සඳ පහන් රැයේ ගම පැවතියේ නිදි තුරුලේ ය. මැදියම පිණිස සඳ ඉහළ අහසට එබෙද්දී ගමේ වූ නිසල බව බිඳී ගියේ නැගුන විලාපයෙනි.

“අනේ අම්මේ…. රත්තරං අම්මේ…”

බිසෝ තිගැස්සී අවදි විය. එකෙණෙහි ම අසල වූ කොහොඹ ගසට ආලෝකයක් ගිලී යන’යුරු ද ඕ දුටුවා ය.

‘ඒ කවුද?’ බිසෝ සිතුවා පමණකි.

ගම්දොරින් නැගෙන විලාපයට තව තවත් කට හඬවල් එක්ව එය වඩ වඩාත් උස්ව නැගෙන්නට විය. බිසෝට එක්වරට ම කිසිවක් පැහැදිලි නොවිණි. අනෙක ඇගේ කල්පනාව මේ වේලෙහි වූයේ කොහොඹ ගස කෙරේ යොමුව ය.

“කවුද ඔය?”

බිසෝ ඇසුවේ සිය හෘදයංගම මියුරු හඬිනි.

“මම… දෙනියෙ ගෙදර රන්මැණිකා. ඔය විලාප සද්දෙ ඇහෙන්නෙ අපේ ගෙදරින් තමයි.”

පිළිතුරු හඬෙහි කිසියම් බයාදු ස්වරූපයක් වී ද බිසෝ කටහඬින් ද නමින් ද එක්වර ම ඕ කවුදැයි දැන ගත්තී ය. බිසෝගේ සතුට නිම්හිම් නො වී ය. තමා අසල වූ කොහොඹ ගසට පැමිණ ඇත්තේ කලින් තමා හා උරෙන් උර ගැටී පින් දහම් කළ මිතුරිය යි. ‘අනේ සාධු’ යැයි සිතමින් ම ඕ නැවත කටහඬ අවදි කළා ය.

“අනේ නංගියේ මේ උඹ ද? මාව අඳුනගන්න පුළුවන් ද? මං මේ බිසෝ අක්කා.”

බිසෝ සියඹලා ගසින් මතුව සිය රිදී ආලෝකය පතුරුවාගෙන සිටිත් ම රන්මැණිකා ද සිය මිතුරිය හඳුනාගත්තී පුදුමයට පත් වීගෙන ම කථා කළා ය.

“අනේ බිසෝ අක්කා. අනේ අක්කෙ, අපි හිතුවෙම උඹ නිම්මාණරතියෙ ඇති කියලා. කවුරු නැතත් මම. ඇයි මාත් එක්ක කොයි තරම් නම් කියල තියෙනව ද උඹ නිම්මාණරතියෙ යන්නෙ කියල.”

“යන්න තිබුණා නංගියේ, සුටුස් ගාලා යන්න තිබුණා. ඒත් ඉතින් මට අන්තිමට සිහියට ආවේ මං හදපු මේ පන්සලනේ. මගේ හිතින් පින අතහැරුණා. මගේ පන්සල තමයි පින කියලා අල්ලාගත්තේ.”

රන්මැණිකා කොහොඹ ගසින් එළියට එන්නට උත්සාහ කළ ද වෑයම සාර්ථක නො වී ය.

“අක්කේ, මට උඹට වගේ එළියට එන්න බැහැනේ.”

“ඔහොම තමයි ඉන්න වෙන්නේ. ඔහොම අය තමයි වැඩිපුර ඉන්නේ.”

“මෙහෙම? මේකට හිර වෙලා…?”

“ඔව්. පින මදි. ඔය ගහේ සාරය ම තමයි උරා බොන්න වෙන්නේ.”

බිසෝ කීවේ දැනමුත්තියක ලෙසිනි. එහෙත් තමාගේ යසස පිළිබඳ ආඩම්බර බවක් ඕ හට නො විණි. ආඩම්බර බව බිසෝට කවදත් නොරිසි කරුණකි.

“චිකේ මේ තිත්ත කොහොඹ…”

බිසෝ කිසිත් නො කීවා ය.

“ඔන්න කමක් නැහැ. එක අතකට කොහොඹ කියන්නේ නරක දෙයක්යැ. අක්කේ විස්තරේ කියාපන්කො. මට නම් තාමත් හිතාගන්න බැහැ උඹ කරපු පින්වල හැටියට මෙහෙම වුණ එක ගැන.”

රන්මැණිකාට ඉස්පාසුවක් නැති සෙයකි.

“උනා නෙමෙයි නංගියේ, කරගත්තා කිව්වොත් තමයි හරි ම කතාව. අන්තිම මොහොතෙදි මං කරපු පින් සිහිකරගෙන යද්දී හිත නතර වුණේ ආවාසෙ පූජා කරපු දවසෙ ලොකු හාමුදුරුවෝ කරපු කථාවනේ. ඒක හැමදාම මගේ හිතේ තිබුණ දෙයක්.”

