අද වන විට ශ්‍රී ලාංකේය සමාජය තුළ රහතන් වහන්සේ පිළිබඳව බොහෝ අදහස් හා මතවාද පැනනැගී තිබේ. “අසවල් කෙනා රහතන් වහන්සේනමක්ලු. අසවල් තැන රහතන් වහන්සේලා ඉන්නවාලු.” ආදී වශයෙන් නොයෙක් කථාවන් පැතිර යමින් තිබේ. එමෙන් ම තමන් රහත් කෙනෙක් වශයෙන් අඟවන සහ ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරන අය ද බිහි වී තිබේ. එමෙන් ම මාර්ග ඵල ලබා දෙන වැඩසටහන්වල ද අඩුවක් නැත. කිසිදු අපහසුතාවයකින් තොරව වැඩසටහන් කීපයකින් මාර්ග ඵල ලබා දෙන පුද්ගලයන් ද බිහි වී තිබේ. මෙවැනි තත්ත්වයක් මත සැබෑ ම රහතන් වහන්සේලා කවුද යන්න හඳුනාගැනීමට සද්ධර්මය නොදන්නා බහුතරයක් ජනතාවට නො හැකි වී මුළාවෙන් මුළාවට පත් වී තිබේ. සැබෑම රහතන් වහන්සේලාගේ ස්වභාවය කෙබඳු ද, උන්වහන්සේලාගේ ගුණ මොනවාද ආදී කරුණු පිළිබඳ ව ථේර ගාථා සහ අනෙකුත් සූත්රගත කරුණු ඇසුරින් ඉදිරිපත් වන මෙම ලිපිය මගින් සැබෑ ම රහතන් වහන්සේලා පිළිබඳ අවබෝධයක් ඔබට ලබාගත හැකි වනු ඇත.
රහතන් වහන්සේලාගේ උදාන
රාග ද්වේෂ මෝහ ආදී සෑම කෙලෙස් බන්ධනයක් ම දුරු කළ රහතන් වහන්සේට තමන් සදහට ම සසරින් නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇතිවන්නේ මේ අයුරිනි.
“ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
ඉපදීම ක්ෂය වෙලා ගියා. බඹසර වාසය සම්පූර්ණ කර ගත්තා. කළ යුතු දේ කළා. නිවන් අවබෝධය පිණිස කළයුතු වෙනත් දෙයක් නැතැයි දැනගනියි.”
ඒ වගේ ම ඒ රහතන් වහන්සේලා මෙවැනි උදානයක් පහළ කරන සේක.
“බුදු සමිඳුන් මම ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින් ම කපලා දැම්මා. මට දැන් මැරෙන්ට වුණත් අමුතු ආශාවක් නැහැ. ජීවත් වෙන්ටත් අමුතු ආශාවක් නෑ. මාසෙ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ මං මේ බලමින් ඉන්නෙ පිරිනිවන් පෑමටයි.”
සම්බුදු මුවින් වදහළ අසිරිමත් අරහත් ගුණ
සැබෑවට ම රහතන් වහන්සේලා හඳුනාගත හැක්කේ ගුරූපදේශ රහිත ව ලොව ප්‍රථමයෙන් ම අරහත්වයට පත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු වදන් තුළිනි.
“සන්තං තස්ස මනං හෝති – සන්තා වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස – උපසන්තස්ස තාදිනෝ
රහතන් වහන්සේට තියෙන්නෙ නිවී සැනසී ගිය හදවතක්. උන්වහන්සේගේ වචනත් නිවිලා තියෙන්නෙ. කයත් නිවිල තියෙන්නෙ. අවබෝධයෙන්ම දුකින් නිදහස් වුණ, උපශාන්ත සිත් ඇති රහතන් වහන්සේ එහෙම තමයි.”
(ධම්මපදය – අරහන්ත වර්ගය)
නිකෙලෙස් හද මඬලකින් මහපොළොව මත ඇවිදගෙන ගිය ඒ උතුම් රහතන් වහන්සේලා කා සමඟත් විරුද්ධ වන්නේ නෑ. මහපොළොව වගේ අටලෝ දහමින් කම්පා වෙන්නෙත් නෑ. ඉන්ද්‍රඛීලයක් වගේ යහපත් සීලයකින් යුක්තයි. උන්වහන්සේලා මඩ නැති විලක් වගේ. එබඳු රහතන් වහන්සේට සංසාර ගමනක් නෑ. උන්වහන්සේ ශෝක රහිතව හැමදේකින් ම නිදහස් වෙලයි ඉන්නෙ. හැම කෙලෙස් ගැටයක් ම නැති කරල ඉන්න රහතන් වහන්සේලාට කෙලෙස් දාහයක් කොයින් ද?
