ඔහු කවියෙකි. නැතහොත් ගේය පද රචකයෙකි. පුන්සඳ මෝදුවන නිශා යාමයේ දී ඔහුගේ පන්හිඳ නිදිවරමින් පත්ඉරුවක සටහන් කරන සොඳුරු පදවැලක මෙසේ ලියා තිබිණි…. එ් ඇය ගැන යි.

‘රෑ සඳ එළියට සේපාලිකා මල් එක දෙක බිම වැටෙද්දී
මට සුව නින්දක් තිබුණේ නම් නැහැ කවදාවත්
ඇය සේපාලිකා
හරියට ම මේ ගිලිහී වැටෙන සේපාලිකා මලක් වගේ ම යි ඇය
මේ සුන්දර නිශාව සුවඳවත් කළ සේපාලිකාවනි
මා තවමත් කවුළු පියන්පත් වසා නැත
සඳ එළියේ මට දකින්න ඉඩ දෙන්න ඔබේ රුව
එය මා කළඹයි. එහෙත් එය මගේ පැතුම යි.’

මේ, සොඳුරු රුව ඇති යුවතියකගේ පේ‍්‍රමය දිනාගැනීමට වෙහෙසෙන තරුණ පෙම්වතෙකුගේ ප‍්‍රාර්ථනාවකි. ඔහුට ඇය දුටුදා පටන් සුවසේ ලබන නින්ද ද අහිමි වී ඇත. පේ‍්‍රමයෙන් ආතුරව සිටින ඔහුට ඇති එකම පිළිසරණ ඇයගේ සදාකාලික පේ‍්‍රමය දිනා ගැනීම පමණි. එහෙත් ඇය මේ කිසිත් නො දැන සුවසේ නිදනවා වන්නට ද පිළිවන. එහෙත් එ් පන්හිඳ නම් තවමත් අවදියෙනි.

ගීත සාහිත්‍ය තුළ නව යොවුන් තරුණිය වනාහි ප‍්‍රධාන සම්පත්දායිකාව ය. ඇය බොහෝ විට පෙම්වතිය යි. ඇයගේ භූමිකාව පන්හිඳට හසු නොවන තැනක් දැකීමට එකල මෙන් ම මෙකල කවියා ද ගේය පද රචකයා ද රුචි නැත. එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසය තුළ මෙකී භූමිකාව ඇය රඟදක්වනු ලැබූ අතර ඉදිරියටත් එය එසේ ම වනු ඇත. යොවුන් පෙම්වතා ද ඊට පිටුපසින් සිටිනු දැකිය හැකි ය. තවත් විෂය කරුණු බොහොමයක් මත සාහිත්‍ය නිර්මාණ බිහිකර තිබෙන නමුදු එ් සියල්ල ඉක්මවා ගිය තැනක් හිමිකර ගනු ලැබුයේ ඇය ම පමණි. එහෙත් එ් ජරා, ව්‍යාධි, මරණ විසින් ඇයව යටකරගෙන යන විට දී කවියෝ නිහඬ ව ම තම පන්හිඳ සඟවා ගත්හ. ලෝක යථාර්ථය හමුවේ අනිත්‍ය වී යන සුන්දරත්වය සහ ජීවිතය විග‍්‍රහ කිරීමට ඔවුන් බොහෝ විට ඉදිරිපත් නොවීම ඉතිහාසය පුරා ම ගීත සාහිත්‍ය තුළ දක්නට ලැබිණි. මේ සෑම අවස්ථාවක දී ම සත්‍ය පිටු දැකීම කවර නිර්මාණකරුවකු වුවත් බොහෝ කොට සිදුකරන ලද්දේ නම් එය ගීතය තුළ හෝ කවිය තුළ ඔහු හෝ ඇය විසින් සිදුකරන ලද බරපතළ වරදකි. මෙකී කරුණු තුළින් ගම්‍ය වන්නේ සාහිත්‍යය වැනි මානව හදවතට ඉතා සමීප දේ තුළ පුද්ගලයා යථාර්ථයෙන් ඈත්කොට තැබීම බොහෝ කලක පටන් නිරන්තරයෙන් ම සිදුවූ එක්තරා ගතානුගතික පැවැත්මක ස්වභාවයක් බව ය.