මෙවලෙහිත් බිසෝගේ දිග නීල දෙනෙත් වඩාත් දීප්තිමත් ව බබළනු රන්මැණිකා දුටුවා ය.

“මේ තරම් සැප පහසුවට සංඝයාට සුවපහසු ආවාසයක් කරපු උපාසිකාවක් තවත් නම් ලංකාවෙ ම නැහැ. විශාඛාව ආයෙම ඉපදිලා වගෙයි. කිහිප දෙනෙක් උදව් කළා තමයි. නමුත් මේක බිසෝ හදපු ආවාසෙ. බිසෝ කුමාරිහාමිගෙ ආවාසෙ. ඔන්න කථාව.”

“ඉතිං…?”

“මට එහෙම ම නින්ද ගියා වගේ වුණා. ඇහැරිලා බලද්දි මෙතන තමයි.”

“උඹට වැරදිලාමත් නැහැ අක්කෙ… ඔය ඉන්නේ බැබළි බැබළි.”

රන්මැණිකා කීවේ අවංක සිතිනි.

“මට මෙහෙදි දෙයක් වැරදුණා නංගියෙ. මෙහෙ ඉන්නවා එක පොඩිනමක්. ඒකා හැමදාම රෑටයි පාන්දරටයි මුත්‍රා කරන්නෙ අර අපි හදපු සක්මන් මළුවට. මට ඉවසා ගන්න ම බැරි තැන මං ඒක ව තල්ලු කළා කොන්ද කැඩෙන්න ම.”

“හොඳ වැඬේ. නැහැ නැහැ හොඳ නැහැ.”

රන්මැණිකාට වචන පටලැවිණ.

“ඉතින් තාමත් එහෙම ද?”

“ඔව්. දැන් ඒවා වල් වැදිලා. කවුරු සක්මන් කරන්න ද?”

බිසෝ දිගු සුසුමක් පිට කළා ය.

“ඕක අතහැරපං අක්කෙ. මේව මහ පුදුම කථානෙ බලපුවහම…”

“පුදුම වෙන්න දේවල් තව තියෙනවා නංගියේ. අපේ ලොකු හාමුදුරුවොත් මෙහෙ ම තමයි.”

බිසෝ කීවේ රහසක් කියන්නාක් මෙනි.

“මේ අපේ ලොකු හාමුදුරුවො? බුදු කෙනෙක් වගේ අපිට සසරින් නිදහස් වෙන්න කියාපු උත්තමයා. මං හිතුවෙ ම උන්නාන්සේ සසරින් නිදහස් වෙලා ම ගියා කියලා.”

“ඒකනෙ නංගියේ… ආන් වෙහෙර වහන්සේ ළඟ අඹ ගහේ ඉන්නවා.”

“අනේ මන්ද. මගෙ ඔළුවත් නිකන් තෝන්තු වෙනවා මේවා අහනකොට. අර මොකෝ අක්කෙ ඒ උත්තමයට වෙලා තියෙන්නෙ…”

රන්මැණිකා විස්සෝපයට පත් වෙමින් ඇසුවා ය.

“වෙහෙරෙ නිධන් කළේ උන්වහන්සේ කුටියේ තියාගෙන වන්දනා කරපු ධාතූන් වහන්සේනෙ…”

“ඉතිං…”

“ඉතිං ඒක අල්ලාගෙනයි ඉඳල තියෙන්නෙ…”

“අයියෝ අයියෝ… මෙහෙමත් පුදුම දේවල්.”

බිසෝට ඇඬෙන්නට ආසන්න ය.

“උඹ කලබල නො වී හිටින්. නංගියෙ ඔහොම ටිකක් අනිත් පැත්තට හැරිල වැසිකිළි වළ දිහා බලපං. හැබැයි බය වෙනව එහෙම නෙවෙයි.”

රන්මැණිකා කුතුහලයෙන් ම හැරුණා ය. ගස තුළ තමා ව අපූරුවට හැරී යන බවකි ඇයට දැනුනේ. දුටු දසුනින් ඇගේ දෑස් නතර වූයේ නළලේ ය. මොහොතක් දෙකක් සිහි එළවා ගත නොහී බලා සිටි ඕ එක්වර ම හැරුණා ය. පිළිකුළත්, විස්මයත් ඈ තුළ මොනවට විය.

“අනේ රත්තරං අක්කෙ කවුද බං අර පිසාචයා? අර වැසිකිළි වළේ බැහැගෙන අසූචි කන එකා? මුළු ඇඟ ම කුණු වෙලා ඕජාව ගලනවා. සට සට ගාල පණුවො හැළෙනවා. ලබු ගෙඩි දෙකක් තරමට අර නිකටෙ එල්ලෙන්නෙ උගෙ කෝෂ දෙක නේ ද? දිවේ ඉඳිකටු ද මන්ද මං හරියට ම බැලුවෙ නැහැ. බලන්නේ කොහොමෙයි බං එහෙම එකෙක්?”

