දීඝ නිකායට අයත් පාසාදික නම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා තිබෙනවා. “සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වදාරණ ලද, නිවැරදිව කියන ලද, නිවැරදිව දන්වන ලද, කෙලෙස් නැසීම පිණිස පවතින, සංසිඳීම පිණිස පවතින ධර්ම – විනයෙහි යම් කෙනෙක් සමාදන් කරයි ද, යම් කෙනෙකුන්ව සමාදන් කරවයි ද, ඒ අනුව පිළිපදියි ද, ඒ සියල්ලෝ ම බොහෝ පින් රැස් කර ගනිති” කියාය.
(ස්වාක්ඛාතේ ධම්මවිනයේ සුප්පවේදිතේ නිය්යානිකේ උපසමසංවත්තනිකේ, සම්මා සම්බුද්ධප්පවේදිතේ, යෝ ච සමාදපේති, යං ච සමාදපේති, යෝ ච සමාදපිතෝ තථත්තාය පටිජ්ජති. සබ්බේ තේ බහුං පුඤ්ඤං පසවන්ති) සියලු දානයන් අතර අග්‍ර දානය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ ද ධර්ම දානයයි. (සබ්බදානං ධම්මදානං ජිනාති)
එසේ අන් අයට ධර්ම දායාදය ලබා දීමේදී භික්ෂු – භික්ෂුණී, උපාසක – උපාසිකා යන සිව්වනක් පිරිස ම එය සිදු කළ යුත්තේ ශාස්තෘ ගෞරවයෙන් යුක්තව සම්බුද්ධ දේශනාවල වචනත් අර්ථත් වෙනස් නොවන පරිදි ය. ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති වූ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ, ශාසනභාරධාරී මහා කස්සප මහරහතන් වහන්සේ, මහා කච්චාන මහරහතන් වහන්සේ ආදී මහානීය රහතුන් වදහළ දහම් පරියායන් අපට සූත්‍ර පිටකයේ දක්නට ලැබේ. ඒවාහිදී ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවත්, ශ්‍රාවකයින්ගේ දම් දෙසුමත් වචනයෙන් වචනය, අර්ථයෙන් අර්ථය මනාකොට ගැළපී යන අයුරු අසිරිමත් ය. මන්ද, තථාගතයන් වහන්සේගේ හදමඬලේ උපන් ඒ ශ්‍රාවක පුතුන් ශාස්තෘ ගෞරවයේ, ධර්ම ගෞරවයේ ප්‍රතිමූර්තීන් නිසා හැමවිට ම නිහතමානී වූයේ මෙලෙස පවසමිනි.
අපගේ මේ ධර්මය පවතින්නේ භාග්‍යවතුන් වහන්සේ මූලික කරගෙන ය. (භගවං මූලකා නෝ භන්තේ ධම්මා)
භාග්‍යවතුන් වහන්සේ නේතෘ කරගෙන ය. (භගවං නෙත්තිකා)
භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙන ය. (භගවං පටිසරණා)
භාග්‍යවතුන් වහන්සේට ම පැවසූ කාරණයෙහි අර්ථය වැටහෙන සේක්වා. (පටිභාතු භන්තේ භගවා ඒතස්ස භාසිතස්ස අත්ථෝ)
භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු මතක තබාගන්නාහ. (භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති)
දෙවන ධර්ම සංගායනාව සිදු කළ සබ්බකාමී තෙරුන් වහන්සේ ප්‍රධාන මහරහතුන් ද, තුන්වන ධර්ම සංගායනාව සිදු කළ මොග්ගලීපුත්තතිස්ස තෙරණුවන් ප්‍රධාන මහරහතුන් ද නවාංග ශාස්තෘ ශාසනය සුරක්ෂිත කොට අනාගතයට දායාද කළේ ශාස්තෘන් වහන්සේ වදාළ ආකාරයට ම වචනත් – අර්ථත් ඉස්මතු කරමින් ය. හෙළදිවට සම්බුද්ධ සංදේශය රැගෙන වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ද සම්බුදු වදන් ඒ අයුරින් ම වදහළේ දෙවි මිනිසුන් කෙරෙහි සැබෑම වූ අනුකම්පාවකිනි.
භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිබඳව වදාරා ඇත්තේ මෙලෙසිනි. “මහණෙනි, සද්ධර්මයේ (ශාසනයේ) පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස හේතුවන මේ කාරණා දෙකක් තිබෙනවා. ඒ දෙක මොනවාද? ඉතා යහපත් ලෙස ගළපාගන්නා ලද වචන ප්‍රකාශ කිරීමත්, ඉතා යහපත් ලෙස කරන්නා වූ අර්ථ විග්රහයත් ය. මහණෙනි, යහපත් ලෙස ගළපාගන්නා ලද වචන ප්‍රකාශ කරන විට යහපත් අර්ථ මතු වෙනවා ම යි. මහණෙනි, මෙය වනාහී සද්ධර්මයේ පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස හේතු වන්නා වූ කරුණු දෙකයි.” (දුක නිපාතය – අං.නි. 1)
ඒ ශාසනික වගකීම අතීතයේ වැඩ සිටි මහතෙරුන් වහන්සේලා ප්රමුඛ ශ්‍රාවක සඟරුවනත්, උපාසක උපාසිකාවනුත් මනාව ඉටු කරලීම නිසා අදටත් අපට නවාංග ශාස්තෘ ශාසනය හෙවත් පර්යාප්ති ශාසනය සුරැකිව පවතී. ඒ තුළින් සීල – සමාධි – ප්‍රඥා වඩා ප්‍රතිපත්ති ශාසනයෙහි යෙදීමටත් මඟ විවර වී ඇත. සැබෑ ප්රතිවේධයක් හෙවත් මාර්ග ඵල අවබෝධයක් ලබා ගත හැක්කේ ද ඒ තුළිනි.
සසුන වනසන ශ්‍රාවක වේශධාරීන්ගෙන් ප්‍රවේසම් වෙමු
එනමුත් ශාසන ඉතිහාසයේ ථේරවාදී සම්ප්රදාය තුළ පෙර කිසි දිනක නොවූ අයුරින් වර්තමානයේදී ගිහි පැවිදි පිරිසක් හිතුමනාපයට පද බිඳිමින් අර්ථ විවරණ සපයමින් කිසිදු ශාස්තෘ ගෞරවයක් හෝ ධර්ම ගෞරවයක් නොමැතිව බරපතල ලෙස අකුසල් රැස්කර ගනිමින්, අන් අයට ද අකුසල් රැස් කරවමින් කටයුතු කිරීම මහත් වූ ශාසනික පරිහානියකි. ශාස්තෘන් වහන්සේගේ ම වචනවලින් මේ ගැන පහදා දී ඇත්තේ මෙලෙසිනි. “මහණෙනි, සද්ධර්මයේ (ශාසනයේ) විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වන මේ කාරණා දෙකක් තිබෙනවා. ඒ දෙක මොනවාද? වැරදි විදියට ගළපා ගන්නා ලද වචන ප්‍රකාශ කිරීමත්, වැරදි විදියට කරන්නා වූ අර්ථ විග්රහයත් ය. මහණෙනි, වැරදි විදියට ගළපාගන්නා ලද වචන ප්‍රකාශ කරන විට වැරදි අර්ථ මතු වෙනවා ම යි. මහණෙනි, මෙය වනාහී සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වන්නා වූ කරුණු දෙකයි.” (දුක නිපාතය – අං.නි. 1)
විශේෂයෙන් ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම (අනිච්ච, දුක්ඛ, අනන්ත) යන ත්රිලක්ෂණය ශ්‍රී සද්ධර්මයේ සඳහන් වන මූලික සිද්ධාන්තයකි. එම ත්රිලක්ෂණය විදසුන් නුවණින් අවබෝධ කොට ගෙන යථාභූත ඤාණදර්ශනය ලබා අවබෝධයෙන් යුතු කළකිරීම හෙවත් නිබ්බිදාව තුළින් විරාගී වී ඇල්ම නිරුද්ධ කොට අවබෝධය කරා යන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ. වර්තමානයේ මෙම සදහම් පද ව්‍යඤ්ජනය ද විපරීත කොට, අර්ථය ද විකෘති කොට දැක්වීම සිදු කරනු අසන්නට, කියවන්නට ලැබේ. එම නිසා එම සදහම් පදවල සැබෑ අර්ථය සම්බුද්ධ දේශනා තුළින් ම වටහා ගැනීම ඉතා වැදගත්ය.
