සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයට පහළ වෙලා ධර්මය දේශනා කිරීමට අපි කියනවා ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා කියලා. යළි යළිත් ඉපදෙන සසර ස්වභාවයට අපි කර්ම චක්‍රය කියලා කියනවා. කර්ම චක්‍රය නම් ලෝකයේ හැමදාකම කරකැවෙනවා. අතිශයින් ම දුර්ලභව, ඉතාමත් කලාතුරකින් තමා ධර්ම චක්‍රය කරකැවෙන්නේ. හැබැයි මේ ධර්ම චක්‍රයට පුළුවනි කර්ම චක්‍රය නතර කරන්න. වෙන කිසිම කෙනෙකුට, කිසිම ආකාරයකට ඒක කරන්න බැහැ.

කර්ම චක්‍රය කරකැවෙන තාක් මේ සත්වයෝ දුකත් විඳිනවා. සැපත් විඳිනවා. මැදහත් බවත් විඳිනවා. හැබැයි ඒ දුක සැප හටගන්න ආකාරය ගැන කිසි අවබෝධයකින් නෙවෙයි. මුළාවෙන් මුළාවට පත් වෙලා. අද මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය දිහා බලනකොට පෙනෙනවා මේ ලෝක සත්වයා අවිද්‍යාව නමැති මහා ඝන කළු කඩතුරාවකින් වැහිලා ඉන්න තරම. ඒ මදිවට ඒ අවිද්‍යා කඩතුරාව ඉරාගන්න බැරි තරමට තණ්හාවෙන් ගැට ගැහිලා. ආලෝකය දැකීම ලේසි නැහැ.

අපි අහලා තියෙනවා ඉස්සර දේශපාලන සිරකරුවෝ අතිශයින් බිහිසුණු, කිසිම ආකාර එළියක් නැති ඝණ කට්ට කරුවලේ බියකරු ගෙවල්වල සිර කර තිබුණා ය කියලා. කරුවලේ ම යි කෑම ටිකත් ළඟට තල්ලු කරන්නේ. දැන් අපි චුට්ටක් මෙහෙම හිතමුකෝ. කිසිම ආකාරයකට, මොනම විදියකටවත්, කණාමැදිරි එළියක් තරම්වත් නැති මහා ඝණ කට්ට කරුවලක අපිව මාස දෙක තුනක් එක දිගට ම තියලා තිබ්බොත් මොනවා වෙයි ද? අපේ මනස විකෘති වෙනවා, සිහි කල්පනාව නැතිවෙනවා. පිස්සු හැදෙනවා. අර දේශපාලන හිරකාරයන්ටත් එහෙම වෙන්න තමා අර විදියට දමලා තියෙන්නේ.

එතකොට බලන්න, අපේ මහාවීර මුනිඳුන් දේශනා කළා නේ ද ඒ සියලු ම අන්ධකාරවලට වඩා බිහිසුණු දරුණු අන්ධකාරය තමා මේ අවිද්‍යාව නමැති අන්ධකාරය කියලා. ඒ අවිද්‍යා අන්ධකාරයේ ම ඉඳලා අපේ මනස විකෘති වෙලා නැද්ද? මොකෝ නැත්තේ. අපිට අනිත්‍ය දේ පෙනෙන්නෙ ම නිත්‍යයි වගේනේ. දුක් දේ පෙනෙන්නෙ ම සැපයි වගේනේ. අනාත්ම දේ පෙනෙන්නෙ ම ආත්මයි වගේනේ. අසුභ දේ පෙනෙන්නෙ ම සුභයි වගේනේ. විකෘතිය නෙවෙයි ද?
මේ විකෘතිය හට ගත්තේ මේ අහවල් කාලයේ ඉඳලා කියලා කියන්න පුළුවන් ද? බැහැනෙ. ඇයි ශාස්තෘන් වහන්සේ පවසන්නේ පටන් ගත් තැනක් පනවන්න බැහැ කියලනේ. ඝණ කට්ට කරුවලේ ඉන්නේ සුළුපටු කාලයක් ද? අහෝ… එතකොට ඒ ආව සසරේ බුදුවරු මුණගැහුනෙ ම නැද්ද? මොකෝ නැතුව. මුණගැහුණා. අවිද්‍යා අන්ධකාරය දුරු කරවන විද්‍යාව පහළ වෙන ධර්මය ඇහුණේ ම නැද්ද? ඇයි නැතුව. ඇහුණා. එහෙනම් කොතන ද වැරැද්ද? අපි මේ අද ධර්මය අහන විදියට ම තමා එදත් ඇහුවේ. අපිට මේ ධර්මය අවබෝධ කර ගන්නත් ඕන. ඒ වුණාට රාග, ද්වේෂ, මෝහත් ඕන. හැමදාම කළේ අන්තිමට ධර්මය අත්හැරියා. කුණු කෙලෙස්වලට වසඟ වුණා.

