ගුණදහම්….. ඒවා මාණික්‍ය වගෙයි. ගුණ නැමැති මාණික්‍යවලින් ම සකස් වුණ ජීවිතයක් යම් කෙනෙකුට තිබෙනවා නම් ඒ ජීවිතේ මොනතරම් ආශ්චර්යවත් ද! කවුරුහරි කෙනෙක් මේ විදියට ඇසුවොත්, සෑම ගුණධර්මයක් ම එකට පිඬු වුණ, ගුණදහම්වලින් ම විතරක් නිර්මාණය වුණ ජීවිතයක් තිබුණා ද කියලා… ගුණධර්ම ප්‍රතිමූර්තියකට නඟන්න පුළුවන් ද කියලා… ඒ ප්‍රශ්නයට එක ම එක පිළිතුරක් තියෙනවා. මොකක්ද ඒ පිළිතුර? ඇත්තෙන් ම සෑම ගුණධර්මයක් ම එක ම එක ප්‍රතිමූර්තියකට නඟන්න පුළුවන්… ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ…!

ඒ බුදුරජාණන් වහන්සේ තමයි ගුණධර්මවලින් පමණක් ම නිර්මාණය වුණ ජීවිතයක් දරාගෙන මේ ලෝකයේ වැඩ සිටි උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතය ගුණදහම් කියන මාණික්‍යවලින් ම විතරක් මුළුමනින් ම පිරුණ ආකරයක් වගෙයි. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට ‘රත්නාකර’ කියලා කියන්නේ.

මිණි කැට වන් ඒ මුනි ගුණ අසිරිය.

යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තිබෙන මැණික් මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න හිතාගෙන ඒ ගුණ මැණික් ආකරය කණින්න පටන් ගත්තොත් එයා කල්ප ගණනාවක් තිස්සේ ඒ දේ සිදු කළත් කවදාවත් නිමාවක් දකින්න ලැබෙන්නේ නෑ. ඇයි? ඒ බුදු ගුණ අනන්තයි. අප්‍රමාණයි. ඒ ගුණ කඳ ප්‍රමාණ කරන්න අපට බැරි වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පවතින ඒ කාන්තිමත් ගුණ මැණික් විෂයෙහි චිත්ත ප්‍රසාදය ඇති කර ගත්තොත් ඒ කාන්තිය නිසා අප සැම දෙනාගෙ ම නිවන් මග ආලෝකවත් වෙනවා. ඒ කාන්තිමත් ගුණ කඳක් ඇති බුදුරජාණන් වහන්සේ අද පවා ශ්‍රී සද්ධර්මය තුළින් ජීවමාන ව දැක ගන්න පුළුවන්. ඒ ශ්‍රී සද්ධර්මය තුළ තවමත් ඒ කාන්තිය පවතිනවා.

උතුම් නිකෙලෙස් ජීවිතයකට සම කළ හැකි කිසිවක් මේ ලෝක ධාතුවේ ම නැහැ. එවන් අසම ගුණ ඇති තථාගතයන් වහන්සේනමක් සම වන්නේ තවත් සම්බුදු කෙනෙකුට පමණ ම යි. ඉතින්, මේ ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණය යි.

බුදුවරු අටලෝ දහමට කම්පා නොවෙති

තථාගතයන් වහන්සේලා ලාභයක් ලැබුණොත් එයින් අමුතු සතුටක් ලබන්නේ නැහැ. අලාභයක් ආවත් කම්පා වෙන්නේ නැහැ. ඊ ළඟට කීර්ති රාවයක් පැතිරී යනවා කියලා උදම් වෙන්නේ නැහැ. මිනිස්සු අපකීර්තියක් පතුරුවාගෙන යනවා කියලා ඒත් කම්පා වෙන්නේ නැහැ. නින්දා කරනවා කියලා ඒත් කම්පා වෙන්නේ නැහැ. ප්‍රශංසා කරනවා කියලා ඒත් කම්පා වෙන්නේ නැහැ. උන්වහන්සේගේ කයට දුක් ලැබෙනවා, ඒත් කම්පා වෙන්නේ නැහැ. සැපයෙන් උදම් වෙන්නෙත් නෑ. සාමාන්‍ය මනුෂ්‍යයාට මේ එකක්වත් පුළුවන් ද? සාමාන්‍ය මනුෂ්‍යයාට තියෙන්නේ කම්පා වීම ම යි.

