද මැදි වියට ආසන්න යැයි කිව හැකි ලකුණු ඈ වෙතින් විද්‍යාමාන වන්නේ ජීවිතයේ විඳින අනේක දුක් ගැහැට නිසාවෙනි. ජීවිත කාලය ම මෙතැන්හි වාඩි වී බෝංචි ඇට ගලවන්නී වරෙක මුළු ලෝකය ම බෝංචි ඇට ලෙසින් දක්නී ය.

“සුනීතා මෙහෙ වරෙං.”

මන්දිරයේ ඉදිරිපස කවුළුවකින් හිස එළියට දැමූ ස්වාමියා ඈට කෑ ගසා කීවේ ය. ඇත්තෙන්ම එය අණ කිරීමකි.

සුනීතා. ඇගේ නම එපමණි. පෙළපත් නමක් ඇයට නැත. ඒවා නම් කුමකට ද? සුනීතා පමණවත් වුණේ වහල් මෙහෙවරේ දී අණ කිරීමෙහිලා ස්වාමියාගේ පහසුව පිණිස පමණි.

“සුනීතා…”

දෙවෙනි වරටත් හෙතෙම කෑ ගැසුවේ ය. ඔහුට නාස්ති කරන්නට කාලයක් නැති තරම් ය. ඇට ගලවමින් සිටි බෝංචි කරල් වහාම අත්හළ ඕ ස්වාමියා වෙතට ඇවිද ගියා නොව දිව ගියා ය.

ස්වාමියාට සමීප වත් ම ඇගේ ගමන් වේගය අඩාල විය.

“ඇතුළට වරෙං…”

ළයට තුරුලු කරගත් දෑත් ඇති වහලිය මන්දිරයට ඇතුල්ව ස්වාමියා ඉදිරියේ ඍජු ව සිට ගත්තේ මුත් හිස ඔසවා බලන්නට අසමත් ව සිටියා ය. මෙවෙලේ ඇගේ මළානික දෑස් අතුරා තිබූ රතු පාට බුමුතුරුණේ එරී ගිය සිය දෙපා ඇඟිලි මත නතර ව තිබිණ.

“මේක ගණන් කරල ගනින්.”

එවර ඕ හිස ඔසවා බැලුවා ය. ස්වාමියාට නුදුරින් කලාලයේ හිඳ සිටි තලත්තෑනි අමුත්තා ඈ දෙසට මුදල් නෝට්ටු මිටියක් දිගු කළේ ය. වරක් පැකිළුණ ඕ ස්වාමියා වෙතින් නැවත අණ ලබන්නට පෙර ඉදිරියට නැමී නෝට්ටු මිටිය අතට ගත්තා ය.

“ඔතන ඉඳගෙන ගණං කරපං.”

මළපොතේ අකුරක් නොදැන සිටිය ද සුනීතාට මුදල් ගණන් කිරීමට පුළුවන. ඇයට මේ අපූරු පාඩම කියා දුන්නේ වහලියක් ව සිට මිය ගිය සැලීසා විසිනි.

“රූබල් විසිදාහයි.”

ඒ ගණනය කිරීම නිවැරදි ලෙස ම කර තිබුණෙන් ස්වාමියා අත්පොළසන් දුනි. එහෙත් ඒ වගක් සුනීතා නොදත්තා ය. ඕ සිතුවේ තමාට වැරදී ඇතැයි කියා ය.

“උඹ කැමති නම් ඕක තියාගනිං. ඕක උඹේ.”

“මට එපා.”

වහලිය එකවර ම පිළිතුරු දුන්නා ය. ඇයට විහිළු කථා නුපුරුදු ය.

“ඕවට මොකද කරන්නේ?”

ස්වාමියා නැවතත් ඇසුවේ ය.

“මට එපා. ඔබ ම ගන්න.” යි ඕ දෙවරක් නොසිතා ම කීවා ය.

“ඕක ඔතනින් තියල හොඳ එකී වගේ ඉක්මනට සැමී ව එක්කරගෙන වරෙං. වැඩිය පරක්කු කරන්නෙපා ඉක්මනට.”

