කෙසේ වෙතත් මංගල්‍යයට දෙපාර්ශවයෙන් ම කැමැත්ත ලැබිණ. ඊ ළඟ සති අන්තයේ ම සුරංගත්, වත්සලාත් නැකැත් බැලීම සඳහා පිටත්ව ගියේ එවැනි කටයුත්තක් පවා දෙමාපියන් වෙතින් බලාපොරොත්තු විය නොහැකි බැවිනි.
“මේ දිනේ නොගත්තොත් තව අවුරුදු දෙකකින් තමයි නැකතක් එන්නෙ.”
සරණ හාමුදුරුවෝ කීවේ හිස සලමිනි.
“තව මාස දෙකයිනෙ…!”
සුරංගට එක්වර ම කියවිණ.
“එහෙම තමයි මහත්තයො නැකැත් යෙදෙන්නෙ. අපිට ඕනෙ ඕනෙ වෙලාවට මේව බැහැ. ග්‍රහ චක්කරේ බොහෝම බලගතු එකක්. සෙල්ලම් කරන්න බැහැ හිතුමනාපෙට.”
“කමක් නැහැ හාමුදුරුවනේ ඒ දිනේ ගන්න.”
වත්සලා සුරංගට පෙරටුව කීවේ සිතේ ඇති වූ බියෙනි.
“තදබල අපල නැහැ. පොඩි දෙයක් තියෙනවා. ඒකට පිළියමක් කරන්න ලබන සෙනසුරාදා හවස හයට මෙහෙට එන්න.”
සරණ හාමුදුරුවෝ කීවේ නැකැත් කොළය දෙදෙනාගේ ම දෑතට පිළිගන්වමිනි.
“මට තියෙනෙ ප්‍රශ්නෙ මෙච්චර ඉක්මනට ලෝන් එක ගන්නෙ කොහොමද කියල.”
සුරංග එන ගමනේ දී කීවේ ය.
“මං කොච්චර කීව ද කලින් ම ඇප්ලයි කරන්න කියල. මට නම් ලබන සතියෙ සල්ලි ගන්න පුළුවනි.”
“කීයක් ද?”
“ලක්ෂ දොළහ ම දුන්නා.”
“දෙන්නගෙම සල්ලි දාල එක දවසක වෙඩින් එකයි, හෝම් කමින් එකයි ගමු. මගෙ සල්ලි ගන්න පරක්කු වෙන නිසා ඔයාගෙ සල්ලිවලින් ඇඞ්වාන්ස් ටික කරමු. මටත් පහළොවක් විතර ගන්න පුළුවනි.”
සුරංග යතුරු පැදිය ප්‍රධාන මාර්ගයෙන් අතුරු පාරකට හරවමින් කීවේ ය.
“මේ කොහෙද යන්නෙ?”
මේ පාරෙ මගෙ යාළුවෙක් ඉන්නවා ෆාම් එකක් කරන. ඌවත් මුණගැහිලම යමු.”
යතුරු පැදිය පැරණි නිවසක් ඉදිරියේ නතර කළෝ එයින් බැස කෙළින් ම ගියේ නිවසේ පිටුපස වූ සත්ව ගොවිපළ වෙත ය.
“සෙනේෂ් ජනවාරි නමවෙනිදා හවසට චිකන් කිලෝ පනහක් ඕනෙ. හැබැයි එවෙලෙම මරල ෆ්‍රෙෂ් පිට ඕනෙ.”
සුරංග මිතුරාට කීවේ ය.
“මොකද මඟුලක්වත් කන්න ද?”
“ඔව්නේ, 10 වෙඩින් එක. හෝල් එකක ගන්නවා. මේක බයිට් එකට බං.”
කුකුළ් ගඳ නිසා වත්සලා නාසය වසාගත්තා ය.
“හරි හරි ඕනෙ නම් ගෙදරට ගෙනල්ල ම මරල දෙන්නම්.”
සෙනේෂ් කීවේ අසල වූ කිකිලියකට පා පහරක් ගසමිනි.
“උඹ ෆුට් බෝල් ගහන්නෙත් කුකුළන්ගෙන් ද?
මිතුරන් දෙදෙනා ම මහ හඬින් සිනාසුණි.
සුරංග වත්සලාත් රැගෙන යතුරු පැදිය නැවත ප්‍රධාන මාර්ගයේ පැදවී ය.
“තව තැනක් තියෙනවා. ගිහිල්ල ම කියන්නම්.”
“කොහෙද කියන්න.”
වත්සලා පෙරැත්ත කරන්නට වූවා ය.
