විශාලා මහනුවර

බුද්ධකාලීන සොළොස්මහා ජනපද රාජ්‍යයන්ගෙන් ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි රාජ්‍යයෙහි අගනුවර විශාලා මහනුවර යි. අතීතයේ මෙහි වර්ධනය වූ අධික ජනගහනය හේතුවෙන් නගරය කිහිප වරක් විශාල කරවීම හේතුවෙන් විශාලා නම් වී යැයි සඳහන් වේ. මෙය පාලනය කළ රජදරුවන් සහ මිනිසුන් ලිච්ඡවීන් ලෙස හඳුන්වන්නේ සොඳුරු ඡවි වර්ණයක් ඇති පිරිසක් වූ නිසාවෙනි.

එවක භාරතයෙහි ක්‍රියාත්මක වූ ජනසම්මතවාදී ගණතන්ත්‍ර පාලනයක් පැවති වජ්ජි රාජ්‍යයේ, පාලන ව්‍යවස්ථාව වූයේ භාග්‍යවතුන් වහන්සේ වදහළ සප්ත අපරිහානීය ධර්ම යි. විශාලාව අගනුවර කර ගත් වජ්ජි රාජ්‍යය සමෘද්ධිමත් රාජ්‍යයක්ව පැවතුනි. එනමුත් එක් අවදියක දී වැසි නැතිව ගංගා සිඳී, කෙත්වතු වියැළී ගොස් දුර්භික්ෂ බිය ද ඒ හේතුවෙන් රෝග බිය ද උත්සන්න වූ අතර මියගියවුන්ගේ සිරුරුවලට අරක්ගත් අමනුෂ්‍යයන් ද නිසා තුන්බියකින් විශාලාව දැඩි සේ පීඩාවට පත් විය. මෙසේ විශාලා මහනුවරට තුන්බිය ඇති වූ පසු එය දුරු කර ගැනීම පිණිස, මහාලී ලිච්ඡවී රජු ප්‍රධාන දූතයෝ බිම්බිසාර රජු වෙත ගොස් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වඩමවා දෙන ලෙස අයැද සිටියහ.

බිම්බිසාර රජුගේ ද අනුග්‍රහය ඇතිව භාග්‍යවතුන් වහන්සේ වෙත ගිය රාජදූතයෝ තම නගරයෙහි තුන්බිය සන්සිඳුවා ගැනීම පිණිස වැඩමවන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළහ. දෙරටේ ම රජුන්ගේ අපමණ පුද සත්කාර මැද ශාස්තෘන් වහන්සේ විශාලාවට වඩිද්දී මේඝගර්ජනා සහිත වැසි ඇදහැලී නගරය පිරිසිදු විය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාත්, දිව්‍ය සමූහයාත් පැමිණෙත් ම නගරයට අරක්ගෙන සිටි අමනුෂ්‍ය බලවේග පලා ගියහ. එහි දී තුනුරුවනේ අපමණ ගුණ කැටිකොට, කෙළ ලක්ෂයක් සක්වළ ආනුභාව පතුරා, කල්පස්ථායී ව රතන සූත්‍රය දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් කැඳවූ සේක. තථාගතයන් වහන්සේගේ ශෛලමය පාත්‍රයෙන් පැන් ගෙන, ලිච්ඡවී රාජ දරුවන් සමඟින් නගරයේ පවුරු පදනම් අතර රතන සූත්‍රය සජ්ඣායනා කරමින් ම පැන් ඉසින්නට නියම කළ සේක.

විශාලා මහනුවර තුන්බිය මුළුමනින් ම සමනය වී ගිය අතර ශාස්තෘන් වහන්සේ සතියක් මුළුල්ලේ රතන සූත්‍රය ම දේශනා කළ අතර දිනකට අසූහාරදහස බැගින් උතුම් මග ඵල නිවන් සාක්ෂාත් කළහ. භාග්‍යවතුන් වහනසේ සති දෙකක පමණ කාලයක් විශාලා මහනුවර වැඩසිටි අතර, එසේ වැඩසිටි පුණ්‍යභූමි ගණනාවක් විශාලාවේ හා ඒ අවට තිබේ. චාපාල චේතිය, ගෝතමක චේතිය, සාරන්දද චේතිය යන ආරාම ද කූටාගාර ශාලාව, අම්බපාලී උයන, ආනන්ද ථූපය හා වාළුකාරාමය ද ඒ අතර ප්‍රධාන වේ.