ඒ හඬ තරමක් දයාර්ද ය. කාරුණික ය. මේ නම් ස්වාමියාගේ සුපුරුදු හඬ නො වේ. ඈට අමුත්තක් දැනුණි. ඇය එයින් බිය ගත්තා ය. සැමීව එක්කගෙන එන්ට කීම නිසා ඇගේ සිතේ බිය දෙගුණ තෙගුණ විය. කුමක් හෝ අවාසනාවන්ත දෙයක් සිදුවන්නට යන්නේ යැයි ඇගේ සිත මොරගාන්නට විය. දෙපා ඔසවා ගන්නට තරම් ශක්තියක් නැතිවා සේ ඕ ස්වාමියා දෙස බැලුවා ය. කිසියම් පැනයක් ඇගේ බැල්ම තුළ නතරව තිබිණි. පිළිතුරු වෙනුවට ඇයට ඇසුණේ මෙවැන්නකි.

“සැමී ව එක්ක වරෙං ඉක්මනට. ඉක්බානාට ඉක්මනට යන්න ඕනලු.”

සිත සිතා රැඳී සිටින්නට අවකාශයක් නැත. මේ ඉරහඳ යට අණට කීකරු වීම විනා අන් දෙයක් ඔවුනට ඉතිරිව ඇතිවා නො වේ. ආපසු හැරුණ සුනීතා සැමී ව සොයා ධාන්‍ය සැකසුම් ශාලාවට තරමක් ඈතින් පිහිටි අශ්වගාල දෙසට ඇවිද ගියා ය.

ඇත්තෙන්ම ඇය ඇවිද ගියා නොව තල්ලු වී ගියා ය. ඕ දෙපා එසෙව්වේ නැත. නමුත් යාන්ත්‍රික ව මෙන් ඇගේ දෙපා එසැවී ඇය ඉදිරියට තල්ලු විණි.

මව පැමිණෙද්දී සැමී සිටියේ තුවාල වූ අශ්වයෙකුට සාත්තු කරමිනි. සිය පුතු හැඳ සිටි කඩමාලු කලිසමත්, එවැනි ම වූ දිරා ගිය බැනියමත් දුටු සුනීතා අශ්වයාට සාත්තු කිරීම පිණිස සපයා දී තිබූ රෙදි දෙස මොහොතක් බලා සිටියා ය. ඇත්තටම ඒවා පිරිසිදු ය. වටිනාකමින් ද වැඩි ය. ඇගේ සිතට කෝපයක් හෝ ශෝකයක් හෝ නොදැනුණි. නමුත් වටහාගත නොහැකි ආගන්තුක සිතුවිල්ලක් ඉපදුණි.

“ඇයි?”

සැමී තමා දෙස බලා සිටිනා මවගෙන් ඇසුවේ අශ්වයාට කරමින් සිටි සාත්තුව නවතා දමමිනි. හිමිදිරියේ සිට මෙවැනි කටයුත්තේ ම නියැළී සිටි පහළොස් හැවිරිදි දරුවා ද වෙහෙසට පත්ව සිටියේ ය.

“අම්මා ආ එක හොඳයි. මට එපා වෙලයි තියෙන්නේ දවසෙ ම මේ සත්තු එක්ක හිටලා.”

මෙතෙක් උක්කුටියෙන් සිටි දරුවා පිදුරු ගොඬේ හරිබරි ගැසී ඉඳගනිමින් කීවේ ය. හෙතෙම මව හා සිනාසුණේ ය. නමුත් සුනීතාගේ මුවඟ සිනාවක් නොනැගිණි.

“උඹ ව එක්කගෙන එන්න කිව්වා.”

ඒ කථා කළේ නොකර බැරිකමට ය. ඇත්තටම මෙවෙලෙහි පුතු සමඟ කාලයක් ගත කරන්නට තිබුණේ නම් ඒ තරම් සතුටක් ඇයට තවත් නොවනු ඇත. ඔවුන් මුණගැසෙන්නේ රාත්‍රී අන්ධකාරයේ දී ය. හිමිදිරියේ දී ම ඔවුහු වෙන්ව යත්. හැමදාම එය එසේ ම සිදු වේ.