සාමාන්‍ය ලෝකයට යමක් ලැබුණොත් හරියට උදම් අනනවා. ඒකට හරියට සතුටු වෙවී ඉන්නවා. යමක් නැති වුණොත් ඒකට හඬමින් ඉන්නවා. තමන්ට ස්තූති ප්‍රශංසා කරනවා ද ඒකට හරි සතුටින් පිනා ගිය සිතින් ඉන්නවා. ඒකට හරියට වියදම් කරනවා. තමන්ට ස්තූති ප්‍රශංසා කරන්නේ නැතුව අපහාස කරනවා නම් කම්පා වෙනවා. නින්දා කරනවා නම් ඒකට හඬමින් ඉන්නවා. අපට පේනවා සමහර අය ගණන් ගන්න ඕන නැති චූටි දේ අල්ලගෙන අඬනවා, වැළපෙනවා. අනේ මම එහෙම කෙනෙක් නෙමේ කියනවා. ඒ කියන්නේ ඒ අයට ඒ දේවල් ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට මේ ලෝකයේ තියෙන්නෙ ම අටලෝ දහමට කම්පා වීම ම යි. ඒ හැර වෙන දෙයක් නැහැ.

සියල්ල අත් හළ විට කුමට කම්පා වෙන්න ද?

නමුත් බුදුරජාණන් වහන්සේලා අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ලෝකයේ මම ය… මාගේ ය… මාගේ ආත්මය ය…’ කියලා යමක් ඇද්ද ඒ සියල්ල ම උන්වහන්සේ අත්හැරලයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරා ම ඒ කම්පා නොවීම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුදු දිවියේ අවසාන කාලයේ කුසිනාරා නුවරට වැඩම කරලා “ආනන්ද, අපි උපවර්තන සල් උයනට යමු” කියා වදාළා. එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසුවා, “භාග්‍යවතුන් වහන්ස, මේ චූටි නගරයක් නෙව. මේ දඹදිව විශාල නගර තිබෙනවා. ඒ විශාල නගරයක පිරිනිවන් පෑවොත් විශාල පිරිසක් ඒවි. එතකොට ඒ ඇත්තන් සිත පහදවා ගනියි. ඒ අයට බොහෝ පින් රැස් කර ගන්න ලැබේවි.” කියලා. මොකද ඒ වෙද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙලා විතරයි වැඩ සිටියේ. ඒ නිසා තමයි උන්වහන්සේ එහෙම කල්පනා කළේ. ‘ලොකු නගරයක පිරිනිවන් පෑවා නම් තමයි භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රසිද්ධිය අනුව ගැළපෙන්නේ’ කියලා හිතුවා. “ආනන්දය, මේක චූටි නගරයක් කියලා හිතන්න එපා. මහා සුදස්සන කියලා චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මයක මේ නගරයේ වාසය කළා. ඒ නිසා මේක චූටි නගරයක් නෙවෙයි.” කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. උන්වහන්සේට ඒ ආකාරයෙන් ලෝකයේ පේන පැත්ත සාමාන්‍ය ලෝකයාට පේන්නේ නැහැ.

අමෘතය වැළඳූ පසු බඩගින්න ප්‍රශ්නයක් නැහැ

බුදුරජාණන් වහන්සේ ඕනම වෙලාවක ගහක් යට වැඩඉන්න ලෑස්තියි. උන්වහන්සේට කුසගින්නේ සිටින්නට සිදු වුණත් ඒත් ලෑස්තියි. දවසක් බුදුරජාණන් වහන්සේ කසී භාරද්වාජට ධර්මයට පැමිණෙන්න අවස්ථාව සලසන්න එතනට වැඩිය වෙලාවේ කසීභාරද්වාජ කියනවා, “ඔය හොඳට ඇඟපත තියෙන්නේ වගා කරන්න. වගා කරගෙන අපි වගේ කාලා බීලා ඉන්න.” කියලා. ඉතින් උන්වහන්සේ ඒ කරුණට පිළිතුරු ගාථා වදාළා. ඊට පස්සේ මෙයා පැහැදිලා භාජනයකට කිරිබත් බෙදාගෙන ඇවිල්ලා “මම මේ කිරිබත ඔබවහන්සේට පූජා කරන්න කැමතියි.” කියලා කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ එය පිළිගත්තේ නැහැ. ගාථා කියා ලබන බොජුන් නොපිළිගැනීම බුදුවරුන්ගේ ධර්මතාවයක්. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කුසගින්නේ.