“ඕකනෙ ඉතින්… පුංචිලගෙ ගෙදර. පුංචියි බාප්පයි දෙන්නම සුරාබදු එකේ ඉන්නෙ. ලිකර් ටික නිකං වගේ ගන්න පුළුවන් වෙයි.”
යතුරු පැදිය එකවර නතර කළේ නවීන පන්නයේ සුවිසල් නිවසක් ඉදිරිපිට ය.
“මේ ගේ ම ජරාව තමයි.”
සුරංග වත්සලාගේ කනට කර කීවේ ය.
“ජරාව කිව්වෙ පගාව ද?”
“ඔව්.”
වත්සලාගේ දෑස් විසල් නිවසේ හැම තැනක ම ඇලෙන්නට විය.
“පුතාට කොච්චර ඕනෙ වෙනව ද?”
පුංචි අම්මා ඇසුවේ දරුවෙකු සීනි බෝල ඉල්ලුවාක් වැනි සරල හැඟීමෙනි.
“බියර් සීයයි. අනෙක්ව සීයයි.”
“ඇති වෙයි ද පුතා?”
ඇති වෙයි පුංචි. දෙපැත්තෙන් ම පන්සීයක් වගේනෙ.”
“හරි. ඒව ඔක්කොම මං ගානෙ. ඔයාල පදිංචි වෙන්නෙ?”
“කොළඹින් ම ඇනෙක්ස් එකක් ගන්නවා.”
සුරංග කීවේ ඉතිරෙන සතුටු සිතිනි. පුංචි අම්මාගේ දෙපා වැඳ සමුගත්තෝ ඊ ළඟට ගොඩවූයේ නවීන රූපලාවන්‍යාගාරයක් වෙත ය.
“වත්සලා, ඔය දෙන්නගෙයි, යාළුවො දහදෙනාගෙයි ඔක්කොම ඇඳුම් ඔයාලගෙ මෙෂර්මන්ට්වලට අලුතින් ම මහලා අන්දන්නයි, එතකොට උඹලා සිලෙක්ට් කරපු ඇල්බම් එකයි ඔක්කොටම ලක්ෂ හතරක් ගන්නම්. මේක පැකේජ් එකක්. උඹ නිසා පනහක් අඩු කරලයි මේ. හැබැයි මචෝ ඇඳුම් ඔක්කොම ආපහු ගන්නවා.”
සුරංගගේ මුහුණ අඳුරු වෙනු වත්සලා දුටුවා ය. නමුත් තම යෙහෙළිය තමාට බොරුවක් වංචාවක් නොකරන බව දන්නා වත්සලා ඊට එකඟ වූවා ය.
“ඒ ගෑනි අද ම අපිව ඇන්දුව ද මන්දා…”
ආපහු එන ගමනේ දී සුරංග තම නොසතුට ප්‍රකාශ කළේ එලෙසිනි.
“ඕකනෙ කියන්නෙ. වෙන මොනව තිබුණත් වැඩක් නැහැ හරියට ඩේරස් කර නොගත්තොත්. ඇල්බම් එක හරියට නොතිබුණොත්. ඕනෙම දේට ඔයා හැමතිස්සේ ම ලෝභයි.”
සුරංග කිසිත් නොකියා යතුරු පැදියේ වේගය වැඩි කළේ ය.
“මරන්න ද හදන්නෙ?”
සුරංග යතුරු පැදියේ වේගය අඩු කළේ ය.
*******************************************
මංගල්‍යය අසිරිමත් ලෙසින් පැවැත්වෙමින් පවතී. පෝරුවේ චාරිත්‍ර වැඩි වේලාවක් නොපැවතීම ගැන සුරංගගේ ඥාති ගැහැනු කිහිපදෙනෙකු තැන තැන කුසු කුසු ගාන්නට වූයේ ඉරිසියාව ද නිසා ම ය.
“පියුමාල්, උඹලගෙ මාමට කියපන් අපි පෝරුවෙ නගින්නෙ ෆොටෝ ටික ගන්න විතරයි, ඔය ඕනෙ නැති ගාථා කියන්න එපා කියල. උඹට තේරෙනවනෙ මං කියන දේ.”
සුරංග කලින් ම පෝරුවේ කටයුතු සිදු විය යුතු අන්දම කෙසේ දැයි උපදෙස් දී තිබුණි.
“උඹල උඹලගෙ වැඩක් බලාගනිල්ලා. බැරි නම් පලයල්ලා.”
කාරණය කන වැකුණු විගස සුරංගගේ තාත්තා තම සහෝදරියන්ගේ මූණට ම කීවේ ය. ස්වල්ප වේලාවක දී සුරංගගේ ඥාතීන් බොහෝ දෙනෙක් පිටව යනු කිසිවෙකුගේ නෙත නොගැටුණි.