ඒ වගේ ම රහතන් වහන්සේ සතර සතිපට්ඨානයේ ම සිහිය පිහිටුවාගෙන සමථ විදර්ශනාවේ ම නැවත නැවත යෙදී වසනවා. උන්වහන්සේලා සිවුපසයට ඇලෙන්නේ නෑ. ඒ නිසා වැඩ සිටින හැම තැනක් ම අතහැරලා බැඳීම් රහිත සිතින් පිටත්වෙලා යන්නෙ විල අතහැරලා යන හංසයෝ වගේ. ඒ උතුම් ගුණ දරාගෙන සිටින රහතන් වහන්සේලාට නිවන ම අරමුණු වෙලයි තියෙන්නෙ. අහසේ පියාඹා ගිය කුරුල්ලන්ගේ ගමන් මග කාටවත් දැකගන්න බෑ වගේ රහතන් වහන්සේලා වැඩිය මඟ කාටවත් දැකගන්න බෑ. රහතන් වහන්සේලා මේ තරම් ගුණධර්ම දියුණු කළේ මේ ශ්‍රී සද්ධර්මයෙන් ම යි. හැම දුකින් ම නිදහස් වූ රහතන් වහන්සේලා සැබෑවට ම ප්‍රඥාවන්තයි. කම්මැලිකමින් තොරයි.’
(ධම්මපදය ඇසුරින්)
තවත් අසිරිමත් අරහත් ගුණ වැයුමක්
සංයුත්ත නිකායෙහි පඨම අරහත්ත සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ අසිරිමත් අරහත් ගුණ ලොවට හෙළි කළේ මේ අයුරිනි.
“යාවතා භික්ඛවේ සත්තාවාසා, යාවතා භවග්ගං, ඒතේ අග්ගා, ඒතේ සෙට්ඨා ලෝකස්මිං, යදිදං අරහන්තෝති.
පින්වත් මහණෙනි, යම්තාක් සත්වයන්ගේ වාසස්ථාන තියෙනවාද, යම්තාක් භවාග්ර තියෙනවාද, ඒ තාක් ලෝකයෙහි අග්‍ර වන්නේත්, ශ්‍රේෂ්ඨ වන්නේත්, මුන්වහන්සේලා ම ය. එනම්, රහතන් වහන්සේලායි.
ඒකාන්තයෙන් ම රහතන් වහන්සේලා තමයි සුවසේ ඉන්නෙ. උන්වහන්සේලා තුළ තණ්හාවක් නෑ. ‘මම වෙමි’යි යන අස්මිමානය මුලින්ම සිඳලයි ඉන්නේ. මෝහය නැමැති දැල පලා දමලයි ඉන්නේ. උන්වහන්සේලා තෘෂ්ණා රහිත වූ අරහත්වයට පත්වෙලයි ඉන්නේ. උන්වහන්සේලාගේ සිත කැළඹෙන්නෙ නෑ. උන්වහන්සේලා ලෝකය සමඟ තැවරෙන්නෙ නෑ. ශ්‍රේෂ්ඨ තත්වයට පත්වෙලයි ඉන්නේ. ආශ්‍රව රහිතවයි ඉන්නේ.
පංච උපාදානස්කන්ධයන් පිරිසිඳ අවබෝධ කරලයි ඉන්නේ. හිරි ඔත්තප්ප ආදී සද්ධර්මයන් හතක් මුල් කරගෙනයි ඉන්නේ. උන්වහන්සේලා ප්‍රශංසාවට සුදුසුයි. සත්පුරුෂයි. බුදුරජාණන් වහන්සේගේ ළයෙහි උපන් පුතණුවන් වහන්සේලායි. බොජ්ඣංග ධර්ම නම් වූ මාණික්‍ය රත්න හතෙනුත් යුක්තයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මිලයි ඉන්නේ. භයභේරවයන් ප්‍රහීණ වෙලා ඉන්න ඒ මහාවීරයන් වහන්සේලා නිදහස් සිතින් සැරිසරා වඩිනවා.
ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සම්මා ඤාණය හා සම්මා විමුක්තිය යන අංග දෙකත් කියන උතුම් අංග දහයෙන් සමන්විතයි. උන්වහන්සේලා මහා හස්ති රාජයන් වගෙයි. සමාහිත සිත් ඇතිව ඉන්නවා. මේ ලෝකය තුළ උන්වහන්සේලා තමයි ශ්‍රේෂ්ඨ. උන්වහන්සේලා තුළ තණ්හාවක් නෑ. අසේඛ හෙවත් අරහත් ඤාණය උපදවාගෙනයි ඉන්නේ. අන්තිම සිරුර තමයි මේ දරාගෙන ඉන්නේ. මේ බඹසර වාසයෙහි යම් අරටුවක් ඇද්ද, ඒ අරහත්වය ලබාගෙන අන්‍ය උපකාර රහිතව වාසය කරනවා.