“ඔය කුණු වෙලා හිටියට ඒකෙන් ගොඩ ආව ගමන් මුළු ඇඟ ම පිච්චෙනවා. එතකොට වළට පනිනවා. පණුවො කනකොට ගොඩ එනවා. ගිනි ගන්නවා. ආයෙම පනිනවා. ඔහොම තමයි දවසෙ ම…”
බිසෝ කීවේ අනුකම්පාවෙනි. රන්මැණිකාට නම් තවමත් අපුල බවක් පමණකි.

“අනේ කවුද බං අක්කෙ ඌ? අපි දන්න කෙනෙක් ද?”

“නංගියේ අපේ ලොකු එකා…”

“සිරිසෝම?”

රන්මැණිකා පෙරටත් වඩා පුදුමයට පත් වූවා ය.

“ඔව්. සිරිසෝම තමයි.”

“දෙයියනේ මේව බල බලා ද උඹ මෙහෙම ඉන්නෙ? අනේ අක්කෙ මොකද බං සිරිසෝමට එහෙම වුණේ?”

බිසෝ දිග කථාවක් කෙටි කොට කියන්නට වූවා ය.

“උඹලා දන්නෙ නැහැ නංගියේ, ආවාසෙ හදන්න මං අර පොල් ඉඩම විකුණල සල්ලි දුන්නා කියල දැනගත්තම ඕකා මට කියපු දේවල්. මට ලොකු හාමුදුරුවන් ව පාවා දිදී මාස ගාණක් බැණ්නා. දැන් ඔය විඳවන්නෙ ඕවා තමයි. කරුමෙ කියන්නෙ මේව අපිටත් දකින්න වුණා.”

“ඉතුරු ටිකත් කියපං. මමත් මේව දැනගන්න එපැයි. දැන් නම් ඉතිං අපට වෙච්ච දේවල් ගැන පුදුම වෙන්න, දුක් වෙන්න දෙයක් නැහැ වගේ මට පේන්නෙ.”

රන්මැණිකා හිත හදාගෙන අහවර ය. බිසෝ සිනාසුණා ය.

“තව විස්තර පස්සෙ දැනගතහැකි. කියහං උඹට මොකද මේ වුණේ කියලා? තුසිතෙ නේ ද යන්න හිටියෙ?”

“අක්කෙ පන්සලේ ඉන්නෙ අර රතු පොඩිනම. උඹට කියන්නෙ අක්කෙ, පටිච්චසමුප්පාදෙ, ආයතන, ධාතු ගැන කියල දෙනවා අහගෙන ඉන්න ආසාවෙ බැහැ…”

“ඉතිං?”

“වැඬේ කියන්නෙ මට හිතුණෙ ම මගේ දරුවෙක් ය කියලා. මම දානෙට කියල හදල නො දීපු දෙයක් නැති තරම්.”

“ඉතිං ඉතිං?”

“අනේ මට අන්තිමයි කියල ආරංචි වෙලා මේ රෑ දෙගොඩ හරියෙ වැඩම කරල මේ දැනුත් පිරිත් කිව්වනෙ.”

රන්මැණිකා වැඳගන්නා අයුරු බිසෝ දුටුවා ය.

“මගේ හුස්ම යනකොටත් පොඩිනම මගේ නේත්තරා දෙක ඉස්සරහ. මං දන්නෙ එච්චරයි. උඹේ කටහඬට තමයි මාව ඇහැරුණේ. එතකොටයි දැනගත්තෙ මම මෙතන ය කියල.”

බිසෝ කිසිත් නො කීවා ය. එවිට ම සියාතු උපාසකට පෙරාතුව පන්සල දෙසට වඩින පොඩිනම ව බිසෝ දුටුවා ය.

“අර එන උන්නාන්සේ ගැන ද උඹ කිව්වෙ?”

රන්මැණිකා ද පොඩිනම දුටුවා ය.

“ඔව්. ඔව්. උන්වහන්සේ තමයි…”

“ආ… එයා ද? එයා ව තමයි මම තල්ලු කළේ.”

මෙවෙලෙහි නම් බිසෝ තුළ ළතැවීමක් නො විණි.

“අනේ සාධු සාධු. මට දැන් ආයෙ උන්වහන්සේ දකින්න ලැබෙනවා.”

රන්මැණිකා දොහොත් මුදුනේ තබාගෙන ම කීවා ය. බිසෝ කිසිවක් ම නො කීවා ය.

පසුවදන –
“පින්වත් මහණෙනි,
හැම ධර්ම කථාවක් ම, හැම ධර්ම සාකච්ඡාවක් ම තිබෙන්නේ, ගුරුවරුන් ඇසුරු කළ යුත්තේ සවන් යොමු කොට දහම් ඇසිය යුත්තේ මේ සඳහා ය. එනම් කිසිවකට නො බැඳී නිදහස් වීම සඳහා ය.”
භාග්‍යවතුන් වහන්සේ

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි