බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ වීරියවන්තයින් විතරයි. වීරියක් නැති කුසීතයින්ට භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කළ, සියලූ කෙලෙස් දුරු කරවන, විරාගය ඇති කරන, අමා නිවනට ගෙන යන, ලොව කිසිවකට සම කළ නො හැකි මේ ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කමක් නෑ.
චම්පා නුවර උසභ සිටුවරයාගේ සිටු මාළිගයේ ලස්සන කුමාරයෙක් උපන්නා. ඔහු උපන් දවසේ බිළිඳා බැලීමට පැමිණි නගරවාසීන් ඉතාමත් ම අගනා වස්තූන් තමයි තෑගි ලෙස අරගෙන ආවේ. එක දවසකින් ම සිටු මැදුරේ සම්පත් පිරී ඉතිරී ගියා. එ් වගේ ම මේ දරුවාගේ පැහැය මුළුමනින් ම රන්වන්. සිනිඳු මල් පෙත්තක් වගේ සියුම් ශරීරයක් මේ දරු සිඟිත්තාට තිබුණේ. ඉතිං දෙමාපියන්ට හරී ම සතුටුයි! ඔවුන් ‘සෝණ‘ නමින් මේ සිඟිත්තාට නම් තැබුවා. එනමුත් මේ තමන්ගේ පවුලේ උපන්නේ සසරේ මහා පින් රැස් කළ අසිරිමත් පින්වන්තයෙක් බව නම් උසභ සිටුතුමාවත්, එ් බිසොවවත් දැන හිටියේ නෑ.
නුවණැති උදවිය පින් රැස් කරන්නට ප්‍රමාද වෙන්නේ නැහැ. ලැබෙන ලැබෙන මොහොතේ නොපමාව පින් කර ගන්නවා. එ් කරන ලද පින් විපාක දෙන්නට පටන් ගනිද්දී එ්ක සාමාන්‍ය ලෝකයාට හිතාගන්නවත් බැරි තරම් විස්මිතයි. සෝණ අතීත ජීවිතයක එක්තරා පසේබුදුරජාණන් වහන්සේනමකට ඉතාමත් ම සැදැහැ සිතින් රක්ත වර්ණ කම්බිලියක් පූජා කළා. එ් පිනේ විපාකයක් ලෙස උපදින අත්භවයන්හී සුන්දර සිරුරක් ඔහුට ලැබුණා. සෝණ නමින් උපන් මේ ජීවිතයේත් ඔහුගේ සිරුර විනිවිද පෙනෙන්නාක් මෙන් සියුමැලි බබළන සිරුරක්. එය ස්වර්ණමය ඡුවි පැහැයෙන් බැබළුණ සිරුරක්.
අනෝමදස්සී නම් සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සිටි සමයේ ඔහු එ් සම්බුදු පියාණන් හටත්, භික්ෂු සංඝයා හටත් සොඳුරු විහාරයක් කරවා පූජා කළා. සුවසේ සක්මන් භාවනාවේ යෙදීම පිණිස සක්මන් මළු සකසා පූජා කළා. එ් පුණ්‍ය මහිමයෙන් සෝණගේ යටිපතුල්වල ස්වර්ණමය ලොම් හටගත්තා. එ් වගේ ම සෝණගේ පුණ්යනුභාවය නිසා ම ව්‍යාපාර දියුණු වී මහා ධනවත් බවට පත් සිටුතුමා ඍතුවලට ගැළපෙන පරිදි සෝණ කුමාරයා වෙනුවෙන් මනරම් මාළිගා තුනක් කරවනු ලැබුවා.
මේ මාළිගාවල පස්කම් සැපයෙන් සතුටු වෙමින්, නටමින් ගයමින් සතුටු වෙමින් තමයි සෝණ තරුණයා ගත කළේ. ඔහු හරි ම දක්ෂයි වීණා වාදනයට. ඔහුගේ වීණා නාදය බොහෝ දෙනෙකුගේ සිත වසඟ කරවන්නක්. දිනපතා වීණා වයමින් නාටිකංගනාවන් සමඟ තුටු වෙමින් ගත කරන සෝණගේ සැඟවී ඇති මහා පුණය මහිමය ඉස්මතු වුණේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කිරීමත් සමඟයි.
අපගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේ දම්සක් දෙසුම වදාරා ලෝකානුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම සිදු කරද්දී නොබෝ කලකින් ම බුදුරජුන් වටා බොහෝ ශ්‍රාවක පිරිස් එක් වන්නට වුණා. එ් වගේ ම සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ මහිමය ගම් නියම් ගම් පුරා පැතිර යන්නට වුණා. බුදුරජාණන් වහන්සේ ගැන අතිශයින් ම පැහැදී සිටි බිම්බිසාර මහරජු තමන්ගේ විජිතය වූ රජගහනුවරට භාග්‍යවතුන් වහන්සේට වැඩම කරන මෙන් ඇරයුම් කළා. එ් ආරාධනාව පිළිගත් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ මහත් භික්ෂු පිරිසක් කැටුව රජගහ නුවරට වැඩම කරනු ලැබුවා.
එදින බිම්බිසාර මහරජුගේ කැඳවීමක් අනුව නගරවාසී සියලූ දෙනා භාග්‍යවතුන් වහන්සේ ව පිළිගනු පිණිස රැස් විය යුතුව තිබුණා. එ් නිසා ම සෝණ සිටු කුමාරයාටත් බුදුරජුන් බැහැදැකීමේ වාසනාව උදාවුණා. සසරේ බුදුරජාණන් වහන්සේලා කෙරෙහි පහන් සිතින් යුතුව කටයුතු කොට ඇති සෝණ කුමරුගේ සිත සම්බුදුරජාණන් වහන්සේ ව දුටු පමණින් ම බොහෝ පැහැදී ගියා. එ් මොහොතේ රැුස්ව සිටි අසූ දහසකට අධික පිරිසට බුදුරජාණන් වහන්සේ මිහිරි ශී‍්‍ර සද්ධර්මය දේශනා කොට වදාළා.
එ් සියලූ දුක් සන්සිඳුවන ධර්මයට වඩා තවත් රසවත් යමක් මේ ලෝකයේ ඇත්තේ නෑ. නුවණැත්තන් විසින් එ් ධර්මයේ ඇති උත්තරීතර රසය වහා තේරුම් ගන්නවා. එ් රසයෙන් ම යි ජීවිතය සුවපත් වන්නේ කියා තේරුම් ගන්නවා. එවිට අන් කිසිදු සැපයක් දහමේ හැසිරීමට වඩා ඔවුන්ට වටින්නේ නෑ. සෝණ කුමාරයාත් මහා නුවණැත්තෙක්. ධර්මයේ ඇති උත්තරීතර වටිනාකම ඔහුට වැටහුණා. එ් අමා දහමේ රසය මුළුමනින් ම විඳින්නට නම් බුදු සසුනේ පැවිදි විය යුතුයි කියා ඔහු තීරණය කළා.
එදින ම තම මාපියන්ගේ අවසරය ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණි සෝණ බුදුරජාණන් වහන්සේ සමීපයේ අති උතුම් පැවිදි බවත්, උපසම්පදාවත් ලබා ගත්තා. ටික කලෙකින් ම ධර්මය මනාව ඉගෙන ගත් සෝණ ස්වාමීන් වහන්සේ හුදෙකලා විවේකයෙන් ධර්මය දියුණු කරන අදහසින් විවේකී කුටියක කාලය ගත කළා. උන්වහන්සේ හරී ම වීරියවන්තයි. ඉක්මනින් ම මේ උතුම් ධර්මය පරිපූර්ණ ව අවබෝධ කළ යුතුයි කියන අදහසින් වීරියෙන් භාවනා කළත් දිනෙන් දින ම උන්වහන්සේට සිතුණේ තමන්ට ධර්මාවබෝධ කර ගන්නට බැරි වේවි කියල ම යි.
