මහා සම්මත ය, මඛාදේව ය, ඔක්කාක ය යන රාජ පරම්පරා තුන පිරිහී ගොස් ශාක්‍ය වංශයට මුල් වූ කපිල නම් පුරවරයෙහි තුන්වන ඔක්කාක රජතුමා රජ විය. එතුමාගේ පුතුන් සතර දෙනා තම නැගණියන් රකිමින් වෙනත් කුලයන් හා සම්බන්ධ නො වී රාජ්‍ය කරන්නාහ. මේ කුමරියන්ගෙන් වැඩිමල් ‘ප්‍රියා’ නම් කුමරියට සුදු කබර නම් රෝගයක් ඇති විය. මුළු ශරීරය ම සුදු වී කොබෝලීල මල් පෙත්තක් මෙන් විය. එවිට සොයුරු රජ දරුවෝ එකිනෙකා කතිකා කරන්නේ “අප සොයුරියට වැළඳී තිබෙන්නේ පාප රෝගයකි. මෙම රෝගය ඇය හා එකට වසන්නවුන්ට ද බෝ විය හැකි ය. එක ගෙයි වාසය කරන්නවුන්ට ද බෝ විය හැකි ය. ඇය දකින්නන්ට පවා බෝ වීමට පුළුවන.” යැයි කතිකා කර ගත්හ. එම නිසා එකිනෙකා තම තමන් කෙරෙහි බියෙන් දිනක් “උයන් කෙළියට යමු.” යැයි කියා සොයුරිය රථයක නංවාගෙන සළුවකින් වසා ගඟ ඔස්සේ ගොස් එක් වනාන්තරයක් මැද විශාල වළක් සාරා, වළ තුළ යහනක් අතුරා කෑම, බීම, දර, දිය, ලුණු ආදිය පිරවූහ. අනතුරුව ඇයව වළ තුළ වූ යහනෙහි තබා, වළ මතුපිට ලෑලි පුවරුවක් තබා පස්වලින් වසා, කඳුළු පිරි දෙනෙතින් යුතුව ආපසු ගියාහු ය.
රෝගය වැළඳුන තවත් කුමරෙක්……
එකල මේ කුමරිය වළ තුළ දී ම ආහාර පිසගෙන අනුභව කරමින් ජීවත් වන්නී ය. මේ අයුරින් වාසය කරන අතරේ දඹදිව රාම නම් කුමරුවෙකුට ද මෙම කුෂ්ට රෝගය වැළඳුනි. ඒ කුමාරයාගේ බිසෝවරු ද ඔහු කෙරෙහි පිළිකුල් ව අසලටවත් නො එති. ඒ නිසා ඒ කුමාරයා ලැජ්ජාවෙන් ත්රිලක්ෂණය මෙනෙහි කරමින් තම පුත් කුමරුට රාජ්‍ය පවරා තෙමේ ම වනන්තරයට ගොස් ‘එහි ම මිය යමි.’ යි සිතා වනයේ ඒ ඒ තැන ඇවිදියි. කුමරුට බඩගින්න ඉවසිය නො හැකි ව එක ගසක පොතු, මුල්, මල්, ගෙඩි හා කොළ ආදිය ගෙන අනුභව කරයි. මෙසේ කාලය ගතවෙද්දී කුමරුගේ රෝගය කෙමෙන් සුව වන්නට පටන් ගති. ටික දිනකට පසු රෝගය සුව වී ශරීරය රන් කඳක් සේ බබළන්නට විය.
රාජ්‍යයකට සුදුසු ප්‍රදේශයක් සොයයි….
ටික කලකට පසු කුමරු රජ වාසයට සුදුසු ප්‍රදේශයක් සොයන්නේ බොහෝ සිදුරු ඇති කොළොම් ගසක් දැක ‘මේ ගස යට සතුන්ගෙන් අනතුරක් නො වේ.’ යැයි සිතා රියන් දහසයක් පමණ උසට ගස මතට නැගී කවුළුවක් කපාගෙන ඒ මත මැස්සක් බැඳ ගිනි කබලක් තබාගෙන ඒ ගස් බෙනයේ වාසය කරයි. නොයෙකුත් සතුන් කා තැනින් තැන ඉතිරි වූ මස් ගෙනවිත් පුළුස්සා අනුභව කරමින්, රාත්‍රීයේ දී සිංහ, ව්යාඝ්ර ආදී සතුන්ගේ ගෙරවුම් අසමින් ඔහු වාසය කළේ ය. එක් දිනක් පාන්දර යාමයේ එක් ව්‍යාඝ්‍රයෙක් ගොදුරු සොයා ඇවිදින්නේ, ප්‍රියා නම් කුමරිය වාසය කරන වළ මතට පැමිණ මිනිස් ගඳ ඉව වැටී පස් පීරමින් පුවරුව ඔසවා, කුමරිය දැක මහා භයංකාර හඬකින් ගෙරවූයේ ය. ඒ මොහොතේ බිසවුන් ද උඩ බලා ව්‍යාඝ්‍රයා දැක බියෙන් වෙවුලමින් බැගෑපත් හඬින් උදව් ඉල්ලා කෑ ගැසුවා ය.