සෙය්‍යමාන ආදී මානයන්ට කම්පනය වෙන්නේ නෑ. පුනර්භවයෙන් මනාකොට නිදහස් වෙලයි ඉන්නේ. අරහත්වය නම් වූ දන්තභූමියට පත්වෙලයි ඉන්නේ. උන්වහන්සේලා තමයි ලෝකයෙහි මර සෙනඟ පරදවලා ජය අරගෙන ඉන්නේ. උඩු අතට බැලුවත්, හරස් අතට බැලුවත්, යටට බැලුවත් ඒ කිසි තැනෙක තණ්හාවක් උන්වහන්සේලා තුළ නෑ. උන්වහන්සේලා සීහනාද පතුරන්නේ ‘ලෝකයෙහි බුදුවරයන් වහන්සේලා උත්තරීතරයි’ කියලා.”
දෙවියෝ ද අරහත් ගුණ ගයති
දිනක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දී බොහෝ සතුල්ලපකායික දෙවිවරු රහතන් වහන්සේ ගැන මේ අයුරින් පැවසූහ.
“උන්වහන්සේ සම්මුතිය ඉක්මවා ගිහින් තියෙන්නෙ. කිසි මාන්නයකට පත්වෙන්නේ නෑ. මේ නාමරූප කෙරෙහි තෘෂ්ණාව සිඳල දාලයි තියෙන්නෙ. දුක් රහිත වූ ආශා රහිත වූ ඒ රහතන් වහන්සේ උපදින තැනක් ගැන දෙවියොත්, මිනිස්සුත් මෙලොව පරලොව හෝ ස්වර්ගවල හෝ හැම සත්ව වාසස්ථානයක හෝ හෙව්වත් කොතැනකවත් සොයාගන්න නෑ.”
(න සන්ති සූත්‍රය – සං.නි. 1)
දිනක් දස දහසක් පමණ දෙවියෝ ද බ්‍රහ්ම පුරෝහිත ලෝකයේ සියලු බ්‍රහ්මයෝ ද මුගලන් මහරහතන් වහන්සේ ඉදිරියේ දෑත් බැඳගෙන වන්දනා කරමින් මේ අයුරින් පැවසූහ.
“ශ්‍රේෂ්ඨ පුරුෂය, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමය, ඔබට නමස්කාර වේවා! ඔබ තුළ ආශ්‍රවයන් නෑ. දුක් රහිත මුනිඳුනි, ඇත්තෙන්ම ඔබ ලෝකයාගේ දන්පැන් පිළිගැනීමට සුදුස්සෙක්.”
(ථේර ගාථා පාළි)
මේ අනුව රහතන් වහන්සේලා යනු කෙලෙසුන් දුරු කළ නිසා ම දෙවි මිනිසුන්ගේ වන්දනාමානයට සුදුසු, ලෝකයාගේ දන්පැන් පිළිගැනීමට යෝග්‍ය වූ දක්ඛිණෙය්‍ය ගුණයෙන් යුතු උතුම් පිරිසකි. එලෙස ම දෙව් මිනිස් ලෝකයාගේ අනුත්තර පින්කෙත වන්නේ රහතන් වහන්සේලා ය.
චූල සුභද්‍රා උපාසිකාවගේ අසිරිමත් සඟ ගුණ වැයුම
බුදු සසුන බබළවන සැබෑ රහතන් වහන්සේලා සිටි යුගයේ දී ගිහි ශ්‍රාවකයෝ ද මැනවින් රහතන් වහන්සේලා හඳුනාගෙන සිටි අයුරු අසිරිමත් ය. අනේපිඬු සිටුතුමාගේ දියණියක වූ චූල සුභද්‍රා කුමරිය මිථ්‍යාදෘෂ්ටික ව සිටි තම මාමණ්ඩිය වන කාලක සිටුතුමාට රහතන් වහන්සේලා හඳුන්වා දුන්නේ මේ අයුරින් ය.
“සන්තින්ද්රියා සන්තමානසා – සන්තං තේසං ගතං ඨිතං
ඔක්ඛිත්තචක්ඛු මිතභාණී – තාදිසා සමණා මම
මම දන්නා රහතන් වහන්සේලා ඇස් කන් ආදී ඉඳුරන් ශාන්ත කරගෙනයි ඉන්නෙ. මනසින් ශාන්ත බවට පත් වෙලා ඉන්නෙ. ඒ වගේ ම උන්වහන්සේලා ශාන්ත වූ තෙදවත් වූ අග්‍ර වූ ගුණයෙන් යුක්තයි. බිමට යොමු වූ නෙතින් යුක්තයි. පමණ දැනගෙනයි වදන් පවසන්නෙ.”
චූල සුභද්‍රා තවදුරටත් මෙසේ පවසන්නී ය.
“උන්වහන්සේලාගේ ජීවිතයේ ස්වභාවය නගරයේ කණුවල යදම්වලින් ගැට ගැසූ ඇත් රජෙක් ඒ යදම් සිඳ බිඳගෙන වනයට ගියා වැනි ය. උන්වහන්සේලා කෙලෙස් නමැති යදම් සිඳ බිඳ හුදෙකලාවේ හිඳිති. තෘෂ්ණාව නමැති දෙවැන්නා නැත. මාගේ රහතන් වහන්සේලා එබඳු ය.”
