දානාදී පින්කම් කොට දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ගැන බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දී විස්තර කරලා තියෙනවා. දිනක් මගධ මහා අමාත්‍යවරුන් වූ සුනීධ වස්සකාර යන ඇමතිවරුන් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා හට දානයක් පූජාකළ අවස්ථාවේ අප භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව ලෙස මේ ගථා වදාළා.

“යස්මිං පදේසේ කප්පේති – වාසං පණ්ඩිතජාතියෝ
සීලවන්තෙත්ථ භෝජෙත්වා – සඤ්ඤතේ බ්‍රහ්මචාරයෝ

නුවණැති අදහස් ඇති යමෙක් යම් පෙදෙසක වසයි ද, සංසුන්
ඉඳුරන් ඇති, බඹසරෙහි පිහිටි සිල්වතුන් වහන්සේලා මෙහි වැඩමවා වළදවා,

යා තත්ථ දේවතා ආසුං – තාසං දක්ඛිණමාදිසේ
තා පූජිතා පූජයන්ති – මානිතා මානයන්ති නං

එම පෙදෙසෙහි යම් දේවතාවෝ සිටිත් ද, ඔවුන්ට ඒ දානමය පින් දෙන්නේ ය.
මෙසේ පිනෙන් පිදුම් ලද ඒ දේවතාවෝ ඒ පින් දුන් අයට පෙරළා පුදති. බුහුමන් ලද ඒ දේවතාවෝ තමන්ට බුහුමන් කළ අයට පෙරළා බුහුමන් කරති.

තතෝ නං අනුකම්පන්ති – මාතා පුත්තං’ව ඕරසං
දේවතානුකම්පිතෝ පෝසෝ – සදා භද්‍රානි පස්සතී’ති.

ඒ හේතුවෙන් දේවතාවෝ ඔවුන්ට අනුකම්පා කරති. මවක් තමන් බිහිකළ පුත්‍රයාට අනුකම්පාව දක්වන ලෙසිනි. දෙවියන්ගේ අනුකම්පාව ලබන පුරුෂ තෙමේ හැමකල්හී යහපත දකියි.”

මෙම ගාථාවලින් තේරුම් ගත හැකියි යම්කිසි පිනක් රැස්කළ විට එය දෙවියන්ට අනුමෝදන් කිරීම තුළින් පින් අනුමෝදන් වන දෙවියන්ගේ අනුකම්පාව පින්දහම් කරන තැනැත්තා හට සැලසෙන බව. තමා රැස් කරන පින් දෙවියන්ට අනුමෝදන් කිරීමෙන් දෙවියෝ ද සතුටු වෙති. තමාහට දෙවියන්ගේ ආරක්ෂාව ද ලැබෙයි.