එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ ආළවි නුවර ඇට්ටේරියා වනයක ගවයන් යන පාරක් අසළ කොළ ඇතිරියක වැඩ සිටියා. හත්ථක ආළවක නම් කුමරෙක් ව්‍යායාමය පිණිස ඇවිදගෙන යද්දි ඉඳගෙන සිටි භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැකලා, භාග්‍යවතුන් වහන්සේ ළඟට ගොස් වන්දනා කළා. පැත්තකින් වාඩි වෙලා මෙහෙම ඇහුවා.

‘‘ස්වාමීනි, කෙසේ ද, සුව සේ සැතපුණා ද?”

‘‘එසේ ය කුමරුනි, සුව සේ සැතපුණා. ලෝකයේ යමෙක් සුව සේ සැතපෙනවා ද මම ඔවුන් අතර කෙනෙක්.”

‘‘ස්වාමීනි, මේ සීත කාලයේ රාති‍්‍රය සීතලයි. දින අටක් තිස්සේ හිම වැටෙනවා. ගව කුරවලින් බිඳුණු පොළවත් රළුයි. කොළ ඇතිරියත් තුනියි. ගහේ කොළත් අඩුයි. සිවුරත් සීතලට පෙඟිලා තියෙන්නේ. වේගයෙන් සීතල සුළඟත් හමනවා…
නමුත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියනවා. ‘එසේ ය කුමරුනි, සුව සේ සැතපුණා. ලෝකයේ යමෙක් සුව සේ සැතපෙනවා ද මම ඔවුන් අතර කෙනෙක්’ කියලා…”

‘‘එසේ නම් කුමරුනි මේ කාරණය ගැන මම ඔබෙන් ම විමසනවා. කැමති විදිහට උත්තර දෙන්න. ගෘහපතියෙකුට ඇතුළත පිටත හොඳින් පිරියම් කළ, සුළඟින් පීඩා නැති වා කවුළු සහිත, මනා කොට අගුළු දැමු කූටාගාරයක් තියෙනවා. එ් මන්දිරයේ කාලවර්ණ පලස්, සුදු එළු ලොමින් කළ පලස්, ඝන එළු ලොමින් කළ පලස් අතුරා තියෙනවා. හිස දෙපැත්තට රතු විල්ලූද කොට්ට තබා, රතු උඩුවියන් බැඳපු යහන් තියෙනවා. තෙල් පහනක් දැල්වෙනවා. සොඳුරු කාන්තාවන් හතර දෙනෙක් ප‍්‍රියමනාප ලෙස උපස්ථාන කරමින් ඉන්නවා. කුමරුනි ඔබ මේ කාරණය ගැන මොකද හිතන්නේ? එ් ගෘහපතියා සුව සේ නිදා ගනීවි ද?”

‘‘ස්වාමීනි, ඔහු සුව සේ නිදාගන්නවා… ලෝකයේ යමෙක් සුව සේ නිදාගන්නවා නම් ඔහු එ් අතර කෙනෙක්.”

‘‘කුමරුනි ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? එ් ගෘහපතියාට යම් විදිහකින් රාගයෙන් හටගත් කායික දැවිලිත්, මානසික දැවිලිත් ඇති වෙනවා ද එ් රාගයෙන් හටගත් දැවිලිවලින් දැවි දැවී ඔහු නිදාගන්නේ දුක සේ නො වේ ද?”

‘‘එසේ ය ස්වාමීනි…”

‘‘කුමරුනි, එ් ගෘහපතියා රාගයෙන් හටගත් දැවිලිවලින් දැවි දැවී දුක සේ නිදාගනීවි ද එ් රාගය තථාගතයන් වහන්සේට ප‍්‍රහීණ වෙලා, මුලින් ම සිඳිලා, මුදුන් කරටිය කැඩුණු තල් ගහක් වගේ වෙලා, අභාවයට ම පත් කරලා, නැවත හට නො ගන්නා ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. එ් නිසයි මම සුව සේ සැතපුණේ.

කුමරුනි, ඔබ මේ ගැන මොකද හිතන්නේ? එ් ගෘහපතියාට යම් විදිහකින් ද්වේෂයෙන් හටගත් කායික දැවිලිත්, මානසික දැවිලිත් ඇති වෙනවා ද එ් ද්වේෂයෙන් හටගත් දැවිලිවලින් දැවි දැවී ඔහු නිදාගන්නේ දුක සේ නො වේ ද?”