සුන්දරික භාරද්වාජත් එහෙමයි. සුන්දරික භාරද්වාජත් පූජාවක් කරලා ඒ කිරිබත බ්‍රාහ්මණයෙකුට දෙන්න කල්පනා කරද්දි බුදුරජාණන් වහන්සේ හිස වසාගෙන ගසක් යට වැඩ සිටියා. මෙයා සිතුවා මේ බ්‍රාහ්මණයෙක් වෙන්න ඇති කියලා ළඟට ගියා ම උන්වහන්සේ සිවුර හිසෙන් අයින් කොට වදාළා. එතකොට “ආ… මේ මුඩු මහණෙක්.” කියලා ආපසු හැරුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ, “ජාතිය අහන්න එපා. කරන දේ ගැන හොයලා බලන්න. කුලමල හොයන්න එපා. හොයන්න ක්‍රියාව. උපන් වංශය හොයන්න එපා. කරන වැඬේ හොයන්න.” කියා වදාළා. ඊට පස්සේ තමයි පැහැදුනේ. පැහැදුනා ම ඔහු ඒ කිරිබත පූජා කරන්න හැදුවා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවෙත් ඒ දානය පිළිගත්තේ නැහැ.

කිසිවකට නොසැලෙන තාදී ගුණය

බුදුරජාණන් වහන්සේට එහෙම වුණා කියලා බුදු සිතේ කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණය ඒ ආකාරයි. විශාල දෙයකටවත් කම්පාවක් ඇති වෙන්නේ නැහැ.
එක්තරා දුර්භික්ෂ අවස්ථාවක, ඒ කියන්නේ දාන මාන නැති අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ ඇසුවා “භාග්‍යවතුන් වහන්ස, මේ පොළොවේ යට දඬුවැල් බෑ මීයක් වගේ ප්‍රණීත රස පොළොවක් තියෙනවා. මම ඒක උඩ පැත්තට හරවන්න ද?” කියා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ විමසා වදාළා.

“එතකොට මේ පොළොව උඩ ඉන්න සතුන්ට ඔබ මොකද කරන්නේ?”

“ස්වාමීනී, මම වෙන පෘථිවියක් මවලා ඒකට මේ සත්තු දාන්නම්.”

“එපා මොග්ගල්ලාන, මේ සත්වයන් මේ පරිසර විපර්යාසයන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. ඔය දේ කළොත් මේ සත්වයෝ උමතු වෙයි. එම නිසා ඔය වැඬේ කරන්න එපා.”

භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළා. එතකොට බලන්න උන්වහන්සේට කොයිතරම් පැති පේනව ද? උන්වහන්සේගේ ඒ අකම්පිත ගුණයත් එක්ක තමයි ඒ සෑම දෙයක් ම තිබෙන්නේ. ඒ නිසා, උන්වහන්සේ වදාළේ “මෙසේ මහණෙනි, තථාගත තෙමේ දකිනා ලද, අසනා ලද ආඝ්‍රාණය කරන ලද, රස විඳින ලද, පහස ලබන ලද, මනසින් දැන ගන්නා ලද ධර්මයන් පිළිබඳව ඇතිවෙන අටලෝ දහම ඉදිරියේ දී කම්පා නො වන්නේ ම අකම්පිත ව සිටියි. ඒ තථාගතයන් තුළ ඇති තාදී ගුණයට වඩා උත්තරීතර වූ, ප්‍රණීත වූ වෙන ඒ තාදී ගුණයක් නැතැයි කියමි” යනුවෙනුයි.

ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ අකම්පිත ගුණය ගැන අපට හිතාගන්න පුළුවන්කමක් නැහැ. උන්වහන්සේ වදාළ කාලකාරාම සූත්‍රය වැනි දේශනාවලින් තමයි යම් පමණකට හෝ ඒ පිළිබඳ ව අපට තේරුම් ගැනීමට පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අටලෝ දහමට කම්පා නොවුණ, තාදී ගුණයෙන් බැබළුණු ජීවිතයක්. තාදී ගුණයෙන් බැබළුණු ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන්ටත් ධර්මය දේශනා කළේ අටලෝ දහමට කම්පා නොවන ජීවිතයක් ඇති කර ගන්න කියල යි. ඉතින් අපිත් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවවාදයට අනුව අටලෝ දහමට කම්පා නොවන ජීවිතයක් ධර්මය තුළින් ඇති කර ගන්න උත්සාහවත් වෙමු.
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ තාදී ගුණයට නමස්කාර වේවා…!!!

සටහන – කාව්‍යා විදානපතිරණ