මේ මහ පොළොවේ සොඳුරුතම අවධිය ගැන සොයා බලනු රිසි වූ අයෙකුට බොහෝ ඈත අතීතයට යාමට සිදු වන්නේ ය. ස්වල්ප කාලයක් නොව වසර 2600කිනුත් එහාට ය. සැබැවින් ම ඒ මේ මහ පොළොවේ අතිශය සුන්දර ම කාල වකවානුවයි. කවියකට, ගීතයකට, සිතුවමකට නැගිය නොහැකි ඒ විස්මිත යුගයේ සුන්දරත්වය කෙතරම්දැයි වචනයෙන් විස්තර කළ නොහැක්කේ ම ය. ඒ බවට මේ මහ පොළොව ම සාක්ෂි සපයනවා ඇත.
සැබෑවට ම ලෝකයක් සුන්දර වන්නේ කුමකින් ද?
සුන්දර ගොඩනැගිලිවලින් ද? සුන්දර උද්‍යාන පැන් පොකුණුවලින් ද? සතා සිවුපාවන්ගෙන් ද?
නැති නම් ගුණධර්මයන්ගෙන් පිරී ගිය උතුම් වූ මනුෂ්‍ය රත්නයන් නිසාවෙන් ද? සැබැවින් ම එය නම් විමසා බැලිය යුත්තක් ම ය.
මේ මුළු මහත් පොළෝතලය ම කම්පා කරවමින් මනුලොව උපත ලද, පොළොවෙන් මතු වූ පියුම් සතක් මත සිඟිති පියවර තබා ඇවිද ගිය, මේ මිහිකත ම සාක්ෂි දෙන්නට ඉදිරිපත් වෙද්දී දස බිම්බරක් මාර සේනාව පරාජයට පත්කර පොළොව කම්පා කරවමින් ස්වයංභූඤාණයෙන් සියලු කෙලෙසුන් නසා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ අසමසම තුන්ලෝකාග්ර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසාවෙන් ය මේ මහ පොළොව අතිශයින්ම සොඳුරු බිමක් බවට පත් වූයේ. එමෙන් ම ඒ මහා කාරුණික ශාස්තෘන් වහන්සේගේ ළය මඬලෙහි උපන් දරුවන් වැනි වූ උතුම් මහරහතන් වහන්සේලා නිසාවෙන් ය මේ මිහිමඬල සුන්දර වූයේ.
අපගේ ලෝකස්වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේත්, උතුම් ශ්‍රාවක සංඝරත්නයත් මේ ලෝක සත්වයාට යහපත ම සලසමින් වැඩ වාසය කළ සේක. උන්වහන්සේලා මේ ලෝකයට කරදරයක් නොවුණ සේක. මේ මිහිකතට පීඩාවක් නො වී මිහිමඬල සනහ සනහා සිරිපා තබමින් වැඩම කළ ඒ උතුමන් වහන්සේලා නිසා සැබැවින් ම මේ ලෝකය අතිශයින් ම සුන්දර වී ගියේ ය. කොතරම් සොඳුරු වී ද යත් මහේශාක්‍ය දෙව් බඹුන් ද නිතර මේ මනුලොවෙහි පය තබා ඇවිද ගියෝ ය. ඒ වෙන කිසිවකටත් නොව ආදිච්චබන්ධු වූ, විස්මිත බුද්ධි ප්‍රභා ඇති ශාස්තෘන් වහන්සේවත්, සංවර ඉඳුරන් ඇති නොකැළඹුණු සිතින් වැඩ වාසය කළ උතුම් මහරහතන් වහන්සේලාවත් ඇසුරු කිරීමට ය.
මොන තරම් අසිරියක් ද!
ඒ සියලු දෙව් බඹුන් පැමිණියේ ලොව සුන්දර ම යුගයක බව නම් සැබෑවක් ම ය. අපගේ සම්බුදුරජාණන් වහන්සේ වරෙක මෙසේ වදාළ සේක.
