මනෝරම්‍ය වූ පැහැයෙන් ද සුවඳින් ද යුක්ත වූ සොඳුරු පියුම කලල් දිය තුළ හැදී වැඩුණ ද පිපී සුවඳ හමන විට එය මඩට හෝ දියට අයත් නොවන්නේ ය. බොහෝ සෙයින් උඩට නැගී පිපී සුවඳ පතුරුවන්නේ ම ය.

පොළෝ තලය තුළට කිඳා බැස එයින් ම පෝෂණය වී මෝරා ගියද කළු අගිල් මුල අන් ගන්ධයක් නොපතුරන්නේ ම ය. ස්වකීය සුගන්ධය ම පතුරු වන්නේ ම ය.
කොතරම් කටු කොහොල් පිරී ගිය වන අරණේ හැදී වැඩුණ ද රත් හඳුන් ගස රත් හඳුන් හරය ම උපදවන්නේ ය. කටු කොහොල් නූපදවන්නේ ම ය.
මේ සියලු උපමා පරයා තථාගත අරහත් සම්මා සම්බුදුරජුන් මිනිසත් කලල් දිය තුළ හැදී වැඩී වඩ වඩාත් එයින් මතුවට නැඟී තිලොව අභිබවා තිලොවෙහි ම නො ඇලී, නොගැටී, තිලොවට ම අයත් නො වූ උතුම් ශ්‍රී සම්බුද්ධත්වය දරන සේක් ම ය. අනෙකෙකු හා සම නොවන්නේ ම ය. සම්බුදුරජාණන් වහන්සේලා සමඟ පමණක් ම සම වන සේක් ම ය. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙලෙස ද තිලොවේ පරම පාරිශුද්ධ වූ චරණ ගුණයෙන් යුක්ත වන සේක.

එනම්,

තථාගතයාණෝ, පාරිශුද්ධ වූ කාය සමාචාර ඇත්තාහු ය. “මාගේ මේ කය දුෂ්චරිතය අනෙකෙකු නො දකීවා.” යි සඟවාලිය යුතු හෝ රැකගත යුතු කාය දුෂ්චරිතයක් අප තථාගතයන් වහන්සේට නැත්තේ ය.
සැබැවින් ම මෙය දෙව් බඹුන් පමණක් නොව නැණැති යකුන් ද දැන සිටියෝ ය. දිනක් හේමවත යක් සෙන්පති තථාගතයන් වහන්සේගේ කාය සුචරිතය ගැන විමසූ වේලේ ඒ බව සාතාගිරි යක් සෙන්පති පහදා දුන්නේ මෙසේ ය.

න සෝ අදින්නං ආදියති
අථෝ පාණේසු සඤ්ඤතෝ
අථෝ ආරා පමාදම්හා
බුද්ධෝ ඣානං න රිඤ්චති

“උන්වහන්සේ සොරකම් කරන කෙනෙක් නොවේ. ඒ වගේ ම උන්වහන්සේ ප්‍රාණීන් කෙරෙහි සංයමයෙන් යුක්තයි. ඒ වගේ ම පාරිශුද්ධ බඹසරෙන් යුක්තයි. උන්වහන්සේ ධ්‍යානය අත් නොහරින්නේ ම ය.”
මෙසේ අපගේ මුනිරජාණන් පාරිශුද්ධ කාය සමාචාරයෙන් යුක්ත වන සේක. හිරු මෙන් දිදුලන චරණ ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
එමෙන් ම,

ඒ අපගේ තථාගතයණෝ පාරිශුද්ධ වචී සමාචාර ඇත්තාහු ය. “මාගේ මේ වචී දුෂ්චරිතය අන්‍යයෙකු නො දකීවා” යි කියා ලොවෙන් වසන් කොට රැක ගත යුතු වචී දුසිරිතක් තථාගතයන් වහන්සේට නැත්තේ ය.
මේ පිළිබඳ ව ද හේමවත අසන පැනයට සාතාගිරි මෙසේ පිළිතුරු දුන්නේ ය.