නමුත් මේ විසල් අහස යට කුරා කුහුඹවන්ට පවා ඇති නිදහස තරම්වත් දෙයක් ඔවුනට හිමිව නොතිබිණි.

“මා ව?”

සැමී ඇසුවේ පුදුමයෙනි.

“කවුද?”

“හාම්පුතා.”

ප්‍රශ්නත්, පිළිතුරුත් කෙටි ය. එහෙත් ඒ වචනවල පුදුමයත්, උද්වේගයත්, පිළිකුළත්, බියත් විසල් ව ගැබ්ව පැවතිණි.

පුතුගේ මුවඟ මෙතෙක් පැවති සොම්නස වහා අතුරුදහන් වනු සුනීතා දුටුවා ය. පුතු වෙතින් දෑස් ඉවත් කර ගත්තී, ආපසු හැරී ඍජු ව සිටගෙන කථා කළා ය.

“ඉක්මනට යමං. හැබැයි හොඳ දෙයකට කියල නම් හිතන්නෙපා.”

සැමී නැගිට්ටේ අලස හැඟීමෙනි. අසල තිබූ සාරවත් තණකොළ මිටියක් දකුණු පයින් අශ්වයාට ළං කළ හෙතෙම පල්මානික්කම් බඳුන ගෙන අශ්වයාට ළං විය නොහැකි දුරකින් තබා මවට සමීප ව නතර විය.

“ඇයි එහෙම කියන්නේ?”

දරුවාගේ ස්වරය තුළ ද කිසියම් ශෝකී බවක් ගැබ්ව ඇත.

“මට හරියට ම කියන්න තේරෙන්නේ නැහැ. නමුත් අද හාම්පුතා හරි අමුතුයි. අමුතු ආදරයක් කරුණාවක්.”

“ඉතිං, හොඳයිනේ?”

මව පුතු දෙසට හැරුණා ය.

“ඒ උඹ දන්න හැටි. අපි බය වෙන්න ඕන මුන්ගේ ගෝරනාඩු බැණුම්වලට විතරක් නොවෙයි. ආදරේට කරුණාවටත් බය වෙන්නෝන. මුං මහ මායාකාර, වංචාකාර ජාතියක්.”

“අම්ම කේන්තියෙන් කවදාවත් නැතුව.”

සැමීට මවගේ මේ වෙනස අලුත් අත්දැකීමකි. ඕ කේන්ති ගන්නේ කලාතුරකිනි. එයත් තමා පිළිබඳ ව හෝ පියා පිළිබඳ ව පමණකි.

“මතක තියා ගනිං. මේ ඉර අර පැත්තෙන් පෑව්වත් අපි වහල්ලු. උන් ස්වාමිවරු.”

සුනීතා කීවේ බටහිර අහසට අත දිගුකරමිනි. දරුවා හිස සලා එය පිළිගත්තේ ය.

“යමං”

මව පෙරටු වූවා ය. සැමී මව පසුපස්සේ වැටී ඇවිද ගියේ මව කියු දේ පිළිබඳ නැවත නැවත සිතමිනි. ‘අපි වහල්ලු’ ඒ අදහස ඔහුගේ සිතේ පැළපැදියම් විය.

දොරකවුළු කිහිපයක් අතරින් ඇවිද ගිය ඔවුහු අවසානයේ දී විසිත්ත කාමරයේ වාඩි වී සිටි හාම්පුතා ඉදිරියේ නතර වූහ.

“උඹ පලයං.”

සුනීතාට අණ ලැබිණ. සැමී ව තනිකර යාමේ සිතක් ඇයට නොවිණ.

“මං කිව්වනේ උඹ පලයං.”

