කාශ්‍යප බුදුරජුන්ටත්, ගෞතම බුදුරජුන්ටත් අතර කාලයක අතිදේව නම් රජ කෙනෙකුට පුතෙක් සිටියේ ය. හෙතෙම ධාර්මික ය. එහෙත් ධනයෙන් හිඟ වූවෙකි. ධනය රැස්කිරීමට කැමති වූ මොහු තම ඇමතිවරුන් කැඳවා මෙසේ කීවේ ය.
“ඇමතිවරුනි, රාජ භාණ්ඩාගාරයේ ධනය හිස් වී ඇත. මම එය හොඳින් දනිමි. එම නිසා කෝෂ්ටාගාරය දැහැමින් පිරවිය යුතු ය. අධාර්මික ලෙස නොපිරවිය යුතු ය. එමෙන් ම එය යහතින් මිස විෂමාකාරයෙන් නොපිරවිය යුතු ය.”
එය ඇසූ එක් ඇමතිවරයෙක්, “රජතුමනි, ජනපදය සමෘද්ධිමත් ය. ජනපදවාසීහු රජුට ධනය දිය යුතු ය. මේ රාජ්‍යයෙහි රන් රිදී පිරවූ බොහෝ භාජන ගෙයක් පාසා තිබේ. මිනිසුන් සතු කෝටි ගණන් රන්කාසි ද ඇතැ” යි කීවේ ය.
මේ වදන් සවනෙහි රැන්දූ රජතුමා “මිත්‍රය, එසේ නොකියව, අධර්මය මෙහි නොපවතීවා. අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම යහපත් ය. අපි දෙදෙනා වෙස්වලාගෙන මේ රටේ සැබෑ තත්ත්වය සොයා බලමු.” යි කීවේ ය.
එසේ කියා දෙදෙනා ම කිලිටි ඇඳුමින් සැරසී වෙස්වලාගෙන ශරීර අවයවයන් ද වෙනස් කරගෙන රටේ ඇවිදිමින් යන්නේ එක්තරා ගමකට පැමිණියෝ ය. මෙසේ පැමිණ එක් ගෙයක් වෙතට ගොස් එම ගෙයි පදිංචි ගෘහණිය අමතා “මෑණියනි, අපි මගියෝ වෙමු. සා පිපාසා ඇති නිසා අපි ඔබගෙන් කෑම ටිකක් ලබාගැනීමට කැමැත්තෙමු” යි කීහ. එවිට ගෘහණිය, “දරුවනි, එන්න, පැමිණ මේ ආසනවල හිඳගන්න. ඔබ කැමති සේ අනුභව කොට යන්නැ” යි කීවා ය.
ඔවුන් ආසනවල හිඳගත් පසු කෑම පිළියෙල කළ ඒ කාන්තාව දෙදෙනා ම සුකුමාල ශරීර ඇත්තවුන් බව වටහාගෙන,
“දරුවනි, පිරිසිදු උක්පැණි සමඟ අනුභව කරන්නට කැමති ද? නැත්නම් දී කිරි සමඟ හෝ ගිතෙල් සමඟ අනුභව කරන්නට කැමති ද කියන්නැ” යි කීවා ය. එබස් අසා දෙදෙනා ම ශාන්ත සිතින් යුක්තව “මෑණියනි, උක් පැණි සමඟ දෙනු මැනවි” යි කීහ. එවිට ඇය “හා හොඳයි” කියා පිරිසිදු බඳුනක් ගෙන උක් වත්තට ගොස් උක් ගසක් කඩා පැණි බේරා ගැනීම සඳහා එය දෑතින් ඇඹරුවා ය.
මුළු ශක්තියෙන් ම ඇඹරූ නමුත් පැණි බිඳක්වත් නොවැගිරිණි.
මේ දුටු මිතුරන් දෙදෙනා ඒ ගෘහණියගෙන් මෙසේ ඇසූහ. “මෑණියනි, ඔබ දෑතින් මුළු වෙර යොදා උක් ගස් කෑල්ලක් කඩා අඹරන නමුත් මේ වියළි උක් ගසේ පැණි බේරීමක් කෙසේ සිදු වේ ද?” එය අසා ගෘහණිය “දරුවනි, මම මීට පෙර මෙසේ උක් ඇඹරුවෙමි. උක් පුරුක් දෙකක් අතර නැලියක් පමණ පැණි තිබුණි.” යි කීවා ය. “මෑණියනි, එසේ නම් කුමක් නිසා මේ උක් ගස වියළී ගියේ ද?” යි ඒ දෙදෙනා ඇසූහ.
“දරුවනි, රජ තෙමේ ලෝභී ය. නොසතුටු සිත් ඇත්තේ ය. ලෝභයෙන් යුතුව තමා කැමති දේ කරන්නේ ය. ඒ වරදින් උක් ගස්වල හා අන් ගස්වල ඇති රසය වියළී ගියේ යයි මම සිතමි.” යි ඇය කීවා ය.