‘‘එසේ ය ස්වාමීනි…”

‘‘කුමරුනි, එ් ගෘහපතියා ද්වේෂයෙන් හටගත් දැවිලිවලින් දැවි දැවී දුක සේ නිදා ගනියි ද එ් ද්වේෂය තථාගතයන් වහන්සේට ප‍්‍රහීණ වෙලා, මුලින් ම සිඳිලා, මුදුන් කරටිය කැඩුණු තල් ගහක් වගේ වෙලා, අභාවයට ම පත් කරලා, නැවත හට නො ගන්නා ස්වභාවයට ම පත් වෙලා තියෙන්නේ. එ් නිසයි මම සුව සේ සැතපුණේ.
කුමරුනි, ඔබ මේ ගැන මොකද හිතන්නේ? එ් ගෘහපතියාට යම් විදිහකින් මෝහයකින් හටගත් කායික දැවිලිත්, මානසික දැවිලිත් ඇති වෙනවා ද එ් මෝහයෙන් හටගත් දැවිලිවලින් දැවි දැවී ඔහු නිදාගන්නේ දුක සේ නො වේ ද?”

‘‘එසේ ය ස්වාමීනි…”

‘‘කුමරුනි, එ් ගෘහපතියා මෝහයෙන් හටගත් දැවිලිවලින් දැවි දැවී දුක සේ නිදා ගනියි ද එ් මෝහය තථාගතයන් වහන්සේට ප‍්‍රහීණ වෙලා, මුලින් ම සිඳිලා, මුදුන් කරටිය කැඩුණු තල් ගහක් වගේ වෙලා, අභාවයට ම පත් කරලා, නැවත හට නො ගන්නා ස්වභාවයට ම පත් වෙලා තියෙන්නේ. එ් නිසයි මම සුව සේ සැතපුණේ.”
(ආළවි සූත‍්‍රය – අං.නි. 01)

භාග්‍යවතුන් වහන්සේ ඇතැම් අවස්ථාවල තමන් වහන්සේව මේ ලෝකයට හඳුන්වා දී වදාළා. එ් වගේ අවස්ථාවකුයි මේ දැක්වූයේ. අසාමාන්‍ය පුද්ගලයෙකුගෙනුයි මේ වගේ කාරණයක් ප‍්‍රකාශ වෙන්නේ. අසාමාන්‍ය පුද්ගලයෙකුයි මේ වගේ ගුණයක් ඇති කරගන්නේ. මේ කාරණය, කෙනෙකු මොහොතකට හෝ තුෂ්ණිම්භූත වන ප‍්‍රකාශයක්. සාමාන්‍ය ලෝකයාට අසාමාන්‍ය ප‍්‍රකාශයක්. කෙලෙස් සහිත දෙව් මිනිසුන්ට ආගන්තුක ප‍්‍රකාශයක්. ලෝකය ම සසල කරවන සිංහනාදයක්. ඇත්තටම ‘සිංහනාද’ කියලා කිවයුත්තේ මේවාටයි.

ලෝක සත්වයා දවන ගිනි තුනක් තියෙනවා. රාගය කියන්නේ ගින්නක්. ද්වේෂය කියන්නේ ගින්නක්. මෝහය කියන්නේ ගින්නක්. (තයෝ අග්ගි; රාගග්ගි, දෝසග්ගි, මෝහග්ගි) එ් නිසයි රාගය හරි, ද්වේෂය හරි, මෝහය හරි ඇති වුණා ම මානසික දැවිලි හට ගන්නේ, කායික දැවිලි හට ගන්නේ. කෙලෙස් සහිත කෙනෙක් සැප විඳිනවා වගේ පෙනුණට, ඇත්තෙන්ම කෙලෙස්වලින් තැවි තැවී දුක සේ තමයි ජීවත් වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට කෙලෙස් හට ගන්නවා වගේ ම එ්වා යටපත් වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේට එහෙම නෙවෙයි. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න නැවත හට නො ගන්නා ස්වභාවයෙන් යුක්තයි (ආයතිං අනුප්පාද ධම්මෝ). එ් නිසා ම රාග, ද්වේෂ, මෝහ නිසා හටගන්න කායික දැවිලිත් නෑ. මානසික දැවිලිත් නෑ. නිවිලයි වැඩ හිටියේ.‘‘රාගයේ ක්‍ෂය වීමක්, ද්වේෂයේ ක්‍ෂය වීමක්, මෝහයේ ක්‍ෂය වීමක් ඇද්ද මෙය නිවන යැයි කියනු ලැබේ” (රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති නිබ්බානන්ති) කියලා තථාගතයන් වහන්සේ වදාළේ මේ නිසයි. එ් නිවන තමයි උතුම් ම සැපය (නිබ්බානං පරමං සුඛං).