“ගාමේ වා යදි වාරඤ්ඤේ
නින්නේ වා යදි වා ථලේ
යත්ථාරහන්තෝ විහරන්ති
තං භූමිං රාමණෙය්යකං”
“ගමක වේවා වනාන්තරයක වේවා නිම්නයක වේවා කඳු ගැටයක වේවා රහතන් වහන්සේලා යම් තැනක වැඩ සිටිනවා නම් ඒ බිම ඇත්තෙන් ම සුන්දරයි.”
ඒ උතුම් බුද්ධ වචනයෙහි සත්‍යතාවය මැනවින් වැටහෙන්නේ නුවණින් විමසා බලන ශ්රාවකයෙකුට මිස දියුණු යැයි කියනා තාක්ෂණික ආටෝප සාටෝපයන්ගෙන් වෙස් ගන්වා ඇති වත්මන් ලෝකයෙහි අතරමං වූ අන්ධ බාල පෘථග්ජනයන්ට නම් නො වේ. වත්මන් මිනිසා සැබෑ ම සුන්දරත්වය පසෙක ලා බාහිර සුන්දරත්වයක් සොයමින් ඉබාගාතේ ඔබමොබ යනු පෙනෙන්නට තිබේ. ඔවුන්ට තමන් කියන්නේ කරන්නේ කුමක්දැයි කියාවත් කල්පනාවක් නැතුවා සේ ය. ඔවුහු මේ මිහිමඬලට බරක් ම ය.
මේ මහ පොළව ගැන කිසිවක් ද නොදන්නා, සත්‍ය දැන ගැනීමට වුමනාවක් ද නොමැති ඔවුහු මේ මිහිමඬලේ ඇති දේ තමන් සතුකර ගැනීමේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන්නෝ ය. එමෙන් ම ඒ වෙනුවෙන් ඕනෑම පාපතර අසත්පුරුෂ ක්‍රියාවක් කොට තමන්වත්, අනුන්වත්, මේ පොළෝ තලයත් විනාශය කරා රැගෙන යාමට පසුබට නොවන්නෝ ය.
අහෝ මේ මනුෂ්‍යයන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වන්නේ සත්‍ය නොදන්නා නිසාවෙන් ම ය.
මේ සියලු මනුෂ්‍යයෝ අපගේ තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධය අදහා ගනිත් නම් එයට අනුව නුවණින් විමසා බුද්ධිමත්ව කටයුතු කරත් නම්, මේ මිහිමඬලේ සැබෑ ම සුන්දරත්වය කුමක්දැයි හඳුනාගන්නට ඔවුනටද වාසනාව උදා විය නො හැකි ද?
අපගේ සම්බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයෙහි වැඩ වසන සමයෙක වාසෙට්ඨ භාරද්වාජ නම් සාමණේරයන් වහන්සේලා හට මෙසේ වදාළ සේක.
“වාසෙට්ඨයෙනි, අති දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක මේ ලෝකය නැසෙයි ද එබඳු කාලයක් එන්නේ ය. ලෝකය නැසෙන කල්හි බොහෝ සෙයින් ම සත්වයෝ ආභස්සර බඹලොවෙහි උපදිති. ඔවුහු එහි සිතින් සකස් වූ ජීවිත ඇතිව, ප්‍රීතිය අනුභව කරමින්, තමන්ගේ සිරුරු එළියෙන් අහසෙහි හැසිරෙමින්, සොඳුරු ලෙස සිටිමින් ඉතා දීර්ඝ කාලයක් සිටිති.
වාසෙට්ඨයෙනි, ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කලෙක මේ ලෝකය නැවත හැදෙයි ද එබඳු කාලයක් එන්නේ ය. මේ ලෝකය නැවත හැදෙන කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර ලොවින් චුත වී මෙලොවට පැමිණෙති. ඔවුහු මෙහි සිතින් සකස් වූ ජීවිත ඇතිව ප්‍රීතිය අනුභව කරමින් තමන්ගේ සිරුරු එළියෙන් අහසෙහි හැසිරෙමින් සොඳුරු ලෙස සිටිමින් ඉතා දීර්ඝ කාලයක් සිටිති.