ශාස්තෘ ගෞරවයෙන් යුතු රහතන් වහන්සේලා
කෙළෙහිගුණ දන්නා බවින් පරිපූර්ණ වූ රහතන් වහන්සේලා තමන් ව හුවාදක්වා නොගනිති. අනුන් ව හෙළා නොදකිති. මුළු හදවතින් ම බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කරති. මානන පූජන කරති. අසිරිමත් සම්බුදු ගුණ මෙනෙහි කරති, ඒවා පවසති.
දිනක් උත්තර නම් රහතන් වහන්සේ සක්දෙවිඳුන්ට පවසා සිටියේ මේ ලෝකයෙහි යම්තාක් සුභාෂිත වචන ඇද්ද ඒ සියල්ල ම බුදුරජාණන් වහන්සේගේ බවත්, අප කරන්නේ ඒ බුද්ධ භාෂිත උපුටා දැක්වීම පමණක් බවත් ය. මෙයින් පැහැදිලි වන්නේ සැබෑ ම රහතන් වහන්සේලා ශාස්තෘන් වහන්සේට ම ප්‍රශංසා කරන බව නො වේ ද? එසේ ම, “ශාස්තෘන් වහන්සේගේ අවවාද නොපිළිගන්නා කෙනා කරන්නෙ තම නිවසට එන ශ්‍රියා කාන්තාවට අතින් පයින් ගසා එළවා දැමීම වැනි වැඩක්” යනුවෙන් මහාපන්ථක රහතන් වහන්සේ වදාළහ.
වක්කලී නම් රහත් මුනිඳුන් මෙසේ වදාළ සේක.
“තුන් ලොවට අග්‍ර වූ දමනය වූ සමාහිත සිත් ඇති බුදු සමිඳාණන් දිවා රාත්‍රී දෙකේම සිහිකරමිනුයි මහා වනයේ මං ඉන්නෙ.”
සැබැවින් ම රහතන් වහන්සේලා කෙළෙහිගුණ දන්නෝ ය. කෙළෙහිගුණ සිහි කරන්නෝ ය. කෙළෙහිගුණ නොදන්නා රහතන් වහන්සේලා නැත. ශාස්තෘ ගෞරවය නැති රහතන් වහන්සේලා ද නොමැත. සීලයට ගරහන රහතන් වහන්සේලා ද නැත. අරහත්වය යනු කෘත්‍රිම ව ලබාගත හැකි දෙයක් නොව ගුණධර්මයන්ගේ පරිපූර්ණත්වයෙන්, ආර්ය සත්‍යාවබෝධයෙන් ලැබෙන දෙයකි.
සැඟවුණ ගුණ ඇති අරහත් මුනිවරු
එලෙසින් ම රහතන් වහන්සේලා තමන්ගේ ගුණ ප්‍රකට නොකරති. නමුදු ශාස්තෘන් වහන්සේගේ ගුණ ප්‍රකට කරති. අන් අයගේ ගුණ ප්‍රකට කරති. තමන්ගේ නිකෙලෙස් බව පවා සඟවාගෙන සිටිති. අරහත්වයට පත්ව සිටි තම ශිෂ්‍ය ලකුණ්ඨක භද්දිය තෙරුන්ට සැරියුත් මහරහතන් වහන්සේ නිවන් මගේ හික්මීම පිණිස නැවත නැවත අවවාද කරන විට ඒ අරහත් භද්දිය තෙරුන් තම අරහත්වය ප්‍රකට නොකරමින් ම අවවාද පිළිගත්තේ ය. අහෝ රහතන් වහන්සේලාගේ ගුණ අසිරිමත් ය! වර්තමානයේ මිනිසුන් නැති ගුණ පෙන්වා තමනුත් ප්‍රශංසා ලැබිය යුතු කෙනෙක් බවට ප්‍රකට කරන අයුරු අප කොතෙකුත් දැක තිබේ. බොරු මාර්ග ඵල පෙන්වා අසරණ අහිංසක මිනිස්සු මුළාවේ දමති. මේ බුද්ධ ශාසනයේ සුළඟවත් වැදී නැති අය තමන් “රහත් රහත්” යැයි කියා ගනිමින් තමන් ම ලාභ සත්කාර නමැති අසූචි තවරා ගනිති.
දිනක් සුමන සාමණේරයන් නාගරාජයෙක් ව දමනය කොට පැන් රැගෙන එන විට භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ට මෙසේ වදාළ සේක.
“පින්වත් සාරිපුත්ත, ඔය පැමිණෙන සිඟිත්තා දෙස බලන්න. දිය කළයකුත් අරගෙන, තමන් තුළ ඉතා සන්සුන් සිතකුත් ඇතිවයි ඔය එන්නෙ. මෙයාගෙ ගතිපැවතුම් දකින විට පැහැදීම ඇතිවෙනවා. ඒ ඉරියව් පවා ඉතා සුන්දරයි. ඒ සාමණේර නම ඍද්ධි බලයෙන් යුක්තයි. විසාරදයි. අනුරුද්ධයන්ගේ ශිෂ්‍යයෙක්. මෙයා පරම ශාන්තිය වූ අරහත්වයට පත් වෙලා ඉන්නෙ. එහෙත් ඒ සුමන සාමණේර තමන් එබඳු කෙනෙක් බව කවුරුත් දැනගන්නවාට කැමති නෑ.”