දිනක් උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. ‘මං ගොඩාක් සියුමැලි ව හැදුන වැඩුන කෙනෙක්. බොහෝ සුඛෝපභෝගී ව සිටිය කෙනෙක්. එ් හින්දා මේ කය සැපයට අහු වෙලයි තියෙන්නේ. කොයිතරම් වේදනා දැණුනත් ගණන් නො ගෙන මම බලවත් ව වීරිය කරන්ට ඕන. මෙහෙම ප්‍රමාද වෙන්ට ගිහිං හදිසියේවත් මා මිය ගියොත් ධර්මාවබෝධ නො කර ම දුක් සහිත සංසාරයටයි මට වැටෙන්ට වෙන්නේ…’ මෙසේ සිත දැඩි කර ගත් සෝණ ස්වාමීන් වහන්සේ හොඳින් සිත යොමු කරගෙන සක්මන් භාවනා කරන්නට පටන් ගත්තා.
බොහෝ වෙලාවක් එක දිගට සක්මන් කළා. උන්වහන්සේගේ යටිපතුල්වලින් බලවත් ව වේදනා දැනෙන්ට වුණා. එහෙත් නො නවත්වා ම සක්මන් කළා. අවසානයේ සෝණ ස්වාමීන් වහන්සේගේ යටිපතුල් පැලී ගියා. යටිපතුල්වලින් ලේ ගලද්දීත් උන්වහන්සේ සක්මන් කරන්නට ම උත්සාහ ගත්තා.
එන්න එන්න ම කයේ වේදනාව බලවත් වෙන කොට භාවනාවට සිත පිහිටුවා ගැනීමට නො හැකි වී හිත බලවත් ව විසිරෙන්නට වුණා. සෝණ ස්වාමීන් වහන්සේගේ සිතට විශාල දුකක් හට ගත්තා. ‘අනේ මම මේ බුදු සසුනේ පැවිදි වුණේ කොතරම් ආසාවෙන් ද? මේ ධර්මය අවබෝධ කර ගන්ට මම කොතරම් ආසා කළා ද? එ්ත් මට තවමත් මේ ධර්ම මාර්ගයේ දියුණුවක් දකින්නට බැරි වුණානේ? මා හට මේ පැවිදි දිවිය ගැළපෙන එකක් නො වෙයි. මෙසේ කිසිදු දියුණුවක් නො ලබා අහිංසක මිනිසුන් දෙන දන්පැන් මා කෙසේ ද වළඳන්නේ? නැහැ. මම යළි ගිහි බවට පත් වෙනවා. හොඳට පින්දහම් රැුස් කර ගන්නවා’ වශයෙන් කල්පනා කරද්දී උන්වහන්සේගේ සිත පැවිද්දට නො ඇලී යන අයුරු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දැක වදාළා.
එ් මොහොතේ ම භාග්‍යවතුන් වහන්සේ සෝණ ස්වාමීන් වහන්සේ වැඩසිටි ස්ථානයට ඍද්ධියෙන් වැඩම කොට වදාළා.
‘‘සෝණය, කිම ද මේ සක්මන් මළුවේ විශාල ලේ පැල්ලම්. ඔබ පා පැලී යන තුරු සක්මන් කළා ද?”
‘‘එසේ ය ස්වාමීනී, මා එසේ වීරිය කරද්දීත් මා හට කිසිදු අධිගමයක් කරා යා නො හැක්කේ මන්දැයි මට නො වැටහේ. ස්වාමීනී, මා කල්පනා කළේ මේ අයුරින් ගත කරන පැවිදි දිවියට වඩා මා ගිහි වූවා නම් හොඳයි කියායි?”
‘‘පින්වත් සෝණ, ඔබ ගිහි කල ඉතා හොඳින් වීණා වාදනය කරන්නට හැකියාව තිබූ අයෙක් නේ ද?”
‘‘එසේ ය ස්වාමීනී”
‘‘පින්වත් සෝණ, එ් ඔබ වීණා වයද්දී වීණාවේ තත් බුරුල් ව තිබෙද්දී මිහිරි හඬක් ඉපදුණා ද?”