වාසෙට්ඨයෙනි, එසමයෙහි මේ පෘථිවිය එක ම ජල කඳක් ව අන්ධකාරයෙන් යුතුව මහා ඝනාන්ධකාරයක් ම වෙයි. සඳ හිරු නොපෙනෙයි. නැකත් තරු නොපෙනෙයි. රෑ දහවල් නොපෙනෙයි. මාස, අඩමාස නොපෙනෙයි. කාලගුණය, අවුරුදු නොපෙනෙයි. ස්ත්‍රී පුරුෂයෝ නොපෙනෙති. සත්වයෝ සත්ව යන ගණනට ම යති.
(අග්ගඤ්ඤ සූත්‍රය – දී. නි. 3)
තව ද උණු කිරි මතුපිට ඇති යොදයක් මෙන් දිය මතුපිට රස පොළොව පැතිර පහළ වන අයුරුත්, එහි ඇති රසවත් බව නිසා ම ලොල් වූ සත්වයෙක් එම රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බලා එය කෙරෙහි තෘෂ්ණාවෙන් බැස ගන්නා අයුරුත්, ඉන් පසු අන්‍ය සත්වයෝ ද රස පොළොව ඇඟිල්ලෙන් රස බලා ඔවුන් ද එය කෙරෙහි තෘෂ්ණාවෙන් බැසගන්නා අයුරුත්, මෙසේ ටිකෙන් ටික තෘෂ්ණාවෙන් කිලිටි වී යන සත්වයා ඊට අනුරූප ව වෙනස් වන අයුරුත්, ලෝකය ද ඊට අනුරූප ව වෙනස් වන අයුරුත් මනා කොට දැක වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ සියලු දේ අපට දේශනා කොට වදාළ සේක. ලෝකවිදූ ගුණයෙන් යුතු අපගේ සම්මා සම්බුදුරජාණන් වහ්නසේගේ විස්මිත අවබෝධය ඉතා පුදුම සහගත ය. යමෙකුට ලෝකයේ හටගැනීම සිදුවන ආකාරය මනාව නිවැරදි ව දැනගැනීමට අවශ්‍ය නම් අග්ගඤ්ඤ සූත්‍රය නම් වූ උතුම් බුද්ධ දේශනාව කියවා බැලිය යුතු ම ය. මේ කිසිත් නොදන්නා මනුෂ්‍යයන් සිතා සිටින්නේ මේ මහ පොළොව තමන්ට කැමති පරිදි වෙනස්කර ගත හැකි, තම වසඟයේ පැවැත්විය හැකි දෙයක් වශයෙනි. සත්‍ය නම් මිනිසාගේ ගුණධර්ම පිරිහීමත් සමඟ ම මේ මහ පොළොව ද ටිකෙන් ටික විනාශය කරා ළංවන බව ය.
වර්තමානය වන විට සියලු මනුෂ්‍යයන් පරිසර දූෂණය, ඛනිජ සම්පත් සීඝ්රයෙන් ක්ෂය වී යාම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ජෛව සමතුලිතතාවය බිඳ වැටීම ආදී අර්බුද රැසකට මුහුණ දී සිටී. මෙයින් බොහොමයක් මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා ම අත්විඳින්නට සිදුවූ අර්බුදයන් ය.