“මෑණියනි, ලෝභ වූ රජ කුමක් කරන්නේ ද? ලෝකයේ පිරිහීම හෝ අභිවෘද්ධිය ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේ ද?” යි ඔවුහු ඇසූහ. එවිට ඕ මෙසේ කීවා ය. “රජතෙමේ මවක හෝ පියෙකු මෙන් රට පාලනය කරයි නම් වැසියෝ සුව සේ දිවි ගෙවති. දැහැමි නොවූ රජ දරුණු වෙයි. ඒ නපුරු රජුගේ වරද නිසා වහා රට විනාශ වෙයි. නොකල්හි වැසි වසී. සුදුසු කාලයට වැසි නොවසී. රජු ධාර්මික නොවූ විට වැසි වැසීම විෂම වේ.
අධාර්මික රාජ්‍ය කාලයෙහි හැල් වී ආදිය ද මෑ, මුං, තල ආදිය ද පිරිහෙයි. ඒවා විෂම ලෙස පැහේ. මිහිරි රස, කුළු රස, තිත්ත රස, කහට රස, ලුණු රස යන මේවා නීරස වේ. අල හා ගෙඩි වර්ග ද ඖෂධවල ඕජා ගතිය ද නැති වේ. ඒවා දුලබ වේ. වංචා කිරීම්, හෙට්ටු කිරීම්, කපටිකම්, හොරකම්, පරදාර කර්මය යන සෑම අනර්ථකාමී ක්‍රියා ද වැඩි වේ. කිරිදෙන එළදෙන, මී දෙන් ආදීහු කිරෙන් පිරිහෙති. මල් හා ගෙඩි උපදවන ගස්වල මල් ද ගෙඩි ද අඩු වේ.
රජු අධාර්මික වූ විට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ද අන්‍ය ලබ්ධිකයන්ගේ ද සීලය හා තපෝ ගුණය ද පිරිහෙයි. අධාර්මික රජු ආශ්‍රය කරන අය ද දශ විධ සංග්‍රහයෙන් පිරිහෙති.
ධර්මයෙහි ඇලී ගැලී වාසය කරන කරුණා සිත් ඇති රජෙකු රාජ්‍ය කරන විට ඔහුගේ තේජසින් ලෝකය වහා දියුණු වෙයි. එකල සුදුසු කල වැසි වසී. නොකල්හි නොවසී. සෑම තැනකට ම සම සේ වසී. රජු ධාර්මික වූ විට මුං, මෑං ආදිය ද ඇල් වී ආදිය ද සෑම තැන ම සම සේ වැඬේ. රස වර්ග තම තමන්ගේ රසයෙන් ශක්තිමත් වේ. වංචා කිරීම්, ඇවිස්සීම්, කපටිකම්, සොරකම්, පරදාර සේවනය ආදී පව්කම් ද නැති වේ. කිරි දෙනුන්ගේ කිරි බහුල වේ. මල්, නිපදවන ගස්වැල් සරු වේ. මල්, ගෙඩි බහුල වේ.
රජ දැහැමි වූ කල පැවිද්දන්ගේ සීලය හා තපෝ ගුණය වර්ධනය වන්නේ ය. ලෝභය හා ද්වේෂය නිසා පිරිහෙන දුෂ්ට නපුරු රජුගේ කාලයේදී යහපත් ගති සිරිත් නැති වේ. ඒවායේ වර්ධනය ද නවතී. රජු දැහැමින් රාජ්‍යය කොට ස්වර්ගයට යයි. අධර්මයෙන් රාජ්‍ය කොට අපායට යයි. කීර්තිමත් පැරණි රජවරු දැහැමින් රාජ්‍ය කොට ස්වර්ගයට ගිය බව අසන්නට ලැබේ.”
ගෘහණියගෙන් උක්ගස වියළී යාමේ හේතුව ඇසූ රජ ඇමතියා දෙස බලා මෙසේ කී ය. “ලෝභයෙන් යුත් සිත ඉපදෙව් පමණින් හැම රසයෝ වියළී ගියාහ. යම් කලෙක ඒවා ගත්තා නම් එදාට සිදුවන දේ කුමට කියම් ද? අධර්මයෙන් යුක්තව ධනය රැස් කොට ඇත් අස් ගවාදීන් පෝෂණය කොට අපායට යන්නේ ය. අධාර්මික ධනය ඉපදවීමේ විපාක ඔබ විසින් මෙසේ ප්රත්යක්ෂ කරගන්නා ලදී. මම ආපසු හැරී යමි. මට ධනය රැස් කිරීමෙන් වැඩක් නැත.” ඒ රජ එසේ කියා ගොස් දැහැමින් රජ කොට ආයු කෙළවර දෙව්ලොව උපන්නේ ය.
මෙසේ මෙහි දැක්වූ ධර්මය මෙලොව දියුණුවට ද පරලොව සුගතියට ද හේතු වෙයි.
ඇසුර – සීහල වත්ථු
සටහන – ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ
Recent Comments