මිනිස් හඬට සියලු සතුන් බියපත් වන බැවින් ව්‍යාඝ්‍රයා බිය වී පැන ගියේ ය. හිරු නැගුණු පසු රාම කුමරු මෙසේ සිතී ය. ‘පාන්දර යාමයේ ව්‍යාඝ්‍රයෙක් කෑ ගැසුවා. නැවත ස්ත්‍රියක් කෑ ගැහුවා. ඊට හේතුව කුමක් දැයි සෙවිය යුතුයි.’ හෙතෙමේ ගසින් බැස අවට බලන්නේ, ව්‍යාඝ්‍රයා විසින් ඔසවන ලද පුවරුව දැක වළට එබී බැලී ය. කුමරු වළ තුළ සිටි කුමරිය දැක “තොප කවුරුන්දැ?” යි ඇසුවේ ය. “මම ගැහැනියක්මි.” යි ඇය කීවා ය. “තොප ගැහැනියක් ද? මම පිරියෙක්මි. ගොඩට එව.” යි කුමරු කීවේ ය. එවිට ඒ බිසව “ඔක්කාක රජතුමාගේ ප්‍රියා නම් වූ වැඩිමහලු දියණිය මම වෙමි. ජීවිතයට හානියක් වුණත් වංශයට කිළුටක් නො කරමි.” යි කීවා ය. එවිට රාම කුමරුවෝ “බරණැස් රජු හෙවත් රාම නම් රජු මම වෙමි. වැසි දිය හා ගඟ දිය එක්වූවා වැනි ය. වහා ගොඩට එව.” යි කීවේ ය. එවිට බිසව් තොමෝ තමාගේ ශරීරයෙහි ඇති කුෂ්ට රෝගය පිළිබඳව කී විට රජතුමා ද තමාගේ රෝගය පිළිබඳවත් තොරතුරු කියා ඇයගේ රෝගයත් සුව කරන බවට පොරොන්දු වෙමින් වහා වළෙන් ගොඩට එන ලෙස පැවසී ය.
රාජකීය යුවල ප්‍රේමයෙන් බැඳෙති….
අනතුරුව කුමරු ලීයක් බැඳ වළට දමා බිසව ගොඩට ගෙන තම වාසස්ථානයට කැඳවාගෙන පැමිණියේ ය. තමාගේ ශරීරයට කළ බෙහෙත ඇයට ද කළ අතර කීප දිනකින් ම බිසවගේ රෝගය ද සම්පූර්ණයෙන් ම සුව වී ඇයගේ ශරීරය ද රන්වන් පැහැයෙන් බබළන්නට විය. මෙසේ මේ දෙදෙනා ප්‍රේමයෙන් බැඳෙමින් වාසය කළාහු ය. නොබෝ දිනකින් කුමරියට දරු ගැබක් පිළිසිඳිණි. ඇය දස මසක් ඇවෑමෙන් රන්වන් රූප දෙකක් වැනි පුතුන් දෙදෙනෙක් ම එකවර වැදුවා ය. මෙසේ වසරක් පාසා පුතුන් දෙදෙනා බැගින් අවුරුදු දහසයක් ඇතුළත පුතුන් තිස් දෙදෙනෙක් වැදුවා ය. රාම රජතුමා ද පුතුන්ට සියලු ශිල්ප ඉගැන්නුවේ ය. මෙසේ මේ සියලු දෙනා වාසය කරන අතරතුර රාම රජුගේ බරණැස් රට ගමක වාසය කරන එක් පුරුෂයෙක් දඩයම් සොයා වනයෙහි ඇවිදින්නේ රජතුමා දැක තම රජතුමා බව හඳුනාගත්තේ ය. ඔහු “ස්වාමීනී මා හඳුනනවාදැ”යි ඇසුවේ ය. රජතුමා ඔහු නොහඳුනන බව කීවෙන්, දෙදෙනා තම තමන්ගේ සියලු පුවත් කතිකා කරමින් සිටිය දී පුතුන් තිස්දෙදෙනා පැමිණ පියරජු පිරිවරා සිටගත්හ. එම පුරුෂයා විස්මයට පත්වී “ස්වාමීනී, මොවුන් කාගේ දරුවන්දැ?” යි ඇසී ය. “මගේ දරුවන්යැ” යි රජු කී විට එම පුරුෂයා රජතුමාට බරණැසට යළි පැමිණෙන්න යැයි අයැද සිටියේ ය. එහෙත් තම පුත් රජතුමා අකමැති වේවි යැයි එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.