මේ මහා පෘථිවිය ද හේතූන් නිසා හට ගත්, එම හේතූන් නැති වී යාමෙන් නැතිවී යන ස්වභාවයෙන් යුතු වූ දෙයක් බව නොදන්නා මනුෂ්‍යයෝ මේ මහ පොළොව හා එහි ඇති සම්පත් අනිසි ලෙස පරිහරණය කරමින්, විනාශ කරමින් ඒවා බෙදා වෙන්කර ගැනීමට යුද කරමින් තමන්ගේත්, අනුන්ගේත් ජීවිත අනතුරේ හෙළමින් සිටිති. වරෙක රෝහිණී නදියේ ජලය බෙදාගැනීම සඳහා යුද කරන්නට සැරසුණු ශාක්‍යයන් හා කෝලියයන් කෙරෙහි මහා අනුකම්පාවෙන් එතැනට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අනුශාසනා කොට වදාළේ මෙලෙසින් ය.
“මහරජ, ජලය කොපමණ වටිනාකමකින් යුක්ත වේ ද?”
“ස්වාමීනී, ජලය අල්ප වටිනාකමකින් යුක්තයි.”
“මහරජ, ක්ෂත්රීයවරුන් කොපමණ වටිනාකමකින් යුක්ත වේ ද?”
“ස්වාමීනී, ක්ෂත්‍රීයවරු අනර්ඝ වටිනාකමකින් යුක්තයි.”
“එසේ නම් මහරජ අයුත්තක් නො වේ ද මේ සිදු වී තිබෙන්නේ? අල්ප වටිනාකමනික් යුක්ත ජලය නිසාවෙන් අනර්ඝ වටිනාකමින් යුක්ත ක්ෂත්රීයවරුන් ව මරන්න නේ ද ඔබ මේ සැරසෙන්නේ?”
මෙසේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ඉස්මතු කරමින් අනුශාසනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ මධුර මනෝහර ගාථාවන් දේශනා කරමින් පෙන්වා වදාළේ වෛරයෙන් දුක් විඳින ලොව තුළ, කෙලෙස් රෝගයෙන් දුක් විඳින ලොව තුළ, කාමයෙන් පීඩා විඳින ලොව තුළ තථාගත බුදුරජාණන් වහන්සේත්, රහතන් වහන්සේලාත් අවෛරී සිතින්, අනාතුර සිතින්, පීඩා රහිත සිතින් වාසය කරන බවයි. ලොවට පීඩාවක් නො වූ, ලොව සුන්දර කළ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගේ සොඳුරු දිවි පැවැත්ම එබඳු ය.
මෙකල්හි ලෝකයේ ජීවත්වන සමහර මනුෂ්‍යයන් මනුෂ්‍යත්වයේ නාමයෙන් බොහෝ අමානුෂික වූ ක්‍රියාවන් හි නිරත වන බවක් ද පෙනෙන්නට තිබේ. ඔවුන්ට මනුස්සකම අමතක වී ඇති සෙයකි. මේ මිහිතලයේ ඇති නොයෙකුත් සම්පත්වලට අධික ලෙස ලොල් වී, මසුරුකමින් යුතුව ඒවා තම ආධිපත්‍යයට නතු කර ගන්නට වැර දරන ඔවුන් ඒ වෙනුවෙන් කරන කියන දෑ අතිශය භයානකය, නින්දිතය, පිළිකුල් සහගතය. ලොව පවතින ඉතා දැඩි වූ බන්ධනයක් වන මාපිය දූ දරු බැඳීම ද සිඳලමින් දෙමව්පියන් හා දරුවන් අතර මාරාන්තික ගැටුම් ඇති කරවන්නටත්, කුඩා කල එක බත් පතේ බත් කා එක කෝප්පයෙන් වතුර බිව් සහෝදර සහෝදරියන් දුරස් කර වෛරක්කාරයන් බවට පත් කරවන්නටත් මේ මහ පොළොව හා එහි ඇති නොයෙකුත් සම්පත් කෙරෙහි ඇති අසාමාන්‍ය ලෝභය හේතු වී ඇති බව සංවේගයෙන් යුතුව වුවද සඳහන් කරන්නට සිදු වන්නේ ය.