හැඟීම්බර වෙලා තමා හැමදේ ම කළේ. සසර පුරුදු එකක්වත් අත්හරින්න කැමති වුණේ නෑ. කෙලෙස් ම බදාගෙන, කෙලෙස් ම හුරතල් කර කර උන්නා මිස ඒවායේ ඇත්ත තේරුම් ගන්න, දුරු කරන්න ඕන වුණේ නෑ. මේක බොරුවක් ද බලන්න. අදත් දානය ගැන, දානයේ ආනිශංස ගැන අපගේ මුහුණු රකුසු වෙනවා. ලෝභයට වසඟ වෙලා, ලෝභය ම හුරතල් කර කර ඉන්නවා. සීලය ගැන, සීලයේ ආනිශංස ගැන කියන කොට අහක බලාගෙන ඉන්නවා. දුස්සීලකමට වසඟ වෙලා, දුස්සීලකම ම හුරතල් කර කර ඉන්නවා. භාවනාව ගැන කියන්න ම දෙයක් නැහැ.

අපට ධර්ම අත්හැරීම ඉතා ම සුළු දෙයක්. ඒ වුණාට මාන්නය අත්හරින්න ලෝභයි. මාන්නය ම හුරතල් කර කර සතුටු වෙනවා, අපට ධර්මයට වඩා වටින්නේ ඊර්ෂ්‍යාව. ඉතින් ඊර්ෂ්‍යාව අත්හරින්න ලෝභකමේ ඒකෙන් සතුටු වෙවී ඒක ම තියාගෙන ඉන්නවා. හිතුවක්කාරකම, දරදඬුකම, කුහකකම, අසත්පුරුෂකම, අත්හරින්න කියලා ධර්මයෙන් කියනවා. අපි ඒවා බදාගෙන ධර්මය අතහරිනවා. තමන් ළඟ මේ ඔක්කොම කෙලෙස් තියාගෙන “අනේ මං ළඟ නම් ඕවා නැහැනේ.” කියලා හුරතල් වෙවී බොරුත් කියනවා. හරියට නැහැ කියන්නේ කවුරුත් ඉල්ලුවොත් දෙන්න වෙයි වගේ. අපිට නිවනත් ඕන. රාග, ද්වේෂ, මෝහත් ඕන.