එම පුරුෂයා වහා ම බරණැසට ගොස් සියලු පුවත් පුත් රජතුමාට පවසා සිටියේ ය. පුත් රජතුමා සිව්රඟ සේනාව පිරිවරා වනයට පැමිණ පිය රජුට වැඳ නැවත රාජ්‍යයට පැමිණෙන්න යැයි ආරාධනා කර සිටියේ ය. නමුත් රාම රජු ඊට නොකැමති විය. පසුව පුත් රජතුමා තම යෝධයන් ලවා එම වනය පිරිසිදු කරවා, එහි නුවරක් ද කරවා, පියරජු වාසය කළ කොළොම් ගස මුලින් උදුරා එම ස්ථානයෙහි මාලිගාවක් කරවා වැව් අමුණු බඳවා පවුරු ආදියෙන් සුරක්ෂිත කොට, බිජුවට වපුරා අප්‍රමාණ වස්තුව දෙමින්, පිය රජතුමාට ඒ නුවර පවරා, නුවර රැකවල් සාදා නැවත බරණැස් පුරයට ම ගියේ ය.
එම නුවර කෝලිය නුවර නම් විය……
කොළොම් වෘක්ෂයක් තිබූ තැනක නිම වූ නිසා එම නුවර ‘කෝලිය නුවර’ නම් විය. ව්‍යාඝ්‍රයා විසින් දැකීමෙන් බිසවුන්ගේ පරම්පරාගත නුවර නිසා ද ‘ව්යාඝ්ර පුරය’ යන නමින් ද හැඳින්විණ. ‘දෙව්දහ නුවර’ යන නමින් ද පතල ය. කොළොම් ගස උඩ දී උපන් රජදරුවන්ගේ වංශය නිසා ‘කෝලිය වංශය’ යන නම ලැබිණි. මෙසේ එම නුවර වාසය කරන ප්‍රියා නම් බිසව තම පුතුන් තිස්දෙදෙනා කැඳවා “දරුවෙනි, කපිල පුරයෙහි වාසය කරන රජවරු සතර දෙනා මාගේ මලණුවෝ ය. එම නිසා ඔවුන් තොපලාගේ මාමාවරු ය. ඒ සතර දෙනාට දූවරු තිස්දෙදෙනෙක් ඇත්තාහ. ඔවුන් හැම තොපගේ නෑනාවරුන් ය. ඔවුන් ව රක්ෂා කරව්.” යි කීවා ය. රජ කුමරුවෝ ද තම මෑණියන්ගේ අදහස අසා මාමාවරුන් වෙතට පඬුරු ආදිය දී “අපට සරණ පාවා ගැනීමට දියණිවරුන් එවන්න.” යැයි එකිනෙකා වෙන වෙන ම දූතයන් යැවූහ. විවාහ යෝජනා දැනගත් මාමාවරු “ඒ කොල්ලන්ගේ පිය වංශය වෙනත් එකකි. උන් උපන්නේ කොළොම් ගස් බෙනයක ය. උන්ට අප හා මොන නෑකමක් ද?” කියමින් කුලයට නින්දා කරමින් දියණිවරු පාවා දීමට නොකැමති වූහ.
