බුද්ධාලම්භන ප්‍රීතිය ජනනය කරවන අර්ථසම්පන්න බොදු ගීයක් වර්තමාන කාලයේ නිර්මාණය වනු දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. තෙරුවන කෙරෙහි ඇති විය යුතු අවෙච්ච ප්‍රසාදය නිර්මාණකරුවන් වෙතින් බැහැර වී තිබීම, අධ්‍යාත්ම පරිහානියක ලකුණු පළ කරන්නකි. නූතන අන්තර්ජාල තාක්ෂණය සමඟ පොරබදන සන්නිවේදන ජාලයන් ඔස්සේ එකිනෙක තරඟ වෙමින් ගලා එන්නේ මිනිස් සිත් සතන් තුළ රාගය, ද්වේෂය වඩවන පහත් පෙළේ, අවර ගණයේ සිනමා සිත්තම් හා කාම ගීතයන් පමණකි. සුභාවිත ගේය පද නිර්මාණය කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, මහගම සේකර, අජන්තා රණසිංහ, අරිසෙන් අහුබුදු වැනි වියතුන් අප හැර ගිය අතර ඉතිරිව සිටින ටික දෙනා ද නූතන කාම ගී රැල්ල හමුවේ උකටලී ව නිහඬ ව කල් ගෙවති. ඉන් එක් අයකු මෑතක දී පැවසුවේ “විද්‍යුත් මාධ්‍ය තමන් රචනා කරන ගීතයන් ප්‍රචාරය නොකරනවා නම් ගී පද රචනා කරන්නේ කාට ද? ඒවා ගයන්නේ කවුරුන් ද?” යනුවෙනි. ඉඳහිට හෝ ගායකයකු සුභාවිත ගීතයක් ගැයුවහොත් ඔහු අනාථ වන බව වැඩිදුරටත් ඔහු පැවසී ය.
එම නිසා මේ අධ්‍යාත්ම පරිහානියෙන් මඳ අස්වැසිල්ලක් ලබනු උදෙසා අතීතයේ ගැයුණු සුභාවිත බොදු ගීත රස විනිස “වියැළී මියැදෙන්නට පෙර” නූතන පරපුරට හඳුන්වා දීම අප ලබන කිසියම් අස්වැසිල්ලක් සේ සලකමු.
මීට අවුරුදු පනහකට හැටකට පෙර අප ශ්‍රී ලංකා සමාජය පැවතුණේ බුදු සමයෙන් උරුමකොට ගත් අධ්‍යාත්ම ශික්ෂණය අනුව සිය සිතුම් පැතුම් හසුරුවාගත් සමාජ පරිසරයක ය. සාමයික, සාමාජික හා දේශපාලනික ආදී හැම අංශයක ම එක්තරා සහජීවනයක් එකල දක්නට ලැබිණි. කර්ම ඵල විශ්වාසය පිළිබඳ මනා වැටහීමක් ඇතිව කල දවස ගෙවූ මිනිසුන් බහුල වශයෙන් සිටි එසමයේ සාහිත්‍ය කලා නිර්මාණයන් පවා හැඩගැසුණේ එකී ශික්ෂණය අනුව මෙහෙයවුණු පරිකල්පනය තුළිනි. එසමයේ ගීත සාහිත්‍යය විෂයෙහි ලා බෞද්ධ ගීත රචනා වූයේ සිනමා නාටක උදෙසා ය. මෙම යුගයේ; එනම් මීට අවුරුදු හැටකට පෙර සිටි බොදු ගී රචකයන් අතර ආනන්ද සමරකෝන්, සිරිසේන විමලවීර, ශාන්ති කුමාර් සෙනෙවිරත්න, කරුණාරත්න අබේසේකර ආදීන් විශේෂයෙන් කැපී පෙනිණ.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාරා අවුරුදු දෙදහස් පන්සියයක් ගෙවුණු කාලයේ ලෝකය පුරා වාසය කළ බෞද්ධ ජනතාව ඉමහත් සැදැහැයෙන් යුතුව ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරූහ. ඊට ආසන්න වකවානුවේ දී තිරගත වුණ ‘දස්කම’ නමැති සිනමා නාටකය උදෙසා රචනා වී ගැයුණු අපූරු ගීතයක් මහාමේඝ පාඨක සැදැහැවතුන්ගේ පහන් සංවේගය උදෙසා මෙසේ ඉදිරිපත් කරමු.
“ඉපිද මැරේ යළි ඉපිදේ
නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරි මැරේ – දස දහස් වාරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ
කුමට නැටුම් කෙළි කවට සිනාදා
මරුට නොමැත නිසි විටකදි බාදා
ඔබට නොදන්වා මරු මෙහි ආදා
යන්නට සිදුවන්නේ – ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ
කුණු කය නිසරුයි – නැත පවතින්නේ
කළ හොඳ පමණයි – මෙලොව රැඳෙන්නේ
නැති බැරිකම ලෙඩදුක් ඇතිවන්නේ
අපටයි මිනිසුනේ – ඇයි මෙය නොසිතන්නේ
නොතිර සසර සාගරේ”
කෙළවරක් නොදකින අපාර වූ සංසාරයේ මැරි මැරී ඉපිදෙමින් දුක් විඳින මනුෂ්‍ය වර්ගයා පිළිබඳ ව ළෙන්ගතු හැඟුමකින් යුතුව ගැයුණ මෙම ගීතය රචනා කරන ලද්දේ ඒ යුගයේ විසූ දක්ෂතම ගීත රචකයකු මෙන් ම සන්නිවේදකයා ද වූ කරුණාරත්න අබේසේකරයන් විසිනි. ඒ ගීපද සරණියට සුගායනීය ප්‍රාණ වායුව පිරිනැමුණේ යුගයේ අසහාය ගාන්ධර්වයාණන් වූ පණ්ඩිත් අමරදේවයන්ගේ කටහඬිනි.
