වෙනස් වෙමින් වැඩෙන නිදහස් බෞද්ධ සංස්කෘතිය විසින් හික්මවන ලද ශ්‍රී ලාංකේය ජන සමාජය යුගයෙන් යුගය බිහිවූ අනන්‍ය සාධාරණ හැකියාවන්ගෙන් පිරිපුන් වූ පුද්ගලයන්ගෙන් ශෝභමාන විය. දෙදහස් වසරකට අධික කාලයක් මුළුල්ලේ පරසතුරු ආක්‍රමණ, විවිධ මිථ්‍යා දෘෂ්ටික ලබ්ධීන්, ආගන්තුක භාෂාමය බලපෑම් ආදියෙන් සසල වී ගිය සිංහල ජාතියේ අධ්‍යාත්මය වියැකී යා නොයා සුපෝෂිත කිරීමට ඒ ඒ යුගයන්හි පහළ වූ දේශමාමක පුද්ගලයන්ගෙන් ඉටු වූයේ අමිල මෙහෙයකි. සිව්සිය වසරක අධිරාජ්‍යවාදී පීඩනයෙන් මැලවී ගිය ජාතියට පණ දුන් වැලිවිට සරණංකර, හික්කඩුවේ සිරි සුමංගල, රත්මලානේ ධර්මාරාම, මිගෙට්ටුවත්තේ ගුණාණන්ද ආදි සංඝ පීතෘවරුනුත්, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන ආදි ජාති හිතෛෂීනුත්, කොළඹ යුගයේ මුල් පරපුරුවල විසූ කවීනුත්, නූතන ප්රබුද්ධ පරපුරක පිබිදීමට වුවමනා මඟ පෙන්වීම ලබා දුන් ජාතික වීරවරයෝ වෙති.
චිරන්තන බෞද්ධ සාහිත්‍ය උරුමයත්, පරගැති මානසිකත්වයෙන් විකෘති වී ගිය සමාජ පරිසරයත් යළි ස්ථාපිත කිරීම අරභයා දැනුමින් පිරිපුන් ප්රබුද්ධ ජනකායක් බිහි කිරීම උදෙසා යට කී විශිෂ්ට පුද්ගලයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් විසින් මේ රටේ රෝපණය කරන ලද ජාතිමාමක හැඟීම්, පසුකාලීන සිංහල ලේඛක පරපුර මගින් වැඩී පෝෂණය වීමට දිරි දෙන ලද්දේ පොත් ප්‍රකාශක සමාගම් විසිනි. එම පොත් ප්‍රකාශකයන් අතුරෙන් දයාවංශ ජයකොඩි පොත් ප්‍රකාශක සමාගමේ නිර්මාතෘවරයා වන දයාවංශ ජයකොඩි මහතා අදාළ ක්ෂේත්රයේ සුවිශේෂ සත්පුරුෂ භූමිකාවක් නිර්මාණය කොට ඇති බැව් කිව හැකි ය.
ලක්දිව බොහෝ පොත් ප්‍රකාශකයන් සිය ක්ෂේත්රයට පිවිසුණේ තනිව හෝ සාමූහිකව හෝ සමාගමක් පිහිටුවා ගනිමින් වාණිජ පරමාර්ථවලට මුල් තැනක් දෙමිනි. එබඳු ආර්ථිකමය සමෘද්ධියක් පිළිබඳ දෘඪ චේතනාවක් නොමැතිව දයාවංශ ජයකොඩි මහතා පොත් ප්‍රකාශකයකු බවට පත් වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවකු ව සිටිය දී 1962 වර්ෂයේ ‘සාහිත්‍ය සංග්‍රහය’ නමින් පොතක් පළ කරමිනි. ඒ අනුව පාසල් සිසුවකු ව සිටිය දී පොත් ප්‍රකාශන ක්ෂේත්රයට පිවිසුණ ලොව එක ම ප්‍රකාශකයා දයාවංශ ජයකොඩි මහතා විය හැකි ය.
නූතන සමහර ලේඛකයන් පොත් ප්‍රකාශකයන් බවට පත් වූයේ මෑත භාගයේ දී ය. එහෙත් පාසල් වියේ දී ම පොත් ප්රකාශනයට පිවිසි දයාවංශ ජයකොඩි මහතා ලේඛකයෙකු වශයෙන් ද අත් පොත් තැබුවේ සිසුවකු ව සිටිය දී ය. කොළඹ ආනන්ද විදුහලේ 6 වැනි පන්තියේ උගන්නා කාලයේ දී ‘සිසුමිණ’ නමින් මාසික පුවත්පතක් ඇරඹූ ඔහු ‘වෙසක් සැරසිල්ල’ නමින් ලිපියක් ආනන්ද විදුහලේ ම ප්රකාශනයක් වූ ‘සිංහල දරුවා’ නමැති සඟරාවේ පළ කළේ ය. සමකාලීන වකවානුවේ දී ම ‘හෙළබිම’ නමින් ළමා පුවත්පතක් ආරම්භ කළ ජයකොඩි මහතා එහි මංගල කලාපය 1961 දී එළි දැක්වූයේ 13 වැනි ජාතික නිදහස් දින සමරුව නිමිත්තෙනි. එක් මුද්‍රණයකින් පිටපත් විසි දහසක් අලෙවි වුණු, ලක්දිව එක ම ළමා පුවත්පත එය විය. ‘හෙළබිම’ පුවත්පත මුද්‍රණය කළේ ජස්ටින් විජයවර්ධන මහතාට අයත්ව තිබූ ‘දිවයින’ මුද්‍රණාලයේ ය.