නමුදු ගීත සාහිත්‍ය පෝෂණය කළ ඇතැම් නිර්මාණකරුවන් අතින් බිහිවුණු ශ්‍රේෂ්ඨ නිර්මාණ අතලොස්සක් පාඨකයාගේ හදවත ඉක්මවා ගොස් බුද්ධියට ආමන්ත‍්‍රණය කළ අවස්ථා අපට දැකගත හැකි ය. එ් බොහෝ නිර්මාණකරුවන්ගේ ආධ්‍යාත්මය තුළ කිසියම් සුවිශේෂී බවක් දිස්විණි. ඔවුන් ජීවිතය පිළිබඳ වු පුළුල් දැක්මක් ගොඩනගා ගත්තවුන් වීම දැකිය හැකි ප‍්‍රකට කරුණ විය. මහත් ආදීනව ඇති පංචකාමයන්ගෙන් ම උමතු බවට පත්වෙමින්, එහි අල්ප වු ආස්වාදයෙන් මහත් සේ තුටුවන ලෝකයේ එය ඉක්මවා ගිය මිනිස් දහම් පිළිබඳ අවධානයෙන් සිිටි නිර්මාණකරුවන් වශයෙන් ඔවුන්ගේ නිර්මාණ ලෝකයේ යම් අර්ථයක් පිණිස වීම වැළැක්විය නො හැකි විය. එ් නිර්මාණ සාහිත්‍ය රසයෙන් ද අනූන වෙමින් බුද්ධිමතුන් හට වඩ වඩාත් දැනිණි. එහෙත් ලෝකයේ බිහි වූ එවන් නිර්මාණකරුවන් බහුතරයකටත් එහි අග‍්‍ර ඵලය ස්පර්ශ කිරිමට නො හැකි විය. මන්දයත් සැබෑ ලෝකාර්ථය පිණිස වන පරිපූර්ණ අවබෝධයකින් දේශනා කළ දහමක් ලොව පවතිනවා යන්න ඔවුන් තවමත් අසා නැති හෙයිනි. ලෝකය පිළිබඳ ව දැකිය යුතු සියල්ල දැකගත්, පරිපූර්ණ අවබෝධයට පත් නිකෙලෙස් මුනිවරයෙකුගේ මඟ පෙන්වීමකින් තොරව කිසිදු නිර්මාණකරුවකු හට එ් අර්ථය ස්පර්ශ කළ නො හැකි ය. එබැවින් ලෝකයෙහි සැබෑ අර්ථය පිණිස වන ගීත හෝ කාව්‍ය නිර්මාණයන් බිහිකිරීම අතිමහත් වු අභියෝගයක් විය. එය විස්මිත වු කාර්යභාරයකි. ඊට අසිරිමත් හැකියාවක් හා නුවණක් අවැසි ය. එකී හැකියාව උපදවා ගන්නෝ වේ නම් එ් ඉතා අල්ප වූ නිර්මාණකරුවන් පිරිසකි. ඔවුන් එ්කාන්ත වශයෙන් ම එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගත් පිරිසක් වීමත් සුවිශේෂී කරුණකි. එවන් පසුබිමක් තුළ බිහිවන ශ්‍රේෂ්ඨ නිර්මාණයන් ඉතා ම දුර්ලභ ය. ඉදින් බොහෝ වටිනා පාෂාණ මැද මාණික්‍ය රත්නයන් දුලබ වන සේ ම ය.

