පුන ච පරං, මේඝිය, භික්ඛු යායං කථා අභිසල්ලේඛිකා චේතෝවිවරණසප්පායා ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති, සෙය්‍යථීදං අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා ඒවරූපාය කථාය නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී. අපරිපාකාය, මේඝිය, චේතෝවිමුත්තියා අයං තතියෝ ධම්මෝ පරිපාකාය සංවත්තති.

පින්වත් මේඝිය, තව කරුණක් තියෙනවා. මෙන්න මේ විදිහේ කථාවක් තියෙනවා. ඒ කථාවලින් කෙලෙස් තුනී කරනවා. සමථ විදර්ශනාවලට උපකාර වෙනවා. අවබෝධයෙන් යුතුව කලකිරීම පිණිස උපකාර වෙනවා. විරාගය ඇති වෙනවා. ඇල්ම නිරුද්ධ වෙනවා. සංසිඳීම ඇති වෙනවා. ආර්ය සත්‍යය අවබෝධය ඇති වෙනවා. මෙන්න මේවා තමයි ඒ කථා. අල්පේච්ඡ ජීවිතය ගැන කථාව, ලද දෙයින් සතුටු වීම ගැන කථාව, හුදෙකලා විවේකය ගැන කථාව, පිරිස හා එක් නො වී සිටීම ගැන කථාව, පටන් ගත් වීරිය ගැන කථාව, සීලය ගැන කථාව, සමාධිය ගැන කථාව, ප‍්‍රඥාව ගැන කථාව, විමුක්තිය ගැන කථාව, විමුක්ති ඤාණ දර්ශනය ගැන කථාව. මෙවැනි උතුම් කථාවන් තමන්ට කැමති පරිද්දෙන් අහන්න ලැබෙනවා. පහසුවෙන් අහන්න ලැබෙනවා. නිතර නිතර අහන්න ලැබෙනවා. පින්වත් මේඝිය, නො මේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, මෙන්න මේ තුන්වෙනි කරුණ උපකාර වෙනවා.
(මේඝිය සූත‍්‍රය – ඛුද්දක නිකාය)

බුදු සසුනක ඵල ලබනු කැමති ශ‍්‍රාවකයා නිරන්තරයෙන් ම දස කථාවේ යෙදී වාසය කළ යුතු ය. පංච උපාදානස්කන්ධ ආයතන ධාතුවලින් යුත් සියලූ සංස්කාරයන් කෙරෙහි, අවබෝධයෙන් ම කලකිරිම පිණිස පවතින, නො ඇල්ම පිණිසත්, ඇල්ම නිරුද්ධ වීම පිණිසත්, කෙලෙස් සංසිඳීම පිණිසත් පවතින, විශේෂ ඥානය උපදවාලන, චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරදෙන, නිවන පිණිස පවත්නා දස කථාව හේතු කරගෙන ගිහි පැවිදි ශ‍්‍රාවක සැම ඒකාන්ත ශාන්තිය උපදවා ගනිති. ඒකාන්ත සැනසීම උපදවා ගනිති. උතුම් වූ ධර්මදේශනාව පවතින්නේ දස කථාව පැවැත්වීම පරම කරගෙන ය. උතුම් වූ ධර්මශ‍්‍රවණය පවතින්නේ ද දස කථාව ශ‍්‍රවණය වීම පරම කර ගෙන ය. ඒ ආදි වූ කල්‍යාණ කතාවන්ගෙන් සපිරි අතීත මුතුන් මිත්තන් අතර මහත් වූ ප‍්‍රසිද්ධියට පත් මහෝත්සවයක් ලෙස අරියවංස උත්සවය හැඳින්විය හැකි ය. අද කඨින පින්කමක් යම් තාක් උත්කර්ශවත් ව පැවැත්වේ ද.. බුද්ධපූජාවක්, බුද්ධ වන්දනාවක් යම් තාක් උත්කර්ශවත් ව පැවැත්වේ ද… එදා රහතුන් වැඩ සිටි සමයේ දී මෙම අරියවංස උත්සවය උත්කර්ශවත් ව පැවැත්විණ. අරියවංස උත්සවය යනු වෙන කිසිවක් නොව, අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පවතින අරියවංස සූත‍්‍රය ඇසුරින් සිදු කරන ධර්ම දේශනාව ශ‍්‍රවණය කරන්නා වූ දිනය ම එ් නමින් හැඳින්විණ.