“අනේ කෙල්ලේ උඹට ගොඩක් පින්, මේ තරම් ලස්සනට අපි ව ඩේරස් කළාට.” වත්සලා මිතුරියට කීවේ එතෙක් පැලඳ සිටි තෝඩු දෙක ගලවා ඈ අතට දෙමිනි.
“මේ ගවුම ම හෙට උදේ හයර් එකක් තියෙනවා. අද ම ගන්න ඕනෙ නිසා අපිත් එනව උඹලත් එක්කම හෝටලේට.”
මිනෝලි කීවේ වත්සලා ව මධුසමයට පිටත් වීම සඳහා සරසා අවසන ය.
ඒක ලේසියි මිනෝ.” වත්සලා කණ්ණාඩියට එබුණා ය.
“හිම කුමාරියක් වගේ.”
සල සිටි සුරංග හිතට ආ දේ ම කීවේ ය. ‘වියදම් කළාට පාඩු නැහැ.’ ඔහුට සිතුණි.
සුවහසක් සුභපැතුම් මැද මනාල යුවළ මධුසමය පිණිස නුවර වීදි අතරින් ඇදී යන්නට විය. ඔවුන් පසුපසින් වූයේ මිනෝලිත්, ඇයගේ ස්වාමියාත් සිටි රථය පමණි.
අම්මෝ දැනෙන සනීපෙ.” වත්සලා ඇඳ ඇතිරිල්ලක් පොරවාගෙන දවස පුරා අමාරුවෙන් ඇඳගෙන සිටි ගවුම උනා දෙමින් කීවා ය.
“සුරංගගෙ ඇඳුමත් ගන්නෝන.” මිනෝලි කීවා ය.
“මං වොෂ්රූම් එකට ගියාම ඒ දෙන්නට ඇතුළට එන්න කියන්න.”
වත්සලා තුවාය ද රැගෙන නානකාමරයේ දොරවසා ගත්තා ය. ගවුම නවා පෙට්ටියකට තැන්පත් කර ගත් මිනෝලි කාමරයෙන් පිට වූවා ය.
ඔය දෙන්න ඇතුළට යන්න.”
සුරංග ද ඇඳුම් එකිනෙක උනා දැම්මේ ය. ඒ සියල්ලක් ම මිනෝලිගේ ස්වාමියා තම බෑගයේ අසුරාගෙන කාමරයෙන් පිට වෙත්දී සුරංගට ඉතිරිව තිබුණේ ඩහදියෙන් පෙඟී ගිය යට ඇඳුම් පමණකි. ඔහුට තද කුසගින්නක් ද පිපාසයක් ද දැනෙන්නට විය. දවස පුරා ම දෙදෙනාට ම කෑමක් බීමක් නැති තරම් ය.
සුරංග දුරකථනය ගෙන අම්මාට කථා කළේ ය.
“පුතා… ඔක්කොම ගෙවීම් කළාට පස්සෙදි විසිපන්දාහක් විතර තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.” අනෙක් කෙළවරින් අම්මාගේ හඬ නැගිණ.
“ විසිපහ ද ඉතුරු? ඇනෙක්ස් එකටත් අනූවක් ඇඞ්වාන්ස් කරන්න ඕන. හ්ම්… ඇවිත් බලමු. කෝ අප්පච්චි?”
“අන්න පාන් ගෙඩියක් ගේන්න කියල කඬේට ගියා. මට බැහැ දැන් ගිහින් උයන්න. රෑ වෙයි ගෙදර යනකොට.”
“කොහොමද යන්නෙ?”
“ත්‍රීවීල් එකක.”
“මං කථා කළා කියන්න. එහෙනම් මං තියනවා අම්මෙ.”
සුරංග ඇමතුම විසන්ධි කොට ජනෙල් කවුළුව අතරින් හිස් අහසට එබුණි.
“ඔයාට ඔච්චර ද ඉතුරු වුණේ?”
වත්සලා නාන කාමරයෙන් එළියට පැමිණෙමින් සුරංගට සිනාසුණා ය.
“ඔව්නෙ.”
සුරංග ද ඇගේ සිනාවට එකතු විය.
***************************************
පසුවදන:-
අවසානයට කාපු කෑමක් ද නැත. බීපු බීමක් ද නැත. ඇඳපු ඇඳුමක් ද නැත. ඉන්න තැනක් ද නැත. හිටපු නෑයන් ද නැත. සිල් ද බිඳගෙන ඇත. රටට ණය පමණක් ඇත. ඔබට නම් මෙවන් විපතක් නොවේවා…!
විහඟ පරාක්‍රම
Recent Comments