එමෙන් ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර තෙවරක් විශාලා මහනුවරට වැඩි බව සඳහන් වේ. මාරයා විසින් බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පෑම සඳහා ආරාධනා කරන ලද්දේ චාපාල චේතියට අවසන් වරට වැඩි අවස්ථාවේ දී ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට පසු දෙවෙනි ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද විශාලා මහනුවර වාළුකාරාමයේ දී ය.

විශාලාව වර්තමාන ඉන්දියාවේ කුෂිනගර් සිට 171ණප දුරිනුත්, හාජිපූර් සිට 37ණප දුරිනුත් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට උස මීටර් 52කි. බිහාර් ප්‍රාන්තයේ උතුරු දෙසට වන්නට පිහිටි එය අද ‘වෛශාලී’ නම් කුඩා ගම්මානයකි. බුදුරජාණන් වහන්සේ අවසන් වස් කාලය ගතකරන ලද්දේ විශාලාවේ බේළුව නම් ගමේ ය. ඒ බෞද්ධ ඉතිහාසයේ නටබුන් බොහොමයක් වර්තමාන වෛශාලියේ ‘කොල්හුවා’ නම් ප්‍රදේශයේ දක්නට ලැබේ.

කූටාගාර ශාලාව

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළ අවස්ථාවන්හී වැඩි කාලයක් වැඩහුන් කූටාගාර ශාලාව පිහිටා තිබුණේ නගරයෙන් බටහිර දිසාවේ තිබුණු මහ වනයෙහි ය. විශාලා නුවරවාසී සැදැහැවතුන් භාග්‍යවතුන් වහන්සේට සුගන්ධ කුටියක් ද භික්ෂු සංඝයාට දිවාස්ථාන රාත්‍රීස්ථාන කරවා ආරාමයක් ද පිදූහ. උස් මුදුන් වහළ තිබෙන ගොඩනැගිලි සමූහයකින් යුක්ත වූ බැවින් සමස්ත සංඝාරාමය ද කූටාගාර ශාලාව නමින් හැඳින්විණි. භාග්‍යවතුන් වහන්සේ අවස්ථා ගණනාවක් මෙහි වැඩ සිටි බව දීඝ නිකාය හා මජ්ක්‍ධිම නිකායට ඇතුළත් සූත්‍ර දේශනාවන්ගෙන් පැහැදිලි වේ. ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රධාන පන්සියයක් කුල කාන්තාවන්ට පැවිදි වීමට අවසර ලබා දී භික්ෂුණී සංඝයාගේ ආරම්භය සිදුවූයේ ද මෙහි දී ය. එමෙන් ම සච්චක තෙරුවන් සරණ ගියේ ද භාග්‍යවතුන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් තමන් වහන්සේ පිරිනිවන්පානා බව භික්ෂු සංඝයාට දැනුම් දුන්නේ ද මෙම කූටාගාර ශාලාවේ දී ම ය.

වාළුකාරාමය

විශාලා මහනුවර පිහිටා තිබූ වාළුකාරාමයට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමක් හිමි වන්නේ දෙවන දහම් සංගායනාව මෙහි දී සිදු වීම නිසා ය. විශාලා මහනුවර විසූ වජ්ජිපුත්තක භික්ෂූන් දස අකැප වස්තු කැප යැයි සම්මත කොටගෙන අනුගමනය කිරීම දෙවන ධර්ම සංගායනාවට බලපෑ ප්‍රධාන සාධකය බව චුල්ලවග්ගපාළි විනය ග්‍රන්ථයේ දැක්වේ. පාහියන් හා හියුංසියෑං තෙරවරුන් ඉදිරිපත් කරන කරුණුවලින් ද එම සංගායනාවේ ඓතිහාසිකත්වය තහවුරු වෙයි.

පසු කලෙක දී මෙහි ගොඩනගන ලද ස්ථූපයක් පාහියන් තෙරුන් මෙහි පැමිණෙන අවදියේ තිබූ බව දේශාටන වාර්තාවේ සඳහන් වේ. අශෝක ස්ථම්භයට ඊසාන දිගින් ඇති උස් භූමිය වාළුකාරාමය පිහිටා තිබූ ස්ථානය වශයෙන් ආචාර්ය පී. ඩී. මුඛර්ජි මහතා හඳුන්වයි.