දෙවෙනි වර හඬ සැර ය. ඇගේ සිතේ වූ ඉව නිවැරදි ය. ඒකාන්ත වශයෙන් ම කිසියම් අවාසනාවන්ත දෙයක් සිදුවෙන බවට තවත් සැක සංකා අවැසි නො වේ.

“යන්න නේ ද කිව්වේ?”

අසරණ ගැහැනිය පස්සෙන් පස්සට ගියේ දරුවා වෙතින් දෑස් ඉවත්කර නොගනිමිනි. අවසන ඈ දොර රෙද්දකට වසන් ව නතර වූවා ය.

“ගාණ වැඩියි. මූ පොඩි එකෙක්නේ.”

ඉක්බානා කීවේ සැමීගේ කේශාන්තයේ සිට පාදාන්තය තෙක් විමසා බලමිනි. තමා කීවේ ඇත්තක් නොවන බව ඔහු දනී.

“පොඩි උනාට ඕන වැඩක් පුළුවන්. එපා නං මෙන්න සල්ලි. මටත් වැඩ තියෙනවා.”

ස්වාමියා කුර්තා කමිසයේ සාක්කුවෙන් නෝට්ටු පොදිය එළියට ගන්නා අයුරු දුටු සුනීතාට සිදුවෙන්නට යන දේ පිළිබඳ හොඳින් ම තේරුණි. ඇගේ දෙපා වෙව්ලන්නට විය. ඕ මොහොතක් ඉවසුවා ය.

“කමක් නැහැ මං මූව ගෙනියනවා. රූබල් විසිදාහක්. කොල්ලෝ මතක තියාගනිං. උඹව රූබල් විසිදාහක් වටිනවා.”

“එපා!”

ගනුදෙනුකරුවන්ට කලින් සුනීතා සැමී වෙතට දිව ගියා ය. ඕ සිය පුතා ව සිය කෙසඟ දෑතින් වෙලා ගත්තා ය.

“එපා! එපා! ඔබ සැමී ව විකුණන්නෙපා. එයා කිසි කම්මැලිකමක් නැතුව වැඩ කරනවා. ඔබට පාඩු වේවී. අශ්වගාල විනාශ වේවී.”

සුනීතා ආයාචනා කළා ය. ස්වාමියා කරුණාවක් මවාගෙන ඔවුනට සමීප විය.

“ඒක ඇත්ත. මූ ව දීලා මට පාඩුයි. ඒත් මට මේ වෙලාවේ මුදල් ඕන. මූව නොවික්කොත් මට අශ්වයෙක් ව හරි විකුණන්න වෙනවා.” යි කියූ හෙතෙම මවගෙන් දරුවා ව ගලවාගෙන ඉක්බානාට භාර දුන්නේ ය.

සුනීතාගේ හුස්ම නතර විණ. විසල් කර ගත් දෑසින් ඕ ස්වාමියා දෙස බැලුවා ය.

“උඹ තාම තරුණයි නෙව. තව පැටියෙකු ව වදපං. ඔන්න මං අද ම පොරොන්දු වෙනවා මං ඌ ව නම් විකුණන්නේ නැහැ.”

ස්වාමියා සිනාසුණේ ය. එය වියරු සිනාවකි. සුනීතා එතන ම සිහිසුන් ව ඇද වැටුණා ය. සැමී මවට කිට්ටුවෙනු දුටු ස්වාමියා,

“උඹ පලයං, අපි එයා ගැන බලාගන්නම්” යි කීවේ ය.

සැමීට අලුත් ස්වාමියෙක් ලැබිණ. මන්දිරයේ මිදුල් කොණේ දී සැමීගේ ඉණ වටා හම්පටියකින් ගැට ගැසූ ඔහු පටියේ අනෙක් කෙළවර ගෙන සැදෑලයට පා තබා එක්වර ම අශ්වයාගේ පිටමත හිඳ ගත්තේ ය.

“යමං”

සැතපුම් දහතුනක දුරක් සැමීට එසේ ගමන් කරන්නට සිදුව ඇත. හේ අණට කීකරු ව අශ්වයාට සමාන්තර ව ගමන් කරන්නට විය.

