‘යසෝදරා’ යන නාමය සවන් පත් වැකුණ සැණින් නෙක් දනන් සිත් සතන් උතුරා ගලා යන ප්‍රමුදිත භාවය බොදුනුවන්ට පමණක් නොව සකල මානව වර්ගයාට ද පොදුවූවක් වෙයි. එම අභිෂ්ඨ කාන්තා රත්නයට සම කළ හැකි චරිතයක් ගත වූ දෙදහස් හයසිය වසර තුළ එතෙක් මෙතෙක් බිහි වූයේ නැත. ගෞතම සම්බුදු සසුන පවත්නා තාක් කල් යසෝදරා චරිතය මානව සන්හතියේ මුදුන් මල් කඩක්ව පවතිනු ඇත. ඕ, ලොව සියලු කතුන් අතුරෙන් අග්‍ර වූ කාන්තාව යයි සිදධාර්ථ කුමාරයාගේ මුවින් ද ප්‍රකාශ වුණ බව අපේ පැරණි ජන කවියකු සඳහන් කළේ මෙසේ ය:
“පැතුන් බලෙන් ආවේ දෙන්නා පේවී
කතුන් හැමට නායක බිම්බා දේවී”
බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් පිරිසිඳ දැන, තම ගිහි කල නොයෙක් ආත්ම භවයන්හි සසරේ ඉපිද තම සහකාරිනිය වශයෙන් පැමිණ බුදු වුණ ආත්ම භවයේදී එක ම දින ජන්ම ලාභය ලැබ බිම්බා දේවී ලෙසින් තම දිවි මඟට එක්ව, අභිනිෂ්ක්‍රමණය දක්වා තමන් වහන්සේගේ සෙවණැල්ල සේ කැටුව ආ අයුරු තම පියාණන් ඇතුළු නෑයන් ඉදිරියේ උන්වහන්සේ පළමු වරට අනාවරණය කොට වදාළහ. තුන්ලොව දිනූ මහා පුරුෂයාණන් වෙනුවෙන් ජීවිතය කැප කළ බිම්බා දේවියගේ අපිස් බව හා කීර්ති ඝෝෂය නිසා ඕ යසෝදරා නමින් පසුව හැඳින්වූවා ය. පසු කලෙක ඍද්ධි බලයෙන් අග තැන්පත් මහ රහත් මෙහෙණියක ද වූ උන්වහන්සේ පිළිබඳව අතීතයේ සිට ලියැවුණු යශෝ කීර්තිනාමය වූ ගැදි පැදි ගී ආදියෙන් ලෝක සාහිත්‍යය, විශේෂයෙන් ම සිංහල සාහිත්‍යය පොහොසත් ව පවතී. ඒ අතරින් යසෝදරා අධ්‍යාත්ම චරිතය ගැන කියැවෙන අපූරු ගී පද වැලක රස විමසුම මේ ලිපියට අරමුණු වෙයි:
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී…
ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් වී
ගැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
පින්වත් රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ පබැඳූ ගී පද වැලේ ප්‍රස්තුතයට සරිලන සුගායනීය ස්වර සංගතිය හා බැඳුණු මධුර හඬකින් එය අධ්‍යාත්ම ගුණ සුවඳ වගුරන ගේය නිර්මාණයක් බවට පත් කළේ විසාරද කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා ය. ගීත රචක හිමිපාණන්ගේ පරිකල්පනයට හසු වී ඇත්තේ ගෞතම බුද්ධ ශාසන වංශකථාවේ එන, ස්ත්රීත්වයේ, භගිනීත්වයේ හා මාතෘත්වයේ පරමාදර්ශී චරිතය වූ යසෝදරාවන් ය. ඕ තොමෝ තම සසර ගමනේ අවසන් භවයට සැපත් වූයේ තම බෝසත් ස්වාමි පුරුෂයාණන් හා කැටුව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක සසර ඇවිද ලත් පුරුද්ද ඇතිව ය.
‘ළා දළු බෝපත්’ ගීතයට පසුතලය වී ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කළ අවස්ථාවේ ගිහි කල තම පින්වත් භාර්යාව වූ යසෝදරා දේවිය හමු වූ මොහොත යි. සමාන කුලගොත්, සම ඥාති සබඳතා ඇතිව එක ම දිනයක දී උපත ලබා කැත් කුල නෑ හිත මිතුරු පිරිවර මැද හිරු සඳු සේ බැබළෙමින් සිට තෙලෙස් වසරක් යුග දිවි ගෙවා පින්වත් සිඟිති කුමරකුගේ දරු සුරතලය ද විඳ ගිහිගෙයින් නික්ම ගිය තම උතුම් සැමියාණන් සත් වසරකට පසුව කපිලවස්තු මාලිගාවට වැඩියේ තුන්ලොව දිනූ මහා මුනිවරයාණන් ලෙසිනි. ඒ මොහොතේ උන්වහන්සේ දැකීමෙන් යසෝදරාවන් තුළ පිළිසිඳ ගත් ස්නේහය, බුදු බැතිය හා මුසුව පළ වූ අවස්ථාව අනිර්වචනීය හැඟුම් දහරාවකට නැංවීමට ගීතයේ මානව ධ්වනි සංගතිය හසුරුවාගෙන ඇති ආකාරය ප්රශස්ත ය.