ආළවි සූත‍්‍රයේ දැක්වෙන ජීවිතයක් ගිනි ගන්නා ස්වභාවයන් තවත් ගැඹුරෙන් දේශනා කළ අවස්ථාවක් ධර්මය තුළ හමුවෙනවා.

‘‘මහණෙනි, සියල්ල ගිනිගන්නවා. මහණෙනි, සියල්ල ගිනිගන්නවා කියන්නේ මොකක්ද? ඇස ගිනි ගන්නවා, රූපය ගිනි ගන්නවා, ඇසේ විඤ්ඤණය ගිනි ගන්නවා, ඇසේ ස්පර්ශය ගිනි ගන්නවා, ඇසේ ස්පර්ශයෙන් උපදින යම් විඳීමක් ඇද්ද, සැප හෝ දුක් හෝ දුක් හෝ දුක් සැප රහිත හෝ එයත් ගිනි ගන්නවා. කුමකින් ද ගිනි ගන්නේ? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් ගිනි ගන්නවා. ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකෙන්, මානසික දුකෙන්, සුසුම් හෙළීම්වලින් ගිනි ගන්නවා.

කන ගිනිගන්නවා…
නාසය ගිනි ගන්නවා…
දිව ගිනි ගන්නවා…
කය ගිනි ගන්නවා…
මනස ගිනි ගන්නවා…”
(ආදිත්ත පරියාය සූත‍්‍රය- සං. නි. 04)

රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගිනි ගන්නා ජීවිතය, ඉපදීමෙන්, ජරා-මරණවලිනුත් ගිනි ගන්නවා. ඉපදීමටත්, ජරා-මරණවලටත්, එ් හා බැඳුණු අනෙක් දුක්වලටත් පදනම වැටෙන්නේ රාග, ද්වේෂ, මෝහ හේතු කරගෙනයි. එ් කාරණය භාග්‍යවතුන් වහන්සේ මේ විදියට වදාළා.

‘‘රාගය ප‍්‍රහාණය නො කර, ද්වේෂය ප‍්‍රහාණය නො කර, මෝහය ප‍්‍රහාණය නො කර, ඉපදීම ප‍්‍රහාණය කිරීමට, දිරීම ප‍්‍රහාණය කිරීමට, මරණය ප‍්‍රහාණය කිරීමට නො හැකි වෙයි.”
(තයෝධම්ම සූත‍්‍රය, අං. නි. 06)

බලන්න, කෙලෙස්වලින් ගිනිගන්නා ඇසක, කනක, නාසයක, දිවක, කයක, මනසක ස්වභාවය ගැන තථාගතයන් වහන්සේගේ අවබෝධය….

‘‘මාගන්දිය, ඇස රූප තුළ ජීවත් වෙනවා (රූපාරාමං), රූපවලට ඇලී තියෙනවා (රූපරතං), රූපවලින් ම සතුටු වෙනවා (රූප සම්මුදිතං).

කන ශබ්දය තුළ…
නාසය ගඳ සුවඳ තුළ…
දිව රස තුළ…
කය පහස තුළ…
මනස අරමුණු තුළ…”

මේ කාරණයත් සමඟ භාග්‍යවතුන් වහන්සේ තව දුරටත් මේ ආකාරයෙන් දේශනා කොට වදාළා.
‘‘එ් ඇස තථාගතයන් වහන්සේ දමනය කළා (දන්තං), ආරක්‍ෂා කළා (ගුත්තං), රැක ගත්තා (රක්ඛිතං), සංවර කළා (සංවුතං). තථාගතයන් වහන්සේ ඇසේ සංවරය පිණිස ධර්මය දේශනා කරනවා.