චාපාල චේතිය

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑම පිණිස ආයු සංස්කාරය අත්හළේ මෙම චාපාල චේතියේ දී ය. විශාලාවේ පිඬු පිණිස හැසිරී, දිවා විහරණය පිණිස චාපාල චේතියට වැඩි භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා මෙසේ වදාළ සේක.

“ආනන්ද, වේසාලිය රමණීය යි. ගෝතමක චේතිය, සත්තම්බක චේතිය, බහුපුත්තක චේතිය, සාරන්දද චේතිය, චාපාල චේතිය රමණීය යි. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් සතර ඍද්ධිපාද බහුලව මනා කොට ප්‍රගුණ කරන ලද්දේ ය. එම නිසා තථාගතයන් වහන්සේ කැමති නම් ආයුෂ කල්පයක් (වසර 120ක්) හෝ මඳක් වැඩිපුර හෝ වැඩ සිටින්නේ ය.”

තුන්වරක් මෙසේ පැහැදිලිව පවසා සිටිද්දීත් ආනන්ද තෙරුන්ගේ සිත මාරයා විසින් වසාගෙන සිටි බැවින් “එසේ වැඩ සිටිත්වා!” කියා ආරාධනා කිරීමට උන්වහන්සේට අමතක කරවී ය. අනතුරුව භාග්‍යවතුන් වහනසේ කරා පැමිණි මාරයා අමතා මෙයින් තෙමසක් ඇවෑමෙන් පිරිනිවන්පාන බව පවසා ආයු සංස්කාරය අත්හළ සේක. ඒ සමඟින් ම මහපොළොව කම්පා වී අකල් වැස්සක් ඇද හැළුණි. ඒ ගැන විමසූ ආනන්ද තෙරුන්ට පොළොව කම්පා වීමට ඇති හේතු අට පහදා දෙමින් භූමිචාල සූත්‍රය වදාළ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ බව හෙළි කළ සේක. එම ආයු සංස්කාරය අත්හළ තැන කරවූ ථූපය තමන් දුටු බව හියුංසියෑං තෙරුන් සිය දේශාටන වාර්තාවේ සඳහන් කොට ඇත.

ලිච්ඡවී රජුන් සර්වඥ ධාතූන් නිධන් කරවූ ස්ථූපය

භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ලිච්ඡවී රජුන්ට ලැබුණු ශාරීරික ධාතු මහත් ගෞරවයෙන් යුතුව තැන්පත් කොට විශාලා මහනුවර මහාසෑයක් කරවී ය. මෙහි කුරුණියක් පමණ ධාතූන් වහන්සේලා නිධන් කර තිබූ බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් අශෝක අධිරාජයා කරවූ චෛත්‍යයන්හි නිධන් කිරීමට ලබාගෙන ඇති බවත් හියුංසියෑං තෙරුන් සඳහන් කරයි.

ලිච්ඡවීන් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට කරවූ ස්ථූපයේ නටබුන් අද ද දක්නට ඇති අතර ඒවා ඉන්දියානු පුරාවිද්‍යාව මගින් මනාව සංරක්ෂණය කර ඇත. අවස්ථා කීපයක දී ම එම ධාතු ස්ථූපය විශාලත්වයෙන් වැඩිකොට ඇතිබව කැණීම්වල දී හෙළි වී ඇත. සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬුවක් ද හමු වී තිබේ. එමෙන් ම වෛශාලී කෞතුකාගාරය ද මේ අසල ම පිහිටා තිබේ.

විශාලා මහනුවර මහවනය

විශාලා මහනුවරට උතුරින්, බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවන්හී වැඩසිටි මහවනය පිහිටා තිබුණි. කූටාගාර ශාලාව පිහිටා තිබුණේ ද ආනන්ද මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් අඩක් නිධන් කොට කරවන ලද ස්ථූපය වූයේ ද මෙහි ය. බුදුරජාණන් වහන්සේ පස්වන වස්කාලය වැඩ සිටියේ විශාලා නුවර මහවනයේ කූටාගාර ශාලාවෙහි ය. වර්තමානයේ දී අශෝක අධිරාජයාගේ සිංහ රූපය සහිත ස්ථම්භයට නුදුරු ප්‍රදේශය පැරණි මහවනය වශයෙන් පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත.