අතහැරිය යුතු දේවලට මත් වෙලා, වසඟ වෙලා ඒවා ම පුරුදු කරපු, පුරුද්දට ම යට වුණ සසරක් අපට තියෙන්නේ. අපේ සිහි නැතිකම කොපමණ බරපතළ ද කියනවා නම් ධර්මය අහ අහා දැනුත් කරන්නේ ඒක ම යි. ධර්මයත් ඕන, හැබැයි කෙලෙසුත් ඕන කියන තැන තමා ඉන්නේ. සසර පුරුදුවලට ලෝභ වෙලා කුණු කෙලෙස්වලින් චුට්ටක්වත් අත්හරින්න කැමති නැතිව සසරට ම බැඳිලා, ගැට ගැහිලා, වසඟ වෙලා ඉන්න ගමන් “අනේ මට නිවන් දකින්න ඕන. නිදහස් වෙන්න ඕන.” කිය කියා මන්තරේ ජප කරන්නැහේ අපි කියව කියව ඉන්නවා. ඇයි කවුරුත් ගැට ගැහුව ද? බැඳලා තිබ්බ ද? හිර කරලා තිබ්බ ද? ඔක්කොම තමන් හදාගත්ත දේවල්නේ. තව කෙනෙකුට පේන්න තියෙන ගැට හෝ හිර කෙරිලි නම් මොන දහිරියක්, වීරියක් අරගෙන හරි කපලා දමන්න බැරියැ. මේ ගැට තියෙන්නේ තම තමන්ගේ හිතේනේ. ඉතින් වෙන කෙනෙක් නෙවෙයි, තම තමන් ම යි ලිහා ගත යුත්තේ. ඒ වුණාට අපි කෑ ගහන්නේ “අරූ තමා මේක කොළේ, අරකී සහ මේකීලා තමා මේක කොළේ, හෙණ ගහපිය, ගණන් බලාපිය.” කියලනේ.

මහා මුනිවරයෙක් පහළ වෙලා තමා හිතේ තියෙන පටලැවිලි ලිහා දමන ක්‍රමය අපට කියලා දෙන්නේ. කොච්චර කීවත් අපේ විකෘතිය ම තමා බලවත්. ඒ වගේ ම විකෘතිය යි කියලා දැන ගත්තත් ඒකට ම යි කැමති. ඔන්න අඳුරේ හිටපු විපාක.

“මහණෙනි, උපන් සත්වයාට සතර අපාය මහ ගෙදර වගේ.” කියලා ශාස්තෘන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපි සතර අපායට යන්නේ ගෙදර තුන්දෙනාට තට්ටු තුනක ගෙයක් හැදුවේ නැති නිසා ද? සුපිරි වාහනයක් ගත්තේ නැති නිසා ද? දරුවෝ ජාත්‍යන්තර පාසලකට දැම්මේ නැති නිසා ද? ඉහළ විභාග පාස් නො කළ නිසා ද? කොටින් ම ළමයා පහේ ශිෂ්‍යත්වය පාස් නො වුණ නිසා ද? නොම්බර එකේ රැකියාවක් නො ලැබුණ නිසා ද? ජය පහට තරු හතේ හෝටලයක වෙඩින් එක ගත්තේ නැති නිසා ද? නැහැ නේ ද? ඒ වුණාට බහුතරයක් උදේ රෑ දවල් නොකා, නොබී දඟලන්නේ ඒවා නොකොළොත් සතර අපායට යන්න වෙනවා වගේ නේ ද?

මේ සමයං එකක්වත් කළා හෝ නොකළා කියලා කවුරුත් සතර අපායට යන්නේ නෑ. හැබැයි මේවා ලබා ගන්න කරන සටනේදී සිත, කය, වචනය මෙහෙයවන ආකාරයට තමා සතර අපායට යන නොයන එක තීරණය වෙන්නේ.
“මහණෙනි, මේ ත්‍රිවිධ දුෂ්චරිතය නිසා කෙනෙක් සතර අපායට යන්නේ නැත්නම්, මම ත්‍රිවිධ දුෂ්චරිතය කරන්න එපා කියල කියන්නේ නැහැ” කියලයි මහා මුනිඳු දේශනා කරන්නේ. “මහණෙනි, ත්‍රිවිධ සුචරිතය පුරුදු කිරීමෙන් කෙනෙක් දුගතියට යනවා නම්, මම ත්‍රිවිධ සුචරිතය අනුමත කරන්නේ නැහැ.” කියලත් පවසනවා.