එසේ නම් සැබෑ ම රහතන් වහන්සේලා තමන් එබඳු කෙනෙක් බව අන් අය දැනගන්නවාට කැමති නැත. අද සිටිනා ව්‍යාජ රහතුන්ගේ කැමැත්ත නැති ගුණ පෙන්වා මිනිසුන් රවටා ලාභසත්කාර ලබා ගැනීම නො වේ ද?
ගුරු ගෞරවයෙන් සපිරි නිකෙලෙස් ජීවිත
සැබැවින් ම රහතන් වහන්සේලාගේ ගුරු ගෞරවය අසිරිමත් ය. මේ සම්බුදු සසුනේ ප්‍රඥාවෙන් අග්‍ර වූ, භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ අයුරින් ම කරකවන අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සෑම දිනක ම සැතපෙන්නට පෙර තමන් වහන්සේට පළමුවෙන් ම දහම් පදයක් කියා දුන් අස්සජී මහරහතන් වහන්සේ සිටින දිසාවට වැඳ නමස්කාර කොට සැතපෙයි. එමෙන් ම කෝසිය නම් රහත් මුනිඳුන් මේ අයුරින් වදාරා තිබේ.
“ඇත්තෙන්ම සදහම් පවසන ආචාර්යයන් වහන්සේලාගේ වචන ගැන දැනගෙන තියෙන්ට ඕන. අන්න ඒ නුවණැත්තා ගුරුවරුන්ගේ වචනවලට කීකරුයි. ගුරුවරුන් ගැන ප්‍රේමය උපදවා ගන්නවා.”
ගිහි පැවිදි ඕනෑම කෙනෙකුගේ සාර්ථකත්වය පිටුපස තිබෙන ප්‍රධාන ම හේතුව නම් සත්පුරුෂ ගුරු ඇසුරෙන් ලත් අවවාද අනුශාසනා පිළිගැනීම යි. සත්පුරුෂ ගුරුවරයාට තම දිවි පුදා වාසය කරන්නේ නම් ඒ ශිෂ්‍යයාට වරදින්නේ නැත. ගුණධර්මවලින් පිරිපුන් රහතන් වහන්සේලා තමාට ධර්මය කියා දුන් ගුරුවරයාට දිවි පුදා වාසය කළහ. අද සිදු වන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. දහම් දැනුම ටිකක් ඇති වූ විට ගුරුවරයා ව මතක නැත. ගුරුවරයාටත් ඉහළින් යන්නට කල්පනා කරයි. ගුරුවරයාටත් උගන්වන්නට කල්පනා කරයි. මනුෂ්‍යයාගේ පරිහානිය යනු මෙය නො වේ ද?
අරහත් මුනිවරු බුද්ධ වචනය වෙනස් කරාවි ද?
රහතන් වහන්සේ යනු සද්ධර්මයේ ප්‍රතිමූර්තිය යි. තථාගත බුද්ධ වචනය මැනවින් උපුටා දක්වන්නේ රහතන් වහන්සේලා ම ය. ධර්ම ගෞරවය නිසා ම මේ නිර්මල බුද්ධ වචනය රහතන් වහන්සේලා කටපාඩමින් වසර දහස් ගණනක් එකදු ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර අනාගතයට දායාද කළ ආකාරය පුදුම සහගත ය. බැමිණිතියා සාගතය කාලයේ දී උන්වහන්සේලා වැටකෙයියා ඉස්ම පානය කරමින් මේ පිරිසිදු ධර්මය අතුරුදහන් වීමට ඉඩ නො දී රැකගත් නිසා ම අද අපට පිරිසිදු ධර්මය ඉතිරි වී තිබේ. අප ඒකාන්තයෙන් ම ඒ උතුමන් වහන්සේලාට ණයගැති නො වේ ද? රහතන් වහන්සේලා කිසිදු විටෙක බුද්ධ වචනය වෙනස් කර තම පෞද්ගලික අත්දැකීම් ප්‍රකාශ නොකරන සේක.
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිවිතුරු බුද්ධ වචනය අප රටට දායාද කළ නිසා ම අප රට ධර්මද්වීපයක් බවට පත් වී රහතන් වහන්සේලා කෝටි ගණනක් බිහි විය. අහෝ මිහිඳු මාහිමියනි, අපි ඒකාන්තයෙන් ම ඔබවහන්සේට ණයගැති වන්නෙමු. භාග්‍යවතුන් වහන්සේගේ හදමඬලින් උපන් ඔබවහන්සේ පිවිතුරු බුද්ධ වචනය දායාද කළේ අපට අනුකම්පාවෙන් ම යි. ඔබවහන්සේ ලක්වැසි අපට සද්ධර්මය නම් අමෘතය දන් දුන් සේක. අරහත් මුනිවරුන් නිසා ම යි මේ ධර්මය විවෘතව බබළන්නට පටන් ගත්තේ.
