අම්මා… නැත්නම් කාන්තාව අද වන විට බොහෝ බර දරාගෙන සිටින්නියක්. ඇය දුක්පීඩා, සිත්තැවුල්, විවිධ කරදර ආදියට නිරන්තරයෙන් මුහුණ දෙයි. එනිසාදෝ ඇය බොහෝ විට සුබ නැකැත්, සුබ වේලාවල් බලමින් නැකැතට බොහෝ දේ කරයි. වේලාපත්කඩය අනුව බෝධිපූජා තබමින් මේ ජීවිතයේ ඇති කරදර දුරුකර ගැනීමට අප්‍රමාණ වෙහෙසක් ගනියි. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවිකාවක් එසේ කළ යුතු ද? යන්න අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.

*********************************

බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ දුක්විඳින සත්වයන් ඒ දුකෙන් එතෙර කිරීම පිණිස යි. උන්වහන්සේ සාර අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා අවබෝධ කර ගත් ඒ උතුම් ධර්මය සසරේ ගමන් කරන සත්වයාට අවබෝධ කර ගත හැකි පරිදි දේශනා කොට වදාළා.

දීර්ඝ කල්ප ගණනකින් තමයි ලෝකයට බුදුරජාණන් වහන්සේනමක් පහළවෙන්නේ. ලෝකයේ බුදුවරු නොමැති කාලයේ දී ‘බුද්ධ’ කියන වචනය නැහැ. ධර්මයක් නැහැ. බණ පදයක්, පිළිසරණක් නැහැ. වන්දනා කරන්න ධාතුන් වහන්සේලා නැහැ. දුක නිවා ගන්න ධර්මය නැහැ. දන් පූජා කරගෙන අප්‍රමාණ පින් රැස්කර ගන්න සංඝයා වහන්සේනමක් නැහැ.

එහෙනම් ඒ බුදුවරු නොමැති කාලය කොතරම් නම් අසරණ කාලයක් ද! මේ ලෝකයට වරින් වර බුදුවරුන් පහළ වුණා. එවැනි කාලයන්හි අපිත් නිරයේ, නැත්නම් ප්‍රේත ලෝකයේ, නැත්නම් උකුණෙක්, මකුණෙක් වෙලා ලේ බිබී හෝ කපුටෙක්, බල්ලෙක් වෙලා කුණු ගොඩවලට මැදිවෙලා හෝ මාළුවෙක්, කැස්බෑවෙක් වෙලා සාගරයේ හෝ ඉන්න ඇති. නැත්නම් මනුස්ස ජීවිතයක් ලබා මාන්නක්කාර ව නොයෙක් දෘෂ්ටිවලට පැටලිලා ඉන්න ඇති. අපට කුමක් හෝ වැරැද්දක් වූ බව නම් ස්ථිරයි. ඒකට හොඳ ම සාක්ෂිය තවමත් අපි සසරේ ඉන්නවා කියන එකයි…

අද අපට කල්‍යාණ මිත්‍රයෙක් හමුවෙලා මේ දේ කරන්න, මේ දේ කරන්න එපා යැයි කිව්වාම ඒ දේ අසා ධර්මය පැත්තට එනවා. නමුත් තමන්ට හෝ තම පවුලේ කෙනෙකුට බලවත් අසනීපයක්, කරදරයක්, උවදුරක් සිදුවුණොත් නැවතත් මිථ්‍යාදෘෂ්ටිය පස්සේ යනවා. ඇය ස්ථිර ලෙස සරණ සීලයේ පිහිටන්නේ නැහැ. ඒකයි ජ්‍යෝතිර්වේදියාගේ අණට කීකරු වෙන්නේ. වේලාපත්කඩය එක් තැනකට පෙන්වනවා. එතැනින් නොනැවතී නැවත තව තැනකට පෙන්වනවා. “බුද්ධං සරණං ගච්ඡාමි” කිව්වාට ඇයට සරණක් ලැබෙන්නේ නැහැ. කෙනෙක් එක දිගට ම සරණේ රැඳී සිටිනවා නම්, භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට එහා ඇති විසඳුමක් සොයන්නේ නැහැ. ‘සරණ පිහිටියා’ කියන්නේ කරදරයක් ආ විට පිහිටා සිටිය යුතු තැනයි. කරදරයක් වූ විට ම මතක් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ වදාළ දහම සහ ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට දුක් විඳින සසරින් එතෙර වූ ආර්ය මහ සඟ රුවන පිළිබඳව යි.

