සැබෑ දියුණුවේ රන් දොරටුව
‘දියුණුවේ රහස්’ නමින් බොහෝ මතවාද සමාජ කතාබහට ලක් වනු අපට අසන්නට දකින්නට ලැබේ. සැබැවින් ම දියුණුවේ, රහස් තිබේ ද? අනාවරණ ප්‍රඥා ඇති සම්බුදුරජාණන් වහන්සේට තුන්ලොව කිසිදු රහසක් නොවූ නිසාවෙන් දියුණුවට පත් වීම පිළිබඳව ද උන්වහන්සේට රහස් නැත. උන්වහන්සේගේ අවබෝධය ප්‍රකාශිත උතුම් ශ්‍රී සද්ධර්මය තුළ දියුණුවට මංපෙත් මැනැවින් පෙන්වා දී තිබෙන නිසා අප පිළිගත යුත්තේ දියුණුවට ඇති මඟ ලෝකයට කිසි ම රහසක් නොවන බව ය. අද අප කථා කරන්නේ ද දියුණුව වෙත පිවිසීම පිණිස වන ස්වර්ණමය දොරටු පිළිබඳ ව ය.
ඊට පළමු, තථාගතයන් වහන්සේ නොකළ යුතු යැයි පනවා වදහළ වෙළෙඳ කටයුතු පහක් ඇති බව අප උගත යුතු ය. ඒවා නම්,
1. සත්ව ඝාතනය පිණිස වූ ආයුධ
2. වහල් සේවය පිණිස මිනිසුන්
3. මස් මාංශ පිණිස සතුන්
4. මත්පැන් හා මත්ද්‍රව්‍ය
5. වසවිෂ
නොකළ යුතු වෙළෙඳාම් පහ යනු දියුණුවට ක්රමෝපායන් සංවිධානයෙහි ලා සාර්ථක ම පිළිවෙත වෙත පිවිසෙනු කැමැති අප උගන්නා පස්වන පාඩම යි. අප තෝරා ගන්නා ව්‍යාපාරය මේ වෙළෙඳාම්වලින් බැහැර වූ දෙයක් විය යුතු වීම අනිවාර්ය වේ.
මෙලොව ද පරලොව ද දියුණුව ඇති කරලන දොරටු පිළිබඳ අද අප උගන්නා ධර්ම පර්යාය දීඝජාණු නම් කෝලිය කුලපුත්‍රයා විසින් අසන ලද්දකට සම්බුදුරජාණන් වහන්සේ වදාරණ ලද කරුණයි. ඔහු විමසූයේ, ගිහිගෙයි වසන, කසී සළු හඳින, රන් රිදී මුතු මැණික් පරිහරණය කරනවුන්ගේ මෙලොව සැපය – යහපත පිණිසත්, පරලොව සැපය – යහපත පිණිසත් උපකාරක වන ධර්ම පර්යායකි.
මෙය අප උගන්නා සයවන පාඩම යි. සැබෑ දියුණුව කැමැත්තෝ මෙලොව පමණක් නොව පරලොව ද යහපත, සැපය සෙවිය යුතු ය.
එවිට සම්බුදුරජාණන් වහන්සේ මෙලොව සාර්ථකත්වය පිණිස පවත්නා කාරණා හතරක් වදාළ සේක. ඒවා පහත දැක්වේ.
1. උට්ඨානසම්පදා
එනම් නුවණින් යුක්තව නැගී සිටීම යි. කරන්නේ කවර රැකියාවක් වේවා, ඒ ගැන දක්ෂ විය යුතු ය. කම්මැලි නොවිය යුතු ය. උපායශීලී නුවණින් යුක්ත විය යුතු ය. පර්යේෂණයේ යෙදිය යුතු ය. මනා කළමනාකරණයක යෙදිය යුතු ය.
මෙලොව සාර්ථකත්වය පිණිස වදහළ එකරුණේ ඇත්තේ ප්‍රායෝගික වැඩපිළිවෙළකි. නොපෙනෙන ලෝකයකින් දියුණුව ඉල්වා කරන යැදීම්, බලි බිලි පුද දීම්, ඇදහිලි එහි නො වේ. එවන් මිථ්යාදෘෂ්ටිවල එල්බ නොගත් බටහිර ජාතීන් නොදැන වුව ද බුදුරජාණන් වහන්සේ වදාළ මේ න්‍යායේ පිහිටා කටයුතු කොට දියුණුවට පත්ව තිබෙනු අපට දක්නට හැකි ය. දැන් සිහි තබා ගන්න. සත්වන පාඩම උට්ඨානසම්පදාව යි.