ඒ වුණාට අපි..? අපිට ත්‍රිවිධ දුෂ්චරිතය කරන්නත් ඕන. සුගතියට යන්නත් ඕන. එහෙම කොහොම ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ හේතු ඵල දහමක්. හේතුවට අනුවයි ඵලය හැදෙන්නේ. හේතුව අත්හරින්න කැමති නැතුව ඵලය අපට ඕන විදියට හදා ගන්න පුළුවන් ද? අපි හිතන්නේ “මං ඒක කොහොම හරි කර ගන්නම්කෝ” කියලයි. ඒකට කියන්නේ මෝඩ මාන්නය කියල. සමහර ආගම්වල මිනිස්සු හිතනවා, කියනවා, ‘දෙවියෝ තමා මේ සියල්ල ම මැව්වේ, දෙවියන්ට කරන්න ම බැරි දෙයක් නැත. අපේ පව් දෙවියෝ බාර අරගෙන අපිට සමාව දෙනවා. දෙවියන් ළඟ සදාකාලිකව තියා ගන්නවා….’ ආදී වශයෙන්. මේ මිත්‍යා දෘෂ්ටිවලින් කරන්නේ කර්මයට අභියෝග කිරීම යි.
ලෝකයේ සත්වයාට කොතනින් සර්ව සාධාරණය නොලැබුණත් ජාති, ආගම්, කුලභේද, දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, අල්පේශාක්‍ය, මහේශාක්‍ය ආදී පවතින කිසිම භේදයක් නොබලා පුද්ගලයෙකුට අබමල් රේණුවකින්වත් අසාධාරණයක් නොකරන දෙයක් තියෙනවා. ඒ තමයි කර්ම විපාකය. කිසිම තරාතිරමක් නොසොයා නොබලා සියලු සත්වයන්ට සර්ව සාධාරණය ඉටු වන්නේ කර්මයෙන්. ඒ කර්මය එක්තරා ශක්තියක්, බලයක් මිස පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ නොවන නිසා කිසි කෙනෙකුට මුණගැසී, පින්සෙණ්ඩු වී, අල්ලස් දී, ඤාති මිත්‍රකම් ඇති කරගෙන, බලය අයථා අන්දමින් පරිහරණය කොට වෙනස් කර ගන්නට බැහැ.

“කම්ම විපාකෝ අචින්තියෝ” කර්මය විපාක දෙන ආකාරය සිතිය නොහැකි බව මහා මුනිඳු දේශනා කළ සේක. සමහරු කර්ම විපාකවලින් බේරෙන්න රට හැර යනවා. පදිංචිය වෙනස් කරනවා, පුද පූජාවල්, ශාන්ති කර්ම කරනවා, හැංගිලා ඉන්නවා… ඒ වුණාට සියල්ල දන්නා, සියල්ල අතැඹුලක් සේ දක්නා අපේ බුදුපියාණන් දේශනා කළා “කන්දක ගුහාවක සිටියත්, මුහුද මැද හිටියත්, අහසේ හිටියත්, කොහේ උන්නත් කර්මයෙන් ගැලවෙන්න බැහැ.” කියලා.
ඒ නිසා අප කෙරේ පරම දයාබර වූ, අනුකම්පා සහගත වූ, අමා මෑණියන් වහන්සේ මෙහෙම අවවාද කරනවා. “ඉදින් ඔබ දුකට බය නම්, දුකට අකමැති නම් එළිපිට හෝ, රහසේ හෝ පව් නම් කරන්න එපා…” කියලා.

රහසේ පව් කරලා, ලෝකයට රහස වසාගෙන උන්නත් අපි කර්මයට විවෘතයි. කර්මයට රහස් නැහැ, කර්මයට රහසේ කිසිම දෙයක් හිතන්න, කියන්න, කරන්න බැහැ. බලමුකෝ කර්මයේ තියෙන බල පරාක්‍රමය. බුදු කෙනෙක් මේ විෂය අවබෝධ නොකරන්න අපට “අර විෂය දන්නවා, මේ විෂය දන්නවා, අර ආචාර්ය, ප්‍රාචාර්ය, මහාචාර්ය උපාධි තියෙනවා.” කියලා මහලොකුවට බෙල්ල කෙළින් කරන් උන්නට අපි දන්නේ අහවල් කෙං ගෙඩියක් ද?
ඒ නිසා අපි ශාස්තෘ ධර්මයට ම යි කැමති වෙන්න ඕන, පාප කර්මයට අකමැති වෙන්න ඕන. හැබැයි ඉතින් අපිට ධර්මය – අධර්මය තෝර ගන්නත් නුවණක් ඕන කරනවා. නැත්නම් අපි ධර්මය කියලා රොඳ බැඳගෙන, කැටි ගැහිලා, මහා උජාරුවෙන් ඉන්නේ අධර්මය වටා කියලවත් දන්නේ නැහැ. අධර්මය සමාදන් වෙලා, පිරිසිදු ධර්මයට ගැරහුවොත්, නින්දා අපහාස කළොත්, ධර්මය විකෘති කළොත් කවුද ඒ ගැරහුම, නින්දාව ලබන්නේ?