නමුත් අද අපට බොහෝ විට පෙනෙන්නේ උතුම් උපෝසථ සීලයත් සමාදන් වෙමින්, වන්දනාමාන කරමින්, කඨින පින්කම්වලට සහභාගි වෙමින්, දන්පැන් පූජා කරමින් සිටින ඇය ම කරදරයක්, උවදුරක් ආ විට මිථ්‍යාදෘෂ්ටිය වැළඳගන්නා අන්දමයි.

කුඩා දරුවෙකුට කරදරයක් වූ විට මුලින් ම මතක් වෙන්නේ කවුද? තමන්ගේ අම්මා යි. දරුවා ඒකාන්තයෙන් ම දන්නවා මට රැකවරණය, උදව්ව තිබෙන්නේ මගේ අම්මාගෙන් කියා. එනිසා දරුවා අම්මාගේ සෙවණට දුවනවා. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය ශ්‍රාවිකාවත් ඕනෑම සැපතක දී වේවා විපතක දී වේවා දුවන්නට ඕන ශාස්තෘන් වහන්සේගේ සෙවණට යි.

යම් අවස්ථාවක තෙරුවනේ පිහිටි ශ්‍රාවිකාවකට හෝ පවුලේ කෙනෙකුට බරපතළ රෝගයක් හට ගන්නවා. අවට සිටින අය කියනවා “බෙහෙත් විතරක් කරලා මදි, වෙලාව බලලා අපලයක් තිබෙනවා නම්, ඒ දේටත් සුදුසු දේ කරන්න” කියලා. එවිට ඇය ශ්‍රාවිකාවක් නම්, ඒ දේ කෙළින් ම ප්‍රතික්ෂේප කොට තව තවත් පිරිසිදු ව සරණ සීලයේ පිහිටා අවශ්‍ය ඖෂධ ලබා ගන්නවා. එසේ ඈ බොරළු ගොඬේ ඇති මැණිකක් සේ බබළනවා.

අතීතයේ සිංහල අපිට මහත් වූ අභිමානයක් තිබුණා. රජවරු, සිටුවරු පවා තෙරුවනේ පිහිටා සිටියා. ඒ කාලයේ සුබ නැකැත්, සුබ නිමිති, සුබ හෝරා තිබුණේ නැහැ. වෙසක් පොහෝ දිනය බෞද්ධයාගේ අවුරුද්ද වුණා. තමගේ පණ සිඳ දැමුව ද එදා බෞද්ධයා තෙරුවන කෙරෙහි සිත පහදවාගෙන පන්සිල් පද රැක්කා. බුද්ධ දේශනා, අටුවා, වංශකතා ආදි උතුම් ග්‍රන්ථ පරිශීලනය කරනවිට මිථ්‍යාදෘෂ්ටියේ සමාදන් වූ බවක් හමු වන්නේ නැහැ. නැකැතට කෑවා, ඇන්දා, වෙලාවට ගනුදෙනු කළා කියා හමුවන්නේ නැහැ. මුතුන්මුත්තෝ නැකැත් සුබ නිමිති කළේ නැහැ කියලා ඒ ජීවිත අසාර්ථක වුණෙත් නැහැ.

ඔවුන් මෙලොව මෙන් ම පරලොවත් ජය ගත්තා. දේශනාවේ පැහැදිලිව ම තිබෙනවා සුබ නැකැත, සුබ මංගල්‍යය, සුබ උදෑසන, සුබ නැගී සිටීම, සුබ ක්ෂණය, සුබ මුහුර්තිය කියන්නේ බ්‍රහ්මචාරීන් වහන්සේලාට දන්පැන් පූජා කරලා පින් කරන මොහොත කියලා. ඒකයි නැකැත. ඒ නැකැත උදාකර ගන්නයි අපි මහන්සි වෙන්න ඕන. අනුන් හදා දෙන නැකැතට වැඩ කරන්න ගිහිං අපේ සරණ කිලුටු කර ගන්නේ නැතුව කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න ඕන. නමුත් අද අපි කොතරම් කිරි ඉතුරුවත්, නැකැතට අනුභව කළත්, ගනුදෙනු කළත් අපි හැමදාම දුප්පත්. මෙලොවත්, පරලොවත් දුප්පත්. නැකැතට සියලු වැඩ කළ ද ලෙඩ වෙන කෙනා ලෙඩ වෙනවා ම යි, වයසට යන කෙනා වයසට යනවා ම යි. නැකැත් කළත් නැතත් අනතුරකට පත් වෙන්න ඇත්නම් එය සිදු වෙනවා. මැරෙන කෙනා මැරෙනවා ම යි.