අහෝ! කෙළෙහිගුණයක් නැති අසත්පුරුෂයෝ තමන්ගේ ඉඩමට තවත් පස් ස්වල්පයක් වැඩි කර ගන්නටත්, වෙනසක් නැතිව කාටත් එක ලෙස සෙවන සලසන ගසක් තමන් සන්තක් කර ගන්නටත්, කාගේත් කුසගිනි නිවන ගසක ගෙඩියක් තමන් සන්තක තර ගන්නටත්, කාගේත් පහස නිවාලන පැන් පොදක් තමාගේ ම කර ගන්නටත්, තමන්ව හැදූ වැඩූ තමන්ට ජීවය දුන් තම මෑණියන්ට, පියාණන්ට එරෙහි ව අත ඔසවන්නට පසුබට නොවෙති.
අවාසනාවක මහත… මේ මහ පොළොවේ පස් ස්වල්පයක් නිසාවෙන් සිදු කරන අරගල වලදී දරුවන් අතින් මරණයට පත්වන අම්මාවරුන් හා පියවරුන් ගැනද විටින් විට අපට අසන්නට ලැබේ. මෙසේ අසත්පුරුෂයෝ, තම වසඟයේ පැවැත්විය නොහැකි අනිත්‍ය වී යන මහ පොළොව හේතු කරගෙන කල්පයක් නිරයෙහි දුක් විඳින්නට සිදුවන ආනන්තරිය පාප කර්මයන් පවා සිදු කර ගනිති.
එමෙන් ම එක කුස උපන් සමඟි සම්පන්නව විසූ සහෝදර සහෝදරියන් ද, දිවිය පුරා දුක සැප බෙදා ගන්නා බවට පොරොන්දු වූ ස්වාමිවරුන් හා බිරිඳෑවරුන් ද, එකිනෙකාට උපකාර කරගනිමින් හුන් ඤාතිවරයන් ද, දැඩි විශ්වාසයකින් මිතුදමින් වෙලී හුන් මිතුරන් ද ඒ සියලු ඤාති බන්ධන, මිත්‍ර බන්ධන පසෙකලා වැට මායිමක් වෙනුවෙන් කලකෝලාහල කර ගන්නා අවස්ථා ගැනද වර්තමානයෙ හි නිරන්තරයෙන් අසන්නට ලැබේ. මේ සියල්ලෝ ම තමන්ගේ සසර ගමනේදී තමන්ට අයහපත් වූ දුක් විපාක උදා කරදෙන බොහෝ අකුසල් රැස්කර ගනිති. ඔවුන්ට සැවැත් නුවර වාසය කළ අපුත්තක නම් වූ සිටුවරයාට මෙන් දුක්ඛිත ජීවිතයකට, දුක්ඛිත මරණයකට උරුමකම් කියන්නට ද සිදුවිය හැකිය. ඒ සිදුවීම මෙසේ ය.
සැවැත් නුවර වාසය කළ මහා ධනයකට හිමිකම් කියූ අපුත්තක නම් වූ සිටුවරයෙක් කලුරිය කළේය. ඔහුට දරුවන් නොසිටියේ ය. එබැවින් ඔහුගේ වස්තුව රාජ සන්තක විය. එම ධනය රාජ සන්තක කිරීමේ කටයුතු සඳහා ගිය කොසොල් මහ රජතුමා ඒ කටයුතු වලින් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසී මේ සිටුවරයා ගැන බුදුරජාණන් වහන්සේට සැල කොට සිටියේ ය. එහිදී භාග්‍යවතුන් වහන්සේ මේ සිටුවරයාගේ අතීත ජීවිත ගැන වෙන කිසිවෙකුත් නොදන්නා තොරතුරු රැසක් හෙළිකොට වදාළ සේක. අනාවරණ ප්‍රඥා ඇති, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ, අතීත ජීවිතයකදී මේ සිටුවරයා විසින් ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්ණයක් මුල් කරගෙන තම සහෝදරයාගේ පුත්‍රයා ඝාතනය කිරීම නිසාවෙන් ඔහුට දරුවන් නොමැති වූ බවයි.
එසේ නම්, ඔහුගේ උත්සාහය මල් ඵල ගැන්විණි ද?