විශිෂ්ට ප්‍රඥාවෙන් සියල්ල අවබෝධ කළ, හේතු සහිතව සියල්ල අවබෝධ කළ, ප්‍රාතිහාර්ය සහිතව සියල්ල අවබෝධ කළ, සාක්ෂාත් කළ, මහා කාරුණික වූ, දෙව් – මිනිස් ලෝකයාගෙන් කිසිවක් ම අපේක්ෂා නොකළ, දෙව් – මිනිස් ලෝකයට අනුකම්පාවෙන් යහපත දායාද කළ, ගුණ කියා නිම කළ නො හැකි අපගේ පරමෝත්තම වූ ශාස්තෘන් වහන්සේටයි ඒ ගැරහුම නින්දාව ලැබෙන්නේ. කර්මය කොහොම හැදෙයි ද?

එම නිසා අපි දුවන්නන් වාලේ දුවන, කියන්නන් වාලේ කියවන, අහන්නන් වාලේ අහන, කරන්නන් වාලේ කරන, අඥාන, අසත්පුරුෂයන් නොවිය යුතුයි. මන්ද අපව රැක ගන්නේ අප තුළ පවතින ධර්මයෙන් ම යි. අධර්මයෙන් නො වෙයි. අප විනාශ වෙනවා නම් විනාශ වෙන්නේ ද අප තුළ පවතින අධර්මයෙන් ම යි. මේ ජීවිතයේ දී ඔබට නානා දෘෂ්ටි මතවාද ගිල්ලවන, හුරතල් කරන, නළවන කිසිවෙකු ඔබ අප නිරයට ගිය විට බේරන්නට එන්නේ නැහැ. නිරි පල්ලන් ද අපව හුරතල් කරන්නේ, නළවන්නේ නැහැ. එදාට අපට අපවත් නැහැ. යළි යළිත් සිතිය යුතු මොහොතක් පැමිණ තිබෙනවා. සිතිය යුත්තේ මනා කොට නුවණ මෙහෙයවීමෙන්. නැත්නම් මහ දවාලේ ම තමන්ට තමන් වළ කපා ගත්තා වෙනවා.

මෙතෙක් ආ සසරේත් අපි ධර්මය බබළ බබළා තිබිය දී අධර්ම අන්ධකාරයට ම ගියා. ධර්මය අපව පිළිගන්නට බලා සිටිය දී කෙලෙස් වසඟයට ම ගියා. දිව්‍ය ලෝක අපට විවර කර දෙද්දී ඒවාට හූ කියමින් සතර අපායට ම කඩාගෙන දිව්වා. මනාකොට මාර්ගය පිරිසිදු කර දී තිබිය දී මාර්ගයට කටු කොහොල් ඇද දමා, ගල් පෙරළා, මාර්ගයට වසුරු හෙළා මහත් උජාරුවෙන් අමාර්ගයේ ගියා. ඉතින්… ඉතින් තවමත් විඳවන සසරේ….