‘හෙළබිම’ පුවත්පත ලැබූ ජනප්‍රියත්වයෙන් මෙහෙයවනු ලැබූ දයාවංශ ජයකොඩි තරුණයා ගුණ නුවණින් යුතු, දෑ හිතකාමී ජන පරපුරක් බිහි කරලීම උදෙසා ලේඛන කලාව උපයෝගී කරගත හැකි බව අවබෝධ කොට ගත්තේ ය. සිය පුවත්පත මුද්‍රණය කළ දිවයින මුද්‍රණාලය මිලයට ගත් ජයකොඩි මහතා ‘හෙළබිම මුද්‍රණාලය’ නමින් අච්චු කන්තෝරුවක් ද ආරම්භ කොට ඍජු ව ම පොත් ප්රකාශනයට එළඹුණේ 1962 වර්ෂයේ දී ය. එහි මුද්‍රණය කළ ප්‍රථම ග්‍රන්ථය වූයේ වැල්ලම්පිටියේ නිමල් ආරියවංශ පෙරේරාගේ ‘සාහිත්‍ය සංග්‍රහය’ යන පොත ය. ඉන් අනතුරුව හෙළබිම ප්‍රකාශන වශයෙන් ‘කටු අග පිපි මල්’, ‘කෝ අම්මේ තාත්තා?’ ‘පළඟැටියෝ’, ‘රතු කඳුළු’ ආදි පොත් රැසක් හෙළබිම ග්රන්ථ වංශයට එක් විය.
1965 වර්ෂයේ දී ‘හෙළබිම’ යන ප්‍රකාශන නාමය වෙනස් කොට ‘දයාවංශ ජයකොඩි සහ සමාගම’ යන නමින් හැඳින්වීමත් සමඟ ම එය ‘හොඳ පොතක සලකුණ’ බවට පත් විය. පොත් ප්රකාශනය සීඝ්‍ර දියුණුවකට හැරිණි. එසේ වුව ද තමන් ප්‍රකාශකයකු බවට පත් කළ ‘හෙළබිම‘ නාමය අභිමානයක් ලෙස සලකා එනමින් යුතු පුවත්පත ද අඛණ්ඩව ප්‍රකාශයට පත් කළේ වටිනා හරබර ලිපි ඊට එක් කරමිනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ගුණදාස අමරසේකර, ජී. බී. සේනානායක යන වියතුන්ගේ සිට නූතන යුගයේ ප්‍රකට සියලු ම ලේඛකයන්ගේ වටිනා කෘති දහස් ගණනක් ‘දයාවංශ ජයකොඩි සහ සමාගමයෙන්’ පසුගිය පනස් පස් වසර තුළ ප්‍රකාශයට පත් වී තිබේ.
සිංහල පාඨක ජනකායගේ අධ්‍යාත්ම ශික්ෂණය පෝෂණය කරනු වස් බෞද්ධ ශාසනික ඉතිහාසය හා බුද්ධ ධර්මය පිළිබඳව පොත පත පළ කිරීමේ විශේෂ පරිශ්‍රමයක් දයාවංශ ජයකොඩි සමාගම දැරීම බෞද්ධ ජනතාවගේ පැසසුමට ලක් වී තිබේ. අපවත් වී වදාළ බෙල්ලන ඥානවිමල මහ නා හිමි සහ අති පූජනීය ගංගොඩවිල සෝම හිමි ඉතා ළඟින් ඇසුරු කළ දයාවංශ ජයකොඩි මහතා බුදු දහම පිළිබඳ ව පොත පත ප්‍රකාශයට පත් කිරීමේ දී උන්වහන්සේලාගේ උපදෙස් හා ආශීර්වාදය ලබා ගත් බව ප්‍රකට කරුණකි. දැනට සුජීවත් ව වැඩ වසන මහා සංඝයා වහන්සේලා ඉතා ළඟින් ඇසුරු කරන ජයකොඩි මහතා උන්වහන්සේලාගේ පොත පත ප්‍රකාශයට පත් කරනුයේ හුදු ධර්ම ශාස්ත්‍රීය ප්රබෝධය ඇති කරනු සඳහා මිස ආර්ථික ලාභයක් අපේක්ෂාවෙන් නො වේ. දයාවංශ ජයකොඩි සමාගමේ බෞද්ධ ග්රන්ථ ප්රකාශනයට දායකත්වය සපයන යතිවරුන් අතර අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද, පූජ්‍ය දේවාලේගම මේධානන්ද, පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද, පූජ්‍ය බෝපිටියේ ඤාණතිස්ස, පුජ්‍ය බොරැල්ලේ කෝවිද, පූජ්‍ය වගුරේ සුමේධ ආදි ස්වාමීන් වහන්සේලා ප්‍රධාන වෙති.