සුනීතාට සිහිය ලැබුණේ බොහෝ වේලාවකට පසුව ය. එවෙලෙහිත් ඈ සිටියේ වැටුන තැන ම ය. ඈ ගැන කිසිවෙකුත් සොයා බලා නොතිබුණි.

මිනිත්තු කිහිපයක දී සිදු වූ දේ සිහිකර ගත් ඕ වේගයෙන් ගේට්ටුව වෙත දිව ගියා ය. ඈ එහි යද්දී අහස උසට නැගුණ තාප්පය විසින් දරා සිටි කළු පාට යකඩ ගේට්ටුව තදින් වැසී පැවතුණි.

“සැමී……”

ඇගේ හඬ පිට නො වී පපු කුහරයේ ම සිරවිණි.

සුනීතා වැඩට නොගොස් කෙළින් ම සිය අඳුරු නිවස්න සොයා ගියා ය. ඇයට උවමනාව තිබුණේ සිතේ දුක කඳුළුවල දියකර හරින්නට ය. තමාට ආයේ කවදාවත් සිය පුතුව දකින්නට නොලැබෙන බව සිහිවෙද්දී ඇගේ ළය මඬල උණුවෙන්නට විය.

දහවල පසුවෙද්දී පාන් පෙති කිහිපයක් සමඟ බෝංචි ඇට තැම්බූ වතුර එකක් තවත් වහලියක විසින් සුනීතා වෙත රැගෙන එනු ලැබිණ. කෑමට තබා එදෙස බැලීමට තරම්වත් සිතක් නො වේ සුනීතාට තිබුණේ.
“පානුයි, බෝංචි වතුරයි”

අනෙක් වහලිය ඊට වඩා වැඩි යමක් නොකීවේ මේ දවස, මේ අත්දැකීම ඇය ද මේනයින් ම අත්විඳ තිබූ නිසාවෙනි.

“මේ අත් දෙකෙන් මුන්ට බෝංචි ඇට කඳු ගණන් ගලවල දෙන්න ඇති. අපිට ලැබුණේ තම්බපු වතුර විතරයි. අන්තිමට මුන් මගේ ලේ ටිකත් උදුරලා අරගෙන විකුණගත්තා.” යි ඕ තම සිතුවිලි නොබිය ව ම කීවා ය. පිළිතුරක් නොදුන් අනෙක් වහලිය අඳුරු නිවසින් පිටව ගියා පමණකි.

රාත්‍රී අන්ධකාරය අතරින් නිවසට කිසිවෙකු ඇතුල්වෙනු සුනීතා දුටුවා ය. ඇය ඉද්ද ගැසුවාක් මෙන් ඇඳෙහි හිඳගත්තා ය. ඇය ඔහු ව හඳුනාගත්තී ය.

“උන් සැමී ව විකුණුවා.”

ඇගේ හඬ කුඩා නිවසින් එළියටත් විසිරුණි.

“මං දන්නවා.”

බාලිද් කීවේ එපමණි. ඔහු සීතල පොළවේ දෙපා විහිදුවා හිඳගත්තේ ය.

“දුක නැද්ද? තරහා නැද්ද?”

සුනීතා ඇසුවේ සිය සැමියා සමඟ ද කෝපයෙනි.

“දෙක ම තියෙනවා. ඒත්…”

ඔහු කියන්නට ආ දෙය ගිලගත්තේ ය. ඒත් කරන්නට දෙයක් නැති බව සුනීතා ද දන්නී ය. ඇයට සිය අතීතය සිහි විය.

වහලෙකුට දා ව වහලියකගේ කුසින් තමා මෙලොව එළිය දුටුවේ මේ වත්තේ මෙවැනි ම අඳුරු ගුහාවක දී ය. බාලිද් ද එසේ ම විය. දෙදෙනා එක්ව ළමා කාලයේ වසර දෙකක් පමණ එකට සෙල්ලම් කරන ලදී. යන්තම් වසර හයක් වන විට තමාට බෝංචි ඇට ගලවන්නට සිදු වූයේ සිය මව සමඟිනි.