සත්පුරුෂයන්ට චෝදනා කර කර, ගර්ජනා කර කර, නින්දා අපහාස කර කර, ආඩපාලි කිය කියා තවමත් අපි යන්නේ පරණ පුරුදු පාරෙ ම නේ ද? පටු සිතට වසඟ වෙන්න එපා. වැරදි කරන්න ඔබට යෝජනා කරන්නෙත් පටු සිත ම යි. වැරදි කළ පසු නිරන්තරයෙන් ඔබට චෝදනා කරන්නෙත් පටු සිත ම යි. කළ වැරදි සිහිපත් කර දෙමින් හතුරෙකු සේ ඔබව පෙළන්නෙත් පටු සිත ම යි. මේ පටු සිතේ ඇති නීච, ජඩ, නින්දිත, තුච්ඡ ස්වාභාවය ඉවසීමෙන් දකිමින් ගංගාවක් වැනි පළල් සිතක් හදා ගන්නට මේ බුද්ධ ශාසනයේදීවත් නො හැකි වුණොත් ආයෙත් පරණ පාරෙ ම යි.

ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවලට ගිජු වෙලා තණ්හාවට දාස වෙලා, නම්බුව, බම්බුව කරේ තියාගෙන, දැඩි බව, ඊර්ෂ්‍යාව, අකීකරු බව ආදී පොට්ටනි කරේ එල්ලගෙන, අධම, අසත්පුරුෂ ගති ම ප්‍රකට කරමින් අධර්ම මාවතේ යන මේ ගමන…. හිතන්න…. මේ පරණ පාර ම නේ ද? එසේ මෙසේ කාලයක් ද මේ පාරේ යන්න පටන් අරගෙන, ආව තැන මතකත් නැහැනෙ… යන ගමනේ ඉලක්කයකුත් නැහැනේ.

කර්ම චක්‍රයක් නම් මේ හැමදාම කරකැවෙන්නේ පුරුදු පාරෙමනේ. හමුවන්නෙත් පරණ අයමනේ. පරණ පුරුදු පාරේ යන ඔබට පරණ දේවල් පරණ හතුරන්, මිතුරන්, ඥාති හිතවතුන් මිස ආසාවකට අලුත් දෙයක්, අලුත් පිරිසක් මුණගැහෙන්නේ නැහැ නොවැ. මේ ආව සසරේ ඔබ නොගිය රටක්, ලෝකයක්, නොකළ රැකියාවක්, නොසෑදූ ගෙයක්, නොගත් වාහනයක්, නොකරගත් විවාහයක්, නොසෑදූ දරුමල්ලන් නැහැ…. කිසි ම කිසි දෙයක් අලුත් දේවල් නෙවෙයි. මහා කරුවලේ ආව, මහා කරුවලේ ම යන අපි ඒ වුණාට හිතන්නේ මේවා තමා සුපිරි, බ්රෑන්ඞ් නිව්, රැස් විහිදෙන ජීවිත කියලනේ. මනස්ගාත. මේ හැම දෙයක් ම අපි ආව සසරේ ඕනෑ තරම් අයිති කර ගත් පරණ දේවල් ම යි.
හැබැයි අපිට ඇවිදගෙන යන්නත් අමාරු නම්, දණ ගාගෙන යන්නත් බැරි නම්, බඩ ගගා හරි කවදාවත් නොගිය දහම් මාවතේ යන්න හැකි වුණොත්… ඒ දහම් මාවතේ දහම් නගරයට කෙළ, සොටු, කඳුළු පෙරාගෙන අඬ අඬා ගියත් පාඩු නෑ. ඒ දහම් මාවතේ යනකොට තමා අපිට අති සුපිරි දේවල් හමුවන්නේ. එතකොට අපිට අපේ පරණ ජීවිත ගැන ම කැත හිතේවි, ලැජ්ජා හිතේවි ‘චිකේ’ කියලා.