කාන්තාවක තුළ තම සැමියා කෙරේ පවත්නා පති බැතිය හෙවත් සැලමුතු පෙම පින් ගඟුලක් බවට පත්ව බුදු බැතිය හා සුසංයෝගී වූ ලොව එක ම අවස්ථාව ඒ වන්නේ ය. එසැණෙහි යසෝදරාවන් සිත තුළ පිළිසිඳ ගත් හැඟීම් ධාරාව කිය හැක්කේ ඇයට ම පමණි. එම හැඟුම් මාත්‍රයක් වුව ද උපකල්පනය කළ හැක්කේ බුද්ධ චරිතය හා සෙසු ශ්‍රාවක චරිත පිළිබඳ ශ්‍රද්ධා චෛතසිකයක් හා භාවනාමය ප්රඥාංකර භාවයක් ඇත්තෙකුට පමණි.
“ළා දලු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී”
සිදුහත් බෝසතාණන් වහන්සේ උතුම් සම්බෝධිය සාක්ෂාත් කර ගැනීමට ඇසතු බෝධීන් වහන්සේ සෙවණ සැලසුවේ යම් සේ ද එසේ ම මුවින් නොබැණ ඊට අනුබලය හා ආශීර්වාදය ලබා දුන්නී යසෝදරා ය. “ළා දලු බෝපත්” යසෝදරාවන්ගේ ආධ්‍යාත්මය සංකේතවත් කෙරෙන පරිදි මෙහි යොදා ඇත. බෝසතාණන් වහන්සේ දීර්ඝ කාලයක් අපේක්ෂා කළ විමුක්ති මාර්ගයේ අවසාන ඵල සම්පත සාක්ෂාත් කර ගැනීමට යසෝදරාවන් අනුබලය හා එකඟතාව පළ කෙළේ බෝපත් සෙමින් සැලෙන්නා සේ ය. ඇය සය වසරක් මුළුල්ලේ සිතේ වේදනාව නොඅඟවා සිය උතුම් සැමියා වෙනුවෙන් ගත කළේ නිහඬ ජීවිතයකි. බුදුරජාණන් වහන්සේ ඇය අබියසට වැඩම කළ මොහොතේ සිත වාවා ගත නො හැකි වුව ද මහ හඬින් හඬා නොවැටුණ බව “රහසේ ඇඬුවා” යන දෙවදනින් අඟවා ඇත. රහසින් වුව ද ඇය හැඬුවේ පති සෙනෙහසින් නොව පෙර සංසාරේ පාරමී දම් පුරමින් ගෙවා ආ ඇසුර මතක් වීමෙනු යි. මෙබඳු මනරම් වදන් සිත්තමක් අප බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ හමුවන්නේ ජනකවියාගේ ‘යසෝදරාවත’ කාව්‍යයේ පමණි.
“තෙමා වැටේ මගෙ සළු පිළි නෙත් පුරවා
අමා රසක් වැනි හිමි සඳ සිහිවෙනවා”
උපනුපන් ආත්ම භවයන්හිදි යසෝදරාවෝ, බෝසතාණන්ගේ දිවි මඟට ආලෝකයක් වූවා ය.
“ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී”
අසංඛ්‍ය වූ සසර පුරා ඇවිද ගිය ගමන “ආගිය මඟ තොට” යන ගැමි වහරින් දැක්වූ අයුරු අපූරු ය. ජනකවියාගේ යෙදුම් අපේ ඇඟේ හැපෙමින් ජීවත්වෙතියි යන කියුම සනාථ කරන කාව්‍යෝක්ති මේ ගීතය පුරා ම වදන් පෙළහරක් සේ දිව යනු දැක්ක හැකි ය. යසෝදරාවත ලියූ ජන කවියා ද ලේන කුලේ ආත්මභාවය සිහිපත් කරයි.
“උන්නෙමු අපි ඉපිද ලේනුන් කුලේ එදා
දැනුනේ කරපු වීරිය ගොඩ ගන්න මෙදා”
අතීත ආත්මභාවයන්හි බෝසතාණන්ට පහන් ටැඹක් වී නොසැලී සිටි යසෝදරා මේ ආත්ම භාවයේ සෙවණැල්ලක් වී පසුපස ආවේ යළි ආත්ම භාවයක් කරා නොයන්නට ය.
“ගැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ”
අනන්ත වූත්, අසංඛ්‍ය වූත් සසර පුරා භවෙන් භවයට එක්ව යමින් තම උතුම් ස්වාමියාණන් වෙනුවෙන් කැපවූ යසෝදරාවන්ගේ සසර දිවි ගමනේ නැවතුම සනිටුහන් කළ ආකාරය මේ ගීතයේ විශිෂ්ටත්වයට දෙස් දෙයි. මානව භාවයන්ගේ අනුවේදනීය හා ප්රබෝධනීය අවස්ථා තරඟ වැලක් සේ නැඟෙමින් බසිමින් යසෝදරාවන්ගේ භව ගමනේ සමාප්තිය සනිටුහන් කෙරිණි. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා යුගළ මත යසෝදරාවන් උදෙසා පිපුණේ ‘නිවන් මල්’ ය. ඕ තොමෝ පසුව රහත් මෙහෙණින් වහන්සේනමක් බවට පත් වී ‘නිවී පහන් වූයේ’ උතුම් පිරිනිවනට වැඩියේ බුදුරජාණන් වහන්සේ හා සියලු ම රහතන් වහන්සේලා අබිමුව ඍද්ධි ප්රාතිහාර්ය පෑමෙන් පසුව ය. “නිවී පහන් විය උදෑසනක් සේ” යන අවසාන ගී ඛණ්ඩයෙන් ඇඟවූ ආශ්චර්යවත් සංසිද්ධිය එය වෙයි.
සටහන – මා(ර්)ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති
Recent Comments