දයාවංශ ජයකොඩි මහතා මෙරට ග්රන්ථ කර්තෘවරුන්ට පමණක් නොව පොත් ප්‍රකාශකයන්ට ද ආදර්ශයක් වූයේ තම නිහතමානී ගති පැවතුම් මෙන් ම නිර්ලෝභී චේතනාවන් ද ප්‍රකට ව පිළිබිඹු කරමිනි. සතියේ සෑම අඟහරුවාදා දිනයක ම පාහේ අලුත් පොතක් කල එළි දැක්වීම පුරුද්දක් කොට ගත් එතුමා ගත්කතුවරුන්ට නොමසුරුව සංග්‍රහ කළේ ය. කර්තෘ භාගය ගෙවීමේ කිසිදු ප්‍රමාදයක් නොකරන ජයකොඩි මහතා, තෙමේ ම ඒ සඳහා කතුවරුන් උනන්දු කරවීම බොහෝ පොත් ප්‍රකාශකයන් විසින් සිදු කරනු ලබන්නක් නො වේ. දයාවංශ ජයකොඩි මහතාගේ මඟ පෙන්වීම හේතුකොට පොත් ප්‍රකාශකයන් වූ ලේඛකයෝ හා සමීපතමව ඇසු කළෝ සිය ක්ෂේත්රයන්හි නිපුණයන් බවට අද පත්වී සිටිති. ඒ අතර එඞ්වඞ් මල්ලවආරච්චි, විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රයේ නිර්මාතෘ සරත් විජේසූරිය, ධර්මදාස පණ්ඩිතරත්න, ක්‍රිෂාන්ත සෙනරත්, හා සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි යන අය ප්‍රධාන වෙති.
බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස බෞද්ධ පොත පත මුද්‍රණය කොට සහන මිලකට ලබාදීමෙන් නොසෑහුණු දයාවංශ ජයකොඩි මහතා බෞද්ධ සිද්ධස්ථානයන්හි වැඩි දියුණුව උදෙසා ද නොමඳව ආධාර උපකාර කරමින් සිටියි. අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ උපදේශකත්වය ලබා දෙන මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ පූජනීය ස්ථානයන් සංවර්ධනය කිරීම උදෙසා ද දායකත්වය පිරිනමන එතුමා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ධර්මශාලාව ඇතුළු ගොඩනැඟිලි කිහිපයක් ද මාලබේ පිට්ටුගල අමාවතුර අසපුවේ බුදු පසේබුදු අරහන්තක මහා විහාර මන්දිරයේ විදුලි සෝපානය ද තම ධන පරිත්‍යාගයෙන් ඉදිකොට පූජා කළේ ය. ඒ හැරුණු විට දඹදිව මහාබෝධි මන්දිරයේ බුදුමැදුරට පිවිසෙන ද්වාරයේ අලංකාර වාහල්කඩ ද කොළඹ මහ රෝහලේ හෘද රෝග ඒකකය අබියස බුද්ධ ප්‍රතිමාව සහිත බුදු මැදුර ද ඉදිකොට සම්බුදු සසුනට පූජා කරන ලද්දේ ද දයාවංශ ජයකොඩි මහතා විසිනි.
ළමා කාලයේ සිට වයෝවෘද්ධත්වයට පත්ව සිටින අවස්ථාව දක්වා ශාසන මාමකත්වය හා ජාති හිතෛෂී භාවය රැකගත හැක්කේ සත්පුරුෂ ගතිගුණ ඇත්තෙකුට පමණි. එම ගති ස්වභාවය මවුපිය උරුමයෙන් දායාද කොටගත් දයාවංශ ජයකොඩි මහතා ආගමික, සංස්කෘතික හා ජාතික වශයෙන් අර්බුද හටගත් අවස්ථාවලදී සිය පෑන මෙහෙයවා අභීත ව පුවත්පත්වලට ලිපි සපයා සිය අදහස් නොපැකිල පළ කළේ ය. ඔහු විසින් මෑත භාගයේ දී රචනා කරන ලද ‘සිංහලේ ජාතික සටන්’ නමැති ග්‍රන්ථය එකී දේශ වාත්සල්‍යය මැනවින් ප්‍රකට කරන්නක් විය.
‘විද්වානේව විජානාති විද්වත් ජන පරිශ්රමම්…!’
දයාපාල ජයනෙත්ති
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
Recent Comments