සම වයසේ සිටි බාලිද්ට ද අශ්ව බෙටි අයින් කරන්නටත්, සර්බි මිටියාවතේ ඇවිද ගොස් ගොම එකතු කරගෙන එන්නටත් සිදු විය. මුළු ළමා කාලය ඉනික්බිති ඒ සඳහා ම ගත ව ගියේ විය.

“උඹලා අද ඉඳලා ඉන්නේ මේකේ. පුළුවන් තරම් දරුවෝ හදපල්ල. අපි සතුටු වෙන තරමට පැටව් දුන්නොත් උඹලව නිදහස් කරන්න උනත් පුළුවනි.”

දවසක් ස්වාමියා තමාවත්, බාලිද්වත් මේ නිවස වෙත කැඳවාගෙනවිත් කීවේ ය. දෙදෙනාගේ ජීවිතේ ඉතිරි දවස් අවුරුදු දා හතක් ම ගෙවී ගියේ මේ ගුහාවේ ය.

“ඇයි?”

බාලිද් දරුවන් හදන්නට තදින් ම අකැමති විය. සුනීතා එවෙලේ ම මේ පැනය අසන්නී ය.

“දරුවෝ හදන්න කියන්නේ අපිට ආදරේට නොවෙයි. උන්ගේ වාසියට. මං කැමති නැහැ තව මනුස්සයෙක් අපි වගේ ම දුක් විඳිනවා බලන්න.”

දරුවෙකු පිළිබඳ තමා තුළ වූ තදබල ආශාව බාලිද්ගේ අදහසට තදින් ම විරුද්ධ විය. එදා එසේ නොවුණා නම් අද මේ දුක නැතැයි සුනීතාට සිතුණි.

සුනීතා නැඟිට ගොස් ඉටිපන්දම් කෑල්ලක් සොයාගෙන දල්වා සැමියා අසලට සමීප විය. දුර්වර්ණ ඉටිපන්දමෙන් නැගෙන දුබල ආලෝකයෙන් ඕ සැමියාගේ ආවේගශීලී හැඟීම් දුටුවා ය.

“කොහොමද මෙහෙම වුණේ?”

සුනීතාගේ ප්‍රශ්නයෙන් බාලිද්ගේ හඬ අවදි විය.

“උන් කාලයක් තිස්සේ උපක්‍රමික ව ඒක කළා. හැම අතින් ම අපි වටා දැල දැම්මා.”

“ඒ කොහොමද?”

සුනීතා බාලිද් ව කථාවට දිරිමත් කරමින් ඇසුවා ය.

“උන් මුලින් ම අපේ ගම්මානවලට ආවේ අපේ සත්තුන්ගෙන් කිරි අරගෙන යන්න. උන් ගොඩක් වැඩිපුර කිරිවලට ගෙව්වා. ගමේ හැමෝම කරපු දේ තමයි ඒ වෙනකම් කරගෙන ආව විදිහට ගමේ පොඩි පොඩි කර්මාන්තවලට කිරිදෙන එක නවත්තලා වැඩි ගාණට කිරි විකුණපු එක. වැඩි කාලයක් යන්න ඉස්සර ගමේ ඔක්කොම කිරි කර්මාන්ත වැහිලා ගියා. අපේ කිරි වැඩි ගාණට විකුණලා උන්ගෙන් අපි බටර් වගේ දේවල් ඊටත් වඩා වැඩි මිලට ගත්තා.

ටික කාලය යි ගියේ උන් කිරි මිල අන්තිම පහළට දැම්මා. ගම්මානවල කාටවත් මොකුත් කරකියා ගන්න බැරි වුණා. සත්තු හදන එක තේරුමක් නැති දෙයක් වුණා. ඊට පස්සෙදි උන් හිතාගන්නවත් බැරි තරම් වැඩි මිලට සත්තුන් ව ගත්තා. ඒ පාර අපේ උන් සත්තුන් ව විකුණුවා. අන්තිමට වගා ඉඩම්වල වැඩටත් ඉතුරු උන සත්තු ටික මදි වුණා. ඉතිරි වුණේ නාකි සත්තු විතරයි.