මුසා ච සෝ න භණති
අථෝ න ඛීණව්‍යප්පථෝ
අථෝ වේභූතියං නාහ
මන්තා අත්ථං සෝ භාසති

“උන්වහන්සේ බොරු කියන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ නපුරු වචන කථා කරන්නේ නෑ. ඒ වගේ ම උන්වහන්සේ කේළාම් කියන්නෙත් නෑ. උන්වහන්සේ බොහෝ ම නුවණින් කල්පනා කරලා, පමණ දැන වචන කථාකරන කෙනෙක්.”

ගයාවේ බෝධි මූලයේ තිලොව දිනා උතුම් ශ්‍රී සම්බුද්ධත්වය පත් වූයේ යම් මොහොතක ද කුසිනාරාවේ සල්රුක් සෙවණේ බුදුකිස නිම කරමින් පිරිනිවන් පා වදාළේ යම් මොහොතක ද ඒ ගෙවූ වසර 45ක කාලය තුළ දී අප මුනිරජාණන් වහන්සේ කථා කළේ වචන වර්ග දෙකක් පමණි. එනම්,

යම් වචනයක් සත්‍ය ද අර්ථ සහිත ද එම වචනය අන් අයට ප්‍රියමනාප නම් ද පැවසූ සේක. අප්‍රිය අමනාප නම් සුදුසු කාලයෙහි ද පැවසූ සේක් ම ය.

තව ද තථාගතයන් වහන්සේ විමුක්තිකාමී තම පැවිදි ශ්‍රාවක පිරිස ඇමතුවේ නම් ඒ ද ශික්ෂා පදයක් පනවන්නෙමි, ධර්මය හෝ දේශනා කරන්නෙමි යන අර්ථයෙන් ම පමණි. අසිරිමත් වාග් පාරිශුද්ධියෙන් හෙබි අප මුනිරජුන්ට මාගේ නමස්කාරය වේවා!

අප සුගත තථාගතයාණෝ, පාරිශුද්ධ වූ මනෝ සමාචාර ඇත්තාහු ය. “මාගේ මේ මනෝ දුසිරිත අන්‍යයෙකු නො දකීවා” යි සඟවා රැකගත යුතු මනෝ දුසිරිතක් තථාගතයන් වහන්සේට නැත්තේ ය.

න සෝ රජ්ජති කාමේසු
අථෝ චිත්තං අනාවිලං
සබ්බමෝහං අතික්කන්තෝ
බුද්ධෝ ධම්මේසු චක්ඛුමා

“උන්වහන්සේ කාමයන් කෙරෙහි නො ඇලෙයි. උන්වහන්සේට තියෙන්නේ නොකැළඹුන සිතක්. සියලු මෝහයන් ඉක්මවා ගිහිල්ලයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සියලු දේ දකින ඇසින් යුක්තයි.”
මනස දූෂිත කරන්නා වූ යම් ක්ලේෂයන් ඇත් ද එය අප මුනිරජුන්ට ප්‍රහාණ වී ඇත්තේ ය. තල් ගහේ කරටිය කැඩුන විට යළි හට නො ගන්නේ යම් සේ ද ප්‍රහාණය වූ ක්ලේෂයන් යළි කිසි දිනෙක නූපදින බවට පත් කරන ලද්දේ ය. පියුම මත දිය බිඳ නො ගැලෙන්නේ යම් සේ ද පියුම් පතින් දිය රූරා වැටෙන්නේ යම් සේ ද අප මුනිරජුන්ගේ සිතෙහි රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ නො රැඳෙන්නේ ම ය. ඛීණාසව වන සේක. විරජ වන සේක. සුවිමුත්ත චිත්ත වන සේක.

පරම පාරිශුද්ධ චිත්ත සන්තානයක් දරා විරාජමාන ව වැඩ සිටි අප මහා මුනිරාජයන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!