‘‘නැහැ ස්වාමීනී”
‘‘එසේ නම් සෝණය, මිහිරි හඬ උපන්නේ වීණාවේ තත් ඉතා ම තදින් ඇදී තිබෙනා විට ද?”
‘‘නැහැ ස්වාමීනී, වීණාවේ තත් බොහෝ තදින් ඇද වාදනය කරන්නට ගියහොත් එහි හඬ කර්කශයි, ඇතැම් විට එ් තත් බිඳී යන්නට ද පුළුවනි.”
‘‘සෝණය, වීණාවේ මිහිරි නාදය එසේ නම් කොහොම ද උපදවා ගන්නේ?”
‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වීණාවේ තත් පමණට වඩා බුරුල්වත් නැතිව, පමණට වඩා තදටත් නැතිව මධ්‍යස්ථ ප්රමාණයකටයි සකස් කර ගත යුත්තේ. එවිට වීණාව වාදනය කිරීමත් පහසුයි. හඬත් මිහිරියි. වීණාවටත් හානියක් වන්නේ නෑ.”
‘‘පින්වත් සෝණ, එ් අයුරින් ම යි තේරුම් ගත යුත්තේ. ධර්මයේ හැසිරීම වුවත් කුසීත ව නම් කරන්නේ ඔහුට ඉන් ඵලයක් ලබන්නට බැහැ. මේ ධර්මය කුසීතයාට අයිති එකක් නො වෙයි. එ් වගේ ම උසුලාගන්නට අසීරු වීරියෙනුත් ධර්ම මාර්ගය පුරුදු කරන්නට බැහැ. පින්වත් සෝණ, අකුසල් දුරු කිරීම පිණිසත්, කුසල් දියුණු කිරීම පිණිසත් ඔබ ගන්නා වීර්යය සැම විට ම අරඹන ලද්දක් විය යුතුයි. එය කිසිවිටකත් පසු නො බසිනා වීරියක් ම විය යුතුයි. එනිසා සෝණය වීරිය සම කරමින් ධර්ම මාර්ගය වඩන්න.”
සෝණ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය හොඳින් හිතට ගත්තා. පැලී ගිය යටි පතුල් සුව වීමට ඖෂධ ගැල්ලූවා. ක්‍රම ක්‍රමයෙන් වීරිය සම කරමින් ධර්ම මාර්ගය දියුණු කරන්නට වුණා. බලවත් වීරියෙන් යුක්ත වුණා. උපන් අකුසල් දුරු කිරීම පිණිසත්, නූපන් අකුසල් නූපදවීම පිණිසත්, උපදවා නො ගත් කුසල් ඉපදවීම පිණිසත්, හටගත් කුසලයන්ගේ විපුලභාවයට පත්වීම පිණිසත් නොපසුබසිනා වීරියෙන් යුක්ත වුණා. සෝණ ස්වාමීන් වහන්සේ නොබෝ කලකින් ම උතුම් රහතන් වහන්සේනමක් බවට පත් වී වදාළා.
පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා සෝණ මහරහතන් වහන්සේ ගැන මෙසේ පවසා වදාළා. ‘‘පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ වීරියවන්ත භික්ෂූන් අතරේ මේ සෝණයන් ම අග්‍ර වන්නේ ය.”
මහත් වීරියෙන් යුතුව උතුම් දහමේ හැසිරී එ් අමා නිවන් රසය සිතු සිතු විලසට වළඳන උතුම් රහතන් වහන්සේලා ගැන අපිත් සිත පහදවා ගනිමු.
‘යමෙක් පිළිවෙතින් යුතු වෙද
– මනසින් දැඩි කොට
නික්මෙන හැම කෙලෙසුන්ගෙන්
– බුදු සසුනෙහි සිට
එ් උතුමන් පැමිණිය පසු
– සුන්දර නිවනට
වළඳති සුවසේ නිවන ම
– සිතු සිතු විලසට
මෙය බුදු පිරිසෙහි පවතින
– උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම
– සෙත සැලසේවා!’
(රතන සූත්‍රය)
මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි
Recent Comments