සැබෑ නිර්මාණකරුවාගේ වගකීම වනුයේ මනුෂ්‍යයා ආනන්දයෙන් ප‍්‍රඥාවට කැඳවාගෙන යාම ය. ඔහු කවියෙකු විය හැකි ය. නැතහොත් ගීත රචකයෙකු, සංගීතඥයෙකු, චිත‍්‍ර ශිල්පියෙකු විය හැකි ය. කවර භූමිකාවක් ඔහු නිරූපණය කළත් ඔහුගේ නිර්මාණ කෞශල්‍ය නිසි මඟට යොමු කරමින් ලෝකයට කලාකරුවකු අතින් ඉටුවිට යුතු නිවැරදි මෙහෙය ඉටු කළ යුතු ය. එ් තුළ සතුටු විය හැකි කලාවක් ඔහු පරිහරණය කර තිබීම අත්‍යවශ්‍ය ය. රාග, ද්වේෂ, මෝහ නැමති ක්ලේෂ මූලයන් පෝෂණය පිණිස පමණක් තම නිර්මාණ දායකත්වය ලබා දීම වනාහී බලවත් අනතුරක් සේ ම මිහිරි ස්වරූපයෙන් විනාශයේ වසඟයට යාමට ලෝකයට කරන ආරාධනාවකි. බොහෝ අකුසලයන්ට තැනෙන වේදිකාවකි. රාගය, ද්වේෂය, මෝහය වඩන අරුත් සුන් රසඥතාවය තුළ ඇත්තේ නොසන්සිඳීමක් සේ ම කාම දැවිල්ලකි, අතෘප්තිමත් වූ අසහනකාරී ළාමක සතුටකි. අවසානයේ කායික මානසික වෙහෙසකි. එවන් නිර්මාණයන්ගෙන් මේ ලොව පිරී ඇත. මේ සෑම අවස්ථාවක දී ම තවත් ගුණධර්මවලින් ලෝකය ඈත් වුවා මිස ගුණධර්මයන්ට ළං වුයේ නැත. දිනෙන් දින පිරිහී යන ගීත සාහිත්‍යය වර්තමානය වනවිට පත්ව ඇත්තේ අතිශය ඛේදජනක තත්ත්වයකට ය. මෙය නිර්මාණකරුවාගේ වගකීම නො වේ. නිර්මාණ යැයි එළිදකින ඇතැම් දේ ජුගුප්සාජනක බවින් ද යුතු ය. එ්වා සමාජගත කිරීම සඳහා නොයෙක් අසම්මත උපක‍්‍රමයන් යොදාගැනීම බහුලව දැකිය හැකි අතර එ් පිළිබඳ ව රටක් වශයෙන් අප බොහෝ සෙයින් ලැජ්ජා විය යුතු ය. අප රටෙහි ම ලියැවුණු සුභාෂිතය, ලෝවැඩ සඟරාව, බුදුගුණ අලංකාරය අපට තවමත් අමතකව ගොස් නැත. එබැවින් අප සිටින තැන නිශ්චය කිරීමට තවත් කෙනෙකුට පැවරිය යුතු නැත.