2. ආරක්ඛසම්පදා
එනම්, ඉපැයූ දේ රැක ගැනීම යි. දෑත දෙපයේ වීරියෙන් දහඩිය වගුරුවමින් ධාර්මික ව ඉපැයූ භෝග සම්පත් රජුන් විසින් හෝ සොරුන් විසින් හෝ පැහැර ගනු නොලැබෙන ලෙසින් ද ස්වභාවික ව්‍යසනයකින් විනාශ නොවන ලෙසින් ද විනාශකාරී ඥාතීන්ගෙන් හානි නොවන ලෙසින් ද පිළියම් යොදා රැක ගත යුතු ය. ආරක්ඛසම්පදාව දියුණුව වෙත යොමු වූ ගමනේ අට වන පාඩම යි.
3. කල්යාණමිත්තතා
කලණමිතුරන් ඇසුරු කිරීම යි. කලණමිතුරා යනු දුකටත්, සැපටත්, හොඳටත්, නරකටත් ළඟින් ම හිඳිනා අඹ යහළුවා නො වේ; සම්බුදුරජාණන් වහන්සේ වදහළ ධර්මවිනය දන්නා, ඒ අනුව පිළිපන් ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, ත්‍යාගවන්ත, ප්‍රඥාවන්ත බුද්ධ ශ්රාවකයා ය. ඒ කෙනා නිතර ඇසුරු කළ යුතු ය, භජනය කළ යුතු ය, සාකච්ඡාව පිණිස තෝරා ගත යුතු ය. ඒකාන්තයෙන් ම මෙලොව දියුණුව සලසන මේ කරුණ හිමි බෞද්ධයන්ට පමණ ය. උට්ඨානසම්පදාවත්, ආරක්ඛසම්පදාවත් ලොව කා හට වුව ද සැපිරිය හැකි වුව ද කල්යාණමිත්තතා එසේ සියල්ලන්ට ලැබිය නොහැකි ය. බුදු සව්වනට පමණක් ම උරුම වූ කල්‍යාණමිත්තතාව අප මෙහිලා උගන්නා නවවන පාඩම යි.
4. සමජීවිකතා
එනම්, ආදායමට ගැළපෙන අයුරින් වියදම් සිදු කිරීම යි. මෙය ඉතා සාර්ථක ප්‍රතිඵල ගෙනෙන ආර්ථික න්‍යායකි. තමන් විසින් උපයන ලද ආදායම දැන, කළ යුතු වියදම ද දැනගෙන ආදායම ඉක්මවා වියදම නොපවත්නා පරිදි, ආදායමට නොගැළපෙන ආකාරයෙන් වඩාත් උසස් නොවූත්, වඩාත් හීන නොවූත් සමබර ජීවිතයක් ගත කරන්නවුන් නිසැකයෙන් ම මෙලොව දී ම මහත් අභිවෘද්ධියකට පැමිණේ. සමජීවිකතාව වනාහී, දහවන පාඩම යි.
මෙලොව ලෞකික දියුණුව සලසන මේ පිළිවෙත්හි යෙදෙමින් ලබනා සාර්ථකත්වය වළකන පිරිහීමේ දොරටු සතරක් ද වේ. ඉත්ථිධුත්තෝ හෙවත් සල්ලාලකම, සුරාධුත්තෝ හෙවත් බේබදුකම, අක්ඛධුත්තෝ හෙවත් සූදුව, පාපමිත්තෝ හෙවත් පාප මිතුරු ඇසුර ඒ පිරිහීමේ දොරටු සතරයි. ඒ පිරිහීමේ දොරටු සතර සහමුලින් ම වසා දැමිය යුතු බව අප උගන්නා එකොළොස්වන පාඩම යි.
කරුණු හතරකින් යුතු වී කරුණු සතරක් බැහැර කිරීමෙන් නිසැක ව ම අප මෙලොව දියුණුව කරා පැමිණේ. දියුණු පමුණු කළ යුතු කරුණු සතර නම්, උට්ඨානසම්පදා, ආරක්ඛසම්පදා, කල්යාණමිත්තතා සහ සමජීවිකතා ය. බැහැර කළ යුතු කරුණු සතර නම් ඉත්ථිධුත්තෝ, සුරාධුත්තෝ, අක්ඛධුත්තෝ හා පාපමිත්තෝ ය. මෙසේ මෙලොව දියුණුව නම් වූ ඇස පිරිසිදු කර ගත යුතු ය. නමුත්, පිරිසිදු කර ගත යුත්තේ එක ඇසක් පමණක් නො වේ. පරලොව දියුණුව නම් වූ ඇස ද අප උපදවාගෙන රැක ගත යුතු ය, මැනැවින් පිරිසිදු කළ යුතු ය. එයට හේතුපාදක වන සතර කරුණු ද මේ උතුම් ධර්ම පර්යායෙහි ලා සම්බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. එකරුණු සතර යමෙකු තුළ දියුණු වන්නේ නම් ඔහු අන් අයට කල්යාණමිත්රයෙකි, මන්ද පරලොව දියුණුව පිණිස වන මේ කරුණු සතර කල්යාණමිත්රයා තුළ ප්‍රකට වන කරුණු සතර ම වන නිසා ය.