ධර්මයෙන් නිර්මිත මාර්ගයට පිවිසෙන්නට ලැබෙන්නෙත් කර්මයෙන් ම තමා. ඒ පුණ්‍යකර්ම. අපි රෑ දවල් නොබලා පින්කම් කරනවා තමයි. ඒත් ඒවා කෙලෙස් සහිත කර්ම. මෙහෙම හිතමු. අපි මහන්සි වෙලා ප්‍රණීත ආහාරයක් දානයට හදා ගෙන යනවා. තමන්ගේ ම අතින් ම බෙදුවා ම මහත්ඵලයි, මහානිශංසයි කියලා අහලා තියෙනවානේ. ඒ වුණාට දානෙ බෙදන්න යනකොට වෙන කෙනෙක් පැනලා ඒක අරන් ගිහින් බෙදනවා. ඔන්න හිත කිලුටු වුණා. එහෙම නැත්නම් තමන් ගෙනා ආහාරය කවුරුවත් ම ගත්තේ නැහැ. දැන් තවත් හිත වැටුනා. දැන් තතන තතනා කල්පනා කර කර ඉන්නවා. ‘නොදකිං අරකි. කොහේ ඉඳන් කඩා පාත් වුණා ද දන්නේ නෑ.’

දැන් කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනා කරනවා. කටින් කීවට හිතේ දුම් දමනවා. මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා. පිටින් අපි සාන්ත දාන්ත ව වගේ උන්නට හිතේ කෙලෙස් එක පොදියට පොර වැටෙනවා. ඒ නිසා තමයි සීලයත්, ඉන්ද්‍රිය සංවරයත් අපට බොහෝ වීර්යයෙන්, සිහියෙන් දියුණු කර ගන්න තියෙන්නේ. එහෙම නැති වුණා ම පින්කම් කරනකොට අපිට මාන්නය වැඩි වෙනවා. තණ්හාව ඇති වෙනවා. සිත ගැන මනා අවදියෙන් නොසිටියොත් පින් වගේ ම පවුත් එකතු වෙනවා. දහම් මාවතට බැස ගන්න නම් සුළුපටු වීරියකින් බැහැ.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙනවානෙ වරද පෙන්වා දීම නිධානයක් පෙන්වනවා වගේ කියලා. වරදට නිග්‍රහ කරලා යහපත පෙන්වා දෙන සත්පුරුෂ නුවණැති උතුමෝ, පණ්ඩිතයෝ ඇසුරු කරන්න කියලා. එතකොට නිග්‍රහ කරන්න කීවේ මොකටද? අපට ද? නෑ. වරදට. නිග්‍රහ කරනකොට අපි කල්පනා කරන්න ඕන ‘මේ නිග්‍රහය ලබන්නේ වරදයි. මම හෝ මගේ කියා දෙයකට නො වේ. හිතේ පවතින කෙලෙස් නිසා තමා නිග්‍රහයන් ලබන්නේ. හිතේ කෙලෙස් නැත්නම් මේ කිසිම නිග්‍රහයක් නෑ නොවැ. ශාස්තෘන් වහන්සේ නොවැ මේ සියලු දෝස හඳුනාගත්තේ. ඒ දෝස දුරු කරවන ධර්මයක් නොවැ උන්වහන්සේ මනා කොට දේශනා කළේ. ඒ ධර්මයෙන් ම යි මහරහතන් වහන්සේලා බවට පත් වූ උත්තමයෝ කෙලෙස් දුරු කොට නිග්‍රහ නොලබන අය බවට පත් වුණේ. අනේ මටත් මේ ත්‍රිවිධ රත්නය ම යි පිහිට, පිළිසරණ පිණිස පවතින්නේ’ කියලා ත්‍රිවිධ රත්නයට ම ප්‍රශංසා කර කර යහපතේ පිහිටා ඉන්නට උත්සාහ කරන්න සිදු වෙනවා.

