මනෝ ප‍්‍රතිකාරය, උපදේශනය, මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකාර යන නොයෙක් වදන් අපට ඇසී ඇත. මේ සියල්ල මනෝ චිකිත්සාව යටතට එයි. අපි මේ ගැන ටිකක් ගැඹුරින් විමසා බලමු.

සන්නිවේදනය, එනම් කෙනෙකු තව කෙනෙකු හෝ කිහිප දෙනෙකු සමග අදහස් හුවමාරු කර ගැනීම හරහා සිදුවෙන ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. මෙසේ අදහස් හුවමාරු කර ගැනීමේ ප‍්‍රධාන ම ක‍්‍රමය කතා බහ වන අතර වෙනත් ක‍්‍රම වන්නේ ලිපි හෝ ඊමේල් හෝ කෙටි පණිවිඩ හුවමාරුව යි. එසේ ම කතා බහ බොහෝ විට මුහුණට මුහුණ කෙරෙන අතර දුරකතනය, වීඩියෝ දුරකතනය වැනි ක‍්‍රම ද අදාළ විය හැක.

සන්නිවේදනය හරහා ප‍්‍රතිකාර කරන්නේ කෙසේද? මේ ගැන දැන ගැනීමට පෙර අප මනස වැඩ කරන හැටි මඳක් විමසා බලමු.

මනස යනු අප සිතන දෑ, අපට දැනෙන/හැෙඟන දෑ සහ අප කියන/කරන දෑ යන එ්වායි. වෙනත් වචනවලින් කියතොත් අපේ සිතුවිලි (thoughts), හැඟීම් (emotions) හා හැසිරීම හෙවත් චර්යාව (behavior) යනු අපේ මනසේ ක‍්‍රියාත්මක වීමයි. මෙම සිතුවිලි, හැඟීම් හා හැසිරීම එකිනෙකට සම්බන්ධ ය. එකක් වෙනස් කළ විට තවෙකක් හෝ කිහිපයක් හෝ වෙනස් වෙයි.

නිදසුනක් ලෙස දියවැඩියාවට ප‍්‍රතිකාර ගන්නා පුද්ගලයෙකු සලකන්න. ඔහුට හැම විටම ඔහුගේ බිරිඳ තම බෙහෙත් බීම මතත් කරන්නේ යැයි සිතන්න. ඇය මෙය පමණ ඉක්මවා කරයි; අන් අය ඉදිරියේ දී ද නිතර බෙහෙත් බීවාදැයි අසයි. දැන් ඔහු තුළ අපහසුතාවයක් ඇති විය හැක. එ් සමග ‘මේ බෙහෙත් බීම මොන වදයක් ද?’ යැයි ඔහුට සිතෙයි. එම සිතුවිල්ලට ඈඳී ‘බිරිඳ තමයි මේ වදය මට දෙන්නේ’ යනුවෙන් සිතුවිල්ලක් ඇති විය හැක. දැන් ඇය ගැන තරහක් ඇති වෙයි. තරහ පිරිමහ ගැනීමට බෙහෙත් නො බී සිටිය හැකි බව ඔහුට පෙනෙයි. එවිට බිරිඳ කෝප වී තවත් තදින් සිටියි. දැන් ඔහු තුළ බිරිඳ ගැන ඇති තරහ තව වැඩි වෙයි.

ඉහත නිදසුනේ සිතුවිලි ‘(මේ බෙහෙත් බීම මොන වදයක් ද?’ බිරිඳ තමයි මේ වදය මට දෙන්නේ’), හැඟීම් (අපහසුතාවය, තරහ, අධික තරහ) සහ හැසිරීම (බෙහෙත් නො බී සිටීම) අතර සම්බන්ධය අපට පෙනෙයි. මෙය දැන් දියවැඩියා අර්බුදයක් සේ ම විවාහ දිවියේ අර්බුදයක් දක්වා ඔඩු දුවන සැටි ඔබට පෙනෙයි.

අපට දැන් කළ හැක්කේ කුමක් ද? බිරිඳ නිතර අන් අය ඉදිරියේ බෙහෙත් බීවාදැයි අසන එක අඩු කළොත් ඔහු තුළ ඇති තරහ සහ ඊට අදාළ සිතුවිලි වෙනස් විය හැක. ඔහු බිරිඳගේ චර්යාව ගැන වෙනත් විදියකට බැලූවොත් ඔහු තුළ ඇතිවන සිතුවිලි වෙනස් කර ගත හැක. එවිට තරහව අඩු වනු ඇත. මේ දෙවිදියට ම ඔහු නැවත බෙහෙත් කලට වේලාවට බොන කෙනෙකු බවට පත් වීමට ඉඩ ඇත.

ඉහත සඳහන් කළ වෙනස්කම් අපට සන්නිවේදනය හරහා සිදු කළ හැක. නිදසුනක් ලෙස බිරිඳට මේ ගැන පහදා දී ඇගේ හැසිරීම වෙනස් කර ගන්නා හැටි පෙන්වා දිය හැක. මනෝ චිකිත්සාව යනු මෙය යි. මෙය බොහෝ විට චිකිත්සකයා කතාබහ නම් සන්නිවේදනය හරහා සේවාලාභියාට සලසන සේවයකි.

යම් යම් මනෝ චිකිත්සක යෙදුම් තප්පර හෝ විනාඩි කිහිපයක් ඇතුළත සිදු කළ හැකි මුත් සාමාන්‍යයෙන් මනෝ චිකිත්සාව සතියකට හෝ දෙකකට වරක් චිකිත්සකයා මුණ ගැසී යම් දිගු වෙලාවක් කතා බහක නියැලී සිටීම යි. මෙම මුණ ගැසීම වාර ගණන එ් එ් තත්ත්වයන් අනුව කිහිප වතාවක් හෝ දස දොළොස් හෝ ඊටත් වැඩි වතාවක් හෝ විය හැක.
මනෝ චිකිත්සාව සිදු කරන ක‍්‍රමවේදය අනුව නොයෙකුත් ලෙස වර්ග කළ හැක. අපි එ් ගැන දැන් බලමු.

සේවාලාභීන් ගණන අනුව:
සුලබ ම විදිය එක් චිකිත්සකයෙකු එක් සේවාලාභියෙකුට චිකිත්සාව ලබා දීමයි. නමුත් ඉහත උදාහරණයේ දී දියවැඩියාව ඇති පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනා ම චිකිත්සකයා හා කතා බහට කැඳවිය හැක. විශේෂයෙන් ම විවාහ දිවියේ ගැටළුවලට කරන ප‍්‍රතිකාරවල දී දෙදෙනා ම කැඳවීමට සිදු වෙයි. එය යුගළ ප‍්‍රතිකාර (couple therapy)  නමි. තවත් සමහර අවස්ථාවල දී පවුල ම කැඳවීමට සිදුවෙයි. එවිට එය පවුල් ප‍්‍රතිකාරයකි (family therapy). තවත් විටක කණ්ඩායමකට එකවර ප‍්‍රතිකාර කළ හැක. නිදසුනක් ලෙස මද්‍යසාර සම්බන්ධ ගැටළු ඇති කිහිප දෙනෙකු එකවිට කණ්ඩායමක් ලෙස ගෙන්වා චිකිත්සාවක් ලබා දිය හැක. එවිට එය කණ්ඩායම් චිකිත්සාව (group therapy) නමි.