එසේ නම් බුද්ධ වචනය වෙනස් කරන්නේ කවුරුන් ද? බුද්ධ වචනයට විකෘති අර්ථ ව්‍යඤ්ජන දෙන්නේ කවුරුන් ද? සැබැවින් ම තිසරණය නැති අවිද්‍යා මෝහ අන්ධකාරයේ ගිලුණු අන්ධ බාල පෘථග්ජනයන් විසින් ම ය මේ ධර්මයට විකෘති අර්ථ දෙන්නේ, ව්‍යඤ්ජන දෙන්නේ. බුද්ධ වචනයේ අර්ථ ව්‍යඤ්ජන විකෘති වූ සැණින් සද්ධර්මය අතුරුදහන් වී යයි. අහෝ අපගේ බුදු සමිඳුන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කොට අහසේ තරු පරයා ඇස් දන් දී පොළොවේ පස් පරයා හිස් මස් දන් දී මුහුදේ ජලය පරයා ලේ දන් දී දෙව් මිනිස් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් සම්බුද්ධත්වයට පත්ව දේශනා කළ නිර්මල බුද්ධ වචනය මෙතරම් දුෂ්ට සිතින් වෙනස් කරන්නේ කෙසේ ද කියා අපට සිතා ගත නො හැක.
බුදුරජුන් උපන් භූමියට ගර්හා කරන, ඒ පිවිතුරු ධර්මය අපට දායාද කළ මිහිඳු මහරහතන් වහන්සේට ගරහන, ඒ පිවිතුරු ධර්මයට ගරහමින් ධර්මයේ අර්ථ ව්‍යඤ්ජන වෙනස් කරමින් සීලයටත් ගරහන අමුතු ම ජාතියේ ගන්ධබ්බ පිරිසක් බිහි වී තිබීම අපගේ රටේ ම අවාසනාව නො වේ ද? මෙවැනි අය රහතන් වහන්සේලා වන්නේ කෙසේ ද?
අතීත මුනිවරුන්ගේ අනාගත දැක්ම
වසර දෙදහස් පන්සියයකට පෙර වැඩ සිටි රහත් මුනිවරු අනාගතයේ දී ශාසනයේ ඇතිවන පරිහානිය පිළිබඳ මතු කළ කරුණු සැබැවින් ම අද වන විට සැබෑවක් ව තිබේ. අනාගත භික්ෂූන් කුමකට කැමති වේවි ද යන ප්‍රශ්නයට පණ්ඩරගොත්ත නම් තාපසයාට ඵුස්ස නම් රහත් මුනිඳුන් දුන් පිළිතුර බලන්න.
“අනාගතයේ බිහිවන භික්ෂූන් වහන්සේලා බොහෝවිට කරන්නේ ක්‍රෝධ කරන එක, පිළිගන්න එක, ඇති ගුණ මකන එක. මාන්නයෙන් ඉදිමිලා නැති ගුණ හුවා දක්වන එක. ඉරිසියාවෙන් ඉඳගෙන වාද විවාද කරන එක. ගැඹුරු ධර්මය දන්න බවට මාන්නයෙන් හිතාගෙන වටපිටාවේ දුවන එක විතරයි ඒගොල්ලො කරන්නෙ. චපල සිත් ඇති ඒ උදවිය සද්ධර්මය කෙරෙහිත් ගෞරවයක් නෑ. ඔවුනොවුන් කෙරෙහිත් ගෞරවයක් නෑ. අනාගත ලෝකයේ මේ විදිහේ බොහෝ ආදීනව පහළ වෙනවා. බුදු සමිඳුන් මේ ධර්මය වදාළේ ඉතා පිරිසිදු ලෙස. එහෙත් නොයෙක් මිථ්‍යා මතවලින් මේ ධර්මය කිලිටි කරල දානවා. අනාගතයේ බලවත් වන ඒ උදවිය සංඝයාගේ ප්‍රධානත්වය උසුලනවා. එහෙත් ගුණයෙන් හීනයි. දහම තුළ විසාරද නෑ. සද්ධර්මය දන්නෙත් නෑ. කට වාචාලකම විතරයි තියෙන්නෙ.