ඒ වගේ ම නිධානයක් කියන්නේ සාමාන්‍ය දෙයක් නොවෙයි බොහෝ වටිනා දේවල් තැන්පත් කොට ලේසියෙන් ගන්නට බැරි විදියට තැන්පත් කළ වස්තුවක්. මේක ගියපු ගමන් ගන්න අත මානයේ තියෙන දෙයක් නොවෙයි. අපි අහලා තියෙනවානේ ඉස්සර නිධන් තැන්පත් කළ විදිය. ඒ නිසා නිධානය ගන්ට, ඒක වසා තිබෙන දේවල් අමාරුවෙන් අයින් කරන්න ඕන නේ ද? ඒක ලේසිපහසු දෙයක් නෙවෙයි. මෙතන නිධානයක් තියෙනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා නම් යම් කෙනෙකුට, එයා බොහෝම වෙර වීරිය උපදවාගෙන නිධානය මතු කර ගන්නා තුරු ම අත නොහැර කටයුතු කරලා නිධානය ලබාගෙන තමන් සුව සේ ඉන්නවා.

අපේ ශාස්තෘන් වහන්සේ පොළොවේ තියෙන නිධන් අපට පෙන්වනවා නෙවෙයි. අපේ හිත්වලත් සැඟවුණ නිධානයක් තියෙනවා. ඒ තමා ප්‍රඥා නිධානය. අන්න ඒකයි මතු කරගෙන යහපත අභිවෘද්ධිය සලසා ගන්න කියන්නේ. කට්ට කරුවලේ ආව අපි ඒ නිධානය ලේසියෙන් මතු කර ගන්න බැරි විදියට වහලා දමලයි තියෙන්නේ. නිධානය ලබා ගන්න කැමති අය ශාස්තෘන් වහන්සේගේ ප්‍රඥා නිධානයේ ආලෝකය ආධාර කරගෙන දැඩි කැපවීමකින් මේ වසාගෙන තියෙන ගල් පතුරු, පස් කඳු, කටු කොහොල් ටික ටික ඉවත් කරනවා. කළගුණ දන්නාකම, කළගුණ සිහිකරනා බව නම් වූ තියුණු ආයුධය තමා පළමුවෙන් ම භාවිත කළ යුත්තේ. දුර්ගුණ නමැති කටු පඳුරු, ගල් පතුරු ටික ටික ඉවත් වෙනකොට මතු වෙන්නේ සත්පුරුෂ ගුණ ම යි. සත්පුරුෂයා ඝෝෂා කරන්නේ නැතිව හිමීට, හිමීට නිධානය මතු කර ගනීවි.

අසත්පුරුෂයන්ටත් කවුරු හරි නුවණ නැති, විපරීත කල්පනා ඇති, කෙනෙක් කියනවා කුණු දමන වළක් පෙන්වලා “මෙතන නිධානයක් තියෙනවා” කියලා. අසත්පුරුෂ අය කෑ කෝ ගහලා අර කුණු වළ ඇදලා තමන්ගේ සරුවාංගය ම දුර්ගන්ධය හමන කුණු තවරගෙන අසල්වාසීන්ටත් ඒ පළාතේ ඉන්නට බැරි විදියට ගඳ ගස්සනවා. කුණු වළකින් ලැබිය හැකි නිධානයක් ඇති ද?

මේ කාලයේ බොහෝ විට සත්පුරුෂ උත්තමයෙක් නිධානයක් ඇති බව දැනගෙන එය මතු කර ගන්නට උපදෙස් දෙන විට, මළකඩ කාපු මොට්ට කැති උදලු අරගෙන අසත්පුරුෂයෝ කරන්නේ නිධානය පෙන්වා දෙන සත්පුරුෂ උත්තමයාට පහර දෙන්නට, මරණීය තර්ජන කරන්නට තැනීම යි. නිධානය යට තිබිලා කාලයක දී විනාශ වෙලා යාවි. තමන්ට මෙලොවටත්, පරලොවටත් නිධානයෙන් ඵලක් නැති වේවි. ප්‍රඥා නිධානය අසත්පුරුෂ, දුර්ගුණවලින් තව තවත් වැහිලා යාවි. නැත්තට ම නැති වෙලා යාවි. නිධානයක් තබා නිධානයක හුළඟක්වත් නොලබා ම මැරිලා යාවි. අන්තිමට වෙන්නේ ඔය ටික තමා අනේ…. සතුරෙකුටවත් ඒ විපත නොවේවා!!!

– ශ්‍රාවිකාවක්