ඉන් නොනැවතුන කුමාරවරු තම නෑනලාට සොර ලිපි, තෑගි පඬුරු ආදිය යවා එකිනෙකා කෙරෙහි ප්‍රේමයක් වඩවාගත්හ. අනතුරුව “අසවල් ගංඟාවේ, අසවල් තැනට එන්න. අපි එහි දී හමුවන්නෙමු.” යි කතිකාකර ගත්හ. රජ කුමරියෝ එදින “ගං තොට දිය කෙළියට යන්නෙමු.” යි පිය රජුගෙන් අවසර ගෙන තම තමන්ගේ පිරිවර ද අත කර පලඳනා, රුවන් හා ආභරණ ගෙන ගංතොටට ගියාහු ය. රජ කුමරුවෝ පෙර කතා කර ගත් පරිදි කුමරියන් එකිනෙකාගේ අත් අල්ලාගෙන “බරණැස් රජුට දාව කොළොම් සිදුරෙහි උපන් කෝලියයා මම ය.” යි එකිනෙකා තම තමන්ගේ නම් හඬ ගා කියමින් “ජීවිතයට කැමති කෙනෙක් අප පසුපස නො එන්නේ ය.” යි වහසි බස් කියමින් කුමරියන් හා කෝළිය නුවරට ගියාහු ය. මේ ප්‍රවෘත්තිය ඇසූ මාමාවරුන් වූ රජවරු හිනහ පහළ කරමින් “අපගේ බෑණාවරු සූරයෝ ය, නිර්භීත ය, තමන්ගේ නෑනලා තමන් ම රැගෙන ගියාහු ය. මෙයින් අපගේ වංශයට කිලුටක් නැතැ.” යි සතුටු වී පසු පස පිරිසක් නො යවා දායාද හා තෑගි සම්පත් යැවූහ.
කුමර කුමරියෝ විවාහ වෙති….
මෙසේ රාජ කුමාරවරු තිස්දෙදෙනා කුමරියන් තිස්දෙදෙනා පාවාගෙන ආරක්ෂා කරති. එතැන් පටන් කපිල වස්තුපුරයත්, කෝලිය නුවරත් අතර විවාහ සම්බන්ධතා නො නැසී පැවතිනි. මේ අයුරින් සොයුරන් තිස්දෙදෙනා මාලිගා තිස්දෙකක් තනවා ගෙන fදාරටු, උයන්, පොකුණු ආදිය තිස්දෙක බැගින් කරවා අලංකාර ලෙස කෝලිය නුවර සමෘද්ධිමත් කරමින් වාසය කරන්නාහු ය. ඔවුනට ද තිස්දෙදෙනා බැගින් දරුවෝ ද ලැබුණාහ.
බුද්ධමාතාවෝ වූ කුමරියෝ…
එතැන් සිට ඒ කෝලිය වංශයෙහි නොයෙක් රාජ පරම්පරා නික්මී ගියාහ. අවසානයේ බුදු කෙනෙකුන්ට මුත්තණුවන් වෙන්නට පුණ්යභාව ඇති දෙව්දහ රජතුමාගේ පියා අනුශාක්‍ය රජු නම් විය. මහා යශෝධරා නම් දේවි අනුශාක්‍ය රජතුමාගේ අගමෙහෙසිය වූවා ය. ඇයට සුප්පබුද්ධ, දණ්ඩපාණි යන රජ කුමරවරුන් දෙදෙනා ද මහාමායා, මහාප්‍රජාපතී යන දූවරුන් දෙදෙනා ද වශයෙන් දරුවන් සතර දෙනෙක් ලැබිණි. මේ අතරින් මහාමායා හා මහාප්‍රජාපතී යන දූවරු දෙදෙනා රූප ශෝභාවෙන් දෙවඟනන් බඳු වූහ. කිසිදිනක සුරා බොන්නවුන් නො දකිති. බොරු නො කියති. අනුන් සතු වස්තූන් දෙස ලෝභයෙන් නො බලති. කුරාකුහුඹියෙකු තරම්වත් ප්‍රාණයක් නො නසති. “අප වැනි ම වූ ස්වාමිපුරුෂයෙකු දකිනාතුරු පරපුරුෂයන් නො දකිමු.” යි නිතර කියති. මේ අතර නිමිති දන්නා බමුණන් මේ කුමරියන් දෙදෙනාගේ උතුම් ගුණ හා උත්තම ස්ත්‍රී ලක්ෂණ දැක “මේ කුමරියෝ දෙදෙනා මතු දිනෙක පුතුන් දෙදෙනෙක් ලබන්නාහ. එක් අයෙක් සක්විති රජ වෙයි. අනෙක් පුත්‍රයා බුද්ධත්වය ලබා ගනී.” යැයි අනාවැකි පළ කළහ.
සුද්ධෝදන රජතුමා විවාහ යෝජනා එවති…..