අරියවංස සූත‍්‍රය දේශනා කිරීම පුරාණ ලංකාවේ ඉතා ජනප‍්‍රිය මහෝත්සවයක් ව පැවති බව පාළි අට්ඨකතාවලින් ද සෙල්ලිපිවලින් ද හෙළි වී තිබේ. ව්‍යවහාරික වර්ෂ 5 වැනි සියවසට පෙරත්, ඉන්පසුවත් මෙම සූත‍්‍රය දේශනා කරන දිනය රාජරාජමහාමාත්‍යාදීන්ගේ දන්වැට, ගම්වර පූජා ආදියෙන් පූජෝපහාරයන්ට ලක්වීමෙන් ම මෙය කෙතරම් ජනප‍්‍රිය දිනයක් වීදැයි සිතාගත හැකි ය.

ව්‍යවහාරික වර්ෂ 269 – 291 දක්වා ලක්දිව පාලනය කළ වෝහාර තිස්ස රජතුමා පිළිබඳ මහාවංශ කතුවරයා විසින් මෙබඳු සටහනක් තැබෙයි.

‘ඒ තෙමේ සද්ධර්ම ගෞරවයෙන් මුලූ ලක්දිව ආර්යවංශ දේශනා කරවා තන්හි තන්හි දන්වැට තැබ්බ වී ය’
(36 පරි, 38 ගාථාව – මහාවංශය)

එමෙන් ම, ව්‍යවහාරික වර්ෂ 4වැනි සියවසේ දී වවුනියාව ප‍්‍රදේශයේ පවතින තෝනිගල සෙල්ලිපියේ ‘දේවයා’ නම් තැනැත්තෙකු විසින් අරියවංස ධර්මය දෙසන මහ සඟනට දන්පැන් පිදීමට කළ නියමයක් සහ උතුරුමැද පළාතේ ‘ලබුඇටබැදිගල’ පිහිටි ව්‍යවහාරික වර්ෂ 5 වැනි සියවසේ සෙල්ලිපියක දී, ‘සිරිනක’ නැමැත්තෙකු විසින් අරියවංස දේශනා පැවැත්විම උදෙසා සිදුකළ ධන පරිත්‍යාගයක් ද පිළිබඳ තොරතුරු හෙළිදරව් වී ඇත. මෙයින් පෙනෙන්නේ වත්මනෙහි විවිධාකාර පූජෝත්සව නිසා වැළලී ගියාවූත්, අතීත රජදරුවන් විසින් පුදපූජා සිදුකරමින් රැකගත්තා වූත් අරියවංස දේශනාව ලබා තිබූ කීර්තියේ අනුහස යි.

මෙම සූත‍්‍ර ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට දේශනා කළ ධර්මයක් වුව ද, අතිත රහතන් වහන්සේලා එය ගිහි උවසු උවැසියන්ටත් ගැළපෙන පරිදි දස කථාව ම ඉස්මතු කරමින් දේශනා කළෙන්, එය උභය පාර්ශවය තුළ ම මහත් භක්ත්‍යාදරයකට පත් විය. දීඝභාණක මහා අභය ස්ථවිරයන් වහන්සේ පැවැත් වූ අරියවංස දේශනාවක් ශ‍්‍රවණය කිරීමට එක්තරා තරුණ මවක් තම අතදරුවාට තන කිරි පොවමින් ම පස්යොදුනක් ගෙවා ධර්ම මණ්ඩපයට ළඟාවූ බව අංගුත්තර නිකාය අට්ඨකතාවේ සඳහන් වේ. එමෙන් ම අනුරපුර සිට මාගම දක්වා වූ දීර්ඝ මාර්ගය ගෙවාගෙන ඇතැම් විචිත‍්‍ර භාණකයන්ගේ අරියවංස දේශනා ශ‍්‍රවණයට ගිහිපැවිදි පිරිස් ගමන් කළ බව වංශකතාවලත්, අටුවා සාහිත්‍යයේත් සඳහන් ය.

