බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් බුද්ධිමත් කෙනෙකුට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපේ අභ්‍යන්තර ජීවිතයේ තියෙන විශේෂ දෙයක් තමයි සිත කියන්නේ. සිත ගැන සිහිනුවණින්ම සිහිය පිහිටුවා ගැනීම ගැන විස්තර කරන චිත්තානුපස්සනා භාවනාව තමයි අද අපි ඉගෙන ගන්නේ.

දමනය වූ සිත සැප සළසාලයි…

සිත කියන්නේ හේතූන් නිසා හටගන්න, හේතු නැතිවීමෙන් නැතිවෙලා යන දෙයක්. එ් වගේම සිත කියන එක නොමඟට හැරෙව්වාම නොමඟ යන දෙයක්. සුමඟට හැරෙව්වාම සුමඟට යන දෙයක්. මේ නිසයි බුදුරජාණන් වහන්සේ වදාලේ සිත දමනය කරගත යුතුයි කියා. දමනය වෙච්ච සිත සැප සළසනවා කියා. (චිත්තං දන්තං සුඛාවහං) බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳ ව පෙන්වා දුන්නේ පරිපූර්ණ වශයෙන්ම සිත දමනය කරගෙනයි. සිත දමනය කිරීමට උපකාර වන, සිත පිළිබඳ සිහිය පිහිටුවීමට උපකාර වන චිත්තානුපස්සනා භාවනාවේදී, බුදුරජාණන් වහන්සේ ආකාර 16 කින් සිත පිළිබඳව විග‍්‍රහ කොට තිබෙනවා. ශ‍්‍රාවකයා එ් ආකාර 16 තුලින් සිත ගැන සිහිය පිහිටුවා ගත යුතුයි.

සිත ගැන කළ විස්මිත හෙළිදරව්ව…

ධර්මය අවබෝධ කරනු කැමති ශ‍්‍රාවකයා, පංච කාම අරමුණු හෙවත් රූප – ශබ්ද – ගන්ධාදී අරමුණු සුභ වශයෙන් පිළිගෙන (සුභ නිමිත්ත) එ් පිළිබ`දව අනවබෝධයෙන් කල්පනා කිරීම (අයෝනිසෝ මනසිකාරය) නිසා උපන් රාග සහිත සිත, රාග සහිත සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති) අවබෝධ ඤාණය තුලින් එම රාග සහිත සිතෙහි යථාර්ථය දැකීම නිසා රාගය ප‍්‍රහීණ වීමෙන් විරාගී බවට පත්වූ සිත, විරාගී සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති)
රූප – ශබ්ද – ගන්ධාදී අරමුණු ගැටීම් වශයෙන් පිළිගෙන (පටිඝ නිමිත්ත) එ් පිළිබඳව අයෝනිසෝ මනසිකාරයේ යෙදීම නිසා උපන් ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් මනාකොට දැන ගනී. (සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති.) අවබෝධ ඤාණයක් තුළින් තම ද්වේෂ සහිත සිතෙහි යථාර්ථය දැකීම නිසා ද්වේෂය ප‍්‍රහීණ වීමෙන් වීතදෝෂී බවට පත්වූ සිත, ද්වේෂය ප‍්‍රහීණ වූ සිතක් වශයෙන් මනාකොට දැනගනී. (වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තන්ති පජානාති.)

ජීවිතය විපරීත හඳුනා ගැනීමක් තුළින් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පිළිගෙන ඒ පිළිබඳ අනවබෝධයකින් කල්පනා කිරීම නිසා උපන් මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් මනාකොට දැනගනී. අවබෝධ ඤාණය තුළින් එම මෝහ සිතෙහි යථාර්ථය දැකීම නිසා මෝහය ප‍්‍රහාණය වීම නිසා වීතමෝහී බවට පත් වූ සිත මෝහය දුරු වී ගිය සිතක් වශයෙන් මනාකොට දැනගනී.

සිත ගැන තවදුරටත් සිහිය පිහිටුවමින්…

සතර සතිපට්ඨාන ධර්මාදී කුසල ධර්මයන් වැඞීමට උනන්දුකමක් නැති කම නිසා හෝ අලසබව නිසා උපන් ථිනමිද්ධය හෝ කායිකව හා මානසිකව තමා තුළට හැකිලී ගිය සිත, හැකිළීමට පත් වූ සිතක් වශයෙන් මනාකොට දැන ගන්නවා. (සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති.) අනවබෝධයෙන් කල්පනා කිරීම හෙවත් අයෝනිසෝ මනසිකාරය නිසා බාහිර අරමුණු කෙරෙහි විසිරී ගිය සිත, බාහිරට විසිරී ගිය සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති.)