සද්ධාසම්පදා, සීලසම්පදා, චාග සම්පදා සහ පඤ්ඤාසම්පදා යන ගුණයන්ගෙන් යුතු වීම යනු දියුණුව පිණිස වන ව්‍යායාමය තුළ අප උගන්නා දොළොස්වන පාඩම යි.
සද්ධාසම්පදා යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම යි. උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් උපදවා ගත්තෙකු වුව මරණින් මතු සුගතිගාමී වන බව තථාගත වූ සම්බුදුරජුන්ගේ අවබෝධය යි. එයට ගුණ වශයෙන් දැන ගනිමින් උන්වහන්සේ ශාස්තෘන් වහන්සේ ලෙසින් දරා ගත යුතු ය. දියුණු වනු කැමැත්තෝ ශ්රද්ධාවට පැමිණෙත්වා!
සීලසම්පදා යනු සිහියෙන්, වීරියෙන් රක්නා සිල්පද ඇති බව යි. පරලොව සුගතිගාමී වීම සීලානිශංසයකි. මේ වනාහී දෙලොව ම යහපත, දියුණුව සලසාලන උත්තම ප්‍රතිපදාවකි. දියුණු වනු කැමැත්තෝ මැනැවින් සිල් රකිත්වා!
චාගසම්පදා යනු පරිත්‍යාගශීලී බව යි. හේ නිතර ම දන් දීමට යමක් තබාගෙන සිටින්නෙකි, පරිත්‍යාගයෙහි – දන්පැන් බෙදීමෙහි ඇලී සිටින්නෙකි, යමක් ඉල්ලීමට ඔහු සුදුසු ය. (චාගසම්පදාව කෙබඳු විය යුතු ද යන්න මහාමේඝ මැදින් කලාපයේ ‘චාගානුස්සති භාවනාව’ ලිපියෙන් පැහැදිලි කොට තිබේ.) මසුරුමළ දුරු කරන සිත් ඇතිව ගිහිගෙයි වසන ඔහු වනාහී නිසැකයෙන් ම පරලොව ද දියුණුව ලබන්නෙකි. දියුණුව කැමැත්තෝ දන් දීම හුරු කරත්වා! (මෙය අප මීට පළමු ද සිහි කර ගත් පාඩමකි.)
පඤ්ඤාසම්පදාව යනු විදසුන් නුවණ යි. මනා කොට දුක අවසන් වීම පිණිස පවත්නා වූ ආර්ය ප්‍රඥාව යි. අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ දේ ඒ අයුරින් ම දකිමින් ධර්මානුකූල ව සිත මෙහෙයවන්නා එයින් සමීප වන්නේ චතුරාර්ය සත්‍යාවබෝධයට යි. දුකින් නිදහස් වීම පිණිස පවත්නා ඍජු මාවතේ තබන කිසිදු පියවරක ආපසු හැරීමක් නැත. එය මෙලොව ද පරලොව ද නිසැක දියුණුවකි. දියුණුව කැමැත්තෝ ප්‍රඥාව වඩත්වා!
මෙවර අප උගත් පාඩම්, හයේ සිට දොළහ දක්වා අංකණය කළ බව සැබෑවකි. හුදෙක් ලේඛන පරමාර්ථය සලකා එසේ කළ ද මෙම ලිපිය අප විසින් පුරුදු පුහුණු කළ යුතු ලක්ෂ කෝටි සංඛ්‍යාත පාඩම් ගණනාවක සාරාංශයකි. දියුණුව කැමැත්තෝ අනලස් ව මේ ප්රතිපදාවන්හි නියැළිය යුතු ය. මේ මේ කරුණෙහි යෙදීමෙන් ඔබ නිසැක ව ම මෙලොව ද පරලොව ද දියුණුව ලබන බවට සසර පුරා ම සත්‍යවාදී වූ සම්බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. එසේ නම් කුමට පසුබට වෙමු ද? පිනැත්තනි, නුවණැත්තනි, දියුණුවේ රන් දොරටු හැර ගනු මැනැවි…!
ඔබට තෙරුවන් සරණයි!
ඇසුර – වණිජ්ජා සූත්‍රය (අං. නි. 3), ව්යග්ඝපජ්ජ සූත්‍රය (අං. නි. 5)
සටහන – සරත් එම්. හේවාවිස්ස
Recent Comments