ඔය විදිහට වගා ඉඩම් මුඩුබිම් බවට පත් වුණා ගම්මානවල මිනිස්සුන්ට කන්න බොන්න පවා හිඟ උනා. ඒ වෙද්දී දහය දොළහ ළමයි හිටිය පවුල්වල දරුවෝ තමන්ගේ පවුල දරුවෙකුට, දෙන්නෙකුට සීමා කළා. පවුලක ළමයි තුන් හතර දෙනෙක් හිටිය නම් කලාතුරකින්.

දේව කෝපයකින් වගේ ඊ ළඟට ගමේ උන් ඉතුරුවෙලා හිටිය සත්තුන්වත් මරාගෙන කන්න පටන් ගත්තා. හොරකමත් වැඩි වුණා. ඔක්කොටම වඩා සුරාව.” යි කියූ බාලිද් දිගු සුසුමක් හෙළා තරමක වේලාවක් ගත්තේ ය. සුනීතා කථාවට බාධා නොකර උවමනාවෙන් අසා සිටියා පමණි.

“ඊට පස්සෙ දී?”

බාලිද් කථා නොකරනු දුටු සුනීතා ඇසුවා ය.

“ඊට පස්සේ ගම්මානවල උන් තමන්ගේ ලේ මස් වගේ තිබ්බ ඉඩම් ටික කුණු කොල්ලයට උන්ට විකුණලා දැම්මා, තමන්ට ඉන්න විතරක් පොඩි බිමක් තියාගෙන. ඒ සල්ලිත් ඉවර වෙත්දී ඒ තාක් කවදාවත් කිසිම කෙනෙකුට අතනොපා හිටිය ගම්මු තමන්ගේ ගෑනුන්වයි, කෙල්ලන්වයි උන්ගෙ ගෙවල්වල වැඩකාරකමට නගරෙට යැව්වා. එහෙම ගිය එකියන්ගෙන් සමහරක් ව උන් බලහත්කාරයෙන් ම තියා ගත්තා. අනෙක් එකීලා නගරේ උන්ගේ කෙළි බඩු වෙලා නගරෙ ම නැවතුනා.

ගමේ ඉතිරි වුණ පිරිමි ගෑනු නැති කාංසියටත් එක්ක වැඩියම බොන්න පුරුදු වුණා. ගෑනුත් කීයක් හරි එව්ව නිසා වොඞ්කා වගේ ලොකු ලොකු බීමත් පුරුදු වුණා. අන්තිමට කාලකන්නි වගේ මැරිලා යද්දි තමයි උන්ගේ තරම අපිට පෙන්නුවේ.

උන් කණ්ඩායම් වශයෙන් ගම්මානවලට පහර දුන්නා. පුළුවන් තරම් මරලා දැම්මා. යටත් වෙච්ච උන් ව වහල්කමට අරන් ගියා. අන්තිමට උන්ගේ නීතිය රජ වුණා. ඔන්න ඔය විදිහටයි ඒක සිද්ධ වුණේ.”

සුනීතා නැඟිට ගොස් අලුත් ඉටිපන්දමක් සොයාගෙනවිත් ඒ වන විට දැල්වී අවසන් වෙන්නට ආසන්න දුර්වර්ණ ඉටිපන්දමෙන් දල්වා ගත්තී, පරණ ඉටිපන්දම කටින් පිඹ නිවා දැම්මා ය.

“මගේ හිතෙත් වෛරයක් තියෙනවා.”

බාලිද් කීවේ ය.

“වෛරයට මේකට විසඳුමක් දෙන්න බෑ.” සුනීතා කීවා ය.

“වෙන්නැති ඒත්…!”

“ඒත් නෙවෙයි… අපි දරුවෝ හදමු. අපේ පරපුර අපි එකතු වෙලා රැකගත්තොත් කොතනින් හරි එකෙක් නැගිටලා ඇවිත් අනෙක් උන්වත් එකතු කරගෙන මේක වෙනස් කරාවි.”