සන්නිවේදනය කරන විදිය අනුව:
වඩා ම සුලබ කතා බහ හරහා සිදු කෙරෙන ප‍්‍රතිකාරය යි. සමහරවිට වීඩියෝ දුරකතන(Skype) හරහා විය හැක. ලිපි ගනුදෙනු ඊමේල් හරහා ද යම් ප‍්‍රතිකාරයක් සිදු විය හැක. මෙය බොහෝ විට කතා බහ හරහා සිදු කෙරෙන ප‍්‍රධාන ප‍්‍රතිකාරයට අමතරව සිදුවෙන දෙයක් විය හැක. චිකිත්සකයෙකු නැතිව පරිගණකයක් හරහා යම් සරල ප‍්‍රතිකාර ලබා දෙන අවස්ථා ද ඇත.

චිකිත්සා තාක්ෂණය අනුව:
පුද්ගලයාගේ හැසිරීම වෙනස් කොට එ් හරහා සිතුවිලි, හැඟීම් සහ වෙනත් චර්යා වෙනස් කිරීම චර්යා චිකිත්සාව (behavior therapy) නම් වෙයි.
පුද්ගලයාගේ සිතුවිලි වෙනස් කොට එ් හරහා හැඟීම්, චර්යා සහ වෙනත් සිතුවිලි වෙනස් කිරීම සිතුවිලි චිකිත්සාව (cognitive therapy) නම් වෙයි.
පුද්ගලයාගේ සිතුවිලි සහ චර්යාව වෙනස් කොට එ් හරහා හැඟීම්, චර්යා සහ සිතුවිලි තව දුරටත් වෙනස් කිරීම සිතුවිලි-චර්යා චිකිත්සාව (cognitive-behavioral therapy – CBT) නම් වෙයි.

පුද්ගලයාගේ හැඟීම් කෙරෙහි ම වැඩි අවධානයක් යොමු කොට පුද්ගලයා තුළ තම හැඟීම් ගැන ඇති අවබෝධය වඩා නිවැරදි කොට එ් හරහා හැඟීම්, චර්යා සහ සිතුවිලි වෙනස් කිරීම හැඟීම් පාදක චිකිත්සාව (emotion-focused therapy) නම් වෙයි.

පුද්ගලයාගේ මනසේ ගැඹුරේ කලක් තිස්සේ (නිදසුනක් ලෙස ළමා විය අනුව) තැන්පත් වුණු සිතුවිලි, හැඟීම් හා චර්යා පිරික්සා එ් ගැන පුද්ගලයා විමසිලිමත් වීම හා තේරුම් ගැනීම හරහා මනෝගතික චිකිත්සාව (psycho dynamic therapy) සිදු කෙරෙයි. ෆ්‍රොයිඞ්ගේ මනෝ විශ්ලේෂණාත්මක චිකිත්සාව (psychoanalytic therapy) ද මීට ළඟින් යයි. සිතුවිලි-විශ්ලේෂණාත්මක ප‍්‍රතිකාරය (cognitive analytic therapy) යනුවෙන් ද එක් චිකිත්සාවක් ඇත.

පුද්ගලයාගේ යහපත් සිහිය වැඩි දියුණු කොට තමා තුළ ඇතිවන සිතුවිලි, හැඟීම් හා චර්යා එ් මොහොතේ ම දැකීමට සලස්වා එ් හරහා හැඟීම්, චර්යා සහ සිතුවිලි වෙනස් කිරීම යහපත් සිහිය පාදක චිකිත්සාව (mindfulness based therapy) නම් වෙයි.

පුද්ගලයාගේ මනසේ ගැඹුරට නො යා මතුපිටින් යම් යෝජනාවක් සිදු කර කෙරෙන චිකිත්සාව මෝහන ප‍්‍රතිකාරය  (hypnotherapy) නම් වෙයි.

පුද්ගලයා තම ජීවිත කතාව කතන්දරයක් හැටියට කීමට සලස්වා එම කතාව වෙනස් කිරීමේ බලය පුද්ගලයාට ම ඇති බව තේරුම් ගැනීමට සැලැස්වීම කතන්දර චිකිත්සාව  (narrative therapy) යි.