අරියවංස දේශනාව පැවැත්වෙන දිනය උත්සවයකි. එම උත්සවය පැවැත්වූයේ වසරේ කිනම් කාලයේ දී දැයි නිශ්චිත ව ම පැවසිය නො හැකි ය. නමුත් එය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වූ දිනයකින් යුතුව සෑම තැනක ම පාහේ පැවැත්විණ. මාගම මහාවාපි විහාරයේ වසරකට වරක් ද, දිඹුලාගල විහාරයේ හය මසකට වරක් ද, අරියවංස දේශනාව පැවැත් වූ බව රසවාහිනී ග‍්‍රන්ථයේ සඳහන් ය. එමෙන් ම එක්තරා විහාරයක විසු භික්ෂූන් වහන්සේලා තිස්නමක් වස්කාලය පුරාවට ම දෙසතියකට වරක් එළැඹෙන උපෝසථ දිනයේ රාත‍්‍රිය පුරාවට අරියවංස දේශනාව සිහිපත් කරමින් ධර්ම සාකච්ඡා කළ බව අංගුත්තර නිකාය අට්ඨකතාවේ සඳහන් ය. දේවගිරියේ ද වසරකට වරක් පැවැති මෙම උත්සවය පිළිබඳ කාල නියමයකින් යුතු සඳහනක් පවතින්නේ තෝනිගල සෙල්ලිපියේ ය. එහි සඳහන් පරිදි අරියවංස සූත‍්‍රය දේශනා කළ යුත්තේ සෑම වස්කාලයක ම නිකිණි මස පුරපසේ දොළොස්වක දා යැයි නියම කොට පනවා තිබේ. වංශකතා දෙස අවධානය යොමු කරද්දී, වත්මනෙහි කඨින පුණ්‍යෝත්සවය මෙන් එකල ජනප‍්‍රිය වූයේ අරියවංස උත්සවය යැයි යමෙකු පැවසුවහොත් එය වරදක් නො වේ. එය ලක්දිව පමණක් නොව අශෝක රජ දවස දඹදිව ද ජනප‍්‍රිය වූ උත්සවයක් බවට ඉඟි කළ හැකි සාක්ෂි පවතී. එසේ තිබිය දී පවා මෙම උතුම් සිරිත අප වෙතින් ගිලිහී ගියේ අවාසනාවකට ය. ඊට හේතු කාරණා තවමත් අභිරහසකි.

අශෝක අධිරාජයාගේ සිතුම් පැතුම් හෙළිදරව් වන ටැම්ලිපි අතරින් ‘භාබ්රු’ ලිපියෙහි.. ‘අලියවසානි’ යන්නක් ගැන සඳහන් වේ. එහි දී සිව්වනක් පිරිස විසින් පුරුදු කළ යුතු ගුණ ධර්මයන් පිළිබඳ ව රහතන් වහන්සේලා ගේ උපදෙස් පරිදි කළ සටහන් පාඨ අටක් අතරේ එක් පේළියක මෙම ‘අලියවසානි’ ධර්මය සිහිකළ යුතු ය යන පාඨයක් සඳහන් වේ. නිශ්චිත ව ම පැවසිය නො හැකි වුවත් මේ පවසන්නේ ‘අරියවංස’ ධර්මය ම නො වේ දැයි ප‍්‍රශ්න කිරීම වටී. එය එසේ වුවහොත් මේ උතුම් චාරිත‍්‍ර ධර්මය අප වෙතට ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ය.

ඒ සා ප‍්‍රණීත වූ අරියවංස සූත‍්‍රය නම් කුමක් ද? අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් අරියවංස සූත‍්‍රයේ සිංහල අර්ථය මෙයින් කියවා දැනගත මැනව.

මහණෙනි, මේ අරියවංස ප‍්‍රතිපදාවෝ සතරකි. මෙම අරියවංස ප‍්‍රතිපදාව අග‍්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ‍්‍රමණබ‍්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් ලද සිවුරකින් සතුටු වෙයි. ලද සිවුරකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. සිවුරක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. සිවුරක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. සිවුරක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප‍්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ ලද සිවුරෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව ලද සිවුරෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග‍්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

තව ද මහණෙනි, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් සතුටු වෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. ආහාරයක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප‍්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග‍්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

තව ද මහණෙනි, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් ලද නවාතැනකින් සතුටු වෙයි. ලද නවාතැනකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. නවාතැනක් උදෙසා භික්ෂූන් හට අයෝග්‍ය වූ නොසරුප් දෙයකට නොපැමිණෙයි. නවාතැනක් නොලැබුණේ වුව ද එයින් කම්පා නොවෙයි. නවාතැනක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නොවෙයි. එයින් මුසපත් නොවී, එහි නොබැසගෙන, ආදීනව දකිනා සුළු ව එහි ඇල්ම දුරු කරන ප‍්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ ලද නවාතැනෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව ලද නවාතැනෙන් සතුටු වීමට දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග‍්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

