කම්ම සූත්රයේ දී පෙන්වා දී ඇති ආකාරයට අපගේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හය ලැබී ඇත්තේ අතීත සසරේ රැස් කළ කර්මානුරූප ව ය. එම ආයතනවල සැබෑ තත්ත්වය අප අවබෝධ කොට ඒ කෙරෙහි විරාගී බව ඇතිකර ගත යුත්තේ එම කර්මානුරූප බලපෑම් විඳවමින් ම ය. එමෙන් ම කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා, ගිහි කෙනෙක් වේවා පැවිද්දෙක් වේවා නිරන්තරයෙන් ම කර්මානුරූප බලපෑම මෙසේ සිහිකළ යුතු බව ඨාන සූත්රයේ සඳහන් වෙනවා.
‘මම කර්මය තමාගේ දෙය කරගෙන සිටිමි. කර්මය දෑවැද්ද කරගෙන සිටිමි. කර්මය උත්පත්ති ස්ථානය කරගෙන සිටිමි. කර්මය ඥාතියා කරගෙන සිටිමි. කර්මය පිළිසරණ කරගෙන සිටිමි. එහෙයින් යහපත් වූ හෝ අයහපත් වූ හෝ කර්මයක් සිදු කරන්නේ නම් එහි විපාකය මා කරා පැමිණෙන්නේ ය’ යනුවෙනි.
එසේ නම් අතීත සසරේ දී අප අතින් සිදු වූ අකුසල කර්මයන්ට අනුරූප ව කායික මානසික පීඩාවන් හටගනිද්දී අප කළ යුත්තේ නුවණින් සලකා ඉවසීම ම යි. මෙත් සිත පැතිරවීම ම යි. එමෙන් ම මේ ජීවිතයේ දී සිත කය වචනය තුළින් අකුසල් රැස් වීම වළක්වාගෙන, කුසල් රැස්කර ගැනීම යි. එවිට ඒ තුළින් ජීවිතයට මෙලොව පරලොව යහපත සැපත සැලසෙන අතර ධර්මාවබෝධය කරා යන ශ්රාවකත්වයක් ගොඩනඟා ගත හැකි ය.
hoda jhathaka katha tikaka lassai dukai