භාග්‍යවතුන් වහන්සේ අනිච්ච යන පදය සෑම විටම භාවිතා කරන්නේ “නිත්‍ය නොවන, වෙනස් වී යන, ස්ථිර නොවන” යන අරුතෙනි. සංස්කාර (හේතූන්ගෙන් හටගත් දේවල්) වල අනිත්‍යතාවය භාග්‍යවතුන් වහන්සේ විග්රහ කර ඇත්තේ මෙලෙසිනි. අනිත්‍ය වූ, වෙනස්ව යන, අන්‍ය ස්වභාවයට පත්වන ධර්මතාවයෙන් යුතුයි කියාය. (අනිච්චං, විපරිණාමී, අඤ්ඤථාභාවී) එමෙන්ම හේතූන්ගෙන් හටගත් සංඛතයක ලක්ෂණ 3 ක් ඇති බව ද පෙන්වා දුන් සේක. මහණෙනි, සංඛතයක ලක්ෂණ තුනක් පවතී. (තීණිමානී භික්ඛවේ සංඛතස්ස සංඛත ලක්ඛණානි) හටගැනීමක් පෙනේ. විනාශ වී යාමක් පෙනේ. පවතින දේ තුළ වෙනස්වීමක් පෙනේ. (උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති) අනිත්‍ය ධර්මතාවය යනු එයයි. (තික නිපාතය – අං.නි. 1)
තවද සංස්කාරයන්ගේ අනිත්‍යතාවය ප්‍රකට කරවමින් වදහළ මනරම් දේශනාවක් ‘වේපුල්ල පබ්බත සූත්‍රය’ නමින් සංයුක්ත නිකාය දෙවන පොත් වහන්සේගේ සඳහන් වේ. එහිදී මේ මහාභද්‍ර කල්පයේ පහළ වූ සිව් බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ඇසුරු කරගෙන භාග්‍යවතුන් වහන්සේ අනිත්‍ය ධර්මතාවය ඉස්මතු කොට ඇත්තේ මෙලෙසිනි. “මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. අතීතයේ මේ වේපුල්ල පර්වතයට කිව්වේ පාචීනවංශ කියලා. ඒ කාලයේ මිනිසුන් හැඳින්වූයේ තිවර යන නමින්. ඒ තිවර මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හතළිස් දාහක් වුණා. ඒ කාලයේ තිවර මිනිසුන්ට පාචීනවංශ පර්වතයට නඟින්නට දවස් හතරකුත්, බහින්නට දවස් හතරකුත් ගත වෙනවා. ඒ කාලයේ තමයි කකුසඳ නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා හිටියේ. ඒ බුදුරජාණන් වහන්සේට විදුර, සංජීව නමින් භද්‍ර වූ අග්‍ර ශ්‍රාවක යුවලක් වැඩ සිටියා.
මහණෙනි, දැන් බලන්න! ඒ පර්වතයට තිබුණු නම අතුරුදහන් වෙලා. ඒ මිනිස්සුත් මිය ගිහින්. ඒ කකුසඳ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවන් පාලා. මහණෙනි, ඔය විදියට මේ සංස්කාර අනිත්‍යයි. (ඒවං අනිච්චා භික්ඛවේ සංඛාරා) ඔය විදියට මේ සංස්කාර අස්ථිරයි. (ඒවං අද්ධුවා භික්ඛවේ සංඛාරා) ඔය විදියට මේ සංස්කාර අස්වැසිලි රහිතයි. (ඒවං අනස්සාසිකා භික්ඛවේ සංඛාරා) ඒ නිසා මේ සියලු සංස්කාර ගැන අවබෝධයෙන් ම කලකිරෙන්න ම යි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ. (යාවඤ්චිදං භික්ඛවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං) අනතුරුව භාග්‍යවතුන් වහන්සේ එම කාරණය ගාථාරත්නයකින් මෙසේ ද වදාළ සේක.