ආනන්ද ථූපය

ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතු නිධන් කොට කරවූ ස්ථූපය ආනන්ද ථූපය යි. එසේ කරවන ලද ස්ථූප හයක් ගැන ශාසන ඉතිහාසයේ සඳහන් වේ. ඉන් දෙකක් ගංගා නදියේ වම හා දකුණු ඉවුරු අසල ද තෙවැන්න විශාලා මහනුවර ද සිව්වැන්න රජගහ නුවර ද පස්වැන්න සැවැත්නුවර ද සයවැන්න මථුරා නුවර ද කරවූ බව පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ සඳහන් වේ. ආනන්ද තෙරුන් 120 වන වියේ දී ආයු සංස්කාරය අත්හැර ‘එයින් සත්දිනකින් පිරිනිවන් පාන්නෙමි’යි දන්වා බුද්ධ පරිනිර්වාණයෙන් සතළිස් වන වර්ෂයේ දී පිරිනිවන් පෑ සේක.

ආනන්ද තෙරුන් විශාලාවේ පිරිනිවන් පානා අදහසින් මගධ දේශයේ සිට විශාලාවට වඩින අතර එම පුවත දෙවියෝ අජාසත් රජුට දැන්වූහ. අජාසත් රජු බලසෙන් සමඟ රෝහිණී නදී තීරයට පැමිණියේ ය. විශාලාවේ ලිච්ඡවීහු ද අනඳ තෙරුන් වඩිනා බව අසා නදියේ අනෙක් පසට පැමිණියහ. තෙරණුවෝ නදිය මධ්‍යයෙහි අහසට පැන නැගී තේජෝ කසිණ සමාපත්තියට සමවැදී සිය සිරුර දැවෙන්නට සැලැස්සූහ. උන්වහන්සේගේ ශාරීරික ධාතු අධිෂ්ඨාන බලයෙන් දෙකොටසකට බෙදී එක් පසෙකට කොටස බැගින් ලැබුණි.

එසේ දෙපස ම සිටි රජුනට ලැබුණු ධාතු නිධන්කර මහත් ගෞරවයෙන් යුතුව ස්ථූප කරවූහ. පාහියන් තෙරුන්ගේ දේශාටන වාර්තාව අනුව ආනන්ද තෙරුන්ගේ ධාතු නිධන් කොට කරවූ ස්ථූපය සමීපයෙහි දහසක් පසේබුදුවරුන් ද පිරිනිවන් පා වදාළ තැනක් තිබුණේ ය. වෛශාලියේ ඇතුළත ද පිටත ද පූජනීය ස්ථානයන්ගේ සංඛ්‍යාව ගණනින් ද කිව නොහැකි තරම් ය. පියවරක් පාසා විශාල විහාරයන්හී හා ස්ථූපවල පදනම් දක්නට තිබී ඇත. මේ සියල්ල කාලය විසින් විනාශිත ය. භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී ‘චේතිය ස්ථාන’ වශයෙන් දේශනා කළ ස්ථාන පහක් සඳහන් වේ. මෙම ස්ථාන විශාලා මහනුවරට නුදුරුව පිහිටා තිබෙන්නට ඇතැයි සැලකේ.

උදේන චේතිය

උදේන නම් යක්ෂයෙකුගේ භවන වූ මෙය රුක්ඛ චේතිය ගණයෙහි ලා සැලකෙයි. බුදුරදුන් ජීවමාන සමයෙහි මෙහි විහාරයක් කරවා තිබුණි. භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ සිටින්නට ඇති බව “උදේන චේතිය රමණීයයි” වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වේ. උදේන චේතිය විශාලා මහනුවරට නැගෙනහිර දෙසින් වී යැයි අනුමාන කරනු ලැබේ.

ගෝතමක චේතිය

මෙය ද රුක්ඛ චේතියකි. බුදුරජාණන් වහන්සේ කිහිප වරක් මෙහි වැඩම කර ඇති අතර භික්ෂූන්ට තුන් සිවුරු පරිහරණය අනුදැන වදාළේ මෙහි දී ය. ගෝතමක චේතිය සූත්‍රය දේශනා කරන ලද්දේ ද මෙහි දී වන අතර මෙය විශාලාවට දකුණු දෙසින් පිහිටා තිබුණු බව අනුමාන කෙරේ.

සත්තම්බක චේතිය

විශාලා මහනුවරට බටහිරින් වී යැයි සැලකෙන මෙහි තිබූ අඹ ගස් නිසා මෙම නාමය යෙදී ඇත. සත්තම්බක චේතිය ද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයකි.