එ් කන….
එ් නාසය….
එ් දිව….
එ් කය….
එ් මනස….”
(මාගන්දිය සූත‍්‍රය, ම. නි. 02)

තථාගතයන් වහන්සේ නිවී ගිය නිසයි මේ විදියට වදාළේ. නිවුණු නැති කෙනෙකුට මේ විදියට දේශනා කරන්න බෑ. මොකද නො නිවුණු කෙනා රාගය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන, මෝහය මුල් කරගෙන දකින රූප එක්ක එකතු වෙනවා. මිශ‍්‍ර වෙනවා. රූපය හේතුවෙන් හිත සැලෙනවා. කම්පා වෙනවා. රූපය විසින් හිත යට කරගෙන යනවා. රූපය තුළ ම හිරවෙනවා. ඇසෙන ශබ්දයටත්, දැනෙන ගඳ සුවදටත්, දැනෙන රසයටත්, දැනෙන පහසටත්, සිතෙන අරමුණුවලටත් මේ විදියට ම යි. නමුත් රාගය, ද්වේෂය, මෝහය දුරුකළ, නිවී ගිය භාග්‍යවතුන් වහන්සේගේ ස්වභාවය එහෙම නෙවෙයි.

‘‘ඇස හමුවට කෙතරම් රූප ආවත් සිත යට කරගෙන යන්නේ නෑ. රූපය එක්ක මිශ‍්‍ර වෙන්නේ නෑ (අමිස්සීකතං). නැවතිලා තියෙන්නේ (ඨිතං). කම්පා නො වන ස්වභාවයෙන් පවතින්නේ (ආනෙඤ්ජප්පත්තං). හේතූන් නිසා හට ගත් රූප හේතු නැතිවීමෙන් නැතිවන ස්වභාවය දකිමිනුයි වාසය කරන්නේ (වයඤ්චස්සානුපස්සති).

කන හමුවට….
නාසය හමුවට….
දිව හමුවට….
කය හමුවට….
මනස හමුවට….”
(සෝණ සූත‍්‍රය- අං.04)

රූප සමඟවත්, ශබ්ද සමඟවත්, ගඳ සුවඳ සමඟවත්, රස සමඟවත්, පහස සමඟවත්, අරමුණු සමඟවත් මිශ‍්‍ර වෙන්නේ නෑ කියල කියන්නේ, ලෝකය එක්ක මිශ‍්‍රවෙන්නේ නෑ කියලයි. ලෝකයෙන් වෙන්වී වාසය කරනවා කියලයි. තථාගතයන් වහන්සේ ලෝකයෙන් වෙන්වී වාසය කළ නිසයි ලෝකයේ නියම ස්වභාවය දැක්කේ. ලෝකය සමඟ එකතු වී වාසය කරන කෙනෙකුට ලෝකයේ නියම ස්වභාවය පේන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙන් වෙන්වී වාසය කළේ මේ විදියටයි.

‘‘මානෙල් මලක් හරි, රතු නෙළුම් මලක් හරි, සුදු නෙළුම් මලක් හරි ජලයේ හට ගන්නවා. ජලයේ ම වැඩෙනවා. ජලයෙන් උඩට නැගී, ජලය හා නො තැවරී තියෙනවා. එ් වගේ ම යි මහණෙනි, තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිනවා, ලෝකය තුළ ම වැඩෙනවා, ලෝක ස්වභාවය මැඩගෙන ලෝකය හා නො තැවරී වාසය කරනවා”
(පුප්ප සූත‍්‍රය- සං. නි. 03)

භාග්‍යවතුන් වහන්සේව මැනීමට මේ ලෝකයේ මිනුම් ක‍්‍රම නෑ. එයට හේතුව නම්, සියලූ මිනුම් ක‍්‍රම අයිති වන්නේ ලෝකයටයි. භාග්‍යවතුන් වහන්සේව තේරුම් ගත හැක්කේ උන්වහන්සේ වදාළ ධර්මයෙන් ම පමණයි. මොකද? එ් ධර්මය ලෝකයෙන් වෙන් කරවන ධර්මයක්. එ් නිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ, ‘‘යමෙක් ධර්මය දකියි ද, ඔහු මාව දකියි. යමෙක් මාව දකියි ද ඔහු ධර්මය දකියි” කියලා. එ් ධර්මය තුළ තථාගතයන් වහන්සේ තවමත් ජීවමානව වැඩ සිටිනවා.

එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමින් වහන්සේ නමක් විසින් සම්පාදිතයි