එනිසා අපි පොඩි කාලසීමාවකට මිථ්‍යාදෘෂ්ටිය සමාදන් වෙලා දීර්ඝ කාලයක් දුක් සහිත ලෝකයේ ඉපදී දුක් විඳින්න ඕනෑ ද? අවුරුදු 70 – 80 වැනි කෙටි කාලයක් ජීවත්වෙන මනුස්ස ලෝකයේ සතුට වෙනුවෙන් තිසරණය අත්හැරලා නොයෙක් මිථ්‍යා මතවල සමාදන් වෙලා කල්ප ගාණක් වරද්දවා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ සරණ කල්ප ගණනකට පසුව නම් හමුවුණේ බත් කටක් වෙලාවට කාලා, නැකැතට ළිපගිනි මොළවලා ඒ සරණ කඩාගන්නේ ඇයි?

අපේ සමාජයේ බොහෝ කාන්තාවන් කියනවා “අනේ අපට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ” කියලා. ඒත් ඇයට යම් කරදරයක් ආ විට පූජා වට්ටි අරගෙන දේවාලවල දුවන්න, ජ්‍යෝතිර්වේදියා හමුවෙන්න වැය කරන්න වෙලාවක් තිබෙනවා. ඇය හැබෑවට දක්ෂ නම් මිල මුදල් වැය නොකොට ඊට වඩා පිළිසරණක් ගන්න ඇයට පුළුවන්. යම් කරදරයක දී රුවන්මැලි මහාසෑයේ ද්‍රෝණයක් ධාතුන් සිහිකරලා, තුන් ලෝකයේ වැඩ සිටින ධාතුන් වහන්සේලා සිහි කරලා බුදුරජාණන් වහන්සේට පහනක්, මල්, පැන් පූජා කරලා තෙරුවන් වන්දනා කරලා, පිරිත් කියන්නට ඇයට සුළු කාලය යි වැය වෙන්නේ.

සරණ තමා ළඟ තිබෙද්දීත් ඒ සරණ පැත්තකට දමා වෙනත් සරණක් සොයන්න තරම් අද සමාජයේ බොහෝ කාන්තාවන් ළාමක වෙලා තිබෙනවා. හිමිදිරියේ යම් කෙනෙක් තිසරණයේ පිහිටනවා නම්, හැමදා ම ඇයට සුබ නැකැතින් දවස ආරම්භ කරන්න පුළුවන්. සෑම රාත්‍රියකට ම තෙරුවන් සරණ ගොස් නින්දට යන කාන්තාවට සෑම රැයක ම සුබ නැකැත හමු වෙනවා. වන්දනාවට පවා වෙලාවක් නැති බොහෝ කාන්තාවන් මිථ්‍යාදෘෂ්ටීන් පසුපස්සේ යන්න දින ගණන් කාලය සොයා ගන්නවා. වේලාපත්කඩය අනුව දින හත, දාහතර ආදී බෝධිපූජා කරන්න කිව්වොත් මහ වැස්සෙත් ගොස් බෝධිපූජා තබනවා. විහාරස්ථානයෙන් ම ගන්නා පැන්වලින් මහා වැස්සේ බෝධීන් වහන්සේ නහවනවා. ඇත්තෙන් ම ඇයගේ යටි අපේක්ෂාව බෝධි පූජාව කිරීම ද? කොහෙත්ම නැහැ. ඇය ආත්මාර්ථකාමීත්වයෙන් සිතන්නේ පැමිණ ඇති දුක් කරදර දුරුකර දෙන ලෙසයි.