බහුපුත්තක චේතිය

දේවතාධිගෘහිත නුගරුකක් තිබූ මෙය ද වෘක්ෂ චේතියකි. මෙහි ද බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක.

සාරන්දද චේතිය

මෙම භූමිය සාරන්දද නම් යකුගේ වාසස්ථානයයි. බුදුරජාණන් වහන්සේ උදෙසා ද මෙහි විහාරයක් කරවා තිබුණි. මෙය විශාලා නුවර ඇතුළත පිහිටා තිබෙන්නට ඇති බව පුරාවිද්‍යාඥයන් විසින් උපකල්පනය කොට තිබේ.

ශ්වේතපුරාරාමය

මෙම ආරාමය දෙවන ධර්ම සංගීතිය පැවැත්වූ වාළුකාරාමයේ සිට මීටර් 90ක් පමණ දකුණු දෙසින් පිහිටි සංඝාරාමයකි. මෙය සමීපයේ සිව්බුදුවරුන් ම පරිභෝග කළ ස්ථාන හා අශෝක අධිරාජයා කරවූ ස්ථූපයන් ද පිහිටා තිබුණි. වරක් මගධ දේශයට වඩින භාග්‍යවතුන් වහන්සේ උතුරු දිශාවට හැරී විශාලාවට වැඩම කළ සේක. එම අවස්ථාවේ විවේක ගත් ස්ථානය සිහිවීම පිණිස මෙහි ස්ථූපයක් කරවා තිබුණි

ලිච්ඡවීන් සමුගත් තැන කරවූ ස්ථූපය (කේසරියා ථූපය)

විශාලා නගරයට සැතපුම් 30ක් පමණ වයඹ දිගින් වූ කේසරියා ගමෙහි කරවූ ස්ථූපයක් වන මෙය විශාලාවටත්, කුසිනාරාවටත් අතර පිහිටා තිබේ. අතීතයේ මෙය කාලාමවරුන් වාසය කළ කේසපුත්ත නම් නියම්ගම යි. බුදුරජාණන් වහන්සේ පිරිනිවීම සඳහා කුසිනාරාවට වඩින කල්හී එය දැනගත් ලිච්ඡවීහු විශාලා නුවරින් පිටත්ව හඬමින් උන්වහන්සේ පසුපස යන්නට වූහ. වචනයෙන් ඔවුන් සැනසිය නොහැකි බැවින් ඔවුන්ගේ ගමන වැළැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ ඍද්ධි බලයෙන් ගංගාවක් මැවූහ. රළ පහරින් යුත් මහෝඝයක් ඇති ඒ ගඟෙන් එතෙර විය නොහැකි ලිච්ඡවීහු අතරමග නැවතුණහ. ශෝකාතුර ලිච්ඡවීහු සැනසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ තම පාත්‍රය පූජා වස්තුවක් වශයෙන් ඔවුන්ට ලබා දුන් සේක.

මේ ලිච්ඡවී නිවර්තනය සිදුවූ තැන පසුකලෙක ධර්මාශෝක රජු විසින් ඉදි කළ මහා ස්ථූපය “කේසරියා ස්ථූපය” නමින් හැඳින්වේ. මේ ස්ථූපය තුළ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රා ධාතුව තැන්පත්ව ඇති බවට ද විශ්වාසයක් පවතී. හියුංසියෑං තෙරුන්ගේ වාර්තාවට අනුව ජෙනරාල් කනිංහෑම් මහතා මෙම ප්‍රදේශය හා ස්ථූපය හඳුනාගෙන ඇත. අසිරිමත් මහා සෑයක් වන කේසරියා ස්ථූපයේ සහ ඒ අවට රජ දරුවන් විසින් සැදැහැයෙන් කරවූ විශාල ආරාම සංකීර්ණයක නටබුන් අදටත් මෙහි දැක ගැනීමට තිබේ.

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධ චරිතාපදානය සහ ගෞතම සම්බුදු සසුන හා සබැඳුනු සුපූජනීය පුණ්‍ය භූමි රාශියකින් සමන්විත විශාලා මහනුවර අපිත් පහන් සිතින් යුතුව වන්දනා කරමින් පින් පුරා ගනිමු. “බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා” යන බරපතළ මිථ්‍යාවට නොරැවටෙමු.

– පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