“ඒකට කාලයක් ගත වේවි.”

බාලිද් කීවේ ඇගේ යෝජනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරමින් නො වේ.

“ඔව්, ඒත් ඒක සිද්ධ වේවි. අපි හිතුවොත් ඒක එච්චර අමාරුවෙන එකක් නෑ.” යි සුනීතා ද පෙරළා කීවා ය.

බාලිද් බොහෝ කලකට පසුව සිය බිරියට සමීප විය. අද මේ අඳුරු නිවසේ සැමී නැත. සිතේ ශෝකයක් වී ද හෙතෙම මහත් ආදරයෙන් සුනීතා ව වැළඳ ගත්තේ ය. සුනීතාට මෙතෙක් කලක් අපුල ව දැනුණ බාලිද් වෙතින් නැගෙන අමු ගොම ගඳ නැවුම් සුවඳක් ලෙසින් දැනෙන්නට විය…….

*****************************************************

කෙටි කථාව කියවා අවසන් වෙත්දී ධම්මිකාගේ ළය රිදී ඒ රිදුමෙන් නැගුණ කඳුළු ධාරා දෙනෙතින් ගලන්නට විය. පොත පපුවට ම තුරුලුකර ගත් ධම්මිකා තදින් දෑස් පියා ගත්තා ය.

ඇයට තම මහලු මව ළඟ හැදී වැඩෙන සිය පුතු ව සිහි විය. තමා දුරු රට පැමිණි පසු බේබද්දෙකු බවට පත් වූ ස්වාමියා ව සිහි විය. බාලිද්ලාගේ පරම්පරාවට පමණක් නොව තමන්ට ද වැරදී ඇති බව ධම්මිකාට ද සක්සුදක් සේ පැහැදිලි ය.

ඇයට සිය රටවැසියන්ට ම මේ කථාව කෑ ගසා කියන්නට තරම් සිතක් ඉපදුණි. එහෙත් කෙසේ කියන්න ද? ඕ කාමරයේ දොර ඇරගෙන සෙමෙන් සෙමෙන් තරප්පුපෙළ නැඟ උඩුමහලේ එළිමහන් කොටසට පිවිස වැලිකතර සිසාරා යන බැල්මක් හෙළුවා ය. හිස් අහසට නැගුණ විසල් මන්දිරත්, හුදෙකලා ඉඳි ගසුත් හැරෙන්නට අන් යමක් ඇගේ දෑසට හසුනොවිණි. තමා වැනි සිය දහස් ගණනක් මේ වැලිකතරේ වහල් බවට පැමිණ තිබේ යැයි සිහි කළ ඇගේ ළය රිදුම තීව්‍ර විය.

ධම්මිකා පහළ බැලුවා ය. තමා ද සුනීතා මෙනි. විසල් තාප්පයකින් ද කළුපාට යෝධ ගේට්ටුවකින් ද සිරව ඇති බව ඕ දුටුවා ය. එහෙත් සුනීතාට මෙන් නොව තමාට තවමත් මිදී යා හැකි නොවේදැයි සිහි කළ ඕ තරමක සැනසුම් සුසුමක් හෙළුවා ය.

පසුවදන:-
බාලිද්ලාගේ ජාතියට අත් වූ ශෝචනීය ඉරණමේ අඳුරු සෙවණැල්ල දැනටමත් අප මත වැටී ඇත. තවමත් අප ප්‍රමාද නැතැයි විශ්වාසයක් ද මා තුළ ඇත. නමුත් මට නොතේරෙන එක් දෙයක් ඇත. එනම් ශතවර්ෂ ගණනක් පුරාවට අදීන වූත්, අතිශය සාඩම්බර වූත් ජාතියක් වූ අප මිසදිටු නොරටුන්ගේ බැලමෙහෙවර කරන්නට තරම් දීන ජාතියක් වූයේ කෙසේ ද යන්නයි.

සටහන – චන්දන එස්. කුමාර