මේ සියල්ලට ම මුල බුදුරජාණන් වහන්සේගේ සරණ ගැන විශ්වාසයක්, පැහැදීමක් නැතිකමයි. තෙරුවන් වන්දනා කරගෙන, පිරිත් සජ්ඣායනා කරගෙන සිටින බොහෝ දෙනා තමන්ට පැමිණෙන ගැටලුවලට සාර්ථකව පිළිතුරු සොයාගෙන තිබෙනවා. තමාගේ කර්ම විපාකයක් ඇත්නම්, එය විපාක නො දී අවසන් වෙන්නෙත් නැහැ. කර්ම විපාකයක් නැත්නම් සාමාන්‍යයෙන් එන කරදර හමුවේ අඛණ්ඩව තිසරණයේ පිහිටා තෙරුවන් වන්දනා කරගෙන පිරිත් සජ්ඣායනා කරගෙන මෛත්‍රීයෙන් යුතුව කටයුතු කරනවා නම්, ඇයට සුව සේ කාලය ගෙවිය හැකි වේවි. එසේ තිසරණයේ පිහිටා කටයුතු කරද්දීත් දිගින් දිගට ම ඒ ප්‍රශ්න ඒ ආකාරයෙන් ම තිබෙනවා නම්, තේරුම් ගන්න ඒ තමාගේ කර්ම විපාකයක් වෙන්න ඇති කියලා. කර්ම විපාකයක් තිබෙද්දී තැන තැන දිව්වා කියලා ඒ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සංසාරයට අලුත් අකුසල් ඉපදීමක් පමණයි එයින් සිදු වන්නේ.

කර්ම විපාකයට මුහුණ දෙන විටත් තෙරුවනට ම දිවි පුදාගෙන බොහෝම ඉවසීමෙන් කටයුතු කරගෙන කෙදිනක හෝ මිය යනවා. මරණින් පසු ඇයට සුගතිය හිමි වෙනවා. මහපොළොවට මේ ශරීරය ඇදගෙන වැටෙන කොට ගව් ගාණක් උස සුන්දර දිව්‍ය කයක් ලැබෙනවා. එනිසා කර්ම විපාක මේ මේ ආකාරය යි කියා අඳුනාගෙන කටයුතු කරන ගමන්, ‘තිසරණයෙන් මම බැහැර වෙන්නේ නැහැ’ කියන ස්ථාවරයේ සිටිය යුතු වෙනවා.

නිවසක අම්මා ප්‍රධාන චරිතය යි. ඇය කරන කියන දේ දරුවන් කරනවා. අම්මා කරන දේ බොහෝ විට දරුවන් අනුගමනය කරනවා. එනිසා නිවසේ අම්මාට පුළුවන් නම් සිතට හයිය අරගෙන දරුවන්ටත් යහමග පෙන්වමින්, ඔවුන් ව ද තිසරණයේ පිහිටුවමින් ඍජු ව ඉන්ද්‍රඛීලයක් සේ ඉන්න… ඇය උතුම් නො වේ ද? අපි දන්නවා හිමවත් පව්ව ඇසුරු කරගෙන මහා වෘක්ෂයන් හැදෙනවා. ඒ වගේ ගෙදර අම්මා මුල්කරගෙන නිවසේ සියලුදෙනා ම ගුණධර්මවල පිහිටනවා. අම්මා තිසරණ සරණයේ පිහිටලා නිරන්තරයෙන් පිරිත් සජ්ඣායනා කරගෙන, පින්දහම් කරගෙන, සුබ නැකැත්, කේන්දර පසුපස්සේ නොයා කටයුතු කරයි නම්, ඒ අම්මා දෙස බලාගෙන දරුවන් ද ඒ මග යනවා. ඒකයි නිවසක අම්මා ‘හිමවත් පව්ව’ වගේ කියන්නේ. යම් නිවසක අම්මා මිථ්‍යාදෘෂ්ටියේ සමාදන් වූවොත් ඒ හිමවත් පව්ව නාය ගියා වගේ වෙනවා.

බුදුරජාණන් වහන්සේ අවබෝධ කොටගෙන වදාළ ධර්මය හමුවේ මිථ්‍යාදෘෂ්ටිය හරියට කණාමැදිරි එළිය වගේ. සූර්යාලෝකය පායා තිබිය දී අපි කණාමැදිරි එළියෙන් යම් යම් දේ සෙවීමට යනවා නම්, එය අප තුළ තිබෙන අඥානකම. බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත් උතුම් ධර්මය හිරුමඬල උදාවුණා වගේ. ඒ හිරුමඬලේ ආලෝකයෙන් මේ සසරින් එතෙර වීමට උත්සාහ කිරීම අප හැමගේ ම වගකීමක් නො වේ ද?

සාකච්ඡා කළේ – නයනා නිල්මිණි