ඔහුට අවශ්‍ය වූ දේ ඔහුට හිමිවී ද?
බලන්න ඔහුගේ ක්‍රියාව ඔහුට අත්කර දුන් ඉරණම…
මේ සෑම කෙනෙකුට ම අමතක වූ දෙයක් තිබේ. එනම් ගැටුම් ඇති කරගනිමින් කෙසේ හෝ මේ මහ පොළොව තමා සන්තක කර ගෙන, එයින් තෘප්තියට පත්ව වාසය කරන්නෙක් ලොව කිසි තැනක නොසිටිනා බවයි. එක් පිරිසක් කලකෝලාහල කර මිය පරලොව යයි. ඉන් පසු ඊ ළඟ පරපුර ඒ ආරවුල ඉදිරියට පවත්වාගෙන යයි. ඔවුහු ද කලක දී මිය පරලොව යයි. ඊ ළඟ පරපුර ඒ ආරවුල ඉදිරියට පවත්වාගෙන යයි. මෙහි අවසානයක් අත්දකින්නේ කවදා ද?
බලන්න මේ උතුම් බුද්ධ දේශනාව දෙස…
“පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැකගන්න බැරි දෙයක්. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැකගන්න බෑ. පින්වත් මහණෙනි, කල්පයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සසරේ සැරිසරන එක පුද්ගලයෙකුගේ ඇටසැකිලි ගොඩ එක්රැස් කරන්නෙක් සිටියොත් ඒ රැස් කරන ඇට ගොඩ නොවැසෙන සේ නම් ඔය විදිහට ඒ මහා ඇටසැකිලි ගොඩ, ඇට සමූහය, ඇට රාශිය, මේ වේපුල්ල මහා පර්වතය යම් තාක් විශාලයි ද ඒ තරම් ම වෙනවා…”
(ඒකපුග්ගල සූත්‍රය – සං. නි 2)
එසේ නම් මේ දීර්ඝ සසරෙහි සැරිසරා යන සත්වයා විසින් සිදුකර තිබෙන්නේ මේ මහපොළොව වර්ධනය කිරීම නො වේ ද? තම මුතුන් මිත්තන්ගේ සිරුරුවලින් වැසී ගිය මේ මහ පොළොව වෙනුවෙන් අරගල කරනා මනුෂ්‍යයිනි, ඔබව ආදර්ශයට ගන්නා ඔබේ දරු මුණුපුරන් ද ඔබේ සිරුරුවලින් වැසී ගිය මේ මහ පොළොව වෙනුවෙන් අනාගතයේ දී අරගල කරනු ඇත. එය අනාගත පරපුරට ඔබ ලබාදෙන වටිනාම දායාදය ද? මොහොතක් සිතන්න. අප මේ පැමිණ සිටින්නේ ඉතා ම තීරණාත්මක සන්ධිස්ථානයකට ය. ඉතා ම දුර්ලභ වූ මිනිසත් බව ලබා සිටින අපට මේ ජීවිතයේ අනියත බව, අස්ථිර බව, තම වසඟයේ පැවැත්විය හැකි කිසි දෙයක් නොමැති බව, හේතුඵල දහමින් හටගත් සියල්ල ඒ හේතූන් නැතිවීමෙන් නැති වී යන බව මනා ව පෙන්වා වදාළ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේනමක් සරණ යන්නට වාසනාව ලැබී ඇත. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ යන්නට “පින්වත් මහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂය ඉතා ම ස්වල්පය යි (අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු). පරලොව යන්න සිද්ධ වෙනවා (ගමනීයෝ සම්පරායෝ). කුසල් දහම් කරන්නට ඕනෙ (කත්තබ්බං කුසලං). නිවන් මගේ හැසිරෙන්න ඕන (චරිතබ්බං බ්රහ්මචරියං). උපන් කෙනෙකුට නොමැරී සිටීමක් නම් නෑ (නත්ථි ජාතස්ස අමරණං). පින්වත් මහණෙනි, කවුරු හරි ගොඩක් කල් ජීවත් වෙනව නම් වැඩි ම වුණොත් ඒ තැනැත්තා අවුරුදු සීයක් හරි ඊට චුච්ටක් වැඩියෙන් හරි ජීවත් වේ (යෝ භික්ඛවේ චිරං ජීවති. සෝ වස්සසතං අප්පං වා භිය්‍යෝති).”