ප්‍රඥා රහිත පාපී භික්ෂූන් මොකද කරන්නෙ? ඒ අය රන් රිදී ආදිය පිළිගන්නවා. ඔවුන්ට නුවණක් නෑ. සීලෙකුත් නෑ. සමාධියකුත් නෑ. මාන්නයෙන් යුතුව හඬ උස්සල කථා කර කර ඉන්නවා. සත්තු වගේ කෝලාහලවලට ඇලෙනවා. උඩඟුකමින්, කුහකකමින් චාටු බස් කිය කියා ශෘංගාර ජීවිත ගත කරමින් උතුම් පුද්ගලයන් විදියට පෙනී සිටිනවා. ඔවුන් ලාභයට ම යි කැමති වෙන්නෙ. කම්මැලියි. කිසි වීරියක් නෑ. ඔවුන් ජීවත් වෙන්නෙ මිථ්‍යා ආජීවයෙන්. කසාවතට ගරහල සුදු වස්ත්‍ර දරා ගන්නවා. සීලයක් නැති, ප්‍රඥාවක් නැති, සිතට එන එන දේ කරන කියන අවුල් වී ගිය සිත් ඇති කුසල් දහම් නැති කෙනෙකුට මේ කසාවත නම් ගැළපෙන්නේ නෑ.
අනාගත භික්ෂූන් දුෂ්ට සිතින් ඉඳගෙන අගෞරවයෙන් තමයි කල් ගෙවන්නෙ. මෛත්‍රී සිතින් වසන අකම්පිත සිත් ඇති රහතන් වහන්සේලාටත් ඒ උදවිය ගරහන්ට පටන් ගන්නවා. සිල්වත් තෙරුන් වහන්සේලා ඒ නුවණ නැති, දුස්සීල, ඉඳුරන් දමනයක් නැති, සිතට එන එන දේ කරන ඒ අඥානයන් ව හික්මවන්ට මහන්සි ගත්ත ද ඒකට ඇහුම්කන් දෙන්නේ නෑ. ඒගොල්ලෝ හැදෙන්නෙ අන්න ඒ විදිහටයි.”
අතීතය සහ වර්තමානය
අතීතයේ වැඩ සිටි සැබෑ ම රහතන් වහන්සේලාගේ සහ වර්තමානයේ බිහි වී සිටින රහත් යැයි කියාගන්නා හිස් පුද්ගලයන්ගේ පැවැත්ම පිළිබඳ ව එකල වැඩ සිටි පාරාසරිය නම් රහතන් වහන්සේ වදාළ අපූරු විස්තරයක් අපට ථේර ගාථාවලින් හමු වේ. එය මෙසේ ය.
“ලෝකනාථ බුදු සමිඳුන් ජීවමාන ව වැඩසිටිද්දී භික්ෂූන්ගේ පැවැත්ම මීට වෙනස්. ඒත් දැන් භික්ෂූන්ගේ පැවැත්ම ඊට වඩා වෙනස්. ඒ කාලේ නුවණින් සලකාගෙන ම යි සිවුරු පරිහරණය කළේ. ඉස්සර ප්‍රණීත ආහාරයක් ලැබුණත්, කටුක දෙයක් ලැබුණත් ඒවාට ගිජු වුණේ නැහැ. දන් වැළඳුවේ ජීවිතේ පවත්වාගන්ට විතරයි. ඉස්සර අසනීපයක දී පවා ජීවිතේ පවත්වන්නට බෙහෙත් කරනවාටත් වඩා ගොඩාක් උත්සාහවත් වුණේ ආශ්‍රවයන් නැතිකර ගන්ටයි. ඒ භික්ෂූන් වහන්සේලා යටහත් පැවතුම් ඇතිව සිටියෙ. පහසුවෙන් පෝෂණය වුණා. ඒ වගේ ම මෘදුයි. දැඩි සිත් නෑ. කෝලාහල නෑ. කට වාචාලකම් නෑ. අරුත්බර ජීවිත ගත කළේ. ඒ නිසා ම උන්වහන්සේලාගේ ගමන් බිමන්, දන් පැන් වැළඳීම් හා ඇසුරත් ප්‍රසාදජනකයි. උන්වහන්සේලාගේ ඉරියව් හරිම සංවරයි, සිනිඳු තෙල් දහරාවක් වගේ. උන්වහන්සේලා ධ්‍යාන වැඩුවා. දැන් ඒ රහතන් වහන්සේලා පිරිනිවන් පාලා.
සීල – සමාධි – ප්‍රඥා ආදී කුසල් දහම් වැඩීම, ප්‍රඥාව ලබාගැනීම පිණිස ඇති වැඩපිළිවෙළ අතහැර දැමුවහොත් හැම ආකාරයකින් ම පරිපූර්ණ වූ මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යාවි. පාපී දේවලුත්, කෙලෙසුත් බලවත් වූ කාලෙක විවේකය සොයාගෙන ගියත් දහම් දැනුමක් විතරයි ලැබෙන්නෙ. කෙලෙස් ම වර්ධනය වෙලා ගියොත් ඒ කෙලෙස් විසින් ජනතාව ගිල ගනීවි. ඊට පස්සෙ සිද්ධ වෙන්නෙ මෙච්චරයි. ඒ කෙලෙස් ජනතාව සමඟ සෙල්ලම් කර කර සිටීවි. එතකොට ඒක පිස්සු හැදිච්ච ජනතාවක් රාස්සයන් එක්ක ඉන්නවා වගේ දෙයක්. කෙලෙස් විසින් ඔවුන් ව යටපත් කරල දානවා. ඊට පස්සෙ ජනතාව කරන්නෙ කාම අරමුණු හොය හොයා දුවන එක විතරයි. යුද බිමක ඉන්න පිරිසකට අණක් ලැබුණා වගෙයි. එතකොට ධර්මය බැහැර වෙලා යනවා. එතකොට කෝලාහල කරන්න පටන් ගන්නවා. නොයෙක් මිත්‍යාදෘෂ්ටි වැළඳගෙන ඒව ශ්‍රේෂ්ඨ දේවල් හැටියට පිළිගන්නවා.