කුමරියන්ගේ ජීවිතවල පළමු අනාවැකි ඇසූ දඹදිව හැටතුන් දහසක් රාජධානිවල රජවරු අතරක් නැතිව වෙන වෙන ම රන් රුවන් සමඟ විවාහ යෝජනා එවන්නට වූහ. සුද්ධෝදන රජතුමා ද ඒ පුවත් අසා තම නෑනාවරුන් වන රජ දියණියන් වෙනත් රජෙකුට අයිති වීමට ඉඩ නො හරිමි යි අදිටනින් කුමරියන් දෙදෙනා ම කැන්දා ගෙනවිත් අගමෙහෙසියන් කර ගත්තේ ය. මේ කාලය වන විට මහාමායා බිසවු තොමෝ කඩ නොකොට ම පංචශීලය ආරක්ෂා කරති. පතිව්රතා ධර්මය දිවි දෙවෙනි කොට රකිති. එතුමිය උතුම් වූ ආචාර ධර්මයන්ගෙන් යුතු විය. මහාමායා බිසවුන් වහන්සේ අතීතයේ මහා විපස්සී නම් බුදුරජුන් සමීපයේ අගනා රත්හඳුන් කැටයක් කුඩුකර පූජා කරමින් “මම ද ඔබ වහන්සේ වැනි ලොවුතුරා බුදුකෙනෙකුට මව වෙම්වා!” යි ප්‍රාර්ථනා කර තිබිණි. මෙම සිදුවීම වන අවස්ථාව වන විට අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ තුසිත පුරවරයෙහි දී දස දහසක් සක්වළ දෙවියන් කරන ලද ආරාධනාවෙන් සිටින අතරේ මිනිස් ලොව බලා මේ මහාමායා දේවි නම් වූ සුද්ධෝදන රජතුමාගේ අගමෙහෙසිය තුළ ඇති උත්තම ගුණයන් දැක “එතුමිය මට මව වන්නට පින් ඇත්තී ය. ඇගේ පිරිසිදු වූ කුසෙහි පිළිසිඳ ගනිමි.” යි අදිටන් කළ සේක.
එමෙන් ම බුදුකෙනෙකුන් උපත ලද මව් කුස ධාතු කරඬුවක් හා සමාන ය. වෙනත් සත්වයෙකුට නැවත එහි පිළිසිඳ ගත නො හැකි ය. මල මූත්රයක් හෝ කෙලෙස් මල හෝ උපදින්නේ ද නැත. බෝසතුන් මව්කුස පිළිසිඳ ගත් දා පටන් මෑණියන්ගේ පුරුෂ සංවාසයක් නො වන්නේ ම ය. එමෙන් ම බෝසතුන් උපන් දින සිට සත් දිනකින් එතුමිය මියගොස් දෙව්ලොව උපදින්නේ ය. මේ කාරණය නිසා මහාමායා බිසවුන්ගේ ආයුෂ පරීක්ෂා කළ බෝසතාණෝ, දින තුන්සිය සත් දවසකට ආයුෂ දැක “මව්කුස පිළිසිඳ ගැනීමට මේ කාලය” යි දුටු සේක.
දෙව් බඹහු සාදු නාද දෙති….
මෙසේ මාගේ බෝධිසත්වයන් වහන්සේ මහා බැලුම් පහක් හා ශබ්දයෙන් උපන් ඉතා සියුම් වූ බැලුම් ලක්ෂ ගණන් බලා “මාගේ බුදු වීමට ඒකාන්ත කාලය මේ” යැයි දැන එතැනට රැස් වූ දසදහසක් දිව්‍ය බ්‍රහ්ම සේනාවට “බුදු වන්නට මිනිස් ලොවට යමි.” යි ප්‍රතිඥා දී “ඔබ හැමදෙන තොපගේ දෙව්ලොවට යව.” යි සමු දුන් සේක. ඒ මොහොතේ දිව්‍ය බ්‍රහ්මයෝ “සාදු සාදු.. බුද්ධාන්තරයක් පුරා මෝහාන්ධකාරයෙන් අඳුරු වී තිබුණු නිවන් පුරයේ අගුලු අරින්නේ මේ වීර පුරුෂයා ය. උන්වහන්සේගේ දේශනා රශ්මියෙන් ලොව ඒකාලෝක කරනු ඇති…” යි කියමින් බුදුරදුන් බුදු වුණා සේ “බුදු වෙමි” යි කියූ බස් අසා ඉතා සතුටින් දොහොත් මුදුන් දී සාදු නාද නගමින් පිට වී ගියාහු ය.
(පොතපත ඇසුරින්)
සටහන – මානෙල් පොඩිමැණිකේ
Recent Comments