අනිච්චා වත සංඛාරා – උප්පාදවයධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති – තේසං වූපසමෝ සුඛෝ
ඒකාන්තයෙන්ම සංස්කාර අනිත්‍යයි. හටගෙන නැසී යන ස්වභාවයෙන් යුක්තයි. ඉපදිලා නිරුද්ධ වෙලා යනවා. ඔය සංස්කාරයන්ගේ සංසිඳීමයි සැපය.
මේ අනුව අනිත්‍ය යන වදනෙහි සැබෑ අරුත කුමක්දැයි මනාව පැහැදිලි වේ. යමක් දුකක් බවට පත් වන්නේ ද අනිත්‍ය නිසා ම බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. “යමක් අනිත්‍ය ද එය දුකකි.” (යදනිච්චං තං දුක්ඛං) (යදනිච්ච සූත්‍රය – සං.නි. 4) ස්වාක්ඛාත වූ ශ්‍රී සද්ධර්මය තුළ මෙසේ ඉතා පැහැදිලි වචනවලින් පැහැදිලි අර්ථවලින් භාග්‍යවතුන් වහන්සේ අනිත්‍ය ධර්මතාවය පිළිබඳ පෙන්වා දී තිබේ.
භාග්‍යවතුන් වහන්සේ අනාත්මය විස්තර කොට වදාළේ මෙසේය. “මහණෙනි, රූපය යනු අනාත්ම (තම වසඟයේ පවත්වා ගත නොහැකි දෙයක්. (රූපං භික්ඛවේ අනත්තා) මහණෙනි, ඉදින් මේ රූපය වනාහී ආත්මයක් (තම වසඟයෙහි පවත්වා ගත හැකි දෙයක්) වශයෙන් තිබුණා නම්, මේ රූපය ආබාධ පිණිස පවතින්ට විදියක් නෑ. (රූපං ච හිදං භික්ඛවේ අත්තා අභවිස්ස, නයිදං රූපං ආබාධාය සංවත්තෙය්ය) ‘මාගේ රූපය මෙසේ වේවා! මාගේ රූපය මෙසේ නොවේවා!’ කියන කරුණ රූපය තුළ ලැබිය හැකි වෙනවා. (ලබ්භේථ ච රූපේ ඒවං මේ රූපං හෝතු, ඒවං මේ රූපං මා අහෝසීති) නමුත් මහණෙනි, යම් හෙයකින් රූපය වනාහී අනාත්ම වූ දෙයක් වුනාද, අන්න ඒ නිසා ම යි රූපය ආබාධ පිණිස පවතින්නේ. (යස්මා ච ඛෝ භික්ඛවේ රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තති) ‘මාගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවා!’ කියන කරුණ රූපය තුළ ලැබිය නොහැකි දෙයක්.” (න ච ලබ්භති රූපේ ඒවං මේ රූපං හෝතු, ඒවං මේ රූපං මා අහෝසීති) (අනත්ත ලක්ඛණ සූත්‍රය – සං. නි. 3) වේදනාව, සඤ්ඤාව, සංස්කාර, විඤ්ඤාණය ගැන ද මේ ආකාරයෙන් ම වදාළ සේක.
එම නිසා අපි ශාස්තෘන් වහන්සේ වදාළ අයුරින් නිහතමානී ශ්‍රාවකයන් වීම පිණිස මෙසේ මෙනෙහි කරමු. “මාගේ ශාස්තෘන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ය. (සත්ථා මේ භගවා) මම ශ්රාවකයා වෙමි. (සාවකෝහමස්මි) භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක. (ජානාති භගවා) මම කිසිත් නොදනිමි. (අහං න ජානාමි) (කීටාගිරි සූත්‍රය – ම.නි. 2) මෙලෙසින් ශ්‍රාවක භාවයේ පිහිටා ධර්මය ශ්‍රද්ධාවෙන් හදාරමු (සුතා). මතකයේ දරා ගනිමු (ධතා). වචනයෙන් පුරුදු පුහුණු කරමු (වචසා පරිචිතා). මනසින් මෙනෙහි කරමු (මනසානුපෙක්ඛිතා) පැහැදිලි අවබෝධයක් ඇති කර ගනිමු (දිට්ඨියා සුප්පටිවිද්ධා). තමන්ටත් අන් අයටත් යහපත සලසමින් සුගතිගාමීව ධර්මාවබෝධය කරා යා හැකි වන්නේ එවිට ය.
– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි
Recent Comments