ගිහිගෙදර අතහැරල මහණ වුණාට පස්සෙ රළු පරළු දානමාන නිසාත් නොකළ යුතු දේවල් කරනවා. ඉතින් බඩ පිරෙනකම් හොඳට කාල උඩුබැල්ලෙන් නිදාගන්නවා. නැගිට්ට පසු ශාස්තෘන් වහන්සේ විසින් ගරහල එපා කියපු ළාමක දේවල් කථා කර කර කල් යවනවා. ඒ භික්ෂූන්ගේ සිත් සන්සුන් නෑ. බාහිර දේවල් විතරක් කැමැත්තෙන් ඉගෙන ගන්නවා. මහණ ජීවිතේ දියුණු කර ගන්ට හේතු වන ධර්මය බැහැර කරනවා. මිනිසුන්ගෙන් ලාභ ප්‍රයෝජන ලබාගන්ට හරි කැමතියි. එතකොට කරන්නෙ ගිහියන්ට කෑම බීම දෙන එක තමයි. ඒ භික්ෂූන් ඊට පස්සෙ වෙද මහත්තුරු වගේ ගිහියන්ට බෙහෙත් දෙනවා. ගිහියෙක් වගේ සාමාන්‍ය ජීවිතේ ගෙවනවා. සටකපට චාටු බස් කියන්න පටන් ගන්නවා. වංචනික ජීවිතයක් ගෙවාගෙන මිථ්‍යා ආජීවයෙන් තමයි සිව්පසය අනුභව කරන්නෙ. අකැප දේවල් කැප දේවල් විදිහට හුවා දක්වනවා. ජීවත් වීම පිණිස ජනතාව රවටගෙන බොහෝ වස්තු ඇද ගන්නවා. පිරිස් ලවා ඇප උපස්ථාන කරවා ගන්නවා. ඒවා කරගන්නෙත් පින්කම් කියා මිසක් ධර්මානුකූල ව නො වේ. අනුන්ට බණ කියන්නෙත් ලාභයක් ලබන්ට මිසක් අර්ථය කියාදෙන්ට නො වේ. ඇත්තෙන් ම ඒගොල්ලන් සංඝයාට අයිති නෑ. නමුත් සංඝයා උදෙසා ලැබෙන දේට කෝලාහල කර ගන්නවා. ඔවුන්ට ලැජ්ජාවක් නෑ. මහණ ජීවිතයක් ගත නොකරන සමහර අය හිස මුඩු කරගෙන සඟල සිවුරු පොරව ගන්නවා. ඒ වුණාට ලාභ සත්කාරයෙන් මුසපත් වෙලා ගෞරවය ලබාගන්ටයි කැමති.
එතකොට සසුන් මඟ සීසීකඩ යනවා. ධ්‍යාන මාර්ග ඵල ඇතිකර ගත්තු උතුමන් නැතිව යනවා. ඒ උතුම් ගුණධර්ම ඇතිකර ගැනීමත්, ඇතිකර ගත් ධ්‍යාන අභිඤ්ඤා වගේ දේවල් රැක ගැනීමත් ලේසි වැඩක් නො වේ.
ඉස්සර හිටිය රහතන් වහන්සේලා ගැන සිතන්ට ඕන. උන්වහන්සේලා ජීවිත ගත කළ ආකාරය ගැන හිතන්ට ඕන. අඩු ගණනේ ජීවිතේ අවසාන කාලයේ හරි ආර්ය මාර්ගයේ ගමන් කළොත් නිවන් අවබෝධ කර ගන්න පුළුවන්.”
දැන් ඉතින් හොඳට නුවණින් කල්පනා කරල බලන්න අද ලෝකයේ මෙබඳු ගුණ ඇති සැබෑ රහතන් වහන්සේලා ඉන්නවා ද කියා. සැබෑ ම රහතන් වහන්සේලා ගැන අසන්ට ලැබීමත් දුර්ලභයි. ඇත්තෙන්ම පිවිතුරු නිමල බුද්ධ වචනය පවසන කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් අතිශයින් ම දුර්ලභයි. සම්බුද්ධ ශාසනය ලක්වාසී අපට දායාද කළ අති උත්තම රහතන් වහන්සේනමක් වන අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා…!
ඇසුර -: පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ථේර ගාථා පාළි, ධම්මපදය සහ සූත්‍ර දේශනා
(මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)
Recent Comments