එමෙන් ම,
අප තථාගතාණෝ පාරිශුද්ධ වූ ජීවිකාවක් ඇත්තාහු ය. “මාගේ මේ මිථ්‍යා ජීවිකාව අන්‍යයෙකු නො දකීවා” යි ලොවෙන් සඟවා රැකගත යුතු කිසිදු මිථ්‍යා ආජීවයක් තථාගතයන් වහන්සේට නැත්තේ ය.
එක්තරා අවස්ථාවක අප භාග්‍යවතුන් වහන්සේ එක්තරා කෙත් යායක සිටි පිනැතියෙක් සොයා වැඩි සේක. තමාට විමුක්තිය ලබා දීමට පැමිණෙන විමුක්තිදායකයාණන් හඳුනාගැනීමට අසමත් වූ ඔහු මුල දී අපැහැදීමෙන් කටයුතු කරන්නට විය. නමුත් තථාගතයන්ගේ පිළිතුරු ගාථා අසත් අසත් ම සැඟවී තිබූ පින මතුවී ආ මේ පින්වතාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් ආදර ගෞරවයක් ඇති විය. පහත් සිතින් දන් පුදන්නට සූදානම් විය. නමුත් අප සුගතයාණෝ පාත්‍රය අතින් වැසූ සේක.

ගාථාභිගීතං මේ අභෝජනෙය්‍යං
සම්පස්සතං බ්‍රාහ්මණ නේසධම්මෝ
ගාථාභිගීතං පනුදන්ති බුද්ධා
ධම්මේ සතී බ්‍රාහ්මණ වුත්තිරේසා

“බ්‍රාහ්මණය, ගාථා කියල ලැබෙන බොජුන් මං වළඳන්නේ නෑ. පිරිසිදු ජීවිතයක් ගෙවන කෙනෙකුගේ ස්වභාවය ඒක නො වේ. බුදුවරයන් වහන්සේලා ගාථා කියල ලැබෙන බොජුන් බැහැර කරනවා. එය බුදුවරුන්ගේ ලොව පවතින ධර්මතාවයක් බව දැනගන්න.”

(කසීභාරද්වාජ සූත්‍රය – සුත්ත නිපාතය)

ලුණු කැඳෙත් රජ බොජුනෙත් දිව අහරෙත් කය පවත්වා ගැනීමට ලැබෙන අනුග්‍රහයේ අර්ථය පමණක් ම දුටු අප මුනිරජාණන්, සුගන්ධ කුටියේත් රුක් සෙවණේත් දෙව් විමනේත් මං මාවතේත් වන අරණේත් තමන් වහන්සේ නිදුකින් ම ලද නෙක්ඛම්ම සුඛයෙන් ම, හුදෙකලා විවේකයෙන් ලත් පවිවේක සුඛයෙන් ම, සන්සිඳීමෙන් ලත් උපසම සුඛයෙන් ම, සම්බෝධි සුවයෙන් ම වැඩ සිටි සේක. ලෝකයෙහි ලෝකයා හා එක් නො වී ම වැඩ සිටි සේක.

මෙසේ වචනයෙන් පවසා නිම කළ නො හැකි පවිත්‍ර ජීවිකාවකින් හෙබි අප මුනිරජාණන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!

දුටු දුටුවන් මන මෝහනය කරන, අභිරූප දේහධාරී, රකින ලද ඉඳුරන් ඇති, පිවිතුරු කාය, වචී, මනෝ සමාචාර ඇති, ආජීව පාරිශුද්ධියේ කෙළ පැමිණි, නිර්මල බුද්ධි ප්‍රභා ඇති, තිලොවට සරණ වූ අසහාය ශ්‍රාස්තෘ වූ ඒ මහා මුනිරාජයාණන් වහන්සේ මුළු හදවතින් සරණ යන්නට අපිදු භාග්‍ය ලදිමු. දිවිපුදා සරණ යන්නට භාග්‍ය ලදිමු.

අප සැමට අම නිවනේ සුව විඳින තුරාවට එක ම සරණ, එක ම රැකවරණය, එක ම පිහිට අපගේ මුනිරාජයාණන් වහන්සේ පමණක් ම වේවා!

සිත කය වචන මුනිඳුන්ගේ පිරිසිදු ය
බබළන නුවණ හැසිරෙන ගුණ විසිතුරු ය
මෙලෙසින් දැන හැඳින සම්බුදු සමිඳුන් ව
කිව මැන බුදු ගුණ ම මුළු ලොව පැතිරෙන්න

(හේමවත සූත්‍රය – සුත්ත නිපාතය)

(ඇසුර – අරක්ඛෙය්‍ය සූත්‍රය, අං. නි. 4)