තව ද මහණෙනි, භික්ෂුව භාවනාවට ආශා කරන්නේ වෙයි. භාවනාවෙහි ඇලූණේ වෙයි. කෙලෙස් ප‍්‍රහාණයට ආශා කරන්නේ වෙයි. කෙලෙස් ප‍්‍රහාණයෙහි ඇලූණේ වෙයි. භාවනාවට ආශා කිරීම, භාවනාවෙහි ඇලී සිටීම, කෙලෙස් ප‍්‍රහාණයට ආශා කිරීම, කෙලෙස් ප‍්‍රහාණයෙහි ඇලී සිටීම හේතුවෙන් තමා හුවා නොදක්වන්නේ වෙයි. අනුන් හෙළා නොදකියි. ඒ භික්ෂුව එම කරුණෙහි දක්ෂ වූයේ, අලස නොවූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්ෂුව ඉතා පැරණි වූ, අග‍්‍ර යැයි දන්නා ලද, ආර්ය වංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී අරියවංස ප‍්‍රතිපදාවෝ සතරයි. මෙම අරියවංස ප‍්‍රතිපදාව අග‍්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නොවන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරු විසිනුත් බැහැර නොකළ දෙයකි. මෙකල්හි ද බැහැර නොකරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නොකරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ‍්‍රමණබ‍්‍රාහ්මණයින් විසින් නින්දා නොකරන ලද දෙයකි.

මහණෙනි, මේ සතර අරියවංශ ධර්මයෙන් යුක්ත වූ භික්ෂුව පෙරදිග දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. බටහිර දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. උතුරු දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. දකුණු දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්ෂුව යටපත් නොකරයි. එයට හේතුව කුමක්ද? ඒ නුවණැති භික්ෂුව භාවනාවෙහි අරතිය ත්, කාමයෙහි රතිය ත් මැඩලීමට හැකියාව ඇති නිසාවෙනි.

වීර පුද්ගලයා ව අරතිය විසින් නොමඩිනු ලැබේ. අරතිය යනු වීරයා ව යටපත් නොකරන දෙයකි. වැලිදු නුවණින් එඩිතර වූ තැනැත්තා අරතිය මැඩලයි. නුවණින් එඩිතර තැනැත්තා වනාහී අරතිය මැඩලන්නෙකි.

සියලූ කර්මයන් අත්හැර සිටිනා කෙලෙස් දුරැලූ රහතන් වහන්සේලාගේ විමුක්තිය කවරෙක් නම් වළකයි ද? දඹරන් නිකක් සෙයින් බබළන ඒ රහතුන්ට ගරහන්නට කවුරුන්ට හැකිවෙයි ද? දෙවියෝ පවා ඔහුට පසසත්. බ‍්‍රහ්මරාජයා විසිනුත් පසසනු ලද්දේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අරියවංස සූත‍්‍රය නිමා විය.

පූජනීය කිරිබත්ගොඩ ක්‍දාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද අංගුත්තර නිකාය 02 පොත් වහන්සේගෙන් උපුටා ගන්නා ලදී.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද,
අතීත මහ රහතන් වහන්සේලා විසින් රැය පහන් වන තුරා සිදුකළ ධර්ම දේශනාවක් වශයෙන් විවරණය කරන ලද,
රාජ රාජමහාමාත්‍යාදීන් විසින් දන්වැට පවත්වා උත්සවශ‍්‍රීයෙන් සංවිධානය කරන ලද,
පැරණි සිංහලේ සෑම පළාතකින් ම පැමිණි භික්ෂු-භික්ෂුණී-උපාසක-උපාසිකා යන සිව්වනක් පිරිසගේ රැස්වීමෙන් ශ‍්‍රවණය කරන ලද
ගිහි-පැවිදි දෙපිරිසගේ ම ජීවිතය අල්පේච්ඡ වූත්, ලද දෙයින් සතුටුවන සුලූ වූත්, භාවනාවේ යෙදී වාසය කිරිමට උනන්දු කරන්නා වූත්
දස කථාව ම පරම කොට ගත් ජීවිතයක් බවට පරිවර්තනය කරලූ මෙම අරියවංස උත්සවශ‍්‍රීහු යළිදු දක්නට ලැබේවා! යි
ශාසනාභිවෘද්ධිකාමී සිතින් යුක්ත ව ප‍්‍රාර්ථනා කරම්හ.

– විශ්ව –