සසරේ බිහිසුණු සැරිසැරුම පිළිබඳව ගැයුණු සනාතන අගයකින් යුතු ධර්ම කාව්‍යයක් ලෙස හැඳින්විය හැකි මෙම ගීතයේ ස්ථායි ගායන ඛණ්ඩයෙන් විවරණය කෙරෙනුයේ එක් භවයක වුව ද පවත්නා ගොරතර ජීවන ස්වභාවය යි. එනම් එක් අත්බැවක ඉපිදී ගතකරන සුළු කාලයේ දී වුව නොමැරී මැරෙන බව ය. එසේ දුක් විඳින්නේ එක් වරක් දෙවරක් නොව දස දහස් වරකි.
“අතර තුරේ නොමැරි මැරේ දස දහස් වාරේ
නිසල නැතේ සසල වෙතේ…”
බාහිර විපත්වලට, අභ්‍යන්තර දුක් වේදනාවලට බඳුන් වෙමින් හැම මොහොතක් පාසාම බියෙන් සැලෙමින් ජීවිතය ගෙවීමට මිනිසාට මෙන් ම සියලු සත්ව වර්ගයාට ම සිදු වී ඇත.
ධම්මපදයේ චිත්ත වග්ගයේ දෙවැනි ගාථාව, මේ ගී ඛණ්ඩය තුළින් අප සිතට නැඟෙන්නේ ආකස්මික පිළිබිඹුවක් ලෙසිනි.
“වාරිජෝව ථලෙ ඛිත්තෝ – ඕකමොකත උබ්භතෝ
පරිඵන්දතිදං චිත්තං – මාරධෙය්යං පහාතවෙ”
“නිසල නැතෙ සසල වෙතේ”
“දියෙන් ගොඩට දැමූ මාළුවකු මෙන් මිනිසාගේ සිත හැම විට ම සැලෙන්නේ ය.”
වීදාගම මෛත්රය හිමියන්ගේ ලෝවැඩ සඟරාවේ එන “කුමන නැටුම් කෙළි කවට සිනාදා” යන පද්‍ය පාදයෙන් ගීතයේ අන්තර් ගී ඛණ්ඩය ආරම්භ වෙයි. උවදුරක්, පීඩාවක් නොමැතිව ජීවත් වන සුළු කාලයේ මනුෂ්‍යයා තම ජීවිතය ගත කරනුවේ ඉමහත් සතුටකින් හා ප්‍රමෝදයකිනි. කිසි දුකක්, කරදරයක්, විපතක් නොඒ ය යන හැඟුමෙනි. එහෙත් පසුපසින් හඹා එන මාර බලවේගය කුමන මොහොතක මිනිසා කරා එළඹේදැයි කිය නො හැකි ය. “ඔබට නොදන්වා මරු මෙහි ආදා යන්නට සිදුවන්නේ…” ජීවිතයේ අනියත බව කියන, අප තුළ බියක් කම්පාවක් ඇති කරවන ගී ඛණ්ඩයකි. අමරදේවයන්ගේ ගායන ස්වරය ඇසෙන විට, එහි අරුත් මෙනෙහි කරන පුහුදුන් දනන් හද සැලුම් වෙවුලුම් දෙනු නියත ය. බුදු වදනට අනුව ජීවිතයේ යථා ස්වභාවය හඳුනාගත්, තිසරණය පිළිබඳ නොසැලෙන ප්‍රසාදය ඇතිකර ගත් සත්පුරුෂයන් තුළ ඇති වන්නේ ජීවිතයේ අනියත බව පිළිබඳ හැඟීම පමණි.
ගීතය අවසන් වන්නේ බුදු මුවින් දේශිත ධර්මානුකූල පණිවුඩයක් මෙලොව වසන – උපදින මානව වර්ගයා වෙත ලබා දෙමිනි. එනම්, අප මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන පවත්වාගෙන යන්නේ කෙමෙන් දිරාපත් වෙමින් යන කුණු ඕජස්වලින් පිරුණු ශරීරයකි.
“කුණු කය නිසරුයි – නැත පවතින්නේ…
කළ හොඳ පමණයි – මෙලොව රැඳෙන්නේ…”
යමක් මේ ලෝකයේ රැඳී පවතින්නේ නම් ඒ පවත්නා දේ අපගේ හිත සුව උදෙසා නම්, ඒ වූ කලී යහපත් ක්‍රියා හෙවත් කුසල් දහම් පමණි. මිනිස් වර්ගයා කෙරෙහි මහා කරුණාවෙන් යුතුව කරනු ලබන ඇමතුමක දෝංකාරය, සමාප්ති ගී සර අනුහරින් නින්නාද වන අයුරු අපූරු ය:
“නැති බැරිකම ලෙඩ දුක ඇති වන්නේ
අපටයි මිනිසුනේ – ඇයි මෙය නො සිතන්නේ…”
හැමදෙනාට ම පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන පරිදි ගැඹුරු දහම් උපදේශයක් සුභාවිත ගීයකින් සරලව ඉදිරිපත් කළ ආකාරය ප්‍රසංසනීය ය. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අවස්ථාවෝචිත ගායන ස්වරය, සසර ගමනේ බියකරු බව අනාවරණය කොට ඉන් වහ වහා නිදහස් වීමේ වටිනාකමත්, කඩිනම් අවශ්‍යතාවයක් අපට පෙන්වා දෙන්නේ ය.
සටහන – මා(ර්)ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති
Recent Comments