සතර සතිපට්ඨානයෙහි පිහිටා, සමථ – විදර්ශනා වශයෙන් ප‍්‍රතිපත්තියෙහි යෙදුන විට, පංච නීවරණයන්ගෙන් මිදී ධ්‍යානාදිය ඇති වීමෙන් වඩාත් බලවත් බවට පත්වූ සිත, වඩාත් බලවත් සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති) සතර සතිපට්ඨානයෙහි නොපිහිටි පංච නීවරණයන්ගෙන් පීඩා ලබන දුර්වල බවට පත්වූ සිත, දුර්වල බවට පත්වූ සිතක් වශයෙන් දැනගන්නවා. (අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති.)

සතර සතිපට්ඨානයෙහි පිහිටා, සමථ විදර්ශනාදියෙහි භාවනා වශයෙන් වඩන කල්හි, පංච නීවරණ යටපත්ව, එහෙත් ධ්‍යාන තත්වයට බලවත් නොවූ සමාධි සිත, ධ්‍යාන තත්වයට බලවත් නොවූ සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති.) සමථ විදර්ශනා ආදී කුසල අරමුණෙහි මනාව පිහිටීම නිසා එකඟ වූ සිත, කුසල අරමුණෙහි මනාව පිහිටීම නිසා එකඟ වූ සිතක් වශයෙන් මනාකොට දැන ගන්නවා. (සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති.) සමථ විදර්ශනා ආදී කුසල අරමුණෙහි මනාව නොපිහිටීම නිසා එකඟ නොවූ සිත කුසල අරමුණෙහි මනාව නොපිහිටීම නිසා එකඟ නොවූ සිතක් වශයෙන් මනාකොට දැන ගන්නවා. (අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති.)

අවබෝධ ඤාණයක් තුළින් කෙළෙසුන්ගෙන් මිදී ගියා වූ සිත, කෙළෙසුන්ගෙන් මිදීගිය සිතක් වශයෙන් මනාකොට දැන ගන්නවා. (විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති.) කෙළෙසුන්ගෙන් නොමිදුනා වූ සිත කෙළෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් මනාකොට දැනගන්නවා. (අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.)

හේතුවක් නිසා හටගත්තු ඵලයක්…

මේ සිත කියන්නේ හේතු ඵල දහමින් හටගත් ධර්මතාවයකි. වෙනස් වීම උරුම කොටගත් ධර්මතාවයකි. සිතක හටගැනීමට මුල් වූ කාරණා නැතිවීමෙන් එම සිත නැති වී යයි. එයයි සිතක සාමාන්‍ය ස්වභාවය. සිතක් ඉබේ හට නොගනී. සිත හටගන්නේ නාම රූප ප‍්‍රත්‍යයෙන්ය. නාම යනු වේදනා – සඤ්ඤා – චේතනා – ඵස්ස – මනසිකාර යන පසය. රූප යනු සතර මහා ධාතූන්ගෙන් සකස් වුන දේවල්ය. තේරුම් ගැනීම පිණිස වෙන් වෙන්ව කථා කළත් නාම රූප යනු එකට පවතින දේවල් වේ. මේ නාම රූපයන් හටගැනීමෙනි සිතක් හටගන්නේ. මේ සිත කුසල් අකුසල් සෑම දේයකටම මුල්වන බව සැබෑය. නමුත් හේතූන්ගෙන් තොරව හටගන්නා, තනිව පවතින චුතවන උපදින සුවිශේෂී සිතක් නොමැති බව තේරුම් ගෙන සිටීම වැදගත්ය. සතිපට්ඨානයේ හටගැනීමත්, එහි අභාවයත් දේශනා කළ බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සානාවට මුල් වූ සිත පිළිබඳව මෙසේ පෙන්වා දුන් සේක. ‘‘නාම රූපයන්ගේ හටගැනීමෙනි සිතක හටගැනීම සිදුවන්නේ. නාම රූප නිරුද්ධ වීමෙන් සිත ද නිරුද්ධ වී යයි. (නාම රූප සමුදයා චිත්ත සමුදයෝ – නාම රූප නිරෝධා චිත්ත නිරෝධෝ)