පුද්ගලයාගේ හැඟීම්, චර්යා සහ සිතුවිලි වෙනස් කිරීම පුද්ගලයා හරහා පමණක් නොව පුද්ගලයා හා ගැටෙන අන් අයටත් පුද්ගලයාටත් පොදු සමස්ත සංස්කෘතික පද්ධතිය ම හරහා ද සිදු කිරීම පද්ධති චිකිත්සාව (systemic therapy) නමි. පුද්ගලයාගේ මානව සබඳකම් වෙනස් කිරීම හරහා සුවය සැලසීම අන්තර්පුද්ගල චිකිත්සාව (interpersonal therapy) නමි.

චිකිත්සා අරමුණු අනුව:
යම් යම් මානසික රෝග සුව කිරීමට හෝ එහි බලපෑම අඩු කිරීමට හෝ රෝගියාගේ අපහසුතාවය අඩු කොට එදිනෙදා ක‍්‍රියාකාරිත්වය ඉහළ දැමීමට හෝ නොයෙකුත් චිකිත්සා ඇත. මානසික රෝග නැති, එහෙත් ජීවිතයේ නොයෙකුත් ගැටලූවලට මුහුණ දුන් අයට උදවු කිරීමේ චිකිත්සා ද ඇත. තම පුද්ගල සොබාව හෙවත් පෞරුෂය වෙනස් කර ගැනීම සඳහා ද චිකිත්සාව සිදු කළ හැක.

ප‍්‍රතිකාර කෙරෙන රෝගය/තත්ත්වය අනුව:
විෂාදය (depressive disorder)  සුව කිරීමට සිතුවිලි-චර්යා චිකිත්සාව, අන්තර්පුද්ගල චිකිත්සාව, මනෝගතික චිකිත්සාව සිතුවිලි-විශ්ලේෂණාත්මක ප‍්‍රතිකාරය භාවිත වෙයි. විෂාදයට අමතරව සමාජ භීතිකාව (Social phobia) ඇතුළු සියලූ ම කාංසා රෝග (anxiety disorder), ග‍්‍රස්ථිය (obsessive-compulsive disorder – OCD), ආහාර අනුභව රෝග (eating disorder), මද්‍යසාර-දුම්කොළ-මත්ද්‍රව්‍ය භාවිත රෝග (Alcohol-tobacco-drug use disorder) වැනි රෝග රැසකට සිතුවිලි-චර්යා චිකිත්සාව සාර්ථක ප‍්‍රතිඵල ගෙන දෙයි. පුරුදු සම්බන්ධ රෝග (habit disorder), එනම් ඇඟිලි ඉරීම, කෙස් ගැලවීම වැනි රෝග, වෙනුවෙන් විශේෂිත චර්යා ප‍්‍රතිකාර ඇත. සරල භීතිකාවලට (Simple phobias) සරල චර්යා ප‍්‍රතිකාර ඇත. ක්ෂතිමය (trauma) තත්ත්වයනට මුහුණ දීම (උදා: සුනාමිය/ යුද්ධය/ බෝම්බ පිපිරීම වැනි තත්ත්ව* නිසා ඇති වන රෝගවලට සිතුවිලි-චර්යා චිකිත්සාව සහ වෙනත් චිකිත්සා ඇත.

පුද්ගලයාගේ සිතුවිලි, හැඟීම්, චර්යාවල විශේෂ වෙනස් කිරීමකට වඩා පුද්ගලයාගේ සිත් සැනසීම අරමුණු කර ගෙන කරන මනෝ චිකිත්සාව මනෝ උපදේශනය (psychological counselling) නමි.

සටහන
වෛද්‍ය මහේෂ් රාජසූරිය
මනෝ වෛද්‍ය විශේෂඥ
MBBS (කොළඹ), MD (මනෝ වෛද්‍ය)
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය (මනෝ චිකිත්සාව ඇතුළු)