ගීත රචකයා හෝ කවියා ලෝකය සහ ගැහැනිය සුන්දර ලෙස පමණක් දකිමින් යථාර්ථයෙන් ඈත්ව නිර්මාණ බිහිකිරීම වරදක් යැයි දැකීම ලෝක සම්මතය නො වේ. එබැවින් නිර්මාණකරණයේ දී ඔහු හෝ ඇයට සීමාවන් පැනවීමට කිසිවකුත් සූදානම් නොවීම සුදුසු ය. කලාව සුන්දරත්වය හෝ විරහව ඇසුරට බොහෝ ප‍්‍රිය ය. එනිසා ම ගීතයෙහි, කවියෙහි රසය රැුඳී පැවතීම ද එක්තරා සත්‍යයකි. මන්දයත් ලෝකය සමස්තය නොව ආස්වාදය පමණක් ගෙන බැලීමට පුරුදුව ඇති නිසා ය. එහි ප‍්‍රතිඵලය අවබෝධයෙන් තොර වූ ළාමක විඳීමක් සැපයීම පමණි. එහෙත් ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවා තම නිර්මාණකරණය තුළ පුළුල් දැක්මක් ගොඩනගා ගැනීමට උත්සාහ ගනී. ඔහුගේ නිර්මාණය තුළ යථාර්ථයට ඉඩක් ඇත. යටකී පරිදි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගත් නිර්මාණකරුවන් හැරුණු විට දෙස් විදෙස් යම් ගීත රචකයන්, කවීන් පිරිසක් යම් පමණකට හෝ මීට සාධාරණයක් ඉටුකිරීමට උත්සාහ දරා ඇති බව පෙනේ. එහෙත් ඔවුන්ගේ දැකීම් පරාසය එතරම් පුළුල් නැත. එ් පුළුල් බව ඇතිකර ගත හැක්කේ භාග්‍යවතුන් වහන්සේගේ අමා දහමෙහි ඇති දම් රසයෙන් පමණි. එය අවබෝධයෙහි පිවිසුම යි. එබැවින් එබඳු නිර්මාණකරුවා නිසි කල ලෝකයට හිතැති දේ ලබා දීමේ උතුම් කාර්යභාරයෙහි නිපුණයෙකු වෙයි. ඔහුගේ නිර්මාණයන් තුළ සමබරව හා ඉතා සුන්දරව සමස්තය දැක ගැනීමට හැකි වෙයි. එ්වා සාහිත්‍ය රසයෙන් පිරී ඉතිරී ඇත. එමෙන් ම අර්ථවත් ය. ඔහු ආනන්දයෙන් ප‍්‍රඥාවට යන ගමන් මඟ හොඳින් සේවනය කරන්නෙකු යැයි කීම සුදුසු ය.

පේ‍්‍රමය, නව යොවුන් පෙම්වතිය, සඳ තාරකා ආදිය යොදාගෙන නිර්මාණකරණයෙහි නිරත වන විටදිත් ගීත රචකයා හෝ කවියා විසින් අමතක නො කළ යුතු කරුණ නම් ආනන්දයෙන් ප‍්‍රඥාවට යන්න බව සිහි තබා ගැනීම වැදගත් ය. කෙසේ වෙතත් තමනට හැකි පරාසයක් තුළ හෝ යථාර්ථයට ළං වීමට තම නිර්මාණකරණයේ දී වගබලා ගැනීම තම පැවැත්මටත් ඉතා සුහදායි වනු ඇත. එ්, අර්ථවත් දේ සඳහා තවමත් බුද්ධිමත් ලෝකයා අපේක්‍ෂා සහගතව බලා සිටින බැවිනි. කවරෙකු වුවත් තම නිර්මාණ සාර්ථකත්වය බලාපොරොත්තු වන්නේ නම් ඔහුගේ නාමය බොහෝ කලක් ලොව තුළ දිදුලන අන්දමේ අර්ථවත් යමක් කළ යුතුව ඇත. ඊට කෙටි මාර්ග නැත. එසේ ම එක් දිනකින් හෝ දෙදිනකින් නිර්මාණකරුවකු වීමටත් උත්සාහ කළ යුතු නැත. ඔහු හෝ ඇය ඊට සැබෑ දක්‍ෂයෙකු නම් ඔවුන්ට සාර්ථකත්වය පැතීමට අවශ්‍ය ද නැත. එය නිසි ලෙස  නිසි කලට නොවැරදී ම තමා වෙත ලැබෙනු ඇත.

නිර්මාණකරණයේ දී ගීතයටත්, කවියටත් සැබෑ සාධාරණයක් ඉෂ්ට කිරීමට පළමුව අප ලෝකයේ යථාර්ථය එ් වූ ආකාරයෙන් ම පෙන්වා දෙන අප මුනිඳුන්ගේ අකාලික දහම දකින්නට අසුරු සැණක් හෝ මිඩංගු කළහොත් එය කවරෙකුට වුවත් පමණ කළ නො හැකි වූ උතුම් නිමේෂයක් වනු ඇත.

සටහන
රොහාන් ඉන්ද්‍රජිත් එදිරිසිංහ