(පඨම ආයු සූත්‍රය – සං. නි)
අපට මෙලොව ජීවත් වන්නට ලැබී ඇත්තේ ඉතා ම ස්වල්ප කාලයකි. මේ ජීවිතය ඉතා ඉක්මනින් අනිත්‍යතාවයට පත් වී යන්නේ ය. සිතා බලන්න අපගේ මේ මනුෂ්‍ය ජීවිතය පමණ ද අනිත්‍ය වී යන්නේ.. ඇයි? එතකොට මේ මහ පොළොව…!
මේ මහ පොළොව ද ඒකාන්තයෙන් ම අනිත්‍ය වූ දෙයකි. සත්වෙනි සූර්යයෙක් පහළ වූ පසු මේ පෘථිවියත්, සිනේරු පර්වත රාජයාත් ගිනිගෙන දැවී අළු හා දැලි පමණකුත් ඉතිරි නොකරමින් විනාශ වී යන ආකාරය අංගුත්තර නිකායේ සිව්වෙනි පොත් වහන්සේගේ ඇතුළත් සත්තසුරියුග්ගමන සූත්‍රයේ මැනවින් විස්තර වේ.
එබැවින් අපි, ඉතා සුළු කලක් මනුලොව ජීවත් වී ඉක්මනින් ජීවිතය අවසන් ව පොළොවට පස් වී යන ජීවිතයකට උරුමකම් කියමින් අළු හා දැලි පමණකුත් ඉතිරි නොකරමින් අනිත්‍යතාවයට ගොදුරු වන මේ මහ පොළොව වෙනුවෙන් කුමට නම් අරගල කරන්නෙමු ද?
දැන්වත් අප සිහි උපදවාගත යුතු වන්නේ ය. දැනටමත් අපේ ජීවිත කාලය බොහෝ දුරට ගෙවී අවසන් ය. ඉතිරි ටික කාලයේදීවත් ඇත්ත තේරුම්ගත් සැබෑ ම මනුෂ්‍යයන් ලෙස මේ මහ පොළොව මත පය ගසා සිටිය යුතු වන්නේ ය. ගුණදහමින් දියුණු වූ මිනිස් ජීවිතයක ඇති වටිනාකම තේරුම් ගත යුතු වන්නේ ය.
අමතක නොකරන්න. පොළොව අපට නොව යම් දිනක අප පොළොවට පස් වී යන්නේ ය.
උතුම් වූ තුනුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්, රැස්කරගන්නා පුණානුභාව බලයෙන්, දෙවියන්ගේ දේවානුභාව බලයෙන් අප කාටත් සත්‍ය වටහාගත්, උතුම් ගුණදහමින් පෝෂණය වූ සුන්දර ජීවිතයක් ඇතිකර ගැනීමට වාසනාව උදා වේවා…!
– මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
“පොලොව අපට නොව අප පොලොවට පස් වන්නේ” පින්වත් ස්වාමීන් වහන්සේ අපට දුන් ඔවදන කෙතරම් සැබෑවක්ද.මිරිඟුවක් පසුපස දිවයන මුවන් සේ අපද මායාවන් පසුපස හඹායයි.නමුදු අවසානයේ සිදුවී ඇත්තේ මහ පොලොවට පස් එකතු කිරීමක් පමණකි.අප සියලු දෙනාටම
මේ උතුම් දහමේ පිහිට පිළිසරණ ලැබ නිවනින් සැනසීමට ලැබ ගැනීමට හැකිවේවා!!!