සිත ගැන මනාව තේරුම් ගන්න…

චිත්තානුපස්සනා භාවනා කොටසේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ සිතෙහි සිදුවන සෑම මූලික වෙනස් කමක්ම මනාකොට දැන සිටිය යුතු බවයි. එසේ සිතගැන මනා අවබෝධයෙකින්, මනා සිහියකින්, කෙළෙසුන්ගෙන් මිදීම පිණිස වූ වීර්යකින් හා නුවණකින් නොසිටිය හොත්, මේ මායා ස්වරූපී වූ සිතෙන් නිදහස්වීම නම් අසීරුය. එමනිසා සිතේ සෑම ස්වභාවයක් ගැනම ශ‍්‍රාවකයා මනා සිහිණුවනින් යුතුව තේරුම් ගත යුතුය.

මේ ආකාරයෙන් ශ‍්‍රාවකයා තමාගේ යයි සලකනු ලබන නාමරූප ප‍්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරනවා. (ඉති අජ්ඣත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහරති.) අනුන්ගේ යැයි සලකනු ලබන, නාම රූප ප‍්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි, එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරනවා. (බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහරති) තමාගේ යයි සළකනු ලබන මෙන්ම අනුන්ගේ යැයි සළකනු ලබන නාමරූප ප‍්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරනවා. (අජ්ඣත්තබහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහරති.) මෙසේ ධර්මය අවබෝධ කරනු කැමති ශ‍්‍රාවකයා නාම – රූප හටගැනීමෙන් සිත හටගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. (සමුදය ධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති.) එම නාම රූප නිරුද්ධ වීමෙන් එ් නිසා හටගත් සිත ද නිරුද්ධ වන ආකාරය අවබෝධයෙන් දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. (වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති) නාම රූප හට ගැනීමෙන් සිත හටගන්නා ආකාරය ද, නාම රූප නිරුද්ධ වීමෙන් සිත නිරුද්ධ වන අකාරය ද අවබෝධයෙන් ම දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. (සමුදය වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති)

සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ‍්‍රාවකයා හට, නාම රූප ප‍්‍රත්‍යයෙන් හටගන්නා වූ සංඛත ධර්මයක් වශයෙන් පවත්නා, අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සිතක් හෙවත් අරමුණු දැන ගන්නා ස්වභාවයක් තිබේ යැයි සිත පිළිබඳ මනාව යොමුකළ සිහිය බලවත්ව පිහිටනවා. (අත්ථි චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති.) එසේ චිත්තානුපස්සනාවේ මනාව පිහිටි සිත, තව දුරටත් අවබෝධ ඤාණය දියුණු වීම පිණිසම පවතිනවා. නාම රූප ප‍්‍රත්‍යයන්ගෙන් හටගත් සිත මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් ග‍්‍රහණය කරගන්නේ නෑ. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග‍්‍රහණය කරගන්නේ නෑ. (යාවදේව ඤාණමත්තාය, පතිස්සතිමත්තාය, අනිස්සිතෝච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති.) මේ ආකාරයෙන් ශ‍්‍රාවකයා, නාමරූප ප‍්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි, සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් ම දකිමින් වාසය කරනවා. (ඒවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහරති.)

මේ ආකාරයෙන් සිත අවබෝධ කළ, සිත දමනය කල උතුමන් තමයි මේ සිත ජය අරගෙන කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වුනේ. මේ සිත පිළිබඳව මම, මාගේ, මාගේ ආත්මය කියන අදහසින් නිදහස් වෙලා උතුම් මුනිවරුන් බවට පත්වුනේ සිත පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙනයි. එම නිසා බුදුරජාණන් වහන්සේගේ එ් විස්මිත අවබෝධය ගැන සිත පහදවාගෙන ගිහි පැවිදි අපි කවුරුත් ජීවිතාවබෝධය පිණිස මේ චිත්තානුපස්සනා භාවනාව පුරුදු කර ගනිමු.

ඇසුර – අතිපූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්වහන්සේ විසින් රචිත ‘‘එ් අමා නිවන් සුව බොහෝ දුර නොවේ.” සදහම් ග‍්‍රන්ථය.

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි